දශක අටක යෞවනයාගේ කවි සිත

ජූලි 27, 2023

එවකට ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ නාලන්දාරාම පාරේ මෙට්‍රෝ සිනමා ශාලාව පිටුපස නිවසකය. මා ඔහු පළමුවෙන් හඳුනගන්නා සමයෙහි ඔහු තිලකරත්න සිල්වා නම් වූයේය. ඔහුගේ සොයුරු සුනිල් ආරියරත්න ප්‍රමුඛ පවුලේ අන් හැම පදිංචි වී සිටියේ නුගේගොඩ තිලක උයනෙහිය. හැත්තෑව දශකයේ මුල් කාලයේ දී අප නිතර සුනිල් හමුවන්නේ තිලක උයනෙහිදී ය. ඒ වකවානුවේ මනෝත් සුනිල් හා මා අපගේ පළමු සමූහ කවිපොත් දොළොස් මහේ පහන මුද්‍රණයට සූදානම් වෙමින් සිටි කාලයයි. සුනිල්ගේ වැඩිමල් සොයුරා තිලකරත්න සිල්වා වූවත් සුනිල් කිසි දිනෙක සුනිල් ආරියරත්න සිල්වා නොවීය. ඔහු එදත් අදත් සුනිල් ආරියරත්නම ය. 1971 දී තිලකරත්න සිල්වා නමින් තම සිව්වන කාව්‍ය සංග්‍රහය, දෙවියෝ තැතිගෙන මහ පොළොවට එති, පළ කරන තිලකරත්න සිල්වා ඉන්පසුව තිලකරත්න කුරුවිට බණ්ඩාර නමින් ඉකුත් වත හා එක් සමයෙක් හි කාව්‍ය සංග්‍රහ ද සිරිත් මල්දම, (අපදාන), රස දෝත (රස වින්දන) කීර්තිශේෂ අපදාන, හා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ (සංස්කරණ) ග්‍රන්ථ ද පළ කොට ඇත්තේය. ඔහුගේ කවියට අප ආසක්ත වන්නේ නිල්ල දකින්නයි (1963) ජීවිතය බෙහෙවින් ඛේදජනකය (1968) අසිරිමත් වු දෙයකි මෙලොව ප්‍රේමය නමිනා වැනි හා දෙවියෝ තැතිගෙන වැනි කවි පොත්හි තිබූ අපූර්ව ගුණයෙන් යුත් කවි කියවීමෙනි. එදින ඔහුගේ කවි පිළිබඳ විචාරකයන් ලියූ කියූ දෑ ද කියවා තිබූ වග මතකය. දෙටු කවියකු ලෙස ඔහු කෙරෙහි අප තුළ වූ භක්තිය හා කැමැත්ත නිසාම මගේ පළමු කවි එකතුව කැටපත් පවුර අත් පිටපත ඔහුට කියවන්නට දී එහි කවි පිළිබඳ ගුණ දොස් විමසූ බව ද මතකය. 1971 නොවැම්බර් 2 දා තිලකරත්න සිල්වා අත්සනින් යුතුව දෙවියෝ තැතිගෙන මහ පොළොවට එති කාව්‍ය සංග්‍රහයේ පිටපතක් 'බුද්ධිට' යනුවෙන් කළ තිළිණය අදත් සුරැකිව මා සතුව ඇති බව සිහි කරමි. එදවස තිලක් අයියා ලෙස හඳුන්වන්නට පුරුදුව සිටි ඔහු කාලයාගේ ඇවෑමෙන් නෙක උපදේශ මණ්ඩල, විනිශ්චය මණ්ඩල කටයුතු හා සම්බන්ධව කටයුතු කිරීමේදී තිලක් යනුවෙන්ම හඳුන්වන්නට හුරු පුරුදු වූ බව ද මතකය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සරසවිය සිනමා සම්මාන උලෙළ එලෙස අප'තර හිත මිතුරුකම් වැඩි දියුණු වූ අවස්ථා ය.

තිලකරත්න කුරුවිට බණ්ඩාර කවියාගේ කාව්‍ය සම්ප්‍රදාන 70 දශකයට පෙර කවි යුගයට අයත් ය. තිලකරත්න සිල්වා කවියාට සමකාලීනව කවි ලියූවන් අතර කෝ.ආනන්ද හිමි, විමල් දිසානායක, මහගම සේකර, මිණිවන් පී.තිලකරත්න, සෝමරත්න බාලසූරිය, වින්ටන් කුරේ, සරත් අමුණුගම, කමල් එස්.රත්නායක ආදී කවීන්ගේ නිර්මාණ කෘති කැපී පෙනේ. මේ කවිය අතර තිල්කරත්න සිල්වාගේ කවියෙහි අපූර්ව ගුණය මතු වූ නිර්මාණ කිහිපයක් පහත දක්වමි. 1969 දී පළ වූ අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා හි එන ඔන්න දුවේ පුළුවන්නං අල්ල ගනිං නිර්මාණය නිදසුන් කොට දක්වමි.

 

තාත්ත නැති දරු කැළතක

අවිනිශ්චිත අනාගතය

තාත්ත නැති දරු කැළතක

අනාථ වූ අනාගතය

අනේ දුවේ !

උඹේ නොමේරූ ඔළුවෙන්

ඩිංගක් මේ ගැන හිතපං

ආත පෙනෙන පහන් තරුව උඹයි දුවේ !

 

අන්ත දිළිඳු අසරණ පවුලක අනාගතය දියණියකට පවරමින් මවකගේ ආයාචනයක් ලෙස මේ කවිය නිර්මාණය වී ඇත. 1971 දී පළ වූ දෙවියෝ තැතිගෙන මහ පොළොවට එති කාව්‍ය සංග්‍රහයෙහි ද අපූරු රචනා රැසක් ම හමු වේ. සංක්ෂිත ගුණය රැක ගනිමින් කළ එක් නිර්මාණයකි මේ.

 

සූරිය මල

 

උදාගිරින් ගමන'රඹා

ගමන් ගනිමි අවර ගිරට

ඔබට නොහැක මා යන විට

මට අවනත නොවී ඉන්න

සොඳුරිය මගෙ සූරිය මල

ඔබයි මමම්යි එකාවන්ව

යන්නෙමු ජීවන ගමනක්

 

1990 දී තිලකරත්න කුරුවිට බණ්ඩාර කවියා විසින් රචිත ඉකුත් වත කාව්‍ය සංග්‍රහයෙහි රචනා අතර ද සංක්ෂිප්ත ගුණයෙන් යුත් රචනා රැසක් ම හමු වේ.

පෙම්වතිය නම් වූ මේ නිර්මාණය නිදසුනකි.

 

මා හට පමණක්

පෙම්වතිය වී

සෙසු හැමට

සහෝදරියක වන්න

පිය ළඳුනි

ඉනික්බිති

වෙසෙමු අපි

සදා පෙම්වතුන් වී

නොවී කිසිදා

අඹු සැමියන්..

අඹු සැමියන් නොවී පෙම්වතුන්ව සිටින්නැයි කරනු ලබන ඉල්ලීමෙහි සංකල්ප

රූපයෙහි අපූර්ව ගුණයක් වේ.

 

පද්‍ය කාව්‍යයෙහි මෙන්ම ගේය කාව්‍ය රචනයෙහි ද හපන්කම් පානා තිලක් කුරුවිට බණ්ඩාර විරචිත ගේය කාව්‍ය සංඛ්‍යාව සීමිත වූවත් ඒ අතර ජනප්‍රිය හා ශ්‍රාවක ප්‍රිය ගීත කීපයක් වේ. පළමුවැන්න සුනිල් ආරියරත්නගේ සරුංගලේ චිත්‍රපටයට ඔහු රචනා කළ ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි ගීතයයි. ආචාර්ය වික්ටර් රත්නායකගේ සංගීත නිර්මාණයට නිරංජලා සරෝජිනී හා අබේවර්ධන බාලසූරිය මධුර ස්වරයෙන් ගැයුණු යුග ගායනාව කලාත්මක චිත්‍රපට ගීතාවලියෙහි වෙසෙසි තැනක පවතින්නකි. සිහල දමිළ යුග බැඳුමක මායාත්මක එක්වීමක් දකින රචකයා දෙජාතීන් අතර සංස්කෘතික බැඳීම් ගීතවත් බසකින් නිමවන්නේ ළගන්නා අයුරිනි.

 

කුල කතකගේ සුරතුර බඳු සුරත ලබන්ඩයි

තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි

පතිනිය මිස පාක්කුඩම් කිසිත් නො ගන්ඩයි

පෝරුව පිට සිටුවා කර මාල බඳීන්නයි

 

තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි, පතිනිය මිස පාක්කුඩම් කිසිත් නො ගන්ඩයි වැනි ගීතොචිත සංකල්ප රූප කවියාගේ පරිකල්පනීය ගුණය පෙන්වයි. ශාලිත අබේවික්‍රම ගායනා කරන දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය ගුවන් විදුලි සරල ගීතය තුළින් ද ගේ කාව්‍ය රචක කුරුවිට බණ්ඩාර ගේ අව්‍යාජ දේශප්‍රේමය මතුව පෙනේ. ප්‍රචාරකවාදියකු නොවී ඔහු කරන ඉල්ලීම බලන්න.

 

මල් කැන් සුවඳ දෙයි

ගල් කණුවල පිපුණූ

ලේ දහඩිය නටයි

රණ දෙරණේ සැලුණූ

ජාතිය නගන රිසියෙන්

හද ඔද වැඩුණූ

 

සජීවනී රූපසිංහ ගායනා කරන සුළඟ දිගේ ආවා හා නන්දා මාලිනී ගේ වැටකොටු බැඳ මලක සුවඳ වටකර ගත නොහේ ගේය සංකල්පනා ද කුරුවිට බණ්ඩාර ගේය කාව්‍ය රචකයාගේ ගේය කාව්‍ය රචනාවෙහි දුලබ නිර්මාණශීලී ගුණය පෙන්වන අවස්ථා වේ.

වැට කොටු බැඳ මලක සුවඳ වටකර ගත නොහේ

ආදරයේ නොහිමි සුවඳ අනන්තයට දිවේ

(ගායනය නන්දා මාලිනී)

සුළඟ වගේ අපි ආවා - අපි සුවඳ අරන් ආවා

සුවඳ ඉතිරි කෙරුවා අපි සුළඟ තබා යනවා

(ගායනය සජීවනී රූපසිංහ)

 

තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි ධීමතකු සමඟ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය හෝ සරසවිය සිනමා උලෙළ ජූරියක කටයුතු කරන්නට ලැබීම ඔහු කර්තෘත්වය දැරූ ශත දහයේ විශ්වවිද්‍යාලයෙන් ලද දැනුමට නොදෙවෙනිය.

මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රාඥයකු විසින් හොබවනු ලැබූ සිළුමිණ උස් අසුනෙහි දෙවරක් ම කර්තෘත්වය දැරීම ම පුවත්පත් කලාවේදියකු ලෙස ඔහු සතුව පැවති පරිණත බව පෙන්වන්නකි. සිළුමිණට අමතරව සරසවිය, ඉරුදින, සියත හා මව්බිම වැනි පුවත්පත්හි ප්‍රධාන කර්තෘ ලෙස ඔහු ඉටු කොට ඇත්තේ අනුපමේය විශිෂ්ට සේවාවකි. ඒ වෙනුවෙන් ඔහුට නිසි බුහුමන් ලැබුණු බව දනිමි. සැබැවින්ම තිලකරත්න කුරුවිට බණ්ඩාර යනු පත්‍ර කලා කව් සිළුමිණ ම වන්නේ ය. ජීවිතයේ අටවන දශකයේ ඇරැඹුමෙහි අපට හමුවන යෞවනයාට චිර ජීවනය පතමු.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]