දේශීය සිනමාවක් බිහි කරන්න එදා සීයා මහා අරගලයක් කළා

දයා විමලවීරගේ දියණිය ශිරන්ති විමලවීර කියයි
අගෝස්තු 31, 2023

"දේශීය සිනමාවක් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ මගේ සීයා සිරිසේන විමලවීරයන් සේම සිනමාව වෙනුවෙන් තම මෙහෙවර අකුරටම ඉටුකළ දයා විමලවීර මගේ තාත්තා පිළිබඳව ඇත්තේ ඉමහත් ගෞරවනීය හැඟීමක් "යැයි ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂිකා ශිරන්ති විමලවීර මහත්මිය සරසවියට පැවසුවාය...

මෙවර සරසවිය මවුපිය වරුණ විශේෂාංගය වෙනුවෙන් මා ගොඩ වැදුණේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක සහාය අධ්‍යක්ෂිකාවක ලෙසින් නමක් දිනූ ශිරන්ති විමලවීර මහත්මියගේ අත්තිඩියේ පිහිටි සුවිසල් නිවසටය..

මුවපුරා පිරුණු සිනහවෙන් යුතුව අප පිළිගත් ඕ තොමෝ තම ජීවිතයේ හදබැඳී අතීත මතකයන් කියාපෑවේද මහත් සොම්නසකින් යැයි මට සිතේ...

මෙවර අප කතාවේ සිනමාලෝලී රසික සිත්සතන්හි හෘදයාංගමව ලැගුම්ගත් සොඳුරු කතා නායකයන් දෙදෙනෙකි... ලාංකේය සිනමාවක් වෙනුවෙන් ම සිය ජීවිතයම මුදාහළ මින් පළමුවැන්නා සිරිසේන විමලවීරයන්ය..හෙතෙම රසිකයා වඩාත් මැනවින් හඳුනන්නේ කතානාද සිංහල චිත්‍රපටයක් තනිවම අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිංහලයා හැටියටය..එමෙන්ම සිනමා කැමරාකරණයෙන්ද..තිර කතා රචනයෙන්ද...නිෂ්පාදනයෙන්ද.. ගීත ප්‍රබන්ධයෙන්ද... නොනැවතී රංගවේදියකු ලෙසින්ද අපේ සිරිසේන විමලවීරයන් බුහුමනට පාත්‍ර වන්නේය...

"ඉතිං..කොහොමද .." යැයි මා ශිරන්ති මහත්මියගෙන් විමසූ පැනයකදී ඕ මුළින්ම පවසන්නට වූයේ මේ ටිකය.

"අද අප අතර නැති..රටක් සිනමාවක් වෙනුවෙන් යමක් ඉටුකළ අයවලුන් පිළිබඳව මෙලෙස නැවත පාඨකයා හමුවේ තබන වටිනා වෑයමට සරසවිය පුවත්පතටත්..එහි ප්‍රධාන කර්තෘතුමාටත් ...මෙහි පැමිණි මටත් තම හදවතින්ම ස්තුතිවන්ත වන බවමය...

සුව පහසු අසුනකට බරදුන් ශිරන්ති දැන් මා ඉදිරියේය..ඇය අප පිළිසඳර අරඹන්නට වූයේ තම ආදරණීය සීයා පිළිබඳව මතකය අවදි කරවමිනි.

"අපේ විශිෂ්ට සිනමාවේදී සිරිසේන විමලවීරයන් වලව් පැළැන්තියට හිමිකම් කියන්නෙකි..ඒ තංගල්ල ..පොලොංමාරුව ග්‍රාමයේය..ඔහු එදා විසූ වලව්ව මේ වෙද්දී බොහෝ අබලන්ව ඇත්තේය..

අපේ පළමු කතා නායකයා වන හෙතෙම උපන්නේ 1901 ක්වූ ජූනි මස 22 වනදාය...

අධ්‍යාපනය ලැබූයේ තංගල්ල ක්‍රයිස්ට් චර්ච් (පසුව තංගල්ල මධ්‍ය මහා විද්‍යාලය) කතෝලික පාසලේ ය. 8 වන පන්තියේ ඉගෙනුම ලබමින් පසුවූ අපේ කතා නායකයාගේ බාප්පා කෙනකු ඉන්දියාවේ කල්කටාවේ විසූ අතර දේශීය ආයුර්වේදය පිළිබඳව හදාරනු පිණිස ලද අවසරයෙන් හෙතෙම ඉන්දියාවේ කල්කටා බලා නික්ම ගියේය...

මම අපේ ආදරණීය ශිරන්ති දෙස බලමි...ඕ තවදුරටත් කතා කරන්නී.....

