සතුට විතරයි අතින් පාඩුයි

කකුළුවෝ සහ මකුළුවෝ හැදූ සුරංග සෙනෙවිරත්න
ජූලි 22, 2021
කකුළුවෝ සහ මකුළුවො නිෂ්පාදන පිරිවර. 
කැමරාකරණය සහ ආලෝකකරණය  :- විමර්ශන  රත්නායක. 
සංගීතය සහ ගීත ගායනය :-  සම්පත් රන්දීර් / දිනේශ් තරංග.
කලා අධ්‍යක්ෂණය  :- සුරංග ප්‍රදීප්.
අංග රචනය :- පූජිත සන්දාදුර.
නිර්මාණ සේවා කළමනාකරණය :-  දිනිඳු ඒකනායක.
සම්බන්ධීකරණය :- සුසන්ත පියසිරි.
පාලිත බී. රත්නායක.
නිෂ්පාදන කළමනාකරණය :-  මාලක විතානගේ.
ප්‍රධාන සහය අධ්‍යක්ෂණය :-  හසන්ත දිසානායක
 

එකිනෙකට වෙනස් ටෙලි නිර්මාණ තැනීමට ඔහු හපනෙකි. අංගානි, අනවරථ, කොළඹ අපි ආවා, ඊට හොඳම උදාහරණ වේ. මේ නිර්මාණකරුවා අධ්‍යක්ෂණය කළ තවත් නිර්මාණයක් මේ දිනවලදී විකාශය වේ. ඒ 'කකුළුවෝ සහ මකුළුවෝ' ය. අභියෝග රැසක් මැද නිර්මාණය වූ ඒ ටෙලි සිතුවමේ වැඩිපුරම රඟපෑමෙන් දායක වන්නේ නවකයන්ය. එහෙත් එය ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබේ. සුරංග ලක්මාල් සෙනෙවිරත්න මේ නිර්මාණකරුවාය. රූපවාහිනී මාධ්‍යය තුළ වසර ගණනාවක අත්දැකීම් ඇති ඔහු වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ටෙලිනාට්‍ය අංශ ප්‍රධානියෙක් ලෙසට කලක් කටයුතු කළේය. අර්බුදකාරී වාතාවරණයක් මැද නිමවූ කකුළුවෝ සහ මකුළුවෝ ගැන සුරංග අපත් සමඟ කතාබහක නියැළුණේ මේ අන්දමිනි.

 

'කකුළුවෝ සහ මකුළුවෝ' ටෙලි නාට්‍යය නිර්මාණය වූ පසුබිම් කතාව ගැන තමයි මුලින්ම මං අහන්නේ?

