වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
නුර්ති පරපුරක මහා පුරුකක් වන ඔහුට දැන් 90යි

නුර්ති නාට්‍ය ගී ගායන සහ වාදන ක්‍ෂේත්‍රයේ දැනට ජීවත් ව සිටින ප්‍රවීණ ශිල්පියා ලෙස සැලැකෙන, ලයනල් විජේසිංහ ගුණතිලක මාස්ටර්ගෙන් කලා ක්‍ෂේත්‍රයට සිදු වූ සේවය අලළා සැකැසුණු ලිපියකි, මෙය.
සංසාර සාගරේ දුක් බෝ තිබේ පුතේ, තෙරුවන් සරණ නමදිමු, සැමදා ම මාගේ රන් පුතේ.
මේ මුළු ලෝකයේ, තිබෙනා සියලු දේ, සංස්කාර ධර්මෙන් පිටත කිසීත් නැතේ
එබැවින මාගේ පුතේ, එබැවින මාගේ දුවේ, පස්කම් දුරලා සිතේ,
තෙරුවන් සරණ නමදිමු සැමදාම මාගේ, රන් පුතේ
කුඩා අවදියේ මම පදිංචි ව සිටි උඩහමුල්ල බැවිල හන්දියේ තිබුණා බේකරියක්. ගෙදර හොරා මම හිමිදිරි පාන්දර ම බේකරියට දුවනවා. එසේ දිවයන්නේ, එහි උණු උණුවේ ව්කිණීමට තිබෙන බනිස්, රෝස් පාන් කෑමට නොවේ. බේකරියේ තිබෙන ග්‍රැමෆෝනයෙන් ඒ වෙලාවට නිකුත්වන ගීත ඇසීමට. මම බෙහෙවින් කැමැත්ත දැක්වූවේ, එකල ප්‍රවීණ ගායකයෙකු වූ ඇම්.කේ. වින්සන්ට්ගේ ගීත ඇසීම ට. එවිට මම පාසැල් යන දරුවෙක් නොවේ. යාන්තමට මට අවුරුදු හතර පිරුණා විතරයි. ඇම්.කේ. වින්සන් ගායකයාගේ ඉහත ගීතයට මම බොහොම කැමැතියි. එම ගීතය පළමු ඇසුනු පළමු අවස්ථාවේ ම, එය මට කටපාඩම් වුණා.
මගේ පියා, නාඩගම් නාට්‍ය පනස් හතරක් (54) සහ නුර්ති නාට්‍ය දොළහක් (12) ලියා නිෂ්පාදනය කරමින්, නාට්‍ය කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක්, කැපවීමෙන් ක්‍රියාකළ කලාකරුවෙක්. තම පියා නිවසේ දී, නාට්‍යවල ගීත ගායනා කරන ශිල්පී ශිල්පීනියන් නාට්‍ය ගීත පුහුණුවන අවස්ථාවේ, ඔවුන් සමඟ, එම ගායනාවලට මමත් සහභාගී වෙනවා. ඒ නිසා කුඩා කාලයේ දී නිතරම මට ඇසුණේ රාගධාරී සංගීත ආශ්‍රිත ගීත. එම ගීතවල තිබුණු හරය මා උකහා ගත්තා. මගේ පළමු වාද්‍ය භාණ්ඩය, ජපන් මැඩලිනය.
ගීත ගායනයේ මුල බීජය රෝපණය වූ මේ කොලු ගැටයා, අදවන විට නූර්ති ගීත 600 කට වැඩි සංඛ්‍යාවක් සේ ම, ග්‍රැම ෆෝන් ගීත 300 ක පමණ සංඛ්‍යාවක් සර්පිනාවෙන් වාදනය කරමින්, නිවැරදි ව ගායනා කිරීමේ හැකියාවෙන් පොහොසත්. කලා භූෂණ, විශ්වා භිනන්දන සම්මාන ලාභී, දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මාස්ටර් ය.
නුර්ති ගායනය සහ වාදන විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධ ව, දැනට ජීවත් ව සිටින ප්‍රමුඛ පෙළේ ශිල්පියකු වන ලයනල් ගුණතිලකගේ, උපත ලැබවේ 1933 වර්ෂයේ ජනවාරි මස 6 වන දිනයේය.
‘ගසක කටු උල් කිරීම ට අවශ්‍ය නැතැ යි ’ යන ගැමි කියමන සත්‍යයක් බව ප්‍රත්‍යක්‍ෂ වන්නේ, ලයනල් ගුණතිලක ශිල්පියාගේ පිය පරපුරේ තොරතුරු අනාවරණය කර ගැනීමෙනි. මොහුගේ සීයා, මාලේවන කන්දවත්ත වලව්වේ මුහන්දිරම් වූ, දොන් විලියම් විජේසිංහ ගුණතිලක ය. ඔහු රචනා කළ ඔහුගේ පළමු නාඩගම වූ, “කේසර සිංහයා නොහොත් පතිසුන්දර” නාට්‍යය, කොළඹ ගෑස්පහ හන්දියේ දී ගැස් ලාම්පු එළියෙන් රඟදක්වූ අතර, අනතුරුව ඔහු නාඩගම් නාට්‍ය කිහිපයක් ම නිෂ්පාදනය කර තිබෙනවා.
