වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මාධ්‍යත්‍රයේ තීර්ථ යාත්‍රිකයාගේ ගමන නිමා (නො) වෙයි...

ලාංකේය කලා ක්ෂේත්‍රයේ අප්‍රමාණ කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනි (1958 - 2023) සූරීහු පසුගිය ඔක්තෝබර් 9 වැනිදා කයෙන් සදහටම සමුගෙන ස්වකීය නිර්මාණාවලිය ඔස්සේ අමරණීය ලෙස විශ්ව ගත වූහ. ඔක්තෝබර් 9 වැනිදා දිනය ගැන සිතූ කල්හි මගේ කලා ජීවිතයට ඉමහත් ආභාසයක්, අනුප්‍රාණයක් වූද නිල නොලත් ගුරුවරුන් වූද මහා කලාකරුවන් දෙදෙනකු මට සිහිපත් වේ. ඒ විජය කුමාරතුංගයන් සහ ජැක්සන් ඇන්තනින්ය. විජය ජන්ම ලාභය ලැබූ දිනයේ ජැක්සන් කීර්තිශේෂභාවෝපගත වූයේය. ඔහුගේ අභාවයෙන් මා හදෙහි ජනිත වූ කම්පනය කෙතරම්ද යත් පසුගිය දින කිහිපයේම ඔහු පිළිබඳ මගේ මතක සැමරුම්, කියවීම් කිසිවක් සටහන් කිරීමට මම අපොහොසත් වීමි.
මේ මහා කලාකරුවා මා මුලින්ම දුටුවේ 1985 දී ජාතික රූපවාහිනියේ විකාශය වූ ධම්ම ජාගොඩ සූරීන්ගේ ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍යයේ විජේපාල ලෙසිනි. ඉක්බිතිව 1987 එවක එකොළොස් හැවිරිදි වියෙහි පසුවූ මා හට, දෙමව්පියන් සමඟ ගොස්, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී, සුගතපාල ද සිල්වා සූරීන්ගේ ‘මරාසාද්’ නාට්‍යය නැරඹීමට භාග්‍ය ලැබිණ. එහිදී කුෂ්ඨ රෝගයෙන් පීඩිතවැ, බෙහෙත් ඔරුවක සිට ප්‍රංශ විප්ලවය අරභයා ග්‍රන්ථකරණයෙහි යෙදෙන, තර්ක විතර්ක නඟන යොන් පෝල් මරා ලෙස ජැක්සන් ඇන්තනි සූරීන් සුවිශිෂ්ට රූපණයක නියැළෙනු දක්නට ලැබිණ. ඔහු මුළු නාට්‍යය පුරාම බෙහෙත් ඔරුවෙන් බසින්නේ දෙවරක් පමණි. මෙබඳු කලා නිර්මාණවලින් හඳුනා ගෙන සිටි ජැක්සන් ඇන්තනි සූරීන් මුල්වරට මට හමු වී සුහද සංලාපයක යෙදුණේ 1998 වසරේ ජූලි 9 වැනිදාය. එනම් ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ ‘ජුලියට්ගේ භූමිකාව’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹ මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී තිරගත වූ අවස්ථාවේදීය. චිත්‍රපටය තිරගත කිරීමෙන් පසුව ඊට දායක වූ සියලු කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ ආරාධිතයන් සහභාගි වූ ප්‍රිය සාදයක් කොළඹ කිංජු චීන අවන්හලේ දී පැවැත්විණ. ජැක්සන් අයියා සමඟ මුල් වරට මා කතාබහ කළේ එදිනය.
“නුවන්, මේ චිත්‍රපටය ගැන ඔයාගේ අදහස මොකක්ද ?” ජැක්සන් අයියා ඇසුවේය.
“මං මේ චිත්‍රපටය දකින්නේ සෞන්දර්යවාදයේත් අධි යථාර්ථවාදයේත් සහසංකලනයක් හැටියට.” මම සංක්ෂේපයෙන් පැවසුවෙමි.
මොහොතක් මා දෙස නිහඬව බලා සිටි ජැක්සන් අයියා “න්‍යායාත්මකව හරි” යැයි පැවසුවේය. චිත්‍රපටය ගැන මෙලෙස ඔහු සමඟ මගේ අදහස් දැක්වීමෙන් නොනැවතී මම ඒ අරභයා සිනමා විචාරයක් ලීවෙමි. ‘සෞන්දර්ය සිනමා සම්ප්‍රදාය හා ජුලියට්ගේ භූමිකාව’ යන හිසින් මෙය ලක්බිම පුවත්පතේ 1998 සැප්තැම්බර් 6 වෙනිදා පළවිය. මා මුල්වරට සිනමා විචාරකයකු ලෙස දොරට වැඩියේ එදිනය. ජැක්සන් අයියාත් මාත් අතර එතැන් සිට ගොඩනැඟුණු සමීප ඇසුර ඔහු මියයන තෙක්ම වසර 25 ක් පුරා අඛණ්ඩව පැවතිණ. ඔහුට සවන ගුවන් විදුලියේ වැඩසටහන් අධ්‍යක්ෂ ධුරය හිමි වූයේ ඒ ආසන්න කාලයේදීය. ලාංකේය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ක්ෂේත්‍රයේ විප්ලවය සිදුකළ පුරෝගාමියා ජැක්සන් ඇන්තනි බව ම විසින් පෙන්වා දෙන ලද්දේ 2008 වසරේදීය. 90 දශකයේ මුල් භාගයේ රජය පෞද්ගලික අංශය සඳහා ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය විවෘත කරන විට එය සිදු කළේ විධිමත් නියාමනයකින් හෝ ආචාර ධර්ම පද්ධතියකින් තොරව බව ජැක්සන් ඇන්තනි සූරීහු මුල්වරට පෙන්වා දුන්හ. ඒ ඔහු විසින් විරචිත ‘බද්ද දෙස මැද්දේ සිට බැලීම හෙවත් ලංකාවේ ටෙලිවිෂන් අර්බුදය හඳුනා ගැනීම’ (2007) නම් වූ අනර්ඝ පොත් පිංචෙනි. මෙරට පෞද්ගලික මාධ්‍ය, නොයෙක් දෙසින් හමා එන ජනප්‍රිය සංස්කෘතික හානිකර අංගවලින් මුදවාගෙන ඒවා දේශීයකරණයට ලක් කොට ඊට ලාංකේය සංස්කෘතික විඥානය කාවැද්දිය යුතු බව එතුමෝ එහිදී පෙන්වා දුන්හ. ඉන් නොනැවතී සවන ගුවන් විදුලිය ඔස්සේ එය ප්‍රායෝගිකව භාවිත කිරීමේ ක්‍රියාවලිය ඇරැඹුවේය. ඒ සඳහා විවිධ අංශවලින් දක්ෂතා ඇති පිරිසක් ඔහු එක් කොට ගත්තේය.
1998 අවසන් භාගයේ ඔහු සවන ගුවන් විදුලියේ වැඩසටහන් අධ්‍යක්ෂ ධුරය දැරූ සමයේ දිනක් තම කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙස මට දුරකථනයෙන් දන්වා සිටියේය. එවක සවන් ගුවන් විදුලිය පිහිටා තිබුණේ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සංකීර්ණයෙහිය. ඔහු හමුවීමට පැමිණි බව මම එහි පිළිගැනීමේ නිලධාරිනියට දන්වා සිටියෙමි. එක්කෝ ඇය ඔහුගේ කාර්යාලයට යන මඟ මට පෙන්වා දෙනු ඇතැයි කියා හෝ නොඑසේනම් ජැක්සන් අයියා කාර්යාල සහායකයකු මා කැටුව යෑමට එවනු ඈතැයි කියා හෝ සිතමින් මම පිළිගැනීමේ අංශයේ අසුන්ගෙන සිටියෙමි. පුදුමයකි, වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වූ ජැක්සන් අයියාම මා සමීපයට පැමිණ මගේ අතින් අල්ලාගෙන කාර්යාලයට කැඳවාගෙන ගියේය. ඔහු මොනතරම් නිහතමානී කලාකරුවකු දැයි මට එදා සිතිණ. “අද තිබෙන හෙට නැති වන”, උසස් නිලයන්ට පත්වූ විට නොපිරිණු, හිස් මිනිසුන්ගේ හිත් පුහු මාන්නයෙන් උදම් වන අයුරු කොතෙකුත් මා දැක ඇත. “වටින්නේ තම නිලය නොව තමා බව” ජැක්සන් ඇන්තනි නම් වූ පිරුණු කළයක් සදිසි මේ මහා කලාකරුවා දැන සිටි බැව් මා හට පසක් විය. ඔහු තනතුරුවලින් බැබළුණු මිනිසකු නොව තම නාමයෙන් දැරූ තනතුර බැබළ වූ මිනිසෙකි. ඔහු මහ පොළොවේ හොඳීන් පය ගසා ජීවත් වූ, විශ්වය දෙස බැලූ, නිහතමානී, (Down to Earth) සංවේදී කලාකරුවෙකි.
