කිසිදා නොමියෙන ප්‍රතිභාවක්

ඔක්තෝබර් 12, 2023

සෑම අහම්බයක්ම රැගෙන එන්නේ වරෙක සතුටකි. තවත් වරෙක දුකකි. සැබැවින්ම මේ සතුට හෝ දුක සාපේක්ෂය. ජීවිතයේ හා සමාජයේ සියල්ල සාපේක්ෂ වන කල්හි සතුට හෝ දුක නිරපේක්ෂ අදියරක් කරා යොමු කරලීම අහේතුකය. එසේම එය ස්ථිතික තලයක රඳවාලීමද අනුචිතය. කලා ක්ෂේත්‍රය පමණක් නොව සෙසු ක්ෂේත්‍රද ඇසුරු කරන බොහෝ දෙනෙකු ඉකුත්දා දිවි හැර ගිය ජැක්සන් ඇන්තනි පිළිබඳ කල්පනා කරනු ඇත්තේද සතුට හෝ දුකද, සතුට හා දුකද යන අරුත් දැක්වීම් අතර වරෙක අවිඥානකවද, තවත් වරෙක සවිඥානකවද සැරිසරමිනි. මෙයින් අදහස් කෙරෙන්නේ ජැක්සන්ගේ නික්ම යාම සතුටු දායක වූවක් සේ ගෙන හැර පෑම නම් නොවේ. අනිවාරතේ දුකට පත්වීමද නොවේ. මක් නිසාද යත් ඔහු අත්පත් කට ගත් අනපේක්ෂිත මරණය වළක්වාලීමට මේ මොහොතේදී කිසිවකුත් සමත් නොවන හෙයිනි.

ජැක්සන්ගේ නික්මයාම බැලූ බැල්මට නම් අහම්බයකි. තවත් වසර ගණනාවක් සිරිලක කලාවේ නිම් වළලු පුළුල් කරලීමේ සමත්කම ඔහු සතුව තිබිණි. ඊට ඇවැසි පසුබිම හා අවස්ථා ප්‍රමාණවත් පරිදි නිර්මාණය වී තිබූ බවද සඳහන් කළ යුතුය. ඔහු අබියස අභියෝග නොතිබුණාම නොවේ. ඇත්ත වශයෙන්ම ඔහු සිරිලක කලාවේ වත්මන් දැවැන්තයකු බවට පත්වන්නේ තමා හමුවේ ප්‍රාදූර්භූත වූ අභියෝග ජය ගන්නා අයකු බවට පළමු වටයේදීම පත්වීම නිසාවෙනි. හැම විටම සිය කුසලතා කෙරෙහි අපමණ විශ්වාසයක් තැබීමට ඔහු ගත් තීන්දු හැම විටෙකම පාගේ නිවැරදි වූයේ සෙස්සනට ආදර්ශයක්ද ගෙන දෙමිනි. ඔහුට වැරදුණු තැන් අල්පය. එසේම ඒවා නිශ්චය කර ගැනීමද අසීරුය. නිරනුමානවම ඉස්මතු වූයේ ඔහුගේ සමත්කම් පමණකිය යන්න නොරහසකි.

කලාකරුවන් මෙන්ම කලාවේ මිතුරන්ද මේ සංවේදී මොහොතේදී සතුටු විය යුත්තේ ජැක්සන්ගේ ප්‍රශස්ත කලා භාවිතය සම්බන්ධයෙනි. තවත් මෙබන්දකු සිරිලක බිමදී හමු නොවේ යැයි යන අසුබවාදී අදහස් හැඟීම්බරව හෝ පළ කිරීම ජැක්සන් වෙත කරනු ලබන නිග්‍රහයක් සේ පෙනේ. කවර ක්ෂේත්‍රයක් වුව දික්විජය කළ විශිෂ්ටයන් දිවි හැර යන්නේ ජැක්සන් මෙන්ම නොවේ. එක්කෝ වියපත් වූ පසුවය. නොඑසේනම් යම් රෝගාබාධයක් හේතු කොට ගෙනය. කෙනෙකු තරුණ වියේදීමය. නැතහොත් ගැටවර වියේදීමය. දුකට පත්වන කලාකරුවෝ හා කලාවේ මිතුරෝ හැඟුම්බරව පවසන්නේ යළිත් මෙවන්නෙකු නූපදින හෙයින් කලාවේ කිසිදා පිළිසකර කළ නොහැකි හිඩැසක් දක්නට ලැබිය හැකි බවයි. මේ සාවද්‍ය හා පසුගාමී අදහසක්ය යන්න වටහා ගැනීම තවදුරටත් පමා නොකළ යුත්තකි. නියත වශයෙන්ම මෙතැනදී සිදුවන්නේ එසේ දිවි හැර ගිය ප්‍රශස්ත කලාකරුවා අධිනිශ්චය කොට වියුක්ත තලයක් කරා රැගෙන යාමය. ජැක්සන් ඇන්තනි යනු එසේ හුදෙකලා කළ යුතු කලාකරුවකු විය යුතු නොවේ. ඔහු පුරාවෘත්තයක් වන බව නිසැකය. එහෙත් ඔහු කලාකරුවන් වෙතින් හා කලාවේ මිතුරන් වෙතින් දුරස් විය යුතු කලාකරුවකු බවට පත් නොකිරීම මෙහිලා සිදු කළ යුතු අගනාම කාර්යයකි.

