වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
බීමතින් වගේ කතා කළාට තාත්තා කවදාවත් මත්පැන් බිව්වේ නැහැ

"අපේ තාත්තා හැම තිස්සේ ම කියාදුන්නෙ සදාචාරයට යන මාර්ගය වගේම මනුස්සකමයි...අපට නිතර බණ අහන්න කියලා බල කරපු හැටි මට තවමත් මතකයි...අපි පුංචි කාලෙ ඉඳන්ම රටක් දන්නා අපෙ තාත්තා ආදර්ශවත් පියෙක් නේද කියලා අදටත් අපේ හිත්වල ඉහළින්ම ජීවත් වෙනවා..."
හැම මුවගකටම සිනහව කැන්දා එන්නට යමෙකු හට හැකිවෙයිනම් එය වචනයෙන් කියා ලියා තැබිය නොහැකි තරමේ අපූර්වතම කුසලතාවකි...ඒ වෙනුවෙන් ම සැදී පැහැදී හුන් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයන් එදා ගුවන් විදුලිය වටා එක්රොක් වූයේද ඉන් ප්‍රීති ප්‍රමෝදයට පත්වීමේ ආසක්ත හැඟීමකිනි...එදා ගුවන් විදුලියෙන් විකාශය වූ "විමෝද සමය" තවමත් අපේ සරසවිය පාඨකයාට මතක ඇති බව විස්වාසය...
එදා සිනහවෙන් අප කුල්මත් කළ සැමුවෙල් ඇනස්ලි සහ බර්ටි ත්‍රිත්වයේ බර්ටි ගුණතිලකයන් පිළිබඳව පසුගිය දිනෙක අප කතා කළෙමු...
මෙවර ඔබ හමුවන අපේ සොඳුරු කතා නායකයා සතුට හඳුනන හැම සිතකම සුජීවත්ව පසුවන බව ඉඳුරාම දනිමු...
මට ඔහු දැනුදු සිහිපත් වෙයි...
" හැහ්..හැහ් ..කිව්වාම මොකද හාමු මහත්තයෝ.. මං මේ බොරුවක් හෙම තමුන්නැහේට කියනවනම් පාරෙ යන එකකුට හෙණ ගහන්ඩ ඕනා..."
ගුවන් විදුලි ශ්‍රාවකයා බඩ අල්ලාගෙන සිනාසෙයි..ඒ හුරුබුහුටි... විසුළු ලාලිත්‍යයෙන් හැඩ වූ එතුමාගේ වදන් උච්චාරණය කාගේත් සිත් පැහැර ගනී..
"ගහක පොල් ගෙඩියක් කඩන්න ඕන වුණොත් මං ඔය බල බල ඉන්න මිනිහෙක් නෙමේනෙ මහත්තයෝ..කෙළින්ම යනව පොල් ගහ යටට...කවුරු හරි කොල්ලෙක් ගහට යවල පොල් ගෙඩිය කඩා ගන්නවා..මගෙ හැටි එහෙම තමයි...""
ඒ දෙමෝදාහක් රසිකයාට සතුට බෙදා දුන් එතුමන් සිහිපත් වනවිට විටදීද දෑස අග කඳුළක් නතර වෙයි..
මේ අපේ මෙවර සොඳුරු කතා නායකයා අමාරිස් අයියා හෙවත් සැමුවෙල් රුද්‍රිගු මහතාණන්ය...
එතුමා පිළිබඳව යටගිය ජීවන තතු සොයා යනවිට මට හමුවූයේ මාධ්‍ය ලොව පමණක් ම නොව ගත් කතුවරයකු...ගුරුවරයකු..ආයතන පරිපාලන ප්‍රධානියකු ලෙසින් හා කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකට හිමිකම් කියනා අපේ ආදරණීය කතා නායකයාගේ පුතුන් දෙදෙනා අතර වැඩිමල් පුත්‍රයා වන චන්දන තිලකරත්න මහතාය..
හෙතෙම දැන් මා ඉදිරියේය..මම ඔහුට සවන් දෙමි..
"අපේ තාත්තා ගැන දවස් ගාණක් වුණත් කතා කරන්න පුළුවන්..ඒ මගේම තාත්තා නිසා හිත සතුටින්ම කතා කරන්න පුළුවන්.."
අපේ චන්දන මහතා මහත් ප්‍රබෝධයකින් යැයි මට හැඟේ..
