වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
චිරං ජයතු ! ගුරු දේවයාණෙනි

එය 1998 වර්ෂයේ අවසාන භාගයේ දිනයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර සිසුවියක වූ මා හට මාගේ ඇදුරුතුමන් වූ මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගේ කැඳවීමක් ලැබුණේය. ‘ඔහොම ඉඳල හරියන්නේ නෑ. ප්‍රායෝගික පුහුණුව ලබන්න මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන්න ඕනෑ.’ රෝහණ සර් කීවේ අප කෙරෙහි උපන් කරුණවෙන්මය.
‘ලේක්හවුස් එකට යන්න කැමතිද?’
ඔහු මා සමඟ සිටි මගේ මිතුරිය මනෝලි සහ මගෙන් විමසුවේය.
“ඔව් සර්. කැමතියි.’
අපි දෙදෙනාම පැවසුවෙමු.
‘එහෙනම් ලබන සතියේ සිට යන්න ලෑස්ති වෙන්න’. හෙට ඇවිදින් ලේක්හවුස් ආයතනයට ලියුමක් තියෙනවා ඒක අරන් යන්න.’
එළැඹුණ හෙට දිනයේ අප රෝහණ සර් දුන් ලියුම ද රැගෙන ඉදිරි සතියේ ලේක්හවුස් යන්නට සූදානම් වූයෙමු.
‘ලියුම ආමන්ත්‍රණය කර තිබුණේ ‘මා හිතවත් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා වෙත’ කියාය. ලියුම කිහිපවරක්ම කියවමින් මා සිතුවේ ඔහු කෙබඳු පුද්ගලයකු වේදෝ යන්න ගැනය.
එළැඹුණ සඳුදා දිනයක මා හා මගේ මිතුරිය ලේක්හවුසියට පිටත් වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවීම පිණිසය. කිසිදු දිනයක ලේක්හවුසියට පය නොතබා තිබුණ අපි ලේක්හවුසියේ අමුත්තන් පැමිණෙන ස්ථානයට පැමිණියේ විපිළිසර වූ හදකිනි. අප ආ කාරණය කියූ පසු කුරුවිට බණ්ඩාරයන් හමුවට යෑමට අපට අවසර ලැබිණ. අප කැඳවා යෑමට එතුමන් කාර්යාල කාර්ය සහායකු ද ඒවා තිබිණ. කාර්යාලය ඇතුළත පටු කොරිඩෝ පසු කරමින් ද, කුඩා පියගැටපෙළ නඟිමින් ද සරසවිය කර්තෘ මණ්ඩලයට ගිය ඒ ගමන මගේ ජීවිතේ ඉරණම් ගමන වේ යැයි එදා මම කිසි දිනක නොසිතුවෙමි. මට අවශ්‍ය වූයේ කෙසේ හෝ උපාධිය සම්පූර්ණ කිරීම පිණිස ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීම පමණය. කෙසේ හෝ මගේ ඒ බලාපොරොත්තු වෙනත් අතකට පරිවර්තනය කරමින් පත්තර ලෝකයේ මගේ උරුමය සොයා යන්නට දැඩි ලෙස උත්තේජන සැපැයූ ඒ සොඳුරු මිනිසා හමුවුයේ එහිදීය.
ඒ මා සොයා ආ එවකට සරසවිය කර්තෘ වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. ප්‍රමාණයෙන් තරමක විශාල මේසයක, සිහින් සිරුරකට උරුමකම් කී පි‍්‍රයමනාප සිනහවකින් මුව සරසාගෙන සිටි ඔහු ජීවිතයේ ප්‍රථම වරට මා දුටුවේ එදාය. එතුමන්ගේ සමීප මිතුරකු වූ අප ගුරුවරයා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්ගේ ලියුම බලා ඔහු අපට සරසවිය තුළ පත්තර රස්සාව ඉගෙන ගන්නට මං පෙත් සැලසුවේය.
පුවත්පතකට ලිපියක් ලියන තැන් සිට පුවත්පතක් මුද්‍රණයෙන් එළි දකින තැන දක්වා වූ පත්තර රස්සාවේ සියලු ශිල්පක්‍රම මා ඉගෙන ගත්තේ ඔහු සෙවණෙනි. රැකියාවට පැමිණි දා පටන් පත්තර කලාවේ ‘ආ’ යනු ‘ආ’ යනු ඔහු සීරුවට මට කියා දුන්නේය. සිංහල වියරණය පිළිබඳ ඔහු තුළ පැවති උනන්දුව සහ නිවැරැදි සිංහල ව්‍යාකාරණය භාවිතයට අප හුරුකරවිීමට ඔහු ගත් උත්සාහය අති මහත්ය. පියෙකු සේ සෙනෙහස පෑ කරුණා දයා ගුණයෙන් යුතු වූ ඔහු අශාස්ත්‍රීය ලේ්ඛනයේදී මෙන්ම වැරැදි ව්‍යාකරණ භාවිතයේදී බොහෝ සේ උරණ වූයේය. ‘මොනවාද මේ ලියන්නේ? යැයි කියමින් අප ලියූ විශේෂාංග ලිපි කපා කොටා සකස් කර දී නැවත අප වෙත යොමු කරනුයේ තමා කර ඇති වැරැදි මොනවා දැයි අවබෝධ කරගෙන නැවත එම වැරැදි නොකරන්නට වග බලා ගන්නා මෙන්. තදින් අවවාද කරමිනි. වර්තමානයේ එවන් ගුරුවරුන් අපට නොමැතිවීම අහෝ ඛේදයකි. එදා ඔහු දුන් ඒ ආඥාදායක අවවාදයන් අද මේ මොහොතේත්, හෙට දිනයේත් මට ප්‍රයෝනවත් වෙත් දි සදා ඔහු දෙපා හදවතින් සිපගනුයේ බැති සිතිනි.
90 දශකයේ අග භාගයේ ලේ්ක්හවුස් පුවත්පතක ලේඛිකාවක වනවා යන්න සිහිනයක්ව තිබියදි ඔහු මගේ නම සරසවිය පුවත්පත හරහා නිර්ලෝභීව ජනගත කළේය. අලුතින් ක්ෂේත්‍රයට පැමිණෙන ලේකයකුට, ලේඛිකාවකට ඔහුගේ සෙවණ අති විශාල ආශීර්වාදයක් බව මා පවසනුයේ එදා ඔහු මට පිරි නැමූ ඒ ආදර කරුණාව කොතෙක්දැයි සදා මතකයේ රඳවා ගනිමිනි.
කුඩා කාලයේ සිටම කියවීමට බෙහෙවින්ම ආස කළ සහ ඒ වන විටත් කියවීමට යොමු වී සිටි මට තවදුරටත් මා කියවිය යුත්තේ කුමන පොත දැයි ඔහු නිතර කියා දුන්නේය. එසේම ඔහු ළඟ ඇති බොහෝ පතපොත කියවීමට මට ගෙනත් දුන්නේය. භාෂාව වඩවා ගැනීම සඳහා සාහිත්‍ය ඇසුර, බව පවසමින් පැරැණි සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය ඇසුරු කරන්නට මා පෙලඹවූයේ ඔහුය. වරක් ඔහු මට ඔහු පාසල් අවධියේදී ලියන ලද කාව්‍ය ග්‍රන්ථයක් තිළිණ කළේය. අද ද මගේ පොත් එකතුවේ මේ පොත වැජඹෙනුයේ මා ලද සදානුස්මරණීය සිහිවටනයක් ලෙසිනි.
ඔහු සරසවිය පුවත්පතේ කර්තෘවරයා ලෙසින් එකල පුවත්පතට ගැඹුරු අරුතක් ලබා දුන්නේය. සිනමාව, කලාව පිළිබඳ සරල අර්ථයෙන් නොගෙන එහි ගැඹුර, අපූර්වත්වය පාඨකයා ඥානය කරන අයුරින් ඉදිරිපත් කරන්නට වෙහෙසුණේය. සරසවිය සම්මාන උලෙළ කිහිපයක්ම සාර්ථකව පවත්වන්නට නියමුවා වූයේය.
ඔහු සමඟ වැඩ කිරීම මට පි‍්‍රය ජනක අත්දැකීමක් වූයේය. ඔහු පවසන අතීත කතා, රස කතා අසන්නට මා පි‍්‍රය කළේ ඉන් ලැබෙන රසාස්වාදය සේම මගේ දැනුම් ගබඩාව ට ඉන් බොහෝ දෑ ද එකතු වූ නිසාය.
වෘත්තීය ජීවිතය තුළ ඔහු මගේ ගුරුැවරයා වූවා සේම, පෞද්ගලික ජීවිතයේ ඔහු මට පියෙකු හා සමාන විය. එසේම මට වඩා කොතරම් වැඩිමහල් වුව ද ඔහුගේ සිතුවිලි බොහෝ තරුණ විය. සම වයසේ මිතුරෙකුට කිව හැකි ඕනෑම දෙයක් වුවද මට ඔහු සමඟ ද කිව හැකි තරමේ සමීප බවක් විය. විනෝදවන අවස්ථාවක ඔහු තරම් විනෝදකාමියකු මා දැක නැත. එසේම වෘත්තීය ජීවිතය තුළ ඔහු තරම් සෘජුව වෘත්තීය ජීවිතය සුරකින්නකු මා දැක නැත. එසේම පේ‍්‍රමය, කලාව, සෞන්දර්ය, ආදරය තුළ ඔහු තරම් ඒවා විඳින්නෙකු ද මා දැක නැත. මේ ඊයේ පෙරේදා හමු වූ විට ද ඔහු තුළින් මා දුටුවේ පෙරදා මා දුටු ඒ ක්‍රියාශිලි ජවසම්පන්න මිනිසාමය. අසූ දෙහැවිරිදි වියේදී ද ඒ සිතුවිලි තරුණය.
මගේ පුවත්පත් කලා ජීවිතයේදී ඔහු සෙවනින් ආ. ආ යනු කියා එම වෘත්තියේ ඉහළම ස්ථානය වන ප්‍රධාන කර්තෘවරියක දක්වා මා පැමිණි ගමන් මගේ මුල් අඩිතාලම වූයේ ඔහුය. දස වසරකට වැඩි කාලයක් අධ්‍යාපන පුවත්පතක ප්‍රධාන කර්තෘවරියව වැඩ කරන්නටත් අවුරුදු 25ට වැඩි කාලයක් පත්තර ලෝකයේ සාර්ථකව සැරි සරන්නටත්, ලොබ නොසිතාම, ගුරුමුෂ්ටි නොතබාම ඔබ පිරිනැමූ සියල්ලට මහත් වූ ගෞරව බහුමානයෙන්් තුති පුදමි. හෙට අසූ දෙවැනි වියට පා තබන මා ආදරබර ගුරු දේවයාණිනි, ඔබට චිරං ජයතු !
සේයාරූ - නිශ්ශංක විජේරත්න