මේ අදහස සඳහන් කරන්නේ මීළඟ කලා පරපුර පුබුදුවාලීමට ඇවැසි කොන්දේසි ආදිය නිර්මාණයට ජැක්සන් කිසිදු විටෙක අදි මදි නොකළ නිසාය. තම නිර්මාණ සඳහා නවකයන් සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් ඔහු දැරුවේ ධනාත්මක පිළිවෙතක් බව පැවසීම අසීරු නොවේ. ඔහු කලාවේ මුලකුරු ලියන්නට හා දොඩන්නට පැමිණෙන්නේද නවක පිරිසක් සමඟිනි. ගෞරවනීය ප්‍රවීණයෝ ඔවුනට අත දුන්හ.

අනෙක් අතට ඔහු සිරිලක කලාව විෂයෙහි පවත්නා කණ්ඩායම් සහභාගීත්වය කෙරෙහි දැක්වූ අවධානය නම් අති මහත්ය. 1980 දශකයේදී ඔහු කලාවේ මිතුරන් හමුවට පැමිණෙන්නේ පසුකාලයේදී වෙසෙසින් කැපී පෙනුණු පිරිසක් සමඟිනි. මොවුන’තර සිටි ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ග්‍රැන්විල් රොද්‍රිගු වැන්නන්ගේ නිර්මාණ හා සහභාගීවීම් හැදෑරීමේදී මෙකරුණ පසක් කර ගැනීම පහසුය.

පියකු ලෙස ජැක්සන් සිය දරු තිදෙනා අරභයා එළඹුණු තීන්දුව සිරිලක කලාවේ දුර්ලභ අවස්ථාවකි. ඔවුනට සිය නිර්මාණාත්මක සමත්කම් උරුම වී ඇති වග ජැක්සන් විසින් නොපමාවම වටහා ගනු ලැබීමේ ප්‍රතිඵල අද වන විට දක්නට ලැබෙන්නේ තරගකාරී තත්ත්වයන් යටතේය. ඔවුහු එක අතකින් පියා අබිබවා යාමේ සමත්කම්ද යාන්තමින් වුව පෙන්නුම් කරන්නේ යැයි සිතේ.

ජැක්සන්ගේ කලා භාවිතය අළලා නොයෙකුත් නිර්වචන, ඇගැයීම් හා හඳුනා ගැනීම් මෙසමයේ සුලබය. කෙටි කලකින්ම සිදුවනු ඇත්තේ වාර්ෂික සිහිපත් කිරීමක් දක්වා මෙම සලකා බැලීම ලඝු වීමයි. ඇවැසි වන්නේම අවස්ථාථෝචිතව හා කාලානුරූපව ඔහු පිළිබඳ වඩා නිරවුල් කියැවීමක් පවත්වා ගැනීමය. එය ජැක්සන් සඳහා පමණක් නොව සුවිශේෂ හා සුවිශිෂ්ට ප්‍රතිභාවක් ප්‍රකට කළ සෙසු කලාකරුවන් සඳහා ද කෙරෙන වඩා අරුත්බර ගෞරවයක් වේ.

