මට නෙ‍ෙවයි මේ සම්මානය සිරිල්ටයි කියා එදා ලකී ඩයස් කීවා

ප්‍රවීණ රංගවේදී සිරිල් වික්‍රමගේ
නොවැම්බර් 9, 2023

අද වනවිට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම, විශිෂ්ටතම රංගනවේදීන් අතළොස්ස අතර 91 වැනි විය ද පසුකරමින් සිටින අග්‍රගණ්‍ය රංගවේදියකු වන සිරිල් වික්‍රමගේ සිය සිනමා, ටෙලිනාට්‍ය, වේදිකා රංගනයන් පිළිබඳව ද අතීත මිහිරි මතකයන් නැවත අවදිකිරීමේ අරමුණින් ද බොහෝ කලකට පසු මෙසේ සරසවිය හා එක්විය.

ජ්‍යෙෂ්ඨතම රංගවේදියකු වන සිරිල් වික්‍රමගේ අද වනවිට 91 වැනි වියද පසුකරමින් ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ සිය නිවෙසේ විවේක සුවයෙන් කාලය ගත කරන ඔහු ගතින් දුර්වලව සිටියි. ඔහුගේ තනිනොතනියට අදටත් සිටිනුයේ සිය ආදරණීය බිරිඳයි.

සිනමාව තුළ මෙන්ම , ටෙලිනාට්‍ය , වේදිකා නාට්‍ය තුළ ද ඔහුගේ රංගනයන්ට පෙම්බැඳී ප්‍රේක්ෂක පිරිසට අද වනවිට ඔහුගේ රංගනයන් දැකබලා ගැනීමට නොහැකිව තිබීම මහා ඛේදවාචකයක්ව පවතියි. සිරි ගුණසිංහයන්ගේ "සත් සමුදුර" ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ , එයා දැන් ලොකු ළමයෙක්" වැනි සිනමා කෘතිවලද ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගේ කතාව" , පරාක්‍රම නිරිඇල්ලගේ "සිරි මැඳුර", එච්.ඩී. ප්‍රේමරත්නගේ "සෙයිලම, පාලම යට" වැනි නිර්මාණවල ද සිරිල් වික්‍රමගේ නාමය ලාංකේය ප්‍රේක්ෂක, විචාරක අවධානයට ලක්වූ බව නොරහසකි . පුංචි තිරය තුළින් ආනන්ද අබේනායකයන්ගේ "කන්දෙ ගෙදර, මැණික් නදිය ගලාබසී" ධම්ම ජාගොඩයන්ගේ "පළිඟු මැණිකේ" , ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ "ඇල්ල ළඟ වලව්ව" , "කඩුල්ල" ආදිය තුළ තිබූ ප්‍රතිභාන්විත රංගන කෞශල්‍යය කිසිවෙකුට හෝ අමතක කළ නොහැක්කකි. ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ "මූදුපුත්තු" වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිස "දේවතා එළි, කුවේණි, තවත් උදෑසනක්, එලොව ගිහින් මෙලොව ආවා, කඳා වළලු" වැනි වේදිකා නිර්මාණ තුළින් සිය රංගන මහීමාලංකාරය හෙතෙම වේදිකාවට මුදාහැරීය. සරසවිය , ර්‍ණ.ඛ්.ධ්.ඛ්. , ජනාධිපති ආදී සිනමා සම්මාන රැසකින්ම පිදුම් ලැබූ ඔහු රූපවාහිනී මාධ්‍යයේ කළ පෙළහරයන්ට ද සම්මාන රැසකින් පුදලැබීය.