එතුමාගේ උප්පැන්නයේ හේනගේ සැමුවෙල් රුද්‍රිගු යන නාමයය..උපන්නේ මොරටුව ..බොරුපන ග්‍රාමයේ දී 1921ක්වූ සැප්තැම්බර් මස 21 වනදාය...
මවුපියන් වූයේ හෙන්ද්‍රික් ප්‍රනාන්දු මහතා සහ බේබිනා ප්‍රනාන්දු මහත්මිය ය...එතුමාගේ සීයා අපේ ආදරණීය චන්දන ගේ මුත්තාය...පේද්‍රික් ප්‍රනාන්දු නම් උපාසක මහතා සතුවූ උත්තුංග චරිතයට අනුගතව තම පියාණන් හැඩගැසී ජීවත් වුණු බවද පුතු චන්දන කීවේ සතුටුබර හැඟීමකිනි ...
අපේ ආදරණීය කතා නායක සැමුවෙල් රුද්‍රිගු මහතාගේ ලොකු දුව මල්කාන්ති වන අතර බාලම පුතු ප්‍රියදර්ශනය..
පවුලේ දෙවන දරුවා වන චන්දන මා හා සුහද පිළිසඳෙර්ය...
අපේ සැමුවෙල් කුඩාවියෙහි පටන්ම දඟකාරය...මූලික අධ්‍යාපනයට හේ ඇතුළත් වූයේ කැලණිය වරාගොඩ පිරිමි පාසලටය...මේ වනවිට එම විදුහල නැති අතර එය බාලිකා කනිටු විදුහලකි..පසුව ඔහු ඉගෙනුමට ගියේ කොළඹ ඕල්කට් විදුහලටය...ඉන් අනතුරුවය හෙතෙම විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූයේ... දඟකාර වැඩෙහිම ප්‍රකට අපේ කතා නායකයාට උපතින්ම පිහිටා තිබූ කුසලතා කිහිපයක්ම අතර පාසල් වියෙහිදීම කවියට හපනකු බවට පරසිදු විය...
මගේ ළමාවිය නමින් පාසල් වියෙහි ඔහු ලියූ කවි කිහිපයක් අතර මෙලෙස ලියා තිබිණි ..
"දවල් මගෙ පියා නිවසෙහි
නැති හන්දා
කොළහල ගෙදර කොට
මම පිඟනුත් බින්දා
බියවී මගේ හඳහන
බලවපු නැන්දා
පංචායුධය හදව
බෙල්ලේ බැන්දා
"පහළ අයිනෙ ලස්සන
මල් පඳුරු වල
මගෙ මිතුරන් ය
එතකොට සමනලුන් කැල
පන්තියෙ ළමුන් දුව පැන
දඟ කරන කල
අතුගානවා මම පාසල්
මිදුලෙ කොළ
"අපෙ තාත්තා කුඩා කාලෙ කැලේට ගිහින් වාඩිවෙන්නෙ..මොකටද ඒ වාඩිවෙන්නෙ කියල අමල් ඔයාට හිතාගන්න පුළුවන්නෙ..ඒ දවසකදි කකුලේ උලක් ඇනිලා අමාරු වෙලා කාලයක්ම පාසලට නොගිහින් ගෙදර ඉඳල තියෙනවා..තවත් දවසකදි ...මට මතක හැටියට 60 දශකයේ විතර ..ගමේ අවුරුදු උත්සවයක වේදිකාවක ලෑල්ලක් කඩාගෙන බිමට වැටිල මුහුණට ගොඩාක් තුවාල සිද්ද වුණා.."
පුතු චන්දන තම පියා පිළිබඳ යටගිය තතු එසේ කියන්නේය..
එකල විමෝද සමය නමින් රටේ අස්සක් මුල්ලක් නෑර ප්‍රකට වූ විකට වැඩ සටහනට මුවන් පැලැස්ස නාට්‍යයද එකතුකොට රටවටා වටේ ගියේය..කලා ශිල්පීන් පිරිසක් සමග ගමන්ගත් වෑන්රිය පාරෙන් ඉවතට පැන දෙතුන් වරක්ම පෙරැළී රිය තුළ සිරවී සිටි පිරිස අපහසුවෙන් එළියට ආ නමුත් අපේ සැමුවෙල් පෙනෙන්නට නැති..
