චිත්‍රපටවල විකටයා වගේ නෙවෙයි තාත්තා සැබෑ ජීවිතයේ ගම්භීරයි

දොන් සිරිසේනගේ දියණිය සුජීවා මධුරංගි සිරිසේන කියයි
අගෝස්තු 24, 2023

 

“අපේ තාත්ති තමන්ගේ දරු පවුලට අසීමිතව ගෞරව කරපු ...යුතුකම් වගකීම් ඕනෑවටත් වඩා ඉහළින්ම ඉටු කරපු රත්තරන් තාත්ති කෙනෙක්...අපෙ තාත්ති ගැන අපට අදටත් තියෙන්නෙ ලොකු ආඩම්බරයක් ...ගෞරවයක්..”

මෙවර අපේ සොඳුරු කතා නායකයා සොයා සරසවිය වෙනුවෙන් ගිය ගමනේදී මට හමුවූයේ රටක් සිනහවෙන් ඔප කළ අපූර්වතම රංගන සෝභාවකින් ප්‍රේක්ෂක සිත්සතන් වසඟ කළ ආදරණීය රංගවේදියකුගේ ආදරණීය දියණියක වන සුජීවා මධුරංගි සිරිසේන මහත්මියයි..

තම පියාණන් පිළිබඳව ඉමහත් සොම්නසකින් යුතුව මා සමඟ සුහද පිළිසඳරකට සූදානම් වන එතුමිය ප්‍රථමයෙන් සිය කටහඬ අවදි කරවූයේ සරසවිය පුවත්පත පිළිබඳ මහත්සේ අගැයීමකිනි.

“දැන් අපේම කියල සිනමාවක් නැහැනෙ..ආඩම්බර වෙන්නට පුළුවන් සිනමාවක් අපට තිබුණා.. වටිනා කලාකරුවන් රැසක්ම අපට උන්නා.. ඒත් ඒ වටිනා මිනිස්සු නැතිව ගියාට පස්සෙ එහෙමම ඒ මිනිසුන් ව අමතක කරල වගේ.. ඒත් එදා හිටිය ඒ අය ගැන නැවත මතක් කරමින් සිදුකරන වටිනා මෙහෙවරට සරසවිය පුවත්පතට හදවතින්ම පින් දෙනවා...ඒ අගය කියන්නට වචන මදි තරම්..”

සුජීවා එසේ මුවපුරා සිනහවෙන් කියන්නීය...

අපේ සරසවිය විශේෂාංගයෙන් මෙවර ඔබට හමුවන්නේ වරෙක චරිතාංග නළුවකු ලෙසින්ද වඩාත් ප්‍රේක්ෂක හදට හාස්‍යයෙන් පිරි රඟ සෝභාවකින් සමීප වූ අපේ ආදරණීය දොන් සිරිසේනයන්ය...

හෙතෙම උපන්නේ බොරැල්ලේය...උපන් දිනය වන්නේ 1933 ක්වූ ජූනි මස 22 වනදාය...උප්පැන්නයේ නම අරන්දර කංකානම්ලාගේ දොන් විමලදාස හෙවත් දොන් විමලදාසය..

ඔහුගේ පියාණන් වූයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් රැකියාව කළ සීදරං අප්පුය...මවගේ නම නොදනී..

8 දෙනකුගෙන් යුතු පවුලේ හත්වැනි පිරිමි දරුවා වූයේ අද අපට හමුවන මේ අපේ සොඳුරු කතා නායකයාය..හේ කුඩාවියේ දඟකාරය..දඩබ්බරය...ඒ කිසිවකු හට රිදවන්නට නම් නොවේ.. ඔහුට අක්කලා තිදෙනෙකි. අයියලා සිව්දෙනෙකි..එකම නංගියෙකි..

