American Crime Story ටෙලි තිරයේ දිග හැරෙන සත්‍ය අපරාධ

අප්‍රේල් 22, 2021

ස්කොට් ඇලෙක්සැන්ඩර් සහ ලැරී කරස්වෙව්ස්කි විසින් නිර්මාණය කරන ලද ‘ඇමරිකන් ක්‍රයිම් ස්ටෝරි’බෙහෙවින් ආන්දෝලනයට පාත්‍ර වූ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුවුණු සත්‍ය අපරාධ පිළිබඳ රූපවාහිනී කතා මාලාවකි. මෙහි දැනට කතා මාලා අදියර දෙකක් තිරගත වී ඇති අතර ඒ එක් එක් අදියරයන් එකිනෙකට සම්බන්ධ නොවූ සත්‍ය අපරාධ සිද්ධීන් දෙකක් පාදක කරගෙන නිර්මාණය වී ඇත.

මෙහි පළමුවන අදියර නීතීඥ ජෙෆ්රි ටූබින් විසින් රචිත The Run of His Life: The People vs. O. J. Simpson  මත පදනම් වේ. 1947 හි උපත ලැබූ ඕ. ජේ. සිම්සන් කලෙක අතිශයින් ජනප්‍රියව සිටි ඇමෙරිකානු පාපන්දු ශූරයෙක්, නළුවෙක්, වෙළඳ ප්‍රචාරකයෙක් සහ විස්තර විචාරකයෙක් සේම විවිධ වූ අපරාධයන් සඳහා චෝදනා ලැබූවෙක් පමණක් නොව වරදකරුවෙකි. මෙම අදියර සිම්සන් චෝදනා ලැබූ සිය දික්කසාද බිරිඳ සහ ඇයගේ සැමියාගේ මරණය පිළිබඳ නඩු විභාගය පදනම්ව දිගහැරෙයි. අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් ඇති සිම්සන් අපරාධය සිදුවුණු 1994 වසරේ අතිශය ජනප්‍රියව සිටි වකවානුවක් වුණු අතර අපරාධ නඩු විභාගය මහජනතාව සේම මාධ්‍ය අතරත් අතිශය උනන්දුවක් ඇති කළ මාතෘකාවක් විය. මෙම අදියර එම නඩු විභාගය පදනම් කරගෙන රචනා වී ඇත.

මෙම කතා මාලාවේ දෙවන අදියර අදියර මොරීන් ඕත් විසින් රචිත Vulgar Favors: Andrew Cunanan, Gianni Versace, and the Largest Failed Manhunt in U.S. History   මත පදනම් වේ. ජියානි වර්සෙස් ඇමෙරිකාවේදී ඝාතනයට ලක් වුණු අතිශය ජනප්‍රිය මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් වූ අතර මෙම මරණයද බරපතළ අන්දමින් මාධ්‍ය ප්‍රචාරයක් ලත් සිද්ධියක් විය.

මෙම කතා මාලාවේ දෙවන සහ තෙවන අදියරයන් පිළිවෙළින් 2016 සහ 2018 වර්ෂයන්හි FX රූපවාහිනී නාළිකාවේ තිරගත වුණු අතර 2020 වසරේ තිරගත වීමට නියමිතව තිබුණු එහි තෙවන අදියර කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගියද, එහි රූගත කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ. මෙම අදියර තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වුණු හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි අතර ඇති වූයේ යැයි කියවෙන නොමනා ලිංගික ඇසුර පිලිබඳ ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වී ඇත.

American Crime Story  රූපවාහිනී කතා මාලාව විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්වුණු රූපවාහිනි කතා මාලාවකි. රොට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් 74 දෙනෙකුගෙන් 97% ක් මෙහි පළමු අදියර අනුමත කර ඇති අතර එම අදියරට එහි දර්ශකයේ ලැබී ඇති සාමාන්‍ය අගය 8.7/10 කි. දෙවන අදියර විචාරකයන් 61 දෙනෙකුගෙන් 89% ක් අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.1/10 කි. පළමු අදියර ගැන මෙම අඩවියේ පොදු විචාරය තබා ඇති සටහන එය බෙහෙවින්ම අගය කර ඇති අතර එයින් මෙසේ කියවේ. මෙය ඉතා වැදගත් කතා වස්තුවකට අනගි පැහැදිලි කිරීමක් සපයමින් නිර්මාණය වුණු විශිෂ්ට රචනයකින්, අධ්‍යක්ෂණයකින් මෙන්ම රංගනයන්ගෙන්ද යුතු වුණු කතා මාලාවකි. දෙවන අදියර පිළිබඳ මෙම අඩවියේ පොදු විචාරය මෙලෙස පවසයි. මෙය සෙමින් දිගහැරෙන, මිනීමැරුම් කතාවන්ට නව ආලෝකයක් එක් කළ කතාවකි.