""සෑම්... සෑම්...සෑම්..ඔයා කොහේද.." පිරිස කෑ ගැසූහ.
කිසිවක් සිදුනොවූ නියාවෙන් පෙරළුණු රියෙන් එළියට පැමිණි හෙතෙම "මං මෙච්චර වෙලාවක් මගෙ මේ රේඩියෝව හෙව්වනෙ.."යැයි කියද්දී සැවොම සිනාසෙන්නට වූහ. හෙතෙම යන යන තැන කුඩා ප්‍රමාණයේ රේඩියෝවක් ගෙනයන බව කවුරුත් දනිති..
අපේ ආදරණීය සැමුවෙල් හා පුරා කියා රස්සාවකට ගියේ මරදානේ පිහිටි එක්තරා ආයතනයක වාණිජ චිත්‍ර ශිල්පියකු හැටියටය..දිනෙක වැටුප රු. පහකි..අනතුරුව අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේද පසුකලෙක ආහාර දෙපාර්තමේන්තුවෙිද රස්සාව කළේය...වැටුප ලබන දා පොතපත කියැවීමෙහි රුසියකු වූ හේ නොවැරදීම පොතක් දෙකක් මිලදී රැගෙන එන්නේය...
අපේ චන්දන කටහඬ අවදි කරන්නේය..
"අමල්..අපේ ගෙදරට පොත් සංස්කෘතිය බිහිකළේ අපේ තාත්තායි...තාත්තා එකතු කරපු පොත් තමයි මේ ගෙදර උතුරල ගිහින් තියෙන්නෙ..තාත්තා ඒ ලබාදුන් ආදර්ශය නිසා දරුවන් වන අපත් අද පොත්පත් එක්කලම බැඳී ඉන්නේ...විවේකී හැම වෙලාවෙම තාත්තා පොත් කියවනවා..මං එතකොට පොඩි ළමයෙක්...දවසක්දා මට තාත්තා මිලින්ද ප්‍රශ්නය කියන පොත අතට දීල මේක හොඳට කියවපන් පුතේ..හැබැයි මං අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්ඩ ඕනා...හොඳේ.." එහෙමයි තාත්තා අපට පොත් කියැවීම හුරුකළේ.. තව දවසක් සාපේක්ෂතාවාදය කියන පොඩි පොතක් මට දීල කියාදුන්නා. සාපේක්ෂතාවාදයේ ගුරුතුමා තමයි මගෙ තාත්තා ..."
පියාණන් පිළිබඳව ගෞරවනීය බවක් ඔහු මුහුණින් පළවෙයි..
දැන් අපේ කතා නායකයා ගුවන් විදුලියේ අමාරිස් අයියා ලෙසින් රටම දනිති.. මහමගදී නාඳුනන ඇත්තෝද අදරින් වැලඳ ගනිති..ගුවන් විදුලියේ විකට වැඩ සටහනේ නම් දැරූ තවත් කිහිපදෙනකුම සිටි අතර දෙහෙත මහත ඔවුන් අතර සිරුරින් කුඩා තැනැත්තා අපේ "සෑම්" ය..
වෙනදා ගමන් යන ටැක්සිය නැතිවූයෙන් පාරේ ගිය මොරිස් මයිනර් වර්ගයේ ටැක්සියකට නැඟුණු මේ පිරිස දෙස එහි නාඳුනන රියදුරා කිහිපවරක්ම හැරි හැරී බැලීය..ගුවන් විදුලියේ ප්‍රකට එච්.ඩී. විජේදාසයන් කට ඇරියේය..
"මම පැනපු ගමන් උගෙ බෙල්ලෙන්ම අල්ලගන්නව හරිද..අනික් අයද ඊට පොහොර දැමූහ..
"හරි..හරි..ඉතිරි හරිය අපි ගාණට කරන්නම්.."
මංකොල්ලයකට යන හොරු පිරිසක් යැයි සිතාගත් රියදුරු නිහඬවම බියපත්ව රිය පැදවීය..
"දන්නවනෙ..බල බල ඉන්න එපා..උඹල හරියට වැඩේ දීපල්ලා හරිද.."
පෑලියගොඩින් කැලණි පාලම පසුකළ රිය පොලිසියට ක්ෂණයකින් හැරවූ රියදුරා එක්වරම රිය නවතා රියෙන් එළියට පැන පොලීසියට දිවගියේ "මෙන්න හොරු ගෙනාවෝ.."යි මහහඬින් කෑ ගසමිනි.