සිරිල් වික්‍රමයන්ගේ පියා සිය ගම්පියස වූ කුරුණෑගල , කොහිලගෙදර ගමේ සිටි නර්තන ශිල්පියකු වූ අතර සිරිල් ද ජයනා ගුරුන්නාන්සේගෙන් නර්තන කලාව හදාරා තිබේ. තරුණ වියේදීම යුද හමුදාවට බැඳුණු ඔහු 1954දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුරු පුහුණුව ලබා මහනුවර , පොල්ගම්පොළ සිරිල් පෙරේරාගේ කලායතනයට ගොස් සංගීතය හදාළ අතර වයලීන් වාදනය ද එහිදී උගත්තේය. ගුරුවරයකු වශයෙන් සිරිල් වික්‍රමගේට රත්මලානේ බිහිරි පාසලේ තනතුරක් ද එකල ලැබුණි. ජාතික ගුවන් විදුලි සංස්ථාවේ වසර 02ක පමණ කාලයක් සේවය කළ ඔහුට එහිදී වයලීනයෙන් දස්කම් දැක්වූ සෝමවංශ පට්ටිආරච්චි හමුවීම ද විශේෂත්වයකි. වෙස්ලි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ සිරිල්ට එම පාසලේ නර්තන ආචාර්යවරයා වූ ශ්‍රී ජයනා හමුවිය. ඔවුන් එක්ව "රණ තිසර" මුද්‍රා නාටකය නිපදවූ අතර සිරිල් වික්‍රමගේ වේදිකාවේ යම් කීර්තිනාමයක් අත්කරගත්තේ ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ "මූදු පුත්තු" වේදිකා නාට්‍යයේ කළ මංගල රංගනයත් සමඟය. සිය නිර්මාණ දිවිය පිළිබඳ නැවත මතකාවර්ජනයක් කිරීමේ අරමුණින් සිරිල් වික්‍රමගේ මෙසේ සිය හඬ අවදි කළේ වියපත්ව සිය නිවෙසේ සිටිනා අතරතුරේදීය. කනට ඇසෙන, නොඇසෙන ස්වරයකින් සිය අතීතයේ සොඳුරු මතක හා මෙලෙස එක්වුණි.

ඔබ කලාවට ප්‍රවිෂ්ට වූ ආකාරය මතක් කළොත්...?

කලාවට ආව මුල්කාලය ගැන කියනවා නම් ඉතින් මම පිටිසර ගමකනේ හැදුණේ. කුරුණෑගල, කොහිලගෙදර තමයි මගේ ගම වුණේ. ඒ කාලයේ අපට චිත්‍රපට ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ .මට මතකයි "චන්ද්‍රලේඛා" නමින් චිත්‍රපටයක් ඒ කාලයේ ආවා. ඒක බලන්න මගේ ලොකු අයියා මාව එක්කගෙන ගියා. ඒක මට හරි ලොකුදෙයක් වුණා. ඒවගේම ගමේ තිබ්බා ටීටර් කියලා දේකුත්, ඒවා බලන්නත් යනවා. ඒවගේම අපේ පාසලේ තිබ්බා මැලේරියා සතිය කියලා එකක්. ඒකෙදී අපි යනවා කුරුණෑගලට නාට්‍යයක් කරන්න. එහෙම නාට්‍යවලට ඒ කාලයේ සම්බන්ධ වුණා . ඒ වගේ තමයි මම මුලින්ම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ.

ඔබට චිත්‍රපටවලට ආසාවක් ඇතිවුණේ "චන්ද්‍රලේඛා" නිසාද....?

ඔව්. ලොකු අයියා එක්ක "චන්ද්‍රලේඛා" බැලුවට පස්සේ මට චිත්‍රපටවලට ආසාවක් ඇතිවුණා. ඒ කාලයේ කොහිලගෙදර අපේ ගමේ ඉඳන් කුරුණෑගලට පයින් යනවා චිත්‍රපට බලන්න. එතකොට ගැලරිය ශත 50යි.ඒ කාලයේ ගැලරියේ ඉඳන් දෙමළ චිත්‍රපට හරියට බැලුවා. ඒවාට ගොඩාක්ම ආසා හිතුණා .ඒ එක්ක දිගටම චිත්‍රපට බලන්න පෙළඹුණා.

ඔබේ මුල්ම රංගනයන් ගැන මතකය අවදි කළොත්...?

