වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
අම්මා තාත්තාට දුන් ගෞරවය කිසිදා පලුදු කළේ නැහැ

"අපේ තාත්තා හැමදාමත් හරි හම්බ කළේ මිනිස්සුමයි..අනේ කවරදාකවත් සල්ලි පසුපස්සේ නම් දුවපු කෙනෙක් නෙවෙයි.."
ඔහු චිත්‍රපට ගොන්නක රඟපෑවේද නැති..සිය ජීවිතයේ මැද හරියේදී පමණ රංගන දිවියට පිවිස සිනමා රිදී තිරයේ සේම රූපවාහිනි තිරයේද ඉහළම නමක් දිනාගන්නට සමත් ව ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේය...තමන්ට නිරූපණය කරන්නට ලැබෙන චරිතයට ඉහළම සාධාරණය ඉටු කිරීමට සමතකු වූ නිසාදෝ රසික සිත්සතන්හි අපේ මේ සොඳුරු කතා නායකයා අදටත් ජීවමානය...ඒ හඬ පෞරුෂය ගැඹුරුය...චරිත නිරූපණයේහි ප්‍රතාපවත් බවද එලෙසමය...
සරසවිය පාඨක රසවතුන් වෙනුවෙන් මෙවර කතා නායකයා පිළිබඳව විමසමින් පසුවන අතරේ මට හමුවූයේ අසෝක පීරිස් නම් ප්‍රතාපවත් රූපණවේදී එතුමාගේ දරුවන් තිදෙනා අතර එකම දියණිය වන මේනකා ද මැල් (පීරිස්) මහත්මිය ය..ඕ තොමෝ සිය පියාණන්සේම කලාවට සිතැත්තියකි...
සමන්තැන්න...බයිසිකලේ...ඉරට හඬන මල්...අඹ යහළුවෝ... දොළොස් මහේ ගංගාව...ආදී සිනමා හා ටෙලි වෘත්තාන්ත රැසක මතක හිටින චරිතයක්ම බවට පාත්‍රවූයේය...මට හමුවූ මේනකා සරසවිය පුවත්පත වෙනුවෙන් සිය පියාණන් පිළිබඳව කතාබහ කරන්නට සැරසෙන්නීය...තම පියාණන් පිළිබඳව ඈ තුළ අදටත් පවතින්නේ අව්‍යාජ ගෞරවනීය හැඟීමක්ම යැයි මට හැඟෙයි...මේනකා සිනාපිරි මුවිනි..
අපේ ආදරණීය කතා නායකයාගේ උප්පැන්නයේ නම හරිස්ප්‍රිය අසෝක පීරිස්ය.. ඉපදුණේ රාගම දීය..උපන් දිනය වූයේ 1942 ක්වූ මාර්තු මස පස්වනදාය..විල්ටන් පීරිස් ඔහුගේ පියාණන්ය...මෑණියන් කැරොලයින් පීරිස් ය..මේ මවුපිය දෙපළට දරුවන් තිදෙනකි. ලොකු දුව මානෙල් බීචම් ය..බාල දියණිය (රාණී) රන්සිරිනි ය. අපේ කතා නායකයා මේ කියනා දෙසොහොයුරියන් ට අතරමැදියාව උපන් අසෝක පීරිස් ය..
අපේ ආදරණීය මේනකා තවමත් සිනාවතිනි..මම ඇයට සවන් දෙමි.
"අපේ තාත්තා ඉගෙනුම ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන්...ඇත්තමයි අමල්...පාසල් සමයේදී...කුඩා කාලයේදී නම් අපේ තාත්තා මහා දඩබ්බරයෙක්ලු...දඟ වැඩ ඉවරයක් නැතිලු...ඉගෙනුමටත් යම් දක්ෂතාවයක් පෙන්වල තිබුණත් අපෙ තාත්තා ට ගොඩක් දුරට ඉගෙනීම කරගන්න බැරිවී තිබෙනවා...