ජැක්සන් අයියා මා හට ‘අසල සිනමාව’ නම් වූ හින්දි චිත්‍රපට ගීත වැඩසටහනේ පූරකයා වීමට ඇරැයුම් කළේය. ගුවන් විදුලි මාධ්‍යයෙහි පූරකයකු ලෙස මුල්වරට මා හඳුන්වා දෙන ලද්දේ ජැක්සන් ඇන්තනි සූරීන් විසින් බැව් මම කෘතවේදීව සඳහන් කරමි. ඩබ්ලිව්.ජයසිරි, හර්ෂ බුලත්සිංහල, මනුබන්දු විද්‍යාපති, නිහාල් පීරිස්, වසන්ත දුක්ගන්නාරාල, කමල් කාරියවසම්, කුල ශ්‍රී කාරියවසම්, සංජීව පුෂ්පකුමාර යනාදීන් මෙහිදී වැඩසටහන් සඳහා ඔහු සහභාගි කරගත් බව මා හට සිහිපත් වේ. ජැක්සන් අයියා සවන ගුවන් විදුලියේ තේමා ගී ඛණ්ඩ (Jingles) නිර්මාණය කොට ගත්තේ සීගිරි ගී (කොමුල් අමඩ් ලෙඩ්ලි නසී), යසෝදරාවතේ කවි (කාරණාව බුදු වෙනවා ලකුණු දැනී) ආදියට හර්ෂගේ නූතන සංගීත නාද රටා මුසු කිරීමෙනි. මෙරට ජනතාවට හරවත් දේ ලබාදීමෙන් ඔවුන් ප්‍රඥාසම්පන්න කිරීම වෙනුවට සිහින ලෝකයක මිථ්‍යාවන්ට ඇද දමා ලාභ ඉපැයීම අරමුණු කොට ගත් වෙළඳ මාධ්‍ය සංස්කෘතියක් හාත්පස තිබෙද්දී ජැක්සන් අයියාට වැඩිකල් නොයා සවන ගුවන් විදුලියෙන් ඉවත් වීමට සිදුවීම පුදුමයට කරුණක් නොවේ.
ජැක්සන් ඇන්තනි වූ කලී බහුවිධ කුසලතාවෙන් (Multi Faceted) හෙබි විරල ගණයේ කලාකරුවෙකි. ජැක්සන් රූපණවේදියෙකි; අධ්‍යක්ෂවරයෙකි; තිරකතා රචකයෙකි; ගායන ශිල්පියෙකි; නර්තන ශිල්පියෙකි; චිත්‍ර ශිල්පියෙකි; ශූර සන්නිවේදකයෙකි; ඉතිහාසඥයෙකි; සාහිත්‍යවේදියෙකි; ගවේෂකයෙකි; පර්යේෂකයෙකි; පූරකයෙකි; විචාරකයෙකි; ගත් කතුවරයෙකි. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ කලාකරුවකු වූ කිෂෝර් කුමාර් එරට විචාරකයෝ ‘Man for many Trades’ ලෙස හැඳීන්වූහ.
“ජැක්සන් ප්‍රඥාවත් රුවත් එකසේ දායාද කොටගත් නිර්මාණශීලී නළුවකු ලෙස මම දකිමි. නාට්‍ය නිෂ්පාදකයකුගේ පමණක් නොව නළුවෙකුගේ ගමනද වික්‍රමාන්විත වූවක් ලෙස ජැක්සන් දකියි. මා පෙර පින් ඇත්තෙකැයි මට සිතෙන්නේ මෙවැනි නළු නිළියන් මට හමුවන බැවිනි.” මහා නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සූරීහු වරක් ජැක්සන් පිළිබඳව එසේ කීහ. මෙරට කලා ක්ෂේත්‍රයෙහි එදා මෙදා බිහි වූ සුවිශිෂ්ට රූපණවේදීන් අල්පයට ඔහු අයත් වීම විවාද රහිතය.
1958 ජූලි 8 වැනිදා රාගම උපත ලැබූ කොන්ගනීගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි, තම දෙටු සොහොයුරා වූ සේනක ටයිටස් සමඟ රංගනයෙහි අත්පොත තැබුවේ ස්වකීය පියාණන් වූ බෙනඩික්ට් ඇන්තනිගේ සෙවණෙහිය. බෙනඩික්ට් පාස්කු නාට්‍ය ඇසුර ලැබූ වාසප්පු නම් නාට්‍ය අංගය ප්‍රගුණ කළ කලාකරුවෙකි. වාසප්පු යනු සාන්තුවරුන්ගේ කතා පුවත් රඟ දක්වන නාට්‍ය අංගයකි. හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිප් සතර හදාරන කල ජැක්සන් වඩාත් ප්‍රකට වූයේ චිත්‍ර ශිල්පියකු වශයෙනි. නාට්‍ය කලාව කෙරෙහි ඔහුගේ හිත යොමු කිරීමට පාසල් ගුරුවරයකු වූ පින්තු මාස්ටර්ගේ මඟපෙන්වීමද ජැක්සන් හට කදිම අත්වැලක් විය.
“මම කතෝලික වුණාට මගේ සංස්කෘතිය බෞද්ධ” යැයි වරක් පැවසූ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශයටද බෞද්ධ සංස්කෘතිය හදාළේය. ජැක්සන් හැරුණු විට වෙනත් ආගම්වලට අයත් වුවත් සංස්කෘතියෙන් බෞද්ධ වූ කලාකරුවන් දෙදෙනෙකු මට සිහිපත් වේ. ඒ මර්සලීන් ජයකොඩි ගරු පියනම හා මොහිදීන් බෙග් මාස්ටර්ය.
ගණේමුල්ල ගලහිටියාව මහා විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ ජැක්සන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී (B.A) උපාධිය ලැබුවේ සිංහල සාහිත්‍ය විෂය විශේෂ කොටගෙනය.
“රූපණවේදියකු ලෙස මා කොටහළු වූයේ මරාසාද් නාට්‍යයෙන්” බව ජැක්සන් අයියා වරක් මා හා පැවසුවේය. ඔහුගේ රංගන දිවියෙහි ඉතිහාසය පිරික්සීමේදී මෙහි සත්‍යතාව වැටහේ. ජැක්සන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හදාරන සමයේ එනම් 1981 දී විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය මංගල සේනානායක නිර්මාණය කළ ‘එහෙත්’ නම් වූ විනාඩි 20 ක කෙටි නාට්‍යයෙහි රඟපෑවේය. නාට්‍ය උලෙළකදී මේ කෙටි නාට්‍යය නැරඹූ සුගතපාල ද සිල්වා සූරීන් හට ජැක්සන් නමැති මේ යොවුන් සරසවි සිසුවාගේ අභ්‍යන්තරයෙහි සිටින ගැඹුරු රංගවේදියාගේ පෘථුල රූපණ පරාසය ක්ෂණිකව ග්‍රහණය විය. “හොඳට රඟපාන්න පුළුවන් දක්ෂ කොල්ලෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවා” යන සුගත්ගේ රෙකමදාරුව ඉක්බිතිව මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ සතර දිග්භාගයේ පැතිර ගියේය. ලූෂන් බුලත්සිංහලයන් ‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍යය උදෙසාත් දයානන්ද ගුණවර්ධනයන් ‘මධුර ජවනිකා’ නාට්‍යය උදෙසාත් ජැක්සන් තෝරා ගනුයේ මෙහි ඵලයක් වශයෙනි. එහෙත් මේ භූමිකාවලින් ඉස්මතු වූයේ සරල, සැහැල්ලු විනෝදකාමී තරුණයෙකි. ධම්ම ජාගොඩයන්ගේ ‘පළිගු මැණිකේ’ ටෙලි නළුවේ ඔහුට ලබා දුන් විජේපාල නමැති චරිතයෙහිද ඊට වැඩි වෙනසක් නොවීය. සුගත් මුල්වරට හඳුනා ගත් සංකීර්ණ, ගැඹුරු චරිත රඟපෑ හැකි නළුවා එකී නිර්මාණවලින් ඉස්මතු නොවුණි. එහෙත් ධම්ම ජාගොඩ සූරීන්ගෙන් ඔහු ලබා ගත් දැනුම මෙහිදී ලඝු කොට තැකිය නොහැකිය. ධම්ම යනු 70 දශකයේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ඔස්සේ විශේෂයෙන් අපරදිග කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of method acting) විද්‍යාත්මකව මුල්වරට ලාංකේය කලා ශිල්පි, ශිල්පිනියන්ට දායාද කළ ප්‍රමුඛාචාර්යවරයාය. තත්විධ රූපණයේ මුල් පාඩම් ජැක්සන් උගත්තේ එතුමන්ගෙන් බැව් පැහැදිලිය. හුදෙක් රෙකමදාරුවෙන් පමණක් නොනැවතී ජැක්සන්ගේ රූපණ පරාසය කලා ක්ෂේත්‍රයට පෙන්වා දීමට සිදුවූයේද සුගත්ටමය. සැබැවින්ම මරාසාද් හි විප්ලවීය නායක යොන් පෝල් මරාගේ චරිතයෙන් ජැක්සන් ඇන්තනි නමැති ප්‍රතිභාපූර්ණ රූපණවේදියා කොටහළු වූයේය. ‘මරාසාද්’ දුටු ආචාර්ය ධර්මසේන පතිරාජයෝ ‘ඇල්ල ළඟ වලව්ව’, ‘කඩුල්ල’ ටෙලි නළු සඳහා ඔහු තෝරා ගත්හ. ‘කඩුල්ල’හී කුරුතේලිස් ජැක්සන් එදා මෙදා නිරූපිත ප්‍රශස්තතම ටෙලි නළු රූපණය බැව් නොපිළිගන්නෝ කවරහුද ? ‘මරාසාද්’ නාට්‍යයේ රඟපෑමේදී ජැක්සන් හට පළමුවරට එහිදී මරණය ස්වාභාවික ලෙස නිරූපණය කිරීමට තිබිණ. එය මුල් අවස්ථාවේදී සුගත් සෑහීමට පත්වන ආකාරයෙන් නිරූපණය කිරීමට ඔහු සමත් නොවීය. එක් දර්ශන වාරකට පෙර බිහිසුණු දෛවෝපගත සිදුවීමක් සිදු විය. එනම් නාට්‍යයේ පුහුණුවීම් නිමවී ජැක්සන් සහ කුමාරී එන අතරමඟ දී මංකොල්ලකරුවන් පිරිසකගේ කොල්ලකෑමට අසුවී ඔවුහු අනූනවයෙන් දිවි ගලවා ගෙන නිවසට ආහ. මෙකී සිදුවීමෙන් ජැක්සන් ලැබූ මරණ බිය සිහියට නංවා ගෙන මරාගේ මරණය නිරූපණය කරන ලෙස සුගතපාලයෝ ඔහුට පැවසූහ. ස්ටැනිස්ලව්ස්කි පෙන්වා දුන් පරිදි නළුවා චරිත නිරූපණයේ දී තම භාවමය ස්මෘතීන් (Emotional Memories) භාවිත කළ යුතු අයුරු ජැක්සන් උගත්තේ මේ පාඩමෙනි. ඉන්පසුව මරණය ස්වාභාවිකව නිරූපණය කිරීමට ඔහුට ලැබුණු ප්‍රබලම අවස්ථාව ‘කඩුල්ල’ හී කුරුතේලිස් මියයන දර්ශනයයි. ‘මරාසාද්’ නාට්‍යයෙහි එකී ජවනිකාවටත් වඩා ප්‍රශස්ත අයුරින් එය කළ හැකි වූයේ ජැක්සන්ගේ හැදෑරීම්වල බොහෝ මුහුකුරා යෑමත් සමඟිනි. මේ දර්ශනය ශූර ලෙස ස්වාභාවිකව නිරූපණය කරනු පිණිස ඔහු ආභාසය ලැබුවේ"The Godfather" (1972) හී මාලන් බ්‍රැන්ඩෝ , "Gandhi" (1982) හී බෙන් කිංස්ලි සහ "ව්චරචඬචද" (1987) හී කමල් හසන් ස්වාභාවික ලෙස මරණය නිරූපිත දර්ශන ඉසියුම් ලෙස හැදෑරීමෙන් බව ඔබ දන්නවාද ? ජැක්සන් මුල්වරට සිනමා කැමරාවක් ඉදිරිපිට රඟපෑවේ ගිවන්ත අර්ථසාද් අධ්‍යක්ෂණය කළ ‘එක වල්ලෙ පොල්’ චිත්‍රපටයෙහි නමුත් මෙය තිරගත නොවිණ. ඉන්පසුව විජය ධර්ම ශ්‍රීගේ ‘ගුරු ගෙදර’ (1993) චිත්‍රපටයෙහි කැරැලිකාර පාසල් ගුරුවරයකු වූ සුනන්ද ලෙස රඟපාමින් ඔහු සිනමාවට අවතීර්ණ වූයේය. මෙකල බහුතරයක් (අතළොස්සක් හැර ) යොවුන් නළු, නිළියන්ට ප්‍රවීණයන්ගෙන්, ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉගෙනීමට දෙයක් නොමැත. මන්ද ඔවුන් සියල්ල දත් වුන් බැවිනි. තමා කිසිවක් නොදන්නා බව හැර සියලු දේ ඔවුහු දනිති. රූගත කරන දර්ශන සඳහා කිසිදු පෙර සූදානමක් නොමැති වීම, දර්ශන තලයට නියමිත වේලාවට පැමිණීමට අපහසු තරම් ව්‍යාජ කාර්යබහුලත්වයක් මවාපෑම, ජ්‍යේෂ්ඨයන්ට ගරු නොකිරීම, ප්‍රවීණයන් නොහැඳීනීම, වල්පල් සෙවීමටත්, හුවමාරු කර ගැනීමටත්, සිහින ලෝකවල ගතකිරීමටත් ජංගම දුරකථනය සමඟ කාලය කා දැමීම මේ කාණ්ඩයේ නළු, නිළියන්ගේ ස්වභාවයයි. ඔවුන් බාහිරෙන් හුරුබුහුටි, කඩවසම් විය හැකිය. මනා ඇඳුමෙන් පැලඳුමෙන් ශෝභිත විය හැකිය. කාය වර්ධනයෙන් (Masculine) තම පෞරුෂයට අපූර්වත්වයක් එක් කොට ගත්තා විය හැකිය. එහෙත් කම් කිම් ? සැබෑ නළුවෙකුට හෝ නිළියකට තිබිය අනිවාර්ය ගුණාංග වන බුද්ධිය, ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතත අභ්‍යාසය , පරිකල්පනය, පෙර පරපුර මැනවින් කියවීම , නිහතමානීත්වය, ශාස්ත්‍ර හැදෑරීමේ පිපාසය හා බහුශ්‍රැතභාවය නොමැති කල්හි පෙර කී ඇඳුම් පැලඳුම්වලින් හෝ කායවර්ධනයෙන් කිසිදු ඵලක් නොමැත. එසේ හෙයින් මේ වර්ගයේ ඇතැම් ව්‍යාජ නළු, නිළියන්ට ජැක්සන් අයියාගේ මෘත දේහය ළඟ සිට සේයාරූ ගැනීමටත්, ඒවා මුහුණු පොතෙන් හුවමාරු කර ගැනීමටත් වඩා වැදගත් වන්නේ මේ මිහිදන් වන ශ්‍රේෂ්ඨ කලාකරුවා, ස්වකීය කලා භාවිතයෙන් මුදුන් පෙත්තට පැමිණියේ කෙසේදැයි අධ්‍යයනය කිරීමය. එකල්හී ඔවුන්ට ජැක්සන් ඇන්තනි නම් වූ මේ සුවිශිෂ්ට කලාකරුවා අතික්‍රමණය කිරීමේ මාවත හෙළිපෙහෙළි වනු ඇත.
“නව පරපුර පෙර පරපුර අබිබවා යා යුත්තේ ප්‍රතික්ෂේප කිරීමෙන් නොව අතික්‍රමණය කිරීමෙනි” යනු ජැක්සන්ගේ කියුමකි. ජැක්සන් ඇන්තනි තමාට පෙර පරපුර මැනවින් කියවා ඔවුන් අතික්‍රමණය කළේ යථෝක්ත ජීවන දර්ශනයෙනි. උසස් කලාකරුවකු වීමට ප්‍රතිභාව පමණක් මදිය. ඒ සියලු දේ හසුරවා ගැනීමට ධී ශක්තියක්, ශ්‍රේෂ්ඨ ජීවන දර්ශනයක් තිබිය යුතුමය. එසේ හෙයින් ජැක්සන් ඇන්තනි නම් වූ පුහුදුන් (පෘථග්ජන) මිනිසා නොව, ජැක්සන් ඇන්තනි නම් වූ අප්‍රමාණ කලාකරුවා මොවුහු කියවත්වා...අහෝ එකල කවදා ඒද.....මෙරට මතු නොව ලොව සියලු කලාකරුවෝ පෘථග්ජනයෝය.
(Nobody's Perfect) “මා කෙලෙස් සහිත මිනිසෙක් නිසා ඊළඟ භවයේ නිවන් දකින්නේ නැත” ජැක්සන් අයියා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ වරක් පැවසුවේ ස්වකීය පෘථග්ජන භාවය නිහතමානීව පිළිගනිමින්ය.
