අපේ තාත්තට නිතර කේන්ති ගියේ කුඩා කාලයේ මව් සෙනෙහස අහිමි වූ නිසා

ආනන්ද හේවගේ ගේ පුතු රොහාන් හේවගේ කියයි
නොවැම්බර් 9, 2023

"අපෙ තාත්තාට හරියට කේන්ති යන කෙනෙක්..එහෙම වුණේ අපෙ තාත්තාගෙ කුඩා කාලෙදිම තාත්තා ට මවු සෙනෙහස අහිමි වීම නිසා කියල අපෙ අම්මා මා එක්කල කියලා තියෙනවා.."

මෙවර සරසවිය පාඨක ඔබට හමුවන සොඳුරු කතා නායකයා කුසලතා රැසකින් පිරිපුන් අපූර්වතම කලාකරුවෙකි.. සිනමාවේදියෙකි..වාදකයෙකි...සිය ජීවිතයේ වඩාත් ඔහු නැඹුරු වූයේ සිනමාවටය..මනුස්සකම අතින් කාගේත් ආදරය ද දිනූ හෙතෙම තම ඇසුරට වන් අයකු හට මිතුදම් පෑයේ දෙවරක් නොසිතාය...එක් අතෙකින් බලන කළ ඔහු සන්තානයේ සිත තෙරපා තනිවම දරාගත් ශෝකී කතන්දරයක් වැඩිහිටියකු වූ පසුවද සිත අරා තිබිණි ..

ඔහු පිළිබඳව යටගිය තතු අසා දැනගන්නට මගක් සොයමින් සිටියදී මට හමුවූයේ හිටපු බැංකු නිලධාරියකු... ප්‍රවීණ ලේඛකයකුද වන රොහාන් හේවගේ මහතාය...

ආදරණීය රොහාන් හේවගේ දැන් මා හා ආදරණීය පිළිසඳරකය...සුහදශීලී ය..

මම ඔහුට සවන් දෙමි.

"අපෙ තාත්තා මුලින් ම විද්‍යා ගුරුවරයෙක්.. නාට්‍යවේදියෙක්...පසුව සිනමාවට සම්බන්ධ වුණා..ලිවීමට හොඳ සමතෙක්...විශේෂයෙන් තිරකතා රචනයට...ඒ වගේම හින්දි ගීතයට..හින්දි සංගීතයට ජීවිතය පුරාම හදවතින්ම ආදරය කළ කෙනෙක්...මගේ තාත්තා ගැන මගෙ හිතේ නොමියෙන ආඩම්බරයක් ..ගෞරවයක් අදටත් තැන්පත්ව තියෙනවා.."

අපේ රොහාන් තම මුව සිනහවකින් සරසා ගන්නේය...

අපේ සොඳුරු කතා නායක තෙමේ අප්පු හැන්නදිතොට හේවගේ බුද්ධදාස ආනන්ද ය...නැතහොත් කොයි කාගේත් ආමන්ත්‍රණයට බඳුන් වූ ඒ.එච්.බී ආනන්ද ය..තවත් අයුරකින් කිවහොත් ආනන්ද හේවගේය...අපේ කතා නායකයා ආනන්දයන් උපන්නේ හම්බන්තොටය.. එනම් 1938 ක්වූ අප්‍රේල් මස 21 වනදාය...ජීවත්වූයේ තංගල්ලේය.. ගාල්ල .. මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය..

ඔහුගේ මව්තුමියගේ නාමය මතකයේ නැතත් පියාණන් වූයේ ගුරු සේවයේ විදුහල්පතිවරයකු වූ මෙන්ඩිස් සුගතපාල මහතා ය.. සාහිත්‍යයට වඩාත් පෙම්බැඳී බව කියන තම සීයා පිළිබඳව ද අපේ සුහද කතාබහේදී රොහාන් මා සමඟ කීවේ මෙබඳු කතාවෙකි. තාත්තාගෙ තාත්තා තම සීයා ඔහුගේ පෙම්වතියක් දැක බලාගන්නට ගිය කාරණයක් අරභයා "කපුටු සන්දේශය'' නමින් මහා කවි පොතක් ප්‍රබන්ධය කළ බවකි...

