වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ඔය කියන තරම් ගම සුන්දර නැහැ සළකුණ පියාපත් ගෙන එන

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණය කළ ඔහුගේ නවතම ටෙලි සිතුවම 'සකුණ පියාපත්' මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වේ. ඒ බදාදා හැර සතියේ දිනවල රාත්‍රී 7:30ටයි. එකිනෙකට වෙනස් ටෙලි නිමැවුම් පුංචි තිරයට ගෙන ආ ක්‍රිෂ්ටි සකුණ පියාපත් ඔස්සේ වෙනමම ඉසව්වකට ප්‍රේක්ෂකයන් රැගෙන යයි. එමෙන්ම මේ ටෙලි නාට්‍යය ජනප්‍රිය නිළියක වන වසන්ති චතුරාණිගේ නිෂ්පාදනකි. ඒ බව ද සඳහන් කරමින් මේ අප සූදානම් වන්නේ ක්‍රිෂ්ටි සමඟ සංවාදයක යෙදීමටය. අරගලය, ඉන්ද්‍රඛීලය, තහනම් ගස වැනි සිනමා නිර්මාණ ගෙන ආ අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම දඩයම ඇතුළු විශිෂ්ට සිනමා කෘති කිහිපයකට විවිධ අංශවලින් දායකත්වය දැක්වූ ක්‍රිෂ්ටිගෙන් සිනමාව පිළිබඳ නොඇසුවොත් එයද අඩුවක් වනු ඇත. එහෙයින් වැඩි වශයෙන් සකුණ පියාපත් ගැන කතා කළද සිනමා ක්ෂේත්‍රය පිළිබඳ අඩු වැඩි වශයෙන්ද මෙහිදී ඔහු අදහස් දැක්වීය.
සකුණ පියාපත් කතා තේමාව ගැන පළමුව කතා කළොත්?
මගේ ගොඩක් නාට්‍ය ලිව්වෙ අරුණ ප්‍රේමරත්න කියන රචකයා. ඔහු තමයි සකුණ පියාපත් නාට්‍යයත් රචනා කරනු ලැබුවේ. මේ කතා සංකල්පය මෙහෙමයි. අවුරුදු 25කට පෙර ගමකින් ගිය ගෑනු කෙනෙක් ඉන්නවා ඇගේ නම මුතු මැණිකේ. ඇය වසර 25ක් ජීවත් වන්නෙ නගරයේ. ඒත් ඇය නගරයේ ජීවිතයෙන් මිදිලා නැවතත් තමන්ගේ ගමට එනවා. එතකොට ඇයට ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගම ගොඩක් වෙනස් වෙලා. ඒ වගේම ඇය වාසය කරපු නිවසේ දුරින් ඥාති වන මල්ලි කෙනෙකුත් ඉන්නවා. අවුරුදු විසි පහකට පසු ගමට ආපු මුතුමැණිකේට ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ගැටුම් ඇති වෙනවා. මෙන්න මේ වගේ කතාවක් තමයි මේ සකුණ පියාපත් සඳහා අන්තර්ගත වෙන්නේ. අපි බොහෝ කරුණු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එනිසා කතා තේමාව මේ ටික කියලා මම නවත්තනවා. තව දෙයක් කියන්නට ඕනේ. ගම හරිම සුන්දර තැනක් කියලා විවිධ නිර්මාණයන් ඔස්සේ සහ මාධ්‍ය ඔස්සේ හුවා දක්වනවා. ඇත්තටම එහෙම ගම්මාන ඇති, ඒත් වැඩි වශයෙන් තියෙන ගම් ඇත්තටම සුන්දර ස්ථාන නෙමෙයි. සමහර විට නගරය ඊට වඩා හොඳයි. මෙන්න මේක කියන්නත් මම උත්සහ ගත්තා සකුණ පියාපත් මඟින්.
සකුණ පියාපත් නිෂ්පාදනය කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරාණි. ඇගෙන් මොනවගේ සහායක්ද ඔබට ලැබුණේ?