ජැක්සන් අයියාගෙන් බහුශ්‍රුත පෙර පරපුරට ගැලවීමක් නොතිබිණ. එතුමෝ ඔවුන් හා නිරන්තර තර්ක, විතර්ක, විසංවාද සංලාප, සම්භාෂණ පැවැත්වූහ. අන්‍යෝන්‍ය ප්‍රතිපෝෂණය (Feedback) ලැබූහ. තම සමකාලීනයන්ට සේම ඊළඟ පරපුරට ඔහු සැලකුවේද එබඳුම ගරුත්වයකින් හා නිහතමානීත්වයෙනි. පාඩම් උගත හැකි අය සිටී නම් ඔහු නව පරපුරෙන් ද උගත්තේය. “මං මගේ තාත්තගෙන් ඉගෙන ගන්නවට වඩා පුතාගෙන් ඉගෙන ගන්න කැමැතියි” යැයි ඔහු ප්‍රකාශ කළේ එකී අනාගතවාදී දැක්ම නිසාය. “මම ඉතිහාසය ඉගෙන ගන්නේ අනාගතවාදී දැක්මකින්” යැයි වරක් ඔහු මට පැවසුවේය. ඔහු ජ්‍යේෂ්ඨයන්ගෙන්, ශ්‍රේෂ්ඨයන්ගෙන් සම්මානයක් ලබන කල්හි පසඟ පිහිටුවා වැඳ එය ලබා ගත්තේ ඇතැම් මුග්ධයන් ප්‍රකාශ කරන අයුරින් පෞරුෂයේ අඩුලුහුඬු කමක් නිසා නොවේ. ධම්මපදයේ එන අයුරින් ‘නමන්ති පාලිතෝ වෘක්ෂං’ එනම් නිහතමානීත්වයෙන් නැවෙනුයේ ඵල ඇති රුකය ; දිය නොසැලෙන්නේ පිරුණු කළෙහිය. පෙරදිග චින්තනය හික්ම වූ ලාංකේය සංස්කෘතික මිනිසා සැබෑ ශ්‍රේෂ්ඨයන් හමුවේ එසේ ගෞරව කළ යුතුමය. මෙකල දක්නා බොහෝ පාසල් සිසු සිසුවියන්ට, බහුතරයක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට තම දෙමව්පියන්ට , ගුරුවරුන්ට, ජ්‍යේෂ්ඨයන්ට හා ශ්‍රේෂ්ඨයන්ට (මා මෙහිදී සඳහන් කරනුයේ පිදිය යුත්තන් ගැන පමණි) හිස නොනමා, නිසි වන්දනය, ගෞරවය නොදක්වා සිටීමේ මුග්ධ පාඩම උගන්වන ලද්දේ කවුරුන් විසින් දැයි මම නොදනිමි.
ප්‍රවීණ රූපණවේදිනී අනෝජා වීරසිංහ, බ්‍රිතාන්‍යයේ Lamda ආයතනයෙන් ශාස්ත්‍ර හදාරා පැමිණි කල්හි ඔහු ඇගෙන් එහිදී උගත් දේ සියල්ල ප්‍රශ්න කළේය.රංග ශිල්පීන්ගේ හඬ පාලනය, ශබ්ද උච්චාරණය පිළිබඳව අනෝජා පැවසූ "Alexander theory" අසා සිටි ජැක්සන් පැවසුවේ මේ ක්‍රමවේදය 13 වැනි සියවසේ අපේ සිදත් සඟරාවෙන්, අත්තරගම බණ්ඩාරගෙන් හෝ සකස්කඩ කියැවීමෙන් උගත හැකි බවය. ඔහුගේ ඇසූ පිරූ තැන් ඇති බව එබඳුය. 1978 මෙරටට පැමිණ නෝබට් ජේ. මයර් පැවැත්වූ රූපණ වැඩමුළුවට සහභාගි වීමට ජැක්සන්ට හැකියාව නොලැබුණත් ඔහු මෙයට සහභාගි වූ තම සගයන් (ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ජූඩ් ශ්‍රීමාල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල ආදීන්) සොයා ගොස් ඒ දැනුම උකහා ගැනීමට තරම් ශාස්ත්‍ර පිපාසිතයකු වූයේය. සිනමාවේ මහා නළු පරපුරේ නූතන පුරුක වූයේ ජැක්සන්ය. ලාංකේය සිනමාවේ මහා නළු පරපුර ගුරුකුල දෙකකින් ආරම්භ වූ හයි මම සිතමි. මහා නළු පරපුරේ එක් ගුරුකුලයක් ගාමිණි ෆොන්සේකාගෙන්ද අනෙක් ගුරුකුලය ජෝ අබේවික්‍රමගෙන්ද ඇරැඹිණ. ජැක්සන් ඇන්තනි අයත්වනුයේ ජෝ අබේවික්‍රමගෙන් ඇරැඹුණු ගුරුකුලයට යැයි මම සිතමි. “සුවිශිෂ්ට චරිතාංග නළුවන්ට තරු ගුණය ඇතත් නැතත් සිනමාවේ කථානායකයන් විය හැකිය, ඒ ඔස්සේ මහා නළුවන්ද විය හැකිය” යන සංකල්පය ප්‍රායෝගිකව ස්ථාපිත කළ පුරෝගාමියා ජෝ අබේවික්‍රමය. ජෝ මෙන්ම ජැක්සන් ද ජනප්‍රිය සිනමාවේ සුපිරි තරු වූයේ නැති නමුත් අවශ්‍යතා පරිදි ජනප්‍රිය සිනමාවට ද සුඛනම්‍ය විය හැකි බාහිර, අභ්‍යන්තර රූපණ කෞශල්‍යය මේ දෙදෙනාටම එක සේ පිහිටා තිබිණ. ඉන්දියානු සිනමාවේ ද මෙබඳු නළුවෝ විරලව සිටිති. ඉන්දියාවේ නස්රුදීන් ෂා, නානා පටේකාර් වැනි කථානායකයන් බවට පත් වූ සුවිශිෂ්ට චරිතාංග නළුවන් මම ජැක්සන්ට සම කරමි. ජැක්සන් මෙන් ඔවුහුද ජනප්‍රිය සිනමාවට ඇවැසි තැන්හී උචිත වන පරිදි නර්තනයේ යෙදෙමින්, ගස් වටේ දුවන පෙම්වතා වීමටත් දක්ෂයෝය. ‘වැලිකතර’ චිත්‍රපටය යළි නිෂ්පාදනය කළොත් එහි ඔබ රඟපෑ ගෝරිං මුදලාලිගේ චරිතයට සුදුසු නළුවා කවුරුන්ද ?” යැයි වරක් ජෝ අබේවික්‍රමයන්ගෙන් විමසූ කල්හි ඔහු දුන් පිළිතුර වූයේ “එය මට නොදෙවැනිව රඟපෑ හැකි එකම නළුවා ජැක්සන් ඇන්තනි” බවය. ජැක්සන් ‘ගිනි අවි සහ ගිනි කෙළි’ (1998 - තුන්මුල්ලේ පද්මේ), ‘රන්දිය දහර’ (2004 - ලයනල්), ‘ප්‍රවේගය’ (2015 - බ්‍රැන්ඩෝ) යන චිත්‍රපටවල රඟපෑ අයුරු දකින කල්හි ජෝගේ මතය සිහිපත් වනු නොවැළැක්විය හැකිය. ජැක්සන් ‘අස්වැසුම’ (2001-සේදිරිස්) චිත්‍රපටයෙහි ජෝගේ තරුණ අවධිය මැනවින් නිරූපණය කළ අතර ‘දඩඉම’ චිත්‍රපටයේදී ඉන්පෙර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය ‘දඩයම’ (1983) චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයට සාධාරණය ඉටු කළේය. ඔහු ප්‍රතිවීර (Anti Hero) චරිත නිරූපණයටද (දඩඉම 2023-ජයනාත්) නව මානයක් එක් කළ බැව් පෙනේ. ජැක්සන් කිසිවකුටත් අනුකරණය කළ හැකි නළුවකු (An inimitable Actor) » නොවේ. ඔහුගේ රූපණවේදය අනුකරණය කිරීමට වෙර දැරූ ඇතැම් නළුවන්ට ඔහු සමීපයටවත් පැමිණිය නොහැකි විය. ආසියානු චිත්‍රපට උලෙළේත්, ෆොක්ස් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේත් ‘විෂම භාග’ (2019 - හේමචන්ද්‍ර) චිත්‍රපටය උදෙසා ජැක්සන් අන්තර්ජාතික සම්මාන ලැබුවත් මුල්වරට ඔහු වචනයෙන් අන්තර්ජාතික ඇගැයීමට පාත්‍ර වූයේ සරසවිය චිත්‍රපට සතියකදී යැයි මම සිතමි. පසුගිය සරසවිය සම්මාන උලෙළට සමගාමීව කොළඹ රීගල් සිනමාහලේ දී පැවති සරසවිය චිත්‍රපට සතියේදී ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය ද තිරගත කෙරිණ ඊට සහභාගිවීම සඳහා පැමිණි අදාළ මුල් නිෂ්පාදනයකට (Papanasam) සම්බන්ධ, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක සුරේෂ් බාලාජි කෙටි අදහස් දැක්වීමේදී සෘජුව පැවසුවේ ‘ධර්ම යුද්ධය’ (2017- හරිස්චන්ද්‍ර) චිත්‍රපටය සඳහා පාදක වූ ඉන්දියානු චිත්‍රපට (මෝහන්ලාල් රඟපෑ Drishyam, , වෙන්කටේෂ් රඟපෑ Drushyam, කමල් හසන් රඟපෑ Papanasam,, අජේ දේව්ගන් රඟපෑ Drishyam) සියල්ල හා සැසඳූ කල වඩාත් ඉස්මතු වනුයේ ජැක්සන් ඇන්තනිගේ රංගනය බවය. මේ කියුම ඉතා වටිනුයේ කරුණු ද්වයක් නිසාවෙනි. බාලාජි ඉන්දියානු ජාතිකයකු වුවත් ඉන්දියානු නළුවන් සමඟ සසඳා ආධානග්‍රාහී නොවී අදහස් පළ කිරීම ඉන් එකකි. දෙවැන්න ඒ නළුවන් අතර කමල් හසන් වැනි දකුණු ඉන්දියාවේ, ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨ රූපණවේදියකු මෙන්ම මෝහන්ලාල් වැනි ප්‍රතිභාපූර්ණ මලයාලම් නළුවකුද සිටි නිසාය. එහෙයිනි, මේ කියුම අන්තර්ජාතික සම්මානයක් සදිසි වනුයේ.