පොලීසියේ කිහිපදෙනකුද ආයුධ රැගෙන රිය වටකළහ..ඉන් එළියට බට පිරිස අතර අපේ කතා නායකයාද දුටු නිලධාරීහු කොක් හඬලා සිනාසී රියදුරාගේ පිටට සෙමින් පහරක් ගසා බය නැතිව තමුසෙ යනවා යැයි කීවේලු.. මොවුන් තමන් බියගැන්වීමට රිය තුළදී බොරු නාට්ටියක් කළේ යැයි රියදුරුට සිතුනේ එවිටදීය..
"ඒ කලෙ ජීවත්වන්නයි රස්සාව කළේ..කලාව වෙනුවෙන් කාලය කැප කළේ රටේ මිනිසුන් වෙනුවෙන් ..සල්ලි පස්සෙ හඹාගිය පුරුද්දක් එදා තිබුණෙත් නැහැනෙ..."
චන්දන මහතා කියන්නේය..
කුඩාකල සිටම කවියට හපන් හේ පුවත්පත්වලට ලියුවේය...චිත්‍ර ශිල්පයෙහි සමත් හේ එයද අතනොහැරම හුන්නේය..රඟපෑමට සමත් බව මුලින්ම ප්‍රකට වූයේ ගමේ වේදිකාවෙනි..කොටින්ම හේ ගමේ නළුවෙකි..ඒ සමත් බව ඉගෙනුම ලද පිරිවෙනේ ගුරුවරුන්ද දැන සිටියහ..
"ඩබ්ලිව් .මකුලොලුව මහතාට ඉන්දියාවට යන්නට ශිෂ්‍යත්වයක් ලැබුණා...ඒත් ඊට මුදල් අඩුපාඩුවක් ඇතිවූ වේලේ ඩී.බී.ධනපාල මහතා ඒ වෙනුවෙන් මුදලක් සොයාගන්නට විකට නාට්‍යයක් පෙන්වමු කියලා යෝජනා කරලා ඒ වැඩේ එච්.ඩී.විජේදාස මහත්තයා ට පවරා තියෙනවා..විජේදාස මහතා පිරිවෙනේ. .මුදල් වැයවීම අඩුවෙන් කරගන්නට පිරිවෙනේ ළමුන් මේකට ගන්න කියලත් ධනපාල මහත්තයා කියා තිබෙනවා. පිරිවෙනේ ළමුන්ට අමතරව එක්කෙනෙක් පිටින් ගන්න කියා මුදලට තාත්තා ව අරන් තියෙනවා..
ඉතිං අමල්..ගුවන් විදුලියේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල්වරයා එම්.ජේ. පෙරේරා මහත්තයනෙ..පසුකලෙක රූපවාහිනියෙත් එතුමා සභාපති වුණානෙ..එම්.ජේ. මහත්තයා එයාගෙ පැවරුම් වැඩසටහන්වලට විජේදාස මහත්තයා ව තමයි තෝරා ගත්තෙ. මේ 1954 විතර..ඒ විදිහට තමයි අපෙ තාත්තාගෙ ගුවන් විදුලි ආගමනය සිදුවුණේ.."
පුතු චන්දන එලෙසින් විස්තර කර කීවේය..
අපේ ආදරණීය චන්දන හිඳ සිටි අසුනේ තවත් හරිබරි ගැසුණේය..
"දන්නවද..ගිය තැනෙක අපෙ තාත්තා ට එක තැනක ඉන්නට බැහැනෙ..කොතැනක හරි නාට්‍ය කටයුත්තකට ගියාම ඉඩක් ලැබුණු හැටියේ නාට්‍යයේ ඇඳුම පිටින්ම එහෙ මෙහෙ ඇවිදිනවා..වැටවල් අතරින් රිංගලා වුණත් තැන තැනට යනවා..ඔහොම දවසකදි සැක හිතල තාත්තාව පොලිසියෙන් අල්ලාගෙනත් තියෙනවා. එහෙම වෙලාවෙදි පොලිස් නිලධාරින්ට කියල තියෙනවා..ආ..මාව පොලිසියට අරන් ගියාට කමක් නැහැ..හැබැයි නාට්‍යයේ මගෙ කොටස තමුන්නැහැල ගිහින් කරනවා කියලා.. පස්සෙ මේ අමාරිස් අයියානෙ කියල හඳුනගෙන හිතවත් වෙනවා.."
ඔහු සිනාසෙන්නේය..
මත්පැනින් හා දුම්වැටි ආදී කිසිවක් තොල තබා නැති අපේ කතා නායකයා ගැන පුතු චන්දන කියන්නේ මහත් ගෞරවයකිනි..
"කවදාවත් අපෙ තාත්තා ඔය මුකුත් කට ගාගෙන නැහැ..හරිහම්බ කරන සල්ලි නාස්ති කරල නැහැ. අපෙ තාත්තා ඉතින් අමල් ඔය කතා කරනකොට හරියට බීමතින් කතා කරනව වගෙයි නෙ.. බලන කෙනකුට හිතෙන්නෙ තාත්තා බීලා ඉන්නෙ කියලයි.."
දිනෙක අපේ සැමුවෙල් පිරිසක් සමඟ සිටියදී මහත තැනැත්තකු ඔහු වෙතට පැමිණ තරයේ බදා ගත්තේලු..ඔහු අත මත්පැන් වීදුරුවකි..
"මේක මං ගානෙ..තමුසෙ මේක බොන්නම ඕනා හරිද.."
ගැලවෙන්නට බැරිම තැන අපේ කතා නායකයා ඒ මේ අත වැනෙමින් මෙසේ කීවේලු.
"මාත් හොඳට ගහල ඉන්නෙ ඕයි..දැන් මට වැඩියි.." යැයි කී විට එය ඇදහූ හේ මහත තැනැත්තා අපේ සැමුවෙල් වත්තන් කොට පුටුවක වාඩිකරවා ඉවතට ගියේලු..
"අනේ ඔව්..තාත්තාගෙන් මං හොඳ හැටියට ගුටි කාලා තියෙනවා..පොතක් අතට දීල ඒකෙන් ප්‍රශ්න අහල ..එය ඉංග්‍රීසි බසිනුත් පහදල දෙනවා..මං කලිනුත් කිව්වෙ ගෙදර පොත් සංස්කෘතිය ඇතිකළේ අපෙ තාත්තායි..රස්සාවත් හොඳට කරමින් කලා ජීවිතයත් සමබරව කරගෙන ගියා..."
මා විමසූ පැනයකට පිළිතුරු දෙමින් පුතු චන්දන කීවේය..
විකට වැඩ සටහනක පුහුණුවීම් කටයුතු බොහෝවිට සිදු කෙරෙන්නේ ඔහුගේ නිවසේ විසල් ආලින්දයේ ය..ගමේ ඇත්තන්ද මිදුලෙහි වාඩිගෙන එය නරඹමින් කොක්හඬලා හිනැහෙති...ඒ පිරිසගේ හිනාවේ තරමින් ගුවන් විදුලි අසන්නන්ගේ උනන්දුවේ තරමද කල්තියාම අපේ කතා නායකයා අවබෝධ කරගනියි..එකල පුතු චන්දන කුඩා දරුවෙකි..එතැනට ඇවැසිදේ දුවපැන සපයා දෙන්නේද චන්දනය..
අපේ ආදරණීය කතා නායකයාගේ අමාරිස් අයියාගේ චරිතය බිහිවන්නට හේතුවක්ද තිබෙයි..ඔහුගේ ගමේ පිහිටි පොඩි කඩයට ගමේ බොහෝ අය රැස්වෙති..එතැන ඩූල් අයියා..සිමියොන් අයියා..ආදී අමුඩ ලේන්සුව ඇඳන් පාරේ යන අයියලා බොහෝ දෙනෙකි..එතැන හුන් අමාරිස් අයියා අපේ කතා නායකයාගේ රංගන දිවියට ආරූඪ වූයේ එසේය..මෙතැන කෙතරම් ඔහුට සිත්ගත්තේද යත් වැඩ ඇරී ගෙදරට ආ සැණින් ඇඳුම මාරුකොට හෙතෙම දිවයන්නේ එතැනටය..