මේක අනේක විධ අභියෝග මැද නිර්මාණයවූ ටෙලිනාට්‍යයක්. අභියෝග කියනවාට වඩා අර්බුදකාරී තත්ත්වයක් කියන වචනය සුදුසුයි. 'කොළඹ අපි ආවා' ටෙලි නාට්‍යයේ නිර්මාණයෙන් පසුව මම ඊළඟ නිර්මාණය ගැන හිතමින් හිටියා. ඔය අතරතුරදි තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඇප් එකක් වෙනුවෙන් නිර්මාණය කළා. ඒ ඇප් එකට තමයි කකුළුවෝ සහ මකුළුවෝ කියන ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නට මම පටන් ගත්තේ. ඒත් කොටස් කිහිපයක් නිර්මාණය කරගෙන යද්දි ඒ ඇප් එකේ යම් යම් ප්‍රශ්න මත මට ඒකට නාට්‍යය දෙන්න බැරි වුණා. ඊට පසුව මම නාට්‍යය අතහැරලා දාලා වගේ තිබුණේ. මට හිතුණා මේක රූපවාහිනී නාළිකාවකට නිර්මාණය කරලා දෙන්න. මොකද එකක් කකුළුවෝ සහ මකුළුවෝ කියන්නේ වෙනස්ම අන්දමේ කතා පුවතක් තිබුණු නාට්‍යයක්. ඔය අතරතුරදී මට තවත් ප්‍රශ්නයක් එනවා. ඒ කලින් කළ කොටස්වලට දායක වුණු ප්‍රධාන පෙළේ නළු නිළියන් පස්දෙනෙක්ම නැවත නාට්‍ය නිර්මාණය කරද්දි එන්න බැහැ කියලා කියපු එක. ඒගොල්ලො පිළිතුරු ලෙස ලබා දුන්නේ දින නැහැ කියලා. මම ඇත්තටම දන්නෑ ඒ වගේ ප්‍රශ්න තිබුණද නැද්ද කියන එක. එහෙත් ඔවුන් ආවෙ නැහැනෙ. ඊට පස්සෙ මම තීරණයකට ආවා. ඒ චරිතවලට වෙන අය අරගෙන නිර්මාණය කරන්න. මේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට එන නවකයන්ට තැනක් හදලා දෙන්න ඕනෙ කියන කාරණය මගේ හිතේ කලක සිට තිබුණු දෙයක්. ඒ නිසා මම පටන් ගත්තා 'අපේ ටීවී ඇකඩමි' කියලා පොඩි ආයතනයක්. ඒකෙ අවුරුදු හයේ සිට හැට දක්වා පිරිසක් රංගනය පිළිබඳ ඉගෙන ගන්නවා. ඊටත් වඩා මට ඕනේ කැමරාවට කෙනෙක් ෆේස් කරන්නේ කොහොමද කියලා උගන්වන්න. මාසෙකට සැරයක් මොකක් හරි ප්‍රැක්ටිකල් වැඩකුත් කරනවා. එහි ඉන්න ශිෂ්‍යයකුගේ පියෙක් තමයි මේ කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍යයේ ඊළඟ ටික නිර්මාණය කරන්නට මුදල් යෙදෙවුවේ. ඇකඩමියේ ඉන්න සීයක් පමණ පිරිසක් කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍යට සම්බන්ධ කරගන්න මට හිතුණා. ඒක තවත් ලොකු අභියෝගයක්. මොකද වර්තමානය වෙනකොට රූපවාහිනී නාළිකා මුලින්ම අහන්නේ නාට්‍යයේ කවුද ජනප්‍රිය නළුවන් ඉන්නේ කියලා තමයි. මේ තත්ත්වය මැද මම අලුත් පිරිසක් දාලා මේ නාට්‍යය නිර්මාණය කළා. ඊට පස්සේ නාට්‍යය විකාශය කරගන්න මම ප්‍රධාන පෙළේ නාළිකා කිහිපයකට බාරදුන්නා. එක් නාළිකාවකින් පාස් වෙලත් තිබුණා. ඒත් ඔවුන් විවිධ ප්‍රශ්න කිය කිය කල් දැම්මා. නාට්‍ය ගණනාවක් පෝලිමේ තියෙනවා කියලා කිව්වා. ඒත් අද හදන නාට්‍ය වුණත් පහුවෙනිදා විකාශය වන තත්ත්වයක් තියෙනවනෙ. මම දන්නෑ ඇයි මගේ නාට්‍යය කල් ගියේ කියලා. අවසානයේදී සියත නාළිකාව මේ නාට්‍යය විකාශය කරන්නට බාරගත්තා.

ඔබ හිතූ පරිදි මේ නාට්‍යයෙන් ලාභයක් ලැබුණද?

ඔය ප්‍රශ්නයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මගේ පළවෙනි නාට්‍ය තමයි 'අංගානි' කියලා කියන්නේ. අංගානිවලට ලැබුණු මුදලට වඩා අඩු මුදලක් අනවර්ථ නාට්‍යය සඳහා ලැබුණෙ. අනවරථ වඩා අඩු මුදලක් තමයි කොළඹ අපි ආවා එකට ලැබුණෙ. මේක නිකන් හරියට ප්‍රස්තාරයක් විදිහට බැලුවොත් මිල පහළ යනවා. කකුළුවො සහ මකුළුවො නාට්‍යය විකාශය කරගන්න අපිට අනුග්‍රහයක් හොයන්න වුණා. එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නාට්‍යයෙන් ලාභයක් අපිට නැහැ පාඩුවක් මිසක්. ටෙලි නාට්‍යය විකාශය වුණා කියන සතුට විතරයි හිතේ තියෙන්නෙ. ඒ වගේම තවත් පරපුරකට මේ මඟින් එළියට එන්න පුළුවන්කමක් ලැබුණා. ඒ ගැනත් සතුටක් තියෙනවා. සුසන්ත, දිනිඳු, මාලක, පාලිත යන අය මේ වෙලාවේ මතක් කරනවා. ඔවුන් මගෙ ප්‍රබල නළුවන් සහ මගෙ ප්‍රබලම ගෝලයො. ඒ අයගෙ අප්‍රතිහත ධෛර්යය හා නිෂ්පාදක රවීන්ද්‍ර ප්‍රියදර්ශන නිසා තමයි අපි මෙච්චර දුර ආවේ.