මුලින්ම රඟපාන්න ලැබුණේ "හඳපාන" චිත්‍රපටයේ. පසුව කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට මම සේවය කළා. ඒකාලයේ ෆීලික්ස් ප්‍රේමවර්ධන "මිනිස් ගතිය" කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒක බලන්න ගුණසේන ගලප්පත්ති ඇවිත් හිටියා. එයා මාව "මූදු පුත්තු" වේදිකා නාට්‍යයට තෝරගත්තා. සිසිර සේනාරත්න එහෙමත් ඒක බලන්න ඇවිත් හිටියා. ඔහු තමයි "හඳපාන" චිත්‍රපටයේ "හරමා"ගේ චරිතයට මාව තෝරාගෙන තිබුණේ.. ඒකාලයේ වේදිකා නාට්‍ය තමයි ගොඩාක්ම කළේ. ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" කළා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "පබාවතී" නාට්‍යයේ "ඔක්කාක" රජ්ජුරුවන්ගේ චරිතය කළේත් මමයි. ඒක බලන්න චිත්‍රපට නිෂ්පාදක ඩොක්ටර් ලීනස් දිසානායක ඇවිත් හිටියා. ඔහු ඇවිත් තිබ්බේත් නළුවන්ව බලන්න. ඔහු මාව එතැනදී හඳුනාගෙන "මම චිත්‍රපටයක් කරනවා, එනවාද.? " කියලා මගෙන් ඇහුවා. මාව මීගමුවේ ඔහුගේ රෝහල්ට එක්කරගෙන ගියා. එහිදී මට තිරපිටපතක් දුන්නා කියවන්න.ඒ තිරපිටපත මට එච්චර ඇල්ලුවේ නැහැ. මම කිව්වා "මේකනම් හරියන්නේ නැහැ" කියලා . ඊටපස්සේ මම කිව්වා "මෙහෙම නාට්‍යයක් තියෙනවා , අපි ඒක චිත්‍රපටයකට ලියමු" කියලා. ගුණසේන ගලප්පත්තිත් හම්බවෙන්න ගියා. ඊටපස්සේ මමයි ගුණසේන ගලප්පත්තියි මහගමසේකරයි එකතුවෙලා "මූදු පුත්තු" නාට්‍යයෙන් තිරපිටපතක් ලියන්න ගත්තා. අපට ඒකාලයේ එච්චර ඒ ගැන තේරුමකුත් තිබ්බේ නැහැ. මහගමසේකරයන් ගීත රචනා කළා. ගුණසේන ගලප්පත්ති කිව්වා " ඩොක්ටර් සිරි ගුණසිංහ ලංකාවට ඇවිත් ඉන්නේ, අපි එයාට මේ ගැන අදහස දෙමු" කියලා. ඒ විදිහට ඔහුට අදහස දැම්මා. එහෙම කරලා ඔහුට චිත්‍රපටය කරන්න භාරදුන්නා. මාසයකට විතර පස්සේ ඩොක්ටර් සිරි ගුණසිංහ කිව්වා එහෙනම් චිත්‍රපටය පටන්ගනිමු කියලා.

ඔබලාගේ එකතුවෙන්මද එහි චරිත තෝරාගැනීම සිදුකළේ...?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරන්නේ කවුද කියලා අපි කතා වුණා. ඩොක්ටර් ලීනස් එහිදී කිව්වා "මේ ඉන්නේ මෙයා හොඳයි "කියා මාව තෝරාගත්තා. මට අමතරව එඩ්මන්ඩ් විජේසිංහ එහෙමත් ඒකට සම්බන්ධ වුණා. ඒකට දෙනවක හාමිනේව ගත්තේ මමයි. පිටිපන තමයි එහි රූගතකිරීම් සිදුකළේ. එහෙමයි "සත් සමුදුර" බිහිවුණේ.

ඊටපසුව ඔබට චිත්‍රපටවලට දිගටම ආරාධනා එන්න ඇති...?

ඔව්, ඊටපස්සේ පියසිරි ගුණරත්න මට කතා කළා එයාගේ චිත්‍රපටයක් කරන්න. ඒ චිත්‍රපටයේ නම "මොකද වුණේ". ඒකේ මමයි අනුලා කරුණාතිලකයි රඟපෑවා. අනුලා කරුණාතිලකත් ඒ කාලයේ තමයි සිනමාවට ආවේ. ඉන්පසුව "බිනරමලී, පාරා වළලු, නිම් වළල්ල, වෙස්ගත්තෝ, සිහින ලොවක්, හත්දින්නත් තරු, අහස් ගව්ව, වල්මත්වූවෝ, එයා දැන් ලොකු ළමයෙක්" වගේ චිත්‍රපට රැසකට රංගනයට අවස්ථාව ලැබුණා.

ටෙලිනාට්‍ය රංගනයේ මුල් අවධියට ගියොත්...?

