The Crown

කිරුළක කතාව
අප්‍රේල් 15, 2021

ලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි හෙවත් දෙවැනි එලිසබෙත් රැජන සිය පියරජු වන හයවන ජෝර්ජ්ගේ ඇවෑමෙන් 1953 වසරේ එක්සත් රාජධානිය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රැජන ලෙස කිරුළු පැළඳුවාය. මේ වනවිට 94 වන වියෙහි පසුවන දෙවැනි එලිසබෙත් රැජන එරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ රාජ්‍ය නායිකාව හැටියට ඉතිහාසයට එක වී සිටින්නීය. 1953 වසරේදී "වෙස්ට්මිනිස්ටර් ඇබේ" දේවස්ථානයේ දී දෙවැනි එලිසබෙත් රැජන ලෙස ඔටුනු පැළඳී ඇය හිස දරා සිටින්නේ සාන්ත එඩ්වර්ඩ් කිරුළයි.

 

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ ඉතිහාස නාට්‍ය සහ චිත්‍රපට රචකයෙකු වන පීටර් මෝගන් විසින් ප්‍රධාන වශයෙන් නිර්මාණය කෙරුණු 'ද ක්‍රවුන්' අන්තර්ජාල ප්‍රවාහ රූපවාහිනී කතා මාලාව දෙවැනි එලිසබෙත් රැජනගේ ජීවිත කතාව ඇතුළත් අදියර සයකින් යුත් කතා මාලාවකි.

'ලෙෆ්ට්බෑන්ක් පික්චර්ස්' සහ 'සෝනි පික්චර්ස්' විසින් නිෂ්පාදිතව නෙට්ෆ්ලික්ස් විසින් 2016 වසරේ සිට මේ දක්වා මෙම කතා මාලාවේ අදියර හතරක් මුදාහැර අවසන්ව ඇති අතර එහි පස් වැනි අදියර 2022 වසරේ මුදා හැරීමට නියමිතව ඇත. පළමු අදියර 1947 සිට 1955 දක්වා වූ කාලයද, දෙවන අදියර 1956 සිට 1963 දක්වා වූ කාලයද, තෙවන සහ සිව්වන අදියර පිළිවෙලින් 1964 සිට 1977 දක්වාද, 1978 සිට 1990 දක්වාද දිවෙන අතර, පස්වන සහ සයවන අදියර 21 වන සියවස දක්වා දිවෙන ඇයගේ පාලන කාලය ආවරණය කෙරෙන බව සඳහන් ය.

දිගු කාලයක් ආවරණය කළ යුතු බැවින් සෑම අදියර දෙකකටම වරක් නළු නිළියන් සියල්ලන්ම පාහේ අලුත් වන මෙම කතා මාලාවේ රැජනගේ චරිතය අදියර 1 සහ 2 හිදී ක්ලෙයාර් ෆෝයි විසිනුත් අදියර 3 සහ 4 හිදී ඔලිවියා කොල්මන් විසිනුත් රංග දක්වනු ලැබිණි. මෙලෙස, අනෙකුත් ප්‍රධාන චරිත අතර මැට් ස්මිත් සහ ටොබියස් මෙන්සිස් - ෆිලිප් කුමරු ලෙසත්, වික්ටෝරියා හැමිල්ටන් සහ මේරියන් බේලි - මව් රැජන ලෙසත්, ජෙරාඩ් හැරිස් - පියරජු ලෙසත්, ජෝන් ලිට්ගෝ - අගමැති වින්ස්ටන් චර්චිල් ලෙසත්, ඇලෙක්ස් ජෙනිංස් සහ ඩෙරෙක් ජේකොබි - එඩ්වඩ් කුමරු ලෙසත්, ගිලියන් ඇන්ඩර්සන් - අගමැති මාග්‍රට් තැචර් ලෙසත්, ජොෂ් ඕ කොනර් - චාල්ස් කුමරු ලෙසත්, එමා කොරින් - ඩයනා කුමරිය ලෙසත් මේ දක්වා රංගනයෙන් දායක වී ඇත.

'ද ක්‍රවුන්' බොහෝ විචාරක පැසසුම් ලත් කතා මාලාවකි. 'ද ටෙලිග්‍රාෆ්' සඟරාව මෙය "රූපවාහිනියේ හොඳම සෝප් ඔපෙරාව" ලෙස විස්තර කර 5/5ක ලකුණු ප්‍රමාණයක් ලබා දී ඇත. රොට්න් ටෝමැටෝස් අඩවියේ මෙම කතාමාලාව වෙනුවෙන් දර්ශකයේ ලද සාමාන්‍ය අගය 90% කි. එහි පොදු විචාරය පවසන පරිදි, "ප්‍රබල රංගනයන් සහ විචිත්‍රවත් සිනමාකරණය මගින් ද ක්‍රවුන් එහි සාකච්ඡා වන විෂයට සුදුසු ඉහළම නිෂ්පාදනයක් බවට පත් කරයි". ද ක්‍රවුන් 2016 වසරේ සිටම සම්මාන රාශියකට හිමිකම් කී නාට්‍ය මාලාවකි. මුළු සම්මාන 39 ක් දිනා, නාමයෝජනා 141 කට හිමිකම් කියා ඇති ද ක්‍රවුන් විවිධ සම්මාන උලෙළවලදී හොඳම නාට්‍යයට හිමි සම්මානයද දිනාගෙන ඇත. ඒ අතර 74 වන සහ 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළවලදී හොඳම රූපවාහිනී කතා මාලාව සඳහා වන සම්මානය දෙවරක් දිනා ගැනීමට සමත් වී තිබේ. පසුගියදා පැවති 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී චාල්ස් කුමරු සහ ඩයනා ලෙස චරිත මැවූ ජොෂ් ඕ කොනර් සහ එමා කොරින් හොඳම රූපවාහිනි කතා මාලා (සංගීතමය හෝ හාස්‍යය) නළුවා සහ නිළිය ලෙස සම්මාන දිනූහ. මාග්‍රට් තැචර්ගේ චරිත නිරූපණය වෙනුවෙන් රූපවාහිනි කතා මාලා හොඳම සහය නිළිය ලෙස ගිලියන් ඇන්ඩර්සන් සම්මානයට පාත්‍ර විය.