වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
තාත්තා මට නින්ද යනතුරු පිරිත් කියනවා

“ කලා ක්ෂෙත්‍රයේ රැඳී කුසලතා රැසකින් සුවිසල් මෙහෙවරක යෙදුණු මගේ තාත්තාගේ නම ඉස්මතු වන්නට නොදෙමින් යටපත් කරවන බවක් මට වැටහී තියෙනවා..එය හරිම අසාධාරණයක් ...””
ගීත රචකයකු ..තිර කතා රචකයකු ..අධ්‍යක්ෂකවරයකු...නිෂ්පාදකවරයකු...ලෙසින් කලා කෙත ඉහළම නමක් රඳවා තබන්නට එදා සමත් වූ හර්බට් එම්.සෙනෙවිරත්න නම් සම්මානිත රංගන ශිල්පියාගේ එකම පුත්‍රරත්නය දැන් මා සමඟ සුහද පිළිසඳෙර්ය....හෙතෙම නමින් චින්තන එම්.සෙනෙවිරත්න මහතාය..
සරසවිය වෙනුවෙන් ඔහු හමුවූ මොහොතේදී වඩාත් සතුටු සිතකින් බොහෝදේ පැවසූ දෑ අතර ඔහු වඩාත් අවධාරණයෙන් කීවේ අතීතයට සැඟවී ගිය කලාවට මෙහෙවර කළ ඇත්තන් පිළිබඳව නැවත රටට මතක් කරදෙන සරසවිය පුවත්පතටත් එහි කර්තෘතුමාටත්..ලියන මටත් හදවතින්ම කෘතවේදී වන බවමය....
අපේ අද කතාවේ සොඳුරු කතා නායකයා එක් කාලයකදී අතිමහත් ප්‍රසිද්ධියකට පාත්‍රව කාගේත් බුහුමනට ලක්වූ කුසලතා රැසකින් පිරිපුන් සොඳුරුතම මිනිසෙකි..ආරෝහ පරිණාහ දේහ සම්පත්තියකට හිමිකම් කී ඔහු සැබැවින්ම කරුණාවන්තය...සංවේදීය.නොගැළපෙන අසාධාරණයක් දුටුතැන ඊට එරෙහිව ද යන දැඩි සිතැත්තෙකි...
අපේ කතාබහේදී අපේ ආදරණීය චින්තන වරෙක සෝක වෙයි..වරෙක බිම බලාගත්වනමය ..හිසමත මහ බරක් ඇතිවාක් මෙන් පසුවෙයි..
තම මවත් පියාත් පිළිබඳව කතාබහේදී ඔහුටම නොදැන ඔහු දෑස කඳුළකින් තෙත්වෙයි. එය මට රහසේ පිසගන්නට ගන්නා අහිංසක වෑයමද අපතේ යයි...
“අපේ තාත්තා නැතිවෙනකොට මට වයස අවුරුදු එකොළහයි..මම මගේ තාත්තාව දෙයාකාරයකින් දකිනවා...එක් අතකින් බලනවිට මගේ තාත්තා විදිහට...දෙවන ආකාරයට නම් හර්බට් කියන පතාක යෝධයාගෙ රසිකයෙකු විදිහට...”
අපේ සදාදරණීය කතා නායකයා උපන්නේ 1923ක්වූ අප්‍රේල් මස 24 වනදාය...ඒ කොස්ගොඩ..මාදොඹේ ග්‍රාමයේය...කළුදර කැරොලයින් තාබෲ මහත්මිය එතුමාගේ මෑණියන් වූ අතර පියාණන් වූයේ කප්පින දේගිරි අන්දිරිස් මෙන්ඩිස් සෙනෙවිරත්න මහතාය..මේ මවුපිය දෙදෙනාට දූ පුතුන් හත්දෙනකු වූ අතර පවුලේ සිව්වැනියා වූයේ අපේ ආදරණීය කතා නායකයාය..ඔහුගේ වැඩිමහල් සොහොයුරා හෙක්ටර්ය..දෙවැන්නා වෝල්ටර්ය..තෙවැන්නිය කමලාය..සිව්වැන්නා අපේ හර්බට් ය.පස්වැනියා බැනට්ය. සයවැන්නිය විමලාය..බාලයා ඩැනිස්ටර්ය..
පුංචි හර්බට් මූලික අධ්‍යාපනයට බලපිටිය..සිද්ධාර්ථ විද්‍යාලයට ගියේ බලපිටියේ සිය නැන්දණියගේ නිවසේ සිටය..පසුව කොළඹ හාවර්ඩ් පෞද්ගලික විද්‍යාලයට පැමිණියේය ..ඒ එස්.එස්.සී විභාගයටය..උසස් අධ්‍යාපනයට මරදාන.. මහා බෝධි විද්‍යාලයට පැමිණියේය.. ලැබෙන හැම විවේකී තත්පරයම ඔහු අත රැඳුණේ පෑනක් හෝ පැන්සලයකි ...ලිවීමෙහි රුසියෙකි..එකල හෙතෙම පාසලේ කවි හා නිසඳැස් අපූරුවටම ලිවීමෙහි හපනකුම බවට ප්‍රකට වී තිබිණි .. පාසලේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුද වූ අතර පාසලේ සෑම නාට්‍යයකටම පාහේ ගීත ප්‍රබන්ධය වූයේ ඔහු අතිනි. බුදුදහම පිළිබඳව ද දැනුම් ඇත්තකු බවට පිළිගැනීමකට පාත්‍රවූ අපේ ආදරණීය හර්බට් විද්‍යාලීය සිංහල සාහිත්‍යය සංගමයේ සභාපතිධූරයද හෙබවූයේය..
“මගෙ තාත්තා ගැන මට ලොකු සතුටක් වගේම ආඩම්බරයක් හිතේ තියෙනවා...අමල් මේ අහන්න..මට තාම මතකයි. මං පුංචි කාලෙ නින්දට යන්නෙ තාත්තා ළඟ...තාත්තා මට නින්ද යනකම් මට ඇහෙන්න පිරිත් කියනවා..සමහරදාට මං අර ම්..ම්..ම්.. කියල පටන් ගන්න සින්දුව තාත්තා ට කියන්න කියනවා...එතකොට අමල්.. තාත්තා මට ඇහෙන්න “ආලෝකේ පතුරා..මුළු ලෝකේ ඔපලා..චන්ද්‍රා හෙමින් එයි නැඟී...”
ඒ තාත්තා ම ලියපු සින්දුව තාත්තා ම ගයනවා..මේ වගේ අමතක නැති තැන් බොහොමයි “...
“තාත්තා ලියපු සිසිර සේනාරත්නයන් මිහිරට ගයපු ඒ ගීතය මම අම්මා තාත්තා එක්කල ගමන් යද්දී මම ගයනවා..මට තාම මතකයි..තාත්තා ඒ වෙලාවට කාරෙක නවත්තලා මං ගයන ඒ සින්දුව නිහඩව ම අහගෙන ඉන්නවා...”
අපේ චින්තනගේ කටහඬ බොඳ වී ඇතිවාසේ මට ඇසෙන්නේය...
කුඩාවියෙහිදීම අපේ කතා නායකයා” යම්තම් බේරුණා” වේදිකා නාට්‍යයෙන් හාපුරා කියා රංගනයට පිවිසියේ ය..වයසින් අවුරුදු දහයේදී පමණ ගෙමිදුලේ අටවාගත් වේදිකාවක අහල පහල නෑ හිතවතුන් හා එක්ව රජ කතන්දර ගෙන ආවේය...
සැබැවින්ම හෙතෙම කුඩාවියේදී නම් දරදඬුය..මුරණ්ඩු ය...නොඑසේනම් පෙරළිකාරයෙකි..මේ නිසාම අයියණ්ඩියගෙන් තැලුම් කෑ අවස්ථා නම් එමටය..ඉරටු නැති පොල් කොළ මිටියෙන් මවගේ පහරදීම ඔහුට පවන් ගැසීමක් බඳුය..එකම වරක්වත් පහරක් දුන්නේ තාත්තා නම් නොවේ..
මම අපේ චින්තන දෙස බලමි..ඒ හඬ තවමත් බොඳව ඇතිසේය...සිය පියාණන් පිළිබඳව හිතපත්ලේ නිදන්ව ඇති අප්‍රමාණ භක්තිය..ආදරය අපේ සුහද පිළිසඳරේදී ඔහු නෙත කඳුළට බරවන්නේය.
“තාත්තා ට ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්..ඒ වගේම අමල්..සොබාදහම ට තාත්තා තුළ තිබුණු ආදරය නම් අදත් මට පුදුමය දනවන තරම්...
විවේක දවස්වලදි අපව තාත්තා ගමට එක්ක යනවනෙ.. මොකද..ඒ කාලෙම තාත්තා දකුණු පළාතේ කහව කියන ගමට පදිංචියට ආවනෙ..”
පවුලේ අයද කැටුව පැමිණි ඒ ගමන් වලදී අපේ සොඳුරු හර්බට් සැවොම සමඟ රාත්‍රියේදී නොවැරදීම මුහුදු වෙරළට යන්නේය..සියල්ලන්ගෙන් මඳකට ඉවත්වන හෙතෙම දුරස්ව හුදකලාව පසුවන්නේ ය..අහස් කුස සඳ බබළන්නේ...ඔහු එදෙසම බලාගත්වනමය ...එයටම හේ සමවැදුණාක් මෙනි..
“තාත්තා හඳට පුදුම විදිහට පෙම් බැන්ද කෙනෙක්..ගහකොළට..පරිසරයට ..තිබූ ඇල්ම අපි හොඳටම දැන සිටියා...”
හෙතෙම ලියූ ගීත අතරේ චන්ද්‍රයා අරබයා බොහෝ යෙදුම් සාක්ෂාත් කළේය..ඒ ඔහු එදා ලියූ ගීත අදටත් ආශක්ත වන තරමි.
“අර රමණී පෙම් හඳ ආකාසේ..
ආදරේ...
ඔබ මගේ ප්‍රේම රාජා වේ..
ඔබ මගේ ප්‍රේම රාජාවේ...”
පුෂ්ප පිපී අතු අග..මගේ ප්‍රේම කතාවේ...ආනන්ද ජවනිකා...අද හඬනව හිමියනි යසෝදරා... ආදරය නිසා...සාදු සිරිපා...පිදුරු සෙවිකළ...ගියෙ ඇයිද මාව තනිකොට...ආදී අදද යුගසවන්පත් මිහිරෙන් බරවන ගී ප්‍රබන්ධයේ රචකයා ඔහුමය..
කුඩාවියේ සිටම කවියට නිසඳැසට තිබූ සහජ කුසලතාව පසුකලෙක රසික සිත්සතන් වසඟ කරවන ගී පදවැල් බවට පත්විණි.
“මගෙ තාත්තාගෙ කලා ජීවිතයේ මුල් ඇරඹුම ගීත ප්‍රබන්ධයයි..ජෝති..ලතා..ධර්මදාස...හරූන් ලන්ත්‍රා ..මිල්ටන් පෙරේරා ..ඒ.ජේ කරීම්..බෙග් මාස්ටර් ..ජී.එස්.බී රාණි..සුජාතා අත්තනායක ..සිසිර..සේනාරත්න ...ඇන්ජලින්..සී.ටී ප්‍රනාන්දු ..ආදී තවත් ගායක ගායිකාවන් විශාල පිරිසකට තාත්තා ගී පදමාලා රචනා කොට දී තිබෙනවා ..ඒවා බොහොමයක්ම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ අදත් තියෙනවා..”
අපේ චින්තන කියන්නේය.
අපේ සොඳුරු කතා නායකයා මුල්වරට ගීතයක් ලියාදුන්නේ ගායනවේදිනිය චිත්‍රා සෝමපාල මහත්මියටය..චිත්‍රාගේ සොහොයුරකු වන මාකස් තම මිතුරකු වීමෙන්..ඔබ ලස්සනට ලියනවා..ගීතයක් මගෙ නංගිට ලියාදෙන්නැයි මාකස් කළ ඉල්ලීමකට අනුව එය ලියැවිණි..
“ලලිත කලා ඔපකරනා..
සීගිරි ළඳුනේ..ඇයි ඔබ තනි වී...”
එය මහත්සේ ජනප්‍රිය විණි. ඉන්පසුවය අපේ කතා නායකයා වෙතින් ගී පදවැල් ඉල්ලා ගායක ගායිකාවන් වැල නොකැඩී ඇදී ආයේ...
“අමල් ..ඔය ලලිත කලා ඔපකරනා” ගීතය යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ තේමා වාදනය බවටද පත්වුණා “”
අපේ චින්තන කියන්නේය.
“අපේ තාත්තා සෘජු අදහස් ඇති කෙනෙක්...කිසිවකු ඉදිරියේ නැමෙන සුලු ගති නැහැ..ඒ වගේම අනුන්ගේ විපතකදී හරියට හිත උණුවෙනවා...”
පවුලේ වෙනස්ම මඟක් ගත් අපේ කතා නායකයාට එම පවුලේ හැමදෙනාගෙන්ම ලැබුණේ ආශීර්වාදයමය...තවත් අයකුගේ ඉදිරි ගමනකදී අතහිත දීම තාත්තාගේ උතුම් ගුණයක්සේ දකින බවද චින්තන කියන්නේය.
පාසල් වියෙහිදීම තම මව සදහටම අහිමිව යාමෙන් ඔහු සිත කඩා වැටුණේය..ලෝකයේ දුකක් කියා දෙයක් තිරවම පවතින බවට ඒත්තු ගිය එකම මුල්ම අවබෝධයද ලැබුණේ තම ආදරණීය අම්මාගේ වියෝවය.ඒ 1939 දීය..
එතැන් සිට අපේ ආදරණීය හර්බට්ගේ එතුවක් පැවැති කෙළිලොල් දඟකාර බව කෙමෙන් පහවෙමින් ජිවිතය..අනාගතය ගැන ඕනැකමින් සිතන්නට හුරු වූයේය..
දැන් අපේ කතා නායකයා ප්‍රකට ගීත රචකයෙකි..දිනෙක “උමතු විශ්වාසය” චිත්‍රපටයට ගීත ලියවාගන්නට අපේ ආදරණිය කතා නායකයා හමුවන්නට ආයේ එවක පරසිදු නළුවකු වූ එඩී ජයමාන්නයන්ය. එම ඇරියුම පිළිගත් හෙතෙම ඉන්දියාවට ගියේය..
මුල්ම චිත්‍රපට ගීතය වූයේ “දුකින් පිරුණු මේ ලෝකේ කිම ආලෙ පානා..”නම් ගීතයය.ඒ 1951 දීය..
එහිදී එඩී ජයමාන්නයන් බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් මුණගැස්වූයේය..
“අයිසෙ...මිස්ටර් හර්බට් ..ගීත රචනාවලට විතරක් නෙවෙයි..ඔයා චිත්‍රපට නළුවකුටත් සුදුසුයි..”
ඔහුගේ කඩවසම් රුව දුටු තැන බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් එසේ කීවේය..
එතැනට ආයේ එදා කිරුළු පලන් රූපණවේදිනිය රුක්මණී දේවීය..
“ඔබ කැමතී ද මා එක්කල රඟපාන්න..”
ඕ තොමෝ විමසුවා පමණි.ඔහු හඬන්නට වන්නේය..ඒ දුටු රුක්මණී විමතියෙන් දෑස් දල්වා යළි විමසූවේ “ඇයි..රඟපාන්න අකැමැති ද කියාය..
“නැහැ..අකමැත්තක් නැහැ.
සතුටට මට හැඬුණා..”
හේ තතනමින් එය කියා ගත්තේය.
රුක්මණී මුවපුරා සිනහවූවාය...
“උමතු විශ්වාසය “ චිත්‍රපටයේ පියසේනගේ නම් ප්‍රධාන චරිතයට පණපෙවූ අපේ ආදරණීය කතා නායකයා රුක්මණී සමඟ රඟපාමින් ඊට සියලුම ගීතද රචනා කළේය...මේ වෙද්දි හෙතෙම ලියූ ගීත ගොන්නකින් රුක්මණී දේවියද ගායිකාවක ලෙසින් තවත් ඉහළටම නැඟී ආවාය..ඇයට වැඩිම ගීත සංඛ්‍යාවක් ලියූ රචකයා වන්නේද අපේ කතා නායකයාය.. රුක්මණී සමගින් “දොස්තර“ චිත්‍රපටයේද හේ රඟපෑවේය..ජයරුක් නිෂ්පාදනයෙන් සිරියලතා..දස්කොන්...රගපෑ අතර එහි ගීත රචනයන්ද ඔහුගේය..
විජිතා මල්ලිකාවන් ඉහළට නැගී ආ හිතට හිත චිත්‍රපටයේද හෙතෙම රඟපෑවේය. “වනමලට ආසාවේ” ගීතය අදත් මතකයේය..චිත්‍රපට ගීත සේම ගුවන් විදුලියේ ගීතද රාශියකි.
“අපෙ තාත්තා චිත්‍රපට නවයක පමණ රඟපෑවා..තාත්තා අලුත් වැඩකට අත ගැසුවනෙ”
චින්තන කියයි.
සුළු කාලයක් නිහඩව පසුවූ අපේ කතා නායකයා නිෂ්පාදකවරයකු ලෙසින් දොරට වැඩියේ “හඳපාන” චිත්‍රපටයෙනි. එහි චාලි නමැති චරිතයට ජීවය දුන් ඔහු සෙනෙහස චිත්‍රපටය සඳහා සරසවිය සම්මානයෙන් සම්මානිත වූවා පමණක්ම නොව හඳපාන වෙනුවෙන් තවත් සම්මානිත විය...
“පිදුරු සෙවිකළ පැල්පතේ ඇති.. ගීතය අදටත් ගීත රසිකයාගේ හදවතේය..
මම චින්තනගේ මුහුණ බලමි..හෙතෙම යමක් මතක් කරන්නාක් මෙනි.
“අපෙ තාත්තා බොහෝ අයට සිනමාවට එන්නට අත දුන්නා..කුහක සිතක් ගෑවිලාවත් නැහැ..සිරිල් වික්‍රමගේ මහත්මයාත් ගෙනාවේ අපෙ තාත්තා ..කලා ක්ෂෙත්‍රයේ හැම දෙනෙක්ම වගේ තාත්තාට දැක්වූයේ ගෞරවයක්...ගාමිණී ෆොන්සේකා මහත්මයා වුණත් තාත්තාට කතා කළේ හර්බට් අයියේ කියලයි. එතකොට විජය කුමාරණතුංගයන් උත්සවයකදී හමුවෙලා මගෙ නිකට ඇල්ලුවා.ඒ ගමන් එතුමා එදා කීවෙ මං ගොඩක්ම ආදරේ නළුවා තමයි පුතේ ඔයාගෙ තාත්තා හර්බට් කියලා..”