"සසර සයුරෙන්" නමින් ටෙලිනාට්‍යයකින් තමයි මම මුලින්ම පුංචිතිරයට එන්නේ. ධම්ම ජාගොඩ මහතා රූපවාහිනී සංස්ථාවේ ඉන්න කාලයේ ඔහුත් ටෙලිනාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. "පළිඟු මැණික්" ට සම්බන්ධ වෙන්නේ ධම්ම ජාගොඩයන්ගේ අධ්‍යක්ෂණය යටතේයි. "පළිඟු මැණිකේ, මැණික් නදිය ගලාබසී" වැනි ටෙලිනාට්‍යවලට මුල් කාලයේ රංගනයෙන් දායක වුණා. "සසර සයුරෙන්" ටෙලිනාට්‍යය ගැන විශේෂයෙන් යමක් කියන්න ඕන. රූපවාහිනී සම්මාන උළෙලක් මුල්වරට තිබ්බේ ඒකාලයේ, විජය සම්මාන උළෙල නමින්. එතැනදී "සසර සයුරෙන්" මගේ රංගනය ඇගයුමට ලක්වුණා. එහිදී මට "හොඳම නළුවා" සම්මානය හිමිවුණා.

ඔබ රංගනයේ යෙදුණු චරිත අතරින් විශේෂ කැමැත්තක් තිබුණු චරිතයක් වේද....

මම කැමැතියි ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ "ඇල්ල ළඟ වලව්ව" ටෙලිනාට්‍යයේ "අප්පුහාමි"ගේ චරිතයට. එහිදී රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගණී සේරසිංහ, ජැක්සන් ඇන්තනී, අචලා අලස්, දයා තෙන්නකෝන් " වැනි විශිෂ්ට නළුනිළි පිරිසක් සමඟ රංගනයේ යෙදුණා. මම රඟපාපු සෑම චරිතයකටම මම කැමැතියි . ඒත් "ඇල්ල ළඟ වලව්වේ" අප්පුහාමිට ගොඩක්ම කැමැතියි . සිනමාවේ විශේෂයි කියලා චරිතයක් නම් කරන්න අමාරුයි . "සත් සමුදුර" චිත්‍රපටයේ ගුණදාසගේ චරිතයට කැමැත්තක් තියෙනවා .

සිනමාවේ අවසන්වරට රඟපෑවේ උදයකාන්තගේ "බන්ධනය"චිත්‍රපටයේ නේද....?

ඔව්. "බන්ධනය" තමයි මම අන්තිමට රඟපෑ චිත්‍රපටය. ඊටපස්සේත් රඟපාන්න චරිත ලැබුණා. ඒත වයසත් එක්ක රඟපාන්න බැරි තත්ත්වයේ හිටියේ.

මෑතකදී ඔබට යාවජීව සම්මානයක් හිමිවුණා මට මතක හැටියට....?

ඔව්. දෙරණ ඹ්භය ජ්ඪතථ ඒඹචපඤහිදී මට "යාවජීව" සම්මානය හිමිවුණා. ඒකත් මට විශේෂයි. ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් මාව ගෙන්වලා සම්මානයක් පිරිනැමුවා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටත් යොමුවුණා නේද...?

ඔව්. "කරදිය වළල්ල, සිහින ලොවක්" චිත්‍රපට මම අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම මට හොඳ අත්දැකීමක් වුණා. "සිහින ලොවක්" චිත්‍රපටයේ තමයි "මා මළ පසු සොහොන් කොතට" ගීතය ඇතුළත් වුණේ. ඒ ගීතය මහගමසේකරයන්ට කියලයි මම ලියවාගත්තේ. මගේම වුවමනාවටයි මේ ගීතය මහගමසේකරයන් ලවා ලියෙව්වේ.

ලේඛන කලාවට යොමුවෙන්න අදහසක් තිබ්බේ නැද්ද...?

ලේඛනයට යොමුවෙන්න තරම් නිදහසක් තිබුණේ නැහැ. මගේ මුල්ම ගුරු පත්වීම ලැබුණේ කොළඹ වෙස්ලි විද්‍යාලයට. ඉතිහාසය, ආර්ථික විද්‍යාව විෂයයන් මම ඉගැන්වූයේ. ගුරු වෘත්තියත් එක්ක ලේඛනයට යොමුවෙන්න කාලයක් තිබුණේ නැහැ. රැකියාවේ කාර්යබහුලත්වය නිසා ලේඛනයට යොමුවෙන්න ඉඩඇහැරුණා.

පුංචිතිරයේ ඔබ සම්මානයට ලක්වූ අවස්ථා සඳහන් කළොත් ...?

