වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
දරුවන් කලාවට යොමු කරන්න තාත්තා කැමැති වුණේ නැහැ

"අපේ තාත්තා ගෙදර ජීවිතයේදි වගේම කලා ජීවිතයේදිත් නිසි ගෞරවය රැකගෙන කටයුතු කළ සැබෑම තාත්තා කෙනෙක්. ඇත්තෙන්ම අපේ තාත්තා කවදත් අපට ලොකු ම ආඩම්බරයක් ..."
"සුදෝ පොඩ්ඩක් අඬන්න..
හරිම ආසයි බලන්න..
ඔයා ලස්සන හඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න..."
මගේ ළමා වියෙහිදී ගුවන් විදුලියෙන් නිතර ඇසුණු මේ ගීතය තවමත් මා මතකයේය....
"ඔන්න ඕලු මලක් නිල් දියමත පාවෙලා...
යාවි ඈගේ සුපෙම් බඹර රාජා සොයා.." ආදී ආදරණීය ගීත රැසක් එදා ඔබට තිළිණ කළ ...අද ඔබ හමුවට එන අපේ සොඳුරු කතා නායකයා ශ්‍රාවක සිත්සතන් තමන් වසඟයට ගන්නට තරම් සමත් වූ ජනප්‍රිය ගායකයෙකි.
සිය ගායන දිවියෙන් පරසිදු වූ හෙතෙම තවත් පියවරක් ඉදිරියට තබමින් හෙළ සිනමා රිදී තිරයෙන් ද අප හමුවට පැමිණියේය..නොඑසේනම් ප්‍රේක්ෂක සිත්සතන් හි ලැගුම් ගත් රංගවේදියෙක් වූයේය..
සරසවිය වෙනුවෙන් මම ඔහු පිළිබඳ යටගිය තතු සොයා ගියෙමි...මේ අන් කිසිවකු හෝ නොව.. ගායකයකු..නළුවකු ලෙසින් නම රැන්දූ අපේ ආදරණීය මොරිස් දහනායකයන්ය...නොඑසේනම් මොරිස් ට්‍රිලීෂියන් දහනායකයන්ය..
ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් දෙවන පුතු ගායන ශිල්පී සංජය දහනායක සිනාමුසු මුහුණින් යුතුව දැන් මා හමුවේය..
තම ආදරණීය පියාණන් පිළිබඳව වඩාත් අභිමානනීය සිතකින් යුතුව ඔහු කතා කරන්නේ යැයි මට හැඟේ...
අපේ සොඳුරු කතා නායකයා උපන්නේ ගාල්ලේය...දේශපාලන ලෝකයේ එදා දැවැන්ත චරිතයකට හිමිකම් කී ප්‍රකට දේශපාලනඥයකු වන විජයානන්ද දහනායක පරපුරේ ඥාතිවරයකු වූ ප්‍රකට ව්‍යාපාරිකයකුද වූ සැම්සන් දහනායක අපේ කතා නායකයාගේ පියාණන් ය..ඔහු ටවර්හෝල් යුගයේ ප්‍රකට රංගන ශිල්පියෙකි...ඔහුගේ ආදරණීය සහකාරිය වූයේ වැලිගම.. පොල්වත්තේ සැලීනා කරුණාරත්න වීරමන් යුවතියය..එම විවාහයෙන්...නොඑසේනම් සැම්සන් ..සැලීනා දෙපළ පුතුන් තිදෙනකුගේ හා දූලා දෙදෙනකුගේ මවුපියෝ වූහ...1932 ක්වූ දෙසැම්බර මාසයේ 11 වනදා මෙලොව එළිය දුටු එම දෙපළගේ වැඩිමහල් දරුවා වූයේ අපේ කතා නායකයාය...
පුතු සංජය දහනායක මදෙස බලාගත්වනමය ...මම ඔහුට සවන් දෙමි..
"ඇත්තමයි ...අපේ තාත්තා ගැන කතා කරන එකත් අපට ලොකු ආඩම්බරයක්.. එතුමා ඇත්තෙන්ම අපට ගෞරවනීය පියෙක්..."