"ඉතිං අමල්...අපේ සීයා කල්කටා ගියෙ ආයුර්වේදය ඉගෙනීමට වුණාට සීයාට නිතර නෙත ගැටුණු රාජ් කපූර්..ල නිසාම චිත්‍රපට පිස්සුව හැදුණා...ආයුර්වේදය අතහැරල චිත්‍රපටකරණය හදාරන්නයි උනන්දු වෙලා තියෙන්නෙ .."

අපේ සොඳුරු කතානායක තෙමේ පුරා වසර 14 කට පසුව ලංකාවට ආයේ දේශීය සිනමාවක් පිළිබඳව බොහෝ දේ සැලසුම් සිතිනි...ඒ වනවිට හේ ඉංග්‍රීසි බසට අමතරව දමිළ..හින්දි..ගුජරාටි...ආදී භාෂා අටක දැනුමින් පෝෂිතව සිටියේය...

"සීයා ලංකාවට ඇවිත් ලිප්ටන් සමාගමේ ලිපිකරුවකු වුණා...නාට්‍ය ලියන්න පටන් ගත්තා..1926 දි ප්‍රතාප් සිං නමින් නාට්‍යයක් නිෂ්පාදනය කරමින් එතැන් සිට නාට්‍ය රැසක්ම කළාලු.

මායාදුන්නේ හෙවත් වෙඩි බෝම්බය...මෝසස් කතාව..මග්ගොන චාලි.. අම්මා ..රොඩි කෙල්ල ..රොඩි කොල්ලා ..ගංවතුර... සිංහලේ හෙවත් සිංහල වීරයා...සීදේවී ..පිටිසර කෙල්ල.. ශ්‍රී 825... ලංකා යක්ෂණී.. හෙළදිව පුරඟන ආදී ඔහු ලියමින් එදා වේදිකා ගතකළ නාට්‍යයන්ගෙන් කිහිපයක්..."

අනතුරුව කොටහේනේ හීනටිගල නාට්‍ය කලා සංගමයට බැඳී දසපනත හා මෝසස් නම් කතෝලික නාට්‍ය දෙකක් ඉදිරිපත් කිරීමෙන් හෙතෙම මහත් ජනප්‍රියත්වයකට බඳුන් විණි..ඒ 1932 දීය..

1932 දී ටවර් රඟහලට එක්වන විට නාට්‍ය පමණක් පෙන්වූ එය චිත්‍රපට ශාලාවක් බවට පත්ව තිබිණි ...

සතියේ බ්‍රහස්පතින්දා දින පමණක් එහි නාට්‍ය වේදිකා ගත කෙරිණි ..

ශිරන්ති කටහඬ අවදි කරන්නීය..

"ඉතිං..ඒ කාලේ ජී.වී.ඇඩ්වින් පෙරේරා කියන ජනප්‍රිය නළුවාට සිංහලේ නමැති නාට්‍ය ලියා දී..ඔහු එය නිෂ්පාදනය කරමින් රටපුරා ගිහින් තියෙනවා. හෙළදිව පුරඟන පිටපත ලියුවේ මගේ සීයා .. නිසි අවසරයකින් තොරව වෙනකෙකු එය පොතක් කිරීමෙන් අපේ සියා නඩු කියල ඉන් දිනලා තියෙනවා."

අපේ සිරිසේන විමලවීරයන් තමන්ගේය කියා නාට්‍ය කණ්ඩායමක් හැදුවේ 1943දීය..අම්මා කතාව ලියැවී තවත් දෙදෙනකු සමඟ චිත්‍රපටයක් කරන්නට හැදූවද එය මග හැරිණි.

දේශිය සිනමාවක් බිහිකිරීමෙහිලා නොතිත් ආශාවකින් පසුවූ හේ නව ජීවන චිත්‍රපට සමාගම පිහිටුවනු ලැබීය...

"ඉතිං 1947 දි කඩවුණු පොරොන්දුව ..අසෝකමාලා චිත්‍රපට ප්‍රදර්ශනයවීමත් එක්කම ටවර්හෝල් එකේ බ්‍රහස්පතින්දාට විතරක් තිබූ නාට්‍ය පෙන්වීමත් බදුකරය වෙනස්වීමෙන් එය අහෝසි වෙලා තියෙනවා..එතැනදි වේදිකා නාට්‍ය නළු නිළියන් වගේම රචකයන් හුදෙකලා වුණාලු. අපේ සීයා මේ ගැන ගොඩක් කම්පා වෙලා තියෙනවා.."

ශිරන්ති කියන්නීය..