ටෙලිනාට්‍යවලට නම් මෙතෙක් ලැබුණේ එකම එක සම්මානයයි. ඒ "සසර සයුරෙන්" ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය .එච්චරමයි ටෙලිනාට්‍යවලට කියා සම්මාන ලැබුණේ . 1988දී පැවැති උණ්ඩා සම්මාන උළෙලේදී "ඇල්ල ළඟ වලව්ව" හොඳම ටෙලිනාට්‍යය වුණා .ඒත් එහි "අප්පුහාමි"ගේ චරිතය වෙනුවෙන් සම්මානයක් ලැබුණේ නැහැ. එහිදී ලකී ඩයස්ට "මඟ සලකුණු" ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය හිමිවුණා. එහිදී ලකී ඩයස් වේදිකාවේදී ප්‍රසිද්ධියේම කිව්වා මේ සම්මානය ලැබෙන්න ඕන මට නෙවෙයි "ඇල්ල ළඟ වලව්ව" ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් සිරිල් වික්‍රමගේට කියලා. සිනමාවේ අවසානයට රඟපෑ "බන්ධනය" වෙනුවෙන් හිරු සිනමා සම්මාන උළෙලේදී මම සම්මානයට ලක්වුණා

සිනමාවේ නම් ඔබ බොහෝවරක් සම්මානනීය වුණා...?

ඔව්. සරසවිය සම්මානයත් කිහිපවරක්ම හිමිවුණා .1986 පැවැති 14 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම සහය නළුවා සම්මානය හිමිවුණා ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "සුද්දිලාගේ කතාව" චිත්‍රපටයේ "රොමියෙල්"චරිතය වෙනුවෙන්. 1996 පැවැති 24 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ "සෙයිලම" චිත්‍රපටයේ රංගනය උදෙස හොඳම සහය නළුවා සම්මානය හිමිවුණා .1988 පැවැති 15 වැනි ර්‍ණ.ඛ්.ධ්.ඛ්. සිනමා සම්මාන උළෙලේදී එච්. ඩී. ප්‍රේමරත්නගේ "මංගල තෑග්ග"' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය පාඨය යටතේ සම්මානයට ලක්වුණා . ඒවගේම 1990දී පැවැති 17 වැනි ර්‍ණ.ඛ්.ධ්.ඛ්. සිනමා සම්මාන උළෙලේදී පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ "සිරි මැදුර" චිත්‍රපටයේ රංගනය උදෙසා සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්වය පාඨය යටතේ සම්මානයට ලක්වුණා. ඒවගේම 1986දී පැවැති 08 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගේ කතාව" චිත්‍රපටයේ රංගනය සඳහා දක්ෂතම සහය නළුවා සම්මානය හිමිවුණා. 1991දී පැවැති 03 වැනි ස්වර්ණසංඛ සිනමා සම්මාන උළෙලේදී එච්.ඩී. ප්‍රේමරත්නගේ "පාලම යට" චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම සහය නළුවා සම්මානය හිමිවුණා.

ඔබ වැඩකරන්න කැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඉන්නවද.....?

මම කැමැතියි ආචාර්ය ධර්මසේන පතිරාජට. ඔහු සමඟ වැඩකරන්න ආසයි. මම ආසාම චිත්‍රපටයක් තමයි ඔහුගේ "බඹරු ඇවිත්" චිත්‍රපටය. එහි රංගනයත් ඇගයුමට ලක්වුණා ."සොල්දාදු උන්නැහේ, එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටවලත් "කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව" ටෙලිනාට්‍යවලත් හරිම ආසාවෙන් වැඩකළේ. ඒවගේම ධර්මසිරි බණ්ඩාරනායක වැනි හොඳ අධ්‍යක්ෂවරු යටතේත් වැඩකරන්න මට අවස්ථාව ලැබුණා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා එක්ක තමයි වැඩකරන්න බැරිවුණේ. එච්. ඩී. ප්‍රේමරත්න එක්ක "සෙයිලම, පාලම යට, මංගල තෑග්ග, ආදර හසුන" වගේ චිත්‍රපට කළා. වසන්ත ඔබේසේකර සමඟ "වල්මත්වූවෝ" චිත්‍රපටය කළා. කාලයක් මම වසන්තගේ බම්බලපිටියේ ලොරිස් රෝඩ්වල ඔහුගේ ගෙදරත් මම කාලයක් හිටියා. පරාක්‍රම නිරිඇල්ලයන්ගේ "සිරි මැදුර" චිත්‍රපටයත් මම හරි ආසාවෙන් රඟපාපු චිත්‍රපටයක් . ඒවගේම 1993වගේ "මීහරකා" චිත්‍රපටයේ රඟපෑවේ අයි. එන්. හේවාවසම්ගේ අධ්‍යක්ෂණය යටතේ.

