වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
තාත්තා හැම සතයම අම්මාට දීලා වියදමට ඇගෙන් සල්ලි ඉල්ලා ගන්නවා

- තාත්තා නිතර කීවේ හාස්‍ය රසයෙන් මිනිසුන් සිනාගැන්වීම ඉතා අපහසු දෙයක් බවයි
- පල්ලියෙ ගීතිකා දෙමළ බසින් සිංහලට පරිවර්තනය කළෙත් අපේ තාත්තා
- මං අඬනකොට මං ළඟට ඇවිත් තාත්තාත් හඬනවා
- තාත්තා කිව්වේ “පුතේ...මං මැරුණාම කවුරුවත් අඬන්න එපා ස්වර්ගයේදී අපි ආයෙත් හමුවෙනවා” කියලා
“ළමායී...ඔයාලා දන්නවාද මල්සරා කියන්නෙ කවුද කියලා...මල්සරාගෙ එක අතෙක මල් දුන්නක් තියෙනවා..අනෙක් අතේ මල් ඊතලයක් තියෙනවා..සිකුරු දසාව ලබාපු අයට මේ මල්සරා බැල්ම හෙළනවා..එහෙම අයට මේ මල්සරා මෙන්න මෙහෙම මල් ඊතලය මල් දුන්නට තියාලා මේං මෙහෙම ඒ හදවතට විදිනවා...”යැයි ගුරුතුමා අභිනයෙන් එසේ දුන්නෙන් විදිනවාත් සමඟම පන්තියේ කෙළවරෙක හුන් සිසුවකු “අනේ..බුදු අම්මෝ” යි කෑ ගසමින් එතැනම බිම ඇද වැටුණේය...වහා එහි පැමිණි ගුරුතුමා ඔහු නැගිටුවා මොකද ළමයො වුණේ යැයි විමසූ කළ හේ ගත්කටටම කීයේ සර් විදපු මල් හීය ඇවිල්ලා වැදුණේ මගෙ පපුවේ කියාය...
ගුරුතුමාටද සිනා ගියේය..
කුඩාවියේදි ද කවට වදනින් මෙන්ම කවට රංගනයෙන් ද උපන් සපන්කම් දැක්වූ මෙවර අපේ සොඳුරු කතා නායකයා අන් කිසිවකු හෝ නොව හෙළ සිනමා රිදී තිරයේද හාස්‍ය රංගන ශිල්පියකු ලෙසින් නමක් දිනූ ටෙනිසන් කුරේ නම් රංගන ශිල්පියාය...
එතුමා පිළිබඳ යටගිය තතු සොයා සරසවිය වෙනුවෙන් මා ගොඩ වැදුණේ මොරටුමුල්ල මෝල්පේ නිවසන ඔහුගේ එකම ආදරණීය දියණිය වන මධු මිහිරි කුරේ ප්‍රනාන්දු මහත්මියගේ නිවසටය....
කොළඹ බිෂොප් විද්‍යාලයේ උසස් පෙළ ගුරුවරියක හා අංශ භාර නිලධාරිනියක ලෙසින් ද කටයුතු කළ ඇය දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරියක ලෙසින් කටයුතු කරන්නීය..ඊට අමතරව ඕ රූපවාහිනී නිවේදිකාවද වන්නීය....
ඕ තොමෝ දැන් මා ඉදිරියේ සුවපහසු අසුනකට බරදී සිනාපිරි වතිනි...
“සරසවිය පත්තරය කෙතරම් වටිනවද..අපි පුංචි කාලෙත් සරසවිය හැම ගෙදරකම තිබුණානෙ..
අපට අහිමි වුණු කලාකරුවන් ගැන නැවත රටට මතක් කරදීම අපි ගොඩක් අගය කරනවා වගේම අපේ ස්තුතිය කර්තෘතුමාටත් ඔබටත් පිරිනමනවා...”
“අපේ පිළිසඳර ආරම්භයේදීම එලෙසින් කියූ ඈ...අපෙ තාත්තා ගැන කතා කරන්න ලැබීමත් හිතට සතුටක් ..” යැයි කියන්නීය...