"ඒ කපුටු සන්දේශය කවි පොත සීයා ලියුවේ මං පුංචිම සන්දියෙදි..."

රොහාන් කියන්නේය..

අපේ ආදරණීය කතා නායක ආනන්ද හේවගේට වයසින් අවුරුදු පහක් තරමේ කාලයේදී සිය ආදරණීය මෑණියන් මියපරලොව ගියාය..ඒ ඇයගේ දෙවන පුතු බිහිකළ අවස්ථාවකදීය..

"සරත් බාප්පා හම්බුවෙනකොට අපෙ ආච්චි මැරුණා යැයි අපේ රොහාන් කීවේ ඒ නිසාය...

මම රොහාන් දෙස බලමි.

"ඉතිං සීයා නැවත විවාහයක් කරගත්තා ..ඒ තැනැත්තිය සීයාට වඩා වයසින් බොහෝ අඩු කෙනෙක්...ඒ විවාහයෙන් ඒ ආච්චි ට දුවලා හතර දෙනයි..පුතාලා තුන්දෙනයි. කොහොම හරි අපේ තාත්තාට අම්මාත් නැතිවුණා...ආපු කුඩම්මාගේ ආදරයකුත් ලැබිලාම නැහැ..අනන්ත අසරණ වෙලා තියෙනවා.ඒ ආච්චි ඇයගේ දූ දරුවන් මත්තේ තමා ඉඳල තියෙන්නෙ..තාත්තා තනිව උන්නු කාලයක් තිබුණලු.. මවු සෙනෙහස අහිමි වීමේ වේදනාව අපෙ තාත්තගෙ ජිවිතය පුරා ම තිබුණා ය කීවොත් හරි..තාත්තා වැඩිහිටියෙක් වුණාමත්..."

රොහාන් බිම බලාගත්වනමය ..

"අපෙ තාත්තාට අක්ක කෙනකුයි..මල්ලි කෙනකුයි හිටියා..තාත්තාගෙ මල්ලිගෙ උපතේදි ආච්චි නැතිවුණානෙ..දැන් ඒ තාත්තාගෙ අක්කත් මල්ලි ත් දෙන්නම ජීවතුන් අතර නැහැ.."

මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අපේ ආදරණීය ආනන්ද රැකියාවකට ඉල්ලුම් කළේය..ඒ අනුව ඔහුට එලිෆන්ට් හවුස් අලියා බීම සමාගමෙිද තනතුරක්ද ගුරු පත්වීමක්ද එකවර ලැබිණි.....නිවසට තැපෑලෙන් එවනු ලැබූ එම ලිපි කඩා බැලූ තාත්තා ආනන්ද පුතු ලඟට කැඳවා කියන්නට වූයේ "බීම සමාගමේ රස්සාව අතහැරපන්..ගුරු පත්වීම කරපන් " යනුවෙනි..තම පියාගේ උපදෙස් අනුව යමින් හෙතෙම පළමු වරට ගුරුවරයකු වූයේ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේය...පාසලට අලුතින් පැමිණි විද්‍යා ගුරුතුමා අපේ ආනන්ද හේවගේය.. ය.

එහිදී නාට්‍ය කලාවටද අත තැබූ අපේ ආදරණීය කතා නායකයා පාසල් මට්ටමේ නාට්‍ය තරඟවලටද තම නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කළේ තම සිසු දරුවනට මනා පුහුණුවක්ද ලබාදෙමිනි..එම නාට්‍ය ජයග්‍රහණය ලද අවස්ථාද එමටය..

ගොඩගේ පොත් සමාගමේ වත්මන් කළමනාකාරවරයකුද වන ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ මහතා අපේ කතා නායකයාට සමීපවම සිටි සිසුවෙකි.. දක්ෂ නළුවෙකි..හේ හැම නාට්‍යයකදීම ප්‍රධාන චරිතයට ජීවය දෙමින් කැපී පෙනුණි.

