මම ඇක්ෂන් කියන කොට ශනුද්‍රි නිදි

චාමර ජයවීර දිවිතුරා සිදුවීමක් කියයි
මැයි 13, 2021

 

සිහිසරේ සත්සරේ- මා නොදුන් ඒ සෙනේ

ගීතයෙන් මත්වෙලා - දිවිපුරා ගයනවා...

මේ දිනවල බොහෝ දෙනෙකුගේ මුවඟ කොඳුරන මේ ගීත කාණ්ඩය රැගත් තේමා ගීතය අපට ඇහෙන්නේ රාත්‍රී 8.00 ට හිරු ටීවී නාළිකාවෙන්. ඔවුන්ගේ නවතම ටෙලි නිර්මාණය 'දිවිතුරා' පිළිබඳ එහි අධ්‍යක්ෂ චාමර ජයවීර සරසවිය අපේ ටෙලිකතාවට අදහස් දැක්වූයේ මෙලෙසින්.

දිවිතුරා ගොඩනඟන්න මුලපුරන්නේ කොහොමද?

උසස් ප්‍රමිතියේ ටෙලිනාට්‍යයක් කිරීමේ අදහසින් හිරු ටීවී නාළිකා ප්‍රධානිතුමාගේ අවශ්‍යතාවය මත මේ පිළිබඳ කතා කිරීමෙන් අනතුරුව වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්තගේ කතා සංකල්පයෙන් අප සියලු දෙනා එක්වී දැනෙන හැඟෙන වැඩක් කිරීමේ අරමුණින් මේ නිර්මාණය ආරම්භ කළා. ඉන් පසුව මෙහි පිටපත ලිවීම සඳහා කෞශල්‍ය පතිරණ සම්බන්ධ කරගත්තා. කැමරාකරණය සඳහා ඉතාම දක්ෂ කැමරා ශිල්පියෙකු කෙනෙක් වන විශ්වජිත් කරුණාරත්න සම්බන්ධ කරගත්තා. මූලිකවම මේ කතාව ගොඩනැඟෙන්නේ අගස්ති කියන චරිතය වටා. එහිදී මෙතෙක් නළුවෙක් විදිහට වැඩ කරලා නැති, නමුත් සංගීත ලෝකයේ නමක් දිනූ හෙක්ටර් ඩයස්ව සම්බන්ධ කර ගත්තා.

 

මෙතෙක් නළුවෙක් විදිහට නොවුණ අයෙක් කතාවේ ප්‍රධාන චරිතයට තෝරාගෙන ඔබ අධ්‍යක්ෂවරයා විදිහට ලොකු අභියෝගයක් භාරගෙන තියෙන්නේ?

එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නෑ. මොකද හෙක්ටර් කියන්නේ සංගීතයෙන් ඉහළට ගිය අයෙක්. ඔහුට රංගනය පැත්තෙන් අවබෝධයක්, අභාසයක් හා අධ්‍යයනයක් නොතිබුණු කෙනෙක්. නමුත් රංගනය පිළිබඳ මා හට ඇති දැනුම හා මගේ අත්දැකීම් භාවිත කරලා ඔහු තුළින් නිර්මාණයට අවශ්‍ය දේ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. අද වන විට එහි සාර්ථකත්වය ලැබී තියෙනවා. එය ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා

වෙනත් ටෙලිනාට්‍ය සමඟ 'දිවිතුරා' වෙනස් වෙන්නේ කොහොමද?

මම නිර්මාණකරණයෙන් මිදිලා ආයතනයේ නිලධාරියෙක් ලෙස කටයුතු කරන කෙනෙක් හැටියට මේ වගකීම්වලින් මිඳුණු කාලයක වෙනස්ම නිර්මාණයක් සුන්දරව කරන්න ඕන කියන සිතුවිල්ල මට තිබුණා. ඒ සිතුවිල්ලට මේ ලැබුණු අවස්ථාවට අනුවර්තනය කළා. ඒ තුළ චිත්‍රපටයක් හා සමානව ටෙලිනාට්‍යයකට එහා ගිය ලස්සන රූපරාමු, තාක්ෂණය, හා සංස්කරණයේදී කරන වර්ණ ගැන්වීම් විශේෂයෙන්ම මේ සියල්ලෙන් පසුවයි ප්‍රේක්ෂකයා අතරට මේ නිර්මාණය ගෙනියන්නේ. ඒ නිසාම මෙය වෙනස් සහ අලුත් හැඩයක් ඇති නිර්මාණයක් ලෙස හැඳීන්විය හැකියි.

 

වෙනදා අපි තිරයේ දකින නළු නිළියන්ට මේ නිර්මාණයේ වෙනස්ම හැඩයක් එකතුකරලා?

සභාපති ඇතුළු අප සියලු දෙනාගේ වුවමනාව වුණේ මෙහි මුදලට එහා ගිය නිර්මාණත්මක ගුණය ඉස්මතු කරවීම. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයකට වියදම් නොකරන මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවා. එහිදී ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ අත්දැකීම් සපිරි කාර්මික ශිල්පීන් පිරිසක් මෙයට සම්බන්ධ වනවා. ඛ්ධඵබභථඥ ඤඥඵඪඨදඵවලට වෙනම ශිල්පියෙක් ඉන්නවා. ප්‍රවීණ වේෂ නිරූපන ශිල්පියෙක්, විශේෂ කැමරාකරුවෙක්, විශේෂ ප්‍රයෝග සඳහා අයෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් වගේම රූ ගත කිරීම් කිරීමට යොදාගන්නා වාහනයේ ඉඳලා නිර්මාණයට අවශ්‍ය හොඳම දේ ලැබීම තුළ නිර්මාණය පොහොසත් හා ගුණාත්මක මට්ටමක තබා ගැනීමයි අපේ වෑයම. ඒ තුළ රංගන ශිල්පීන්ටද වෙනස්ම හැඩයක් එකතුවෙලා තියෙනවා.

 

මේ චරිත නිර්මාණය කරන්න, ඒවාට ජීවය දෙන්න මොනවගේ ප්‍රයෝගද භාවිත කළේ?

මගේ අත්දැකීම් එක්ක අධ්‍යක්ෂණයේදී ඔවුන්ට ඒ ඒ චරිත පිළිබඳ හා අවශ්‍ය නිරූපණය පැහැඳීලි කර දීම සිදු කරනවා. ඒ වගේම නිර්මාණය ආරම්භයට පෙර සියලුම රංගන ශිල්පීන් කණ්ඩායමක් ලෙස ලංකාවේ අති දක්ෂ ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා මහතා සම්බන්ධ කර ගනිමින් දින දෙකක කාලයක් රඟපෑම හා දෙබස් පිළිබඳ වැඩමුළුවක් කළා. එය ලොකු පිටුබලයක් වුණා නිර්මාණයට. මහේන්ද්‍ර අයියත් කිසිදු ලෝබ කමකින් තොරව ඔහුගේ අත්දැකීම් මේ අය හා බෙදා ගත්තා. එව් වගේ සාමාන්‍ය නිර්මාණයක නොවන දේවල් මේ නිර්මාණය වෙනුවෙන් සිදු කළා.

ඒ වගේම නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න නළු නිළියන් ඉතාම ලොකු කැප කිරීමක් කරනවා. ඒ අයගේ උපරිම දායකත්වය මෙයට ලබා දෙන නිසයි මේ නිර්මාණය මේ ආකාරයට සාර්ථක කර ගැනීමට හැකී වී තිබෙන්නේ.

 

රූ ගත කිරීම් නුවර එළියට අරන් ගිහින්?

ලංකාවේ මෙගා නාට්‍ය කිව්වම කොළඹ අවට දර්ශන ඉසව් තමයි බොහෝවිට යොදා ගන්නේ. නිර්මාණයට යොදන පිරිවැය සමඟ එය ගළපා ගත යුතු නිසයි බොහෝ විට එවැන්නක් සිදු වන්නේ. මෙය තියෙන බජට් එකට ලොකේෂන් හොයලා කරන වැඩක් නොවෙයි. පිටපත් රචකයා හා අධ්‍යක්ෂවරයා නිර්මාණය කරන චිත්‍රය ඒ ආකාරයටම ගොඩනැඟීමටයි උත්සාහ ගන්නේ. නිර්මාණයට අවශ්‍ය දර්ශන ඉසව්ව මොකද්ද අපි එතැනට ගිහින් රූ ගත කිරීම් කරනවා.

 

රූ ගත කිරීම්වලදී සිදු වූ රසවත් තැන් සිදුවීම් බොහෝ ඇති?

අපෝ ඔව්. කොළඹින් එපිට මේ රූ ගත කිරීම් සිදු කරන්නේ. එය හරිම වෙහෙසකර ගමනක්. ශිල්පීන්ට හරි විඩාවයි. නමුත් එය වඩාත් හොඳීන් සිදු කළයුතු නිසා පාන්දර මේකප් කරගෙන සෙට් එකට එනවා. සමහර වෙලාවට මම ස්ටෑන්ඩ් බයි, ඇක්ෂන් කියන කොට සනුද්‍රි නිදි.

හෙලිකොප්ටර් රූගත කිරීමේදී මම හෙක්ටර්ට කිව්වා කොළඹ ඉදලා නුවරඑළියට හෙලිකොප්ටර් එකේ යන්න ඕන කියලා. ඉතින් හෙක්ටර් මගෙන් අහනවා මචං මේකට ඉන්ශුවරන්ස් එකක් තියෙනවාද කියලා.

අතුල අධිකාරි මේ වැඩේට ඕන නිසා ඔහුගේ බල්ලත් සම්බන්ධ කරගත්‍තා කියලා ආරංචියි?

අතුල කියන්නේ තනිකඩ ජීවිතයක් නිර්මාණය තුළ. ඔහුගේ තනිකමට කිසියම් හෝ කෙනෙක් හිටියනම් හොඳයි කියන තැන අපි හිටියා. අතුලට අපි ටෙලිනාට්‍යය ආරාධනා කරනවිට ඔහු මෙයට කැමැත්තක් දැක්වුවත් ඔහු කීවා මාත් එක්ක ජීවීතේ වගේ ළඟින් ඉන්න්ද් කොකෝ දාලා දවස් දෙක තුන රූ ගත කිරීම්වලට ඉන්න බැරිවෙයි කියලා. ඒකත් එක්ක අපි යෝජනා කළා ඔහුට ඔහු එනවිට ඔහුගේ සුරතලා කොකෝවත් අරන් එන්න කියලා. කොකොත් වෘත්තීය වශයෙන් ඇක්ෂන් කිව්වම ඇවිත් අදාළ පොශිෂන් එකේ ඉන්න මට්ටමටම හැඩ ගැහිලා.

 

ටෙලිනාට්‍ය තුළ බොහෝවිට නොපෙනෙන නැති මුහුණු ටිකක් ඔබ නිර්මාණයට එකතු කරලා?

අද නාළිකාවල යන නිර්මාණ දිහා බලනවිට එකම නළු නිළියන් කොටසක් තමයි ඉන්නේ. ඉස්සර අපි දන්නවා නළුවෙක් හෝ නිළියක් යම් නිර්මාණයක් භාර ගත්තම වෙනත් එකකට සම්බන්ධ වෙන්නේ එහි නිමාවෙන් පසුව. නමුත් අද වන විට බොහොම අතලොස්සක් හැම නිර්මාණයේම ඉන්නවා. ඒ තුළ ප්‍රේක්ෂකයාගේ ඇසට වෙනසක් අලුත් යමක ගෙන ඒමටයි මේ ප්‍රයත්නය.

මේ නිර්මාණය හොඳ ටීම් වර්ක් එකක්?

අධ්‍යක්ෂවරයා විදිහට තනි වුවමනාව තනි කැමැත්ත තනි දක්ෂතාවය දැක්ම කොයිතරම් ප්‍රභල වුණත් අනෙකුත් ශිල්පීන්ගේ උදවුව නැතිනම් අධ්‍යක්ෂවරයා දකින සිහිනය සැබෑ කරගන්න බෑ. මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි. මගේ හිතේ තියෙන නිර්මාණයේ ආකාරයෙන්ම අඩුවක් නැතුව ප්‍රේක්ෂකයාට ගෙනියන්න පුළුවන් වුණේ ඒ ලැබෙන සහයෝගයත් එක්ක. හිරු ටීවී නාළිකාවට මානව සම්පත් වගේම භෞතිකවත් ලොකු සම්පත් ප්‍රමාණයක් තියෙනවා.