මෙරිඤ්ඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ නම් අපේ ආදරණීය කතා නායකයා උපන්නේ වැලිමඩය...ඒ ඔහුගේ ගමය.. ඔහුගේ තාත්තා මෙරිඤ්ඤගේ එඩ්ගාර් ස්ටැන්ලි ආතර් කුරේ මහතාය....මොරටුව විල්ලෝරාවත්ත මෙතෝදිස්ත දේවස්ථානය ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූ වතු සුපිරින්ටෙන්ඩන්වරයකු වූ එස් .ඒ. කුරේ මහතා අපේ කතා නායකයාගේ පියාණන්ය..මෑණියෝ හේරත් මුදියන්සේලාගේ රන් මැණිකා නම් බොදු කතකි..ඕ තැන්පත් නිහඬ කාන්තාවකි ...
මම මධුමිහිරි දෙස බලමි..ඕ තවමත් සිනාපිරි මුවිනි..
“ඔව්..අපෙ තාත්තාගෙ හැමෝම මෙතෝදිස්ත ආගම් භක්තිකයෝ...ඒ කාලෙ අපේ පරපුරට බෞද්ධ කාන්තාවක් සම්බන්ධ වීම ප්‍රශ්නයක් වුණාලු... අපෙ තාත්තාත් අපේ මෙතෝදිස්ත දේවස්ථානයේ හැම කටයුත්තකදීම මුලටම සිටියා...”
අපේ ආදරණීය ටෙනිසන්ගේ සහෝදර සහෝදරියෝ හත්දෙනෙකි.. අක්කා එඩ්නා කුෙර්ය.. දෙවැන්නා අද අපේ කතා නායක ටෙනිසන් ය..තුන්වැන්නා එමිල් ය..සිව්වැන්නා ටෙල්මා ඉවෝන්ය. පස්වැන්නිය ඉන්ද්‍රානිය. සයවැන්නිය තේජාය...හත්වැන්නිය සුනේත්‍රා ය...
වැලිමඩ ජන්ම ලාභය ලැබූ ටෙනිසන් පසුකලෙක මොරටුව ප්‍රදේශයට පැමිණියේය...ප්‍රාථමික අධ්‍යාපනයට යන්නට වූයේ පිළියන්දලටය..මොරටුව මෙතෝදිස්ත විදුහලේද හෙතෙම ඉගෙනුම ලැබීය..
කටකාර..දඟකාර අපේ ආදරණීය ටෙනිසන්ගේ පාසල් සමයේදී ඔහු කළ කී දෑ ආදරණිය දියණිය මධුමිහිරිට හොඳීන් මතකය..ඒ තාත්තාගේ විවේකය ගෙදර ගෙවන්නේ තමන් සමඟ නිසාවෙන් තාත්තා තම යටගිය කතන්දර ඇයට කියා ඇත්තේය..
මධුමිහිරි තවත් කතාවකට සැරසෙන්නේ සිනාපිරි මුවිනි..
“ඔන්න අමල්...අපෙ තාත්තා හයේ හතේ වගෙ පන්තියක..හොඳේ...මාළු දැලක් අදින මාළුකාරයින්ගේ චිත්‍රයක් අඳීන්න කීවාලු..චිත්‍ර සර් සැරයිලු.. ළඟම ඉන්න යාළුවෙක්ගෙන් සුදු කොළයක් ඉල්ලාගෙන මුහුදක්..පොල් ගසක දැලක් ගැටගහපු චිත්‍රයක් ඇන්දාලු.. ඔන්න ඉතිං චිත්‍ර සර්..ඇවිත් ඇහුවලු කෝ චිත්‍රය පෙන්වාපන් කියලා..මොනාද මේ ඇන්දෙ..මං කිව්වෙ දැල අදින එකක් අඳීන්න කියලනෙ..කෝ..කියලා..