සිරිල් විමලදාස.. එකල දෙහිවල ප්‍රදේශයේ නමගිය සංගීතවේදියෙකි...එම නිවසේ බොහෝ සිසු සිසුවියන් එකතුව ඉගෙනුම ලබනා සංගීත පන්තියකි. එපමණක් නොව එකල පරසිදු කලාකරුවන් ද අඩු නැතිව එම නිවසෙහි පිරෙන්නේය.. අපේ ආදරණීය දොන් ගායනයට වාදනයට සිතැත්තකු වූ නිසාම සුසමයවර්ධන විද්‍යාලයේ ඉහළ පන්තිවල ඉගෙනුම ලබමින් සිටියදීම එම සංගීත පන්තියට එක්වූයේය...

එහිදී තබ්ලාව ද ඩෝල්කියද හේ මැනැවින් උගත්තේය..

සංගීත ගුරුතුමා වූ සිරිල් විමලදාසයන්ගේ එක් සොහොයුරියක වූයේ ඊනිට් කමලාවතී ප්‍රනාන්දු මෙනවියය.. අපේ දොන් එහි නිතර යයි..ඇයද නෙත ගැටෙයි...සිත ඇතිවෙයි...දෙදෙනාට දෙදෙනා නොදැනීම පෙම්වතුන් වෙති....පසුකලෙක ඔහුගේ සිය ජීවන සහකාරිය වූයේද ඕ තොමෝය...

අපේ ආදරණීය කතා නායකයා වයසින් අවුරුදු 14 සිට වේදිකා නාට්‍යයවල රඟපෑමට පිවිසියේ නළුවකු වීමේ සිතෙහි පැවැති සිහිනයක් නිසාදෝයි මම නොදනිමි.

ගායනයටද නිපුන් හෙතෙම නාට්‍යය රංගනයේදී ගීත ගායනා කරමින් රඟපෑවේය..

මම ඔහුගේ එකම දියණිය සුජීවාට සවන් දෙමි.

ඕ තොමෝ මුවපුරා සිනහවෙනි.

“අපෙ තාත්ති මුලින්ම සම්බන්ධ වුණේ මිනර්වා නාට්‍ය කණ්ඩායමටයි..මට මතක හැටියට ඒ කාලේ තාත්ති වේදිකා නාට්‍ය රැසකම විවිධ චරිත රඟපෑවා.. නාට්‍යවලදී ලස්සනට ගයමින් රඟපාලා තියෙනවා..කඩවුණු පොරොන්දුව නාට්‍යයේ වගේම පසුව කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේත් තාත්ති රඟපෑවා.. ආරියදාස පීරිස් මහත්මයා තමයි මුල්වරට තාත්ති ව දැකලා තාත්තිට චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලබාදීල තියෙන්නෙ.. ඒ චිත්‍රපටය ‘සෝබන සිත’...1965දි විතර...

ඒ කාලෙදි ආරියදාස පීරිස් මහත්තයා අපේ තාත්ති ගෙ උප්පැන්නයේ සඳහන්ව නැති සිරිසේන නම යොදල තියෙනවා..දොන් සිරිසේන නම තමයි සිනමාවට ඉතා සුදුසු නාමය කියලා.. ඉන්පස්සෙ ඉතිං දොන් සිරිසේන නමින් තාත්ති ඉදිරියටම ගියා..”

එසේ කී අපේ සුජීවා තවත් කාරණයක්ද සතුටින් කියන්නට වූවාය...

“රෝයි ද සිල්වා මහත්තයාත් රඟපෑ ‘සුජීවා’ කියන චිත්‍රපටය ආවේ 1972 අවුරුද්දෙනෙ...ඔන්න මමත් ඉපදුණේ ඒ කාලෙදිමයි...ඒ චිත්‍රපටයට තාත්ති කෙතරම් ආශා කළාද කියනව නම් මට ‘සුජීවා’ කියන නම තාත්ති දැම්මෙත් එය සිහිවෙන්නයි.

කවුරු හරි තාත්තිගෙන් ඇහුවොත් හොඳම දවස.වඩාත් සතුටුම දවස කවද්ද කියල තාත්ති හැම වෙලාවකම කිව්වෙ මගෙ දුව සුජීවා උපන්න දවස කියලයි.. ඒ ආදරය මට තවමත් දැනෙනවා...වගේ..ඒක මහ පුදුම ආදරයක්.. මගෙ මල්ලි සංජය අසංගටත් එහෙමයි...අම්මාටත් එහෙමයි...පුදුම ආදරයක්..”

අන්තිම වචන පෙළ ඇය කියන්නට වූයේ හැඟීම්බර හඬකින් තමන්ටම මෙනි..

මම ඈ දෙස බලා සිටිමි.. නෙත නැඟි කඳුළක් ඕ වහා ඇඟිලි තුඩගින් පිස දමන්නට වූවාය...සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය...

යළි ඕ කතා කරන්නි ඒ හඬ බිඳුණු ස්වරයකි.

“අපෙ තාත්ති සැබෑ ජීවිතයේ දී චිත්‍රපටවල ඉන්න එක්කෙනා නම් නෙමෙයි.. හරි ගම්භීරයි..ඒ කීවෙ අහංකාර ආඩම්බරකම් ගෑවිලාවත් නැහැ.. ඉක්මනට හිත උණු වෙනවා...තව කෙනකුගෙ දුකකදි පිහිට වෙන්න තිබුණෙ ලොකු ආසාවක්...

අපෙ අම්මායි තාත්තියි හරිම එකමුතුයි.. කවදාවත් තරහ වුණ දවසක් නැහැ... තාත්ති එයාගෙ දරු පවුලට හැමවිටදීම මුල්තැන දීපු කෙනෙක්..

මේ අහන්න අමල්...මටයි මල්ලිටයි වෙන වෙනම ගෙවල් දෙකක් හදල දුන්නා. ඒ ගෙවල්වලට අවශ්‍ය බඩුත් හදල දුන්නා.

මගෙ මල්ලි නම් තවම විවාහ වෙලා නැහැ...අපට කිසිම දෙයකින් අඩුපාඩුවක් නම් තිබ්බේම නැහැ...

ජනප්‍රිය නළුවකු කියන මාන්නයක් නම් තාත්ති ට තිබුණේම නැහැ...සමහරදාට අම්මා එක්කලම පොලට යනවා..අම්මා ව කවදාවත් තනි මග යවන්නෙ නැහැ. සමහරදාට තාත්ති තනියෙන් වැල්ලවත්ත සති පොළට යනවා..හොඳට බඩු තෝරලා ගන්නත් තාත්ති දන්නවා..ඒ තරම් එයා සරලයි”

අපේ සොඳුරු කතානායකයා තම එකම දියණිය සුජීවා ඉගෙනුම ලබන ගල්කිස්ස උසස් බාලිකාවටද දියණිය එක්ක යන්නේය.. ගුරු භවතුන් ද ළමෝද එතුමා දුටු විගස වැල නොකැඩී පාසල් මිදුලට දිවැවිත් නතරව සිනාමුසුව බලා හිඳී.. අපේ ආදරණීය දොන් සිරිසේන ඒ හැමටම සිනාමුසුව පසුවෙයි..ඔහුගේ එකම පුතු සංජය දෙහිවල ඇලීතියා අන්තර්ජාතික පාසලේය...එහිදීද සිදුවන්නේ අක්කාගේ පාසලේ මෙන් තාත්තිට ලැබෙන හරසර පිළිගැනීමම යැයි කල්තියාම සංජය පුතු දැන හිඳීන්නේය...දුවගේද පුතුගේද පාසල්වල ගුරු භවතුන් අපේ කතා නායකයා සමග එකමුතුය..

අපේ කතා නායක දොන්ගේ පියා විශාල දේපළකට හිමිකම් ඇත්තෙකු වුවද අපේ දොන් තම දිවියේ පසුකාලීනව ඒ කිසිවකට උරුමකම් කීවේද නැති.. තමන්ගේ මහන්සියෙන් තම සුඛ විහරණය සලසා ගත් පියකු බවද අපේ ආදරණීය සුජීවා කියන්නීය..