දැන් දැන් අපේ සොඳුරු කතානායක හර්බට් එම්. සෙනෙවිරත්නයන්ට රසික රසිකාවියෝ නොකඩවාම ලිපි එවන්නෝය..ඒ ලිපි අතර ඔහුගේ අත පතන්නියන්ද..ආදරය පතා ලියන්නියෝද..දිවිහිමියෙන් ප්‍රේම කරනා බවම කියන්නියෝද අඩු නැති..මේ ලියුම් සිය දහස් ගොන්න අතර එක් ලිපියක් වෙත ඔහු සිත ඇදී ගියා වැන්න..
ඇය ඔහුගේ සිනමා රංගනයට සේම ගීත රචනාවටද මහත්සේ පෙම් බඳීනා රුවැත්තියකි..
දෙදෙනාම ලියති..පිළිතුරු මග බලා හිඳීති..මෙකල මෙන් දුරකතන පහසුකම් එදා නැති.
ඇයට ගෙදරින් මනාලයකු සොයති...කල වයස උඹේ හරි බව කියමින් මැසිවිලි නගන්නී.. අම්මා ය.
අවසන ඕ සිය දියණියට තරහින් කීයේ “උඹ කැමති මනාලයෙක් ඉන්නවානම් ඒකවත් අපට කියාපන් දුවේ “ කියාය.
ඕ තොමෝ එක්වරම කීයේ තම සිත බැඳී පෙම්වතා ගැනමය..
“ඉතිං ගෙදරට ඇවිල්ලා යන්ඩ කියාපන්කෝ..අපටත් බලාගන්ඩ...”
එවර අම්මා කීවේ එසේය.
ඇයගේ ආරාධනයෙන් පෙම්වතා නිවසට පැමිණියේය..ඔහු දුටුවනම ඇයගේ අම්මා හිටි තැනම ගල් ගැසී ගියාක් මෙන් වී...
මේ පැමිණි ජනප්‍රිය චිත්‍රපට නළුවා මගේ ද ප්‍රියතම නළුවාය...තම දියණියගේ අතගන්නේ ඔහුම වීමෙන් අපමණ සතුටකට පත්වූ ඕ වරෙක හිත නැගි සතුට යටපත් කරගන්නට වූයේ දියණියට නළුවකු සමග විවාහය සුභදායී නැතැයි යන සැක සංකාවෙනි. මවගේ ඒ මතය දියණිය බින්දේ..
“එයා එහෙම කෙනෙක් නෙවි..එයා මට ගොඩක් ආදරෙයි අම්මෙ..”යැයි පවසමිනි.
අපේ ආදරණීය කතා නායකයාගේ සුරත හිමිවූ ඇය ස්වර්ණා ලක්ෂ්මි කන්නන්ගරය..පසුව සෙනෙවිරත්න වූවාය..ඕ තොමෝ රත්නපුරේ ය..
විවාහය සිදුවූයේ 1969 වසරේ දීය..
එම දෙපළගේ එකම පුත්‍රරත්නය වන ප්‍රකට රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ පසුවන..ගීත රචකයකුද වන චින්තන එම්. සෙනෙවිරත්න තවමත් ප්‍රිය මනාප සිනහවෙන් යුතුවම මා හා පිළිසඳෙර්ය...
අපේ කතා නායකයාගේ බිරිඳ ලක්ෂ්මි ද සිටු දියණිය චිත්‍රපටයේ කුඩා චරිතයකට පෙනී සිටියාය..
“අපෙ තාත්තා ගීත දෙදහසක් පමණ රචනා කළා...කොහොමත් මසකට ගීත 12 ක් 15 ක් ලියැවෙනවාමයි..
දන්නවද අමල්..අපෙ තාත්තා කවදාවත් මත්පැන් තොල ගාලා නැහැ..දුම්වැටිය ලියන කලාවට ඕන වුණා.
දවසක් හරි ම වැඩක් වෙලා තියෙනවනෙ.. පාටියකදි මත් වූ කෙනෙක් තාත්තා ට බොන්න බල කරලා..පස්සෙ තාත්තා කරුණාවෙන් කියල තියෙනවා..මං බොන කෙනෙක් නෙමේය කියලා. මේ මිනිහා මත්පැන් වීදුරුව එහෙමම තාත්තාගෙ ඔළුවට හලලා..තාත්තා එකයි එයාට ගහල තියෙන්නෙ..පාටියේ මුල්ලකට ඇද වැටිලා...”
චින්තන සිනාසෙන්නේය.
“උපයන හැම දෙයක්ම තාත්තා කළේම තම පරම්පරාවටයි..මිතුරන්ටයි. නැතිබැරි අයට තාත්තා පිහිටට එනවා...තාත්තා ට අම්මා තමයි ජිවිතය වුණේ..දෙන්නා හරිම එකමුතුයි..ඇරැව්වල පදිංචි වෙලා උන්නෙ..”
“” ඇත්තටම..තාත්තාගෙ ගීත රචනාවල ජීවිතය පිළිබඳව විවරණයක් පැහැදිලිව ම ගැබ්වී තිබුණා ..හැම වචනයකම ලොකු අරුතක් තිබුණා .
අපෙ තාත්තා ට ලොකු අසාධාරණයක් ..තාත්තාට පසු කලෙක කරලියට ආපු අය ගැන පවා සැමරුම් උපහාර පුද දෙනවා..හරිම කනගාටුයි .. ක්ෂෙත්‍ර කිහිපයකින්ම විශිෂ්ට දක්ෂතාවන් පෙන්වූ තාත්තාව බලධාරිනට අමතක වෙලා..කලා සංගම්වලට තාත්තා ව අමතක වෙලා වගෙයි..
හඳපාන ..සෙනෙහස..නිර්මාණත් සම්මානිත වුණා. මෙහෙම සම්මානිත වුණේ අධ්‍යක්ෂනයට..නිෂ්පාදනයට..ගීත රචනයට වගේම රංගනයට...ඇයි තාත්තාට මෙහෙම වෙනස්කම් කියා මට අදහන්න බැහැ”
චින්තන තිර හඬින් කියන්නේය.
සිය පියාණන් ලියූ ගීත රචනා සියල්ලම එකතුපහදු කොට මතු පරපුරටද දැකබලා ගනු රිසියෙන් අපේ චින්තන මේ වනවිට පියාගේ සියලු නිර්මාණයන් සංරක්ෂණය කිරීමට මහත් පරිශ්‍රමයක නිරත සිටී..
“මේ වෑයම ඉදිරි පරම්පරාවට මේවා තබන්නයි..අනික අමල්..මේ ගීත රචනා වෙනුවෙන් තාත්තා ළඟ මුදල් පරමාර්ථය තිබුණේම නැහැ...”.
.තාත්තා විවිධ පරාසයන් තුළ ගීත ලියූ කෙනෙක්..තම අත්දැකීම් ඇසුරින් ..වගේම ජන දුක සංවේදනාව හැඳීන ඒ ඇසුරින් ගී රචනා කළ කෙනෙක්..
සටනෙකී ජීවිතේ දැන්.””.ගීතය හදාරන්න..එවිට වැටහේවි තාත්තාගෙ සිතීමේ අවබෝධයේ තරම...එතරම් පුළුල්...”
චින්තන මෙලෙසද කීයේ චෝදනාවක ස්වරයකිනි.
“දැන් බලන්න..නොයෙක් කලා සංගම් තියෙනවා...ඒත් තාත්තා නැතිවී වසර 36 ක්..කෝ..කවුද.. කතා කළ යුතු ම එතුමා ගැන කවුද කතා කරන්නේ...?
තාත්තා ට දේශපාලන මතවාද නම් කවදත් තිබුණෙම නැහැ..තාත්තාගෙ වටිනාකම් තේරෙන්නෙ නැති හැටි..ගීත රස විඳීනවා..ඒත් තාත්තාගෙ නම නැහැ..හරිම අසාධාරණයි...”
කලාවට අපූර්වතම මෙහෙවරක යෙදුණු එතුමා පිළිබඳව කිසිවකු ආවර්ජනය නොකර පසුවීම සැබැවින් ම අකටයුත්තක් ම යැයි මටද හැඟේ...
මොරිස් විජේසිංහයන් ගයනා “අරුනලු නැඟෙනා”... හා ශිහාන් චන්ද්‍රසේකරයන්ගේ සංගීතයෙන් “ දෙවියනි ඔබ ඉන්නවා..”ඇතුළු තවත් ගීත 17 ක් පමණ සිය පියාණන් ගිය මඟ යමින් අපේ ආදරණීය චින්තන ගී රචනා ක්ෂෙත්‍රයට පිවිස සිටී..සරසවිය වෙනුවෙන් අප ඔහුට ඉතිසිතින් සුභාශිංසනය කළෙමු.
දැන් දැන් අපේ සොඳුරු කතා නායක තෙමේ වරින්වර රෝගාතුර වන්නේය..එක් දිනෙක රෑ මැදියමේ හෘදබාධයකින් පෙළෙන්නට වී..
වහා පවුලේ සැම රියක නංවා රෝහලට රැගෙන ගියහ...
කේන්දරේ පිළිබඳව ද දැනුම්වත් විස්වාසයක් ඇති හේ ජූනි මස 07 වන දවස පසුකලහොත් තමන් දිගුකලක් නොමැරී ඉන්නා බවම නිතර කියන්නට වූයේය..
“මං මේ ජූනි 7 දා මැරුණෙ නැතිනම් ආයෙ මේ හර්බට් එම්. සෙනෙවිරත්න ඉක්මනින් මරනවා බොරු...”
අපේ කතා නායකයා තිර හඬකින් කියන්නේය.. ජූනි 07 උදාව පස්වරුවට ළඟාව සවස්යාමයට පැමිණියේය. රෝහල් වාට්ටුවේ නේවාසිකව පසුවන හෙතෙම මහත් සතුටින් යුතුව තමන්ට උවටැන් කරනා තරුණයා දෙස බලා මෙසේ ද කියන්නට වී..
“ඒයි..මගෙ සුහද චේතනා චිත්‍රපටයේ ඉතිරි වැඩත් හෙට අනිද්දා වෙද්දී පටන් අරන් ඉවරයක් කරගන්න පුළුවන්..දැන් අද 7 වැනිදා සවසත් වුණා..දැන්ම මම මැරෙන්නෙ නැහැ. මාව දැන් කාලෙකට මරන්න බැහැ..තේරුණාද. ඉඳීන් මම ඇඟ සෝදාගෙන එනකම්..” යි කියා යන ඔහුට තරුණයා කෑ ගෑවේ..
“මහත්තයා මේ විකාර කරන්නෙපා..ඇඳට වෙලාම ඉන්ඩකො” යැයි කියාය.
හෙතෙම ඇඟපත සෝදා පැමිණ යළි වාට්ටුවේ ගිලන් යහනේ වැතිර ගත්තා පමණි..
සමීපයේම පසුවූ තරුණයා මහත්තයෝ ..කියාගත්වනම කෑ මොරදී හඬා වැටුණේය..
හෙළ සිනමාවට ....ගීත ක්ෂේත්‍රයට..විශිෂ්ට ගීත රචකයකු....චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු..නිෂ්පාදකවරයකු..තිර කතා රචකයකු මෙන්ම සම්මානිත රංගන ශිල්පියකු ලෙසින් යුග මෙහෙවරක යෙදුණු... මනුස්සකම දෝතින් පිළිගැන්වූ අපේ ආදරණීය කතානායක තෙමේ පිය බිරිඳ ලක්ෂ්මීටද එකම පුතු චින්තනට ද නොකියා නොදන්වාම.. කිසිවකුටත් නොකියා රහසේ නික්මන් ගමන් ගියේ එදා...1987 ක්වූ ජූනි මස 07 වන දා හැන්දෑයාමයේදීය..!
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල