සනත් යළි පුංචි තිරයට : ‘ඉම’ වැඩ අරඹයි

මැයි 13, 2021

සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක දිගු කලකට පසු රංගනයේ යෙදෙන නවතම ටෙලි නිර්මාණය 'ඉම' පසුගිය දා වැඩ කටයුතු ආරම්භ කළේය. ටයිටස් තොටවත්තයන්ගේ 'රන්කරඬුව' ටෙලිනාට්‍යය සනත් ගුණතිලකගේ පළමු ටෙලි නාට්‍යය අත්දැකීමයි.එදා මෙදාතුර ඉතා අල්ප වශයෙන් පුංචි තිරය හා සම්බන්ධ වුණු සනත්ගේ මේ නවතම නිර්මාණය ප්‍රේක්ෂකයාට අලුත් වෙනස් අත්දැකීමක් වේවී කියලයි ' ඉම ' අධ්‍යක්ෂ චරිත් අබේසිංහ සරසවියට ප්‍රකාශ කළේ. සත්‍යා, මිණිගංදෑල, ගැමුණු මහරජ ආදී ලාංකේය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත් නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු වන චරිත් අබේසිංහගේ 'ඉම' ප්‍රාසාංගික ටෙලි නාට්‍යයේ පිටපත හා සංකල්පයද කැමරාකරණයද ඔහුගේම ස්වතන්ත්‍රයකි. රියැලිටි වැඩසටහන් හරහා බිහිවන තරු වලට අවසානයේදී මුහුණ දීමට වන ඉරණම හා පරිහානිය කතා තේමාව කොට ගනිමින් නිර්මාණය වන මෙය නිෂ්පාදනය කරනුයේ සම්පත් වෙදගේ විසිනි. සංගීතය චතුරංගද සිල්වාගෙනි. ගීත දහයකට අධිකව ඇති මේ ප්‍රාසාංගික ටෙලිනාට්‍යයේ ගී පද රචක ශෙහාන් ගලහිටියාවයි. ගම්‍යා විජේදාස, රවීන් කණිෂ්ක, චමීෂා දිසානායක, ප්‍රමුඛව නළු නිළියන් රැසකගේ සහාභාගීත්වයෙන් නිමැවෙන මෙය සංගීතමය නිර්මාණයක් ලෙසයි අධ්‍යක්ෂක චරිත් අබේසිංහ හඳුන්වන්නේ.