ඔය ගැන කතා කරන්න අවශ්‍යයි. කාලයක් තිස්සේ මමයි වසන්තියි ටෙලි නාට්‍යයක් කරන්න ප්ලෑන් කරගෙන හිටියා. ඒ කතාබහ ඔස්සේ තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නට පටන් ගත්තේ. මූලිකව ඇය මේ ගැන කතා කළා මිසක් එතැනින් එහාට කිසිදු බලපෑමක් කළේ නැහැ. වසන්ති තමයි මුතුමැණිකේගේ චරිතයත් රඟපෑවේ. ඇය නිෂ්පාදවරියක් විදිහට විශාල නිදහසක් සහ විශාල සහායක් මට ලබා දුන්නා. මෙහි සම නිෂ්පාදනය ටෙලිවිව් ආයතනය.
සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරද්දි සමහර නාළිකාවලින් මේ මේ නළු නිළියන් ගන්න කියලා නිර්දේශ කරනවා. ඔබට එහෙම බලපෑම් ඇවිල්ලා නැද්ද?
මම අහල තියෙනවා එවැනි දේ සිදු වෙනවා කියලා. ඒත් මේ වෙනකල් මට එවැනි කිසිදු බලපෑමක් ඇවිල්ලා නම් නැහැ. චරිතෙට ගැළපෙන නළු නිළියෝ තමයි මම ගන්නෙ. ඒ වගේම මම වැඩ කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව මම මගේ නාට්‍ය සඳහා නිරන්තරයෙන් සහභාගි කරවා ගන්නවා.
සකුණ පියාපත් නාට්‍යයේ රූපගත කිරීම් ඉවරද?
ඔව් සියලු රූගත කිරීම් ඉවරයි. පොඩි පොඩි දර්ශන කිහිපයක් ගන්න තියෙනවා. ඒක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක්.
සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ටෙලිනාට්‍ය රූපගත කිරීම් කරන්න අපහසුතාවයක් තියෙනවා කියලා නිර්මාණකරුවෝ කියනවා. ඒ ගැන ඔබේ මතය ප්‍රකාශ කළොත්?
ඒ කතාව ඇත්ත. අපිට බොහෝ තැන්වලදි සෞඛ්‍ය ආරක්ෂිත විදිහට වැඩ කරන්න අමාරුයි. මොකද රූපගත කිරීම්වලදී නළු නිළියන්ට අනිවාර්යනේම මාස්ක් ගලවන්න ඕන. විශේෂයෙන් අපි ලොකේෂන් හොයාගෙන ගම් පළාත්වලට ගියාම ඒ මිනිස්සු කැමති නෑ අපි මාස්ක් දාගෙන ඉන්නවට. මගේ නම් යෝජනාව මේ කොවිඩ් වසංගතය උග්‍ර වෙලා තියෙන අවස්ථාවේදී කෙටි කාලයකට හෝ සියලු රූපගත කිරීම් නවත්වන්න අවශ්‍යයි. මේ වෙලාවේදී සමහර පිරිසක් වගකීම් විරහිතව හැසිරෙනවා. ඔවුන් බලන්නේ කොහොම හරි මේ ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කරගන්න. ඒත් මම කියන්නේ ඒ සියලු දෙනාම මේ මොහොතේ, වැඩි කාලෙකට නෙමෙයි කෙටි කාලයකට ටෙලිනාට්‍ය නවත්තන්න. එතකොට මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු කොවිඩ් රෝගයට ගොදුරු වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙයි.
සිනමාකරුවෙක් ලෙසට ඔබ නිහඬතාවයක ඉන්නවා කියලා පේනවා?
ළඟදි මම චිත්‍රපටයක් නිර්මාණය කළා යාත්‍රා කියලා. ඒක තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකත් නිර්මාණය කළේ බොහෝ කාලයකට පසුව. සිනමාවේදී තියෙන ප්‍රධානම ගැටලුව තමයි සිනමාව සඳහා ආයෝජනය කරන නිෂ්පාදකවරයාට ඒ අදාළ ලාභය ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය. ඒ නිසා දෙවතාවක් හිතන්න අවශ්‍යයි සිනමාපටයක් නිර්මාණය කරන්න කලින්.
ලංකාවේ සිනමාවේ පිබිදීමක් ඇත්තටම නැද්ද?
