වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
චරිතාංග රූපණයේ සහජ වෙසරද ඥානය

එදා මෙදා ලාංකේය සිනමාවේ මහා රූපණවේදියෝ දෙදෙනෙක් සිටියහ. ගාමිණි ෆොන්සේකා සූරීන් එක් අයෙකි. එතුමෝ 2004 සැප්තැම්බර් 30 වැනිදා කයෙන් අප හැර ගියහ. අනෙක් රූපණවේදියා ජෝ අබේවික්‍රමයන්ය. 2011 සැප්තැම්බර් 21 වැනිදා එතුමෝ නාමශේෂභාවෝපගත වූහ. මේ දෙදෙනාම කයෙන් මරණයට පත් වී අමරණීය වූයේ සාහිත්‍ය කලාවටමැ වෙන් කෙරුණු සැප්තැම්බර් මාසයේදීය. කිසියම් කලා ක්ෂේත්‍රයක් උඩු යටිකුරු කරමින් එහි විෂය පථය පෘථුල කරන්නා වූ මහා කලාකරුවන් නිශ්චිත යුගයකට පහළ වන්නේ එක් අයෙකි. එහෙත්, මෙරට රූපණ කලාව අග්‍රගණ්‍යත්වයට ඔසවා තැබූ ගාමිණි - ජෝ යුගල එකිනෙකාට සමාන්තරව තම උත්කෘෂ්ට මෙහෙවර ඉටු කිරීම ද අපගේ අවධානයට යොමු විය යුත්තකි.
ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 වැනි බදාදා පෙරවරු 3.55ට රත්නපුර ලෙල්ලෝපිටිය ග්‍රාමයේදී උපන්නේය. ජෝ තමන් උපත ලද වර්ෂය සඟවා තැබූ කලාකරුවෙකි. ඇතැම් පුවත්පත් ලිපිවල ඔහු උපන් වර්ෂය ලෙස සඳහන් වනුයේ 1929 හා 1933 ය. බොහෝ දෙනෙකු නොදැන සිටි ජෝ මහත්තයාගේ මේ සිරිත මම කලකට ඉහත පටන් දැන සිටියෙමි. ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ (2005) ග්‍රන්ථය රචනා කරද්දී එතුමාගේ සැබෑ උපන් වර්ෂය 1927 බව මා සොයා ගත්තේ ඔහුගේ වේලාපත්කඩය නිතර බැලූ ජනපි‍්‍රය නිළියක වූ නැසී ගිය එඩ්නා සුගතපාලයන්ගේ පිහිට පැතීමෙනි.
දිප්පිටිගල මිශ්‍ර පාසල, රත්නපුරේ සීවලී විද්‍යාලය ජෝ අකුරු කළ විදුහල් වේ. තම පියා ‘ජෝන්’ යන නාමය ඔහුට තබන ලද්දේ ජෝන් ඩොයිලි සිහිවීම පිණිසය. ‘ජෝන්’ යන නමට ජෝ පි‍්‍රය නොකළේය. මේ නම වෙනස් කරන ලෙස ඔහු ඉල්ලා සිටි කල්හි පියා කී වදන මියයන තුරුම ජෝගේ සවනත රැව් දුන්නේය.
‘යකෝ, ගොනෝ, මං තොට දාලා තියෙන්නේ මට ඕනෑ නම, ගොනෝ, ඉස්සරවෙලා ඉගෙන ගනින්. මනුස්සයෙක් වෙයන්. ඊට පස්සේ නම පස්සෙන් එයි. තොට සර් ඩී.බී. ජයතිලක කියල දැම්මත් වැඩක් නෑ තෝ ගොනෙක් නම්.’