අපේ සැමුවෙල් රුද්‍රිගු නම් කතා නායකයා බණ අසන්නට දැක්වූයේ මහත් ඕනෑකමකි..දරුවන්ටද බණ අහන්නැයි බල කරන්නේය..ඔහු බණ අහන්නේ පොතක් කියවනවාසේ නිසලවමය.. ඇසූ බණෙහි සාරාංශය පොතක ලියන්නේය..දේශකයාණන් වහන්සේ ට කතාකර දෙසූ බණ පද තවත් පහදා අසා ගන්නේය..එයින් අපේ කතා නායකයාගෙන් උපන්නේ "බණෙන් උපන් විහිළු " නම් විකට වැඩ සටහන්ය..
බුදුන්ට පරිභව කළ ආක්‍රෝෂ බමුණාගේ බණ කතාව අලළා "බැණුම් ආපසු ඇරියෙමි " නිර්මාණය ද කදිමය...
ගෙවල් අයිතිකරු කුලිය පමාවීයැයි ගෙමිදුලට පැමිණ බැණ අඬගසද්දී හේ සිනාසෙමින් පසුවෙයි..බැණුම නිමාවන තුරුම ඉවසා සිටි හේ ගෙවල් අයිතිකරුට බැණ වදින්නේ ගෙයි වහලයේ..බිත්තියේ ආදී අඩුපාඩු තැන් කියමිනි..එවිට ගෙවල් අයිතිකරුටද සිනා පහළ වී ආපසු හැරී යන්නේය..
"අනේ ඒ තාත්තා ලියපු ලස්සන කතන්දර පොත කාවෝ කාලානෙ.."
පුතු කියන්නේය..
"අපේ ගෙදර අදටත් පාරෙ යන බල්ලන්ට ... කුරුල්ලන්ට කෑම දෙන්න ලෑල්ලක් අදටත් ගහල තියෙනවා..ඒ වගේ වටිනා දේවල් තාත්තා ඉගෙන ගත්තෙ තාත්තාගෙ සීයාගෙන්..අපටත් ඒ වටිනා ගති හුරුවුණා.."
අපේ ආදරණීය කතා නායකයා ප්‍රතිපත්ති ගරුකය..මානව හිතවාදී ගුණින් පිරිපුන් ය..ගෙදරදී විහිළු කතා නැති..ගෙදර ඇත්තන්ද ඔහු නිවසෙහි පසුවන කල සීරුවෙනි..
මේ කියන කතාවේ ඇලන් මෝනා පිළිබඳව ද ඔබට මතක ඇති..ඒ ගුවන් විදුලියේ විමෝද සමයේ අමාරිස් අයියාගේ බිරිඳ ය..
දිනෙක ඔහු අහර සපයන ආයතනයකට තම බිරිඳ හා දරුවන් කැඳවාගෙන ගියේය..එහි සේවයෙහි නියුතු බුලත් කන කට සැර කාන්තාවක් සිටියාය..ඇයව තම බිරිඳ දරුවනට පෙන්වා හඳුන්වා දුන් අපේ ආදරණීය සැමුවෙල් මේ ඉන්නෙ ගුවන් විදුලියෙ අමාරිස් අයියාගෙ ඇලන් මෝනා...තමයි. ඇය ඒ අසා මුවපුරා සිනාවූවාය..විමෝද සමයේ අමාරිස් අයියාගේ ග්‍රාමීය ලක්ෂණ ගමේ අයියලා කෙරෙන් උකහාගත් අතර නාගරික ලක්ෂණ එන්නේ ඇලන් මෝනා ඇසුරෙනි.
රට සුපතළ අපේ කතා නායකයා තම පිරිස සමගින් එතෙර රටවල් රැසකටද විමෝද සමය රැගෙන ගියේය..
අපේ සොඳුරු කතා නායකයා ගණිත විෂයයටද දක්ෂයකු වන අතර තරුණ වියෙහිදී ගණිතය පන්ති පැවැත්වූයේය..එහි සිටි සිසු සිසුවියන් අතර පසුවූ තැන්පත් ගතිපැවතුමින් පිරි රූමත් සිසුවියක කෙරෙහි ඔහු සිත ආදරයෙන් බැඳුණේය..
තම සිතෙහි උපන් ආදරය තමන්ට හුරුපුරුදු කවියට නගමින් ජීවය දුන්නේ මෙසේයැ..
"කොට ගවුමකින්
සැරසී තනි සුදු පාට
වැඩිපුර බැලුම් නොහෙළා
වටපිට දේට
හොඳ ළමයකු වගේ
පාසල් යන වාට
මම ආදරේ ඒකයි ඔය
ළමයාට
අපේ ආදරණීය කතා නායකයා අතිනත ගත්තේද ඇය සමගිනි..ඕ තොමෝ කැලණිය..ගල් බොරැල්ලේ ලිලියන් ප්‍රනාන්දු මෙනවියය. ඒ 1956 වසරේදීය .. ඕ තොමෝ නක්ෂත්‍රයට පරසිදු ධනවත් බෙම්පි ගුරුන්නාන්සේගේ දියණියකි..
"අපේ මංගල්ලය මහ ඉහළින්ම තිබුණා "
ඔහු සතුටින් තම දරුවනට පසුකලෙක එසේ කීවේය..
තම සීයාට ඉමහත් ආදරයක් දැක්වූ නිසාම හේ සීයා මියගියදා මහත්සේ හඬන්නට වීය...
තම චන්දන පුතු කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් කරවන්නට බැරිව ගියද පුතු ශිෂ්‍යත්වය සමත්ව ආනන්ද විදුහලට ඇතුළත් වීමෙන් පසු "මට කරන්න බැරිව ගියදේ පුතාම කරගත්තා " යැයි කියා උඩ පැන පැන සතුටින් ඉපිල ගියේය..
"මගෙ මුත්තා පේද්‍රක්.තාත්තාගෙ සීයා ඒ කාලෙ බොහොම ගෞරවයට පාත්‍ර වූ ගල් බොරැල්ලේ බෝධිරුක්ඛාරාමයේ හොඳ දායකයෙක්.. ""
චිත්‍ර ශිල්පයද වියපත් වනතුරුම අතහැර නොදැමූ හෙතෙම වෙසක්දාට විශාල බුදු රුවක් සිතුවමට නගයි. ඊට විදුලි බල්බ දමා තොරණ හැඩ කරන්නේ පුතු චන්දන සමග අක්කා හා මල්ලීය..
හිතමිතුරන්ගෙන් නම් අඩුවක් නැති අපේ කතා නායකයා ගුවන් විදුලිය..රූපවාහිනියේ සේම චිත්‍රපටවලද රඟපෑවේය..විරුදු රචනයෙහි හා ගායනයෙන්ද සමතකු වූ හේ ගුවන් විදුලියේ විරිදු පරීක්ෂණයෙන් සමත් වූයේද අහඹුවෙන් ලද අවස්ථාවකිනි..
අපේ ආදරණීය කතා නායකයා දැන් දැන් රෝගාතුර වන්නේය..පෙනහලු ආශ්‍රිත රෝගාබාධයකින් හෙතෙම පෙලෙන්නට වී...රෝගී තත්ත්වය උත්සන්න විණි.
වහා රෝහල් ගත කෙරිණි ..තත්ත්වය නරක අතටම හැරෙයි..අනතුරුව දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කෙරිණි ..මේ වනවිට අපේ කතා නායකයා වයසින් අවුරුදු 80 කට ආසන්නව සිටියේය..නිව්මෝනියාව වැලඳී තිබීමෙන් තත්ත්වය වඩාත් බරපතළ බව වෛද්‍යවරුන්ගෙන් කියැවිණි...තවත් දිනක් දෙකක් ගතවිණි ..
රටම සිනා සයුරක ගිල්වමින් රටක් පිනවූ .. වටිනා දූ පුතුන් ලොවට දායාද කළාවූ...කාගේත් ආදරයටම බඳුන් වූ...මිනිස් ගුණින් පිරිපුන් අපේ සොඳුරු කතා නායක සැමුවෙල් රුද්‍රිගු කලාකරුවාණන් 2001 වසරේ සැප්තැම්බරයේ 13 වනදා...පෙම්බැඳී සුවහසක් රසික සමූහයාටද නොකියා නොදන්වා ම නිහඬවම කොහේදෝ යන්නටම ගියේය...
එතුමා ලියූ තවත් කවකින් සිත සනහාගමි.
"කුමටද ගුණ කතා
සැරසිලි වැඩක් නැතී
හොඳටම වැඩිවුණොත්
සුදු කොඩි දෙකක් ඇතී මැරුණට පස්සෙ
කිසි කෙනකුට බරක් නැතී
මිනිසකු මළා කීවොත්
මට එයත් ඇතී
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල