කලාව වෙනුවෙන් තාත්තා පුදුම කැපකිරීමක් කළා

ජයතිස්ස අතුලසිරිගේ පුතු සමීර ශිරාන් රණසිංහ කියයි
සැප්තැම්බර් 28, 2023
පිළිසඳර ට එක්වූ  දෙවන පුතු  සමීර ශිරාන් රණසිංහ...

තාත්තාට ඕනෑ වුණේ අපට හොඳ අධ්‍යාපනයක් දෙන්න
තාත්තා ගැන අපේ හිත්වල තියෙන්නේ ඉහළම ගෞරවයක්
කෙනකුට උදව්වක් කරන සතුටමයි අපේ මහත්තයා ළඟ තිබුණෙ
- නන්දා මාම්පිටිය
මහත්තයාට ගුත්තිල, කදිර දිව්‍යරාජ රඟපෑම් දැකගන්න බැරි වුණා
- නන්දා මාම්පිටිය 

“රංගන ජීවිතයේ ගෞරවයත්...තම පවුලේ ආරක්ෂාවත් ඉහළින්ම සලකා කටයුතු කළ අපේ තාත්තා ගැන අපේ හිත්වල තියෙන්නේ ඉහළම ගෞරවයක්.....”

මෙවර අපේ මවුපිය වරුණ ට සොඳුරු කතා නායකයකු පිළිබඳව සිත් යොමා සිටියදී අපේ සරසවිය කර්තෘතුමාගෙන් මට අසන්නට ලැබුණේ මෙබන්දකි...

“දන්නවද..ප්‍රධාන චරිත නිරූපණයක් එහෙමට නොලැබුණත් සිය රංගන කුසලතාවෙන් නිර්මාණ රාශියකට වරම් ලැබූ මේ රංගන ශිල්පියා ගැන කතා නොකළහොත් එය ලොකු අඩුවක්..රඟපෑමේ කුසලතාවය වගේම ඉහවහා ගිය මනුස්සකම ගැනත් සාක්ෂි ඕනෑතරම් තියෙනවා...”

ඊට සවන්දුන් මා ඔහු පිළිබඳ තතු සොයන කල්හි හෙතෙම බිරිඳ හා දරුවන් සමඟ ජීවත් වූයේ අනුරාධපුරයේ යැයි ද ඇසිණි...

දැන් මා හමුවේ පසුවනුයේ එතුමාගේ ආදරණීය බිරිඳ නන්දා මහත්මිය සහ දෙවන පුතු සමීර ශිරාන් රණසිංහ මහතාය...ඒ වේලේ තුසිත සුජාන් රණසිංහ ලොකු පුතු බැහැරකය...සිනමාව ..රූපවාහිනිය සේම වේදිකා නාට්‍ය යන ත්‍රිත්වයෙන්ම අවස්ථා රැසකදී තම රංගන ප්‍රතිභාවෙන් අපමණ ව කුසලතා සපිරි සම්මානිත වූ අපේ මෙවර ආදරණීය කතා නායකයා ජයතිස්ස අතුලසිරි නම් රංගවේදියාය.

තම පියාණන් පිළිබඳව මහත් ගෞරවයකින් යුතුව කතා කරන දෙවන පුතු සමීර ශිරාන් රණසිංහ සිය කටහඬ අවදිකළේ මෙලෙසිනි.. 

“ඒ කාලෙ ඇත්තටම මගෙයි අයියගෙයි ඉගෙනුමට ගොඩක් අඩුපාඩු තිබුණාය කීවොත් හරි...අපට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ ඕනෑකමක් තාත්තාට තිබුණෙ...අපට එහෙමට වත්කම් තිබුණු අයත් නෙමෙයිනෙ....ඒ වෙනුවෙන් අපෙ තාත්තා මහපුදුමාකාර කැපවීමක් කළා....ඇත්තමයි තාත්තා එයාගෙ අවිවේකී කලා කටයුතු එක්කම අපේ පවුලේ ආරක්ෂාව...වගේම යුතුකම් වගකීම් වෙනුවෙන් කරපු කැපවීම එක අතකින් ආශ්චර්යයක්... සමාජයේ හැමෝගෙම ගෞරවයට..ආදරයට පාත්‍රවන විදිහට අපෙ තාත්තා ජීවත්වුණේ...

