වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
අපට අහිමි වූ මගේ අඹ යහළුවා

මේ ලියන මොහොත වන විට ඔබ බොහෝ දුරට ගිහින් කියල මම දන්නවා. ඒත් ඒ දුරස්වීමට පුළුවන් ද අපි අතර තිබුණු ළබැඳි බැඳීම් වලට සමුදෙන්න. අපි අතර ගොඩ නැගුණේ ඉතිහාසගත කතාවක්. ඒකේ වග විස්තර හරියටම දන්නේ අපි දෙන්නා විතරයි. ඒ සියල්ල අතීතෙටම එකතු කරන් උඹ හුඟාක් දුර ගිහින්.
අපි ආවේ බොහොම දුෂ්කර ගමනක්. අපිට කවුරුත් මේ දේවල් බන්දේසියක තියල පිරිනැමුවේ නෑ. කලා ලෝකෙට එන්න අපට එදා , අද වගේ සුපර් ස්ටාර් වැඩසටහන් තිබුණෙ නෑ. ඒ නිසා අපි මේ ගමන ආවේ මල් අතුළ මාවත් වලින් නොවෙයි. අපි දෙන්නම පහළ මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන්, මගේ මව්පියන් රජයේ සේවකයන්. ජැක්සන්, ඔබේ පියාත් රජයේ සේවකයෙක්. මව ගෘහණියක්. මේ මධ්‍යම පාන්තික ජීවිතය ඇතුළෙ රළු පරළු මාවත්වල ගැටෙමින් අපි ආපු මේ ගමන ගැන උඹ කොච්චර ආඩම්බර වුණා ද? මතකද දවසක් මට මෙහෙම කිව්වා.
“මචං, අපේ පොත්ත හයියයි. අපි මේ කාපු කට්ට නිසා තමයි එච්චර පොත්ත හයිය වුණේ. කොච්චර ගැහුවත් රිදෙන්නෙ නෑ. එඬරු දඬු වලින් ගැහුවත් රිදෙන්නෙ නෑ.”
ඒක ලස්සන උදාහරණයක් ජැක්සන්. අපි දෙන්නම පොත්ත හයිය වෙන්න මහා දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කර ගත්තා. අපි බොහොම අසීරුවෙන් දුෂ්කරතා මධ්‍යයේ තනි ගමනක් ආවා. අපි දෙන්නම එකම ගමේ ප්‍රදේශ දෙකක. වර්තමානයේ වගේ අපිට කලාවට එන්න සුපර් ස්ටාර් දොරටු තිබුණෙ නෑ. අමාරුවෙන් හදාගත්ත ගමන ඇතුළෙ රූපවාහිනිය වගේ මාධ්‍යයක දොරටු අපිට විවර වෙනකොට, අපිට දැනුණෙ අපි ස්වර්ගෙට ගියා වගේ. එහෙම මහා විශාල, දුෂ්කර ගමනක් ආපු අපට, සමහර ළපටි කැකුළු මල් පළතුරු වලින් කතා කළාම වේදනාවක් දැනෙනවා. හිතට හරි අමාරුයි. අපිට තියෙන්නේ ඉතිහාසය හාර අවුස්සන, ඉතිහාසය සමඟ ගනුදෙනු කරන ගමනක්. ඒ ගනුදෙනුවේ තවත් එක් අවස්ථාවක් තමයි දැන් මම කරන්න යන්නේ.
ජැක්සන්, මගේ ගමත් රාගම, ඔබේ ගමත් රාගම, ඒක නිසාම මං හිතන්නේ අපි දෙන්නට කතා කරන්න ගොඩාක් දේවල් තියනවා. දැන් ඉතින් එහෙම මට කතා කරන්න කෙනෙක් නෑ. ඔබත් එක්ක නොවෙයි මට කතා කරන්න වෙන්නේ. සමස්ත සමාජයක් එක්ක. ඔබ හුඟාක් දුර ගියත් මේ අතීතය ගැන මම ඔබට ඇහෙන්න කතා කරන්න ඕන.