ලෙස්ටර් මහතා සමඟ වැඩකරන්න අවස්ථාවක් ලැබුණේම නැද්ද....?

අවස්ථාවක් ලැබුණා , මාව තෝරාගෙන ඒ ගැන සරසවිය පුවත්පතේ විස්තරත් සඳහන් කරලා තිබ්බා. චිත්‍රපටයේ නම නම් මට මතකයට එන්නේ නැහැ. ඒවගේ දේවල් මට විතරක් නෙවෙයි වෙනත් නළුනිළියන්ටත් සිද්ධවුණා. පස්සේ කාලයේ ලෙස්ටර් මහත්තයා කිව්වා " සිරිල් මට ඔයාව නැතිවුණානේ" කියලා. ඉතින් මම කිව්වා "සර්, මට කිව්වානම් මම එනවනේ" කියලා.

පසුගිය දිනවල ඔබ වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වුවා නේද....?

රසික හවුලකින් උපහාර උළෙලක් කළා. ගල්කිස්ස පොලිසියෙනුත් සහය ලැබුණා . බත්තරමුල්ල කලා සංවිධානයේ කරන්න හිටියේ. ඉතින් ඒකට මට එහේ එන්න කිව්වා. මම කිව්වා මට බත්තරමුල්ලට එන්න අමාරුයි ඔයාලා මෙහේ එන්න කියලා. ඔවුන් රසික හවුලක් පිහිටුවාගත්තා. ඒ රසික හවුලෙන් තමයි උපහාර පිදීම සිදුකළේ. ඒකට නිවැසි පදනමත් එකතු වුණා.

ඔබ සිනමාවේ අවසන්වරට කළ රංගනයේ අත්දැකීම් සිහිකළොත් ...?

අවසානයට කළේ "බන්ධනය" චිත්‍රපටයනේ. ඒක උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයක්..හේමාල් රණසිංහ එහෙම හරිම කැමැතියි මාත් එක්ක රඟපාන්න . උදයකාන්ත චරිතය ගොඩනඟලා මට අවස්ථාව දුන්නා. ඒ දවස්වල අසනීප තත්ත්වයක් තිබ්බේත් නැහැ. දුලානි අනුරාධා, හේමාල් රණසිංහ වගේ තරුණ පිරිස එක්ක වැඩකරන්න ලැබුණා. ඒක හොඳ , සුන්දර අත්දැකීමක් වුණා.

ඔබේ සිනමා චාරිකාවේ අමතක නොවන සුන්දර අත්දැකීම් එහෙමත් ඇති.....?

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්" රූගතකිරීම් කරන කාලයේ හොඳ සුන්දර අත්දැකීම් ලැබුවා. එහි රූගතකිරීම් තිබුණේ කල්පිටියේනේ. පැරණිම රෙස්ට්හවුස් එකක් තමයි තිබුණේ අපට නවාතැන්ගන්න. ඒකේ එක කාමරයයි තිබ්බේ.ඉතින් අපි නිදාගත්තේ එළියේ. එහි මම, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා , ඩබ්ලිව්. ජයසිරි, දයා තෙන්නකෝන් , රූබී ද මෙල් වගේ හොඳම සෙට් එකක් හිටියේ. ඒක සුන්දර මතකයක්.කල්පිටියේ ගමේ මිනිස්සු අපිත් එක්ක හොඳට එකතුවුණා. ඔවුන් අපිට කන්න බොන්න කෑම ජාති ගෙනත් දෙනවා, උයාගෙනම එනවා. අපට එයාලා හරිම ආදරෙයි. පුදුම ළෙන්ගතුකමක් තිබ්බේ. ඒ වගේම "ඇල්ල ළඟ වලව්ව" රූගතකිරීම් කළේ කෑගල්ලේ පරණම වලව්වක. ඒකත් හොඳම අත්දැකීමක් වුණා. "කන්දෙ ගෙදර" ටෙලිනාට්‍යය රූගතකිරීම් කළේ හොරණ පැත්තේ ගෙදරක. එහිත් ඒ ගම පළාත හරිම සුන්දරයි. ඒ ගැමි රසය එහිදීත් වින්ඳා. "කන්දෙ ගෙදර" අධ්‍යක්ෂ ආනන්ද අබේනායකගේ දෙහිවල පිහිටි ගෙදරත් රූගතකිරීම් කිහිපයක් කළා. එහි මගේ පුතා චන්දන වික්‍රමගේත් රඟපෑවා. පුතා රඟපෑවේ ජයලත් මනෝරත්නයන්ගේ පුතා විදිහට.