කලා ක්ෂේත්‍රයේ ප්‍රදේශ කිහිපයකම සිය ප්‍රතිභාව නොඅඩුව පළ කිරීමට ජැක්සන් සමත් වන්නේ මුල් සමයේදීමයි. පසුකාලීනව සිදුවන්නේ එය වඩා තියුණු වීමය. ඔහුගේ ප්‍රතිරූපයේ වත්මන් හැඩරුව හා අන්තර්ගතය පසුපස ඇත්තේ දීර්ඝ හැදෑරීමක බරසාර හා විවාදාත්මක ප්‍රතිඵලයි. ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය ඔහුගේ මෑතකාලීන සමත්කම් සමඟ බැඳී ඇත්තේ අවියෝජනීයවය. මෙනිසාම ඔහුගේ කලා දිවිය යනු ඵලදායී අධ්‍යයන බිමක්ය යන්න අමතක කළ යුතු නොවේ. මෙතැනදී දත හැකිවන අප්‍රතිහත ධෛර්යය, නොපසුබස්නා බව හා අරගලකාරීබව ස්වකිය අනන්‍යතා සාධනය පිණිස විචක්ෂණශීලීව භාවිත කිරීමට ඔහු දක්වන උනන්දුව නවක කලාකරුවනට නම් අතිශයින්ම වැදගත් පාඩමකි.

මේ තතු පවසන්නේ ජැක්සන්ට සම කළ හැකි අන් සිරිලක කලාකරුවන් කවුරුන්ද යන යන ප්‍රශ්නය වහාම නැඟෙන බවයි. මහගම සේකර, තිස්ස අබේසේකර වැනි දෙතුන් දෙනෙකු පමණයි මෙසේ මෑත කාලීනව හඳුනා ගත හැකිවන්නේ. තුලනාත්මකව බලන කල ඔවුනගේ නික්ම යාම් වෙතින්ද හිඩැස් මතුවූ බව පැහැදිලිය. එනමුදු ඔවුනගේ සමත්කම පමණටම ප්‍රතිභාවක් පළ කළ හා ඒවා අතික්‍රමණයට පසුබට නොවූ පසුකාලීන කලාකරුවන් පෙරට ආ වග සත්‍යයකි. එසේ වූවා කියා ඔවුනගේ පෘථුල කාර්යභාරය පිළිබඳ කවර තරමේ හෝ අවතක්සේරුවක් සිදු වීමට ඉඩක් නොතිබිණි. ජැක්සන් අරභයාද මේ මොහොතේදී පැවසිය හැක්කේ එකරුණමය. එසේම එය ඔහු වෙත පිරිනැමෙන ගෞරවයක්ද වේ.

වරෙක ජැක්සන් රූපණවේදියෙකි . සිරිලක වේදිකාවේ, රූපවාහිනියේ හා සිනමාවේ රූපණය පිළිබඳ විමසුම් විෂයෙහි ජැක්සන් සිටින්නේ මුල් තැනකය. තවත් වරෙක ජැක්සන් සිනමාකරුවෙකි. එසේම ටෙලිනාටකකරුවෙකි. එමෙන්ම සිනමා හා ටෙලිනාටක පිටපත් රචකයෙකි. ගේය පද රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි. එහිලා තීරු ලිපි රචකයෙකි. අතිශය වැදගත් හා ආන්දෝලනාත්මක රූපවාහිනී වැඩසටහන් විමර්ශනාත්මකව ඉදිරිපත් කරන්නෙකි. තවත් ඔහු ජයගත් හා එක්වූ ඉසව් කිහිපයකි.

මේ හැම තැනකදීම සාපේක්ෂව වඩා ඉහළ ප්‍රමිතියක් කෙරෙහි ජැක්සන් ඉහළ සැලකිල්ලක් දැක්වූ බව පෙනේ. කලාකරුවකු ලෙස ජැක්සන් හඳුනා ගත යුතු නම් නොවලහා හසු කර ගත යුතු ගුණාංගය වන්නේ මෙයයි. ඔහුගේ නික්ම යාම දුකක් වුව ද, ඔහුගේ ජීවිතයේ ඵලදායී බව පිළිබඳ සතුටු වීම වැදගත්ය. මේ දෙස විවෘතව බැලීම කලාකරුවන්ගේ හා කලා මිතුරන්ගේ පරම වගකීමකි. පෙර සඳහන් කළ පරිදි මෙය ඔහු වෙත නිසි ගෞරවය පිරිනැමීමේ පිළිවෙත අවධාරණය කරන අවතීර්ණවීමක්ද වේ.