මම දැකපු ප්‍රධාන කාරණා කීපයක් මෙහිදී කතා කරන්නම්. මම හිතනවා ඒකට මේ අවස්ථාව සුදුසුයි කියලා. අපේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පසුගිය කාලේ තිබුණේ බලහත්කාර පිබිදීමක්. මම කියන්නේ එය විවිධ සිනමාපටයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා බලෙන් වගේ ඒවා පිම්බුණා. මෙහිදී තව කාරණයක් මම ඉස්මතු කරනවා චිත්‍රපට ප්‍රදර්ශකයන්ට හෝ සිනමා ශාලා හිමියන්ට තිරගත කරන චිත්‍රපටය ගැන තීරණ ගන්න දෙන්න බැහැ. ඒක සිනමාකරුවකු විදිහට මට අනුමත කරන්නත් බැහැ. මෙහිදී මට කියන්නම වුවමනාව තියෙන්නේ සත් සමුදුර කියන විශිෂ්ට සිනමාපටය පෙන්වා ගන්න අවස්ථාවක් නැති වුණා. අන්තිමේ ඒක පෙන්නුවෙ චිත්‍රපට ශාලා පහක විතර. ඒකටත් අවස්ථාව ලැබුණේ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයාට තිබුණු සිවිල් බලය නිසා. බැරිවෙලාවත් සංස්ථාව නොතිබුණා නම් සත් සමුදුර කියන //////චිත්‍නානම්වත් ///// තිරගත වන්නේ නැහැ. ඒ වගේම ධර්මසේන පතිරාජයන්ගේ සිනමා ජීවිතය අහස් ගව්වෙන් නවතින්න තිබුණා චිත්‍රපට සංස්ථාව කියන ස්ථානය තිබුණේ නැත්නම්. මම කියන්නේ බොහෝ දේවල් පෞද්ගලීකරණය කරන්න ගිහිල්ලා තමයි ඒ වරද්ද ගත්තේ. හොඳම උදාහරණය තමයි පොදු ප්‍රවාහන සේවය. අන්තිමේට ඔවුන් කියන විදිහට තමයි අපිට බස් එකක වුණත් යන්න වෙලා තියෙන්නෙ. සිනමාවට ඒ තත්ත්වය උද්ගත වුණොත් අන්තිම නරකයි. අන්තිමේ ඒ අයට ඕනෑ විදිහට අපිට චිත්‍රපට හදන්න වෙනවා.
චිත්‍රපට සංස්ථාව හොඳයි කියන තැන ඔබ ඉන්නවා. ඒත් බොහෝ සිනමාකරුවන් කියන දෙයක් තමයි චිත්‍රපට සංස්ථාවෙන් අපිට වැඩක් නෑ කියනදේ?
ඒක ආයතනයක් විදිහට වැඩක් නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. ආයතනවලට පත් වන පුද්ගලයන්ගේ තියෙන ස්වභාවයත් එක්කයි ඔය සිනමා සංස්ථාව පිළිබඳ ඔය මතය ගොඩ නැඟිලා තියෙන්නේ. ඔය තැන්වලනේ ඩී. බී. නිහාල්සිංහ මහත්තයලත් හිටියේ. ඉතින් සිනමාවට සේවයක් වුණේ නැද්ද. ඉස්කෝලෙක ප්‍රින්සිපල් හරි නැත්තම් අපි සමස්ත අධ්‍යාපනයම ප්‍රතික්ෂේප කරන්නේ නැහැනේ. ඒ වගේ තමයි මේකත්. වැරැද්ද ඉස්කෝලේ නෙමේ පත්වෙලා එන පුද්ගලයින්ගේ.
මේ ගැටලුකාරී තත්ත්වයන්ට ප්‍රවීණ සිනමාකරුවකු විදිහට ඔබ ළඟ මොනවද තිබෙන යෝජනා?