( ඈ අතකින් මුව වසා හිනැහෙන්නීය )
අපෙ තාත්තා සර් ට වැඳ වැඳ කීවලු..අනේ ස
අනේ..බුදු සර්.. මං ලෙඩෙක්..සර්.. දැල ඇද්ද අයට මහන්සි නිසා දැන් එයාලා ඔක්කෝම තේ බොන්න ගිහින් .එයාලා ආවාම දැල අදින විදිහ ඇඳලා පෙන්වන්නම් සර්..කියලා කිව්වලු.
උඹත් හරියට එඩී ජයමාන්න වගෙ කෙනෙක් වේවිද දන්නෙ නැහැ.. කියලා හිනාවෙවී එහෙම කියල ගියාලු.
ඈ සිනාසෙන්නීය...
මෙතෝදිස්ත කිතු දහමටම ඇලුණු අපේ කතා නායකයා කිසිදිනෙක පන්සලකට ගොස් නැති.. හෙතෙම දේවස්ථානයේ බෞතිස්ම වූයේය...ඔහුගේ පළමු රැකියාව නැවකය..කාර්මික ශිල්පියෙකි...පසුව සංගීත භාණ්ඩ නිෂ්පාදන සමාගමක වැඩ කළේය..වර්ල්ඩි වයිඩ් විෂන් නම් ක්‍රිස්තියානි ආයතනයකටද පසුව ගියේය..ගුවන් විදුලියේ ළමා පිටියටද එක්වූයේය..නැෂනල් ක්‍රිස්තියන් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවෙිදන ඒකකයේ ලේකම්වරයාද වූයේය..ඔහුගේ ළඟම මිතුරා සිනමාවෙිදී දිනේෂ් ප්‍රියසාද් මහතාය..කේරි විද්‍යාලය...වෙස්ලි විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේද ශ්‍රව්‍ය දෘශ්‍ය ගුරුවරයකු ලෙසින් ඔහු කටයුතු කළේය...
මා මධුමිහිරිට සවන් දෙමි.
"ඉතිං අමල් ..අපෙ තාත්තා රස්සාවට යනව කියලා ඒ කාලේ ගෙදරින් පිටත් වෙනවා...දිනේෂ් ප්‍රියසාද් අන්කල් ඇතුළු තව ළඟම යාළුවො කීපදෙනෙක්ම හිටියනෙ..තාත්තා එයාලා එක්කල දවසම ගත කරල වැඩට ගියා වගෙ ගෙදර එනවා...බැලින්නම් තාත්තා එයාලා එක්කල දවසෙම කතා කරන්නෙ චිත්‍රපටයක් හදන්නෙ කොහොමද කියන එකයි...ඒක තමා සාකච්ඡාව ...පල්ලියෙ ආභාසය නිසාම චිත්‍රපට කැමරා ශිල්පියකු වන නිමල්සිරි රෝසා අන්කල්ව දන්නවා..අපේ පල්ලියේ තරුණ වෙස්ලි සමාජය නිසාම බොහෝ අය තාත්තා හඳුනා ගත්තා...”
ඕ පවසන්නීය ..
අපේ ආදරණීය ටෙනිසන් කුරේට වැඩිපුරම සිටි හිතවතුන් සිනමාවට සම්බන්ධ අයමය...ඊට අමතරව සමීපතම කීපදෙනෙක්ම ඔහු ඇසුරේ පසුවූහ...
කාටත් හිතැති හෙතෙම විද්‍යාලයීය ක්‍රීඩා අංශයෙන්ද ඉහළම සමත්කම් දක්වමින් බොහෝ ප්‍රසාදයට පාත්‍ර වූයේය...පාසලේ ශිෂ්‍ය නායකයා වූ අවස්ථා ද ඇත්තේය...වරෙක හේ අමුතු දේවල් කරන්නේය..
බයිසිකලේ සමබරතාවය තබා පෙන්වා ඉහළම ලකුණු ලබා ගත්තේය.. බයිසිකලය පසුපසට පැද යන්නේය..යතුරු පැදිය ඔහුට සෙල්ලම් බඩුවකි.