ජැක්සන් තමාට ලැබෙන කවර චරිතයක් වුවද උපරිම කැපවීමෙන්, පේවී එය නිරූපණය කළේය. බන්දුල ජයවර්ධනයන්ගේ ‘බෙරහඬ’ සඳහා ඔහු පහත රට නර්තනය හදාළේය. එහි රඟපානු දුටු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ඔහු ‘ලෝමහංස’ නාට්‍යයේ පදුම කුමරුගේ භූමිකාවට තෝරා ගත්හ. එහිදී ඔහු බැසිල් මිහිරිපැන්නයන්ගෙන් දේශීය නර්තනය ඉන්දියානු නර්තනය හා මුසු කර ගන්නා අයුරු උගත්තේය. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘බව දුක’ (1997), ‘බව කර්ම’ (1998) චිත්‍රපට යුගලේ සම්මානනීය (හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය) පේදුරු චරිත නිරූපණය සඳහා ජැක්සන් පේවී මාස හයක කාලයක් කැප කොට හඳපාන්ගොඩ නැවතී සේදරමන් ගුරුන්නාන්සේගෙන් පහත රට නර්තනය හදාළේය. පහත රට නර්තන කලාවේ ‘සරඹ 12’ ඉගෙනීමට තරම් ඔහු මෙහිදී භාග්‍යවන්ත විය. ‘තරණය’ (1998) චිත්‍රපටයේ තංගප්පන් නමැති මලයාලම් තරුණයාගේ භූමිකාව රඟපානු පිණිස ඔහු මලයාලම් බස මැනවින් හදාළේය. ‘සරුංගලේ’ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා නඩරාජාගේ චරිතය නිරූපණය කිරීමෙන් පසු සිංහල චිත්‍රපටයක ද්‍රවිඩ ජාතිකයකුගේ සුවිශිෂ්ට චරිත නිරූපණයක් මා දුටුවේ ‘තරණය’ චිත්‍රපටයේ ජැක්සන්ගේ රංගනයෙනි.
ජැක්සන් නමැති රූපණවේදියාගේ ශරීරයේ අභ්‍යන්තරයෙහි මිනිසුන් පස්දෙනෙකු ජීවත් වූයේ යැයි මම සිතමි. ශිෂ්ට සම්පන්න, නූතනවාදී සංස්කෘතික මිනිසා (උදුම්බරා - 2018 - ආනන්ද, අප්පච්චි ටෙලි නාට්‍යයේ පියා) පළමුවැන්නාය. ගෝත්‍රික ප්‍රාථමික මිනිසා (සූරිය අරණ 2004 - සේදිරිස් වැද්දා) දෙවැන්නාය. ජනශ්‍රැතික මිනිසා (ඝරසරප 2018 - කළු කුමාරයා, අග්නිදාහය 2002 - පුංචිරාල) තෙවැන්නාය. ඓතිහාසික මිනිසා (මහරජ ගැමුණු 2015 - එළාර, ඇහැලේපොළ කුමාරිහාමි -2015 - ශ්‍රී වික්‍රම රාජසිංහ) සිව්වැන්නාය. කාල්පනික අපරූප( Fantasy) මිනිසා (ක්ෂීර සාගරය කැලඹිණ 2023 - අධිරාජ්‍යයා) පස්වැන්නාය.
සරසවිය, සිග්නිස් O.C.I.C විචාරක, සුමති, රයිගම්, උන්ඩා, රාජ්‍ය නාට්‍ය, විජය රූපවාහිනී, හිරු , ටොප් ටෙන්, ජනමාධ්‍ය, පීපල්ස්, දිවයින සාම, දෙරණ ආදී සම්මාන රාශියකින් ජැක්සන්ගේ කලා කෞශල්‍ය ඇගැයීමට ලක් විය. ‘ගරිල්ලා මාකටින්’ (2005) හී ඔහු රඟපෑ ග්‍රෙගරි මහා අදිකාරම්ගේ චරිත නිරූපණයෙහි දිස්වූයේ අතිශයෝක්තියට නැඹුරු වූ අධි යථාර්ථවාදී රංග රීතියකි. මෙබඳු ශෛලිගත ලක්ෂණ ප්‍රකට කළ පෙර පරපුරේ චරිත නිරූපණ කීපයක් මා හට සිහිපත් වේ. (විමල් කුමාර ද කොස්තා -බඹරු ඇවිත්, විජය කුමාරතුංග - මරුවා සමඟ වාසේ, ස්වර්ණා මල්ලවආරච්චි - චන්ද කින්නරී යනාදියයි.) මේවා කිසිව්ටක අධිරංගන (Over Acting) නොවුණි.
තමන්ට උප්පත්තියෙන් හිමි වූ යුරෝපීය නාමය වෙනස් කොට පසුකලෙක සිංහල නාමයන් තබාගත් ශ්‍රේෂ්ඨ කලාකරුවෝ රාශියක් (ආනන්ද සමරකෝන් - ජෝර්ජ් විල්ෆ්‍රඩ්, සුනිල් සාන්ත - ජෝසප් ජෝන්, චිත්‍රසේන- මොරිස් ඩයස්, අමරදේව-ඇල්බට් පෙරේරා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - යූස්ටස් රෙජිනෝල්ඩ් යනාදී) අපට සිටියහ. ලාංකේය සංස්කෘතිය හැඳීනගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් විශිෂ්ට ගණයේ, අන්තර්ජාතික තලයේ සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් අග්‍රගණ්‍ය සිනමාවේදියා බවට පත් වූවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හට යුරෝපීය නාමයක් තිබීම ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ මැසිවිලි නැඟුහ. ඉක්බිතිව මේ මැසිවිල්ල සරච්චන්ද්‍රයන්ගෙන් ජැක්සන්ටද එල්ල විය. ජැක්සන් ඇන්තනි යන යුරෝපීය නාමය වෙනුවට ‘සිරිමෙවන් ධර්මප්‍රිය’ යන සිංහල නාමය තබා ගැනීමට සරච්චන්ද්‍රයෝ ඔහුට යෝජනා කළහ. ජැක්සන්, සරච්චන්ද්‍රයන්ගේ හිත නොරිදෙන පරිදි කාරුණිකව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. යුරෝපීය වුවත් මේ නාමය ඔස්සේ තම ආදරණීය පියා සිහිපත් වන හෙයින් එය වෙනස් කළ නොහැකි බවත් නමට ගෞරවයක් සිදු වන පරිද්දෙන් ජීවත් වන බවත් ඔහු සරච්චන්ද්‍රයන්ට සහතික වූයේය. සරච්චන්ද්‍රයන්ගේ නෙතට කඳුළු නැඟිණ. ජැක්සන් තිරපිටපත ලියූ බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ ‘රුපියල් සත’ (1990) ටෙලි නාට්‍යයේ සංජය ලීලාරත්න රඟපෑ රහස් පරීක්ෂකවරයාගේ චරිතය ඔහු නම් කළේ සිරිමෙවන් ධර්මප්‍රිය නාමයෙනි. ජැක්සන් සම්මානනීය (මහමෙර පාමුල ටෙලි නාට්‍යය සඳහා) තිරකතා රචකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඔහුට පළමුවෙන්ම රූප ඥාණය පිහිටන්නට ඇත්තේ චිත්‍ර කතා ඇඳීමෙන් විය හැකිය. ‘අබා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර ඔහු එහි තිරපිටපතේ සියලු රූපරාමු සිතුවමට නඟද්දි මට සිහිපත් වූයේ ඉන්දියාවේ සත්‍යජිත් රේ සහ ලංකාවේ මහගම සේකරය.