අපේ ආදරණීය මොරිස් හා බැඳුණු යටගිය දවසක පුවතක්ද මා සිහි නැගෙයි..මීට වසර දහයකට පෙරදී මා සිටියේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේය...එහි රසඳුන එවක කර්තෘ සුනිල් මිහිඳුකුල මා ඇමතීය..
" යශෝමන් ..අපේ මොරිස් දහනායක අසනීප වෙලා ජයවර්ධනපුර රෝහලේ .. ගියොත් හොඳයි නේද.."
රසාලිප්ත ගායකයකු ලෙසින් ද මා සිතෙහි ජීවත්වන ඔහු සොයා කැමරා ශිල්පියකු ද කැටුව එදා එහි ගියෙමි...
එතුමා ගිලන් යහනේය..හොඳීන් කතාබහද කළේය...
"මේ නළුකම් වැඩක් නැහැ. මගෙ රස්සාව නිසා මට මගෙ දරු පවුල රැකගන්න ලැබුණා...ඔහු තවත් දේ එමොහොතේදී කීවා මතකය..
ප්‍රියමනාප සිනහවෙහි කතාවෙහි අඩුවකුදු නැති. අපේ කැමරා ශිල්පියාගේ ඡායාරූප කිහිපයකටද සතුටින් පෙනී සිටි හෙතෙම මා අත අල්වා ගත් ගමනින් කීවේ මේ ටිකය..
"කියන්න..මට මුකුත්ම එපා. මාව ඇවිත් බලලා යන්න කියන්න..මට ඒ හොඳටම ඇති. කියල කිව්වා කියන්න..."
ඒ හඬ තවමත් මට මතකය..
පුතු සංජය යමක් කියන්නට සැරසෙයි.
" ඇත්තෙන්ම අපෙ තාත්තාගෙ අන්තිම ආර්ටිකල් එක ලියුවෙත් ...මා සමග අද තාත්තා ගැන කරන කතාවත් ලියන්නෙත් ඔබතුමාමයි..ඒ නිසා මට මේ කතිකාව අද විශේෂයි..
ඒ එදා රසඳුන පත්තරේ තවමත් මා ළඟ සුරැකිව තියෙනවා.."
අපේ මොරිස් දඟ ළමයෙකු ලෙසින් ප්‍රකට වූවා පමණක් නොව කිසිවකුට පාලනය කරන්නට අසීරු දඩබ්බර දරුවකුම වූයේය..
" ඔව්..ඒක හරි...තාත්තා හරිම දඟලු..ඒ කාලේ..හැබැයි තාත්තා ට ඒ ළමා කාලෙදිත් චිත්‍රපටය සංගීතය වගේ දේවලට ලොකු පිස්සුවක් තිබුණාලු.ඒ කාලෙ ඉංග්‍රීසි චිත්‍රපට චැඩියිලුනෙ..අලුතින් චිත්‍රපටයක් කවද්ද එන්නේ කිය කිය බල බලා ඉන්නවාලු.. ඒ වගේම පාසලේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.. අපෙ ආච්චි තමයි ඕව අපට කීවෙ.."
ආනන්ද මහා විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලබන අවධියේදී ඇසදුටු කාගේත් හිත සසල කරවන සිදුවීමක් විය..එම පාසලේ තාප්පයෙන් කොටසක් හිටිහැටියේම බිම පතිත විණි. එසැණින් එතැන ගින්නක් හටගැනීමද බරපතළ කාරණයක් විය..ඊට සිසුවකු ද යටවීමෙන් දරුවන්ගේ මවුපියන් හඬාදොඩමින් එහි රැස්වෙද්දී අපේ ආදරණීය මොරිස් ගේ මවුපියන්ද එතැනට දිව ආයේ මහත් කලබලයකිනි. හැම මවක්ම පියෙක්ම සොයන්නේ තම දරුවාය..මොරිස් කොතැනකවත් නැති...තවත් විමසන කල දැනගන්නට ලැබුණේ උදේ මොරිස් පාසලට පැමිණි බවය. තවත් තැනකින් කියැවුණේ...එල්ෆින්ස්ටන් හෝල් එකේ අසෝකමාලා චිත්‍රපටය බලන්න ගිහින්" කියාය..