“අපෙ තාත්තාව කුඩා කාලයේදි පැවිදි කරවන්නයි වැඩිහිටියන්ගෙ අදහස තිබුනෙ ..මොකද සමීප ඥාතීන් දෙදෙනෙක්ම පැවිදි වෙලා හිටිය හන්දා..කොහොම හරි තාත්තා පල්ලියට එකතු වුණා..
දන්නවද..අමල් ..අපෙ තාත්තා ලියන්න දක්ෂයි...පල්ලියෙ ගීතිකා දමිළ බසින් සිංහලයට පරිවර්තනය කරන්නෙත් අපෙ තාත්තා ...අපේ තාත්තාගෙ සීයා ප්‍රභු පැලැන්තියෙ...මෙතෝදිස්ත පල්ලිය ගොඩනගන්න මුල්වුණෙත් ඒ අපේ මුත්තා තමයි..
හෙතෙම අපූර්වතම අයකු යැයිද හැඟේ...කිසිත් පළපුරුදුකම් නැතිව පැත්තකට දැමූ පියාමෝ හදන්නේය... දුරතියාම වාහනයක දෝෂ මැනවින් කියන්නේය...කාර්මික ඥානයකට පළපුරුදුකම් නැතත් තම නිසඟ කාර්මික ඥානයෙන් වැඩ පෙන්වා අනුන් මවිත කරවූයේය...ඔහුගේ ජීවන සිරිත මෙලෙසින් ගතවී යද්දී ඔහු සන්තකයේ තිබූ අපූර්වතම හැසිරීමද එළියට එන්නේය..ඒ අනුන් සතුටට පත්කොට සිනාගැන්වීමේ සිත්ගන්නා සුලු ජන්ම සිරිතය..
කුඩා වියේදී ඔහුගේ කේන්දරය බැලූ නක්ෂත්‍රකරුවන් එක හඬින් කියා තිබුණේද මෙබන්දකි..
“මේ දරුවා අනාගතයේදි රටතොට මහත් ප්‍රසිද්ධියකට පත්වන අයෙකු බවමය..
පල්ලියේ නාට්‍ය කටයුතුවලදී අපේ කතා නායකයා ඉදිරියෙන්මය...
“ඔය අපායේ තත්පර අසූහාරදහසක් චිත්‍රපටය හැදුණේ ඊට කලින් පල්ලියෙදි තාත්තා රඟපාපු අපාය වේදිකා නාට්‍යයෙන්....ඒ චිත්‍රපටයෙ තිර රචනය තාත්තා ලියුවේ..හද ඇඳී සිත්තම් ..ජීවන්ති චිත්‍රපටවල වගේම තාත්තා චිත්‍රපට 150 ක පමණ තාත්තා රඟපෑවා..”
මධුමිහිරි කියන්නීය..
අපේ සොඳුරු කතා නායක තෙමේ ටෙලි නාට්‍යවල රඟපෑම ප්‍රතික්ෂේප කළේය.. තමන්ට සම්භාව්‍ය චරිත වුවද රඟපෑමට හැකි බව හේ තරයේම කියා සිටියේය..එහෙත් ඔහුට හිමිවූයේ විකට චරිතයන්ය.. ඔහු තමන්ව හැඳීන්වූයේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියකු බවට කොතැනකදීත් කීවේ තමන් පිළිබඳ මහත් අභිමානයකිනි..
“තාත්තාගේ අදහස වුණේ සම්භාව්‍ය චරිතයක් රඟපෑම යනු ඉතා පහසු රඟපෑමක් හැටියටයි.. හාස්‍ය රසයෙන් මිනිසුන් සිනාගැන්වීම ඉතා අපහසු දෙයක් බවයි තාත්තා නිතර කීවේ..තාත්තාගෙ මුහුණේ හැඩය නිසා ලැබුණේම විකට චරිතනෙ..”
දියණිය මධුමිහිරි කියන්නීය...
මනුස්සයෙක් හිනාගස්සවන එක අමාරුම කාරිය යැයි හෙතෙම ප්‍රසිද්ධියේ කීවේය..
අපේ ආදරණීය ටෙනිසන් විවාහ වූයේ 1977 වසරේ ජනවාරි මස 04 වනදාය..ඔහු සමඟ අතිනත ගත්තේ මොරටුව විල්ලෝරාවත්ත එරන්ජනී මල්සිරි කුරේ මෙනවියය..
මධුමිහිරි තවත්දේ කියා යන්නීය..
“අපෙ අම්මා ඉංග්‍රීසි ඉගෙන ගන්න නිතර අපේ සීයා ළඟට..ඒ කියන්නෙ අපෙ තාත්තාගෙ තාත්තා ළඟට ඇවිත් තියෙනවා..තාත්තාගෙ සහෝදරියො අම්මාගෙ මිතුරියන් වුණා..මේ හැමෝගෙම ගෙවල් එක කිට්ටුවමයි..අපෙ අම්මා හරීම නිහඬ චරිතයක්..හරිම කරුණාවන්තයි..”
ඕ තොමෝ තම සැමියා වෙනුවෙන් ම කැපවූවාය..ළඟම පසුවූවාය...තිරනාටක..චිත්‍රපට දෙබස් ලියද්දී ඊටද නොමඳ සහය ලැබ දුන්නාය...
“ඇත්තෙන්ම කියනවානම් අපෙ අම්මා වගේ කෙනෙක් හමුවීම නිසාම තාත්තාගෙ ජීවිතයම සාර්ථක වුණා කියලයි මම හිතන්නෙ..”
අපේ මධුමිහිරි කුඩා අවදියේ සිට දුටුවේ දින සති මාසගණන් වේදිකා හා චිත්‍රපටවල රඟපා ඇතැම්විටෙක මහ රෑ දෙගොඩ හරි ජාමයේදීද ගෙදරට එන තාත්තා ය..
“ඉතිං අපෙ තාත්තා ගෙදරට ආපු ගමන් අම්මාව සොයනවා..කාමරයට යනවා...රඟපාලා හම්බ කරපු හැම සතයම සාක්කුවලින් ඇද ඇද ඇඳට දමනවා..ඒවා අම්මාට තමයි...තාත්තා අම්මාට කතාකළේ බබා කියලයි..තාත්තාට පර්ස් එකක් කවදාවත් තිබිලම නැහැ..එහෙම හැම සතේම අම්මාට දීලා පහුවදා ගමන් යන්නට අම්මාගෙන් වියදම ඉල්ලා ගන්නවා..අම්මායි තාත්තායි හරිම සමගියි.. ඒ වගේම අපෙ තාත්තා අම්මා ට වගේම මටත් හැම යුතුකමක්ම ඉටු කරපු කෙනෙක්...
අපෙ තාත්තා මට ගහල තියෙන්නෙ නම් එකම එක දවසයි..එතකොට මට වයස අවුරුදු පහක් විතර ඇති..
අනේ...අනේ..මතක් වෙනකොටත් හිතට හරිම දුකයි..
අනේ මං අඬනකොට මං ළඟට ඇවිත් තාත්තාත් හඬනවා...”
මධුමිහිරිගේ කටහඬ බොඳව යමින් බිදුණු ස්වරයෙන් ඇසෙන්නේය..
ඕ තම දෑස නැගි කඳුළක් නිසාදෝ මට රහසේ මෙන් වහා පිටඅත්ලෙන් පිසදා ගත්තාය..
ඈ නිහඩවම බිම බලාගත්වනමය..තාත්තා සමග ඇය මතකයේ සැරිසරන්නී යැයි මට හැඟේ..
“මමනෙ තාත්තාගෙ එකම දුව..තාත්තායි මමයි හරියට යාළුවො වගේ හිටියේ..මං විවාහ වුණ දවසෙත් අනේ මගෙ තාත්තා අඬාපු තරම් ...”
“අනේ ..ඉතිං තාත්තාට කේන්ති යනවා තමයි...” මම ඇයගෙන් විමසූ පැනයකට පිළිතුරක් දුන් ඇය...