සිනමා රූපණයට ජැක්සන් පැමිණෙන්නේ වේදිකා නාට්‍යයේ හා ටෙලිනාටකයේ රූපණ සමත්කම විදහා දක්වන පසුබිමකය. වේදිකා නාට්‍ය අනන්‍යතාව හා ටෙලි නාටක අනන්‍යතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැටහීමක් ඔහු තුළ තිබූ සෙයකි. එසේම ඒ ඒ නිර්මාණ ප්‍රවර්ග සමඟ රූපණ කාර්යය හසුරුවා ගත යුතු පිළිවෙළ සම්බන්ධයෙන්ද ඔහු සැලකිලිමත් වූ සැටියකි. ‘මරාසාද්’ හා ‘බෙර හඬ’ යන වේදිකා නාට්‍ය ද්විත්වය තුළ ඔහුගේ සහභාගීත්වය පිරික්සීමේදී මෙකරුණ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම වඩා පහසු ය. මෙයින් සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ ඔහු වෙත ලබා දුන්නේ අති මහත් රූපණ ඥානයකි.

ටෙලි නාටක රූපණයේදීත් ජැක්සන් පිහිටන්නේ මෙම පිළිවෙතේමය. උචිතම උදාහරණ වන්නේ ධර්මසේන පතිරාජගේ ‘ඇල්ල ළඟ වලව්ව’ හා ‘කඩුල්ල’ යන ටෙලිනාටකයි. ‘කඩුල්ල ’ සිරිලක ටෙලිනාටක වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්ය යන්න සිහිකටයුතුය.

ජැක්සන්ගේ මෙම වේදිකා නාට්‍ය හා ටෙලිනාටක රූපණ සමත්කම් පසුපස සිටින නිර්මාපක පාර්ශ්ව කෙරෙහිද සැලකිලිමත් වීම ප්‍රඥාගෝචරය. එක් අතකින් ජැක්සන් මුල් පෙළේ රූපණවේදියකු හා නිර්මාපකයකු බවට පත්වීම පසුපස මොවුන්ද සිටින බව පැහැදිලි වුවද ද්විතීයික විමසුමකදී තවෙකක් හඳුනා ගැනීම ඇවැසි වේ. එනම් නිර්මාපක විශ්වසනීයත්වය අපේක්ෂිත පරිදි තහවුරු කරලීමට ජැක්සන් සමත් වීමේ ප්‍රමාණය නිශ්චය කර ගැනීමයි.

ජැක්සන් වඩා සමත් වන්නේ සිනමා රූපණයේදීය යන්න විවාදාත්මක අදහසක් වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. මන්ද වේදිකා නාට්‍යයට හෝ ටෙලි නාටකයට වැඩි රුචිකත්වයක් දක්වන කලාකරුවන් හා කලාවේ මිතුරන් ඇතැම් විටෙක සිනමා විරෝධී වන්නට වුව ඉඩ ඇති හෙයිනි. එහෙයින්ම අවැසි වන්නේ තුලනාත්මක ප්‍රවේශයකි.

ප්‍රමිතිය කෙරෙහි අපමණ සැලකිල්ලක් දැක්වූ නිසාම ජැක්සන්ගේ සිනමා රූපණය සමන්විත වන්නේ සිනමාපට ස්වල්පයකින් පමණි. ඔහුගේ ඇතැම් සමීපතම සමකාලීනයන් ඔහු මෙන් නොව වැඩි සිනමාපට සංඛ්‍යාවකට එක්වූ බවද පෙනේ. ශ්‍රියන්ත මෙන්ඩිස් හා කමල් අද්දරආරච්චි ඉන් ප්‍රමුඛය. මේ යම් සිනමා රූපණවේදියකුගේ යහගුණයක් හෝ දුබලතාවක් සේ සඳහන් කිරීමට ඉක්මන් නොවිය යුතුය. මන්ද වැඩි සිනමාපට සංඛ්‍යාවකට රූපණයෙන් සහභාගී වී කුසලතා දැක්වූ රූපණවේදින් සේම අඩු සිනමාපට සංඛ්‍යාවකට රූපණයෙන් සහභාගී වී කුසලතා දැක්වූ රූපණවේදීන්ද ඇස් පනාපිටම හඳුනා ගත හැකි නිසාවෙනි.

කෙසේ නමුදු ජැක්සන්ගේ සිනමා රූපණය වෙතින් දක්නට ලැබෙන විශේෂත්වය මඟ හැර යාම අනුචිතය. ඒ සිනමාව කලාත්මක ප්‍රකාශනයක් සේ භාවිත කරලනු පිණිස නන් අයුරින් පෙනී සිටි සිනමාපට ඔහුගේ රූපණ සහභාගිත්වය ඉදිරියෙන් සටහන් වී තිබීම නිසාවෙනි. එසේම ඒවායේ නිර්මාපකයන් සිරිලක සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් නන් අයුරින් පෙනී සිටි නිසාවෙනි. කිසිදු විටෙක සිනමාව විනෝදාස්වාදය සපයන මඟක් බවට පත් කර ගත් සිනමාපට හෝ සිනමාකරුවන් ඔහු සමඟ දුර දිග යන සම්බන්ධතා නොපැවැත්වූ නිසාවෙනි.

මෙබඳු අවස්ථාවක් ලැබෙන රූපණවේදීන් සිරිලක සිනමාවට අදාළව වාර්තා වන්නේ ඉඳ හිටය. ඇතැම් විටෙක වාර්තා නොවන සුලුය. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, අමරසිරි කලංසූරිය හා සනත් ගුණතිලක යන සිරිලක සිනමාවේ දැවැන්තයන් සමඟ ජැක්සන් සම කිරීම අත්‍යන්තයෙන්ම අපහසු වන්නේ මෙහෙයිනි. මන්ද ඔවුන් විනෝදාත්මක සිනමාව සමඟ ගැඹුරු හා අඛණ්ඩ එකඟතා දිගින් දිගටම පවත්වා ගෙන ගිය නිසාය.

ජැක්සන්ගේ රූපණය මෙහෙය වූ සිනමාකරුවන් අතර අතීත සිනමා අධ්‍යක්ෂණ අත්දැකීම් සහිත විජය ධර්ම ශ්‍රී, ධර්මසිරි බණ්ඩාරනායක, සුමිත්‍රා පීරිස්, එච්.ඩී.ප්‍රේමරත්න හා සුනිල් ආරියරත්නද වූහ. ඔවුන් ජැක්සන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන්නේ සිය නිර්මාණ විධික්‍රම ප්‍රමුඛ කොට ගෙනයි. මෙනිසාම පූර්වයෙහි සඳහන් කළ පරිදිම ජැක්සන් කටයුතු කරන්නේ ඒ ඒ සිනමාකරුවන් තෘප්ත වන ආකාරයට සිය රූපණ කාර්යය ප්‍රකට කරන්නටය. නා නා විධ චරිත ඔහු වෙත හිමි වීමද මෙතැනට ගළපා ගත යුතු සාධකයක් වෙයි. මෙහිලා එන ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’ හා ‘බවකර්ම’ යන සිනමාපට යුගලේ ජැක්සන්ගේ සහභාගීත්වය උච්චස්ථානයක පවතින බව පෙනේ. දශක කිහිපයක් තිස්සේම දිවයන, ඒ අතරතුර සංකීර්ණ අත්දැකීම් රැසක්ම ලබන ගැමියකුගේ චරිතය ජැක්සන් මෙහිදී නිරූපණය කරන්නේ සිය ටෙලි නාටක අත්දැකීම්ද සිනමානුරූපීව හසුරුවා ගෙනයි. එනමුත් ජැක්සන්, සිනමාකරු ධර්මසිරිගේ අභිලාසය ඉක්මවා නොගියේය. එය ප්‍රශ්න නොකළේය.

සිනමා රූපණයේදී ජැක්සන් ඉක්මනින්ම සමීප වන්නේ 1990 දශකයේදී සිනමාකරණයට සපැමිණෙන ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන්ගේ ඇසුරටය. මෙතැන සුදත් දේවප්‍රිය, උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, ජයන්ත චන්ද්‍රසිරි, සෝමරත්න දිසානායක යන සිනමාකරුවෝ සිටිති. ඔවුනගේ පළමු පෙළ තෝරා ගැනීමක් බවට වරක් නොව වරෙක දෙවරක්ම පත්වීමෙන් ඉනික්බිතිව ජැක්සන්ගේ උක්ත සමීපතාව සහතික වූ බව දක්නට ලැබේ.