ඒ ඇසූ සැණින් මොරිස් ගේ ඥාතීහු දිවගොස් නැවතුණේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ඉදිරියේය...
චිත්‍රපටය පෙන්වන අතරේදී තිරය මත මෙලෙස සටහන්ව පෙනුණි...
"මොරිස් දහනායක මෙහි සිටීනම් වහා එළියට යන්න.."
එය දුටු අපේ මොරිස් සිනමාහලෙන් කඩිමුඩියේ එළියට ආවා පමණි.
ඔහුට දවල් තරු පෙනුණි..
අම්මා තාත්තාගේද බියටපත් ඥාතීන්ගේද මහවැස්සක්සේ වැටුණු පහර පිට පහරින් ඔහු හඬන්නට වූයේලු..
අපේ මොරිස්ගේ පළමු අධ්‍යාපනය කොළඹ කුරුඳුවත්ත මියුසියස් විදුහලෙනි...එහි පාසල් වේදිකාවේ "ස්ලීපින් බියුටි" නමැති නාට්‍යයේ කුමාරයාගේ චරිතයට පණදුන්නේද එදා හුරුබුහුටි සිසුවා අපේ මොරිස් ය..
වරින්වර අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් අපේ කතා නායකයා..ගාල්ලේ ශාන්ත ඇලෝසියස්...විද්‍යාලයට ඇතුළත් වී...එහි එකම බෞද්ධ ශිෂ්‍යයා ලෙසින් කතෝලික ගායක කණ්ඩායමේ ගී ගැයුවේය... ගීත ගායනයට පළමු ගුරුහරුකම් ලැබුවේ එහි ලැමෝෂියෝ පියතුමා වෙතිනි..එතැනින් ආනන්ද විදුහලට ආවේ ශිෂ්‍යත්වයකිනි..දඩබ්බරකම්වලද අඩුවක් නැති. නිසාවෙන්..එහිදී මවගේ පාර්ශ්වයේ ඥාතිවරයකුගේ මැදිහත් වීමෙන් යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහලට යොමු විණි. එහිදී වසරක් පාසා නොකඩවාම ඉංග්‍රීසි සාහිත්‍යය සම්මානයෙන් සම්මානිත වූයේ ගැටවර වියෙහි පසුවන අපේ මොරිස් ය..
මෙලෙසින් පාසල් අධ්‍යාපන ගමනේදී අපේ කතා නායකයාගේ පස්වන පාසල් අඩවිය වූයේ බොරැල්ල වෙස්ලි විදුහලය...
මෙහිදී ඔහුට හමුවූයේ එවක ප්‍රකට සංගීතවේදියකු..ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්නයන්ය.. සැබැවින්ම ඒ හමුවීම ඔහුට ආශීර්වාදයක්ම විය...මේ අතරේදී කලා ලොවෙහි සුපතළ ක්‍රිස්ටි ද මෙල්..කාන්ති වක්වැල්ල...චිත්‍රා සෝමපාල ..කිංස්ලි ජයසේකර ..ආදීන් අතර, මර්සලීන් ජයකොඩි ගරු පියතුමාගේ ඇසුරටද අපේ කතා නායකයා බඳුන් විණි..
අපේ සොඳුරු කතා නායකයා ගුවන් විදුලියට ගායකයකු ලෙසින් එක්වූයේය...ඔහුගේ ගායන දිවියට සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ අතහිතද නොඅඩුවම හිමිවිණි ...
මම සංජය දෙස බලමි..
"ඒ වෙද්දි අපෙ තාත්තා වයස අවුරුදු 18ක් 19ක් විතර ඇති..