පුතා දිගටම රංගනයේ යෙදුණේ නැහැ නේද....?

ඒ කාලයේ රටේ දේශපාලන කලබල තදින්ම තිබුණා. නොයෙක් බලපෑම් ආවා. අපි ඒකාලයේ කුරුණෑගල හිටියේ. ඉතින් බයටම පුතාව ඒ කාලයේම රට යැව්වා. දැන් අවුරුදු 30ක විතර ඉඳන් පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාව මේ රටේ තියාගන්න බය හිතුණා. මගේ නෝනාගේ අක්කාත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා බයක් නැහැ. පුතා දැන් එහේ ව්‍යාපාරික කටයුතුවල නිරතවෙනවා. ඔහු විවාහ වෙලා නැහැ.

ඔබ සමඟ එකට කලා ලොවේ සිටි ඔබේ සමකාලීනයන් අදටත් ඔබ ගැන සොයාබලනවා ඇති...?

මා එක්ක වැඩකරපු මගේ සමකාලීනයෝ බොහෝමයක් අද ජීවතුන් අතර නැහැ. රවින්ද්‍ර රන්දෙණිය, ඩබ්ලිව්. ජයසිරි වගේ අය අදටත් කතා කරලා දුක, සැප අහනවා. රවින්ද්‍ර රන්දෙණියත් දැන් අසනීපයෙන්නේ ඉන්නේ. කලංසූරියත් ඔහු මියයන තෙක්ම මට කතා කළා. "බඹරු ඇවිත්, අහස් ගව්ව, හන්තානේ කතාව" ආදී චිත්‍රපටවල අමරසිරි කලංසූරිය මාත් එක්ක වැඩ කළා. හරිම සුන්දර මනුස්සයෙක්.

අද සිටින නවක රංගන ශිල්පීන් ගැන මොකද හිතෙන්නේ ..?

අද දක්ෂයෝ ඉන්නවා. ඒත් ඒ දක්ෂයන්ට කරන්න දෙයක් නැහැ.

ඔබේ වේදිකා නාට්‍ය රංගනය ගැන සඳහන් කළොත් ...?

වේදිකා නාට්‍ය ගැන කිව්වොත් " මූදු පුත්තු, කුවේණි, එක වහලක් යට, දේවතා එළි, කදා වළලු , එලොව ගිහින් මෙලොව ආවා, අහසින් වැටුණු මිනිස්සු" වගේ වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒවගේ දිගටම රැඳෙන්න බැරිවුණේ රැකියාවකුත් (ගුරු වෘත්තිය ) කරන ගමන් ඒවායේ රඟපෑ නිසයි. වේදිකාවේ රැඳීසිටින්නනම් කාලය, කැපවීම අවශ්‍යයි . ඒ කාලය, කැපවීම මට කරන්න බැරිවුණේ රැකියාවක් කළ නිසා.

ඔබේ රැකියාව වූ ගුරු භූමිකාව ගැන සිහිකළොත් ...?

මම අවුරුදු 30කට වඩා ගුරු වෘත්තීයේ නියැළුණා. මුලින්ම පේරාදෙණියේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉඳලා ඊටපසුව මම කොළඹට ආවා. රත්මලානේ අන්ධ, ගොළු බිහිරි විද්‍යාලයේ ළමුන්ටත් මම සාහිත්‍යය , කලාව ඉගැන්වුවා. ඊටපසුව කොළඹ වෙස්ලි කොලේජ් එකට ගියා. ඉන්පසුව උපාධියත් ලබාගත්තා. වෙස්ලි විද්‍යාලයෙන් පසුව කොටහේන විද්‍යාලය වගේ පාසල් රැසකම මම ඉගැන්වූවා. ගුරු වෘත්තියේ නිරතව සිටි කාලයේත් පාසල් ළමයි එකතු කරගෙන වේදිකා නාට්‍ය කළා.

 

[email protected]