මොකද දන්නවද...අපෙ තාත්තාගෙ තාත්තා ..අපෙ සීයා නැතිවෙලා තියෙන්නෙ අපෙ තාත්තා ඉගෙනුම කළ කුඩා අවධියේදීමයි....පවුලේ අම්මායි..අක්කයි නංගියි රැකබලාගැනිම තමයි එදා ලොකුම ගැටලුවක් වෙලා තිබුණෙ. ආදායම් මගකුත් නැහැ...තාත්තත් නැතිවෙලා නිසා පවුලේ බර කරට ගන්න එදා තාත්තා ට සිද්ධ වෙලා තියෙනවා.
කොහෙන් කොහොම හරි පාසල් ගමන අතරමග ඇන හිටලා...පොඩි පොඩි ව්‍යාපාරවලට අත ගැසුවා..රස්සාවක් කරන්න ලෑස්ති වුණා...."
අපේ කතා නායකයා සේම එම පවුලේ සැවොම භක්තිමත් කතෝලිකයෝය...ශුද්ධ වූ එමැනුවෙල් දේවස්ථානයේ හැම විවේකයම පසුවන්නේය...
ඔහු රංගන කලාවට දේවස්ථානය
මුල් වී තියේ...දේවස්ථානයේ නාට්‍ය ..සංගීත කටයුතුවලදී ඔහුට වැඩ කටයුතු අධිකය...දේවස්ථානයේ නාට්‍ය රැසකම හෙතෙම විවිධ චරිත නිරූපණය කළේය...පාසල් වේදිකාවේ ද ඔහු නළුවකු බවට පත්ව නමක් දිනාගත්තේය...ගායනයටද පිවිසියේය...පසුකාලීනව ගායනයෙන් දුරස් වූයේය... දේවස්ථානයේ තරුණ සංගමය නාට්‍ය තනන අතර එහිදී අපේ අසෝක පීරිස්ටද විවේකයක් නම් නැති..
"ඉතින් අමල්..අපෙ තාත්තා ට ඉගෙනීම අතරමගදි ඇනහිටිය එක ගැන නම් තාත්තා ගෙ අම්මාට දරාගන්න බැරිතරමට දුක් වෙලා තියෙනවා..තාත්තා ට බලකරලම උසස් පෙළ විභාගයට යොමු කරවලා තියෙනවා..."
මේනකා තාත්තා ගැන බොහෝ දේ කියන්නේය..තම මවත් සහෝදරියන් දෙදෙනාත් පෝෂණය කිරීමේ වෑයමින් හෙතෙම බොහෝ තැන්වල රස්සාවට ගියේය...ඒ අතර බවර් සහ සමාගමේද වැල්ලවත්තේ රෙදි කම්හලේද රස්සාව කළේය..පල්ලියෙන් ලද බොහෝ දෑ අතරින් විනය පිළිබඳව ඔහු තුළ තිබුණේ මනා ශික්ෂණයකි...
ඔහු පාසල් වියෙහි සිටම පොතපත කියැවීම විමෝදාංශයක්සේ ම වූයේය..ඒ නිසාම පසුකලෙක ඔහු කෙරෙන් විද්‍යාමාන වූයේ පරිණත බවෙකි...පාසලින් අතරමග සමුගන්නට සිදුවුවද දැනුම සෙවීමේ උතුම් අරමුණින් හෙතෙම කිසිවිටෙකවත් බැහැර නොවීය...
ඒ ගැන අපේ මේනකා කිවේ මෙලෙසිනි.
"අපෙ තාත්තා ළඟ සෑම විෂයක් ගැනම ඉතා හොඳ දැනුම් සම්භාරයක් තිබුණා ..ඒ පොතපත පරිශීලනයෙන්...ගෙදර තාත්තාගෙම පුස්තකාලයක් තිබුණා ..එකමදේ වුණේ නිතරම පොතපත කියැවීමයි...ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ගැන මනා දැනුමකුත් තිබුණා ..."
ඕ තොමෝ සිය පියාණන් පිළිබඳව හද තබා සිටින්නේ මහත් භක්තිමත් හැඟීමකි.
අපේ සොඳුරු කතා නායකයා වැල්ලවත්ත රෙදි කම්හලේ සේවයෙහි නිරත වූ බව පෙරදී සඳහන් කළෙමි...දෛවෝපගත දෙයක් සිදුවූයේ එම වකවානුවේ දීය...ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හදිසියේම ඇස ගැටී තිබුණේ මේ අපේ අසෝක පීරිස් නම් අපේ ආදරණීය කතා නායකයාය..
ඔහු දැකුමෙන් ඇතිවූ පැහැදීම කොතෙක්ද යත් දෙලොවක් අතර චිත්‍රපටයෙන් ඔහුව සිනමාවට පිවිසීමට වරම් ලැබුණේය.
එම ඇරියුමින් මහත් සොම්නසට පත්වූ හෙතෙම එකසිතින්ම කැමැත්ත පලකර සිටියේය... පසුව තණගිරවි චිත්‍රපටයේ නීතිඥ චරිතය වෙනස් වී ඔහුට හිමිවූයේ වෛද්‍යවරයකුගේ චරිතයකි.. ඉන් අපේ ආදරණීය කතා නායකයා ගැන රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු විමෙන් හෙතෙම සිනමා සහ රූපවාහිනී නළුවකු බවට පාත්‍රවූයේ එලෙසිනි..
"අපේ තාත්තාට පත්තර කියවන්න පුරුද්දක්ම තිබුණා ..පත්තරේ අතට ගත්තාම එහි එක අකුරක් නෑර කියවනවා...මට තවම මතකයි..."
දියණිය මේනකා පවසන්නීය ...
දැන් අපේ කතා නායකයා රටම දන්නා චරිතාංග නළුවෙකි...සමන්තැන්න..බයිසිකලේ ආදී ටෙලි සිත්තම්වල රංගනයෙන් වඩාත් රසික සිත වසඟ කළේය..
කවුරුත් ඔහුට ප්‍රියමනාපය..ඒ ඔහුගේ අව්‍යාජ ගතිපැවතුම් නිසාවෙනි..මනුස්සකම ඔහු සිතපුරා පිරී තිබිණි ...
ඉගෙනුම ලබනා වියෙහිදීම ඔහුට දැන හඳුනාගන්නට ලැබුණේ එක් රූමත් පාසල් යුවතියකි...ඕ ඔහුගේ ඇසුරේමය...මිතුදම් පෙම්පුවතකට බඳුන් විණි..ඉගෙනුමට හපනියක වූ ඕ තොමෝ උසස් අධ්‍යාපනයට පිවිසෙමින් විශ්වවිද්‍යාලයටද ..එතැනින් උපාධිධාරිණියකව ඉංග්‍රීසි විෂය පිළිබඳ ගුරුවරියක ලෙසින් ගුරු පත්වීමකට වරම් ලද්දාය...
ආදරයක මහිමය..! අපේ ආදරණීය කතා නායකයා පසුව විවාහ වූයේද ඇය සමඟිනි. එනම් 1964 ක්වූ අප්‍රේල් මස 26 වනදාය...එම විවාහයෙන් එම දෙපළ දරුවන් තිදෙනකුගේ මවුපිය යුවළක් බවට පාත්‍රවිණි..
ලොකු පුතු නොඑසේනම් අපේ මේනකාගේ වැඩිමහල් සොහොයුරා දෙව් ප්‍රකාශ් පීරිස්ය...
දෙවන සහෝදරයා හෙවත් අපේ අසෝක පීරිස් ගේ දෙවන පුතු එෂාන්ත පීරිස් ය..මේනකා ඊළඟට උපන් දියණිය ය...ඒ දූ පුත් සියල්ලෝ මේ වනවිට විවාහකය...
මම මේනකා දෙස බලමි.
"අපේ මවුපියන්ට යම් යම් බලපෑම් බාධක ආවා..අපෙ අම්මාගෙ පැත්තෙන් තමා විරෝධයක් ආවෙ..ඒත් ඒව හෙමින් හෙමින් පහව ගියානෙ.
මේ ටික නම් මම කියන්නම ඕනා අමල් ..මං කීවනේ අම්මා උපාධිධාරිණියක් ඉංග්‍රීසි ගුරුවරියක් කියලා..තාත්තා අම්මා තරම් අධ්‍යාපනයක් නොලැබුවත් අදටත් මම අපෙ අම්මා ගැන ගෞරවනීයව සිතනවා..මොකද කවරදාකවත් අම්මා අධ්‍යාපනයෙන් තාත්තා ට වඩා ඉහළින් කියලා තාත්තා ව පහළට දමා නැහැ..