මට මතක විදිහට ඒ 70 දශකයේ මධ්‍යම කාර්තුව. සමස්තයක් විදියට ඒ යුගය සමාජීය වශයෙන් කිසියම් පරිවර්තනයකට භාජනය වූ කාලයක්. සමාජ, ආර්ථික දේශපාලනික වශයෙන් වෙනස් වූ යුගයක් 1977 කියන්නේ. සමාජය මේ විදියට වෙනස්වන කාලයක අපි දෙන්න කලාව තෝර ගන්නවා.
මම ඉගෙන ගත්තේ කඳාන ද මැසනද් විද්‍යාලයේ. ඒ කාලයේම ඔබ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අපි දෙන්නා උදේට ඉස්කෝලෙ යන්න ඉන්නේ වේදිකා දෙකක. ඔබ හිටියේ තුන්වෙනි වේදිකාවේ. මම හිිටියේ හතරවෙනි වේදිකාවේ. මේ වේදිකා දෙක කවදාහරි දවසක එකක් වෙයි කියලා අපි දෙන්නම හිතුවේ නෑ. ඒත් ඒක බොහොම ආදරණීය විදියට එහෙම වුණා. ජැක්සන් ඔබ, ගලහිටියාව, මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත නිසා ඔබ වටා ගැහැනු ළමයි රාශියක් හිටියා. මම පිරිමි විද්‍යාලයක ඉගෙන ගත් නිසා ගැහැනු තියා පිරිමියෙක්වත් මා වටා හිටියේ නෑ. මම හතරවෙනි වේදිකාවේ හිිටියෙ තට්ට තනියම. ඔහොම ඉන්න අතරතුර තමයි මම තුන්වෙනි වේදිකාවේ ඔබ ඇතුළු පිරිස දෙස බලා සිටින්න වුණේ.
‘එතකොට ඔබ කියනවා ‘අන්න අරූ අපි දිහා බලා ඉන්නවා කියලා. ඒ නිසාම එතන හිටපු කාන්තා පාර්ශ්වය මට ‘මුවා’ කියල නමකුත් දැම්මා. සාමාන්‍යයෙන් මුවාත් බෙල්ල උස්සලානේ වට පිට බලන්නේ.’
කොහොම හරි මේ ‘මුවා’ට ජැක්සන් නැමැති ඔබ මුණ ගැහෙන්නේ හරි අහම්බයකින්. එතකොට අපි දෙන්නම උසස් පෙළ කරලා ඔහේ ඇවිදින කාලේ. 1978 දි විතර මට මතකයි අපිට නාට්‍ය උත්සවයකට ආරාධනා ලැබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික් කෙටි නාට්‍ය උළෙලට. මේක සංවිධානය කරන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධ වූ ආයතනක්. මේ නාට්‍ය තරගයට අපේ මල්ලි හැදුවා ‘දේශ සීමා’ කියලා නාටකයක්. එකේ මම රඟපෑවා. ජැක්සන්ලත් කෙටි නාට්‍යයක් හැදුවා මට මතකයි. ඒකේ නම ‘ලෝ දිය’ ජැක්සන් පොඩි වී කුඹුරෙනුත්, මම රම්පිටියෙනුත් මේ නාට්‍ය දෙක අරගෙන අපි තරගෙට ගියා. නාට්‍ය උත්සවය තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. අපේ නාට්‍ය කණ්ඩායම් දෙකට ශාලාව දෙපැත්තේ ඩ්‍රෙසින් රූම් දෙකක් තිබුණා. එකක අපි හිටියා. අනෙකේ ඔබලා හිටියා. නමුත් ඉතින් කතා, සිනා නෑ. ඉස්කෝලෙ යන කාලේ ‘මුවා’ කිව්ව තරහත් තිබුණා. අපි ඉදිරිපත් කරන දේශ සීමා නාට්‍යයේ වෘකයන් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ මුහුණ පාට කරන්න වේශ නිරූපණ ශිල්පියෙක් ඕන. එදා වාසනාවට ද අවාසනාවට ද දන්නේ නෑ අපිට මේක් අප් ආටිස්ට් කෙනෙක් හිිටියෙ නෑ. ඒ වගේම තමයි ඔබ ඇතුළු කණ්ඩායමට බෙරයක් තිබුණෙ නෑ. අපට බෙරයක් තිබුණා. මේක් අප් ආටිස්ට් කෙනෙක් හිටියෙ නෑ. ඔබලාට මේක් අප් ආටිස්ටි කෙනෙක් හිටියට බෙරයක් තිබුණෙ නෑ. ඉතින් පැරැණි භාණ්ඩ හුවමාරු ක්‍රමය පදනම් කරගෙන අපි දෙගොල්ල මේ දෙක හුවමාරු කරගත්තා. මතක ඇති.