දන්නවද... අපට වයස අවුරුදු තිස් ගණන්වලදීත් අපේ වරදක් දුටුවොත් තාත්තා අපට කෝටුවෙන් තලනවා....”

අපේ ආදරණීය කතා නායකයා උපන්නේ නුවරඑළියේ මාගස්තොටය...උප්පැන්නයේ නාමය රණසිංහ දෝනගේ ජයතිස්ස අතුලසිරිය...උපන්දිනය 1952 ක්වූ නවවන මස හය වැනිදාය..තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ ආර්.ඩී සිරිසේන ඔහුගේ තාත්තා ය.. මව කිරින්දේගෙදර මහත්මිය ය. එම දෙපළට සුමිත්‍රලතා පියලතා...සේපාලි...කුමුදු ගීතංජලී...සහ හදිසියේ මියගිය සාමලතා දියණියන්ය...අපේ ජයතිස්සයන් පවුලේ දෙවැනි දරුවාය. නුවරඑළියේ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක විදුහලටද පසුව ශාන්ත සේවියර් විදුහලේද අධ්‍යාපනය ලද අපේ ජයතිස්ස හාපුරා කියා නාට්‍ය රංගනයට පිවිසියේ පාසලේ වේදිකාවෙනි.. අප කවුරුත් දන්නා ප්‍රකට රංගන ශිල්පී ජයසේකර අපෝන්සු ඔහුගේ ගමේ ගජ මිතුරා ය.. පාසලේද මිතුරාය..ගමේ නාට්‍යවලදී තම මිත්‍රයා සමඟ අපේ කතා නායකයාද එක්වූයේය..මඟුල් සක්වළ...මාමා ආදී අපෝන්සු ද එක්ව තැනූ එම නාට්‍යවල රචකයා වූයේ ගමේ ම එඩ්වින් පීරිස් ය..

අපේ ආදරණීය ජයතිස්සගේ බිරිඳ මාම්පිටිය ආරච්චිගේ නන්දා මාම්පිටිය මහත්මිය අප පිළිසඳරට එක්ව පසුවන්නීය.. ඕ තොමෝ පිනට දහමට ළැදි තැනැත්තියකි..

මම ඇයට සවන් දෙමි..

“අපේ මහත්තයා සමාජ ඇසුරට ඉතාම ප්‍රිය කෙනෙක්..කෙනකුට උදව්වක් කරන සතුටමයි එයා ළඟ තිබුණේ... එයා ගමේ නාට්‍ය ප්‍රජා ශාලාව..වගේ පොදු තැන්වල පෙන්නුවේ..විවිධ නාට්‍ය තරඟවලටත් ඉදිරිපත් වී සම්මාන පවා ලැබුවා...රඟපෑමට ඇති සතුට කොතරම් ද කීවොත් එයා නිවාස දෙපාර්තමේන්තුවෙ ගෙවල් කුලී මණ්ඩලයේ කරපු රස්සාවත් අතහැරියා..”

නන්දා මහත්මිය ද තැපැල් දෙපාර්තමේන්තුවේ කලක් සේවයෙහි නිරතව සිටියාය..

තුසිත සුජාන් රණසිංහ ලොකු පුතු ගුවන් හමුදාවේ උසස් නිලයක් හෙබ වූ අතර සමීර ශිරාන් රණසිංහ දෙවන පුතු දුරකතන සමාගමක ප්‍රාදේශිය කළමනාකරුවකු වන්නේය..නන්දා අනුරාධපුරයේය...විවාහයද සමඟින් පසුකලෙක අපේ කතා නායකයා නුවරඑළියේ සිට පැමිණ ජීවත්වූයේ අනුරාධපුරයේ පූජා නගරයට ආසන්නයේය...නාට්‍ය වේදිකාවෙන් ටෙලි තිරයට බට හෙතෙම මුලින්ම රඟපෑවේ හිමගිර අරණ ටෙලි නාට්‍යයේ ය..