 

ඇත්තටම මේ ටෙලි නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නෙ?

මම මේ කියන ප්‍රකාශය වැරදියට තේරුම් ගන්න එපා. යම් ක්ෂේත්‍රයක ප්‍රගමනය උදෙසා අලුත් පිරිසක් එකතු වෙන්න ඕනෙ. ඒත් ඒකට විදිහක් තියෙනවානේ. මම හොඳට දැකලා තියෙනවා සහාය අධ්‍යක්ෂණයට එකතුවෙලා එක නිර්මාණයකට පමණක් දායක වෙලා පසුව සියලු දේ දන්නවා කියලා හිතා ගෙන ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන අය කොච්චර නම් ඉන්නවද. සහාය අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂණය කරන්න එපා කියන එක නෙවේ. අත්දැකීම් එක්කයි නිර්මාණකරුවන් බිහි වෙන්න ඕනේ. රුපියල් අසූදාහට ටෙලි නාට්‍යයක කොටසක් නිර්මාණය කරන අය ඕනෙ තරම් ඉන්නවා. ඇයි එච්චර පල්ලෙහාට නිර්මාණකරුවන් වැටිල තියෙන්නෙ.

අපි වසර ගණනාවක් මේ ක්ෂේත්‍රය අධ්‍යයනය කළා. රූපවාහිනි නිර්මාණකරුවෙක් විදිහට ටැලන්ට් ෆැක්ට්‍රි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අලුත්ම වැඩසටහන් කිහිපයක් අපි පටන් ගත්තා. කාගෙද ගී නද, සවනට වදනක්, අහන්න ආසයි ගයන්න, ඒ කීපයක්. කවුරුවත් හිතුවද මේරියන්ස් නලීන් නිවේදකයෙක් විදියට දායක කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒක කළා. අදටත් මිනිස්සුන්ට ඒ වැඩසටහන් මතකයි. පසුකාලීනව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න ආවෙ. එතකොට අපි අවුරුදු ගණනාවක් මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගෙන. අද වන විට ඒ තත්ත්වයක් නෑ. ඇත්තටම ඉගෙන ගන්න තැනකුත් නැහැනේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ නම් හැදෑරීම අත්‍යවශ්‍යයි.

ඔබේ දියණියත් කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍යයේ රඟපානවා නේද?

ඔව්. දුවගේ නම සියාරා ගඟුලි සෙනවිරත්න. ඇය මේකේ හොඳ චරිතයක් රඟපානවා. දුවගේ රඟපෑම ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා හැමෝම කියනවා. ඇය මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාවි කියලා විශ්වාසයකුත් තියෙනවා.

 

මේ ටෙලිනාට්‍ය කලාවේ අර්බුදයන් විසඳීමට මොනවා හරි සැලසුම් ඔබේ හිතේ තියෙනවද?

ටෙලිනිස හැරුණුකොට තවත් සංගම් කිහිපයක් පටන් ගත්තානේ මේ කලාවේ උන්නතිය උදෙසා. කාලයාගේ ඇවෑමෙන් දේශපාලනයට නතුවීම නිසාදෝ මම දන්නෙ නෑ ඒවායේ ඉදිරි පැවැත්මක් තිබුණේ නෑ. මම කියන්නේ සමස්තයක් විදිහට මේ වැඩපිළිවෙළ හදන්න ඕනේ. ඒකට ටෙලිනාට්‍ය පිළිබඳ වගකීමක් දරන්න හැකි පරිදි මොකක් හරි දෙපාර්තමේන්තුවක් අනුයුක්ත කරන්න වෙනවා. ඒ මඟින් අනුමත වූ නාට්‍ය පමණක් විකාශය වෙනවා නම් මේ තත්ත්වය වඩා හොඳ වේවි. ඕනම දෙයක් කරන්න ක්‍රමවේදයක් තියෙනවානෙ. අපිට හිතූ හිතූ පරිදි නව නිෂ්පාදන වෙළෙඳපොළට, සමාජයට මුදා හරින්න බෑනේ. ඒ වගේ තමයි ටෙලි නාට්‍යයක් වුණත්. මේක යම්කිසි තැනකින් අනුමත වෙලා විකාශය වෙන්න ඕනේ.