මම විවිධ රටවල සිනමා ක්ෂේත්‍ර ගැන අධ්‍යයනයක් කරද්දි මට මේක දැනගන්නට ලැබුණෙ. නේපාලයේ තියෙනවා චිත්‍රපට සංවර්ධන මණ්ඩලය කියලා එකක්. ඒ රටේ සිනමා අධ්‍යක්ෂවරුන් උද්ඝෝෂණය කරලා- කරලා සිනමා සංස්ථාව එපා කිව්වට පස්සේ තමයි ඒ මණ්ඩලය හදලා තියෙන්නේ. එකෙන් චිත්‍රපට බෙදාහැරීම ඒ සියලු කටයුතු සිදු වෙනවා. ඒ වගේම මම කියන්නේ චිත්‍රපට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටයක් රසවින්දේ අපේ පරපුරේ කට්ටිය. ඊළඟ පරපුර චිත්‍රපට ශාලාවකටම ගිහින්ම නෙවෙයි චිත්‍රපට රසවිඳීන්නෙ. වෙන වෙන ප්ලැට්ෆෝම් තියෙනවා චිත්‍රපට නරඹන්න. මං හිතන්නේ ඒ පැත්තත් දියුණු කරල ගත්තොත් අපේ සිනමාව තව ටිකක් ඉදිරියට යයි. මම මෙහිදී අදහස් කරන්නේ නෑ චිත්‍රපට ශාලා වහන්න ඕන කියනදේ. ඒත් වෙන වෙන ප්ලැට්ෆෝම් ලෝකේ ඕන තරම් තියෙනවා. ඒවා භාවිත කරමින් සිනමාවේ දියුණු පැත්තක් හොයාගෙන යන්න පුළුවන්.
මේ වන විට වන විට වේදිකා නාට්‍ය පවා ඔන්ලයින් පෙන්වන තත්ත්වයට පත්වෙලා තියෙනවානේ.
ඔබ නිර්මාණකරුවෙක් විදිහට වඩා තෘප්තිමත් වන්නේ සිනමා නිර්මාණයකින්ද ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීමෙන්ද?
මට ඔය දෙකම එකයි. සිනමාව සහ ටෙලි කියන්නෙ මාධ්‍ය දෙකක්. සමහර විට සිනමාවේදී කතා කරන්න බැරි දේ ටෙලිනාට්‍යයකින් කතා කරන්න පුළුවන්. ටෙලි නාට්‍යයකින් කතා කරන්න බැරි දේ සිනමාවේදී කතා කරන්න පුළුවන්. මම කාලයක් වේදිකා නාට්‍ය දෙකක් විතර කළානේ. ඒක වෙනම කලාවක්. මම හිතන්නේ ඔය සියලු දේවලින් අධ්‍යක්ෂවරයෙක් විදිහට තෘප්තිමත් වෙන්න පුළුවන්.
ටෙලි නිර්මාණකරුවන්ගේ ඊළඟ ගැටලුව තමයි ටෙලි නාට්‍යයක් නිර්මාණය කළාට විකාශය කරගන්න නාළිකා නැහැ කියන එක?
අන්න එතැන පොඩි අර්බුදයක් තියෙනවා. ඒත් මම හිතන්නේ ගුණාත්මක ටෙලි නාට්‍යයක් නිර්මාණය කළොත් විකාශය කරගන්න බැරි වෙන එකක් නෑ කියලා.
ඔබේ ඊළඟ නිර්මාණය මොන වගේ හැඩයක් ගත් එකක් වේවිද?
දැනටමත් මම ඊළඟ ටෙලි නාට්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. එකේ නම කුංචනාද. අලි මිනිස් ගැටුම හා සබැඳී කතාවක් ඔස්සේ තමයි ඒක නිර්මාණය වුණේ. ඒකත් රූපවාහිනී රචනා කළේ අරුණ ප්‍රේමරත්න.
ඔබ ප්‍රහසන ටෙලි නාට්‍යයත් නිර්මාණය කළා. වර්තමානය වන විට ප්‍රහසනය කියන මාධ්‍යයෙන් ඔබ ඈත් වෙලාද?
ජීවිත රෝදය සහ සභාවෙන් අවසරයි කියන ප්‍රහසන නාට්‍ය දෙක මම නිර්මාණය කළා. ඒත් ප්‍රහසන නිර්මාණකරණයෙන් මං බැහැර වෙලා නැහැ. වර්තමානයේ මම එහෙම නාට්‍යයක් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. හැබැයි ඒක රූපවාහිනි නාළිකාවට නෙමෙයි, යූටියුබ් එකට තමයි මම ඒ නාට්‍ය නිර්මාණය කරන්නේ.