ඒ කාලේ රේඩියෝ සිලෝන් කියලනෙ තිබුණෙ..තාත්තා ගෙ හඬට හොඳ පෞරුෂයක් තිබුණා .."
කරුණාරත්න අබේසේකරයන් ලියූ "බැඳීලා ප්‍රේම බැම්මේ ...
නොබලා කෙසේද ඉන්නේ.."ඔහුගේ ප්‍රථම ගීතය රේඩියෝ සිලෝන් හි විකාශය විය.. එක් රැයකින් මොරිස් දහනායක නම් ගායකයා රසික සිත්හි නිදන් වූයේය..
ගුවන් විදුලිය අසන්නන්ගේ වැඩිම ඉල්ලීමකට අනුව යමින් එදා විකාශය වූ ගීතධාරා සංගීත වැඩසටහනින් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හැදූ "ඔන්න ඕලු මලක්...නම් ඇන්ජලින් ගුණතිලක මහත්මිය සමගින් ගැයූ යුග ගීතයටද හිමිවුයේ මහත් ජනප්‍රියතාවකි.
""සුදෝ පොඩ්ඩක් අඬන්න..""
තම්බපණ්ණි ජන්ම භූමි..."" ""මෙත් මල් පිබිදේවා...""
""දුකිනි තනිවම ඉවත යන්නේ
මගේ ගම රට හැරදමා
හරිම ආසයි යන්න ඇත්නම්
තවත් සැරයක් ඔබ බලා...""
ගීතය සිරිල් ඒ. සීලවිමලයන් ලියා දුන් ගීත රැසක් අතරේ තවත් එක් ගිතයකි..සංගීතඥ පැට්‍රික් දෙනිපිටිය ද තම පියාට දුන් අනගි සහය අප පිළිසඳරේදී ආදරණීය සංජය කිහිපවරක්ම කෘතවේදී ව සිහිපත් කරමින් කියන්නේය..
"අපෙ තාත්තා මුලින්ම සම්බන්ධ වුණේ ගායනයටනෙ..තාත්තා ජීවත් වූ මරදාන පැත්තෙ තමයි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්ම හිටියෙ.
ගායනයට එන්නත් පෙර තමා ජෝති..මිල්ටන් ..හරූන් ලන්ත්‍රා ..කරුණාරත්න අබේසේකර ..ෆ්‍රෙඩි සිල්වා ආදීන්ගේ ඇසුරට තාත්තා පාත්‍රවුණේ..ඉතිං... ඔන්න අපෙ තාත්තා රටපුරා සංගීත ප්‍රසංගවලටත් යනවා..ජෝතිටත් ඉස්සෙල්ලා තාත්තා ගායන ලෝකයට ආවා වගේම තාත්තා බොහොම ජනප්‍රිය වුණා...1954 විතර තාත්තා මුල්ම ගීතය ගායනය කළේ..ඔන්න ඕලු මලක්..ගීතය නම් 1958 විතර..මට මතක හැටියට...
මට මෙහෙම මතකයකුත් තියෙනවා..එදා ගුවන් විදුලියේ වැඩ සටහනක් තිබුණා බුෂල්ස් කෝපි ආධුනික පැය කියලා...එහි ගායනයෙන් ප්‍රථමයා වුණෙත් අපෙ තාත්තා ...
එතකොට අමල්...තාත්තා ගයපු මුතු මිටක් පිරී ඇත්තේ....කියන ගීතය නම් ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ගැයූ ගීතයක්..
ඒක මං හිතන්නෙ 1972 විතර..
මං කීවෙ සුසිල් ප්‍රේමරත්නයන් තාත්තා ට බොහොම සමීපව උන්නානෙ..එතුමා ගුවන් විදුලියට යනවිට අපෙ තාත්තාවත් එක්ක යනවා..එදා එතුමා නමගිය ගායකයෙක්..එතුමාගෙ අත්වැල් ගායනයට තාත්තා ව සම්බන්ධ කරගෙන තියෙනවා..තාත්තා මුලින් ගයා තියෙන්නෙත් එතුමාගෙ රූ රැසේ අඳීනා ලෙසේ..කියන ගීතයයි.. ඒ අත්වැල වගේම බොහෝ අයගෙ සහය තාත්තාගෙ කුසලතාව නිසාම ලැබුණා කියල මට හිතෙන්නෙ.."