මෙහිදීද ජැක්සන්ගේ රූපණ ප්‍රතිභාව ඉහළින්ම සහතික වූ අවස්ථා හඳුනා ගැනීම පහසු නැත. ඊට එක් හේතුවක් වන්නේ ඔහු වෙත ලැබුණු චරිත එකිනෙකින් වෙනස්ව ප්‍රකාශයට පත් කිරීමයි. එම සිනමාපටද තල කිහිපයක රඳවා තැබීමයි.

සිය සිනමා රූපණයේදී සමකාලින චරිත සේම අතීත චරිතද ප්‍රතිනිර්මාණයට ජැක්සන් වෙත අවස්ථාව ලැබෙන්නේ සෙසු රූපණවේදීන් අතර කැපී පෙනීමේ හැකියාව තීව්‍ර කරමිනි. මෙයින් ගම්‍ය වන වැදගත් කාරණයක් වනුයේ සමකාලීන චරිත නිරූපණය වඩා පහසුය යන්න මිථ්‍යාවක්ය යන්න අවධාරණය කිරීමට ඔහු දැක්වූ උනන්දුවයි. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’ හා බවකර්ම’ හි ජැක්සන්ගේ චරිතය දිව යන්නේ ගෙවුණු සියවසේ මුල් සමය කරායි. බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’ හිදීත් ජැක්සන් පිවිසෙන්නේ ගෙවුණු සියවසේ මුල් සමයේ විසූවකුගේ චරිතයට ය. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නිදාහය’ , සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’ හා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ යන සිනමාපටද මේ ලැයිස්තුවට එක් කළ හැකිය. මෙතැනදී උපකල්පන සඳහා වැඩි මහන්සියක් දරන්නට සිදු නොවන බව පෙනේ. ඒ මෙම චරිත ආසන්නතම අතීතය නියෝජනය කරන හෙයිනි.

එනමුදු සුනිල් ආරියරත්නගේ ‘කුස පබා ’ හා ‘ක්ෂීර සාගරය කැලඹිණ’ යන සිනමාපට ද්විත්වයේදී නම් ජැක්සන්ට සිදුවන්නේ උපකල්පන සමඟ දෘඪතරව ගනු දෙනු කරන්නටය. ඉන් ඔහු සමත්කම් ප්‍රකට කළේය යන්න අපහසුවකින් තොරවම පැවසිය හැකිය.

සමකාලීන චරිත නිරූපණ අවස්ථා අතර කැපී පෙනෙන්නේ විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ ‘මිල්ලෙ සොයා’,’උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ සහ ‘රන්දිය දහර’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාර්කටින්’, නෙයොමාල් පෙරේරාගේ ‘දඩඉම’ යන සිනමාපට වෙතිනි. ජැක්සන් ඇන්තනි යනු සිනමා තරකාවක්ය යන අදහස ඉස්මති වීම කෙරෙහිද මෙම සිනමාපට බලපෑ බව සත්‍යයකි. කෙසේ නමුත් තුලනාත්මකව විමසා බලන කළ දත හැකි වන්නේ සම්මත සිනමා තාරකාවක් ලෙසින්ම නොව විකල්ප සිනමා තාරකාවක් ලෙසින්ද ජැක්සන්ව හඳුනා ගැනීම සහේතුක වන බවයි.

ජැක්සන්ගේ සිනමා රූපණය තුළ අනුකාරක ලක්ෂණද ගැබ්ව පවතින බව මෙහිලා සනිටුහන් කරන්නේ අගතිගාමී අරමුණකින් තොරවය. එනම් මෙහිදීද ඔහු සිය රූපණ සමත්කම් නොසඟවා පිළිබිඹු කළේය යන්නයි. ‘ප්‍රවේගය’,’ධර්මයුද්ධය’ හා’ උදුම්බරා’ මෙතැනට ගෙන ආ හැකි හොඳම උදාහරණය.

සිනමාකරුවකු සේ ජැක්සන්ව හඳුනා ගත හැක්කේ 1990 දශකයේ නව සිනමා පරපුරේ සාමාජිකයකු විලසිනි. අවාසනාවකට ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ජුලියට්ගේ භූමිකාව’ නිසි විචාර ප්‍රතිචාර නොලැබූ බව කිව යුතුය. සිය වේදිකා නාට්‍ය අත්දැකීම් මනාව පරිශීලනය කරමින් ඔහු ‘ජුලියට්ගේ භූමිකාව’ අපූර්ව සිනමා අත්දැකීමක් බවට පත් කරයි. ‘ඇඩ්‍රස් නෑ’ ද ප්‍රමාණවත් විචාරක හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවේදැයි යන සැකය මතු කළ ඔහුගේ සිනමාපටයකි.

‘අබා’ සිනමාපටය සමඟ අභිනව සිනමාපට මාදිලියකට පුරෝගාමී වන්නට ජැක්සන් අවකාශ සලසා ගන්නේ නිර්දය විචාර ප්‍රතිචාර නොමඳව ලබා ගනිමිනි. පසු කාලයේදී ප්‍රමාණාත්මකව වැඩුණු රජ සමය. බුදු සමය හා ඊටත් පෙර සමය විෂය වූ සිනමාපට මාදිලියට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නේ ‘අබා’ ය යන්න නිරන්තරයෙන්ම කියැවෙන්නකි. මෙම සිනමාපට මාදිලිය ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගත් බව පැහැදිලිය. එනමුදු ප්‍රමිතිය යන සාධකයට අදාළව නම් මේවා පැවතියේ වඩා පහළ තලයකයි. නමුත් ‘අබා’ සිනමාවේ නිසි ප්‍රමිතිය සම්බන්ධයෙන් දැරුවේ සැලකිය යුතු උනන්දුවකි. ‘කුසපබා’ වැනි ප්‍රශ්නකාරී අවස්ථාවකට රූපණයෙන් සහභාගී වුවද ‘අබා’ ඔස්සේ විද්වත් කතිකා පොහොසත් කරලීමේ සිය අරමුණ කුළුගැන්වීමට ජැක්සන් යම් පමණකින් හෝ සමත් වූ බව පෙනේ.

‘එක ගෙයි සොකරි’ යන ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණය තවදුරටත් මහජන ප්‍රදර්ශනයට එක නොවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරලීම උචිතය. සිනමාපට නිෂ්පාදනය මෙන්ම ඒවා ප්‍රදර්ශනයද අතිශය අසීරු කාර්යයක්ය යන්නයි ඉන් කියැවෙන්නේ.

සිනමාව ප්‍රමුඛ වුවද ජැක්සන්ගේ සියලු කලා සහභාගීත්වයන් හා කලා සම්බන්ධතා පවසන කාරණා ද්විත්වයකි.

පළමුවැන්න වන්නේ ජැක්සන් සිය සමත්කම් ප්‍රකට කරන ප්‍රතිභාව මුල් සමයේ පටන්ම නොවෙනස්ව පව්වත්වා ගැනීමයි. එනම් එහි උච්චාවචන සීමිත වීමයි. ක්‍රමික වර්ධනයක් හෝ අනපේක්ෂිත කඩා වැටීමක් දක්නට නොලැබීමයි.

දෙවැන්න ඉන් ඔබ්බට යනු වෙනුවට අභිනව ක්ෂේත්‍ර හසු කර ගැනුමට ඔහු සතු හැකියාව, කැමැත්ත හා උනන්දුව කැපී පෙනීමයි. ගේය පද රචකයකු, සාහිත්‍යකරුවකු හා පුවත් පත් කලාවේදියකු සේ බොහෝ දුරක් යාමේ හැකියාවක් ඔහු සතුව පවතින බව පැවසූ අවස්ථා බොහෝය.

අවසන අහම්බයක්ම සිදුවිය. නික්ම ගිය ජැක්සන් පිළිබඳ තම තමන්ගේ මතක ගබඩා සතු පොත් පත් අවුස්සන කලාකරුවනට හා කලාවේ මිතුරනට සිදුවන්නේ මෙය අහම්බයක් සේම පරයා යා නොහැකි තත්ත්වයක් බව වටහා ගැනීමයි. එසේම ජැක්සන් විශද කළ ප්‍රතිභාව කිසිදා මිය නොයන බව සහතික කර ගැනීමයි.

 

 

[email protected]

 

සේයාරූ - තිලක් පෙරේරා