1971කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් බහුතරය කලා විෂයයන් හැදෑරූ අය හෙයින් 1972 දී එවක රජයේ අධ්‍යාපන ඇමැති බදුර්දීන් මහමුද් සහ ප්‍රේමදාස උඩුගම යන අධ්‍යාපනඥයා එක්ව සිංහල, සාහිත්‍ය, ඉතිහාසය, ප්‍රජාචාරය වැනි ලාංකේය සංස්කෘතික විඥානය, අක්මුල් හා සබැඳී විෂයන් පාසැල් විෂය නිර්දේශයෙන් කප්පාදු කළහ. මේ විෂයන් හැදෑරීමට ප්‍රියකළ ලාංකේය සභ්‍යත්වයේ අක්මුල් සොයා ගිය, එවක පාසල් සිසුවකු වූ ජැක්සන් හට, මේ වැරැදි තීන්දුව හේතු කොට එකී විෂයන් ඉගෙන ගැනීමේ වරම් අහිමි විය. මෙය අනාගතයේ පරම්පරා ගණනාවකට අහිතකර ලෙස බලපාන වැරැදි තීන්දුවක් බව ඔහුට ක්‍රමිකව අවබෝධ වූයේය. පරම්පරා ගණනක සිසු පරපුරෙන් දුරස් වූ ඉතිහාසය විෂය ස්වකීය ශූර සන්නිවේදන හැකියාවෙන් සහ නිර්මාණශීලීත්වයෙන් යළිත් නූතන පරපුර අතර ගෙන ඒමට ඔහු යෝධ පියවර දෙකක් තැබුවේය. රූපවාහිනි මාධ්‍යයට ගෙනා ‘මහා සිංහලේ වංශ කතාව’ ඉන් පළමුවැන්නයි. දෙවැන්න සිනමා මාධ්‍යයට ගෙනා ‘අබා’ (2008) ඓතිහාසික චිත්‍රපටයයි. පළමුවැන්න ඔස්සේ ඔහු අනේකවිධ ඓතිහාසික මූලාශ්‍ර ඒකරාශී කරමින්ද, තමන් සොයා ගත් දේ සමඟ තුලනය කරමින්, විවිධ විද්වතුන්, ඉතිහාසඥයන්, භාෂා පඬිවරුන් පුරාවිද්‍යාඥයන් සහභාගිත්වයෙන් ඉතිහාසය පිළිබඳ පුළුල් සංලාපයක්, සංගායනාවක් රූපවාහිනී මාධ්‍යයෙහි දියත් කළේය. එතෙක් ඉතිහාසයෙන් ඈත්ව සිටි බහු ප්‍රේක්ෂකයෝ ඉතිහාසයට රුචි කරන්නට පටන් ගත්හ. දෙවැන්නෙන් මෙරට ඓතිහාසික චිත්‍රපට ප්‍රවණතාවකට මඟ පාදමින් එහි උසස් තාක්ෂණික ප්‍රමිතියද Digital Intermediate ඔස්සේ අන්තර් ජාතික තලයට ඔසවා තැබුවේය. ජැක්සන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ ‘ජුලියට්ගේ භුමිකාව’ (1998) හී දිස් වූයේ වේදිකා නාට්‍ය කලාවෙන් ඔහු ලැබූ ආභාසය වූ අතර සිනමානුරූපී ගුණයට වඩා නාටකීය ගුණය එහි වඩාත් ඉස්මතු විය. එහෙත් ‘අබා’ (2008) සහ ‘ඇඩ්ඩ්‍රස් නෑ’ (2015) යන චිත්‍රපටවල ඔහුගේ අදියුරුවමෙහි දිස් වූයේ සිනමා මාධ්‍යයට මැ උචිත රූප ඤාණයයි.ජැක්සන්ගේ සමස්ත සිනමා භාවිතයෙහි දක්නා ලැබුණේ ජනප්‍රිය ධාරාවත් කලාත්මක ධාරාවත් එකට යා කළ සමාන්තර සිනමාවයි.‘ඇඩ්ඩ්‍රස් නෑ’ සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් විග්‍රහ කළ හැකි චිත්‍රපටයකි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ඇසළ කළුවර’ ප්‍රමුඛ ටෙලි නළු විසිත්ත කාමර කලාවෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂක විඥානය, රසඥතාව පෘථුල කළ බැව් පෙනේ. ‘මෙතනින් මාරුවෙනු’, ‘ධවල භීෂණ’, ‘අත්’, ‘මෝරා’,‘ඔත්තුකාරයෝ’ ඔහුගේ වේදිකා නාට්‍ය රූපණයේ සන්ධිස්ථාන වේ. ‘භූමිකා හත’ ලෙස නම් කෙරුණ ජැක්සන්ගේ රැඟුම් රැගත් නාට්‍ය උලෙළ ඔහු එදා හැඳීන්වූයේ “මම නමැති යකැදුරා විසින් මම නැමැති ආතුරයාට නටන තොවිලයක්” ලෙසිනි.
මෙරට එදා මෙදා බිහිවූ සුවිශිෂ්ට ටෙලි නාට්‍ය තේරුවොත් ඊට අනිවාර්යයෙන් ඇතුළත් වන ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා’ නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා’ (1997), ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘කඩුල්ල’ (1990) හා ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ‘පිටගම්කාරයෝ’ (1996) ඈ ටෙලි නළු ජැක්සන්ගේ ප්‍රශස්ත රංගනයෙන් ආලෝකවත් විය.
ජැක්සන් ඇන්තනි නම් වූ සුවිශිෂ්ට ගවේෂණාත්මක, විමර්ශනාත්මක සන්නිවේදකයාගේ භූමිකාවද (Investigative communicator) ආස්වාදනීයය; අනන්‍යසාධාරණය. විවිධ රූපවාහිනී නාලිකාවල විකාශය කෙරෙන අනේකවිධ තරුණ තරුණියන්ගේ සංචාරක, ගවේෂණාත්මක වැඩසටහන් බව මම දැක ඇත්තෙමි. එහෙත් ඒවා සියල්ලට වඩා ජැක්සන්ගේ මෙහෙවර ප්‍රශස්ත වන්නේ හුදෙක් දර්ශන තලවල සුන්දරත්වය නිසා නොවේ. ඔහුගේ බහුශ්‍රැතබව, පර්යේෂණ හැකියාව, නිර්මාණශීලී සන්නිවේදනය හා වශ්‍යවචෝභාවය (කැමැති අරුතක් පැවසීමට සුදුසු වදන් ඇති බව හා රිසි පරිදි බස හසුරුවා ගැනීමෙහි වෙසෙසි සමත් බව) යනාදී ගුණාංග හේතු කොටගෙනය. ජැක්සන් මුඛරියකු මිස කිසිකලෙක හැකරයකු හෝ වාචාලයකු නොවුණි. වත්මනෙහි මෙරට බහුලව සිටින FM ගිරාපෝතක පරපුර ඔහුගෙන් උගත යුත්තේ මෙයයි. බහුලව පොත පත කියැවූ හෙයින් ඔහුගේ වාග්කෝෂයද පෘථුලය. මහා සිංහලේ වංශ කතාව, ගඟ දිගේ, අවාරේ සිරිපා ගමනක්, රෝම පුරාණය, සලංහන්තේ වැනි ගවේෂණාත්මක, පර්යේෂණාත්මක වැඩසටහන් ජාතික උරුමයන් සේ සලකා සංරක්ෂණය කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි මම සිතමි. ජැක්සන්ට සමකාලීනව මෙරට සංස්කෘතික උරුමය සොයා ගවේෂණය කොට ,ප්‍රශස්ත වැඩසටහන් රසනුසුන් වැ ඉදිරිපත් කළ , බස නොනැසූ අනෙක් සන්නිවේදකයා, අකාලයේ අපට අහිමි වූ හේම නලින් කරුණාරත්නයන්ය (1962-2018).
ජැක්සන් නව්‍ය සිප්යුරු වදන් හෙවත් පාරිභාෂික වචන (Technical Terms) මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් බව ද අප අමතක නොකළ යුතුය. Announcer ට සිංහලෙන් නිවේදක යන වදන ව්‍යවහාර වෙද්දි Presenter සදහා උචිත වනුයේ ‘පූරක’ බව මුල්වරට පෙන්වා දුන්නේ ඔහුය. එය මාධ්‍ය ලෝකයේ ස්ථාපිත වදනක් වූයේ ඉන්පසුවය. Prime time යන ඉංග්‍රීසි වදනට ‘අධි ප්‍රතිචාර කාලය’ යන වදන මුල්වරට ව්‍යවහාර කළේ ද ඔහුය. ජැක්සන් ‘සේරිවාණිජ ජාතකය’ ගැඹුරින් විග්‍රහ කරමින් චිරාත් කාලයක සිට අපේ සංස්කෘතිය උරුම කොට ගත් ලාභයේ අතිරික්තය දන් දෙන සුබසාධනවාදී සමාජ ව්‍යුහය හා ලෝක ධනවාදී සමාජ ව්‍යුහය අතර වෙනස පෙන්වා දුන්නේය. නූතන ගෝලීයකරණය (Globalization) විශ්ව ගම්මාන (Global village) සංකල්පය මැනවින් විග්‍රහ කරමින් අන්තර්ජාතික විශ්ව ගම්මානයේදී සෑම රටක්ම තම හැකියාවන් බෙදා ගනිද්දී ලංකාව එහි ‘පිනා’ නමැති නිකමාගේ භූමිකාව රඟ නොපා, ලාංකේය අනන්‍යතාවෙන්, අභිමානයෙන් "Made in Sri Lanka" ලෙස අපගේ හැකියාවන් අදීනව අන්තර්ජාතික ප්‍රජාව සමඟ බෙදා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ අකල් මරණයෙන් නිවේදක, පූරක කලාවේ හිස් වූ, ඇසූ පිරූ තැන් ඇති, ජනකාන්ත සන්නිවේදනයේ යෂ්ටිය අතට ගත්තේ ජැක්සන්ය.
ගායන ශිල්පියකු ලෙස ඔහුගේ ප්‍රතිභාව සිහිපත් කරන කල්හිද හිතට ගෙන එනුයේ ආස්වාදයක් මැයි. ජැක්සන් අයියාගේ ගායන ප්‍රතිභාව මුලින්ම මගේ අවධානයට පාත්‍ර වූයේ ඊ.එම්.ඩී. උපාලි නිර්මාණය කළ ‘මෙතැනින් මාරුවෙනු’ (1983) නාට්‍යයෙහි ඔහු රඟමින් ගැයූ ‘වීර විකුම් පෑ ජෙනරල්’ (ගී පද - ඊ.එම්.ඩී.උපාලි, සංගීතය - ෂෙල්ටන් මිහිඳුකුලසූරිය) ගීතයෙනි. ඉන්පසුව දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘මධුර ජවනිකා’ හි නෙයිනාගේ සූදුව පිළිබඳ විරුදුවද (සංගීතය - රෝහණ බැද්දගේ), බන්දුල ජයවර්ධනයන්ගේ ‘බෙර හඬ’ නාට්‍යයේ ‘හනික වරෙව් කොල්ලනේ’ (සංගීතය - ඔස්ටින් මුණසිංහ) ගීතයද ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍යයෙහි ‘සෝබාව දේ’ ගීතයද (සංගීතය - ගුණදාස කපුගේ) ජැක්සන්ගේ ගැයුම් අතර කැපී පෙනිණ.මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් ‘ලෝමහංස’ නාට්‍යයේ දී ඔහුට අමරදේවයන්ගේ තනු ගැයීමට අවස්ථාව ලැබිණ. රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ (1990) ටෙලි නාට්‍යයේදී ඔහුට මෙරට කණ්ඩායම් සංගීතයේ පතාක යෝධයකු වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් හා සුසංයෝගී වැ සුමධුර තනු ගැයීමටත් එක් ගීතයක් ඔහු සමඟ ගැයීමටත් අවස්ථාව ලැබුණු අතර මේ සියලු ගී (දෑස පියාගත් කල, සිතේ සුසුම් නිවනා ගායනා, රෑ තාරකාවෝ) අදත් එක සේ ජනප්‍රියය. ජැක්සන්ගේ අවසන් ගීතය සිය කුටුම්භය සමඟ ගැයූ ‘ආදරේ’ ගීතය වීම දෛවෝපගතය.
ජැක්සන් එක විෂයකට විශේෂඥයකු ලෙස හඳුන්වනවාට වඩා බහුවිධ විෂය ප්‍රාඥයකු ලෙස හැඳීන්වීමට මම කැමැත්තෙමි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A) උපාධිය ලබා සිටි ජැක්සන්ගේ උසස් කලා මෙහෙවර, ස්වාධ්‍යායෙන් හෙබි බහුශ්‍රැතභාවය හා පර්යේෂණ සලකා සම්මාන ආචාර්ය උපාධියක් හෙවත් සාහිත්‍ය සූරී උපාධියක් (D.lit) නොපමාව පිරිනැමීමට මෙරට විශ්වවිද්‍යාලවල අවධානය යොමු විය යුතු බව මා පෙන්වා දුන්නේ 2018 වසරේදීය. එහෙත් මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් ඒ අරභයා උනන්දුවක් දැක්වූයේ නැත. එක් අතකින් බැලූ විට ගාමිණි - ජෝ යන පෙර පරපුරේ මහා නළුවන් ගැනද අවදියෙන් නොසිටි විශ්වවිද්‍යාල ජැක්සන් ගැන අවදියෙන් නොසිටීමේ පුදුමයක් ද නැත.
ඔහුගේ සේවනයෙන්, ප්‍රතිභාවෙන් හා දැනුමෙන් ඇතැම් සරසවි ඇදුරන් බැබළුණු නමුදු ඔහුට විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් පිරිනමා ඒ දැනුම ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය හැකි සරසවි ඇදුරකු මෙරට සිටියේ නැත. එක් අතකට එහි පුදුමයක්ද නැත. මක්නිසාද යත් වත්මන් විශ්වවිද්‍යාල පද්ධතියට වචනයේ පරිසමාප්ත අර්ථයෙහි සැබෑ ශාස්ත්‍රවන්තයන් අවශ්‍යද ?
“ජැක්සන් වගේ ශාස්ත්‍රවන්තයෝ, පර්යේෂකයෝ මුළු විශ්වවිද්‍යාල පද්ධතියේම දැන් නැහැ” ඔහුගේ කලේබරය (දේහය) අසල සිටි එක් සරසවි ඇදුරකු කියනු ඇසුණු කල්හි මගේ ශෝකය කලකිරීම, මැඩගෙන මතු වූ සිනහව පාලනය කොට ගත නොහැකි විය. “අනේ මේ රටේ මිනිස්සු” යැයි මට සිතිණ. ආචාර්ය තිස්ස අබේසේකරයන් දිවමන්ව සිටි සමයේ ඔහුගේ සේවය මෙරට විශ්වවිද්‍යාල ලබාගත යුතුª යැයි ජැක්සන් හඬනැඟු අයුරු මට සිහිපත් වෙයි. එයට එදා සවන් දුන් සරසවි ඇදුරකු සිටියේ නැත.
ඔහු පුවත්පත් තීරු ලිපි රචකයෙකි, ගත් කතුවරයෙකි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය බිහි වීමේ පසුබිම ශාස්ත්‍රීය පදනමෙන් විග්‍රහ කරමින් ඔහු ‘එබැවින් බිහිවිය මනමේ’ ග්‍රන්ථය ලීවේය. ජැක්සන්ගේ ‘පනාපුත්‍රගේ මතක වස්තුව’ කියවන කල්හි මහා කලාකරුවකු ලෙස ඔහු පැමිණි දුෂ්කර ගමන, ඔහුට මඟ පෙන්වූ දැවැන්තයන් පිළිබඳ අපදාන සටහන් හමුවේ. ඔහුගේ ‘මහා සිංහලේ වංශ කතාව’ ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමද ප්‍රශස්ත වෑයමකි. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය සමය අරභයා ජැක්සන් විසින් විරචිත ‘කන්ද උඩ ගින්දර’ නවකතාව පුරා දක්නා ලැබෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයට ඔහුගේ තිබෙන පරිචයයි. මේ නවකතාවේ දිස්වන පරිදි උඩරට රජු තම අසිපත සුභ මොහොතෙන් ඉහළට ඔසවන අවස්ථාව ‘උපලිප්තය’ ලෙස හැඳීන්වෙන බව ඔහුගේ ගවේෂණශීලී මනසෙහි අලුත් සොයා ගැනීමකි. නිළි රැජන මාලිනි ෆොන්සේකාගේ රූපණ ප්‍රතිභාව පිළිබඳ ඉසියුම් ලෙස කියැවූ වෙනත් විචාරකයකු ජැක්සන් හැර මට හමු වී නොමැත.‘මාලිනි න්‍යාය’ ග්‍රන්ථයෙන් ඔහු මුල්වරට මාලිනියගේ රූපණ න්‍යාය සොයා පාදා දුන්නේය. මේ ග්‍රන්ථය ජනගත වූ දා එය විග්‍රහ කරමින් ඔහුගේ පැය තුනක දේශනයද ඉතා ප්‍රශස්තය; කර්ණරසායනය. ඉක්බිතිව ජැක්සන් සමාජ මාධ්‍ය හරහාද ස්වකිය ඉතිහාස ගවේෂණ ඉදිරියට ගෙන ගියේය. ඒ Jackson Anthony youtube channel ඔස්සේය. සුද්දන් කළුසුද්දන් වීඩියෝ මාලාව මීට නිදසුනකි. ලාංකේය ඉතිහාසයේ අපැහැදිලි තැන් ඔහු දුර්ලභ මූලාශ්‍ර ඔස්සේ පැහැදිලි කරමින් ඒ පිළිබඳ ශාස්ත්‍රීය උපකල්පන හා නිගමන ලබාදෙයි. ජෝන් ඩොයිලි පිළිබඳ නව්‍ය කියවීම් මෙන්ම වාරියපොළ සුමංගල හාමුදුරුවන් පිළිබඳ ඉංග්‍රීසින්ගේ මූලාශ්‍ර ඉක්මවා බසින අනුමාන සකාරණව සහේතුකව, සසාධකව ජැක්සන් අපට පෙන්වා දෙන්නේ, වෙහෙස නොතකන (An indefatigable Historian) ඉතිහාසඥයකු ලෙසය. පෘතුගීසින් මෙරටට පැමිණීමට පෙර කිසිදු විදෙස් ජාතිකයකු නොදුටු ජනතාවක් ලෙස රාජාවලියෙහි මෙරට ජනතාව ගැන සඳහන් වූ මතය ප්‍රතික්ෂේප කළ ජැක්සන් පෘතුගීසින්ගේ ආක්‍රමණයට පෙර විවිධ ජාතිකයන් 52 ක් මෙරටට පැමිණි බව සොයා ගත්තේය.ඊචනපධඡචදඥ හෙවත් ලංකාවට අතීතයේ අන්තර්ජාතික මට්ටමෙන් හිමි වී තිබූ පිළිගැනීම ඔහු දුර්ලභ මූලාශ්‍ර ඔස්සේ විදාරණය කළේ තම උපන් මව්බිම පිළිබඳ මහත් අභිමානයෙන් එය මතු පරපුරටත් කාවද්දනු රිසියෙනි.
ජැක්සන් ස්වකීය ඉංග්‍රීසි නාමය ‘පනාපුත්‍ර කුහුඹුපැණියා’ ලෙස සිංහලට පරිවර්තනය කොට ගත්තේය. එය ජනමාධ්‍ය හරහා තහවුරු වූයේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ අනුබලයෙනි. ‘පනාපුත්‍ර කුහුඹුපැණියා’ යන නාමයෙහි සරල අරුත ඉක්මවා යන සංකේතාත්මක අරුතක් මම දකිමි. මට අනුව පනා හෙවත් කොස් යනු බත් ගස ලෙස හැඳීන්වෙන මෙරට සංස්කෘතික සංකේතයකි. එනම් බ්ඒඛ්ම් යනු අපේ සංස්කෘතියයි. ඉධද යනු පුත්‍රයායි. ඒ අනුව ජැක්සන් යනු ලාංකේය සංස්කෘතියෙහි, සභ්‍යත්ව විඥානයෙහි පුත්‍රයෙකි. එය ඔහුගේ කලා භාවිතයෙන් හා චින්තනයෙන් පැහැදිලි වේ. ඒව්ඊ යනු කුහුඹුවාය. අනාගතයේ අවශ්‍ය තැන්වලට භාවිත කිරීම සඳහා ආහාර රැස් කොට තබා ගැනීම කුහුඹුවන්ගේ සිරිත වේ. ජැක්සන් කුහුඹුවන්ගෙන් ඉගෙන අවැසි තැන්වලදී භාවිතය සඳහා රැස්කළේ ආහාර නොව දැනුමය. එහෙයින් මෙහි ඒව්ඊ යන්නට මගේ විග්‍රහය එක් රැස් කොට ගත් බහුශ්‍රැත බවයි. ඩ්ර්‍ණව්ඡ්ක යනු පැණිය. මින් සංකේතවත් වනුයේ ජැක්සන් නමැති රසවතාය. එනම් ආදරවන්තයා, අතිශය සංවේදී මිනිසා, නවපරපුරට මඟ පෙන්වූ දයනීය කාරුණිකයා, පවුලට ළැදි වූ පියා (ජැක්සන් අයියා තම පවුලට තිබූ ළැදියාව වරක් හැඳීන්වූයේ පවුලීය රසය ලෙසය) මේ සියල්ල ඩ්ර්‍ණව්ඡ්ක යන්නෙන් සංකේතවත් වේ. එසේ හෙයින් මගේ විග්‍රහයට අනුව "බ්ඒඛ්ම්ඉර්‍ණව් ඒව්ඊඩ්ර්‍ණව්ක"යන ඉංග්‍රීසි නාමයෙහිත් ‘පනාපුත්‍ර කුහුඹුපැණියා’ යන සිංහල නාමයෙහිත් සැබෑ, ගැඹුරු අරුත වනුයේ ‘සංස්කෘතික පුත්‍ර බහුශ්‍රැත රසවතා’ යන්නය.
ජැක්සන් විවිධ කලා ක්ෂේත්‍රවල නව පරපුරක් බිහි කිරීමට අතහිත දුන්, මඟ පෙන්වූ ගුරුවරයෙකි. එහෙත් මේ අතර ඊට කෘතගුණ දක්වන්නෝද ඔහුගේ උපකාර අමතක කොට දැමුවෝද වෙත්. අතිශය සංවේදී සිතක් ජැක්සන් සතු වුවත් ඔහු මේ සියලු දේ උපේක්ෂාවෙන් ඉවසා දරා සිටියේය. ජැක්සන් අයියා මට මෙන්ම මගේ පරම්පරාවටද නිරතුරුවම දිරි දුන්නේය.
ම විසින් විරචිත ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ (2005), ‘ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා’ (2006), ‘ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය’ (2008), නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස" (2012), ‘සරසවි බැල්මෙන් සතර සවියට’ (2017) යන ග්‍රන්ථ ජනගත වූ අවස්ථාවල එහි ප්‍රධාන දේශකයකු වූයේය. මෙහිදී ඔහු ලබා දුන් සියලු ඇගැයුම් මට නොව මගේ පරපුරට ලැබුණු ගෞරවයන් ලෙස මම කවදත් සලකමි.
ජැක්සන් අයියා අවසන් වරට මට දුරකථනයෙන් ඇමතුවේ 2022 ජුනි 23 වැනිදාය. (ඔහු අනතුරට ලක්වූයේ ජූලි 2 වැනිදාය) ඒ මා සරසවිය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරයට පත්වූ අලුතය. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘සිංහබාහු’ චිත්‍රපටයේ මුහුරත් උලෙළට සහභාගි වූ අප ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්න සොහොයුරා මා අසලට පැමිණ මෙසේ කීවේය. “අයියා, මං මුහුරත් උලෙළේ දී ජැක්සන් අයියායි, එයාගේ පුතාලා දෙන්නවයි තියලා ලස්සන ෆොටෝ එකක් ගත්තා.”
නිශ්ශංක මල්ලි කී සේයාරුව සරසවිය පුවත්පතෙහි පිටකවරයට උචිත බව දුටු සැණින් මට වැටහී ගිය හෙයින් 2022 ජුනි 23 වැනිදා සරසවිය පිටකවරය ලෙස මේ සේයාරුව මම පළ කළෙමි. අප රූ රටා ශිල්පී චක්සු අබේවික්‍රම සොහොයුරා මේ පිටකවරය මැනවින් නිර්මාණය කළේය. ජැක්සන් අයියා අවසන් වරට මා ඇමතුවේ මේ කවරයේ සේයාරුවට ස්තූතිය පළ කිරීමටය. ඔහු එදා කී දේ තවමත් මා දෙසවනේ රැව් දේ.
”මගේ කවරයක් ගියාටත් වඩා මා සතුටුවන්නේ මගේ පුතාලා දෙන්නා එක්ක මං ගත්ත සේයාරුවක් සරසවිය පුවත්පතේ කවරය හැටියට පළ වුණු නිසයි”
රිය අනතුරෙන් පසුව ජැක්සන් අයියාගේ ප්‍රිය ශිෂ්‍යාව දිනූෂා රාජපතිරණ සොහොයුරිය මට පැවසුවේ ඔහු අවසන් වරට මහත් සේ සතුටට පත් වූයේ මේ පිටකවරය සැමටම පෙන්වමින් හා හුවමාරු (ඉඩචපඥ) කරගැනීමෙන් බවය.
ජැක්සන් අයියා පිළිබඳව ලියැවෙන මේ දීර්ඝ ලිපිය අවසන් කරද්දී මා හට සිහිපත් වනුයේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා’ නම් වූ ප්‍රශස්ත ටෙලි නාට්‍යයේ නාගසිංහ ලෙස රඟන ඔහු පවසන දෙබස් ඛණ්ඩයකි.
“හැම මිනිහෙක් තුළම හොඳ මනුස්සයෙක් ජීවත් වෙනවා. හැබැයි සිරකරුවෙක් විදියට. අපි කවුරුත් මේ සිරකරුවාව නිදහස් කරන්න ඕනෑ දෝණි”
නාගසිංහ නමැති කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයාගේ ගමන නිමා (නො) වෙයි.....
ජැක්සන් ඇන්තනි නම් වූ මාධ්‍යත්‍රයේ තීර්ථ යාත්‍රිකයාගේ ගමන ද නිමා (නො) වෙයි....