තම පියාගේ අඩිපාරේ යමින්, නාඩගම් ශිල්පියෙකු ලෙස කලා ක්‍ෂේත්‍රය ට පිවිසි ඩී. ජේ. ඩබ්ලිව් ගුණතිලක වන ලයනල් ගුණතිලක මාස්ටර්ගේ පියා, නාඩගම් සහ නුර්ති නාට්‍ය රචකයෙකු සහ අධක්‍ෂකයෙකු ලෙස පමණක් නොව, නක්‍ෂත්‍ර සහ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුවල ද නිරත වු ඔහු, කාව්‍ය සහ නවකතා ග්‍රන්ථ 112 ක පමණ සංඛ්‍යාවක් රචනා කළ ලේඛකයෙකි.
තම පියාගේ අඩිපාරේ යමින් සිටින ලයනල් ගුණතිලක, නුර්ති - තියටර් යන ක්‍ෂේත්‍රයේ සංගීතඥයෙකු ලෙස දේශීය සංගීත ක්ෂේත්‍රයට සහ නාට්‍ය ක්‍ෂේත්‍රයට සිය පර්යේෂණාත්මක නව්‍ය ස්වර සංඝටනාවන්ගෙන් ඔපවත් කළ සංගීතයෙන් ගීත නිර්මාණ රැසක් බිහිකිරීම තුළින් සුවහසක් ප්‍රේක්‍ෂක ශ්‍රාවකයින්ට රසාස්වාදය සන්නිවේදනය කළ මහා සංඟිත සන්නිවේදකයෙකු ලෙස හැඳීන්විය හැකිය.
ඔහු කලා ක්‍ෂේත්‍රයට පිවිසුණේ, තම පියාගේ නුර්ති නාට්‍යයක් වන ’චන්ද්‍රා හෙවත් මානසික බලය,’ නාට්‍යයට සංගීතය සපයමිනි. මරදානේ එම්. එස් පෙරේරා සංගීතඥයා ඇතුළු සංගීතඥයින් කිහිප දෙනෙකු ගෙන් රාගධාරි සංගීතය ප්‍රගුණ කළ ලයනල් ගුණතිලක මාස්ටර් ට දස්කම් පෑමට අවස්ථාව ලැබුණේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීතඥ සෝමචන්දර පට්ටිආරච්චි විසින් 1960 වර්ෂයේ නිෂ්පාදනය කළ, “සංගීතය 25 වසරකට පෙර” නැමැති වැඩසටහනට සම්බන්ධවීමෙනි. එම වැඩසටහනේ විශිෂ්ට ශ්‍රේණියේ නුර්ති ගායකයකු සහ හාමෝනියම් වාදන ශිල්පියකු ලෙස වසර ගණනාවක් සම්බන්ධ වීමට ඔහුට අවකාශය ලැබිණ. දැනට ජීවතුන් අතර නොමැති, ඔහුගේ බිරිඳ, එච්.සී.එමලින්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය මෙහෙය වූ ‘පද්‍යාවලි’ වැඩසටහනේ මිහිරි කටහඬක් තිබූණු ගායිකාවකි.
1980 වර්ෂයේ සිට, අධ්‍යාපන අමාත්‍යංශයේ නුර්ති ගායනා සම්බන්ධව බාහිර කථිකාචාර්ය ලෙස ගුණතිලක මාස්ටර් කටයුතු කළ අතර, මහරගම ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් රඟහල පදනම, පිළිමතලාව ගුරු අභ්‍යාස විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය යන අධ්‍යාපනික ආයතනයන්හී, නුර්ති ගායනා බාහිර කථිකාචාර්ය වශයෙන් ක්‍රියා කිරීමට, ඔහුට අවකාශය ලැබිණ.
තම පියාගේ අඩිපාරේ යමින් ලේඛන කාර්යයේ ද නිරත වන ලයනල් ගුණතිලක මාස්ටර්, නුර්ති සහ ග්‍රැමෆෝන් ගීත ප්‍රස්තාර අලළා සම්පාදනය කළ කෘති බොහොමයකි. ඒවා අතර, ප්‍රස්ථාර සහිත නෘත්‍ය ගීත (1990) කතා පෙට්ටියේ ගී (1991) නෘත්‍ය ගීත ශතකය (1991) උසස් පෙළ සඳහා නිර්දේශිත ග්‍රැමෆෝන් ගී සංග්‍රහය (1992), ප්‍රස්ථාර සහිත බජව් ගීත සහ අප්‍රකට නූර්ති ගී (2004), සරල ශාස්ත්‍රිය සර්පිනා වාදනය (2005) යන කෘති හයට (6) අමතරව, සිරිසඟබෝ, වෙස්සන්තර, රාමායණය, විදුර, පද්මාවති, සිවම්මා ධනපාල, ශ්‍රී වික්‍රම යන නුර්ති නාට්‍යවල ප්‍රස්තාර සහිත ගීත අඩංගු, ග්‍රන්ථ 8 කට වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබේ.
