අපි ඔක්කොම අනූවේ අය

SNAP තැනූ පසිඳු පෙරේරා
මැයි 6, 2021

 

 

 

සති අන්තයේ ක්‍රියාදාම චිත්‍රපටයක් බැලුවාක් මෙන් හැඟෙන ටෙලි නාට්‍යයක් අහම්බෙන් බලන්න ලැබුණා. ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රී නවයට විකාශය වෙන මෙය නිර්මාණය කරන්නේ තවමත් ගැටවර වියේ පසුවන තරුණ කණ්ඩායමක්. වෙනස් නිර්මාණයන් හොයා යන සරසවිය ටෙලිකතාව අද නතර වුණේ ස්නැප් ගැන කතා කිරීමට. ස්නැප් අධ්‍යක්ෂ පසිඳු පෙරේරා නිර්මාණය ගැන අදහස් දැක්වුවේ මෙලෙසින්.

 

ස්නැප් ආරම්භ වෙන්නේ කොහොමද?

මේ අදහස විශ්ව විජේවර්ධනගේ. ඔහු තමයි මෙහි පිටපත ලියන්නේ. මුලින් අපි මියුසික් වීඩීයෝ වගේ දේවල් තමයි කළේ. එක දවසක මම කිව්වා අපිටත් ටෙලිනාට්‍යයක් කරන්න තිබුණ නම් කියලා. ඊට සති කිහිපයකට පසුව විශ්ව මේ පිටපත ලියාගෙන ආවා. ඇත්තටම එය බලාපොරොත්තු වූ දෙයක් නෙවේ. ඒ වෙලාවේ මම කිව්වා. මං විහිළුවට කිව්වේ කියලා. නිෂ්පාදකවරයෙක් අපිට ලැබෙයිද කියලා විශ්වාසයක් නෑ. අපිට අත්දැකීම් තිබුණෙත් නෑ. එහෙම ඉන්න වෙලාවක මගෙ පාසල් මිතුරෙක් වූ සචිත්‍ර සමඟ මේ ගැන කතා කළා. අපි මේ නිර්මාණය කරන්න ආරම්භ කරන්නේ නිෂ්පාදකවරයෙක් නැතුව. රංගනයට පිරිස් හොයාගන්න එකට සචිත්‍ර සහ ගයාන් මට උදවු කළා.

 

පසිඳු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යොදාගෙනයි මේ නිර්මාණය කරන්නේ?

මේ මේ චරිතවලට මේ අය ගැලපෙනවා කියන තැන ඉඳලයි රංගන ශිල්පීන් තෝරා ගත්තේ. මුලින්ම මම බිමල් ජයකොඩි අයියව හමිවෙන්න ගියා. ඔහු සමඟ කතා කිරීමෙන් පසු ඔහු කතාව ගැන අහලා කැමැති වුණා. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. හිතපු නැති විදිහට අනෙකුත් නළු නිළියන් ද කැමැති වුණා.

 

ඔබ තවමත් යෞවනයෙක්.නමුත් අධ්‍යක්ෂවරයා විදිහට කොහොමද මේ සා ප්‍රවීණ ශිල්පීන් පිරිසක් හසුරවන්නේ?

ඇත්තටම අපේ වාසනාව තමයි මේ. ලොකු අද්දැකීමක් මේ හරහා අපිට ලැබුණා. මේ ශිල්පීන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් අපිට තියෙනවා. හරිම නිහතමානීයි මේ හැමෝම. මම වයසින් හා අත්දැකීම් අතින් ඔවුන්ට වඩා කුඩා වුවත් ඔවුන් ඉතාම කුළුපඟව වැඩ කරනවා. නොදන්නා දේ කියා රහසින් හෝ කියාදෙනවා. ලොකු සහයෝගයක් ලැබෙනවා. එය නම් කිව යුතුමයි.

විදේශයක ටෙලි කතාවක් නරඹන ආකාරයටම මෙය නැරඹිය හැකියි. මේ ප්‍රයෝග කොහෙන්ද අහුලා ගත්තේ?

මෙහි පිටපත් රචක විශ්ව විජේවර්ධන බොහෝ වෙලාවට ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ලොල් වූවෙක්. එයත් මේ කතාව මේ විදිහට ගලා යන්නට හේතුවක් වුණා. කතාව මුලින්ම ලියලා තිබුණේ කොටස් පහයි. පසුව මට අවශ්‍ය වුණා කතා දෙකක් පැරනල් යන ආකරයට නිර්මාණය තුළ වෙනසක් කරන්න. ඒ අනූව අපි එය කළා. මේ නිර්මාණය අපි බලපොරොත්තු නොවූ ආකාරයේ ගුණාත්මක බවක් එකතු වී තිබීම සතුටක්.

 

ඔබේ කාර්මික ශිල්පීන් සියලුදෙනාම ඔබ වගේම තරුණයි. එය විශේෂ වූවක්. නිර්මාණයේ නැව්ම් බවට එයත් හේතුවක් වන්නට ඇති?

අපි සියලු දෙනාම යාලුවෝ. අපේ යාලුකම පටන් ගන්නේ අපේ විවාහ උත්සවවලින්. මේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද හැමෝගෙම ඔලුවේ මේ වැඩේ තියෙන නිසා. අපි ඔක්කොම අනූ ගණන්වල අය. නිර්මාණය කිරීමට තියෙන කුතුහලය හා වුවමනාව තමයි අපිව තව තවත් එකතු කරන්නේ. ආරම්භයේදී අපිට අත්දැකීම් අඩු කම නිසාම ලොකු කැප කිරීමක් කරන්න වුණා. ඒ නිසා අපි අපි බැනගත්ත රණ්ඩුවුණ අවස්ථාව තිබුණත් ඒවා එවෙලෙට පමණයි. නමුත් සියලු දෙනාම බැදීමෙන් වැඩ කරනවා.

 

මොනවද පසිඳු ඇතුළු කණ්ඩායමට මේ නිර්මාණය කිරීමේදී ආ අභියෝග?

මුලින්ම මෙයට නිෂ්පාදකවරයෙක් සොයා ගැනීම ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම රූ ගත කරන අවස්ථාවලදි කාලය කළමනාකරණය කිරීමට නොහැකි වූ නිසා මුල් කාලයේදී ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න වුණා.

 

නිෂ්පාදකවරයෙකුගේ අවශ්‍යතාව කියන අභියෝගය ජයගත්තේ කොහොමද?

අපිව විස්වාස කරලා රූගත කරලා තිබුණ කොටස් කිහිපය බලලා අමීෂා කාවින්දි සහ කසුන් අයියා කැමැති වුණා නිෂ්පාදන කාර්යය කරන්න.

 

මෙයත් දිගු නාට්‍යයක් වෙයිද?

කොටස් පනහකින් මෙය නිමා කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. නිර්මාණයේ රසවින්දනයට හානියක් නොවන ආකාරයට එය නිම විය යුතුයි. කතාව අපේ ඔලුවෙ තිබුණත් පිටපතේ අවසානය තමව නිම කරලා නෑ.

 

ඔබේ ප්‍රයත්නය සාර්ථක වී පළමු කොටස රූපවාහිනී තිරයේ දකිනවිට ඇතිවු හැගීම මොකද්ද?

පළවෙනි කොටස විකාශය වන දවසේ අපි රූගත් කිරීම් වෙලා යන ගමන් හිටියේ. රූපවාහිනියේ මේ නිර්මාණය බලනවිට ඒ දැනුණ සතුට කියන්න වචන එකතු කරන්න අමාරුයි. අපි හැමෝටම ලොකු සතුටක් දැනුණා. නමුත් තවමත් හිත අභියෝගය එලෙසමයි. එය ජය ගන්න නම් අන්තිම කොටසද විකාශය විය යුතුයි.

 

ස්නැප් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි කතා ලෝකයේ තියෙනවද කියලා?

මෙවැනි බොහෝ කතාවල මතුපිට සුන්දරට පෙනුණත් ස්නැප් කියන්නේ ඇතුළෙ වෙන දේ සහ පිටට නොපෙනන දේ ඒ පෙන්වීම. මේ සෑම චරිතයක්ම මේ ලෝකයේ තියෙනවා. මෙවැනි කතා ලංකාව තුළ අහන්න දකින්න නොලැබෙන්න පුළුවන්. නමුත් ලෝකය තුළ තියෙනවා. මේ කතාව නිකම්ම ලියැවෙන්නේ නෑ මෙය අපි යම් හැදෑරීමක් ඇතුව කරන දෙයක්. ඔබට මතක නම් එක් අවස්ථාවක කතාවේ දුෂාන් වීඩීයෝවක් බලනවා පිටරටක වෙළෙඳසැලක් තුළ මෝහනයෙන් සිදු කරන හොරකමක් සී සී ටී වී දර්ශනයක පටිගත වූවක්. ඒ වීඩීයෝ අපි මේ කතව නිර්මාණය කරන කාලේ නැරඹූ ඒවා.

 

මෙය වෙනස් වූ පිටපතක්. එය සජීවී කිරීම කොතරම් අපහසු කාර්යයක් වුණාද?

පිටපතේ සමහර තැන් මට ඔලුවට ගන්න විශ්ව ළඟ ඉන්නම ඕන වුණා. මොකද මේ කතාව නිර්මාණය කිරීම ඒ ඒ ප්‍රයෝග වලට යෑම ඉතාම අසීරුයි. පිටින් පෙණන කතාව ලස්සන කරන්න රංගනය වගේම දෘෂ්‍ය ප්‍රයෝගද බොහෝ දෙයින් බලපෑවා. එහිදී විශේෂ ස්තූතියක් කරන්න ඕන කලා අධ්‍යක්ෂවරුන්ට. ඒ අය තවමත් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අය. නමුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඩී ඕ පී සහෝදරයෝ දෙන්නාත් ඉතාම ලොකු සහයෝගයක් ලබා දුන්නා.

 

ස්තුතියි කියන්න බොහෝ දෙනෙක් ඇති?

විශේෂයෙන්ම අපිව විස්වාස කරලා මේ නිර්මාණය විකාශයට ගත් ස්වර්ණවාහිනී නාළිකාවට, ඒ වගේම මා සමඟ සම්බන්ධ වී කටයුතු කරන සියලුම දෙනාට, සහ පවුලේ අයට වගේම විශේෂයෙන්ම ඩිලාන් සේනානායක අයියට ස්තූතියි කියන්න ඕන.