ගෙදර මූලිකත්වය තාත්තාටමයි අම්මා දුන්නේ. ගෙදර කාරණයකදි අම්මා හැමවිටදීම අදහස් හුවමාරු කරමින් විසඳුම සෙව්වෙ තාත්තාගෙ අදහස් වලට මුල්තැන දෙමින්...
අපෙ අම්මා හරිම ඉවසිලිවන්ත කාන්තාවක්..මධ්‍යස්ථව හැම තිස්සේම හිතුවේ...තාත්තා ට නිසි ගෞරවය අම්මා දුන්නා..ඒ දෙන්නත් හරිම සමගියෙන්..තාත්තා ට අම්මා දුන් ගෞරවය තාත්තා කිසි දවසක පලුදු කරලා නැහැ..
රංගන ක්ෂෙත්‍රයේ උන්නාය කියලා කවදාවත් තාත්තා ගෙදරට අනවශ්‍ය ප්‍රශ්න ගෙනැවිත් නැහැ..විශ්වාසය එහෙමමයි..
මේනකා මුවපුරා ඉහිරෙන සිනහවෙන් එසේ කියන්නීය.
අපේ අසෝක තම දරුවනට කිසිවිටෙක බලපෑම් කළේද නැති..දරුවන් හා බිරිඳ පිළිබඳ ආරක්ෂාව තුන්සිතින්ම පතා සිටියේය..
"ඔව්.. අමල්..අපේ තාත්තා වසයි..ඒ එයාගෙ සතුටට කැමැත්තට හානිවන දෙයක් දරුවන්ගෙන් දැකපු වෙලාවට...කවදාවත් ගහල නැහැ...හැම තිස්සේ ම සමාජය ගැන පාඩම් කියාදෙනව වගේ අපට අවබෝධ කරවනවා...සමාජයේ හැටි කියා දෙනවා..ඒ වගේම නීතිරීති ගොඩයි...අනවශ්‍ය බලපෑම් නැහැ..ඉතින් තාත්තා නිතර ගෙදරත් නැහැනෙ..රඟපෑම්වලට ගියාම සති මාස ගණන් එන්නෙ නැහැනෙ..
ඉතින් ..තාත්තාගෙ තාත්තා තාත්තාගෙ ළමාවියේදීම නැති වූ නිසා අධ්‍යාපනයත් ඇහිරී රස්සා ගොඩක් කළානෙ..ව්‍යාපාර කළා...ඇත්තෙන්ම අපෙ තාත්තා රංගනයට පිවිසුණෙත් වයසින් හතළිහෙන් විතර...ඔය තණගිරවි චිත්‍රපටයට මුලින්ම තාත්තා එකතුවෙද්දි මට වයස අවුරුදු පහක් හෝ හයක් ඇති. ලොකු අයියයි මායි අතරේ වයස අවුරුදු දහයක විතර පරතරයක් තියෙනවා
මට හිතෙන හැටියට නම් තාත්තා වැඩිපුර රඟපෑවේ ටෙලි නාට්‍යවලයි...චිත්‍රපට දහයක් පහළොවක් විතර ඇති..ඒ වුණාට චිත්‍රපට වැඩි ගණනක රඟපෑව තරමට රටම තාත්තා ව හඳුනා ගත්තා..ඒ දක්ෂ රඟපෑම් නිසානෙ..."
අපේ කතා නායකයා මෙන්ම ඔහුගේ බිරිඳ චිත්‍රා පීරිස් මහත්මිය පාරම්පරික කතෝලික බැතිමතුන්මය...මොරටුව එමැනුවෙල් දේවස්ථානයේ සෑම කටයුත්තකදීම චිත්‍රාද එකතු වෙයි..තරුණ සංගමය මෙහෙයවන සංගීත..නාට්‍ය ..ආදී තවත් කලා කටයුතුවලදී අසෝකද එක්ව කටයුතු කරයි...ඇයද එම නාට්‍යවලදී රඟපෑමෙන් දායක වන්නීය..
තමන් තෝරාගත් නිර්මාණයකට රඟපෑමට පෙරාතුව අපේ කතා නායකයා එම පිටපත ද අතැති ව කොහේ කොතැනක හෝ නිහඬ පරිසරයක් බලා යයි...පිටපත මැනවින් අධ්‍යයනය කරන්නේය..ඒ ඔහුගේ හැටිමය..