තම පියාණන් රචනා කළ, සිරිසඟබෝ නූර්තිය, සංස්කරණය කළ “ශ්‍රී සංඝබෝධි” නමින් 1971 වර්ෂයේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව, ‘මානුසික බලය’, (1948) ‘පරික්‍ෂක සුමිත්‍ර,’ (1953) ‘කළුයුග තරුණිය’, (1953) දිට්ට මංගලිකා’ (1969) යන නාට්‍යද නිෂ්පාදනය කළ අතර, 2017 වර්ෂයේ ටවර් හෝල් රඟහල පදනම නිෂ්පාදනය කළ, ‘රාමායණය’ නුර්තියේ සංගීත සහ නාට්‍ය අධක්‍ෂක ලෙස ද ක්‍රියා කළේය.
1999 වර්ෂයේ, ‘දෑ රඟ ගී සර’ නැමැති නුර්ති ගායනා ප්‍රසංගයක් ද, ‘නුර්ති සහ ග්‍රැමෆෝන් ගීත ප්‍රසංගයක් ද, වේදිකාගත කිරිමට ක්‍රියා කළ මාස්ටර්, 53 වන නිදහස් සවර්ණ ජයන්තිය නිමිත්තෙන්, 1998 වර්ෂයේ, බණ්ඩාරණායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී, ප්‍රවීණ ශිල්පි ශිල්පිනියන් සම්බන්ධ කරගෙන, නුර්ති ගීත ගායනා ප්‍රසංගයක්, දින 18ක කාලය තුළ ඉදිරිපත් කිරිම, වාර්තා ගත සිද්ධියකි.
උඩහමුල්ල තලපත්පිටිය පරම විඥානාර්ථ බෞද්ධ සංගමයට අයත් මිශ්‍ර පාසලේ සහ කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙකු ව ඉංග්‍රීසි භාෂාව සහ තම පෞරුෂය වර්ධනය උදෙසා ද, අනෙක් විෂයයන් ගෙන් දැනුම සහ ආකල්ප වර්ධනය කරගත් ඔහු, වර්ෂ 1949 දී තැපැල් දෙපාර්තමේන්තුවේ සුඵ සේවකයෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳී, දෙවන පෙළ තැපැල් ස්ථානාධිපති ලෙස උසස්වීමක් ලැබූ ලයනල් ගුණතිලක රාජ්‍ය සේවකයා, 8000 ක පමණ සේවක සංඛ්‍යාවක් සාමාජිකත්‍වය ලබා සිටින “සමස්ත ලංකා තැපැල් සහ විදුලි සංදේශ සැකසුරුවම් සහ සමුපකාර සංගමයේ ” සභාපති ලෙස 1988 වර්ෂයේ පැවැති නිලවරණයෙන් පත්විය. රැකියාවෙන් නිදහස් කළ පුර්ණ කාලීන සභාපති ලෙස විශ්‍රාම ගන්නා වසර තෙක් එනම්, 1988 වර්ෂය දක්වා කටයුතු කළ මෙම ශිල්පියා, වෘත්තීය සමිති ක්‍රියාකාරීකයෙකි.
යළිත් අපි ලයනල් ගුණතිලක මාස්ටර්ගේ කලා ඡීවිතය දෙස යොමු කරන විට, මහත් සංවේගයෙන් ඔහු පෙළෙන පුවතක් ද වෙයි. 1933 වර්ෂයේ ජනවාරි මස 6 වන දින උපත ලැබූ ඔහුගෙන් නුර්ති ගායන සහ වාදන ශිල්පය හැදෑරූ ගෝලයින් රාශියක් දිවයිනේ සිටිය ද, තම පිය පරම්පරාව අතගැසූ නාඩගම් සහ නුර්ති ගීත කලාව තමන් නතර කළ තැනින් ඉදිරියට ගෙන යමින් එම කලාව පෝෂණය කිරීමට සමත් ගෝලයෙකු හෝ තමන් ට සිටින පුත්‍රයා හෝ දියණිය එම කාර්ය සඳහා යොමු නොවීම කනගාටුව ට කරුණක් බව මාස්ටර් සංවේගයෙන් පවසයි. කෙසේ නමුත් තම මුණබුරා, මෙම කලාව ඉදිරියට රැගෙන යන්නේය යන අපේක්‍ෂාව, මාස්ටර්ගේ සිත තුළ පවතී.