“අපෙ තාත්ති හිටියෙ ගල්කිස්ස දක්ෂිණාරාම පාරේ නිවසක.. අපෙ අම්මා කරගම්පිටියෙ...තාත්තිට මස්සිනාලාම හතර දෙනෙක්...අපෙ අම්මා ව විවාහ කරගත්තාට පස්සෙ කරගම්පිටිය මහගෙදරින් පිටමංව යනවාට අම්මාගෙ වැඩිහිටියෝ කැමති වෙලා නැහැ.. ඒ හන්දා විවාහයෙන් පසුව අම්මා තාත්තියි එහෙ තමා උන්නෙ.”

අපේ ආදරණීය කතා නායකයා දැන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේමය...චිත්‍රපට ගණනාවකි. වැඩිපුර රඟපෑවේ හාස්‍යය උපදවන චරිත නමුත් ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ හෙතෙම රඟපෑ කළු (දුෂ්ට) චරිතය අදටත් තතු දන්මෝ අගයති...එතුවක් ඔහු ඉදිරිපත් නොකළ අපූර්වතම රංගනයක් එහි තිබිණි ...

මේ අතරේදී අමරසෝම සමරක්කොඩි ලියන අපේ ආදරණීය දොන් සමඟ බී.එස් පෙරේරා ඇතුළු තවත් කීපදෙනකු එක්ව කළ ‘සිනා මුළුව’ විකට වැඩ සටහනක්ද ගුවන් විදුලියේ විකාශය කෙරිණි. එකල එය අසන්නන් අතිශයින් ප්‍රියකළ විමෝදාත්මක විකට වැඩසටහනක්ම විය...ඒවා පුහුණු වූයේ ඔහුගේ නිවසේදීමය.. පසුව ඩික්මන් වනිගසේකරයන් එම සිනා මුළුව ප්‍රසංග වේදිකාවට රැගෙන ගියේය...

බොහෝ ජනප්‍රිය නළු නිළියන් නිතර අපේ කතා නායකයාගේ නිවසට එති.. විමෝද වෙති.. ඔවුනට සංග්‍රහ සත්කාර බිරිඳ ඊනිට් කමලාවතී මහත්මිය අතිනි..රුක්මණී දේවී..ලිලියන්...ෆ්‍රෙඩී..බී.එස්..පියදාස විජේකෝන්..ගාමිණී ...රෝයි..සුමනා...ආදී තවත් බොහෝ කලාකරුවන් නිතර එහි එති..යති..

“මගෙ පළමුවන උපන් දිනයට ආපු දා සිට රුක්මණී දේවි ඇන්ටි අපත් එක්ක තිබ්බ හිතමිතුරුකම් එතුමිය නැතිවනතුරුම තිබුණා...

ඔය රූ ගතකිරීම්වලට දුර බැහැර යනවනෙ..දවස් ගණන් වෙහෙසිලානෙ එන්නෙ..දවසක් රුක්මණී ඇන්ටි කීවා..මහන්සි වෙලා එද්දි වාහනේදි හිතේ විස්වාසෙන් උරහිසේ හිස තියන් එන්න පුළුවන් හොඳ ගතිගුණ ඇති මහත්මයෙක් තමයි තාත්ති කියලා....තාත්ති ට හැමෝම හරිම ආදරෙයි..තාත්ති ළඟ තිබුණු මනුස්සකම හින්දාම වෙන්නැති.. කවුරුවත් තාත්ති ට දොසක් කියනව අපට ඇහිලාම නැහැ.. අහල පහල අය එක්කත් හරිම සුහදයි...මහත්මා ගතිගුණ එමටයි...ඒ නිසාම වෙන්නැති තාත්ති ට හැමෝම වගේ සමීපව හිටියේ...”

සුජීවා කියන්නීය...

හෙතෙම මත්පැනට දුම්වැටියට ඇති ආසාව විවාහයෙන් පසුව බොහෝ දුරට දුරස් වූයේය..ඉඳහිට පයිප්පය බොනවා මං දැකල තියෙනවා..වැල්ලවත්ත හිතවත් මුදලාලිලා දුම්කොළ හෙම තාත්ති ට ගෙනැත් දෙනවා.. ඒත් ඒ පුරුදු අත් හැරුණා...

අම්මාගෙ වගේම තාත්තිගෙ පැත්තෙ අයත් යමක් කරද්දී තාත්තිගෙන් විමසල උපදෙස් ගන්නවා.. එයාලා අතරේත් තාත්ති ට හොඳ පිළිගැනීමක් තිබුණා ..ආර්. ප්‍රේමදාස මහත්තයා තාත්ති ට බොහොම සමීපව හිටියා.. ඔය ගම්උදාව උත්සවවලටත් තාත්ති සහභාගි වෙනවා.. ඒ වුණාට අපෙ තාත්ති දේශපාලනය කරපින්නාගෙන හිටිය කෙනෙක් නම් නෙවෙයි..තාත්තිගෙ හොඳම යහළුවා කොලඹ මල්ශාලාධිපතිතුමා.. වජිරා චිත්‍රපටය කළ වයි.එම් කරුණාතිලක මහත්තයාත් තාත්ති ට සමීපයි.

“අපෙ තාත්ති උයන්නට හරිම දක්ෂයි.. ෂූටිං ගිහින් මාසය දෙක දුර ගිහින් ඉන්නවා.. ගෙදර ඉන්න දවස්වලදි අපට උයාදෙන්නෙ තාත්ති.. හරියට රසට උයනවා...

සුජීවා සතුටින් කියන්නීය.

ඒ මොහොතේ දීම ඇයගේ මුහුණ අඳුරු වී ගියාය..පෙර සිනහවද අතුරුදන් ව ඇත.

ඕ බිම බලාගත්වනම සිට මදෙස බලන්නීය..ඒ දෑසේ කඳුළකි.

“අමල්...අපෙ තාත්ති අපව තනිකර දාලා යනකොට මට වයස අවුරුදු පහළොවයි.. මගෙ මල්ලි ට දහතුනයි...ඒව මතක්වෙද්දි හිතට හරිම දුකක්.. අපෙ අම්මා ඒ දවස්වල හැඬුව තරම්... අපේ තාත්ති ගැන ඒ දුක තාමත් දැනෙනව වගේ.

ආගම දහමට තිබුණු භක්තියත් එහෙමයි.. කොහේ යන්නත් ගෙදරින් එළියට බහින්නෙ ගෙදර බුදු පහන තියලා...බුදුන් වැඳලා...පින් කරන්න හරිම කැමතියි..”

අපේ ආදරණීය කතා නායකයාගේ හැම කටයුත්තක්ම සැලසුම් සහගතය...දුර දිග බලන්නේය..

තමන් නැතිව ගිය කලෙක තම දරු පවුලට හව්හරණක් තිබිය යුතු යැයි ඇදහූ නිසාදෝ හෙතෙම මුදල් යහමින් බැංකුවල දමා තිබුණේය.. පහසුකම් සලස්වා තිබුණේය...

“ඇත්තමයි අමල්..අපෙ තාත්ති ට හොඳ මිනිස්සු ළඟ සිටියා..වික්ටර් වික්‍රමගේ..ඩග්ලස් රණසිංහත් නිතර ආවා..”

අපේ ආදරණීය සුජිවා විවාහ වුයේ 1994 දීය..ඒ වනවිට අපේ සොඳුරු ගුණ ලතාවෙන් හෙබි කතා නායක දොන් සිරිසේනයන් යන්නම්වත් නොකියා යන නොඑනා ගමනක ගොස් සිටියේය...ඔහු නැති ගෙදරට අප ගොස් පලක් නැතැයි කිසිවිටෙක නොසිතූ ඉහතදී නම් සඳහන් කළ ඒ සොඳුරු සිතැත්තෝ ඔහු සුජීවත්ව පසුවන කාලයේදී මෙන් සුජීවා​ගේ විවාහ මංගල්‍යයට ද පැමිණ නව යුවළට සුභ පැතූහ..

“බලන්න ඒ එදා අය ළඟ තිබුණු උතුම් මනුස්සකම.. තාත්ති නැති ගෙදරට අපි ගිහින් මොකටද කියා ඒ කවුරුවත් එදා එහෙම හිතුවෙම නැහැ.. හැමෝම මගෙ මංගල්‍යයට ආවා.. තාත්ති අදත් හිටියා නම් කියමින් එයාලා දුක්වුණා..ඒ කාලෙ අපේ නළු නිළියන් හරිම එකමුතුව හිටියනෙ...”

මෙහිදී මේ පිළිසඳරට මා සමඟ එක්වූයේ රංගන ශිල්පියකු වන ඩන්ස්ටන් නන්දලාල් මහතාය..

“එතුමා මගේ අම්මාගෙ (නන්දාවතී) බාල සොහොයුරා ...ඇත්තමයි තමන්ගෙ ගරුත්වය වගේම නළුවකුගෙ ගරුත්වයත් හොඳට රැකගෙන හිටිය හොඳ මහත්මයෙක්.. ඒ ටික බය නැතිව කියන්න පුළුවන්...

අපෙ මාමා හරිම සංවේදී කෙනෙක්.. තරහ යන්නෙ අහම්බෙන් ..ඔන්න අපි හිතමු ෂූටිං යන්න එන වාහනය පැය තුන හතරක් පමාවුණාය කියලා..ඇඳුම් මාරු කරල දාල ගෙදර ඉන්නවා..

ඒ වුණාට හැමෝම එක්ක හරිම සුහදයි..”

අපේ කතා නායකයාට ඥාති පුත්‍රයකු වන ඩන්ස්ටන් එසේ කියන්නේය..

ගුවන් විදුලියේ ප්‍රකට වයලීන වාදකයකු වූ එඩ්ගා පෙරේරාට සංගීත කණ්ඩායමක් තිබිණි ..එදා එහි ප්‍රකට ගායන ශිල්පීන්ද සිටි අතර අපේ ආදරණීය දොන්ටද එහි ගායකයකු වාදකයකු ලෙසින් හොඳ නමක් තිබිණි ..

“ඒවාට එක දිගට මාමාට යාගන්න බැරිවුණා චිත්‍රපටවලට යන්න සිද්ධ වුණ නිසා...”

ඩන්ස්ටන් තවත් දේ කියන්නේය..

අපේ ආදරණීය දොන් සිරිසේනයන් කිසිවකු පිළිබඳ ව කිසිවිටෙක දොසක් රහසේවත් නොකියයි..අනුන්ගේ ඇදකුද නොසොයයි..විපතකදී පිහිටට එයි...කා සමඟවත් වැඩිපුර කතාබහට නොයයි.ඇවැසි තැනකදී කතා කරයි.. වෙලාවට කලාවට වැඩ කරයි..චිත්‍රපට කරනවිට ඇතිවන සිද්ධීන් හෝ කිසිවකු සමගවත් නිකමටවත් නොකියයි..ෆ්‍රෙඩී..බී.එස්.. රෝයි ගජ මිතුරන්ය...ඔවුන් අතර පුදුම සමගියකි.

මේ තොරතුරු අපට කී ඩන්ස්ටන් මෙසේද කියන්නේය..

“මං කලාකරුවකුගෙ පින්කමකට ගියා. එතැනට ජෝ මහතාත් ඇවිත් උන්නා. ජෝ මහතා අපෙ මාමා ගැන කීවේ නළුවන්ට දොන් සිරිසේන මහත්මයා ගෞරවයක්ය කියලා..

ඉතිං අපෙ මාමා තබ්ලාවට ඩොලැක්කිය වාදනයට එහෙම රුසියෙක්..

බිත්තියෙ කැලැන්ඩරේ තමයි මාමා ෂූටිං වලට ආපු දින ලකුණු කරගන්නෙ..බැලින්නම් හැම තිස්සේම කැලැන්ඩරේ ලකුණු දින පිරිලා.. කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්තයාගෙ නිර්මාණ වලත් වැඩිපුර රඟපෑවනෙ.. හදවත් නැත්තෝ තමයි ඉහළම රංගනය අපෙ මාමගෙ...රෝයි ද සිල්වා මහත්තයාත් මාමාව හැම එකටම ගත්තනෙ..ටෝනි රණසිංහ මහත්තයා ඇවිත් මාමා එක්ක නිතර කතා කර කර ඉන්නව මං දැකල තියෙනවා..කතරගම රූමතිය නාට්‍යයේ මාමා කරපු ආමි කාරයාගෙ චරිතය ඉහළයි. ඔය සූර සරදියෙල් නාට්‍යයේ මම්මලේ නම් මුස්ලිම් චරිතයත් කාටත් මතකයි. සිවම්මා ධනපාල වගේ නාට්‍ය ගොඩක වගේම ටෙලි නාට්‍යවලත් රඟපෑවානෙ...අපෙ මාමා ඇත්තටම මහත්මයෙක්..අනුන්ගේ දක්ෂකමක් දැකපු ගමන් ඒක ප්‍රසිද්ධියේ අගය කරන මනුස්සයෙක්..

ඩන්ස්ටන් සිය මාමා ගැන කතා කරන්නේ මහත් අභිමානයකින් යැයි මට සිතේ..

අපේ ආදරණීය කතා නායකයා දියවැඩියාව හා වකුගඩු රෝගයෙන් පෙළෙන්නට වන්නේය...වරින්වර රෝහල් ගතවන්නේය.. මඳක් සුව අතට හැරෙන තැන යළිත් ෂූටින් වලට යන්නේය..

ඩන්ස්ටන් ද ඔහු සමීපයේය. තවත් වරෙකදී රංගන ශිල්පී බන්දුල ගලගෙදර (ෂෝට්) ඔහු ළඟය...

“බන්දුල අන්කල් තාත්ති ට හරිම ළැදියි..දෙන්නා එකට පාරෙ යනකොට මිනිස්සුන්ට හිනා යනවා..තාත්ති උසයි..බන්දුල අන්කල් ගොඩාක් මිටිනෙ..

තාත්ති රෝහලේ ඇඳේ ඉන්නකම් එන හැමෝටම කියල තියෙන්නෙ මං ගැනයි මල්ලි ගැනයි බලන්න කියලා...”

“තාත්ති රෝගාතුරව ඉන්න කාලෙදි අනේ අපරාදෙ කියන්න බැහැ..නළු නිළි සංගමය උදව්වට ආවා..විජය හා රවීන්ද්‍ර මහත්වරුන් එක්ව නාට්‍යයක් ප්‍රදර්ශනය කරවා ඒ ආදායම තාත්තිගෙ ප්‍රතිකාර පතා ලබා දුන්නා.. විජය ඇතුළු තාත්ති ට ළඟම සිටි අය වෛද්‍යවරුන් පවා තාත්ති ගාවට එව්වා...ප්‍රේමදාස මහත්මයත් උදව් කළා..

මගෙ ජීවිතේ ලස්සනම දවස දකින්න මගෙ තාත්තිට පුළුවන්කමක් තිබුණේ නැහැ...අපෙ අම්මාටත් තාත්ති ගැන තිබුනෙ ඉහළම සතුටක්..ආඩම්බරයක් ..තාත්ති නැතිවුණාට පස්සෙ නළු නිළි සංගමයෙන් අපේ ඉගෙනීමට අත දුන්නා..අම්මා ට රස්සාවක් ලබා දෙන්නත් ඇහුවා ..අම්මා කැමති වුණේ නැහැ.. එදා පුංචි අපි අපට ආදරයම දුන් අපේ රත්තරන් තාත්තිගෙ නැතිවීම කොහොම දරාගත්තාද කියා හිතාගන්නවත් බැහැ..

සුජීවා බිඳුණු ස්වරයෙන් කියන්නීය..

රෝගී බව උත්සන්න විණි..

එ වනවිට ඔහුගේ වයස අවුරුදු 52 කි.

අපේ ආදරණීය කතා නායකයා රෝහල් ගිලන් යහන මතදීම නොඑනා ගමන් නික්ම වැඩියේ.....

ඒ 1986 ක්වූ ජනවාරි මස 14 වනදාය...

 

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]