ජෝ නමැති මහා රූපණ අත්පොත ගොඩනැඟුණේ සහජ ප්‍රතිභාවත් අව්‍යාජ ගැමිකමෙන් ලත් ජිවිත උගැන්මත්, පරිචයත් හේතුකොටගෙනය. පුරෝගාමී ලාංකේය සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන්ගේ ‘නවජීවන’ (කිරිබත්ගොඩ) චිත්‍රාගාරයේ ලිපිකරුවකු ලෙස 1949 ජෝ සේවයට බැඳුණත් නළුවකු වීමේ සිහිනයෙන් ඔහු නිබඳව පෙළිණ. එහෙත්, විමලවීරයන්ගෙන් ඊට අනුබලයක් නොලැබිණ. සිනමාවට නුසුදුසු යැයි කියා විමලවීර මාස්ටර් සිතූ තරුණයන් තිදෙනෙක් පසුකලෙක සිනමාවේ මහා කලාකරුවෝ බවට පත්වූහ. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා එච්.ආර්. ජෝතිපාල ඒ තිදෙනාය. කලාවේ එවක ස්ථාපිත ප්‍රවණතා උඩු යටිකුරු කළ මේ තිදෙනා වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ‘නූතනවාදී’ කලාකරුවෝය. ගමේ සිටි ගැමි කලාකරුවන්ගෙන්, සාමාන්‍ය මිනිසුන්ගෙන් රූපණ කලාව අවශෝෂණය කොට ගත් ජෝගේ චිත්තාභ්‍යන්තරයෙහි නළුවකු විමේ බීජය රෝපණය වූයේ එවක සිටි ශ්‍රේෂ්ඨ රූපණවේදී ලැඩී රණසිංහයන් රඟපානු දැකීමෙනි. ගාමිණි - ජෝ දෙපළම රංගනයේ තම මුල් ගුරුතුමන් ලෙස හැඳින්වුයේ ලැඩී රණසිංහයන්ය. 1955 වසරේ ජෝගේ සිහිනය සැබෑ විය.
එම්.එච්.එම්. මුනාස්ගේ ‘දේව සුන්දරී’ චිත්‍රපටයේ චරිතයක් රඟපෑමේ අවස්ථාව ඔහුට ලැබිණ. මුලින් සෙන්පතියකුගේ චරිතයකටත් පසුව මහලු රජකුගේ චරිතයකටත් ජෝ තෝරාගනු ලැබීය. නළු නිළි පරීක්ෂණයට ජෝ කැඳවාගෙන ගියේ ප්‍රකට නළු එඩී ජූනියර්ය.
එවක 28 හැවිරිදි ජෝ වයස 70ක මහලු චරිතය රඟපෑමට කැමැති නොවීය. ආරියදාස පීරිස් (ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී) මෙහිම විකට චරිතයකට තෝ්රාගෙන තිබුණු අතර, ඔහු එම චරිතය ජෝට ලබාදෙමින් වෙනත් චරිතයක් රඟපෑමට කැමැති වුයේය. ජෝ සිනමා කැමරාවක් ඉදිරිපිට මුල්වරට විකටයා වුයේ එලෙසිනි. එහෙත්, පළමු වරට ජෝ රඟපෑ චිත්‍රපට අතරින් තිරගත වුයේ ‘සරදම්’ (1957) ය. කුඹි එකතු කරන පොලිස් සාජන්ට්වරයාගේ විකට චරිතය මෙහි ඔහු රඟපෑවේය. ‘ජෝන්’ වෙනුවට ‘ජෝ’ ලෙස ඔහුගේ නම වෙනස් වුයේ මෙතැනදීය. මෙහි නාමාවලිය යොදන අවස්ථාවේ අධ්‍යක්ෂ ටී. සෝමසේකරන් ඔහුගෙන් මෙසේ ඇසුවේය.
“මොකක්ද නම?”
“ඩී.ජේ. අබේවික්‍රම.”
“ච්.බ්. ඒඡඥරඹඪජඬපචථච ඪඵ දධබ ච ජචබජඩර දචථඥ” යැයි කී සෝමසේකරන්ට ජෝ වෝල්කට්, ජෝ ප්රෙෂර්, ජෝ ලුවි යන ලෝ ප්‍රකට පුද්ගල නාම සිහි විය. “අපි ජෝ අබේවික්‍රම කියල දාමු.” ජෝන් යන නමට’ කවදත් පි‍්‍රය නොකළ ජෝ ඊට එක පයින් කැමැති විය. ‘ශ්‍රී 296’ (1959) ඔහුගේ රංගන දිවියේ ආරම්භක සන්ධිස්ථානයකි. එහි ජෝ රඟපෑ රහස් පරීක්ෂක විකටයා ප්‍රමුඛ ලෙස කැපී පෙනිණ. මෙහි අධ්‍යක්ෂ පේ‍්‍රම්නාත් මොරායස් ගාමිණිට හා ජෝට රංගන ජිවිතයේ මුල් යුගයේදී බෙහෙවින් උපකාර කළේය. සුප්‍රකට නිළි ෆ්ලොරිඩා ජයලත්ද මුල් යුගයේදී ඔහුට බොහෝ අවස්ථා චිත්‍රපටවල ලබාදෙමින් දැක් වූ සහාය ගැන ජෝ මහතා මට කියා ඇත.
1960 වන විට ගාමිණි ෆොන්සේකා සූරීන් මෙරටට මතු නොව ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණවේදය හඳුන්වා දී තිබුණි. එයින් පසු මේ රූපණවේදයට දේශීය ගැමි සුවඳ එක් කරමින් ඊට වෙනස් මානයක් එක් කළේ ජෝය. එවකට විකට චරිත රඟපෑ එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, එඩී යාපා, රිචඩ් ඇල්බට්, ඇන්තනී සී පෙරේරා, එල්.එම්. පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්,බී.එස්. පෙරේරා, දොන් සිරිසේන ආදී කුසලතා සපිරි නළුවන්ට වෙනස් වූ විකට නළු ප්‍රතිරූපයක් (උදා - රන්මුතු දුව, ගැටවරයෝ, අල්ලපු ගෙදර) ජෝ ස්ථාපිත කළේ අපරදිග ඇරිස්ටොල්, ස්ටැනිස්ලව්ස්කි හරහා පැමිණි අපරදිග රූපණ සිද්ධාන්ත සමඟ පෙරදිග භරතමුනි, ශංකරාචාර්ය, ශ්‍රී ශංකුක හරහා පැමිණි පෙරදිග රූපණ සිද්ධාන්තද එකිනෙකට මුසු කරමිනි. පුදුමයට කරුණ නම් මේ කිසිදු පෙරඅපර දෙදිග රූපණ සිද්ධාන්තයක් ජෝ හදාරා නොතිබීමය. ඔහු මේ සියලු රංග න්‍යායන් වටහා ගත්තේ සහජයෙන්, සොබා දහමෙන්, ජිවිත උගැන්මෙන් හා සාමාන්‍ය ජනතාවගේ චර්යාවන් නිරීක්ෂණයෙනි. මේ මහා නළුවාගේ සංජානනය, අන්තර් ඥාානය, පරිකල්පනය හා හැඟීම් ඉන් ක්‍රමිකව වැඩිණ. සතතාභ්‍යාසය ද ඊට නොඅඩුව ලැබිණ. ස්ටැනිස්ලව්ස්කි නොකියවූ ඔහුට එහි ඇතැම් ඌනතා ද සහජයෙන් ග්‍රහණය විය. ජෝගේ හාස්‍යෝත්පාදක චරිත නිරූපණයේ අග්‍රඵලය වුයේ ‘සාරවිට (1965) හී සාරයියාය. බටහිර චාලි චැප්ලින්, ඉන්දියාවේ රාජ් කපූර් සේම ලංකාවේ ජෝ හාස්‍ය රූපණයට ගැඹුරු මානව දයාවක් එක් කළේය. ඇතැම් විකට නළුවෝ අප හිනස්සති. සමහරක් රඟනු දකින විට අප සිනාසෙන්නේ ඔවුන් ඒ සඳහා ගන්නා අසරණ ආයාසය දකින කල්හිය. මේ අතර ජෝ එකවර අප හාස්‍යයේ ගැඹුරට රැගෙන ගොස් පළමුව අපට සිනාසීමටත් ඉක්බිතිව ජීවිතය ගැන දුක සිතී ඇඬීමටත් සලස්වයි.’සාරවිට’, දෑස නිසා,’නිළියකට පෙම් කළෙමි’ වැනි චිත්‍රපට මීට දෘෂ්ටාන්ත නොවේද? මා වැඩියෙන් හැඬ වූ ලාංකික විකට නළුවා ඔහුය.