අපේ කතා නායකයා මරදානේ ටවර් රඟහලට නුදුරුව විමලෙ නමින් මුද්‍රණාලයක් ඇරඹුවේය..චින්තාමණී සඟරාව ඔහුගේය.ඉන් දේශිය සිනමාවක් ගැන හේ කතාබහකට ලක් කළේය.. මෙයට හේතුවූයේ එවක දකුණු ඉන්දියාවේ ආභාසයෙන් අප රටේ හැදෙන චිත්‍රපටවලට එරෙහිව යමිනි.එපමණක්ද නොව දේශීය සිනමාවක් අරභයා වේදිකාව උපයෝගී කරගත් අපේ සිරිසේනයන් නව ජීවන චිත්‍රපට සමාගම බිහි කළේය.. එහිදී එවක කම්කරු නායකයකු වන ඒ.ඊ.ගුණසිංහ මහතාද ඊට උදව් දුනි.

"ඇත්තටම සීයා ඒ තුළින් හඬ නැගුවේ සිංහලකම..ජාතික ගුණවගාව.. ඉස්මතු කරමින්...පසුව නව ජීවන චිත්‍රපට සමාගමේ කොටස් සීයා මහජනතාව අතර විකුණා දැමුවා..එතකොට විමලෙ මුද්‍රණාලය..සීයගෙ කාර් දෙකත් විකුණා දමල සීයා රු. 68.000ක් සොයා ගත්තලු."

ශිරන්ති කියන්නීය...

අපේ ආදරණීය කතා නායකයා කිසියම් තීන්දුවකට එළැඹියේය.. තලෙයිමන්නාරම හරහා මදුරාසියේ නෙප්චූන් චිත්‍රාගාරය බලා හේ තම කණ්ඩායමක් සමඟ නික්ම ගියේ "අම්මා" චිත්‍රපටය කරන්නටය.. ඒ 1948 දෙසැම්බරයේ 26 වනදාය.මාස 8ක් බෝදුක් අනුභව කළ හෙතෙම අම්මා චිත්‍රපටයේ කටයුතු අහවර කොට සතුටු වූයේය.

කතානාද සිංහල චිත්‍රපටයක් තනිව අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිංහලයා ලෙසින් එතුමා බුහුමනට පාත්‍ර වනුයේ එබැවිනි.

"අපේ කිරි හොද්ද අපේම කෝකියකු ලවා හැඳී ගා නොගෙන එය ඉන්දියාවේ කෝකියකු ලවා කරවා ගතහොත් ඒක තලතෙල් රහයි."

මේ අපේ සිරිසේන විමලවීරයන් එදා හඬගා කියූ කතාවෙකි.

කතානාද දේශිය සිනමාවක් ගොඩ නැගීමට පුරෝගාමියා වූයේ එතුමා ය.

"සිංහලත් නොවන.. සිනමාත් නොවන සිංහල සිනමාවක් ඇති රටක තරමක් හෝ සිංහලකමක් ඇති චිත්‍රපට හැදුවේ සිරිසේන විමලවීරයන් ය...මේ එදා ජයවිලාල් විලේගොඩයන් 1963 වසරේ 09 මාසයේ 28 වන දින දිනමිණ පුවත්පතට ලියූ විචාරක සටහනකි ඒ..

1949.8.19 වන දින අම්මා චිත්‍රපටය ප්‍රදර්ශනය විය..

මම නැවතත් ශිරන්ති දෙස බලමි..ඈ සිනාවතිනි.

"අම්මා ...තිරනාටකය..දෙබස්..අධ්‍යක්ෂණය...සියල්ලම සීයාගේ..මතකද අමල්..ඩී.ආර්..පර්ල් වාසුදේවි ..එඩී ජූනියර් එන්.ආර්. ඩයස් නළු නිළියන් සීයා සිනමාවට හඳුන්වා දුන් අය අතර ඔය කිහිප දෙනෙක් විතරයි.

ඉතිං 1951දි සීයා සීදේවි කළානෙ. ඉන් හොඳ ආදායම් ලැබුවා.මේ අතරෙදි තමයි සීයාට චිත්‍රාගාරයක අවශ්‍යතාව තදින් හිතට දැනුණේ."

චිත්‍රපට වෙනුවෙන් විදේශයට යන මුදල් රැකගැනීමත්..දේශිය අයවලුනට රැකියා පහසුකම් ලබාදීමටත් සාධු අරමුණින් හෙතෙම 1951.සැප්තැම්බර් මස 13 වනදා චිත්‍රාගාරයකට මුල්ගල තැබීය..1952 දී එය විවෘත කෙරිණි .

කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරය ඇරඹිණ ..එහි හාපුරා කියා තැනුණේ පිටිසර කෙල්ල ය..අපේ හියුගෝ මාස්ටර් සංගීත අධ්‍යක්ෂණයට අත ගැසුවේ එතැනිනි. 1953 අප්‍රේල් මස 25දා ප්‍රදර්ශනය විණි.

සරදියෙල් 1954දී..පොඩි පුතා 1955දි. අසෝකා ට අපේ සීයා අධ්‍යක්ෂණය විතරයි..සිරකරුවා 1957 දි.එකමත් එක රටක 1958 දි. මා ආලය කළ තරුණිය 1959 දි.වනමල 1960 දි.

දමිළ ආරයෙන් මිදුණු චිත්‍රපටය ලෙසට එකල විචාරකයන් පොඩි පුතා හැඳීන්වීය..

අපේ කතා නායකයා මුල්තැනෙහිලා තබා සිංහල චිත්‍රපට ඉන්දියාවේ රූගත නොකරනු මැයෙන් නැඟූ උද්ඝෝෂණයට සවන්දුන් එවක බණ්ඩාරනායක රජය විසින් චිත්‍රපට සඳහා ඉන්දියාවේ යන ගමන නවතාලනු ලැබීය..

පොඩි පුතා චිත්‍රපටය දීපශිඛා සම්මාන උලෙළේදී ප්‍රථම ස්ථානය හොඳම චිත්‍රපටය ලෙසින් කිරුළ හෙබවීය.

එදා පුවත්පත්වල සිරස්තලය වූයේ සිංහලයන් අතින් නිමැවූ සිංහල චිත්‍රපටය යනුවෙනි. මෙය දුටු එම චිත්‍රපටයට ප්‍රචාරක අනුග්‍රහය දැක්වූවන් අතර ප්‍රකට දමිළ නිෂ්පාදකයකු මීට කෙතරම් කිපුණේද යත් අතැති ලයිටරයෙන් එම සිරස්තලයට ගිනි තැබුවේලු.

"සීයා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සංචාරක සිනමාවක්ද බිහිකළා.."

ඕ සතුටින් සිනාසී කියන්නීය..

සැබෑ සිංහල සිනමාවක උපත පොඩි පුතා යැයි එකල විචාරක සිරිල් බී.පෙරේරා කීය.

1954 දී තැනූ සරදියෙල් බොහෝ විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටයකි.

ආයා අප්පුලා නැතිවූවාට සිංහලකම පිරුණු හොඳ චිත්‍රපටයක් ලෙසින් එදා ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතින් 1954.12.24 දා සරදියෙල් චිත්‍රපටය හැඳීන්වීය..

"අපේ සීයා චිත්‍රපට 10 ක් කළා..ඒ වගේම මුල්ම වරට සිනමා කැමරාවක් චිත්‍රාගාරයෙන් පිටතට ගෙනගියේද එතුමායි..ඒ සරදියෙල් හා පොඩි පුතා චිත්‍රපට වෙනුවෙන් .. සීයා ලියූ ගීත බොහොමයක් අදටත් ජනප්‍රියයි. ඒවාට සතයක්වක් අය කළේ නැහැ. පාකර් පෑනක් තෑගි ලබා තියෙනවා..

භව පාර දුරයි..(අම්මා) මේ ලෝකේ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේ (පොඩි පුතා) ආලේ කළමුත් පණට පණසේ...ස්ත්‍රි ජාති නැහැ විස්වාසේ (පිටිසර කෙල්ල) පෙම් රැල්ල නගී..(ප්‍රේමාලෝකය නිවී ගියා..වන මලක් අතැර දාලා..වගේ ජනප්‍රිය ගීත රැසක්ම එතුමා ලියුවා..සීයාගේ අවසන් චිත්‍රපටය වනමල..."

අපේ ශිරන්ති එකහුස්මට මෙලෙස කියා යන්නීය..

අපේ සොඳුරු කතා නායකයා මත්පැනට දුම්වැටියටද ප්‍රේම කළේය..

දිනෙක සවස් යාමයක ඉවෝන් පෙරේරා නමැති අතිශය සුන්දරනීය තරුණියක් එතුමා හමුවට පැමිණියාය..සන්ධ්‍යාවේ ඇය හමුවූ නිසාවෙන් ඇයට එතුමා සන්ධ්‍යා කුමාරි නමින් නමක් තැබුවේය..ගර්ලි ගුණවර්ධන.. ආනන්ද වීරකෝන්..පුෂ්පා ජෙනට්..සේනක පෙරේරා ටෝනි රණසිංහ..රවින්ද්‍ර රූපසේන ..සුමිත් බිබිලේ..මතායස් ප්‍රනාන්දු ..ශාන්ති අබේසේකර ..දේවානන්ද වෛද්‍යසේකර ..හරූන් ලන්ත්‍රා ..ජි.එස්.බී රාණි. ආදීහු.චිත්‍රපට පසුබිම් ගායනයට ද චිත්‍රපට රඟපෑමටද හෙතෙම කැන්දා ආ කලාකරුවන් වෙති.

කුමාරි මානෙල් මාන්නප්පෙරුම නම් ඇයගේ නම වෙනස් කොට කුමාරි මානෙල් යනුවෙන් සිනමාවට කැඳවා ආයේද එතුමා ය. පසුව ඕ ඔහුගේ ආදරණීය ලේළියක වූයේ සිය බාල තම උපසේන විමලවීර පුතු සමග අතිනත ගැනීමෙනි.

අපේ කතා නායකයාගේ බිරිඳ දෝන මැටිල්ඩාය..ඇය කොළඹ ය..ප්‍රේමා...සෝමා...උපසේන..රංජිත්...යන තම දරුවන් අතර තෙවන දරුවා වන දයා විමලවීරයන් ද චිත්‍රපටකරණයට බැඳුණු ප්‍රේමණීය සිත සිය පියාණන් ට නොදෙවැනි විය...සංස්කරණය ..ශබ්ද පරිපාලනය...අධ්‍යක්ෂණය..කැමරාකරණයට.. දිවිහිමියෙන් කැපවීමෙන් පසුකලෙක ඔහුද නමක් දිනූ අති දක්ෂයකු විය..

මම ශිරන්ති දෙස බලමි..ඕ යමක් කියන්නට සැරසෙයි.

"ඉතිං අමල්.. මගෙ සීයාට යහපත් පවුල් ජිවිතයක් නම් තිබුණේම නැහැ..තුන්තිස්පැයේ චිත්‍රපට වෙනුවෙන් ගෙදරින් පිටමයි ගතවන්නේ...ඒ පවුල දෙදරා ගියා...සීයා එයාගෙ දරුවනට අසීමිතව ආදරය කළත් කිසිදාක ඒ ආදරය පෙන්නලාම නැහැ..සීයා දැඩි තීරණ ගන්නවා... කිරිබත්ගොඩ රු.15000 කට ගත්ත අක්කර දෙකක ඉඩමෙ තිබුණු නව ජීවන චිත්‍රාගාරය එක්ක රෝහණ කියා සිනමාහලකුත් තිබුණානෙ.

සීයා තමන් ළඟ ඉන්න අයට විතරක් නෙවි ඒ පවුල්වල අයටත් උදවු උපකාර කළා. එයාලට කෑම බීම දෙනවිට පේන්නෙ දාන ශාලාවක් වගේ..කොහොම හරි නව ජීවන චිත්‍රාගාරය රාජ සන්තක වුණා..සීයා උන්නෙත් කිරිබත්ගොඩ .."

තවත් විශේෂ කාරණයක්ද ඇය මතකයට නගන්නීය.

"ඉන්දියාවෙ ශිල්පීන් ලවා අපේ අයට කැමරාකරණය ආදී බොහොම දේ උගන්වන්න සීයා කටයුතු කළේ. ඒ අපේම අයට සීයා කළ සද්කාර්යයක්.

සිනමා කැමරාවේ බර රාත්තල් 200ක්. අඩි එකහමාරක් පළලයි. අඩි 2ක් උසයි.ලෙන්ස් එක කි.ග්‍රෑම් එකහමාරක්. ඔසවන්න 4 කු ඕනා.. සරදියෙල් කරද්දි උතුවන්කන්දට කැමරාව ගෙන ගිය හැටි පුදුමයක් නේද..සීයා කරන කාරිය හරියටම කරනවා...

අපේ ආදරණීය කතා නායකයා වරන්වර හෘදයාබාධයට ලක්වෙයි..

1963 දි රොඩී කෙල්ල සහ පුංචි අම්මා චිත්‍රපටද කර තිබුණේ බාගෙටය.. චිත්‍රපටයක රූපගත කිරීම් කරමින් සිටියදී හෙතෙම පපුව දෑතින් අල්වා ගත්තේය...වහා රෝහලට ඇතුළත් කෙරිණි ..

අපේ සොඳුරු කතා නායක සිරිසේන විමලවීරයන් හෘදයාබාධයක්ම හේතුවෙන් සදහටම දෑස පියා ගත්තේ 1963 ක්වූ අගෝස්තු මස 24 වනදාය.

අපේ ආදරණීය ශිරන්ති සුසුමක් හෙළා අසුනේ හරිබරි ගැසෙයි..ඕ යමක් කියන්නට මෙනි.

ඒ තම ආදරණීය පියාණන් පිළිබඳව ම විය යුතුමය.

"මගේ තාත්තා තමයි දයා විමලවීර..එතුමා මගේ සීයාගෙ තුන්වන දරුවා..සිනමාවටම හිත ඇරුණු කාර්යශූර කෙනෙක්..තමන්ගෙ පියා ගිය පාරෙම කුසලතාවෙන් යුතුව ඉදිරියටම ගිය කෙනෙක්...

මගේ තාත්තා ගැන සිතෙද්දි හිතට දැනෙන්නෙ ලොකුම ආඩම්බරයක් ..."

ශිරන්ති කියන්නී...තිර හඬකිනි.

ප්‍රේමසිංහ දයානන්ද විමලවීරයන් ඉපදුණේ 1937 වසරේ දෙසැම්බරයේ 11 වනදා කොළඹ දීය.. කොළොන්නාව ටෙරන්ස් ඇන් ද සිල්වා විදුහලට ඉගෙනුමට ගිය හේ පසුව ශාන්ත ජෝසප් සහ ඇලෙක්සැන්ඩර් විදුහලට පිවිසියේය...

ඉගෙනුමට දක්ෂ දරුවකු වූ හේ හැම වසරකදීම පන්තියේ පළමුවැන්නාය.. තම පුතා විභාගයෙන් ප්‍රථමයා වූ බව දත් තාත්තා ගෙදරට එන්නේ තම කාරය පිරෙන්නටම තෑගිබෝගද සමගය...

තාත්තාගේ හිත තිබුණේ පුතු වෛද්‍යවරයකු කරවන්නට නමුදු පුතා නිතර දිවයන්නේ තාත්තාගේ චිත්‍රාගාරයටය..කැමරාව ඔහුට රසඳුනකි...

"මට තාත්තෙ කැමරාමන් කෙනකු වෙන්නට ඕනෑ යැයි කී හැම විටෙකදිම හේ තාත්තාගෙන් බැණුම් ඇසුවේය..තරහ ගියවිට පමණක් උඹ යැයි කියනා තාත්තා තම පුතු කැමරා සිහිනයෙන් මුදවාගන්නට දැරූ වෑයම හැමවිටම නිෂ්ඵලව ගියේය...

අපේ ශිරන්ති සිනා පහළ කරන්නීය..

" තාත්තා ට සීයා කොච්චර බැන්නත් ඒව අහලකට ගත්තේම නැහැ.."

මුලදී පුතුගේ ආසාව දැන මැන හුන් තාත්තා පුතුගේ ආසාව දියකර හරින්නට යකඩවල තව් විදින්නට බාර කළේය..කැමරාව පිරිසිදු කරන්නට දුන්නේය. කැමරාවට ඇති ආසාව බිඳ දමන සිතින් තාත්තා ගත් වෑයමින් සිදුවූයේ පුතු තව තවත් කැමරාවටම ඇලී යාමය..

ප්‍රවීණ කැමරාකරු ඩබ්.ඒ.බී.ද සිල්වා ය.. අපේ දයාට කැමරාව පිසදැමීම පමණි.එය විවර කර බැලීමට තහනම්ය..කෙසේ හෝ අවසන තෙවැනි කැමරාකරු වූයේ අපේ සොඳුරු කතා නායකයා දයා විමලවීරයන්ය.."

"අපෙ තාත්තා හැම කෙනා සමඟම සුහදව සංස්කරණය..කැමරාකරණය ඇතුළු සියලු දේ අවබෝධ කරගත්තා..

මා ආලය කළ තරුණිය චිත්‍රපටයට අවශ්‍ය වූ දෙනෙත දුඹුරු නිළිය වූයේ කුමාරි මානෙල් ය..අපේ දයාට ඕ නෑනාය...නොඑසේනම් දයාගේ බාල සොහොයුරකු වන උපසේනයන්ගේ බිරිඳ වූවාය..

"ඔන්න ඉතිං අමල්...සීයාට ඕන වුණානෙ ප්‍රචාරක කටයුතුවලට කුමාරිගේ පින්තුර ගන්න...දැන් මේ ඉක්මන් වැඩේට ළඟ කෙනෙක් නැහැලු.

අපෙ තාත්තාත් ටිකක් විතර ආඩම්බරකාරයෙක්..ඕන නම් මං පින්තුර අරන් දෙන්නම් කියල තාත්තා සීයාට කියා තියෙනවා. උඹ දන්නවද පින්තුර ගන්න කියා සීයා ඇහුවාම දෙනවනම් කරල පෙන්වන්නම් යැයි කීවේය.

තාත්තා වැඩේ බාර අරන් පින්තුර ටික හරියටම අකුරටම කරල දීල තියෙනවා..

දන්නවද වුණදේ..ඒ පින්තුර දැකපු සීයා බොහොම සතුටු වෙලා තාත්තා ට පැසසුම් කරල ස්ටීල් කැමරාව තාත්තාටම පවරා දීල තියෙනවනෙ."

පියා ගිය මග යමින් අපේ දයා විමලවීරයන් තෝට්ටක්කාරී දමිළ චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූයේය.. අනතුරුව වැදිබිම..පටාචාරා...හි දයා ගේ සමත්කම් දුටු ආනන්ද ජයරත්නයන්ගේ නිෂ්පාදනයෙන් රොඩි කෙල්ල චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූයේය..

"අනේ අමල්..මේ පිය පුතු ගමනේදි සීයා..තාත්තාගෙ තාත්තා නැතිවෙද්දි අපෙ තාත්තා ට වයස අවුරුදු 19 යි.

අපේ ආදරණීය කතා නායකයා අධ්‍යක්ෂක හා ප්‍රධාන කැමරා ශිල්පියා වෙමින් "විදුරු ගෙවල් " චිත්‍රපටය හැදුවේය..එය ඉහළම ජනප්‍රියතාවයට පත්විණි.

ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය ආර්. ප්‍රේමදාස ශූරීන්ගේ ජීවන කඳුළුය..මිහිදුම් සිහින..චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා කැමරා ශිල්පියාය..සිකුරුලියා ..මධු සිහින..රජ දරුවෝ...සුජාතා..දෙව්දුව..මේජර් සර්...සීතල ගිනිකඳු.. බඹසර බිසව්..රණහංසි...යනාදි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද කැමරාකරණයෙන්ද නිසග කුසලතාවයම විදහා පෑමෙන් අපේ දයා විමලවීරයන් කාගේත් බුහුමනට ම පාත්‍ර විණි.

"මිහිදුම් සිහින" චිත්‍රපටයේ හොඳම කැමරාකරණයට නිර්දේශ වූවත් අන්තිම මොහොතේ එය ගිලිහී යාමත් කනගාටුවට හේතුවක් ...

"හැබැයි අපේ තාත්තා කිසිම දෙයකින් කවරදාකවත් සැලුණු කෙනෙක් නම් නෙවෙයි...පසුබෑ කෙනකුත් නොවෙයි..ඒ අතින් තාත්තා සිතින් සවිමත්..තමන් කරන කාර්යය හරියටම කරල සතුටු වුණු කෙනෙක්.. ඇත්තටම තාත්තා අත ගහපු නිර්මාණ දින 100 ඉක්මවා ගිය ප්‍රදර්ශනය වුණු ඒවා..."

අපේ ශිරන්ති තිර හඬකින් කියන්නීය.

අපේ කතා නායක දයා විමලවීරයන් තම කාර්යයේ මිස අහර ගැනවත් නොසිතයි...මා හා පිළිසඳරක පසුවන ශිරන්ති සහාය අධක්ෂිකාවක වූයේ පන්ති යාමද අතරමග නවතමිනි..තම දියණිය යැයි කියා ඔහුගේ සිතේ විශේෂත්වයක් නැති. කාර්යයෙහි නිරත සැවොම ඔහුට එක හා සමානය..

"තාත්තාගේ එකම අරමුණ නිෂ්පාදකයා සතුටට පත් කරවීම...චිත්‍රපටය තාත්තාගෙ කරගන්නවා..මේක ටීම් වර්ක් කියා නිතර කියනවා.

ඇත්තමයි අපෙ තාත්තාගෙ වැඩකටයුතුවල රිද්මයක් තිබුණා ...කැමරාකරණයේදී පවා හරිම සැලසුම් සහගතයි. සංස්කරණයේදි...අයියෝ.. රිදම් එකට පන්ච් කරන්නම ඕනා..එඩිටර්ගෙ අතට ගහල හරි නිවැරදි කරවනවා..සියයට සියයක සාධාරණයක් කරන්නයි තාත්තාගෙ එකම වෑයම.."

ඇය දෑස කඳුළට බරවෙයි..ඇස ඉනූ කඳුළ වහා පිසදාගන්නට ඕ වෑයම් කළද කටහඬ බිඳුණු හඬකි.

"අපේ ශිල්පීන් කෑමට ගිය පසුවයි අප කෑම ගන්න ඕනෙ...ඒක තාත්තාගෙ නියමයක්. හැමෝටම හරිම ආදරෙයි..

වැඩක් බාගෙට කරන සිරිතක් තාත්තා ළඟ නැහැ. තවමත් ඉන්නවා තාත්තා ට ගෙවීම් අතපසු කරපු අයත්. "

හෙතෙම දුම්වැටියට මත්පැනටද ආදරය කළේය..ඒ හැමටම වඩා තම දරු පවුලට කැපවී හුන්නේය..

"අපෙ අම්මා හයසින්ත් මාලනී මාන්නප්පෙරුම..එතුමිය බණ්ඩාරවෙල.. අම්මාගෙ කුමාරි මානෙල් සහෝදරිය. රඟපාන්න එනවිට අම්මා එනව ඇගේ තනියට...අපෙ අම්මායි තාත්තායි ගැන මුලදි විවාහ යෝජනාවක් තිබුණත් පස්සෙදි දෙන්නා එකතු වුණේ පෙම් සබඳතාවෙකින්.

සීයාත් අපෙ අම්මා ට හරිම ආදරෙයි.."

දයා...මාලනී යුවළ විවාහ වූයේ 1959 ක්වූ අගෝස්තුවේදී 14 වනදාය. අපේ කතා නායකයා සිනමාවත් තම පවුල් ජීවිතයත් සමබරව ගෙන ගිය උතුම් ස්වාමියෙකු සේම ගෞරවනීය පියෙකි...ඔහු නිවසෙහි පසුවන කළ බිරිඳ දරුවනට රස ගුලාවකි..තාත්තා හා දියණියෝ තිදෙනා යහළුවන් මෙනි..දියණියන් හැම දෙයක්ම කියන්නේ පළමුව තාත්තා එක්කය..

ඩිලන්ති නිල්මිණි ලොකු දුවය..දෙවැන්නිය මා සමග පිළිසඳරේ පසුවන වඩාත් ප්‍රියමනාප තැනැත්තියක වන ශිරන්තිය..තෙවැන්නිය දුෂාන්ති මෙනාකා ය..

ශිරන්ති සතුටින් හිනැහෙන්නී....අපෙ තාත්තාට පුතාලා නැති අඩුවක් තිබුණේම නැහැ.."

කැමරාකරණයේ අති දක්ෂයකුසේම අපේ කතා නායකයා සර්පිනාව..බටනළාව...මවුත්ඕගනය..වැයීමෙහි ප්‍රවීණයෙකි..ගායකයෙකි..එසේම නිපුණ චිත්‍ර ශිල්පියෙකි..මිතුරන් ද බොහෝය...

"අපෙ තාත්තා හැමවිටම සිනාසී ඉන්න කෙනෙක්. ඕනම ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් කෙනෙක්..හැමදේ ගැනම ඉහළම දැනුමක් තිබුණා ...අම්මා .. තාත්තා අපි හැමෝම පුදුම සමගියෙන් ...

හැමවිටම කිව්වෙ මට හොඳ නමක් තියෙනවනෙ..ඒ මගෙ නම කැත කරන්න එපා කියලා. අපත් එහෙමමයි.. කවදාවත් අපිව නිළියන් කරන හිතක් අපෙ තාත්තාට තිබුනෙම නැහැ. පවුලට බැඳුණු බෑණලාත් තාත්තා ට එයාගෙ පුතාලා වගේ..උදව් කරන්නමයි තාත්තාගෙ සතුට..

තාත්තා දුප්පත් පවුල්වලට නොකඩවා උදව් කරනවා..මං නැති කාලෙකත් ඒ උදව් එයාලට එහෙමම කරන්න කියා තාත්තා අපට කිව්වා..."

ශිරන්තිගේ දෑස කඳුළින් තෙත් වෙයි..ඕ සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගත්තාය...

අනතුරුව නැවතත් දිගු සුසුමක් හෙළුවාය..

"ඡායා කරන කොට අපෙ තාත්තාට සුළු හෘදයාබාධයක් ආවා..ආයෙත් බඹසර බිසව් කරද්දි හැදුණා...තිස්සමහාරාමයේ රෝහණ සිනමාහලට පිරිසක් ගිනි තිබ්බා කියන ආරංචියකින් තාත්තා ට දියවැඩියාව හැදුණා..එයින් තාත්තා කම්පාවට පත්වුණා. වකුගඩු අමාරුවත් ආවා..."

"අනේ..මේ තරම්..මේ වගේ ආදරණීය තාත්තෙක්...මේ වගේ රත්තරන් තාත්තා කෙනෙක් ආයෙත් හමුවන්නේ නැහැ...අපෙ රත්තරන් තාත්තා නැතිවෙද්දි මගෙ හුස්ම නැවතුණා කියල මට හිතුණා...."

අපේ ආදරණීය ශිරන්ති එසේ කීවේද බිඳුණු ස්වරයෙනි..

"අපේ සීයා සිරිසේන විමලවීරයන් ට අපෙ තාත්තා දයා විමලවීරයන්ට ඔවුන් ඉටුකළ දැවැන්ත මෙහෙවරට කෘතවෙිදිත්වය හිමිවුණාද කියා නිතර හිතෙනවා.." ආදරණීය ශිරන්ති ඉවත බලාගත්වනමය ...

චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ..තිරකතා රචකයකු...අති දක්ෂ කැමරා ශිල්පියකු ...දෙබස් රචකයකු..නිෂ්පාදකවරයකු ලෙසින් ලාංකේය සිනමාවට දිවිහිමියෙන් ඇප කැප වූ .....කාගේත් ආදරයටම බඳුන් වූ අපේ සොඳුරු කතා නායක දයා විමලවීරයන් අවුරුදු 81 ක් ආයු වින්දනය කරමින් 2019 ක්වූ අගෝස්තුවේදී 12 වනදා....කිසිවකු හට හෝ නොකියාම...හෙතෙම යළි නොඑනා නික්මන් ගමන් ගියේය.

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]