“මහත්තයා කොහොමත් ටෙලි නාට්‍ය 65ක පමණ රඟපෑවා...ඉන්පසුව චිත්‍රපට රංගනයට පිවිසියා.. චිත්‍රපට 80 ක පමණ එයා විවිධ චරිත නිරූපණය කළානෙ..පළමු චිත්‍රපටය වුණේ විජය ධර්ම ශ්‍රී ගේ සූර්යකාන්ත චිත්‍රපටයයි. කලා කටයුතුවලට කොළඹ යනවා..එනවා..ඒ එක්කම මේ අප ගැනත් හොඳීන් සොයා බැලුවා..කිසිම දේක අඩුවක් කළේම නැහැ..අපි හැමෝටම හරිම ආදරෙයි..දැන් තිරගත වන ගුත්තිල ..කදිර දේව..වගේ චිත්‍රපටවලත් රඟපෑවාට ඒ රඟපෑම් දැකගන්න මහත්තයාට අහිමි වුණා...කලාවට තියෙන ආදරය හින්දාම තමයි එයා කල් ඇතිවම විශ්‍රාම ඉල්ලා රස්සාවෙන් ඉවත් වුණෙත්...

මම සමීර දෙස බලමි..ඔහු යමක් කියන්නට සැරසෙයි..

“අපෙ තාත්තා අප උස්මහත් වෙලා ඉන්දැද්දිත් හිටියෙ අපේ පස්සෙන්මයි..අම්මාවයි අපවයි හොඳීන් බලාගෙන තමයි තාත්තා එයාගෙ හැමදේම කළේ...

තාත්තාගෙ පුරුද්දක් තිබුණා හැමදෙයම ලිඛිතවම තබන සිරිතක් ... මං හදිසියේ නැතිවුණොත් ඔයාලට ප්‍රශ්නයක් නොවන්නයි මං මේ ලියා තබන්නේ කියලා විශ්‍රාම වැටුප ..රක්ෂණය ..ගන්න හැටි..එය කරගන්න අදාළ ආයතනය.අදාළ නිලධාරින් ගැනත් ලියා තිබුණා ..අම්මා ට පහසුවක් වෙන්න..ඒ ..වගේම රඟපෑ චිත්‍රපට..ටෙලි නිර්මාණ ...වේදිකා නාට්‍ය වගේම ලද සම්මානත් දින වකවානු ඇතුව ලියා තැබුවා..ඒ නිසා අම්මාට විශ්‍රාම වැටුප ගන්න කොහෙත්ම වෙහෙසක් වුණේ නැහැ..

අසනීප වුණත් තාත්තා ඒ බව අපට සඟවනවා..හැමතිස්සෙම එයා එයා ගැන බලාගත්තා.. එයාගෙ වැඩ තනියම කරගන්නයි උවමනාව තාත්තා ට...”

මේ වනවිට ඒ පුතුන් දූදරුවන් ලද පියවරුන්ය..නුරුස්නා දෙයකදී පුතුන්ගේ කරදඬු උස්මහත් වුවද මේ තාත්තා දඬුවම් කරන්නේය.. තරවටු කරන්නේය..ඒ වාගේම තම පුතුන් සමඟ තිබෙනා යහළුකම්ද එතරම්ය.. පුතුන්ද තාත්තා ට එලෙසමය...

“අපෙ මහත්තයා ට හරි ඉක්මනට කේන්ති යනවා..අසාධාරණයට අකැමැතියි...කේන්ති ගියාම මේ කවුද කියලා එයාට වැදගත් නැහැ..සෝඩා බෝතලය වගෙ ..ඒ වෙලාවෙම කේන්තිය නිවෙනවා...අනේ...එයා මට හැමදේටම උදවු කළා..මට හරිම ආදරයෙන් උන්නා..”

ඇත්තම කියනවනම් මං දරුවන් ගැන බලාගෙන එයාට එයාගෙ කලා කටයුතුවලට උපරිම නිදහස දුන්නා...” ඒ ටික ඇය කීවේ මහත් ළෙන්ගතු වදනිනි.