“අපෙ තාත්තාට කේන්ති ගියාම ගෙදර හැමෝම නිශ්ශබ්ද වෙන්න ඕනේ..මට මගෙ ඔළුව නිදහස්ව තියාගන්න දෙන්න කියනවා නිතර... හැබැයි කේන්ති නිවුණාම අම්මා ළඟට ගිහින් අහනව ඇයි මට එහෙම කේන්ති ගියේ කියලා..
සමහරදාට ප්‍රශ්නයකදි මගෙ ඔළුව නිදහසේ තියෙන්න ඕනා කියල තාත්තා ඔළුව අත්දෙකින්ම බදාගෙන කියනවා..මේ ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕනා කියල තාත්තා නිතර කියපු කතාවක් තමයි..”
අපේ ආදරණීය මධුමිහිරි නිළියක වන්නට හිතන්නට හුරු වූ දා පටන් සිහින මැව්වාය..කුඩාවියෙහිදී වෙළඳ දැන්වීම්වලට පෙනී සිටීමෙන් එපැතුම තවත් ලියලා වැඩුණාය..එහෙත් අපේ ටෙනිසන් තම එකම දියණිය නිළියක වෙනවාට කොහෙත්ම කැමැත්තක් දැක්වූයේද නැති..
නිදහස් විවේකී අවස්ථාවලදී හෙතෙම ගිටාරය ගෙන වයන්නේය. ඒ ඔහු ගයන්නේ පැරැණි ගීතයකි..වඩාත් ආසාවූයේ සී.ටී.ප්‍රනාන්දු ගැයූ පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ...ගීතය ගයන්නටය..
අපෙ තාත්තා නිතරම මට ඔවදන් දුන් හැටි තවමත් මතකයි...හොඳට ඉගෙන ගන්න කියානම් ලක්ෂ වාරයක් කියැවෙන්න ඇති.
මට තාත්තා කතා කරන්නෙ පුතා කියලනෙ...අවවාද අනුශාසනා නිතරම දෙනවා. ඉගෙනීමේ ඇති වටිනාකම් වැදගත්කම් කියල දෙනවා..
“විවාහයට හොඳ සැමියෙක් ලැබෙනවාය කියන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ දෙයක්...
ඒද.. අපේ කතා නායකයා කියූ කතාවකි..
මධුමිහිරි හා මා අතර පිළිසඳර දෙස බලමින් නිහතමානී සිනහවක්ද මවෙතට තිළිණ කරමින් ඒ අසලින් යන්නේ ඇයගේ සැමියා වන ව්‍යාපාරික චතුරංග මහතාය..
වේදිකා නාට්‍ය 25 ක පමණ තාත්තා රඟපෑ බවද ඕ කීවාය..
මේ වනවිට සිය ජීවිතයේ බොහෝ තැන්වලදී විශ්ව කලා...විශ්ව කීර්ති...දේශමාන්‍ය ලංකාතිලක ..ආදී පදවි නාමයෙන් අපේ ආදරණීය කතා නායකයා පිදුමට පාත්‍ර වී සිටින්නේය....හොඳම විකට නළුවා ලෙසින් සම්මානිත වූයේ දෙරණ සිනමා සම්මාන උලෙළේදී ය...රාජ්‍ය කලා භූෂණයෙන්ද හේ සම්මානිත විය...චිත්‍රපට හා වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු...අධ්‍යක්ෂකවරයකු...සේම චිත්‍රපට කතාව..දෙබස් හා තිරනාටක රචකයකු ලෙසින් ද ඉහළම නමක් තැබූ අපේ ආදරණීය කතා නායකයා මුළු දිවයිනටම බලපාන සාමදාන විනිශ්චයකාර තනතුරකින්ද පිදුම් ලැබීය..
දැන්...දැන්..අපේ සොඳුරු ටෙනිසන් කුරේ නිතර නිතර රෝගාතුර වන්නේය..වකුගඩු ආශ්‍රිත රෝගයකින් හෙතෙම පීඩා වින්දේය...
මත්පැනට...දුම්වැටියට තිබූ ලොල්බවද... දියණිය මධුමිහිරිගේ උපත සමඟින් එහැම අත්හළේය...
“අපෙ තාත්තා වකුගඩු අමාරුවයි.. පිත්තාශයේ ගල් ඇතිවූ අමාරුවයි නිසා පීඩා වින්දා.. ..ප්‍රතිකාර කළත් හරිහැටි සුවයක් නැතිව ගියා...
ඉන්පස්සෙ ...තාත්තාට එකම වෙලාවකදිම ඔපරේෂන් දෙකක්ම කරන්න සිදුවුණා...අනේ ඉන්පස්සෙ තමයි තාත්තා ගොඩාක් දුර්වල තත්ත්වයට පත්වුණේ.. ඒත් අසනීප තත්ත්වයක සිටියදි පවා තාත්තා රඟපාන්න ගියා...ස්විට්සර්ලන්තයට යන්න සිටි ගමන කොරෝනාවත් සමඟ ඇනහිටියා..."
බිඳුණු හඬකින් දියණිය කියන්නීය..ඈ බොහෝවිට කල්පනාවක මෙනි...
තම දියණියට නිදහස්ව සිතන්නට ඉඩදුන් හේ කිසිවකට ඇඟිලි නොගැසුවේය... රෝගාතුරව පසුවන දිනෙක තම එකම දියණිය මධුමිහිරිගේ පුංචි පුතු තමන් සමීපයටම කැඳවාගත් අපේ ආදරණීය කතා නායකයා පුංචි පුතුගේ දෑත අල්වා දයාබර හඬින් කියන්නට වූයේ මේ ටිකමය.
“පුතේ...මං මැරුණාම පුතාලා කවුරුවත් අඬන්න එපා හොඳේ...කවුරුවත් අඬන්න එපා...හැමෝටම පුතා මේක කියන්න...අපි පුතේ ස්වර්ගයේදී ආයෙත් අපි හමුවේවි...අපි හමුවේවි පුතේ....”
දැන් ඔහු පෙර මෙන් නොවේ..කෑම අප්‍රියය..ගත ඉතා දුර්වලය...මෙතෝදිස්ත සභාවේ භක්තිමත් කිතුනුවකු වූ හෙතෙම හදවතින් යාඥා කළේය... මෙතෝදිස්ත දේවස්ථානයේ දියුණුවට කළ කී දෑ සිහිපත් කළේය....
අපේ ටෙනිසන් වහා රෝහල් ගත කෙරුණේ අසාධ්‍ය තත්ත්වයන් හේතුවෙනි.. ඔහු වඩාත් අගය කළ තම එකම දියණියගේ ස්වාමියා....තම බෑණා චතුරංග රෝහල් වාට්ටුවේ ඔහු සමීපයේමය....
තත්ත්වය දැන් දැන් නරක අතටම හැරෙයි...
පිය බිරිඳ එරන්ජනී මහත්මියගේ දෑස කඳුළටම නතු වූ සෙයකි...දියණිය කොහේදෝ ඈත බලාගත්වනමය ....
තවත් ගතවූයේ සුළු වේලාවකි....රටක් සිනාසයුරේ ගිල්වමින් සිය රංගන ප්‍රතිභාවෙන් සමත්කම් පෑ අපේ සොඳුරු කතා නායකයාගේ ගිලන් යහන අසලට ම එක්වරම ළංවූ බිරිඳ එරන්ජනී හා දියණිය මධුමිහිරි හඬන්නට වූවාය...
වයසින් අවුරුදු 72 ක් ආයු වින්දනය කළ අපේ කතා නායකයා නික්මන් ගමන් යන්නට වූයේ 2020 ක්වූ සැප්තැම්බර් මස 28 වනදාය..
මේ සැප්තැම්බර් 28 වනදාට ඔහු නික්ම ගිය ගමනට තෙවසරක් පිරෙයි...ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිතය පිළිබඳව සිහිපත් කැරෙන දේව මෙහෙයක්ද මෙතෝදිස්ත දෙව් මැදුරේදී එදිනට පැවැත්වෙනු ඇති...
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල