සුදත්ත තිලකසිරිගේ ‘ටීචර් අම්මා’ රූ ගත කෙරේ

අප්‍රේල් 29, 2021

 

තරුණියක ඇයගේ ප්‍රථම පත්වීම ගෙන ගමක දුෂ්කර පාසලක ඉගැන්වීමට යයි. එහිදී ඇය එම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පාන දරුවන් දැක කොළඹ ප්‍රධාන පෙළේ ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තම පෙම්වතාට මේ දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාව පුරුදු පුහුණු කරන ලෙස ඉල්ලා සිටී. එහෙත් ඔහු එය එක හෙලා ප්‍රතික්ෂේප කරයි. මෙයින් පසු නොබසින ගුරුවරිය දරුවන්ට කෙසේ හෝ උපකාර කිරීමට උත්සහා ගනී. මේ අතර අම්මා තාත්තා නොමැතිව මිත්තණිය ළඟ හැදෙන දරුවෙක් ඇයට අම්මා යනුවෙන් ආමන්ත්‍රණය කරයි. කොළඹින් ආ මේ ගුරුතුමිය ගමේ පාසලේ දරුවන්ට තම ආදරය බෙදා දෙන සුන්දර කතා තේමාවක් මුල් කොට ගනිමින් ' ටීචර් අම්මා' නිමැවෙන්නේත් අධ්‍යක්ෂ සුදත්ත තිලක්සිරිගේම අතිනි. තිමිර උඩලමත්ත රචනා කරන මෙහි කැමරාකරණය නිරෝෂන් කොඩිප්පිලිගෙනි. සංගීතය දිනේෂ් සුබසිංහ හා කලා අධ්‍යක්ෂණය නාලක කුරුප්පු ආරච්චිගෙනි. වේෂ නිරූපණය උදය දිසානායක හා සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේ විසිනි. හිරුෂි වසුන්දරා, රුවන් පෙරේරා, නිරෝෂන් විජේසිංහ, සරත් කරුණාරත්න, අමිත්ත වීරසිංහ, මොරින් චාරුණි, මාදනි මල්වත්ත, හෂිණිකා කරල්ලියද්ද, නයනා රඹුක්කනගේ, චමිලා පීරිස්, මිලින්ද පෙරේරා, රමණි සිරිවර්ධන, චන්දන ඉරුගල්බණ්ඩාර, ඉන්දික දේශප්‍රිය, උපුල් වීරසිංහ, සහ ළමා නිළි යුහස්නා දිස්නි මෙහි චරිත නිරූපණය කරති.