අපේ ආදරණීය කතා නායකයා අනුන් කෙරෙහි දක්වන කරුණාවන්ත බවට කදිම සාක්ෂියක්ද ඇසිණි...තම හිතවන්තයකු කිසියම් ගැටලුවකට පත්වී නම් ඒ ගැනම විමසා කැමැත්තෙන් උදව් කර මිතුරා සනහාලන්නේය. රෝගී වූ මිතුරකු වේද හේ පූජා නගරයේ සිද්ධස්ථාන වෙත යමින් වත්පිළිවෙත් කොට රෝගී මිතුරාට සෙත්පතා ආශීර්වාද ලබා දෙන්නේය..අන් දුකකදී වහා සිත උණුවන උතුම් සිරිතෙන් අනූන හෙතෙම තමන්ට කළහැකි දේ නොපමාවම ඉටු කළේය..පිනට දහමට ළැදි අපේ ජයතිස්සයන් නිවසේ පසුවන විවේකයකදී තම පාපැදියේ නැගී අනුරාධපුර අටමස්ථාන වැඳපුදා භාවනානුයෝගීව සිට රෑ බෝ වෙද්දී ගෙදරට එන්නේය..

“අනේ ඔව්..මහත්තයා මත්පැනට දුම්වැටියට ඇබ්බැහිව සිටියත් අනුරාධපුරයට ආවට පස්සෙ ඒ හැමදෙයම අතහැර දැමුවා..කොළඹ පහසුයිනෙ කියා කවුරුන් හෝ කීවත් මහත්තයා කටපුරා කීවෙ මං අනුරාධපුර මේ ගම නම් අතහැර දමල යන්නෙ නැහැ කියලමයි.. ඉතින්...මෙහෙට ඇවිත් ටික දිනකින්ම....අපි අපිටම කියලා පොඩි ගෙයක් හදාගත්තා...මහත්තයා හරිම සරල ජීවිතයකටයි කැමැත්ත....ඔය ලොකු ලොකු බලාපොරොත්තු නම් තිබුණෙම නැහැ...”

තවත් අපූර්වතම කතාවක් ඕ කියන්නීය..

ඔහුගේ මිතුරකුගේ දරුවෙකු මහපාරේ අනතුරකට ලක්වුණේය...දරුවාට අසාධ්‍ය බැවින් අනුරාධපුරයෙන් මහනුවර රෝහලට ගෙනගිය ගිලන් රියේ දරුවාගේ පියා සමඟ ජයතිස්සද අවුරුදු දහයක් පමණ වයසැති දරුවා සමීපයේ ම සිටියහ..ගිලන් රිය තුළදීම දරුවා මියගිය බවට ලකුණු දැක පියා වැලපෙන්නට වී....ගිලන් රියේ සිටි රෝහලේ අයද දරුවා මියගිය බවට අනුමාන කළේය..

මගෙ දරුවා නැතිවුණා කියා පියා වැලපෙද්දී දරුවා තම අතක් අපේ ජයතිස්සයන්ගේ අත මත තබා මිරිකා ගත්තේලු..දරුවා තවමත් ජීවතුන් අතර බව ඒ මොහොතේ හේ කෑ ගෑවේලු.. මහනුවර රෝහලට ඇතුළත් කර දින කිහිපයකින් ඒ දරුවාගේ ජීවිතය බේරුණි..දැන් ඒ දරුවා උස්මහත් වූ ගුරුවරයෙකි..එදා එම සිද්ධිය කලක් ගතවනතුරාවට හෙතෙම තම බිරිඳට මතක් කර කර කීවේලු..

“අපෙ මහත්තයාට කෙනෙක්ගෙ දුකකදි එයාගෙ ඇස්වලට කඳුළු එනවා...කෙනකුගෙ හිත තියෙන දුකක් එයාට ඉවෙන් වගේ දැනෙන ගතියක් තිබුණා ...එයාගෙ හැටි එහෙමයි..” බිරිඳ නන්දා එය කීවේ දුක්මුසු ස්වරයකිනි..

ඈ හදවත තවමත් හඬන්නී යැයි මට සිතේ..

“ෂූටිං ගිහින් දවස් සති ගණන් පිට උන්නත් එයා මට හොඳ විස්වාසයක් දීලා තිබුණෙ...”

ඒ ටික කීවේද නන්දා ය...ඕ තොමෝ කවියට හපනියකි..පුවත්පත්වලට ඇය ලියූ කාව්‍යයන්ද අපමණය ...ඇයගේ කවි පබැඳුම් ජයතිස්සයන් මහත්සේ අගය කළේය..

සරසවිය පුවත්පතට අපේ සොඳුරු කතා නායකයා තුළ තිබූ ආදරයද මෙහිදී කිවයුතුමය.. තමන්ව රටට හඳුන්වා දුන් සරසවිය පුවත්පතට ගරු කළේය..සරසවිය පත්තරේ මාධ්‍යවේදීන් ඔහුගේ සමීපතම හිතවතුන්ය...

නොකඩවා ම හේ මිලදීගත් සරසවිය පත්තර දහස් ගණනකි.. එහැම බිරිඳ නන්දා සුරැකිව තබා සිටින්නීය..

“මං ගාව ඒවා තවදුරටත් තිබුණොත් අපරාදෙනෙ..ඒ පත්තර සංරක්ෂණය කරමින් තබා තියන්නයි මට උවමනාව වුණේ..එයට කෙනෙක් මට හමුවුණා..මම එයාට දෙන්නෙ මුදලකට නෙවි..එයා අදහෙට ඇවිත් ඒවා අරගෙන යාවි..”නන්දා කීවාය..

අපේ ආදරණීය කතා නායකයා ප්‍රසිද්ධ නාට්‍ය 28කටද රංගන දායකත්වය ලබා දුනි..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේකම් කොට්ඨාසයේ ඔහුගේ ම නිර්මාණයකින් ප්‍රථම ස්ථානය දිනුවේය..ඒ ‘මගුල් තහංචිය’ නමැති නාට්‍යය වෙනුවෙනි. ගුවන් ප්‍රතිභා ප්‍රභා හි..දෙවන ස්ථානය ලැබුවේ ‘බලු අං...රජවේ’ නම් වේදිකා නාට්‍යයටය..එහි ඔහු හොඳම නළුවා වූයේය..විදේශයන්හීදීද වේදිකා නාට්‍ය රඟදැක්වූ අවස්ථා ඇත්තේය.. එම චිත්‍රපට නළුවා වේදිකා නාට්‍යය සවුදි අරාබියේ රියාද් නගරයේදී පෙන්නුවේය...වෙළඳ ප්‍රචාරක දැන්වීම් රැසකටද පෙනී සිටි අපේ ආදරණීය ජයතිස්සයන් වාර්තා වැඩසටහන් නිර්මාණවලටද..වාර්තා චිත්‍රපට රැසකටද..සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූයේය. විදේශීය චිත්‍රපටවලද හෙතෙම රඟපෑවේය..

‘වරිගෙ සංඝය’. ‘දවල සන්නිය’... සඳහා සම්මානිත වූ ඔහු ප්‍රභාෂ්වර අභිනන්දන සම්මානය..ගුවන් හමුදා වනිතා ඒකකයේ සම්මානය...කලා කීර්තිධර සම්මානය...කලා භූෂණ සම්මානය ...කලා නිපුන් දේශමාමක ලංකා පුත්‍ර ගෞරව නාම සම්මානය...සුවඳ පද්ම ආදී සම්මාන රැසකින්ම පිදුම් ලැබීය..

දෙස් විදෙස් සම්මානිත චිත්‍රපටවලද හෙතෙම රඟපෑවේය..ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂකවරයකු ලෙසින් ද හෙතෙම කටයුතු කළේය...

සමීර පුතු මදෙස බලා සිටී.

මම සවන් දෙමි. 

“අපේ තාත්තා දරුවන් වන අප ගැන විතරක් නෙවෙයි..අපේ දූ දරුවන් ගැනත් වෙහෙසුණා...අපි ගෙවල් හදනවිට තාත්තාත් තමන්ට දියහැකි උදවු උපරිමයෙන් අපට දුන්නා..ඒත් කවරදාකවත් එයාගෙ දරුවන් වන අපගෙන් උදවු උපකාර පතා හිටියේම නැහැ...”

පුතු සමීරගේ හඬ බිඳුණු ස්වරයකි..

කොරෝනා රෝගය රටපුරා උත්සන්න විණි..ඒ එක්කම වාගේ අපේ ආදරණීය ජයතිස්ස ද වරින්වර රෝගී වන්නට විය..අම්ල පිත්ත රෝගයෙන් පීඩා වින්දේය..අනුරාධපුර මහ රෝහලේදී බැරි තැන කොළඹ මහරෝහලට රැගෙන ආවේය... ප්‍රතිකාර ලැබ දුන්නේය..

“අනේ..මහත්තයා ව බලන්න ආපු අය.. මහත්තයා ට මෙච්චරක් මිනිස්සු ආදරෙයිද කියා මට එදා හිතුණා ..ඒ ආව අය පුළුවන් හැටියට අපට උදව් උපකාර කළා...එයාට හොඳටම අමාරු වුණා..මං වාට්ටුවේ දවල්ට ළඟ උන්නා.. ලොකු පුතාට රස්සාව නිසා නිදහස මදි.. එයා තාත්තා ව බලන්න ආවා.. පොඩි පුතා සමීර තාත්තා ගාවට වෙලා රෑ නිදි නැතිව බලාගත්තා ...අනේ ..ප්‍රතිකාර කළාට එන්න එන්නම නරක අතටමයි..”

ඒ රෝහල් වාට්ටුවේ අපේ ආදරණීය ජයතිස්සයන් ගිලන් යහන මත වැතිරගත් ගමනිනි..පෙර සවියද අහලක නැති..දෑසේ කඳුළු පටලයකි..ඒ අතරින් ඔහු තමන් සමීපයේම පසුවන ආදරණීය බිරිඳ දෙස බැලුවේය..කියාගන්නට බොහෝදේ තිබෙන්නට ඇත..

“මං...ම..මං..සනීප වේවි නේද...” හෙතෙම අමාරුවෙන් මෙන් නන්දා දෙස බලා කෙඳීරිලි හඬින් ඇසුවේය..

බිරිඳගේ දෑසින් වැටෙනා කඳුළු ඔහු දුටු වේදැයි කියන්නට නොදනිමි ..

“මං ඔයාව කොහොම හරි සනීප කරගන්නවා...”

බිරිඳ බිඳුණු හඬකින් යුතුව කියන්නට වූවාය...

ඔහු කවුරුත් හඳුනති..ඒ නිසාමදෝ වෛද්‍යවරුන් හෙදියන්..සේවකයන්...නිතර මහත් උවමනාවෙන් ඔහු ගැන සොයා බැලුවේය..සිත සනසවන වදනින් ඔහු සනහාලූයේය...

මෙලෙසින් මාස තුනක් තිස්සේ අපේ කතා නායකයා ලෙඩ ඇඳේමය..අන්තිම දවස් දහය ගතවූයේ නැවත රැගෙනවිත් සිටි අනුරාධපුර රෝහලේය..

ඔහුට කෑම අප්‍රියය..ගත දුබලය..කියාගන්නට අපහසු වේදනාවකින් ඔහු පීඩා වින්දේය..

පුතාලා දෙන්නා ද දැන් තාත්තා සමීපයේය..ඔහු සෙමින් යමක් කියන්නේය.

“පුතාලා...හොඳීන් ඉන්න ඕනෑ.. කාටත් උදව් කරන්න...අම්මා ව හොඳීන් රැකබලා ගන්න ඕනෑ...”

මුදල් පසුපස කිසිවිටෙක හඹා නොගිය උතුම් මානව ප්‍රේමයම මුල්තැනෙහිලා සලකා කාටත් එකසේ හිතමිතුරුකම් දෝතින් දුන් අපේ ආදරණීය ජයතිස්සයන් කතා නොකරන්නේය... වටපිට නොබලන්නේය..නිසොල්මනේමය..

අම්ල පිත්තය වැලඳුණු රෝගියකු බව කියැවුණිද අක්මාවේ පිළිකාවකින් මෙලෙසින් රෝගාතුර වී ඇති බව පසුව කියැවිණි ..ඒ වෙනුවෙන් වහා සැත්කමක් කළ යුතුමය ..එහෙත්..එහෙත්.. දැන් ප්‍රමාද වැඩිය..

නන්දා මහත්මියගේ දෑසේ කඳුළු තවමත් වියැළී නැති.

“ඒ ඔපරේෂන් එක කළයුතුම වුණත් ඒක කරන්න බැරි මගෙ මහත්තයා හොඳටම දුර්වලව ඉන්නා නිසා කියලයි වෛද්‍යවරු මට කිව්වෙ..”

දින තුන..හතරක් තිස්සේ සිහිසුන් ව ගිලන් යහන මත ම පසුවූ අපේ ආදරණීය කතා නායකයා තමන්ට මෙතරම් ආදරය කළ කිසිවකු හට හෝ නොදන්වා නොකියා...හිමිදිරියේ කොහේදෝ රහසේම නික්ම ගොස් තිබුණේය ..

ඒ 2021 ක්වූ ජනවාරි මස 24 වනදා ය...

මම බිරිඳ නන්දාට සවන් දෙමි..

“ඒ වෙනකොට අපෙ මහත්තයා ට වයස අවුරුදු 69 යි..පූජා නගරයට පැදගිය එයාගෙ පාපැදිය අපේ පැත්තෙ පාසලට යාගන්න හැමදාම දුක් විඳීන එකම පවුලේ අයිය මලෝ ළමයි දෙන්නකු වෙනුවෙන් මම මහත්තයා ට පින්පතා ඒ බයිසිකලය නොමිලේ ම ඒ දරුවන් ට දුන්නා...මං සතයක්වත් ගත්තෙ නැහැ.”

ඇයගේ කටහඬ හැඬුම්බරය..

“මහත්තයාගෙ විශ්‍රාම වැටුප මට තියෙනවා..මගෙ පුතාලට කරදර දෙන්න මම කැමති නැහැ..මගෙ මහත්තයා ට ලැබුණු සම්මාන සහතික ..සමරු..විවිධ තිළිණ වගේම මහත්තයා රඟපෑ චිත්‍රපට...ටෙලි නාට්‍යවල පින්තුරත් මහත්තයා ව රටට හඳුන්වා දීපු සරසවිය වගේ කලා පත්තරත් ..එයා රඟපෑ. වේදිකා නාට්‍ය පින්තුර ..රාමු කරපු පින්තුර එක්ක පත්තර ..ඇල්බම් මේ හැම එකක්ම වෙනුවෙන් පරිස්සමින් තියාගන්න හිතල මං ගෙටම අල්ලල අලුතින් කාමරයක් හැදෙවිවා..ඒ කාමරයෙ මේ හැම තැනකම තියෙන්නෙ මහත්තයාගෙ දේවල්මයි. එහි තමයි මං බුදු පහන තියන්නෙත්...

කොහේ හරි ඉඳන් මගෙ මහත්තයා අප දිහා බලන් ඉන්නව ඇති..”

ඕ තොමෝ තවත් සුවිශේෂී කාරණයක්ද අප සමග කීවාය..

“..ඉස්කෝලෙට මං ආවා...” නිර්මාණයේ පාසලක විනය පාලක චරිතය රඟපෑවෙ මගෙ මහත්තයායි..එහි නිෂ්පාදක සඳුන් දොලමුල්ල මහත්මයායි..අධ්‍යක්ෂක ප්‍රසාද් සමරතුංග මහත්මයයි..මට මගෙ ජීවිතේ ඉදිරි කාලය සැනසුමින් ගෙවා දමන්න සඳුන් දොලමුල්ල පදනමෙන් මට යම් ආධාරයක් දෙන බව කියල තියෙනවා..අනේ එයින් මගෙ මහත්තයා ටත් පින් පතා කටයුතු කරනවා..සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයත් අපට උදව්වට උන්නා..ගොඩක් අය පිහිටට ආවත් හැමෝගෙම නම් කියන්න බැරි නිසා ඒ අයට මං පින් දෙනවා...මගෙ පුතාලා මට සලකනවා..ඒත් දරුවන් ට බරක් වෙන්න මං කැමති නැහැ..”

අපේ ආදරණීය ජයතිස්සයන්ගේ බිරිඳ නන්දා ට....සමීර පුතුට සමු දී නික්මෙන මොහොතේ ඒ අම්මා ද පුතු ද එක්ව කී ටිකද මෙහි ලියා තබමි.

“අපට අහිමිව ගිය කලාකරුවන් ගැන නැවත රටට මතක් කරදෙන සරසවිය පත්තරේ කර්තෘතුමාටත් ...ඔබටත් අපේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා” ..!!