මේ අතරේදී ගුවන් විදුලියේ හඬ කැවීම් විවිධ වැඩසටහන් සඳහා තම බිරිඳ චිත්‍රාද සමඟින් යන්නේය..
මෙපවත්ද කිවයුතුමය..
විවාහයට මුල් අවධියේදී හරහට හුන් චිත්‍රාගේ පවුලේ වැඩිමහල් උදවියට පසුකලෙකදී ඔවුනගේ හොඳම බෑණා වන්නට සමත්වූයේද අපේ අසෝකමය..
මේනකා කටහඬ අවදි කරන්නීය..
"මං කීවෙ අපෙ අම්මා තැන්පත් චරිතයක්..තාත්තාට මුල්තැන දුන් කාන්තාවක්..තාත්තාගෙන් අහන්නෙ නැතිව මුකුත් තීරණය කරන්නෙ නැහැ..තාත්තාට වඩා අම්මා අධ්‍යාපනයෙන් උසස් මට්ටමක උන්නත් අම්මා අපට අඟවල තිබුණෙ තාත්තා තමයි එක කියලා..හැමවිටදීම අම්මා තාත්තාගෙ උපදෙස් පැතුවේ..කවදාවත් අම්මා තාත්තා ව අවිස්වාස කරල නැහැ..සැක කරලා නැහැ.. එවැනි ප්‍රශ්න කවදාවත් ගෙදරට ඇවිල්ලත් නැහැ...තාත්තා කියන කිසිවකට අම්මා විරුද්ධවෙලත් නැහැ..තාත්තා හැම උත්සවයකටම සහභාගි වුණේ අම්මා එක්කලමයි. අප විවාහ වෙලා ටිකක් දුරට හිටියත් තාත්තා අප ගැන අම්මා එක්ක හොයනවා..බලනවා...මම විවාහ වී ඉන්නේ පල්ලියෙ පියතුමකු සමඟ...දරුවන් දීග ගියත් දරුවන් මත්තේම එයාලා උන්නෙ..අපෙ අම්මා දැන් ඉන්නෙ මගෙ ලොකු අයියාගෙ ගෙදරයි. ඒ මහගෙදරයි.."
ඔහු නිවසේ පසුවන අවස්ථාව ගෙතුළ නිහඬය..එක බැල්මකට දරුවන් එක පෙළට සීරුවෙනි..
රඟපෑමට ..කලාවට වඩාත් සිතැත්තියක වන අපේ මේනකා රුවැත්තියකි. කතාවෙහි ප්‍රියමනාපය.
දිනෙක ඕ පියාගෙන් විමසුවේ " තාත්තෙ මටත් ආසයි චිත්‍රපටයක රඟපාන්න..මට අවස්ථාවක් අරගෙන දෙන්නකො තාත්තෙ.."
දියණියගේ කතාවෙන් හෙතෙම ඇය දෙස බලාගත්වනම සිටියදී ඇයට පියාගෙන් ලැබෙන පිළිතුර කල්තියාම වටහා ගත්තාය.
"දුවේ...මේවා ගෙදර ඉන්න ගැහැනු ළමයකුට සුදුසු තැන් එහෙම නොවෙයි..නෑ..ඕන නැහැ..තේරුණාද..."
එතැනින්ම මේනකා තම සිතෙහි තබාගෙන තිබූ රඟපෑමේ ආසාව එහෙම් පිටින්ම ගිලගත්තාය...යළි තාත්තාගෙන් කෙදිනකවත් එසේ ඇසුවේ ඈ නොවේ...
"ඔව්..අමල් ..එදා අපෙ තාත්තා අපට කියාදුන් බොහෝ දේවල්..දැනමුතුකම් කොතරම් නිවැරදිද කියල අද අපට තේරෙනවා..ඇත්තමයි ..තාත්තා හරි කියල හිතෙනවා. කවදාවත් අපි කවුරුවත් එයා එක්කල වාද කරල නැහැ..එයා අපට එදා කිව්ව හැම අකුරක්ම හරි නේද කියල අද අපට වැටහෙනවා.."
මේ තාත්තා අමුතුම යැයි වරෙක හැඟේ..එහෙත් සැබෑම පියකු යැයිද අවසන හැඟේ..
දියණියට උපදෙස් දෙන්නේය..උයන්නට ඉගෙන ගත යුතුමය ..පොළට ගොස් බඩු මිලදී ගන්නා සැටි දියණිය ද කැටුව පොළට ගොස් ප්‍රායෝගික ව පෙන්වා දෙන්නේය.. කුස්සියේ කටයුතු මැනවින් දත යුතුමය...ඊට තාත්තා දියණිය හුරු කරවන්නේය.
උදැල්ල කැත්ත පවා ගෙදරට ගෙනාවේය..ඒ දියණියට කැත්ත උදැල්ල කටයුතු ප්‍රායෝගිකව පෙන්වා දීමටය..
"මට තාත්තා හින්දා දැන් කැත්ත උදැල්ල වැඩත් හොඳට හුරුයි...මේවා දැනගෙන ඉන්න ඕනා කිය කිය උගන්වනවා..ඒ වගේම ඉරිදා ට තාත්තා රහට අපට උයල දෙනවා..අපෙ තාත්තා ට හොඳට රසට උයන්න දන්නවා .."
මේනකා සතුටින් හිනැහෙන්නීය...
අපේ කතා නායක තෙමේ මිතුරන් පිරිවරා සිටියේය.. ඔහු මිතුරන් සොයා යනු වෙනුවට මිතුරෝ ඔහු ඇසුර පතා පැමිණෙති..
දුම්වැටියට... මත්පැනට ලෝලී හෙතෙම පසුකලෙකදී ඒවා අතහැර දැම්මේ හෘද රෝගී තත්ත්වයක ලකුණු පහළ වීමෙනි..
කාටත් උපකාර කළේය...දකුණු අත දුන්දේ වමත නොදනී..බිරිඳ ද නොදනී..තවකෙකුට උදව් දීම තරම් තවත් සතුටක් තාත්තා ට නොතිබූ බව කීවේද අපේ මේනකාය.. තම පවුලේ අය හා එක්ව කාලය ගෙවන්නට නම් හෙතෙම දැක්වූයේ නොතිත් ආසාවක්මය...
මංගල උත්සවයකට ආරාධනය ලැබුණේ තමන්ට පමණක් නම් හේ එහි නොයා හිඳී..නැතිනම් ගිය පයින්ම ආපසු ගෙදරට එයි..පවුලේ අය සමඟ ගියහොත් නම් කාලය ඔහුට වැදගත් නැති.
චිත්‍රා ඔහු ට තාත්ති කියා අමතන්නිය.. පිරිසක් මැදදී "අසෝ" කියන්නීය..කවදාවත් තම බිරිඳට ඇයගේ නම කියා අමතන්නේ නැති අපේ අසෝක...ඇයට අමතන්නේ "අම්මි" කියාමය..
ඔහුගේ විමෝදාංශය නම් වූයේ පැරණි කාසි එකතු කිරීමය..
මේ වනවිට අපේ මේනකා දෙදරු මවකි...පියා කියාදුන් ඔවාදුන් හැමදේ අගයමින් පසුවන්නියකි...ඇයගේ පුතු වාස්තු විද්‍යා සම්බන්ධ ඉහළ පෙළේ දැනුමකින් යුතු අයෙකි..ඔහු මීෂාක්ය...
දෙවැනියා දුවකි.ඕ මරීෂාය..
ඇය හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි..මගෙ දරුවන් දෙදෙනාට මගේ තාත්තාගේ කුසලතා එහෙම් පිටින්ම පිහිටා ඇති බව කියන්නී මහත් සතුටකිනි..
පල්ලියේ නාට්‍ය පිටපත් ලියන්නේ පුතාය..
අපේ කතා නායකයා බැහැ දැකුමට කලා ක්ෂෙත්‍රයේ අය නිතර නිවසට එති.
ඒ ගැන මේනකා කියන්නී...සිරිල් වික්‍රමගේ..ශ්‍රියාණි අමරසේන...එයාගෙ දුව ඉමෝකා අමරසේන..අමෝජා...දයා අල්විස් වගේම තව අය ආවා..තිස්ස අබේසේකර මහත්මයා තමයි තාත්තා ට ගොඩක් සමීප..සරසවිය කර්තෘ නුවන් මහත්තයාගේ තාත්තා හිටපු සරසවිය කර්තෘ ඒ.ඩී රන්ජිත් කුමාර මහත්තයා ගොඩාක් ළඟින්ම උන්නා...ඔය හැමෝම හරි සුහදයි..."
මේනකා පෙරසේ කතා නොකරයි..ඒ වෙනුවට නිහඩතාවයම රකී..මම නිහඩව හිඳීමි.
ඇයගේ දුබල හඬ මට ඇසේ..මෙතුවක් තිබූ සිනාපිරි වතද සැඟවී ගොසිනි.
තාත්තා පිළිබඳ මතකය අලුත් වී ඇය සිත සෝබරව ඇතැයි මට වැටහේ..
අපේ තාත්තා පල්ලියෙයි විවේක දවස්වලදි...පල්ලියෙ පෙලහර කෙරෙන්නෙ තාත්තාගෙ සැලසුම් අනුව..අනේ තාත්තා හැම ගෙයක් ගානෙම යනවා. පෙළහරට අවශ්‍ය ඒවා සම්පාදනය කරවන්න.
මෙතැන රබන් වයන්න..මෙතැන ගීතිකා ගයන්න..තාත්තා තමා සංවිධානය...
අපට..අම්මා ට මට පවුලේ අයට සමාජයෙන් නරකක් නපුරක් වේවි කියන හැඟීමක් තිබුණා වගේ..හරියට අපව ආරක්ෂා කළා...ගොඩක් අපව රැකගන්න තාත්තා වෙහෙසුණා"
මේනකාගේ හඬ හැඬුම්බරය...
අපේ තාත්තා හාර්ට් එකේ ගැටලුවක් තිබුණා ...ප්‍රතිකාර කළාට එයා ට ඩයි එකක් දාල බලමු කියා වෛද්‍යවරුන් කීවාම එයා බයවෙලා බැහැ කියනවා.
කපන කොටන සැත්කම්වලට තාත්තා හරි බයයි.
මැරෙන දවසක මැරෙයි...ඕවා මට ඕන නැහැ කියනවා..චිත්‍රපට කිහිපයකට ටෙලි නාට්‍ය කීපයකටත් තාත්තා අස්සන් කරල තිබුණා ...
ඇත්තම කීවොත් සිනමා කර්මාන්තය ගැන හරිම කලකිරීමෙන් හිටියේ..අපි නිතර තාත්තාගෙ අසනීපවලදි පල්ලියෙ යාච්ඤා කළා...අපේ පොඩි අයියා වසර ගාණකට පස්සෙ පිටරට ඉඳල ලංකාවට ආවාම තාත්තා ට පුදුම සතුටක් ඇතිවුනා..
ඔක්කෝටම ගෙදරට කෑමකට එන්න කියලා තාත්තා ම ආරාධනය කළා..අනේ එදා තාත්තා ගාව තිබු සතුට..දැනුත් මැවී පේනව වගේ මට..
පොඩි අයියා කීවා මම ආයෙ පිටරට යාමක් නැහැ. ලංකාවේම පදිංචි වෙන්නයි ආවෙ කීවම තාත්තා තවත් සතුටු වුණ හැටි...අනේ..
ඇගේ හඬ බිඳුණු ස්වරයකි.
"එදා 2007 වසරේ දෙසැම්බර් මාසෙ...25 දා නත්තල්...ඒත් 23 දා තාත්තා හැමෝටම ගෙදරට එන්න කිව්වෙ..සාමාන්‍යයෙන් දෙසැම්බර් නත්තල් දාට මහගෙදරට අප එකතු වෙනවා.. මෙදා තාත්තා 23 දා එන්න කීවේ..ඒ වෙද්දී තාත්තා ට පිට කැක්කුමක් තිබුණා ...තාත්තා මට කීවා ගෙදරට එනකොට මට කිරි ටොෆි හදාගෙන එන්න කියලා...
මම හා ගේන්නම් කිවා. ඉතිං අමල්..එදා අපි ගියා මහගෙදරට ..තාත්තා මං හදාපු කිරි ටොෆි කෑලි දෙකක් විතර කෑවා.
අනේ අපෙ තාත්තා කීව අම්මා හදල දුන් කිරි ටොෆි වගේම ඔයා දුවේ හදාගෙන ආපු කිරි ටොෆිත් හරිම රසයි කියලා..
එදවස 2007 දෙසැම්බරයේ 24 දාය..
අපේ කතා නායකයා පවුලේ අය අමතා කීවේ..මං ටිකක් නිදාගන්න යන්නම් කියාය..
ඒ වනවිට තම බිරිඳ අතින් බත් කටවල් කිහිපයක් ද කෑමෙන් පසු හේ උඩුමහලට ගියේය..
පෙරදා දේවස්ථානයේ වැඩකටයුතුවලදී තාත්තා වෙහෙස වූ අයුරුද මේනකා සිහිපත් කළාය..
උදරාබාධයකින්ද පෙළෙන්නට වූ අපේ අසෝක යහනේ මඳක් ඇලවුණේය.
ඒ වනවිට පල්ලියේ දේව මංගල්‍යය කටයුතු සම්බන්ධයෙන් පල්ලියේ තරුණ සමිතියේ තරුණයකු ඇඳ සමීපයටම කැඳවා පෙළහර සිදුවිය යුතු ආකාරය ගැන තරුණයාට පහදමින් සිටියදී තරුණයා දුටුවේ අසෝක මහත්තයා නින්දට වැටුණු බවය..
තරුණයා චිත්‍රා මහත්මියට කීවේ මහත්තයා කතා කරමින් සිටියදීම නින්දට වැටුණු බවය..
තවත් ටිකක් ඉන්නැයිද මහත්තයා අවදිවී සොයාවි යැයි කියාද තරුණයාට පැවසූ චිත්‍රා තවත් ටික වේලාවක් බලා තම හිමි අවදි කරවන්නට වෑයම් කළාය...
ඒ වනවිට අපේ සොඳුරු කතා නායක තෙමේ රහසේම යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේය..
බිරිඳ චිත්‍රාගේ විලාපයෙන් නිවසේ සියල්ලන්ගේ ළය ගිනි ගැනුණාසේය..
"අපෙ තාත්තා අපට වටිනා වස්තුවක් ...හැම තිස්සේම අපව රැකගන්නයි බැලුවේ..
එයා යන්නම ගිහින්..
ඇත්තමයි ..සනත් ගුණතිලක මහත්තයා තමයි මුලින්ම අපට පිහිටට ආවේ..එතුමා අපට සවියක්ම වුණා...දේහය නිදහස් කරගන්න උදව් කළේ සනත් මහත්තයා තමයි.
මහපාරේ යාචකයන් පවා ඇවිත් තාත්තා මත්තේ වැලපුණා..මහ පුදුම සෙනගක් මළගමට ආවේ..
එදා තමයි අපට දැනුණේ අපෙ තාත්තා කෙතරම් මිනිස්සු එකක ඉඳල තියෙනවද කියලා...හැමෝම තාත්තාගෙ ගුණමයි කිව්වෙ.
එහෙමට සෙනගක් ..අපිට පුදුමයි.. ජගත් චමිල මහත්තයා ඇවිත් හැඬුවා..අද මං මෙතැනට ඇවිත් ඉන්නේ අසෝක මහත්තයා මට අතදුන් නිසා කිය කිය හැඬුවා..
තවමත් ජගත් අපව විමසා බලනවා..මුල මතක තියෙන කෙනෙක් ජගත් චමිල කියන්නෙ. තාත්තා නැතිවුණා..අපෙ අම්මා තනිවුණා..
අපේ අම්මා ලොකු අයියා ළඟ හොඳීන් ඉන්නවා...
අපේ තාත්තා අපට නැතිවෙනකොට තාත්තා ට වයස 64 ක්...
එතුමා පිළිබඳ අවසන් කටයුතු මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථාන භූමියේදී සිදු කෙරිණි.
මේනකා මා ඇයගෙන් සමුගන්නා මොහොතේදී මෙසේද කිවාය...
"ඇත්තෙන්ම ජීවතුන් අතරින් නැතිව ගියත් ඒ අයව නැවත සිහිපත් කරවමින් සරසවිය පුවත්පත කරන මේ උතුම් මෙහෙවරට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ...."
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල