පුංචි තිරයෙන් නාලන් මෙන්ඩිස් ජාල තිරයට ඇවිත්

ජූලි 22, 2021

 

 

පරිසරයේ වෙනස්කම්වලට අනුව හැඩගැසෙන සත්ත්වයන්ගේ පැවැත්ම තහවුරු වන බවත්, එසේ නොවන්නන් වැනසී යන බවත් එය විද්‍යාවේ ස්වභාවික වරණය සහ උචිතෝන්නුතිය ලෙස හඳුන්වන බවත් අප සියලු දෙනා පාසලේ විද්‍යා විෂයයට ඉගෙන ගත්තා මතක ඇති. කොරෝනා සමය බොහෝ ක්ෂේත්‍රවල නියැළෙන්නන්ට මේ සිද්ධාන්තය මැනවින් පසක් කළ කාලයක්. විශේෂයෙන් විනෝදාස්වාදය හා බැඳුණු ක්ෂේත්‍ර වන වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය ආදි කලා මාධ්‍යයන්වල පැවැත්මට සමාජ දුරස්තීකරණය තදින් බලපෑවා. එහෙත් ඩිජිටල් යුගයේ ජීවත්වන අපට නව තාක්ෂණය සමඟ යමින් මේ තත්ත්වයන් ජය ගන්නත් සොබා දහම බාධා කළේ නෑ. හරියට බැලුවොත් මේ යුගයේ උචිතෝන්නුතියට පත් වුණේ කොරෝනාවෙන් ඇති වූ නව සාමාන්‍යය නම් පරිසර තත්ත්වයට අනුව හැඩගැසෙන්නට පෙලඹුණු අය කීවත් වැරැද්දක් නැති තරම්. මේ වගේ විද්‍යාවට සම්බන්ධ කතා කියන්න පුළුවන් වන්නේ කලාකරුවකු වූ විද්‍යා ගුරුවරයකු අපේ කතා නායකයා වන නිසා. ඔහු ඔබ හොඳීන්ම අඳුනන ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහු කළ පෙරළිය වගේම අලුත් තත්ත්වයට මුහුණ දෙමින් යූ ටියුබයේත් ඔහු අලුත් නිර්මාණයකට අතගසන්නට යන බව සරසවියට පැවසුවා. ඒ වගේම ඔහුගේ පැරැණි නිර්මාණ රැසක් ඉදිරියේදී රසිකයන් වෙනුවෙන් 'නාලන් මෙන්ඩිස් යූටියුබ් ටීවී' ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසන බවත් කීවා. මේ ඔහු කී තොරතුරු එකතුවයි.

"අප රූපවාහිනිය දකින්නේ 1979 ස්වාධීන රූපවාහිනිය ආරම්භයත් සමඟ වුවත් ඒ අත්දැකීම අපට හරියට ලැබෙන්නේ 1982 රූපවාහිනී සංස්ථාව ඇරැඹූ පසුවයි. ටෙලි නාට්‍ය අප දකින්නේ 1984 සිටයි. එතෙක් රූපවාහිනියේ තිබුණේ වේදිකා නාට්‍ය, විවිධ වැඩසටහන් සහ විදේශීය වැඩසටහන්. ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ වඩාත් ජනප්‍රිය වූයේ ටෙලි නාට්‍ය වූ නිසා රූපවාහිනිය කියන්නේ ටෙලි නාට්‍ය කියන තරමට එය වර්ධනය වුණා. ඒ අතර කාලය සහ තාක්ෂණය සමඟ රූපවාහිනී මාධ්‍යය වෙනස් වුණා. දියුණු වුණා. ඇනලොග් මට්ටමේ තිබුණු එය ඩිජිටල් බවට පත් වී අද වන විට ජංගම දුරකථනය නිසා රූපවාහිනිය යනු රසිකයාගේ අත්ල මත තිබෙන දෙයක් බවට පත් වෙලා. ඒ සමඟ අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත වේදිකා පැමිණ තිබෙනවා. මේ වෙද්දි අලුත්ම ප්‍රවණතාව තමයි යූටියුබය. රූපවාහිනිය හැරුණු කොට රූපවාහිනී නිර්මාණ දුරකථනයෙන් ඉදිරිපත් කළ හැකි මට්ටමට එය දියුණු වී තිබෙනවා. දැන් ඇත්තටම රූපවාහිනියේ අනාගතය ඇත්තේ රූපවාහිනී යන්ත්‍රයක තිරය මත නොව, තමන්ගේ අත්ල මත තිබෙන කුඩා ජංගම දුරකථනයේ කියන තැනට පත්වෙලා.

අපටත් ඒ අලුත් මෙවලම් හා තාක්ෂණය සමඟ ගනුදෙනු කරන්න සිදුවෙනවා. දශකයක පමණ සිට යූටියුබය ක්‍රමාණුකූලව වර්ධනය වුණත් එය හරි විදිහට යොදා ගන්නවාද යන්න ගැටලුවක්. මේ වෙද්දි ඉතාම ජනප්‍රිය යූටියුබ අරගෙන බැලුවොත් බොහෝදුරට ඕපදූප, විකට වැඩසටහන්, ඉවුම් පිහුම් ආදියට තමයි යෙදවෙන්නේ. මෑතක ඇති වූ කොරෝනා වසංගතය සමඟ මිනිසුන් නිවෙස්වලට වී සිටීම නිසා යූටියුබය වඩාත් වර්ධනය වුණා. මේ වෙද්දි අපට තිබෙනවා වෙනස් මඟක් ගත් යූටියුබ් නාළිකා කීපයක්. උදාහරණ ලෙස රෝහණ වීරසිංහගේ සංගීත නිර්මාණ ඇතුළත් යූටියුබ නාළිකාව, බන්දුල නානායක්කාරවසම්, සමන් ආතාවුදහෙට්ටි, ජැක්සන් ඇන්තනි සහ ජයන්ත ගලගෙදර වැනි අය පවත්වාගෙන යන යූ ටියුබ නාළිකා හොඳ ප්‍රවණතාවක් ලෙසයි මම දකින්නේ."

 

ඒ පූර්විකාවෙන් පසු ඔහු නාලන් මෙන්ඩිස් යූටියුබ් ටීවී වෙත යොමු විය.

 

"මේ අතර තමයි මම 'නාලන් මෙන්ඩිස් යූටියුබ් ටීවී' ආරම්භ කළේ. පැරැණි ටෙලි නාට්‍ය ඇතැමුන් යූටියුබයට එක් කර තිබුණත් ඉන් ඔබ්බට ගොස් ටෙලි නාට්‍ය පිළිබඳ කතා කරමින්, ඒවාට සම්බන්ධ ශිල්පීන් සමඟ සාකච්ඡා කරන, ඉදිරියේදී අලුත් නිර්මාණ ඉදිරිපත් කරන ආදි වශයෙන් ටෙලි නාට්‍ය සඳහාම වෙන් වුණු යූටියුබ නාළිකාවක් පවත්වාගෙන යෑමයි එහි මූලික අරමුණ වුණේ. දැන් එයට මාස හයක් පමණ වනවා. ඒ කාලය තුළ මගේ මුල් කාලීන නිර්මාණ පිළිබඳ වැඩසටහනක් 'මගේ නිර්මාණ' නමිනුත්, ඒ නිර්මාණවලට දායක වූ ශිල්පීන් සම්බන්ධ වැඩසටහනක් 'චරිත මැවූ චරිත' නමිනුත් එහි ඇතුළත් වනවා. ශ්‍රියාණි අමරසේන, නිල්මිණී තෙන්නකෝන්, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, යශෝධා විමලධර්ම, කැලුම් විජේසූරිය, උදේනි අල්විස් වගේම අප අතර අද නැති හෙන්රි ජයසේන, මානෙල් ජයසේන, එච්. ඒ. පෙරේරා වැනි අය පිළිබඳ වැඩසටහන් එහි ඇතුළත් වනවා. ඉදිරි සතියකදී ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රීනාත් මද්දුමගේ සමඟ ලංකාවේ සිට මම කරන සාකච්ඡාවකුත් විකාශය වීමට නියමිතයි.

නාළිකාව නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ ලොකුම ඉල්ලීම වුණේ දූ දරුවෝ, නෑදෑයෝ වගේ ටෙලි නාට්‍ය නොකඩවා විකාශය කරන ලෙස. එහෙත් ගත වූ කාලය පුරා පැරැණි පිටපත් නැතිවීම, තාක්ෂණයේ සිදු වූ වෙනස සහ සංරක්ෂණයේ අපේ තිබුණු අඩුපාඩුකම් හා අයිතිය පිළිබඳ ප්‍රශ්න ආදිය නිසා එහි ලොකු ගැටලුවක් තිබෙනවා. එහෙත් පස්සේ ගෙනා මනමාලි, පාට සරුංගල්, දූ දරුවෝ, අපේ ඇත්තෝ, සඳලුතලේ වැනි ටෙලි නාට්‍යවල තොරතුරු ප්‍රේක්ෂකයන්ට බලාගත හැකි ආකාරයේ වැඩසටහන් එහි ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා මට සහාය වන්නේ තිලංක බණ්ඩාර, ඉෂාණි අත්තනායක, හසාර මෙන්ඩිස් තිදෙනායි."

 

කෙසේ වෙතත් මේ සතියේ සිට ඔහු කොටස් සියයකින් යුතු ටෙලි නාට්‍යයක් රසිකයන් වෙනුවෙන් විකාශ‌යට කටයුතු යොදන බව කීවේ මෙසේය.

"2013 වසරේ පළමු වතාවට විකාශය වූ අංගනා ටෙලි නාට්‍ය මෙහි ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ සතියේ සිට. එහි ලකී ඩයස්, මොරින් චාරුණී, යශෝධා විමලධර්ම, බිමල් ජයකොඩි, කමල් දේශප්‍රිය, ප්‍රියා රණසිංහ, ගාමිණී හෙට්ටිආරච්චි, රෙබෙකා නිර්මලී, ලියෝනි කොතලාවල සමඟ අලුත් පරපුරේ හර්ෂ තෙන්නකෝන්, රුවංගි රත්නායක, කාවිංග පෙරේරා, විශ්ව ලංකා, වත්සලා දියලගොඩ, නෙතු ප්‍රියංගිකා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුජීව ප්‍රියාල් වැනි පරම්පරා දෙකක ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. මෙහි පිටපත උදය ශාන්ත කුමාරසිංහගේ, කුලරුවන් ගමගේ ගේ පළමුවැනි කැමරාකරණය. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, ගීත රචනය බන්දුල නානායක්කාරවසම්. නෙළු අධිකාරිගේ සහ කපිල පූගලආරච්චිගේ ගායනා මෙයට ඇතුළත්. මෙය රෝමියෝ ජුලියට් කතාවට අලුත් අර්ථකථනයක් ලෙසයි ලියැවුණේ. රූපවාහිනියේ ඉතාම ජනප්‍රිය වූ නිසා නැවත නරඹන්න කැමැති අයගේ ඉල්ලීම මතයි මෙය විකාශය කරන්නේ. ඒ වගේම ඉදිරියේදී දූවරු, වාසනා වේවා වැනි ටෙලි නාට්‍යත් මේ නාළිකාවෙන් ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්."

 

ඔහුගේ නාට්‍යවලට ළැදි පිරිසට අයත් වන්නේ කෙබඳු වයස් කාණ්ඩයේ අයද යන්න මගේ පැනය විය.

"මම කියූ හැම යූටියුබ නාළිකාවක් සමඟ එකතුව ඉන්නේ තරමක මැදි වයසේ පිරිසක්. ඒ කියන්නේ 25-55 අතර වයස් පරතරවල අය. ඒත් ජංගම දුරකථන වැඩිපුර අතේ රඳවාගෙන ඉන්නේ 18-25 අතර වයසේ පිරිස. ඔවුන්ගේ රුචිකත්වය ඇත්තේ සංගීත වැඩසටහන්, පිටරට වැඩසටහන්, විනෝද වැඩසටහන් ආදියටයි. ඔවුන් එවැනි වැඩසටන්වලට ප්‍රිය කරමින් ටෙලි නාට්‍යවලින් ඉවත්වන්නේ ඇයි යන්න මෙන්ම පිටරටවල මාලාටෙලි නාට්‍ය නැරඹීමට ප්‍රවණතාවක් ඇත්තේ ඇයි යන්න අධ්‍යයනය කළ යුතු කරුණක්."

මෙහිදී නැඟුණු තවත් බරපතළ පැනයක් වන්නේ ඩේටා වියදමයි. නාලන් මෙන්ඩිස් නාට්‍යවේදියා ඇතුළු යූටියුබ භාවිත කරන සියලු කලාකරුවන්ට, රසිකයන්ට මෙන්ම වත්මන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන ගුරුවරුන්ට සහ සිසුන්ට පවා ඇති ගැටලුව අන්ලිමිටඩ් නොවන සහ විවිධ අවශ්‍යතාවලටම සැකසූ පැකේජවලින් තොරව නිදහසේ ඩේටා භාවිත කරන විට නයිට් ටයිම් ඩේටා ප්‍රමාණය ඩේ ටයිම් ඩේටාවලට වඩා වැඩි වීමයි. එය රසිකයන්ට මෙන්ම යූටියුබකරුවන්ට බලපාන අන්දම පිළිබඳ විමසූ විට ඔහු එයට පිළිතුරු සැපයුවේ මෙසේයි.

 

"ඇත්තටම සම්බන්ධතා පමා වීම නම් ප්‍රශ්නයක් තමයි. විශේෂයෙන් කොවිඩ් කාලය සමඟ ලොකු ඉල්ලුමක් ඩේටාවලට තිබෙන නිසා වේගය අඩු වී තිබෙනවා කියලයි සමහර ආයතන කියන්නේ. ඇත්තෙන්ම කොවිඩ්වලට පෙර තිබුණේ සිසුන් ජංගම දුරකථන පාසල් ගෙන යෑම තහනම් අවදියක්. අද වෙද්දි එය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. කලින් නොතිබුණු දැඩි ප්‍රවණතාවක් මාර්ගගත අධ්‍යාපනයට තිබෙනවා. කාලයක් තිබුණා මුළු රටම වයිෆයි කලාපයක් කරන බවට අදහසක්. ඒවා දැන්වත් ක්‍රියාත්මක වනවා නම් හොඳයි. තවත් යෝජනාවක් තිබුණා සියල්ල අන්ලිමිටඩ් ඩේටා පැකේජ බවට පත් කරන. ඒ වගේම උදේ වරුවට ලැබෙන ඩේටා ප්‍රමාණය අඩු වීම නිසා බොහෝ දෙනකු නිදිමරන්න පෙලඹවීමක් ඇති වනවා. එය සෞඛ්‍යයට අහිතකර වන්න පුළුවන්.

පසු ගියදා විවෘත කළා වුවත් මේ වෙද්දි වේදිකාව, සිනමාව ඇනහිටලා. අප මෙතුවක් කල් යෙදී සිටියේ විනෝදාස්වාද කර්මාන්තයේ. එය වසරකට වැඩි කාලයක් නැවතී තිබෙනවා. සිනමා ශාලා සෑහෙන කාලයක් වැහිලා තිබුණා. එහි තේරුම චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොවීම පමණක් නොවෙයි. එතැන ටිකට් විකුණන අයට, කඩල විකුණන අයට පවා එය බලපානවා. සංගීත සන්දර්ශනවල වුවත් තත්ත්වය එයයි. වේදිකා තනන්නන්, ශබ්ද විකාශන යන්ත්‍රකරුවන් සිට අයිස්ක්‍රීම් විකුණන්නා දක්වා එය බලපානවා. වේදිකා නාට්‍යවලටත් මෙය පොදුයි. එ නිසා කලාකරුවන් බොහෝ දෙනා යොමු වුණා යූටියුබයට. මොකද නිවෙසේ සිට නිර්මාණ රසවිඳීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන්. ඒ නිසා එයට ඇති බාධා ඉවත් කිරීම තමයි ආයතනික මට්ටමින් සිදු විය යුත්තේ."

 

මේ නාළිකාවට සුවිශේෂී බලාපොරොත්තුවක්ද තිබේ.

"ඔව්. මගේ ඉදිරි බලාපොරොත්තුව යූටියුබය වෙනුවෙන්ම කෙරෙන නාට්‍ය නිර්මාණ කීපයක් විකාශය කිරීම. ටෙලි නාට්‍ය හා යූටියුබ නාට්‍යවලත් ඇතැම් වෙනස්කම් තිබෙනවා. විශේෂයෙන් මෙහි තිරය ඉතා කුඩායි. ඒවා ගැන අවධානය යොමු කර යූටියුබ් කතා මාලාවක් නිර්මාණයට අදහස තිබෙනවා. ඕනෑම දෙයක් හොඳට හෝ නරකට යොදා ගන්න පුළුවන්. යූටියුබයත් එහෙමයි. දැනට වැඩිපුර යොදාගෙන තිබෙන්නේ නිසරු දේවල්වලට. ඒත් පවතින තත්ත්වය සමඟ ප්‍රේක්ෂක රසවින්දනය හා අවබෝධය වෙනුවෙන් එය යහපත් අන්දමින් ප්‍රයෝජනයට ගැනීමයි වඩා වටින්නේ."