"ඒ කාලේ ගීත රචකයෝ වගේම කලා ක්ෂේත්‍රයේ අය මුදල් කියන තැන ඉඳලා නැහැ...ඒ අයට කලාව..නිර්මාණ වන්දනීයයි..අපෙ තාත්තාත් එහෙමමයි..ඔය මුදල් පසුපස්සේ නම් ගියේම නැහැ..."
අපේ සංජය කියා යන්නේය..
තම පුංචි පුතු ඔහු තුරුලේමය...දරුවා මදෙස බලා නුහුරු නිසාම හඬන්නේය ..සංජය දරුවා සනසවන්නේය...වෙහෙසට පත් පුංචා තාත්තා තුරුළේම නිදන්ට වූ තැන..දරු පැටියා යහනක තබා අපේ සංජය යළිත් පිළිසඳර ට එක්වන්නේය..
තම අතෙකින් රහසේ මෙන් තම දෑස පිසදාගන්නා දුටු මට හැඟුණේ තම තාත්තා පිළිබඳව අදටත් ඔහු සිත පිළිසිඳී ආදරයම ය...
කාලය ගෙවී ගියේය.
ප්‍රසංග වේදිකාවේ අපේ ආදරණීය කතා නායකයා දැවැන්තයෙකි...
සංගීත ප්‍රසංගයක් සඳහා මහනුවර ට්‍රිනිටි විද්‍යාලයට අපේ කතා නායකයාටද ඇරැයුම් ලැබී තිබිණි ..එහි ජෝති එම්.එස්..ආදීහු ඔහු සමඟය...
මින්පෙර නුදුටු අයෙකු අපේ සොඳුරු කතා නායකයා වෙත පැමිණියේය ..
"මගෙ චිත්‍රපටයක රඟපාන්න ඔබතුමාට ආරාධනය කරන්නයි මම මේ ආවේ..කැමතිදැයි හේ විමසීය..
දෙදෙනා අතර කෙටි සංවාදයකින් පසු හෙතෙම ඔහුට සමුදී ඉවත ගියේය..
එය පසුව අපේ කතා නායකයාට අමතකව ගියා වැන්න..
එහෙත් එදා කතා කරගත් අයුරින් ම නුවරදි හමුවූ තැනැත්තාගේ නියෝජිතයකු ඔහු හමුවීමට ආයේය..
"ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු. වූ සයිමන් මරවනාගොඩ මහත්තයා තමයි මාව එව්වෙ..අපේ චිත්‍රපටයට ගිවිසුම් අස්සන් කරමු "යි කී හේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් එමොහොතේදී ම මුදලක්ද ගෙවා දමා යන්නට ගියේය..
"එහෙම තමයි අපෙ තාත්තාට පාරා වළලු කියන චිත්‍රපටයෙ රඟපාන්න ලැබුනෙ ...මට මතක හැටියට අමල් ඒ 1969 විතර..දැනට වසර 54 කට පෙර....එතකොට තාත්තා ට වයස 37 යි..මුල් කාලයේදි හොඳ චරිත තාත්තා ට රඟපාන්න ලැබුණා ..ඉබේම වගේ තාත්තා පසුව දුෂ්ට චරිතවලට කොටු වුණා.."
අපේ පිළිසඳරේදී සංජය එසේ කියද්දි මට මතකයට ආයේ අපේ කතා නායකයා එදා ජයවර්ධනපුර රෝහල් වාට්ටුවේ සිට රසඳුන වෙනුවෙන් මට කී කතාවය..
