සරත් අයියා නිසා මේ ටෙලි නාට්‍යය වර්ණවත් වුණා

රෑනගල වලව්ව අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය
අප්‍රේල් 22, 2021

 

 

ධනුෂ්ක හාමු තම හොඳම මිතුරා වන මාලන් සමඟ රෑනගල වලව්වට පැමිණෙන අතර මඟදී දේවි සහ නිලූ මුණ ගැසේ. මාලන් මොවුන්ගෙන් වලව්වට යන පාර අසයි. ඒ විහිළුවටය. දේවිගෙන් ප්‍රශ්නය ඇසුවත් උත්තර දෙන්නේ නිලූය. වලව්වට යන පාර කියන අතර වලව්වේ ජීවත්වන මැණිකෙගේ (දනුෂ්කගේ මව) කැරැට්ටුව ද දිග හරි.

දේවිගේ අක්කා වන සඳා වලව්වේ මෙහෙකාරියයි. තම අක්කාට පණිවිඩයක් කීමට වලව්වට පැමිණෙන දේවිට දනුෂ්ක හාමුව මුණ ගැසේ. වලව්ව ගැන දොස් කිව්වේ වලව්වේ හාමුට බව වැටහේ. ඇය අසරණ වෙයි.

ටික කලකදී දනුෂ්ක හා දේවී අතර ආදර සම්බන්ධයක් හට ගනී. ඒ අතරතුර ධනුෂ්කට විවාහ යෝජනාවක් පැමිණේ. ඒ නීටා නමැති දනුෂ්කගේ අවැස්ස නෑනාය. ධනුෂ්ක දේවී සමඟ හොරෙන්ම පැනගොස් විවාහ ගිවිස ගැනීමට තීරණය කරත් එය එසේ කිරීමටනොහැකි වන්නේ ධනුෂ්කගේ මාමා (නීටාගේ පියා) රිය අනතුරකින් මිය යන නිසයි. ධනුෂ්කට නීටාව විවාහ කරගැනීමට සිදුවේ.

තම විවාහයෙන් පසු විදේශ ගතවන ධනුෂ්ක හා නීට නැවත පැමිණෙන්නේ අවුරුදු දෙකකට පසුය. ධනුෂ්කගේ රැකියාව නිසා ඔවුන් කොළඹ පදිංචි වෙයි. මේ අතර දේවිගේ පියාගේ වියෝව සමඟ සඳාද කසාදයෙන් පසු විල්බර්ට්ගේ නිවසට යෑම නිසා තනිවෙනදේවී කොළඹ රැකියාවකට යයි. එක් දිනක් දේවී ධනුෂ්කගේ වාහනයට හැපෙන්නේ අහම්බෙනි. ලංකාවට පැමිණි පසු දේවී හොයහොය සිටි ධනුෂ්කට මෙය සිතාගත නොහැකි විය. ඔහු ඇයට ප්‍රතිකාර කරයි. සුව වීමෙන් පසුවත් ඔහු ඇය බලාපොරොත්තු වුණත් ඇය රෝහලෙන් නික්ම ගොසින්ය. ධනුෂ්ක දේවී සොයන්නට පටන් ගනී. පසුව ඇය මුණ ගැසුණත් තම පවුලට මේ ආදරය නිසා වුණ අගතිය දේවී ධනුෂ්කට පැහැදිළි කරයි. මේ අතර ධනුෂ්කගේ මිතුරා වූ මාලන් හා ඇගේ බිරිඳ සමඟ එකම නිවසක දිවි ගෙවන කළනීටා ට මාලන් කෙරෙහි සිතක් පහළ වන්නේය. මේ වන විට මාලන් හදිසි අනතුරකට ලක්ව මිය ගොසිනි. ඔහුගේ මරණය පිළිබඳ සැකය තම මිතුරා වෙතද එල්ල වී හමාරය. කෙසේ වෙතත් මාලන්ගේ මරණය පිළිබඳ අනතුරකින් සිදු වූවක්ද නොඑසේනම් සිතාමතා කළ දෙයක්ද?

එක අතකින් එදා ලාංකේය ජන සමාජයේ පැත්තක් නැවත ආවර්ජනය කිරීමක් ලෙස සිතිය හැකි රෑනගල වලව්ව අධ්‍යක්ෂ සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය සමඟ සරසවිය අද ටෙලි කතාව මෙසේ දිගහරිමු.

මෙහි පිටපත පිළිබඳ කතා කළොත්?

මුලින්ම මෙහි පිටපත ලියවෙන්නේ තරුෂි පෙරේරා අපේ රංගන ශිල්පිනිය අතින්. තරුෂිගේ කාර්යබහුලත්වය නිසා මෙය රචනාකිරීමට ඇයට අපහසු වනවා. ඒ නිසා ඇය ලිඛිතව අවසරය ලබ දුන්නා වෙනත් පිටපත් රචකයෙකු හරහා මෙය රචනා කිරීමට. ඒඅනූව දෙවන අදියරේ සිට මෙහි පිටපත ලියවෙන්නේ සරත් ධර්මසිරි අතින්. පළවෙනි වතාවටයි ඔහු මේ වගේ වැඩක් කරන්නේ. මොකද ඔහු පිටපත් රචකයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. සරත් අයියා හා මා එකතුව නිර්මාණ රැසක් කරලා තියෙනවා.ඒහිතවත්කම හා සම්බන්ධය මත ඔහු මෙයට කැමැති වුණා. එවැනි අද්දැකීම් සපිරි පුද්ගලයෙකුගේ පැමිණීම නිසා මේ නිර්මාණයට වෙනස්ම වර්ණයක් එකතු වුණා කියලා කියන්න පුළුවන්.

 

ඔබ මෙහි කැමරාකරණය හා අධ්‍යක්ෂණය ‍යන කාර්ය දෙකම සිදු කරනවා. එය වාසියක් වුණාද?

මම කැමරාකරණය පමණක්ම සිදු කරනවානම් එයම පමණයි මට කරන්න වෙන්නේ. අධ්‍යක්ෂණයට හා කැමරාකරණයටදෙදෙනෙකු සිටීම තුළ ඊළඟ දර්ශනය පිළිබඳ කතා කළ යුතුයි. සැලසුම් කළ යුතුයි. නමුත් මෙහිදී මා දෙකම කළ නිසා කාලයවගේම මුදලත් ඉතිරි කර ගැනීමට හැකියි. ඒ වගේම දර්ශනයෙන් දර්ශනයට රූ ගත කිරීමේ සැලසුම මටම ගොඩනඟා ගතහැකියි.

 

මේ නිර්මාණයට යොදාගෙන තියෙන්නේ ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක්?

ටෙලිනාට්‍යකරණයේදී රංගනය පිළිබඳ අවබෝධයක් නැති නළු නිළියන් යොදාගන්නවා නිෂ්පාදනයට යන පිරිවැය අවම කරගැනීමේ අරමුණින්. නමුත් දිනකට දර්ශනවාර දඟයක් රූ ගත කරනවානම් එයින් අඩක්වත් ඔවුන්ට කළ නොහැකියි. නමුත් යම්හැදෑරීමක් ඇති, අද්දැකීම් ඇති ශිල්පීන් සමඟ වැඩ කිරීමේ දී ඔවුන්ට තමන් කරන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. ඒ තුළ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියි. එ මෙන්ම නිර්මාණයටද ලස්සන හැඩයක් එකතු වනවා සේමකාලය මුදල් ඉතිරි කරගත හැකියි.

හැල හැප්පීම් සමූහයක් මැද ගලාගෙන යන නිර්මාණයේ ඇත්තට හැප්පීම් වැටීම් වගේ අමතක කරන්න බැරි අවස්ථා ඇති?

විල්බර්ට් (සමන් අල්මේදා) බීලා වැනි වැනී එන අවස්ථාවක් තිබුණා. එහිදී බිරිඳ සඳා (නයනා කුමාරි) විල්බර්ට්ගේ බෙල්ලෙන් අල්ලගෙන අහනවා ඇයි මිනිහෝ ඔහොම බොන්නේ කියලා. ඒ වෙලාවේ විල්බර්ට් පය ලිස්සලා වැටෙනවා. හිතුවෙ නැති විදිහට ඔහු වැටුණත් ඒ වැටීම තාත්වික ලෙස නිර්මාණයට එක්කර ගැනීමට හැකිවුණා. නමුත් රූ ගත කිරීමෙන් අනතුරුව ඔහු කොරපශ්චාත්භාගය බිම ඇනිලා කොර ගගහා හිටියා (සිනාසෙමින්).

තවත් අවස්ථාවක නීටා (නිපුණිකා හේවාගමගේ) ඇල්ල බලන්න ආසයි කියලා ධනුෂ්ක හා මාලන් (සාරංග දිසාසේකර හාඋද්දික ප්‍රේමරත්න) එක්ක යනවා ඇල්ල බලන්න. එහිදී ධනුෂ්ක අහම්බෙන් දේවී (ආශා එදිරිසිංහ) දකිනවා. දේවී දැකලා ධනුෂ්ක කෑ ගහනවිට මාලන් දුවගෙන් එනවා මොකද බලන්න. ඒ එනවිට මාලන්ගේ පය හැපිලා වතුරට වැටෙනවා. මේ දර්ශනයෙන් පසුව තිබුණේ නීටාගේ හා මාලන්ගේ එකක්. නමුත් උද්දික තෙමිලා නිසා ඔහු වේලෙනකම් ඉන්න වුණා ඊළඟ රූ ගත කිරීමට.

තවත් වතාවක වලව්වේ වැඩකරන මනුස්සයා දඩයමේ යනවා කියලා කැළේට යනවා වලව්වේ තුවක්කුව අරගෙන. ඒ වෙලාවේරූ ගත කිරීම් බලන්න ඇවිත් හිටපු ළමයි පිරිසක් දුවන්න ගත්තා තුවක්කුව දැකලා. එයාලා හිතුවේ එයාලට වෙඩි තියන්න එනවාකියලා. ඔවුන් හිතුවේ නෑ මෙය රූ ගත කිරීමක් කියලා (සිනා සෙමින්)

 

ඔබ සහා පිටපත් රචක සරත් ධර්මසිරි ඇල්බර්ට් (සමන් අල්මේදා) මරන්න ගියා කියන්නේ ඇත්තද?

(හඩින් සිනාසෙමින්) ඔව් ඔව්. ඇල්බර්ට් බොනවා බොනවා ඉවරයක් නෑ. කියන දේ අහන්නෙත් නෑ. ඉතින් සරත් අයියයි මායි කතාවුණා මේක හරියන්නේ නෑ අපි ඇල්බර්ට් මරමු කියලා. අපි දර්ශනය ලෑස්ති කළා මිනිපෙට්ටිය අරන් වැව් ඉව්රෙන් එන පිරිසක් එනආකාරයට. ඒ වෙලාවේ සමන් කියනවා ' උඹලා මාව දැන්ම මරන්න එපා තව කොටස් කිහිපයක් තියපල්ලා කියලා'. (නැවතසිනාසෙමින්) පසුව මම එය සරත් අයියට කිව්වම ඔහු කිව්වා එහෙනම් අවසාන වෙනකම් තියමු කියලා. සමන්ගේ ඉල්ලීමට ඉඩදීලා ඇල්බර්ට් මරන්නේ නැතුව දර්ශනය රූගත කිරීම නතර කළා.

 

ඔබ පවසනවා මෙහි මුල් පිටපත් රචනය කළ තරුෂි පෙරේරා මෙයින් ඉවත් වනවා කියලා. ඒ වගේම මුලින් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයත් මෙය ඔබට භාර කරනවා. මේ ආකාරයෙන් අධ්‍යක්ෂවරයා හා පිටපත් රචක වෙනස් වීම තුළ නිර්මාණයට යම් කිසිහානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?

මුල් අදියරේ රූ ගත කිරීම් ශිවා අයියාගෙන් (ජයප්‍රකාශ් ශිවගුරුනාදන්) අතින් සිදු වුණත් දෙවන අදියරේ රූ ගත කිරීම් ආරම්භයේදී මෙය ඔහුට කිරීමට නොහැකි වුණා. තරුෂි පෙරේරා හා නිහාල් බණ්ඩාර යන දෙදෙනා මට මෙහි ඉදිරි අධ්‍යක්ෂණ කටයුතු සඳහා ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන්නේ මා මින් පෙර කළ නිර්මාණ පිළිබඳ අධ්‍යයනයකින් පසුව. ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන්ඇති අධ්‍යක්ෂවරයෙක් හා පිටපත් රචකයෙක් වන සරත් ධර්මසිරි මෙයට සම්බන්ධ වනවා. මා හිතන්නේ මා ලත් අද්දැකීම් හා පරිචය තුළ නිර්මාණයට නව හැඩයක් එකතු වූවා මිස හානියක් වූයේ නැහැ.

ඇත්තටම වලව්වේ හමු ආයෙම ඉපදිලාද?

වලව්වට අල්ලපු ගෙදරක තමයි ඒ ළමයා ජීවත් වෙන්නේ. ඔහු කතා කරන්නේ වලව්වේ හාමූ වගේ. එක වෙලාවකදි වලව්වේ වැඩකරන මිනිහගෙන් අහනවා 'කොහොමද දැන් වලව්වේ වැඩ?' ' මැණිකේ එහෙම හොඳීන් ඉන්නවද වගේ' දේවල්. මේ නිසා වලව්වේ වැඩකරන පුද්ගලයා හිතනවා මේ හාමූ නැවත ඉපදිලා කියලා. ඒ නිසාම ඔහු ගොයම් කපලා ඉවරවුණ ගමන් හාල් ටිකපොල්ටික කෙහෙල් කැන සියලුම දේ අර ගෙදරට ගෙනල්ලා දෙනවා. කොහොම වුණත් මැණිකේ නම් එය පිළිගන්නේ නෑ.

 

මේ වලව්ව කොහෙද?ඒ වගේම රූ ගත කිරීම් කළ ප්‍රදේශ ගැනත් මතක් කරමු.

මේ වලව්ව පිහිටලා තියෙන්නේ දිවුලපිටිය ප්‍රදේශයේ. ඒ වගේම දර්ශන ඉසව්ගැන සඳහන් කළොත් බණ්ඩාරගම, පිළියන්දල, මහරගම, පාදුක්ක වගේ ප්‍රදේශවල රූ ගත කිරීම් කළා.

 

අවසානයේදී ධනුෂ්ක හා දේවී එකතු වෙයිද? ඔවුන්ගේ ආදරය දිනයිද?

ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන දේම නිර්මාණයක අවසානය නොවන්න පුළුවන්. කොටස් 65 ක් පුරා නට්‍යය දිගහැරෙනවා. ඒ නිසා කුතුහලයෙන් යුතුව බලන් හිදිමු.