මේ ප්‍රසංගයෙන් සංවේදී සංගීත රසයක් ඔබට ලැබේවි

ප්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි
සැප්තැම්බර් 7, 2023

කමල් අද්දරආරච්චි යන නාමය මෙරට ප්‍රේක්ෂක ශ්‍රාවක සිත් සතන්හි බොහෝ ආදරණීයව නිධන් ගත වන්නකි. කලක් මෙරට තරුණ ප්‍රජාව ඔහුගේ රංගනය වෙනුවෙන්, ඔහුගේ ස්වරූපය වෙනුවෙන් පමණක් නොව ඔහුගේ හඬ වෙනුවෙන්ද උන්මාදයකින් පසු වූ බව කාටත් නොරහසක්. කමල් ගොඩනඟා ගත්තේ ඔහුටම අනන්‍ය වූ රංග ශෛලියක්. ඒ රංග ශෛලිය මෙරට ජන හදවත් තුළට ඉතා ඉක්මනින්ම ආකර්ෂණය වූයේය. පුරා දශක ගණනාවක් ඔහු සිනමාව, ටෙලි නාට්‍යය, ගායනය වැනි ක්ෂේත්‍ර ඔස්සේ මෙරට ජනතාවගේ සිත් සතන් තුළට ආදරයෙන් ළංවූයේය.

කලකට පසු කමල් නැවතත් කරළියට එන්නට සුදානම් වන ආරංචිය රැගෙන එන සුවිශේෂී මාධ්‍ය හමුවක් ඔහු පසුගිය දා සංවිධානය කළේය. ඒ ‘ඔබයි මමයි’ යනුවෙන් ඔහුගේ කුලුඳුල් ඒක පුද්ගල ගීත ප්‍රසංගය පැවැත්වීමටයි. මේ පිළිබඳ අදහස් දක්වමින් කමල් කියා සිටියේ සාමාන්‍යයෙන් මෙරට ශ්‍රාවකයන්ට හුරු පුරුදු සංගීත ප්‍රසංග ශෛලියන් මිදුණු නව ආරකින් යුතුව මෙය ඉදිරිපත් කරන්නට තමන් සූදානම් වන බවයි.

‘මම විශ්වාස කරන ආකාරයට ආගම, දර්ශනය, සාහිත්‍ය, කලාව කියන ඕනෑම විෂයකින් මිනිසුන් සංවේදී පුද්ගලයන් බවට පත්කළ හැකියි. මේ අතරින් සංගීත කලාව කියන්නේ මේ ලෝකයට බිහිවෙන්නට සිටින, කුසයේ සිටින ළදරුවා පවා සංවේදී කළ හැකි කලාවක්. කුසයේ සිටින දරුවන් පවා සංගීතයට ප්‍රතිචාර දක්වනවා කියන්නේ එහි තිබෙන ප්‍රබලත්වය කොපමණ ද කියා අපට වටහා ගන්න පුළුවන්. මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරාත්, එතැන් සිට වින්දනය දක්වාත් රැගෙන යන්න සංගීතයට හැකියාවක් තිබෙනවා. කෙනෙකුගේ විඩාව නිවාලන අතිශය සෞන්දර්යාත්මක කලාවක් වන සංගීතය රසවිඳින්න වයස් බේදයක්, ආගම් බේදයක්, ජාති බේදයක් ඇති වෙන්නේ නෑ. සංගීතය විශ්වීය භාෂාවක් කියල කියන්නේ ඒ හින්දයි. කුඩා දරුවාගේ පටන් වයෝවෘධ තැන්ත්තා දක්වාම අප්‍රමාණ ප්‍රමෝදයට පත් කළ හැකි සංගීතය වෙනම ආකාරයකින් ඉදිරිපත් කරමින් නව ආරක සංගීත ප්‍රසංගයක් කරන්න මම කල්පනා කළේ ඒ නිසයි.’

කමල්ගේ සංගීත ප්‍රසංගය එළැඹෙන 16 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00 බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වේ. රංගන ශිල්පියකු වශයෙන් සහ ගායන ශිල්පියකු වශයෙන් දශක හතරකට වැඩි කාලයක් පැමිණි ඔහුගේ ගමන්මඟ තුළ ඔහු එක් රැස්කරගත් නිර්මාණ රාශියක් මෙම ප්‍රසංගය වෙනුවෙන් පෙළ ගැසේ.

උන්මාද වූ පේ‍්‍රමාදරේ

සමනල වසන්ත යෞවනයේ

සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ....

අනූව දශකයේ දී අපට ඇසුණ මේ ගීතය එදා යෞවන යෞවනියන්ගේ හදවත් සොරා ගත්තේ කිසිදු බාධාවකින් තොරවය. කමල් අද්දරආරච්චි අති දක්ෂ රංගන ශිල්පියකු වූවා සේම අති දක්ෂ ගායකයකු බවට ද මේ ගීතය ඔප්පු කර පෙන්නුවේය. එච්.ඩී. පේ‍්‍රමරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටය වෙනුවෙන් කමල් මේ ගීතය ගායනා කරනු ලැබුවේ ප්‍රවීණ ගායන ශිල්පිනී ‘දමයන්ති ජයසූරිය සමඟය. එම වසරේ ජනාධිපති සම්මාන උලෙළේ හොඳම ගායකයා සහ හොඳම ගායිකාව වශයෙන් ජනාධිපති සම්මානය දිනාගන්නා ලද්දේ කමල් සහ දමයන්තිය.

එදා මෙදා තුර මේ ගීතයට ඇත්තේ නොමඳ ජන ප්‍රසාදයකි. පෙරදා සප්ත කන්‍යා මතකය ද අවදි කරමින් කමල් මෙම ගීතය ඔහුගේ ඔබයි මමයි ප්‍රසංගයේදී නව ආරකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි.

‘ඇත්තටම ‘ඔබයි -මමයි’ ගීත ප්‍රසංගය සාම්ප්‍රදායික ගීත ප්‍රසංග ආකෘතියෙන් බැහැර වූ එකක්. මේක නව ආරක වින්දනාත්මක ඉදිරිපත් කිරීමක්. මම මගේ ජීවිතයේ සම්බන්ධ වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට හි අන්තර්ගත ගීත වගේම එදා මෙදා තුර ශ්‍රාවක සිත් සතන්හි ලැගුම් ගත් ගායන ක්ෂේත්‍රයේ යුග පුරුෂයින් ගායනා කළ අතිශයින් මනරම් වූ ගීත රැසකුත් මෙහිදී ගායනා කරන්නට බලාපොරොත්තු වෙනවා.’

සප්ත කන්‍යා චිත්‍රපටය සේම කලකට ඉහත විකාශය වූ ‘රතු රෝස’ ටෙලි නාට්‍යය හරහා ද කමල් අද්දරආරච්චට හිමි වූයේ නොමඳ ජන ප්‍රසාදයකි. එවකට යෞවනියන්ගේ හදවත් අපේක්ෂා කළ හා හදවතේ නිදන්ගත වූ පේ‍්‍රමවන්තයා වූයේ ‘රතුරෝස’ හි කමල් නිරූපණය කළ ආකාරයේ පේ‍්‍රමවන්තයෙකි. මීට දශක කිහිපයකට ඉහත දී කමල් ‘රතුරෝස’ ටෙලි නාට්‍යය වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගායන කළ යුග ගීතය ද මෙවර කමල්ගේ ගීත ප්‍රසංගයට ඇතුළත්ය. මෙහි සුවිශේෂීත්වය වන්නේ දශක ගණනාවකට පසු කමල් සමඟ මෙම ගීතය ගයන්නට ඉන්ද්‍රාණි පෙරේරා ද එක් වීමයි.

‘ඇත්තටම මේ ප්‍රසංගයේදී මම ගීත 25ට ආසන්න ප්‍රමාණයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම ඉතාම සුව පහසු ආකාරයට වාඩි වී නිස්කලංකව මේ ගීත රසවිඳින ආකාරයට තමයි අපි සැලසුම් කරල තියෙන්නේ. ප්‍රවේශ පත්‍රයක වටිනාකමට වඩා යමක් ලබා දීමේ අරමුණින් අපි ප්‍රසංගයට පැමිණෙන ප්‍රේක්ෂකයා සතුටු කළ හැකි ආකාරයේ ආහාර පාන ආදියෙන් ද සත්කාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගීත හා නිර්මාණ යළි මතකයට නැංවීමට පුළුල් තිර යොදා පසුබිම් රූප රචනයන් ප්‍රදර්ශනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රසංගය පේ‍්‍රක්ෂකයින් 750කට පමණ පිරිසකට පැමිණ නැරඹිය හැකියි.

සාමාන්‍යයෙන් කමල් ගීත ගායනයේදී අතිශය ප්‍රාසංගික ස්වරූපයෙන් කටයුතු කරන්නෙකු බව ඔහුගේ බොහෝ ගැයුම් වල දී අප දැක ඇත. මෙවන් ප්‍රසංගයක් තුළින් ඔහුගේ ඒ ප්‍රාසංගික ස්වරූපය වඩ වඩාත් දැක බලා ගැනීමට හැකිවනු ඇත. ඔහුගේ ඇතැම් ගායනා සඳහා පමණක් නර්තන අංග කිහිපයකින් එක්කර ගනු ලබන අතර මෙහි විශේෂත්වය වනුයේ මෙම ගී මියැසිය සඳහා මන බඳිනා වේදිකා පසුතලයක් නිර්මාණය කිරීමය. විචිත්‍රවත් ආලෝකකරණයෙන් හැඩවෙන එම වේදිකා පසුතලය මත ප්‍රවීණ වාද්‍ය වෘන්දයකගේ සංගීතය ද කමල් වෙනුවෙන් ලැබෙනු ඇත.

‘ඇත්තටම මේ ප්‍රසංගය පැය 03ක් වැනි කාලයක් ඇතුළත අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදි මට අවශ්‍ය වෙන්නේ රසික සිත් සෞන්දර්යයෙන් පුබුදු කරවමින් ඔවුන්ට සංවේදී සංගීත රසයක් ලබාදෙන්නටයි. ඒ වෙනුවෙන් අපි උසස් තත්ත්වයේ ශබ්ද පරිපාලනයක් සහ දැනට ඇති විශිෂ්ටතම ශබ්ද ජනක උපාංග යොදාගනිමින් ඝෝෂාකාරී නොවන සංගීත රාවයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා තිබෙනවා. මමත් සමඟ යුග ගීත ගායනා කරන්නට ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා, උරේෂා රවිහාරි සමඟ සුබුද්ධි ලක්මාලි එකතු වෙනවා. මේ ප්‍රසංගයේදී දෙමළ සිනමා ගීතයක් ගායනා කරන්නටත් මම බලාපොරොත්තු වෙනවා.’

කමල් අද්දරආරච්චිගේ ඔබයි - මමයි සංගීත ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ප්‍රවීණ වාදන ශිල්පී පි‍්‍රයන්ත ගමගේ විසින් සිදුකරනු ලැබේ. ප්‍රසංගික බවින් ඉතාමත් ආකර්ෂණීය, වේදිකා පසුතලය මත මනරම් ආලෝක රටා මවමින්, විචිත්‍රවත් පසුබිම් දර්ශන එක් කරන පුළුල් තිරයක් මත දර්ශනීය රූප රටා සමඟ වර්ණවත් ආලෝක පහන් ඇතුළු ඉතාමත් නවීන ආලෝකකරණ උපාංග සමඟින් ප්‍රසංගය ආලෝකවත් කරනුයේ සජිත් කොඩිකාර විසිනි. කමල්ගේ වේදිකා පසුතල නිර්මාණ නිෂ්පාදනය රොෂාන් රණසිංහ ගෙනි.

මෙම ප්‍රසංගය සඳහා කමල් රංගනයෙන් හා ගායනයෙන් දායකත්වය දැක් වූ චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත ඇතුළත් අතර, සප්ත කන්‍යා, වෙද හාමිනේ. රතුරෝස, හිරුට මුවාවෙන්. සමුද්‍ර ඡායා වැනි නිර්මාණයන්හි ගීත ඊට ඇතුළත් වේ. එසේම ‘පෙම්බර මධු, එක්ටැම්ගේ, සිකුරුලියා වැනි තෝරාගත් චිත්‍රපට යන්හි ගීත කිහිපයක් ද එදින ඔහු විසින් ගායනා කරනු ලබයි.

‘අපේ දේශීය සංගීතය පෝෂණය කළ සුවිශේෂි ගාන්ධර්වයින් දෙපළක් වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සහ පණ්ඩිත් අමරදේවයන් ඇගැයීමට ලක් කරමින් තමයි මේ ප්‍රසංගය මම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රසංගයෙන් ලැබෙන ආදායමින් අසරණ තත්ත්වයේ ඉන්න කලාකරුවන් කිහිප දෙනකුට පිහිට වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරියේදී මේ ප්‍රසංගය දිගින් දිගටම කරගෙන යන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.’

කමල් බොහෝ බලාපොරොත්තු ඇතිව පවත්වන්නට යන මෙම ප්‍රසංගය සංගීතයේ, ගීතයේ නියම රස භාවයන් ආරක්ෂා කර ගනිමින් පවත්වන්නට යන්නක්. ශ්‍රාවකයාගේ රස මනස පුුබුදු කරනවා සේම, ඉන් යම් ප්‍රතිලාභයක් ලැබේ නම් පෙරලා ලබන්නේද කලාව වෙනුවෙන් යම් මෙහෙවරක් කළ පුද්ගලයින්ටය.

මෑත භාගයේ කමල්ගේ අපූර්ව රංගන කෞශල්‍යයෙන් හැඩ වුණු කලා නිර්මාණයක් අපට දැක ගන්නට නොලැබීම ඇත්තටම ඔහුගේ අවාසනාව නොව රසිකයන් වශයෙන් අපේ අවාසනාවය. එවන් රැඟුමන් නොමැති වුවද ඔහුගේ ගායනයෙන්, ප්‍රාසංගික බවින් සන්තර්පණය වී ආනන්දනීය, උන්මාදනීය රාත්‍රියක සොඳුරු ආස්වාදය ලබන්නට ‘ඔබයි මමයි සමඟ එක්වෙන ලෙසින් කමල් අද්දරආරච්චි ඔබට ආදරයෙන් ඇරියුම් කරයි.

හේමාලි විජේරත්න

සේයාරූ - නිශ්ශංක විජේරත්න