මේ කියා යන නාට්‍ය කතන්දර අස්සේ අරුම පුදුම සිද්ධියක්ද අපේ රොහාන් උස්හඬින් සිනාසෙමින් කියන්නට වන්නේය...

"අපි එතකොට උන්නෙ වත්තල..නායකකන්ද පල්ලියෙ තමයි මේ නාට්‍ය පෙන්නුවෙ..ඒක රජ කතාවක්..රජුගේ පුතා බලාගන්න මෙහෙකාරියක් හිටියා..හැබැයි ඇයටත් එම වයසේම පුතෙකුත් හිටියා..රටේ කැරැල්ලක් ඇවිත් ජනයා රජ මාලිගයට කඩා වදින ජවනිකාවකුත් එහි තියෙනවා..අර මෙහෙකාරිය තම පුතාව කුමාරයාට අන්දවා රජුගේ පුතු සඟවා තබනවා..

ඉතිං ...රජුගේ පුතාට රඟපෑවේ මං. එතකොට මම 4 වන පන්තියේ ...තම පුතාගෙ ජිවිතය බේරා ගත් නිසා රජතුමා මෙහෙකාරියට කෘතවේදී වන්නට තිබුණෙ නාට්‍ය අවසානයේ..මාර වැඩේ කියන්නෙ රජ්ජුරුවෝ කැරැල්ල මාලිගයට එන්නත් ඉස්සෙල්ල නාට්‍ය කතාව මැද හරියේදි අර මෙහෙකාරියට රජතුමා වැන්දානෙ.. ඒ නාට්‍යය එහෙම්පිටින්ම අවුල් වුණා. ඒ එක්කම පැත්තකට වෙලා නාට්‍ය නිරීක්ෂණය කරමින් හිටපු අපෙ තාත්තා ට ඒ නළුවා මිනිසුන් ට ඇහෙන්නම සොරි සර් කියලත් කිව්වනෙ... ඒත් තාත්තා නම් "හා..කමක් නැහැ පුතා කියල කිව්වා."

රොහාන් සිනාසෙයි.

අපේ ආදරණීය ආනන්දයන් සීදූව..අම්බලංමුල්ල විදුහලකද..මීගමුවේ විදුහලකද ඉගැන්වූයේය..

හෙතෙම සිනමා කර්මාන්තයට සම්බන්ධ වූයේ ද මේ වකවානුවේදීමය.. ඊට මුල්වූයේ අපේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.. "හිතක පිපුණු මල් "චිත්‍රපටයේ අධ්‍යක්ෂක සෙල්වදොරේ මහතාට හඳුන්වාදීමෙන් පසුව අපේ ආනන්ද එහි සහය අධ්‍යක්ෂකවරයකු විය..හේ චිත්‍රපට ලෝකයට අත්පොත් තැබුවේ ජී ඩී එල් කලාපෙළෙනි. "හරිම බඩු තුනක් " චිත්‍රපටය හෙතෙම අධ්‍යක්ෂණය කළේය.. දෙවන වරට අධ්‍යක්ෂණය කළේ සඳවට රන්තරු චිත්‍රපටය ය..තෙවනුව අධ්‍යක්ෂණය කළේ පස මිතුරෝ චිත්‍රපටය ය..ඉන්පසුව "ලොක්කෙ "නම් චිත්‍රපටයට අත ගසා එහි සියලු කටයුතු අවසන් අදියරට එමින් තිබියදී නිෂ්පාදකවරයාට මූල්‍ය ගැටලු මතුවීමෙන් එය අතරමග දී ඇනහිටිණි.. "බඹර පැටික්කි " චිත්‍රපටයේ ජෝති ගැයූ "මේ අහල්ලා..අහල්ලා..මගෙ තාලේ.." ගීතය තවමත් රසික සිතේය..එහි තිරනාටකය අපේ කතා නායකයාගේය..අනතුරුව සෝමා ජයකොඩි මහත්මියගේ මදාරා නවකතාව ඇසුරින් තැනූ "රන්දුනු "ටෙලි නිර්මාණයේ තිර රචනයද අපේ ආදරණීය ආනන්දගේය..

අපේ ආදරණීය කතා නායකයාගේ ප්‍රියතම වි​මෝදාංශය ගැනද සිහිපත් වෙයි..එකල කැසට් රෙකෝඩර් නැති..ගුවන් විදුලියේ ප්‍රචාරය වන හින්දි ගීත රැකෝඩ් කරගන්නා අතර පාන්දර යාමේ සිට රෑ බෝවනතුරුම ඇසෙන්නේ එකල ජනප්‍රිය හින්දි ගීතයන්මය..එකල හේ තම බිරිඳ සහ දරුවන් ද කැටුව නිතර යන්නේ හින්දි ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වන්නටය...රාෆිල කිෂෝර් කුමාර්ල ලෝකයේ තමයි අපෙ තාත්තා ඒ කාලෙ උන්නෙ..ජාත්‍යන්තර චිත්‍රපට එක්ක තාත්තාගෙ ලොකු සම්බන්ධතාවක් තිබුණා. හාස්‍යය රැගත් චිත්‍රපටවලටද තාත්තා ගොඩක් ඇලුම් කළා...""

"අපෙ තාත්තා කේන්ති ගියාම මුරණ්ඩු දඩබ්බර චරිතයක් ..ඒ කාලෙ සීයාත් එහෙමලු.. මවු සෙනෙහස කුඩාකාලෙදිම අහිමිවීම නිසාම තාත්තා ඒ තරමි දඩබ්බර වෙලා තියෙන්නෙ කියලා අම්මා මා එක්කල කියල තියෙනවා.."

අපේ රොහාන් කියයි.

අපේ ආදරණීය ආනන්ද හේවගේ නම් සොඳුරු කතා නායකයා විද්‍යා විෂය පිළිබඳ සාමාන්‍ය පෙළ පන්ති වලට ඉගැන්වූ ගුරුවරයකු බව මුලදී කීවෙමි..හෙතෙම නිතර මහරගම ගුරු අභ්‍යාස විදුහලට යන්නේය. තම ජීවන සහකාරිය තමන්ට හමුවනුයේ ගුරු භූමිකාවෙන්ම බව ඔහු දැන නොසිටින්නට ඇත..දෛවය එසේමය..ඇයද ගුරුවරියකි. ඈ පිළිබඳ සෙනෙහෙ සිත් උපදවාගත් හෙතෙම ඇයට පොරොන්දු වූ අයුරින් ඇයගේ මවුපියන් හමුවන්නට ගියේ ඔවුන්ගේ දියණිය පිළිබඳව ඇතිකරගත් තිර අදහස කියන්නටය..ඔවුහු ප්‍රභූ පැළැන්තියට අයත් ගොවි කුල අය වූහ. ඉඩකඩම් ගේ දොර අඩුවකුදු නැති ගරු ගාම්භීර ඇයගේ පියාණන් අපේ කතා නායකයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න සියල්ලම පසෙකට දමා පළමුවෙන්ම ඇසුවේ තමුන්ගේ කුලය කුමක්දැයි කියාය..අපේ ආනන්ද අපි කරාවේ අය බව එසැණින් කී සැණින් ඔහුගේ බරපතළ අකැමැත්තම එමොහොතේදී ම මුවින් නික්මිණි..අපේ ආනන්ද අසරණ වූවාසේය..

එතැන් සිට ඇයගේ මවුපියන් මේ දෙදෙනා වෙන්කොට දමන්නට නොගත් උත්සාහයක් නැති..දිනෙක ඒ රදල පියාණන් තම දියණියගේ පපුවට තුවක්කුව එල්ලකොට ආනන්ද සමඟ හාදකම් වහා නවත්වන තැනට ගර්ජනා කළේය..එහෙත් තිර ප්‍රේමයෙන් යුතුව ආනන්දයන් මත්තේම පසුවූ ඕ තොමෝ දිනෙක තම මවුපිය නෑසියන් අතැර දමා රහසේම ආනන්දයන් හා අතිනත ගත්තාය..ඉන්පසුව සිදුවූයේ ඇය එම පවුලෙන් නෙරපා දැමීමය..

"ඒ අපෙ අම්මාගෙ තාත්තා කෙතරම් නපුරුකම් කළාද කියනවනම් අපෙ අම්මා ට හිමි දේපළත් අපෙ අම්මා ට නොදී අම්මාගෙ පවුලේ අනික් අයට ලියාදීලා..තාත්තාගෙ ආදරය වෙනුවෙන් අම්මා එදා තනි තීරණයක් ගත්තා..අම්මා දවසක් මට කිව්වා තාත්තා ව අම්මා ට මුණගැසෙනකොට තාත්තා හිටියෙ අසරණ අනාථ මනුස්සයෙක් වගේ කියලා."

අපේ ආදරණීය රොහාන් කියයි.

ආනන්ද හේවගේ සහ දෝන සීලවතී ලොකු බාලසූරිය ( ශීලා ලොකු බාලසූරිය) හදබැඳී පෙම් සපථකොට එක්වූයේ 1961 වසරේදීය.

මා සමඟ කතා කරන රොහාන් කනිෂ්ක හේවගේ පවුලේ බාලයාය. හේ පුද්ගලික ප්‍රධාන පෙළේ බැංකු නිලධාරියකුව සිට ඉන් ඉවත්ව එංගලන්තය බලා ගියේය. ඔහුගේ අයියා චන්දන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකි..පදිංචිය ඇමෙරිකාවේ ය..දෙවන අයියා දර්ශන හේවගේය .උපාධි කිහිපයකින්ම පිදුම් ලද ඔහු පදිංචි ව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය...

"අපේ පවුලේ අපි තුන් දෙනයි..අක්කලා නංගිල නම් අපට නැහැ..ඒක තමා ලොකුම අඩුව අපට..""

රොහාන් සිනාමුසු මුහුණෙනි..

අපේ ආදරණීය ආනන්ද හේවගේ සිය පණමෙන් සුරැකි දෙයක්ද තිබුණේ ය..ඒ හොණ්ඩා බෙන්ඩ්ලි බ්‍රෑන්ඩ් නිව් මෝටර් බයිසිකලයකි..8 ශ්‍රී 146 . එහි ඇවැසි කටයුතු සියල්ලකටම අත ගැසුවේ රොහාන්ගේ පොඩි අයියාය..ඊට අමතරව පොතපතටද ආදරය පෑ ඔහුට පොත් කියැවීමට මේ රෑ හෝ දහවල කියා වෙනසක් නැති...චිත්‍රපට වැඩ කටයුත්තේද ..නවකතා පොතපතේද ඇලීගත් තම ස්වාමියාට ඇවැසි නිදහස එලෙසින්ම ලැබදුන් ආදරණීය බිරිඳ ශීලා ශක්තිමත් ගැහැනියක් ලෙසින් ගෙදරදොර හැම කටයුත්තෙහි ම පසු වූවාය..හැම කාර්යයම ඇය අතින්ම කෙරිණි ..

දුම්වැටිය ඔහු ඇඟිලි තුඩු අතරින් ගිලිහී ගිය මොහොතක් තිබුණිනම් ඒ රෑ නින්දේ පමණි..

"අපෙ තාත්තා මත්පැන් එක්ක එහෙමට සම්බන්ධ නැතිවුණත් දුම්වැටිය එක්ක තිබුණෙ නම් ලොකු සමීපබවක්.."

රොහාන් කීවේය.

අපේ ආනන්දට වඩාත් ප්‍රේමකළ සමීපතමයන් අතර යසපාලිත නානායක්කාර ..ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ..ඇන්තනී සී.පෙරේරා..ආදී බොහෝ පිරිසක් ද වූහ..දිනෙක හෙතෙම තම දරු පවුල ද සමඟින් යසපාලිතයන්ගේ නිවසට ගිය අවස්ථාවකදී දරුවන් කොහොමදැයි විමසූ එක් පැනයකදී ගත් කටටම අපේ ආනන්ද යසපාලිත ට කීවේ "මගෙ දරුවනට මම පිච් එක හොඳට හදල දෙනවා..එතැන් සිට කටයුතු එයාලා අතේ.." යි කියාය..

තාත්තා දවසක අපේ රොහාන් ට චිත්‍රපටයක රඟපාන්නට කතා කළවිට රොහාන් කීවේ තමන්ට ලැජ්ජයි කියාය..ඒත් රොහාන් පුතුගේ ගායන කුසලතාවට ඒ තාත්තා ඉහළින්ම සුභ පැතුවේය..

"පස මිතුරෝ තිර නාටකය ලියනකොට මම තාත්තාගෙ හිස මසාජ් කරනවා..එයා ඒකට හරි කැමතියි ..පස මිතුරෝ ෂූටිං කළේ දුර ඈතක..කොහොම හරි නෙගටිව් ඉවර වෙලා තාත්තා ට ලොකු අවුලක් වුණා..තාත්තා ගෙ චිත්‍රපට වලට ඇලෙක්ස් අන්කල් ව ගත්තා..දෙන්නාම හොඳ යාළුවොනේ..ඇලෙක්ස්ට ප්‍රේම ගීතයක් දෙන්න තාත්තා ට ඕන වුණා..හරිම බඩු තුනක් චිත්‍රපටයෙ " ඔබගේ රුව මාගේමයි " ඇම්..ඇස් සමග රංජනී ගයන ගීතය දුන්නා ..දුෂ්ට නළුවකු ට එහෙම ගීත ජවනිකාවක් දුන්න ඒක අහඹු අවස්ථාවක්. ඒ ඇලෙක්ස් අන්කල් ට තාත්තා හිත ඇති නිසයි..සෝනියා දිසා මහත්මියත් චිත්‍රපටයෙ හිටියා..කොහොමත් සෝනියා ඇලෙක්ස් සැබෑ ජීවිතෙත් පෙම්වතුන් වගේනෙ.."

" ඉතිං පස මිතුරෝ කරන විට නෙගටිවි ඉවර වුණාය කියල මම කලින් කීවනෙ..සමීප මිතුරා යසපාලිත ට ලියුම් කෑල්ලක් ලියලා කාරණය කියලා මුදලක් ඉල්ලා අම්මා ව යසපාලිත අන්කල් ළඟට යැව්වා ..අම්මා රන් වළලු දෙකක් ඇපයට තියල සල්ලි ගේන්න ගියෙ..ඒත් යසපාලිත අන්කල් රන් වළලු ප්‍රතික්ෂේප කරල රුපියල් 5000ක් ඒ වෙලාවෙම අම්මා අතේ තාත්තා ට එව්වා..වැඩේ හොඳට කරගන්න කියලා..ඒ කාලෙ 5000 ක් කියන්නෙ අද ලක්ෂයකට එහා..ඉතිං ඒ උපකාරය නිසා තාත්තාට වැඩ ටික හොඳීන් කරගන්න ලැබුණා ..ඒ ණය මුදල යසපාලිත අන්කල් ට දෙන්න තාත්තා ට බැරිවුණා."

මේ වනවිට අපේ කතා නායකයාගේ කුසලතා පිළිබඳව වඩාත් සතුටට පත්වූ ආනන්දයන්ගේ බිරිඳගේ පාර්ශ්වයේ සැමදෙනාම තරහ මරහ අහෝසි කර දමා එකමුතුව සිටියහ..

අපේ ආදරණීය රොහාන් දෙස මම බැලීමි..

"මං ගැන කියනවනම් මගෙ බිරිඳ කළුතර..ඇයත් පශ්චාත් උපාධිය සමත් ව්‍යාපාර කළමනාකරණය කළ කෙනෙක්. දැනට මගෙ මෝනා උක් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් පරිපාලනයේ..ඇය නිදර්ශනී පෙරේරා ..අපේ පුතා සෙන්කිත් හේවගේ.."

" තාත්තාගෙ ලොකුම හිතවතා විජය අන්කල් ..අපි වත්තල හිටියේ ගෙදරක කුලියට..අම්මා ට හිමි දේපළ මුකුත්ම ලැබුණෙ නැහැනෙ. අපි ආර්ථික අතින් පවා බොහොම දුබලව උන්නේ..තාත්තාගෙ අසරණකම දැකපු විජය අන්කල් තාත්තා ට කීව ඔහොම පැත්තකට වෙලා ඉන්න එපා..මම නොමිලේ රඟපාන්න එන්නම්..ඔයා චිත්‍රපටයක් කරන්න ගන්න කියලා..සඳවට රන්තරු චිත්‍රපටයෙ විජය හිටියා. පස මිතුරෝ එකේ මුල්ම දර්ශනයට විජයව තාත්තා ගත්තෙ. එහි ගරු රඟපෑමකට විජය හිටියා..උත්සවයෙදිත් පහන පත්තු කරන්න දුන්නෙත් විජයටයි.."

අපේ විජය කුමාරණතුංගයන් නැති වූ බව කනින් කොනින් ඇසුණු අපේ ආනන්ද හැඳසිටි ඇඳුමද නොතකමින් තම යතුරු පැදියේ නැගී විජය බලන්නට ගියේ සිහිමුළාවූවකු මෙනි..එදා ඔහු ඇතිවනතුරු හඬා වැටුණේය...

"දවසක් තාත්තා මා එක්ක ඇලෙක්ස්ගෙ ගෙදරට යද්දී ඇලෙක්ස් ෂූටිං ගිහින් ඇවිත් සප්පායම් වෙලා හිටියෙ...ඇලෙක්ස් ගාමිණී මහත්තයා එක්ක ආරෝවක් හදාගෙන ඇවිත් හිටියෙ...එකට ගාමිණී සමඟ රඟපාන චිත්‍රපටයෙ ගාමිණී ට විස්කි දෙන්නයි අපට ගල් අරක්කු දෙන්නයි ඒ මොකද කියල ඇලෙක්ස් අවුලක් හදාගෙන.. කොහොම හරි ගාමිණී එක්ක රඟපෑම ඇලෙක්ස් ට ගාමිණී තහනම් කරලා.."

මාලිනි බුලත්සිංහල මහත්මිය පළමුවරට ගායිකාවක වූයේ තාත්තාගේ චිත්‍රපටයකින් බවද අපේ රොහාන් කියන්නේය..

"සිත බැඳුණේ දෑසේ රූ ඇඳී.." ගීතය ටෝනි හසන් සමග මාලනී ගැයුවාය..ඒ සඳවට රන්තරු චිත්‍රපටයේය..

දයාරත්න රටගෙදර බෙනට් රත්නායක සහය අධ්‍යක්ෂණයෙන්ද තාත්තා අත ගැසූ "ලොක්කෙ " චිත්‍රපටය අතරමග බිඳ වැටුණු බවද රොහාන් සිහිපත් කළේය..

අපේ කතාබහට තවත් කරුණු එකතු කළ රොහාන් මදෙස බැලීය..

"වර්ණ චිත්‍රපට එන්න පෙර කළු සුදු චිත්‍රපටකරුවන්ගේ බල මුළුවක් තාත්තා සංවිධානය කළා..මමත් පොඩි අයියා ත් ඒ සමිතිවලටත් ගියා.."

අපේ ආදරණීය රොහාන් තම නිසග ලේඛන හැකියාව උරගා බලන්නට මෙන් ඔහු සිතට එතුවක් වද දුන් කතාවක් ග්‍රන්ථාරූඪ කළේය.. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 2020 දී සංවිධානය කළ ජාතික අත් පිටපත් තරඟයෙන් අත් පිටපත් 300ක් අතුරින් ජයග්‍රහණය කළ "මරු කතරේ පිපෙන මලක් " නම් ජයග්‍රාහී කෘතිය අපේ ආදරණීය රොහාන් හේවගේ සම්පාදිත කෘතියකි..

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ..මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර ..චිත්‍රපට විචාරක තිස්ස ප්‍රේමසිරි චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ..ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන ආදීහු එම කෘතිය මහත්සේ අගැයුමට බඳුන් කොට ඇත..

ජන ප්‍රසාදිනී සෝමා ජයකොඩි මහත්මිය විසින් එම කෘතිය ගුරු ගීතය තරමටම ආසක්ත බව කියමින් සුභ පැතුවා ය..

"ඒ මගේ කෘතියෙ මගෙ තාත්තා ඉන්නවා. මං ඉන්නවා ...ඒක සත්‍යය කතාවක්.."

රොහාන් හේවගේ තම කෘතිය පිළිබඳව සතුටින් කියන්නේය..

චිත්‍රපට ජීවිතයෙන්ද මිදුණු අපේ ආදරණීය කතා නායක ආනන්ද හේවගේ නිවසට වී හුදකලාවම කාලය ගෙවන්නේ ය.. වාදනයට දක්ෂ ඔහුම තැනූ මැන්ඩලීනය වැනි සංගීත භාණ්ඩයක් වරෙක නිදහසේ වයන්නේය..

වරෙක චිත්‍ර අඳීන්නේය..සංගීතය..හින්දි ගී රසවිඳීම දැන් ඔහු දිවියෙහි මුල් තැනක් ගත් ඒවාය..මේ වනවිට අපේ රොහාන් ද එංගලන්තයේ රැකියාවේය..

ඒ අතරේදී ලද හදිසි පණිවුඩයකින් හේ වහා ලංකාවට පැමිණියේය ..රොහාන් එන්නට පෙර අපේ ආදරණීය ආනන්දයන් පිළිකා රෝහලේ පසුවූ බවක්ද දැනගත්තේ ඔහු ලංකාවට ආවාටත් පසුවය..

බලවත් සේ රෝගාතුරව ගිලන් යහනටම ඇදවැටුණු අපේ ආනන්ද සිය බිරිඳ ට මහත් අපහසුවෙන් මෙසේ කීවේ ය..

"අර පාසල ඉස්සරහ තියෙන පොඩි කඩේ මට ගිනි තියන්න හිතෙනවා"

උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේදීද ඒ කඩය පිටුපසට ගොස් දුම්වැටි පානය කළ සැටි මතක් වී .. ඊට තරයේ උරණව ඔහු එසේ කීයේ පානය කළ දුම්වැටිය නිසාම තමන්ට

උගුරේ පිළිකාවක් වැලඳී තිබීම නිසාවෙනි..

රෝහල් වාට්ටුවේ තනියට ළඟ සිටියේ ඔහුට වඩාත් ළෙන්ගතු සම්පත් විජයවීරය...සම්පත් ඔහුගේ හැම දෙයක්ම ළඟම සිට ඉටු කළේය..කැව්වේය..පෙව්වේය..ඇඳුම් මාරු කළේය..පිරිසිදු කළේය..

"තාත්තා වෙනුවෙන් සම්පත් මල්ලි කළ මෙහෙවර සත්තකින්ම පූජනීයයි ..ඔහු හිතමිතුරෙක්මයි"

රොහාන් කිවේය..

අපේ කතා නායකයා තැනූ පස මිතුරෝ චිත්‍රපටය ප්‍රදර්ශනය වී සති තුනක්වත් ඉක්ම ගියේ නැත..රටපුරා ජාතිවාදී කලබල ඇවිලිණි..නළු නිලියනට මුදල් ගෙවා ගැනීමටවත් අසීරු විණි.. ජාතිවාදී කෝලහලයෙන් පස මිතුරෝටද පහර වැදුණාසේය..

අපේ සොඳුරු කතා නායකයා රෝහල් වාට්ටුවෙන් ගෙදරට රැගෙන ආවේය..දැන් තත්ත්වය වඩාත් බරපතලය.. ගෙතුළ වේදනාවෙන් පිරී ඇත..

පිරිත් සජ්ඣායනයට නිහඬවම සවන් යොමා හුන් අපේ ආදරණීය සිනමාවේදී ආනන්ද හේවගේ නම් සොඳුරු සහෘදයා වයසින් අවුරුදු 69 ක් ආයු වින්දනය කරමින් 2006 ක්වූ අගෝස්තු මස 29 දා බිරිඳ ට හෝ කාහටවත් කිසිත් නොකියාම නිහඬවම යළි අවදි නොවනා දිගු නින්දකට පිවිසියේ ය....

[email protected]

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල