සොඳුරු අරගලයක ආදර කතාවක්

මැයි 20, 2021

ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය රාශියක් රචනා කළ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ නවතම රූපවාහිනී රචනය "කියාදෙන්න ආදරේ තරම්" මේ දිනවල සිරස ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. එය ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයකි.

රෙදි මෝල වත්ත නම් නැති බැරි මිනිසුන් වෙසෙන පෙදෙසක පේළි ගෙයක් ඉලක්ක කොට ගනිමින් ගොඩනැගෙන මෙම ටෙලි වෘත්තාන්තය දිරියෙන් ශක්තියෙන් වෙර වීරයන් පවුලක් ගොඩගන්නට තනන මවක් වටා ගෙත්තම් වෙයි. ඇගේ සැමියා පවුල අමතක කරමින් විනෝදයෙන් දිවි ගෙවන ලැජ්ජාවක් බයක් නැති තැනැත්තෙකි. රෙදි මෝල වත්තේ සංස්කෘතිය විසින් ගිලගත් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත ද විසිර ගොසිනි. ඇගේ එක් දරුවකු ඇති හැකි ධනවත් පවුලක යුවතියක් හා ඇති කරගන්නා ගිවිසුමක් හේතු කොට ගෙන ඔවුන්ගේ ජීවිත නොසිතූ නොපැතූ මානයකට ගලායයි. ජීවත් වන්නට අප්‍රමාණ දුක් විඳීන ඔවුන් සතුටත් ආදරයක් රැකගන්න මහා අරගලයක යෙදේ. ඒ අරගලය විටෙක සොඳුරුය. විටෙක අඳුරුය. තවත් විටෙක අසන්නන් දකින්නන් තුළ සිනහා උපදනසුලුය.

එකී සොඳුරු අඳුරු හාස්යෝත්පාදක සිදුවීම් හැඩ කරන්නට දුලීකා මාරපන, විල්සන් ගුණරත්න, ප්‍රියන්ත සෙනවිරත්න, මීනා කුමාරි, ශලනි තාරකා, විශ්ව කොඩිකාර සවින් ලියනගේ, ගයාන් වික්‍රමතිලක, යාෂ් වීරසිංහ, ශිරාන් ශාන්ත, සචින්තනී කෞෂල්‍යා, ඉෂාර මධුසංඛ, ලසඳුනි ජයවර්ධන, මිලින්ද සඳරුවන්, සිල්වියා සෙනවිරත්න සමඟ ළමා නිළි පහන්දි නෙතාරා රංගනයෙන් දායක වේ.

"කියාදෙන්න ආදරේ තරම්" හි කැමරා අධ්‍යක්ෂණයෙන් චානක සංජීව ද සහාය අධ්‍යක්ෂණයෙන් වසන්ත අමරසිංහද අමරසිංහ ද අංග රචනයෙන් සමීර මධු කිඳෙල්පිටිය ද කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රියංකර ගාල්ලගේ ද නිෂ්පාදන කළමනාකාරීත්වයෙන් ශාන් ජයරත්න ද සංස්කරණයෙන් වජිර පෙරේරා ද දායක වෙයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය උදාර සමරවීරගෙනි. දිලාන් දේවින්ද රචනා කළ තේමා ගීතය ගයන්නේ අමිල පෙරේරාය.