ඒ අතීතය කොයි තරම් සුන්දරද, ජැක්සන්, ඔබ එහා කාමරයේ සිට මහ හයියෙන් ‘ඕගොල්ලන්ගේ බෙරේ අපට දෙන්න පුළුවන් ද? යැයි ඇසුව හැටි, අපි මෙහෙන්, ඕගොල්ලන්ගේ මේක් අප් ආටිස්ට් අපට දෙන්න පුළුවන් ද? යැයි ඇසුව හැටි තාමත් එදා වගේම මතකයි. අන්තිමේ අපි දෙගොල්ල භාණ්ඩ හුවමාරු කරගත්තා. මේක් අප් ආටිස්ට් වුණේ ඔබමයි. මම එදා තමයි දැනගත්තේ ඔබ ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව.
තරගය පැවැත්වුණා. ඔබලා පළමුවැනියා වුණා. අපි දෙවැනියා වුණා. හොඳම නළුවා ඔබ වුණා. මම හොඳම සහාය නළුවා වුණා. සම්මාන ටික අපි දෙගොල්ල අතර බෙදිලා ගියා. ජයග්‍රාහකයන්ට මුදලින් රුපියල් 750ක් ද කොහෙද ලැබුණා. අපි හොඳ මිත්‍රයෝ වුණා. අපි දෙගොල්ලම ගම්පහ දුම්රිය ස්ථානයට ඇවිත් සුන්දර සන්ධ්‍යා භාගයක් ගත කර එකම කෝච්චියේ නැග විත් වෙන් වී ගියා. එය වෙන්වීමක් වුවද බැඳීමක් බවට පත් වුණා. මේක තමයි අපි දෙන්නාගේ ඉතිහාස කතාවේ ආරම්භය. එදා ඇරැඹුණ ඒ මිත්‍රත්වයේ සම්බන්ධය ඊයේ පාන්දර 3.30 වනතුරුම තිබුණා. ඊයේ පාන්දර 3.45 විතර තමයි ඔබ අප සියල්ල හැර ගියා කියන ඒ අවාසනාවන්ත පණිවිඩය මට ලැබෙන්නේ.
ඔබත් සමඟ බැඳුණු මගේ අතීත ජිවිතය චිත්‍රපටයක් වගේම මගේ හිත තුළ මැවෙන්න ගත්තා. ඔබ මගේ ගමේ මිත්‍රයා. ඔබ මට කීවේ ‘අඹ යාළුවා’ කියලා. තවත් වරෙක ‘මගේ අහිංසක මිත්‍රයා’ කියලත් හැඳින්වුවා. අපි දෙන්නා ටෙලිවිෂන් එකට ආවෙත් එකට. ඒ මම සූරසේන වන විට ඔබ ‘විජේපාල’ වෙලා. අපි වේදිකාවේ කොච්චර දේවල් කළාද? ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සරස්වතී’, අත්’ නාට්‍යවල අපි එකට රඟපෑවා. ඊට පස්සේ ‘ඔත්තුකාරයා’ නාට්‍යයේ රඟපෑවා. අපි දෙන්නම අන්තිමට එකට රඟපෑවේ මහාචර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහසමයම’ නාට්‍යයේ. ඒක මහා දැවැන්ත වැඩක්. මම ගෝඨයිම්බර වෙනකොට ඔබ ‘මහසෝනා’ වෙනවා. මේ වගේ බොහෝ දේවල් අපි කළා. ඔබට දැවැන්ත පරිචයක් තිබුණා. නළුවෙක් විදියට ඔබ 16 වතාවක් හොඳම නළුවා සම්මානය දිනාගත්තා. ඒ වගේම හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්වෙනවා. හොඳම රචකයා බවට පත්වෙනවා. හොඳම නිවේදකයා බවට පත්වෙනවා. හොඳම ගීත රචකයා බවට පත්වෙනවා. හොඳම දේශ ගවේෂකයා බවට පත්වෙනවා. එක් කෙනෙකුට ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් ඔබ තුළ තිබුණා. ඇත්තටම ඔබ විශ්වය විසින් අපට දුන්න දායාදයක්. ඒ දායාදයෙන් අපි ප්‍රයෝජන ගත්තද? කියන ප්‍රශ්නාර්ථයත් අපි ගාව තිබෙනවා.
විශ්වය මේ විස්මය ජනක ඔබ අපට දෙනවා. අපි ඔබව නැතිභංගස්ථාන කරලා, විනාශ කළා ද කියල කනගාටුවකුත් අපිට තිබෙනවා. ඒ කෙසේ වෙතත්. ඔබගෙන් හිස් වූ අඩුපාඩුව කාටවත් පුරවන්න හැකිවෙයි කියල නම් අපි විශ්වාස කරන්නේ නෑ. ඔබ දුර්ලභ මිනිසෙක්. ඔබ වැනි කෙනෙක් නැවත බිහිවන්නේ නෑ.
අපි දෙන්නම රඟපාන්නේ ලංකාවේ බිහිවුණ තුන්වැනි ටෙලි නාට්‍යයේ. ඒ ‘පළිඟුමැණිකේ’ හි සූරසේනගේ චරිතය මුලින් රඟපාන්න යෝජනා වී ඇත්තේ ඔබට. එහි පිටපත සෝමවීර සේනානායන්ගේ. ඔහු ඒ පිටපත මුලින් දෙන්නේ ලූෂන් බුලත්සිංහලයන්ට. ඔහුගේ නළු නිළි තෝරා ගැනීමේදී ‘සූරසේන’ වුණේ ඔබ. මම හිතන්නේ පළිඟුමැණිකේ වුණේ අනුලා බුලත්සිංහල. නමුත් ඔහුට හදිසියේම ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියට යෑමට සිදු වූ නිසා ඉන්පසු මේ පිටපත ගෙනත් දෙන්නේ ධම්ම ජාගොඩයන්ට. ඔහු තමයි එවකට ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා වෙන්නේ. පිටපත බලා ඔබට අඬ ගැසූ ධම්ම ජාගොඩ කියා තිබෙන්නේ සූරසේන ගේ චරිතයට ලූෂන් ඔබ යෝජනා කළාට ඔබව මට මේකේ පෙන්නේ නෑ කියලයි. ‘අයිසේ අර ‘පරාස්ස’ එකේ ඉන්න යකාව, අර කළු. කෙට්ටු, රැවුල වවපු කොල්ලා අන්න ඌව පොඩ්ඩක් හොයා ගන්න විදියක් නැද්දැයි’ ඔහු විමසුවා. ඔබ වහා පිළිතුරු දුන්නේ ඒ මගේ යාළුවා, මම අඬගහගෙන එන්නම්’ කියාලයි. ඔබ එවැනි ත්‍යාගශිලි මිනිසෙක්. මට අදටත් මතකයි ඔබ මාව සොයාගෙන ගෙදර ආපු හැටි. ඕව කෙරෙන වැඩ නෙවෙයි කියල මම පස්ස ගහත්දි’ මාව බලෙන්ම එතනට අරගෙන ගියේ ඔබ. මේ නාට්‍යය ඉවර වන තුරුම අපි දෙන්නා හිටියේ එකම කාමරේ. අපි කතා කරපු බහුතරයක් දේ නාට්‍ය ලොවට අදාළ දේවල්. ගොසිප් අපි ළඟ තිබුණෙ නෑ. අපි ධම්ම ජාගොඩගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි වෙනම දිශානතිවලට ගමන් කළා. මම වෙනත් ගමනක් ගියා. ඔබත් වෙනත් ගමනක් ගියා. සමහර අවස්ථාවල අපි දෙන්නා එකට වැඩ කළා. ඔබ සිනමාවට ගියා. විශේෂ රංගවේදියෙක් වුණා. මම ටෙලිවිෂන් එකේ විශේෂ රංගවේදියෙක් වුණා. ඔබ වරක් මට කියනවා ‘තමුසේ ටෙලි නාට්‍යවල ගාමිණී ෆොන්සේකා. මම සිනමාවේ ගාමිණී ෆොන්සේකා කියලා. බලන්න අපි ආපු ගමන නේද? කියලා.
ඇත්තටම ඔබට හොඳ ජීවන විවරණයක් තිබුණ යහපත්, ගුණවත් මනුස්සයෙක්. ඔබ කලාවට අප්‍රමාණ සේවයක් කළා වගේම හොඳ කලාකරුවෙක්, නාට්‍ය ශිල්පියෙක් වුණා වගේම හොඳ තාත්තා කෙනෙක් වුණා. දරුවෝ තුන්දෙනාට ඔබ ආදරණීය පියෙක් වුණා.
මගේ විශ්වාසයේ හැටියට ඔබ අප වෙනුවෙන් කරපු සේවය ඊළඟ පරම්පරාවට යන්න ඕන. ඔබගේ බුද්ධිය අපට බෙදාගන්නට තිබුණා. නමුත් අපි ඒවා කරගත්තේ නෑ. ඔබව තළා පෙළා දමන වෙලාවේ තළා පෙළන්න උත්සාහ කළා මිසක්. ඔබගේ ශක්ති ප්‍රභවයන් අපි හඳුනා ගත්තේ නෑ. හඳුනා ගන්නට උත්සාහ කළේ ද නෑ. ඔබ ඇවිදින පුස්තකාලයක්, සමහර වෙලාවට ඉතිහාසයේ අපි හිරවෙච්ච තැන්වල සමාජීය වශයෙන් හිරවුණ තැන්වල, ආර්ථික, දේශපාලන වශයෙන් හිරවුණ තැන්වල ඔබගෙන් ප්‍රශ්න කරන විට ඔබට ඒ හැම ප්‍රශ්නයකටම නිවැරැදි පිළිතුරු තිබුණා. ඉතින් ඔබගෙන් අපි ඒ ප්‍රයෝජනය ගත්තේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.
ඔබගේ දේශ ගවේෂණ ක්‍රියාවලිය පරිස්සමින් වභ්‍යච්ඡේදනය කරල බැලුවොත්, සලං හන්තේ , ගඟ දිගේ කළු ගඟ දිගේ, මහා සිංහල වංශ කතාව වැනි හැමදේටම ඔබට හොඳ සූදානමක් තිබුණා. එහෙම පෙර සුදානමකින් වැඩ කරත්දි කවදාවත් ෆේල් වෙන්නේ නෑ කියන එක ඔබ ඔප්පු කර පෙන්නුවා. ඒ නිසා ඊළඟ පරම්පරාවට මම කියන්නේ හෙට ඉඳලා ඔබව අධ්‍යයනය කරන්න කියලා. ඔබගේ ඥානය විශ්ලේෂණය කරන්න කියලා. මේ ඇතුළෙන් අපිට ගන්න පුළුවන් ටික ගන්න කියලා.
ඔබ කලා ලෝකයේ මොන තරම් අස්වනු නෙළුවත්. ඔබගේ ප්‍රථම ප්‍රේමය වේදිකාව කියලයි මට හිතෙන්නේ. අපි වේදිකාවේ නොගිය තැනක් නෑ. මට මතකයි ඔබ විවාහවෙලා හනිමුන් යන්නේ නැතුවත් නාට්‍යයක රඟපාන්න ආවා.
ඔබ අපේ කලා පරම්පාරාවේ නඩේ ගුරා. ඔබ සමඟ තමයි අපි බොහෝ දේ සාකච්ඡා කළේ. මම , කමල්, ජයන්ත, මහේන්ද්‍ර අපි ඔක්කොම එකම කලා පරම්පරාවේ උදවිය. අපේ පරම්පරාවෙන් දැන් එකෙක් නැතිවෙලා ගිහින්. ගෙවුණ කාලය තුළ ඔබ කළ කී දෑ බොහෝයි. ඒ සියල්ල සදාකල් මේ රටේ කලා ලෝකය තුළ නොමියෙමින් දිදුලාවි.
නොගොස් එන්නට බැරිය
නෑවිදින් යන්නට බැරිය
ලොව ඇත්තේ යෑම් සහ ඒම් පමණක්ය.
ජැක්සන්, මා ආදරණීය මිතුර,
ඔබට නිවන් සුව අත්වේවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න