"මිස්ටර් අමල්...මට නපුරු දුෂ්ට මුහුණකුත් නැහැනෙ.. ගොරෝසු කටහඬකුත් මට නැහැනෙ..ඒත් අධ්‍යක්ෂකවරු මාව ගත්තේම දුෂ්ට චරිතවලටමනෙ..." ඔහු සිනාසුණේය..
අපේ ආදරණීය මොරිස් විවාහ දිවියට සැපත් වූයේය...ඒ ඔහුගේ ජීවන සහකාරිය වූයේ රූ රැජිනක ලෙසින් කිරුළු පලන් අනුලා මානෙල් (අතුකෝරල) දහනායක මෙනවියය..ඕ තොමෝ මහනුවර ය.
ඡන්න සහ සංජය පුතුන් දෙදෙනාගේ ආදරණීය මවුපියන් වූයේ මේ දෙපළය..
" අපෙ අම්මා අපෙ තාත්තාගේ සෙවණැල්ල කීවොත් වඩාත් නිවැරදියි..දෙන්නා අතර පුදුම සමගියක් තිබුණා .....තාත්තාට හොඳම අත්වැල ...සවිය වුණේ අපෙ අම්මා ...අම්මා නම් කලාවට සම්බන්ධ නැහැ..ඒත් හැමදේකදිම තාත්තා ට ඉන්නේ අම්මා ..
( සංජය බිම බලා ගත්තේය.. ඒ නිහඬවමය...
අපෙ අම්මා අවුරුදු දෙකකට ඉස්සෙල්ල අපට නැතිවුණා. මගේ ඡන්න දහනායක අයියත් වයසින් අවුරුදු 54 දි නැතිවුණා..."
"අපෙ තාත්තා ගෙ කියල සහෝදරියන් අතරින් දැන් ඉන්නෙ රංජනී දහනායක විතරයි...
ඔයා දන්නවද අමල්.
ඉන්දියාවෙන් ප්‍රථම වරට අපේ රටට භරත නැටුම් කලාව ඉදිරිපත් කළේ පද්මිණී දහනායකයි. ඇය චිත්‍රපට කිහිපයකටම නැටුම් අධ්‍යක්ෂණය කළා...ඒ වගේම ඇය කුඩාවියේදි සැඩසුළං චිත්‍රපටයේ රඟපෑවා.. ඇය සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක්...ඇයට රටපුරා හොඳ සිසු පරපුරක් ඉන්නවා...පද්මිණී තාත්තාගෙ බාලම නංගි..ඇයත් දැන් නැහැ.. වයස 82 දි ඇය නැතිවුණේ..තාත්තාගෙ මල්ලිලා තමයි අජිත් දහනායක...රංජිත් දහනායක.."
අපේ ආදරණීය සංජයගේ හඬ බිඳුණු ස්වරයකි...
මම එතුවක් කතාව වෙනස් මඟකට ගන්නට වෙර දරමි.
"අපටත් ආරංචියි සංජය මහත්තයා ගායන කලාවට එකතු වුණාය කියලා..."
මම විමසුවෙමි.
සංජය සිනාසුණේය...
"ඔව්..මට ළඟම අයගෙන් නොයෙක්වර ඇරයුම් ලැබුණා ගයන්න කියලා..තාත්තාගෙ නිර්මාණ ආරක්ෂා කරනව වගේම ඒවා ඉදිරියටම ගෙන යා යුතුයිනෙ..ඒ ගමන යාමට හොඳ අවබෝධයක් තිබිය යුතුයිනෙ..
මගේ මෝනා මහත්මිය නිතර කියන්නෙත් ගයන්න..හොඳ පුහුණුවකින්...කියලමයි..තාත්තාගෙ නිර්මාණ ඉදිරියට ගෙනයන්න කියලා එතුමියගෙ ආශිර්වාදය නිතර මට ලැබෙනවා..
සංජය සිනාමුසු මුහුණිනි.
සංජයගේ ආදරණීය බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක වන චාමිකා කුමාරි දහනායක මහත්මිය ය..
"ඇත්තෙන්ම තාත්තා ඔය ගමන ආවෙ බොහොම අමාරුවෙන් ..ඒ නිසා ඒ ගීත නිර්මාණවලට සාධාරණය ඉටුවිය යුතුමනෙ.."
ඒ අනුව යමින් සංජය තාත්තාගේ ගීත නැවත ශ්‍රාවකයාට අසන්නට පණඩිත් අමරදේවයන්ගේ පුතු රංජන අමරදේව සමගින් සිය හිතමිතුරන්ගේ සංවිධානයෙන්..ඉකුත් මාර්තුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන රඟහලේදී "මිතු ගී සර" නමින් ගීත ප්‍රසංගය ඉදිරිපත් කළේය..
බොහෝ දෙනකුගෙන් කියැවුණේ අපව අතීතයටම කැඳවා ගිය බවය..
"මගෙ ඕස්ට්‍රේලියාවේ මිත්‍ර උපුල් සිල්වා ගෙ සංවිධානයෙන් ඔක්තෝම්බර මසදී අපේ මීළඟ ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ පවත්වන්න සූදානම් වෙනවා..
සංජය තාත්තා ගැන යළි කතාවට වැටුණේය...මම අසා හිඳීමි.
"අමල්...ඉස්සර ඉතිං අපෙ ගෙදරට ආවෙ නැති නළුවෙක්..ගායකයෙක් නැති තරම්..තාත්තා ට ගොඩක් යාළුවොත් උන්නානෙ..අපෙ තාත්තා කොතැනකට ගියත් දොර ඇරෙනවා...තමන්ගෙ ගෞරවය රැකගෙන හැමදේම කෙළේ..
පාසල් දිවියෙන් නික්ම යාමත් සමඟම විධායක ශ්‍රේණියේ නිලතල හොබවමින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේද තවත් රාජ්‍ය ආයතන රැසකම ඉහළම තනතුරු හෙබ වූ බවද පුතු සංජය කියන්නේය...
"ගාමිණි ෆොන්සේකා තාත්තා එක්ක හරිම යාළුයි..අපෙ ගෙදරත් එනවනෙ..කොයි තැනදි දැක්කත් ගාමිණී තාත්තා අමතන්නෙ හෙලෝ මොරිස් අන්කල් කියලනෙ..තාත්තා අමතන්නෙත් හෙලෝ ගාමිණී අන්කල් කියලයි..විජයත් නිතර ආවා..
"අපෙ තාත්තා පිනට දහමට හරිම ලැදියි..අම්මාත් තාත්තාව ඒ පැත්තටම යොමු කරවනවා මට මතකයි..මේ ගෙදරට පදිංචියට ආපු වෙලාවෙ ඒ එක්කම තාත්තා ගියේ ගමේ පන්සලට...හාමුදුරුවරුත් තාත්තා ට ලැදියි..."
මා කළ විමසුමකට පිළිතුරු දෙමින් සංජය කියන්නේ...
"අපෝ නැහැ අමල්...කවදාවත් තාත්තා අපව කලාවට යොමු කරවන එක වචනයක් දීලා නැහැ...කලා ලොවේ තරම තාත්තා දන්නවා..ජනප්‍රිය චරිත වුණාම සාමාන්‍ය විදිහට ජීවත්වෙන්නත් අමාරුයිනෙ...ඕවාට ගියාම අපේ ජීවිත බිඳී යාවි..කැඩී යාවි කියා තාත්තාට හිතෙන්න ඇති..."
පරණ කාසි එකතු කිරීම අපේ ආදරණීය කතා නායකයාගේ විමෝදාංශයකි..පොතපතට ඇත්තේ බලවත් ඇල්මකි.
භාරතීය ගායක මුකේශ් ඔහුගේ ආදරණීය ගායකයාගේ හින්දි ගී අසන්නට නම් ඔහු දැක්වූයේ නොතිත් ආශාවකි..
"අපි තාත්තාගෙ ගීත සෑහෙන කාලයක් අහන්නෙ නැතිවම උන්නා..තාත්තාගෙ හඬ ඇහෙද්දි අපෙ අම්මාට දුක වාවාගන්න බැරි නිසා...තාත්තාගෙ ගීත වලට වයස අවුරුදු 40ක් 50ක් වුණත් තවමත් මිනිස්සු ඒ ගීතවලට ආදරෙයි...තාත්තා ගයපු අපි අහලවත් නැති ගීත සෑහෙන්න තියෙනවා..ඒ කාලෙ අද වගේ තාක්ෂණයක් නැහැනේ..."
ව්‍යාපාරිකයකු වන අපේ සංජය අතිශයින් ප්‍රියමනාපය...ඔහු යමක් කියන්නට සැරසෙයි.
"දන්නවද අමල්..අපෙ තාත්තා හරිම පරිත්‍යාගශීලී මනුස්සයෙක්..ඔය අසරණ වුණු කලාකරුවන් ගැන දැනගත්තාම ගිහින් උදව් කරනවා..
එක ජනප්‍රිය ගායකයකුට වේදිකාවට අඳීන්න හරි ඇඳුමක් නැතිව තාත්තා උපකාර කළා..
"අමල් මගෙන් අසන ප්‍රශ්නයට මගේ පිළිතුර අපෙ තාත්තාගෙ ආදරය අංක එකට ගායනයයි..නළුකම දෙවන තැනට..."
සංජය සිනාසී කියන්නේය..
අපේ සොඳුරු කතා නායකයා රෝගාතුර වන්නේ අහඹුවෙනි..නීරෝගී සම්පත්තියෙන් අනූනය...
"ඔව් අමල් ..තාත්තා දුම්වැටියට නැහැ..ඉස්සර නම් කරල තියෙනවා..මත්පැන් ගත්තත් හොඳ ස්වයං පාලනයක් තාත්තා ට තිබුණා ...මාස හයක් මත්පැනින් තොරවී ඉන්නවා..."
අපේ ආදරණීය මොරිස් දහනායකයන්ට මුලදී දැනුණු අපහසුතා තනිවම දරා ගත්තේය..
තමන්ට මෙහෙම අසනිපයක් යැයි පවුලේ කා සමඟවත් නොකියන්නේය..
ඒ ඔහුගේ හැටිය...
ගන්නා ආහාර උගුරින් පහළට නොයයි..මේ ගෙවී යන්නේ අපේ ආදරණීය කතා නායකයාගේ 82 වන වියය..
වරින්වර ප්‍රතිකාර ලබන නමුත් නිට්ටාවට සුවය පරදවා කායික අපහසුතාවෙන් හෙතෙම පෙළෙන්නට වී...
දිනෙක වඩාත් රෝගාතුර වූයෙන් වහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි..දින කිහිපයක්ම ගිලන් යහනේය...
"මං නැතිවුණාම පැය 24 න් කටයුතු ඉවරයක් කරන්න..
විකාර කරන්න තියාගන්න එහෙම එපා..."
හේ බිරිඳ ට..දරුවනට කල්තියාම කියා සිටියේය..වාට්ටුවට වැඩම කළ පැවිදි උතුමන් වෙත අටපිරිකර පූජාවට අපේ කතා නායකයාගේ අත ගස්වන්නට වෙද්දි ඔහු හිමියන්ගේ අත අල්වා ගත්තේය...
ශෝචනීය එදවස 2013 ක්වූ ජුලි මස 26 දාය..
එදින රාත්‍රියේදී ජයවර්ධනපුර රෝහලින් නිවසට ලැබුණු පුවත සිත් කම්පා කරවන සුලු විය...
අපේ සොඳුරු කතා නායකයා...ගායකයකු ..නළුවකු ලෙසින් රසික හදවත්හි දිවිගෙවූ අපේ මොරිස් දහනායකයන් ඒ වනවිට දෑස පියාගත්වනම නොකියාම කොහේදෝ නික්ම ගොස් සිටියේය....!
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල