පැසසුම් ලබන Mare of Easttown

මැයි 13, 2021

ඇමෙරිකානු සහ පොදුවේ බටහිර රූපවාහිනී නාට්‍යමාලා අතර 'කුඩා නගරයක' සිදුවන අතුරුදන්වීමක්, මනුෂ්‍ය ඝාතනයක් හෝ ඝාතන පාදක කොට ගෙන නිර්මාණය වූ අපරාධ - නාට්‍යමාලා බොහොමයකි. True Detective, Twin Peaks, The Fall, Broadchurch, Happy Valley, Dark, Retribution, The Missing, Fargo, The Killing, The Sinner, The Chalet, Tidelands, Ozark, Mindhunter, La Mante, The Forest, Deadwind, Borderliner, Top of the Lake, Glitch, Bloodline සහ The Innocent Man ඒ අතුරින් කිහිපයකි. මෙම බොහෝමයක් කතා මාලා හුදකලා - අඳුරු ස්වභාවයක් උසුලන අතර අපරාධ පරීක්ෂණය සේම එම කතාවේ චරිතයන්ගේ වෘත්තීමය සහ පෞද්ගලික ජීවිතද විනිවිද දක්වයි. මෙම ලිපිය මෙම ප්‍රභේදයට ඩ්ඕර්‍ණ නාලිකාව විසින් එක්කරන ලද නවතම රූපවාහිනී කතා මාලාවක් ගැනය.

ෆිලඩෙල්ෆියාවට නුදුරු නගරයක ප්‍රදේශවල රහස් පරීක්ෂකවරියක වන මෙයර් ෂීහාන් වෙත යම් පරීක්ෂණයක් භාර වෙයි. එනම් වසරකට පෙර අතුරුදන් වුණු කේටී බෙලි නම් තරුණිය පිළිබඳ පරීක්ෂණය නැවත ආරම්භ කිරීමයි. එක අතකින් මීට වසර 25 කට පෙර ප්‍රාන්තයේ පාසැල් පැසිපන්දු ශූරතා තරඟයකදී දස්කම් පෑ මෙයර් දේශීය තරුවකි. තවත් අතකින් ඇය දික්කසාද වූ සියදිවි නසාගැනීමෙන් පුතෙකු අහිමි වූ සහ හෙරොයින් වලට ඇබ්බැහි වූ ලේළියක සිටින සිය අසාර්ථක ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරන කාන්තාවකි. වෘත්තීය සහ පෞද්ගලික අසාර්ථකත්වයන් හේතුවෙන් අතීතයේ තරුවක් වුවද ඇයගේ රහස් පරීක්ෂක කුසලතා පිළිබඳ නගරවැසියන්ට විශ්වාසයක් නොමැත.

2021 අප්‍රේල් 18 වැනි දින එච්බීඕ හි තිරගත වීම ඇරඹි Mare of Easttown  (මෙයර් ඔෆ් ඊස්ට්ටවුන්) ඇමරිකානු අපරාධ නාට්‍යමය රූපවාහිනී කතා මාලාව මෙලෙස දිගහැරෙන අතර එය බ්‍රැඩ් ඉන්ගල්ස්බි විසින් නිර්මාණය කර ඇත. ප්‍රවීණ සම්මානලාභී නිළියක වන කේට් වින්ස්ලට් මෙහි මෙයර් ෂීහාන් ලෙස රංගනයේ යෙදෙන අතර ජීන් ස්මාර්ට්, ගයි පියර්ස්, ජූලියන් නිකල්සන්, ඇන්ගුරි රයිස්, ඩේවිඩ් ඩෙන්මන්, ඉවාන් පීටර්ස් සහ ජෝන් ඩග්ලස් තොම්සන් සෙසු චරිතයන්ට පණ පොවති. මේ වන විට කොටස් 3ක් තිරගත වී තවත් කොටස් හතකින් සමන්විත කෙටි කතා මාලාවක් වන මෙය සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කර ඇත්තේ ක්‍රෙග් සොබෙල් විසිනි.

මෙම කතා මාලාව මේ වන විටත් විචාරකයන්ගෙන් අතිශය පැසසුම් ලත් කතා මාලාවක් බවට පත්වී තිබේ. රොට්න් ටොමැටෝස් හි, විචාරකයන් 73 කින් 92% ක් මෙම කතා මාලාව අනුමත කර ඇති අතර දර්ශකයේ අගය 7.97 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙසේ සඳහන් වේ. "අති දක්ෂ වෘත්තීමය නිළියක වන කේට් වින්ස්ලට් ප්‍රධාන වූ මෙම කතාව ඇතැම්විට අපගේ අභිලාෂයන් ඉක්මවා යයි. මෙහි කේන්ද්‍රීය අභිරහස සඳහා එබඳු ප්‍රබල තත්ත්වයක් සේම සහ චරිතයක්ද අවශ්‍යම වේ". ද ගාඩියන් සඟරාවේ ලුසි මංගන් ඇතුළු විචාරකයන්ගෙන්ද වින්ස්ලට්ගේ රංගනය අතිශය ප්‍රසාදයට පත්ව තිබේ. එම සඟරාව පවසන පරිදි සිය වෘත්තීය ජීවිතයේ අග භාගයේදී නව මානයකට ගෙන යන රංගන කුසලතාවයක් ඇය විසින් මෙම කතාව හරහා ඉදිරිපත් කර ඇත.