ඔහුගේ සිනමා ජීවිතයේ කිසියම් චරිතයක් ඉල්ලාගෙන ගොස් රඟපෑවේ එක්වරක් පමණි. ඒ නිහාල්සිංහයන්ගේ ‘වැලිකතර’ චිත්‍රපටයේ ගෝරිං මුදලාලිට ආසක්ත වීමෙනි. එතෙක් ජෝ ගොඩනැඟු නළු ප්‍රතිරූපය මෙහිදීි ඔහු විසින්ම බිඳ දමනු ලබා චරිතාංග රූපණයේ අභිනව මාවතක් ඉන් විවර කළේය. ප්‍රතිවීර චරිත (Anti Hero) පිළිබඳ පශ්චාත් නුතනවාදීන් යුරෝපයේ සංවාදයක් මතු කළේ මෑත භාගයේදීය. ඒවාට අවිචාරයෙන් වහල් වූ මෙරට ව්‍යාජ පශ්චාත් නූතනවාදීන් වටහාගත යුත්තක් නම් ගාමිණී ‘පරසතු මල්’ (1966)හීත්, ජෝ ‘වැලිකතර’ (1971) හීත් ප්‍රතිවීර චරිත රඟන විට ඉන්දියානු සිනමාවේ පවා මේ සංකල්පය අවධානයට පාත්‍ර වී නොතිබුණු බවය. එය ඉන්දියාවට සංක්‍රමණය වුයේ 90 දශකයේදීය. එකිනෙක පරයා ඉස්මතු වන මහා නළුවන් දෙපළගේ රූපණ කෞශල්‍යය එකිනෙකට ගැටෙන අයුරු (Confrontation) හදාරනු කැමැත්තාට තවමත් මෙරට නැරඹීමට තිබෙන්නේ ‘වැලිකතර’ පමණි. ස්වකීය කෘතහස්ත රංග ප්‍රතිභාව පෙන්වීමට ජෝ හට මුල් අවස්ථා ලබාදුන් සිනමාකරුවන් දෙදෙනා ලෙස මා නම් කරනුයේ තිස්ස ලියනසුරිය (සාරවිට) හා ඩි.බී. නිහාල්සිංහ (වැලිකතර) ය. මේ චරිත රූපණයේදී ජෝ බටහිර ශ්‍රේෂ්ඨ නළුවන්ගේ ආභාසය හඹා නොගියේය.
ගමේ හඳුනාගෙන සිටි ගුණහාමි (සාරයියා) හා නගරයේදී හමුවූ ඉමිතායාස් අයියා (ගෝරිං) ඔහුට මඟපෙන්විය. සාරයියාගේ චරිත ධාරාවේ විකාශනය ‘සැඩොල් කඳුළු’ (ගොළු චරිතය)’පුංචි බබා’ (සේන), ‘තුංමං හන්දිය’ (අබිලිං), ‘දෑස නිසා’ (නිරුදක), ‘සිරිබෝ අයියා’ (සිරිබෝහාමි),’ ‘දඬුමොනර’ (ජිනපාල), ‘බැද්දෙගම් (සිළිඳු), ‘පුරහඳ කළුවර’ (වන්නිහාමි) ඈ චිත්‍රපටවලින් හඳුනාගත හැකිය. ‘බඹරු ඇවිත්’ (ඇන්ටනී මුදලාලි), ‘මල්දෙණියේ සිමියොන්’ (සිමියොන්) වැනි චිත්‍රපටවලින් ගෝරිංගේ චරිත ධාරාවේ විකාශනය සනිටුහන් වේ. ‘අල්ලපු ගෙදර’ හි කපිල මල්කිරණගේ චරිතයෙන් ඇරැඹී ‘රස රහසක්’ හි හිට්ලර් අබේනායකගෙන් අවසන් වන ජනපි‍්‍රය සිනමාවේ හාස්‍යෝත්පාදක චරිත ධාරාව ද මෙහිදි අමතක කළ නොහැකිය. ජෝ පෙම්වතා වූ අවස්ථා ද (උදා- ස්විප් ටිකට්) හිඟ නැත. ‘සොල්දාදු උන්නැහේ’ (සොල්දාදුවා), ‘මලට නොඑන බඹරු’ (සනී හාමු), ‘පූජා’ (ජේම්ිස්), ‘ගොළු මුහුදේ කුණාටුව‘ ආදියෙන් මනෝමූලවාදී චරිත නිරූපණයෙහි ලා ජෝගේ කෘතහස්ත දායකත්වය හෙළි වේ.
බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘මල් යහනාව‘ (1959) වේිදිකා නාටකයේත්, ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘බැරි සිල්’ (1960), ‘කැලෑ මල්’ (1962) ගීත නාටකවලත් හේ රංගනයෙන් දායක වූයේය. අඳුකොළ, ගම්පෙරළිය, තුන්බිය, වනස්පති, ඉමදියමංකඩ, සුසැට මායම්, ඇසළ කළුවර, සකිසඳ එලියස්, රන්සිරිගේ සංග්‍රාමය, සන්නාලියනේ, විෂම භාග ඔහුගේ ටෙලි නළු රංග ප්‍රතිභාවට දෙස් දේ, තහංචි, ඉමදියමංකඩ, සකිසඳ එලියස්, විසාලා මහනුවර, ඇසළ කළුවර ඔස්සේ ජෝ ටෙලි නළු අර්ථපතියකු බවට පත්විය. තහංචි ටෙලි නාට්‍යයේ ‘වෙල් එළියට’ගීතය ගැයූ ඔහු ‘සකිසඳ එලියස්’ ටෙලි නාට්‍යයේ ඇන්ටන් ජූඩ් ගැයු ‘උණ පුරුකේ බලු වලිගේ’ ගීතයේ ගේය පද රචකයා වේ. ‘මහ බඹාට මුහුණ දෙකයි’ (1999) ජෝ ලියා පළ කළ එකම නවකතාව විය. අග්‍රගණ්‍ය නිළි මාලිනී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීමට පුරෝගාමී වූ දෙදෙනාගෙන් ඔහු එක් අයෙකි. ‘සරදම්’ (1957) චිත්‍රපටයේ සිට ‘ටිකිරි සුවඳ’ (2010) දක්වා ජෝ චිත්‍රපට 171ක රංගනයෙන් දායක වෙමින් සම්මාන 40කින් පිදුම් ලැබුවේය. අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ (සිංගප්පුරු සිනමා උලෙළේ සිල්වර් ස්ක්‍රීන් හොඳම නළුවා - පුරහඳ කළුවර) ප්‍රථම ලාංකේය නළුවා ජෝය. එසේම Film Fare ඉන්දියානු චිත්‍රපට උලෙළ 1965 දී නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකික නළුවා ද ඔහු වේ.
එතුමන් හා බැඳුණු සුවිශේෂ සැමරුම් දෙකක් මා සිහියට නැඟේ. 2005 මවිසින් පළ කරන ලද ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ ග්‍රන්ථය දොරට වැඩුමේදී එහි පළමු පිටපත ජෝ මහත්තයාට පිළිගන්වන්නට ලැබීම මා ලැබු භාග්‍යයකි. දෙවැන්න එතුමා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ ඔහුගේ සිනමා ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබාදීම අත්‍යවශ්‍ය විය. එම ලේඛනය සැකසීම ඔහු මා හට පැවරීය. ජෝ මහතා නොදකින ඔහු ගැන ලියූ මේ සටහනට වඩා යථෝක්ත සිදුවීම් යුගල මගේ සංවේගය තුනී කරයි.
තවමත් මෙරට විධිමත් රංග පාසලක් නොමැති වීම අභාග්‍යයක් බව සැබැවි. එහෙත්, ගාමිණි, ජෝ වැන්නන් රූපණයේ අත්පොත්, විශ්වවිද්‍යාල බවට පත්වූයේ කෙසේදැයි නව පරපුරේ රංගන ශිල්පීන් නිකමටවත් සිතා බැලුවේද?
පුදුමයකි, ගාමිණි ජෝ යන මහා රූපණවේදීන්ට ආචාර්ය උපාධියක් පිරිනැමීමට තරම් මෙරටට විශ්වවිද්‍යාල අවදියෙන් සිටියේ නැත.
මේරි ඇලන් ඕ බ්‍රයන්ගේ ‘Film Acting’ යන ග්‍රන්ථයෙහි දක්නා ලැබෙන නළුනිළි වර්ගීකරණය අනුව ජෝ අයත් වන්නේ චරිතාංග නළුවන් (Character Actor) ගොන්නටය. ඔහු ‘සාරවිට’ ඔස්සේ චරිතාංග නළුවා කථා නායකයා බවට පත් කළ හෙයින් සිරිල් වික්‍රමගේ, උපාලි අත්තනායක, අමරසිරි කලංසුරිය, විමල් කුමාර ද කොස්තා, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනි, ලින්ටන් සේමගේ, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැනි දක්ෂ චරිතාංග නළුවන්ටත් සිනමාවේ කථා නායකයන් වීමේ දොරටුව විවර විය.
මහා කලාකරුවකුගේ අගය වටහාගත හැක්කේ තවත් මහා කලාකරුවකුටම පමණි. එහෙයින් මේ සැමරුම මම මතු දැක්වෙන උපුටනයෙන් නිම කරමි. එය ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය රූපණවේදී ගාමිණි ෆොන්සේකා මෙරට අග්‍රගණ්‍ය චරිතාංග නළුවා වූ ජෝ අබේවික්‍රමයන් පිළිබඳ පළ කළ විරල ප්‍රකාශයකි.
‘චරිතාංග නිරූපණයෙහි විශිෂ්ටත්වයට පත් මා පි‍්‍රය කරන මගේ පි‍්‍රයතම චරිතාංග නිරූපණ ශිල්පියා ජෝය. ඔහු සිය මුහුණෙහි අසුරු සැණක් තුළ ඉරියව් කෝටියක් මවයි. ඔහු ජීවිතයේ පැතිකඩ කෙතරම් සූක්ෂ්ම ලෙස සිය ආත්ම ග්‍රහණයට හසුකොටගෙන තිබේද?”