වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
‘රවීන්ද්‍ර’ යන නාමය තාත්තාට තැබුවේ හියුගෝ මාස්ටර්

"අනේ මේ ඇත්තමයි .. අපේ අම්මයි තාත්තයි දෙන්නා රටේ ජනප්‍රිය නළු නිළි දෙපළක් වුණත් ඒ ආඩම්බරය ඒ දෙන්නා ළඟ කවදාවත් තිබුණෙ නැහැ...ඒ නිසාම පුංචි කාලෙදිවත් අපේ අම්මයි තාත්තායි ජනප්‍රිය නළු නිළියන් කියන හැඟීමක්වත් මටයි අයියටයි කොහෙත්ම තිබුණෙ නැහැ....."
හෙළ සිනමාවේ මුල් යුගයේ යුග පුරුෂයකු ලෙසින් එතුමා අදටත් මහත් පිළිගැනීමකට බඳුන් වෙයි.. එතුමා පිළිබඳව තතු සොයමින් පසුවන අතරේදී සරසවිය කර්තෘතුමාගෙන් ලැබුණේ අගනා මඟ පෙන්වීමකි.. ඒ අනුව අපේ සොඳුරු කතා නායකයා පිළිබඳව කතාබහ කරන්නට ලංකාවේ කිසිවකුද නොමැති තැන මට සම්බන්ධ වූයේ එතුමාගේ ආදරණීය එකම දියණිය පූර්ණාය....ඒ කැනඩාවේ සිටය...එතුමාගේ ආදරණීය බිරිඳ සමග පුතු බිමල් සහ දියණිය පූර්ණා එහි වෙසෙති...මා බලාපොරොත්තුව පසුවූ අයුරින් ම අපේ පූර්ණා සිය පියාණන් පිළිබඳව කතාබහ කරන්නට සූදානම් වූවාය....
එවිටම කාන්තාවකගේ ඇමතුමකින් පූර්ණා වහා එදෙසට හැරුණාය.
"අනේ..සමාවන්න ...අපෙ අම්මා දැන් බොහොම දුර්වලයි ..බොහොම වියපත්..අම්මා කතා කරනකොට මම අම්මා ළඟ ඉන්න ඕනා...අනේ ටිකක් ඉන්න..."
පූර්ණා වහා මව වෙතට දිව ගියාය...එදා රිදී තිරය මත සුපිපුණු මලක් බඳු අතිශය රූමතියක වූ...සිනමාවේ කිරුළු පැළැඳී ඕ අන් කිසිවකු නොව අපේ ප්‍රේමනීය රූපණවේදිනිය ලීනා ද සිල්වා මහත්මියය ඒ...
නොඑසේනම් අපේ ආදරණීය කතා නායකයාගේ ඒ ආදරණීය බිරිඳ ය...
මම පූර්ණා එනතුරු මඟ බලා හිඳීමි...
වෑත්තෑව කංකානම්ගේ රූපසේන අපේ අද කතා නායක තෙමේ උපන්නේ කොළඹ ...පුංචි බොරැල්ලට නුදුරේම ය.. ඔහුගේ පියාණන් ඩබ්ලිව්. කේ. එඩ්මන් ය...මව් තොමෝ පොඩි හාමිනේය...
1929 ක්වූ අප්‍රේල් මස 24 වනදා මෙලොව උපත ලද අපේ රවීන්ද්‍ර රූපසේනයන් ට නංගිලා දෙදෙනෙකි..එක් මල්ලියෙකි..
ඉගෙනුමට දක්ෂයකු වන හෙතෙම ඇතුළත් කරන ලද්දේ කොළඹ නාලන්දා මහා විද්‍යාලයටය....කුඩා වියෙහි සිටම කලා කටයුතු කෙරෙහි කුසලතා විදහා දැක්වූ අපේ සොඳුරු කතා නායකයා ගායනයෙහි කුසලතා ඇත්තෙකි...ඩෝල්කී වාදනයෙහි සමතෙකි...පාසලේදිද කැපී පෙනෙනා දක්ෂ සිසුවෙකි..
විද්වතකු ලෙසින් රටක් පිළිගත් එදා නාලන්දාවේ ඉගෙනුම ලබමින් පසුවූ ප්‍රවීණ ගීත රචකයකු වූ කරුණාරත්න අබේසේකරයන් අපේ කතා නායකයාගේ අඹ යහළුවා වූයේය...මේ දෙදෙනාගේ හිතමිතුරුකම් පාසළෙන් සමුගන්නා අවධියෙන් පසුවද නොනැසී තිබිණි ..
දැන් මා සවනත ළඟ රැඳී පසුවනුයේ අපේ පූර්ණාය...
ඕ සමාව අයැදී..
"අනේ අම්මාව රැකබලා ගන්නෙ මමයි..මගෙ අයියාත් වැඩි ඈතක නැහැ.
අයියාත් නිතරම එනවා අම්මා ව බලන්න..අප දෙන්නාට අපෙ අම්මාගෙන් තොර ලෝකයක් නැහැ..
අම්මා නින්දට ගියාම තමයි මට ටිකක් නිදහස තියෙන්නෙ..නැතිනම් අම්මා ළඟම ඉන්න ඕනා.. එයා එහෙමයි සතුටු...තාත්තාත් අපට නැතිකොට අම්මාව බලාගන්න ලැබීමත් කොච්චර සතුටක්ද...."
ඇයට අම්මාගෙන් තොර දෙයක් තවත් නැති..ඒ ආදරය හිතට බරක් නැති...
පූර්ණා කතා කරන්නේ අපෙ අම්මා කතා කළොත් මම යනවා..ගිහිල්ලා එන්නම්..අනේ සොරි හොඳේ යැයි කියමිනි..
"ඔව්...අමල්...අපෙ තාත්තාගෙ හොඳම යහළුවා කරුණාරත්න අබේසේකර මහත්මයා...නිතර නිතර පාසලෙන් අයින් වුණාමත් ඒ දෙන්නා ගෙවල්වලදි හමුවුණා...
ඉතිං..කොහොම හරි අපෙ තාත්තා ට හොඳට ගීත ගයන්න පුළුවන් බව කරුණාරත්න අබේසේකර මහත්මයා දැනගෙන හිටියනෙ..
එතුමා ගුවන් විදුලියට සම්බන්ධ වුණ නිසා අපෙ තාත්තා ට ගයන්න අවස්ථාව අරන් දුන්නා..ඒ ගීතයත් ලියා දුන්නෙ එතුමාමයි..
"පෙම් පැණි බී මා සිත උදම් කළා...
අහො..ඇයිදෝ අද ඈ අයින් වෙලා...
එනු සකුන්තලා ..එනු සකුන්තලා ..."
ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියකුද වූ අපේ කතා නායකයා ගායන ශිල්පියකු ලෙසින් රටතොට නමක් හදා ගත්තේ වැඩි වෙහෙසක් නොමැතිවමය...ඔහුගේ ගීත වඩාත් ජනප්‍රිය විය..
මම පූර්ණාට සවන් දෙමි.
"අපෙ තාත්තා ගුවන් විදුලියේ ගායකයකු වූයේ ඩබ්ලිව් .කේ. රූපසේන නමින්...මට මතක හැටියට තාත්තා ගීත දහයක් දොළහක් ගායනය කළා...ඒ ගීත තවමත් ගුවන් විදුලියේ සංරක්ෂණය කොට තියෙනවා..."
පාසල් අධ්‍යාපනයෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු ලෙසින් රැකියාවකට අවතීර්ණ ව ගායකයකුව නමක් දිනා සිටියදී අපේ කතා නායකයා වයසින් අවුරුදු 19 දී පමණ "අහංකාර ස්ත්‍රි " චිත්‍රපටයේ රඟපෑමට වරම් ලද්දේය..
අතිශය කඩවසම් රූ සම්පත්තියකට හිමිකම් කී හෙතෙම සිය දෙවන චිත්‍රපටය වූ "සුරතලී " චිත්‍රපටයේ ප්‍රධාන නළුවා බවට පත්වූයේය...
"මේ කාලයේ අපෙ අම්මා ශේෂා පලිහක්කාර යටතේ නැටුම් හදාරමින් සිටියේ.. ඔන්න ඒ අතරේදී අම්මා අහංකාර ස්ත්‍රි චිත්‍රපටයේ ලංකා මාතාව නියෝජනය කරමින් නැටුමක් රඟපෑවා..ඒ චිත්‍රපටයේම තාත්තා ප්‍රධාන නළුවා..."
පූර්ණා තවදුරටත් කියාගෙන යන්නීය. මම අසා සිටිමි.
"අපෙ අම්මා උන්නේ මාලිගාකන්දේ...ඉතිං අම්මයි තාත්තායි ළඟ ළඟම පදිංචිව හිටියේ...අම්මා එතකොට පාසල් සිසුවියක්නෙ..ආනන්ද බාලිකාවේ..."
සුරතලී චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ ප්‍රධාන නිළිය ලෙසින් රඟපෑවේ අපේ රූපසේනයන් හා ලීනා ද සිල්වා ය..
ඕ තොමෝ ලීනා නම් වුවද උප්පැන්නයේ නම වූයේ ලීනා පියසීලී ද සිල්වා ය..එවක සිරිල් පී. අබේරත්නයන් "ස" අකුරින් ඇරැඹෙන චිත්‍රපට ගණනාවක්ම තැනුවේය..
ඉන්පසුව නළඟන චිත්‍රපටයේද ඔවුන් දෙදෙනා එක්ව ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායක වූහ...
ලීනා ද චිත්‍රපට රැසක ප්‍රධාන චරිතයට පණ පොවමින් ලාංකේය සිනමා ලෝලීන්ගේ ආදරයටම පාත්‍ර වූවාය...අපේ රූපසේනයන්ද එලෙසමය...තුරුණු රසික දනන් සේම වැඩිහිටි රසික සමූහයා ද අපේ කතා නායකයාට හදවතින්ම පෙම් බැන්දාහ..
"ඉතිං අපෙ අම්මා ට එතකොට නම් වයස අවුරුදු 22ක් විතර ඇති...අම්මාගෙ අම්මා ඇලිස් ද සිල්වා ...අම්මාගෙ තාත්තා සයිමන් ද සිල්වා ..අම්මා තමයි පවුලේ බාලයා...අම්මා ට අයියා කෙනකු එක්ක අක්කලා දෙන්නෙක් හිටියා...අම්මා නම් ගායනයට හිටියෙ නැහැ..චිත්‍රපටවල රඟපාන්න ගියාට පස්සෙ තමයි අම්මාත් ගායනයට පිවිසියේ...ඒ කාලෙ නළු නිළියන් ගීත ගායනයට වැඩිපුර යොමුවෙද්දී අපෙ අම්මාත් ගායනයට ආවා..
මට මතකයි..විශාරද දයාරත්න රණතුංගයන් එක්ක අම්මා යුග ගායනය කළා...ඒත් ඉතින් අම්මා දිගටම ගැයුවේ නැහැ..චිත්‍රපට ටෙලි නාට්‍යවල රඟපෑවා විතරයි.."
පූර්ණා අතිශයින් නිහතමානීය..මුදු බසිනි..වරෙක සිනාසෙන්නීය... ඒ ඉහවහා ගිය සතුටකිනි..
තම මවට මෙතරම් ළෙන්ගතුකම් පෑ දියණියක මට අසන්නට ..දකින්නට ලැබුණා වැන්න...අප කතාබහේදී ලීනා මහත්මිය අපහසුවෙන් මෙන් හඬක් නගන්නීය...දුවේ යැයි අමතන්නීය.
අපේ සුහද පිළිසඳර පසෙක දමනා ඕ එනවා අම්මා යැයි හඬ ගා මව වෙතට දිව යන්නීය..
නැවත මවෙතට එන්නීය..යළි දිව යන්නීය...
"අනේ සමාවන්න අමල්. අම්මා අවදියෙන් ඉන්නකොට එයාට පේන්න මම ඉන්නම ඕනා..අයියා ආවාම අයියා එක්ක කතා ගොඩක..ඒ වෙලාවට තමයි මං මගේ වැඩක් කරගන්නෙ..."
පූර්ණා පමාවට කරුණුකාරණා පහදන්නීය.
"නැහැ..කමක් නැහැ..මට බාධාවක් නැහැ..
මම ඇය අස්වසමි.
සිනමාවේදී රංගන භූමිකාවෙන් හමුවූ රූපසේනයන් හා සුරූපී ලීනා දැන් පෙම්වතුන්ය...
"අපේ අම්මා ඒ කාලෙ පංච කල්‍යානියක්... රූ රැජින. තරඟවලදී පවා අම්මා ජයග්‍රහණ ගොඩාක් ලබා තියෙනවා.."
" පූර්ණා ඔයාගෙ අම්මා රුවැත්තියක්..රූපය සමබරව තියාගන්න සත්කාර කළාද..."
රුව මත්තේ වෙහෙසෙන අපේ සරසවිය මිතුරියන් වෙනුවෙන් එම පැනය මම ඇයට යොමු කළෙමි.
"අනේ..ඇත්තමයි අමල්..ඔය පවුඩර් ලිප්ස්ටික් ඔය මොකවත් අම්මා රූපයට කියලා මුකුත් කළේ නැහැ..හැබැයි ආහාරපාන වලදි සැලකිලිමත් වුණා..."
මොහොතක් නිහඬව පසුවූ පූර්ණා යළි කටහඬ අවදි කළාය..
"මුලින්ම අම්මා චිත්‍රපටයකට යනවිට වයස 16 ක් විතර ඇති..දන්නවද අමල්..අම්මාට ආපු ප්‍රශ්නය..ඉගෙනුම ලබමින් සිටින ළමයෙක් චිත්‍රපටවල රඟපාන්න ගියා කියලා පාසලෙන් තද දෝෂාරෝපණයක් අම්මා ට ඇවිත් තියෙනවා..එය ඉගෙනුමට බාධාවක් කියලා..
ඒ වගේම අම්මා පාසලේ දක්ෂතම ක්‍රීඩිකාවක්..."
එම දෙපළගේ පෙම් සබඳතාවය ඉහළට නැගෙද්දී ලීනාගේ පාර්ශ්වයෙන් ඊට එල්ල වූයේ තදබල විරෝධතාවකි..
"ඒ වුණාට එයාලා පසුව කැමති වෙන්න ඇති.."
පූර්ණා සිනාසී කියන්නීය..
ප්‍රවීණ නිළි රුක්මණී දේවිය ඇයගේ ප්‍රියතම මිතුරියය..
පූර්ණා අප නොදැන සිටි කරුණක්ද හිටිහැටියේම මතක් කර කීවාය..
"අමල්..අපෙ තාත්තා මුලින්ම කලාවට ආවෙ ගුවන් විදුලියේ ගායන ශිල්පියකු විදිහටනෙ..ඒ කාලෙ අපෙ තාත්තාගෙ නම ඩබ්ලිව්.කේ රූපසේන.
ඔහොම තමයි ගී තැටිවලත් ගුවන් විදුලියේ නම ප්‍රචාරය කළොත්...චිත්‍රපට රඟපෑමට තාත්තා ගියාට පස්සෙ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් තාත්තාගෙ ඒ නමට අකැමැති වෙලා තියෙනවා..
ඒ නම කොහෙත්ම සිනමාවට ගැළපෙන්නෙ නැහැ කියල එතුමා තාත්තා ට දමල තියෙන නම තමයි රවින්ද්‍ර රූපසේන..ඔන්න එදා ඉඳල රවින්ද්‍ර රූපසේන වුණේ එහෙමයි.."
රවීන්ද්‍ර ලීනා නළු නිළි දෙපල අතිනත ගත්හ...
ඒ 1960 වසරේදීය ..
රවින්ද්‍ර ලීනා දෙපළට පුතකු සහ දියණියකි..
පුතු බිමල් ය..දියණිය මා හා කතාබහේ ව පසුවන පූර්ණාය...පුතු ආනන්ද විද්‍යාලයට ඉගෙනුමට ඇතුළත් කළ අතර පූර්ණා ගියේ ගෝතමී බාලිකා පාසලටය...
පූර්ණාගේ කතාව අහම්බයක් සේ දැනෙයි...කීර්තිමත් මවුපිය යුවළකගේ දරුවන් වන ඇයගේ කතාව අරුමය..පුදුමය...වෙනස් ම වූ කතාවෙකි..
"තාත්තයි අම්මායි අප කුඩා කාලෙදිම රඟපෑමෙන් ඉවත් වුණා..ඒ දෙන්නා කෙතරම් ජනප්‍රියත්වයක් ලබා සිටියත් විවිධ උත්සව..සම්භාෂණ ..සහභාගි වන්නට ගියේම නැහැ.
කැපී පෙනෙන උවමනාවක් දෙන්නටම තිබුණෙ නැහැ...
අපි පුංචි කාලේම එයාලා දෙන්නා සිනමාවෙන් ඉවත් වුණ නිසා ලොකු වෙද්දි අපටවත් දැනුණෙ නැහැ ලංකාවේ ජනප්‍රිය නළු නිළි දෙපළගෙ දරුවන් අපියි කියලා..එහෙම මානසිකත්වයක් අපට තිබුණෙ ම නැහැ...
මට මතකයි..තාත්තා නිතර කියපු දෙයක්..."
"ඒ මොකද්ද .."මම අසමි
"ඔයාලා පාසලේදි විතරක් නෙවෙයි කොතැනදිත් මගෙ දෙමවුපියන් ජනප්‍රිය නළුවො කියන මානසික මට්ටමින් අනික් අය දිහා බලන්නවත් එපා..
මමත් ඒ අය වගේ පවුලක කෙනෙක් කියල සලකා හිතන්න...ඔය ටික තාත්තා අපට කිව්වා .
අපේ තාත්තා අන්තිම නිහඬ ජීවිතයක් ගතකළේ.. ඒ නිහඬ ජීවිතයත් එක්ක අම්මයි තාත්තායි නළු නිළියන් අතරට නොගිය නිසාම අපටත් නළු නිළියන් කියන අයත් එක්ක කිට්ටු ඇසුරක් ලැබුණෙම නැහැ...
ඒ විතරක් නෙවි..තාත්තා අම්මාව කොහිවත් තනිව යවන්නෙ නැහැ...තාත්තා තමයි ගෙදරට අවශ්‍ය හැමදේම ගේන්නෙ..
මම අදටත් හිතපුරා ගෞරවයෙන් සිහිකර කර සතුටු වෙනවා අමල්.
අපෙ අම්මායි තාත්තා යි හරිම සාමකාමී පවුල් ජීවිතයක් ගත කළේ..
ඒ දෙන්නා ආදර්ශමත් මවුපිය දෙපළක්..
පූර්ණාගේ එතුවක් සතුටුබර හඬ වෙනස් යැයි මට සිතේ..ඒ තාත්තාගේ ආදරය සිහිපත් වීමෙන් යැයිද සිතා ගත්තෙමි.
අපේ රවීන්ද්‍ර රූපසේනයන් සැරපරුෂ දැඩි සිතැත්තකු නම් නොවේ...කේන්තිකාරයකු වූවද ඊටත් වැඩි මුදු මොළොක් බවක් ඔහු තුළය..
ආගම දහමට ඇති හිත අසාමාන්‍යය ...
අපේ මේ සොඳුරු කතා නායක රවීන්ද්‍ර රූපසේනයන් චිත්‍රපටයකට ගිවිසුම් අස්සන් කිරීමෙන් පසුව ලබන මුදලින් නොවැරදීම ඉටු කරනා විශේෂ කටයුත්තක් වෙයි...එනම් එම මුදලින් මරන්නට නියමව සිටින ගවයකු මරණින් මුදා ගනියි..නොඑසේනම් ගවයකුට අභය දානය දෙන්නේය...
ගෙදරට වී විවේකයෙන් පසුවේද ඒ සෑම සවසකදීම නිවසට නුදුරු විහාරස්ථානයට යන්නේය..විහාරාධිපති හිමියන් සමඟ දහම් කරුණුකාරණාවෙහි පසුවන්නේය....සතුටු සිතක් පහළවන තැනදී ඩෝල්කිය වයමින් ගීතයක් ගයන්නේය...
පූර්ණා හදිසියේ යමක් මතක්වූවාක් මෙන් කියන්නට සැරසෙන්නීය..
"අපෙ අම්මයි තාත්තයි එකට රඟපෑවනෙ...ඒ දවස්වල චිත්‍රපට හදන්නේ ඉන්දියාවෙනෙ...ඉතිං ඒ ගිය ගමනකදී තාත්තා ට එහි සෘෂිවරයෙක් හමුවී තියෙනවා....එතුමා තාත්තාගෙ අත බලා ශාස්ත්‍රයක් කියලා තියෙනවා...ඒ වෙලාවෙ අපෙ අම්මාත් තාත්තා ළඟ ඉඳල තියෙනවා...සෘෂිවරයා අත බලා තාත්තා ට කියා තියෙනවා ඔය මහත්තයා ට වයස අවුරුදු 49 දි ගෙනා ආයුෂ ඉවරයි...කියලා.
ඒ වයස පන්නන්නම බැහැ කියලත් කියලා තියෙනවනෙ...ඒ වෙලාවෙ තාත්තා ඒක අහල හිතට අරන් නැහැ..පස්සෙ පස්සෙ දෙන්නාටම ඒ අනාවැකිය අමතක වෙලා යන්නත් ඇති මගෙ හිතේ....ඉතිං අම්මායි තාත්තා යි විවාහ වුණෙත් ඉන් පස්සෙනේ "
පූර්ණා එසේ කියන්නීය..
අපේ ආදරණීය කතා නායකයාට උපතින්ම පැවිදි යෝගයක් පිහිටා ඇතැයි ජන්ම පත්‍රයෙහිද සඳහන්ව තියේ...ආගම දහමට පිනට එතරම් ළැදියාවක් ඇත්තේද ඒ නිසාම යැයිද සිතේ..කුඩා වියෙහිදී පැවිදි බිමට පත්කරවන්නැයි විහාරාධිපති හිමියන් එතුමාගේ මවුපියන්ට පවසා තිබුණිද එයට ඔවුන් අකැමැති වී ඇත්තේය.
"අපෙ තාත්තා හරිම නීති ගරුකයි...සත්‍යවාදීයි..අනේ තමන්ගෙ පවුල් ජීවිතයට පුදුම විදිහට ආදරය කළ කෙනෙක්...පවුලේ ආරක්ෂාව සතුට සැප සම්පත් මේ හැමදෙයම තාත්තා උපරිමයෙන් ඉටුකළා..."
දරුවන් දෙදෙනාද බිරියද කැටුව තම මොටෝරියෙන් බෙල්ලන්විල විහාරස්ථානයට නිතර යන්නේය...දරුවන් මල් පහන් පුදා බුදුන් වඳීන ගාථා කියද්දී තාත්තා පසෙකට වී බලා සිටින්නේය....යම් අයුරකින් ගාථාවක් වරදවා හෝ කිවහොත් ලැබෙන දඬුවමද දරුවන් මැනැවින් දනිති..
ඒ විහාරස්ථානයේ සිට ආපසු එන ගමනේදී වෙනදාට නොවැරදීම රැගෙන දෙන අයිස්ක්‍රීම් එදිනට දරුවනට ලැබෙන්නේම නැත...අයිස්ක්‍රීම් නොලැබී යතැයි බියෙන් දරුවන් ඊළඟ දවස්වලදී මැනැවින් ගාථා කියා පැසසුම් ලබා අයිස්ක්‍රීම් ත්‍යාග ලබති.
තම දරුවනට නිතර හෙතෙම ඔවා දුන්නේ විනය ගරුකව හැසිරිය යුතු බවමය...
හෙතෙම සැබැවින්ම යුක්ති ගරුකය...තාත්තාගේ තාත්තා ද එනම් තම සීයාද අදරින් සිහිපත් කළ පූර්ණා සීයා ආදර්ශමත් අයකු බවද කියන්නීය..
මේ සුහද පිළිසඳර ක්ෂණිකව බිඳෙයි..
" චූටී....!"
ඒ අපේ ලීනා ද සිල්වා මැතිනිය අපේ පූර්ණාට හඬ ගා අමතන අයුරුය...
ඒ හඬට පූර්ණා අවනතය..කීකරුය..ආදරණීය ය..
"එනවා අම්මා .." යි කියාගත්වනම එදෙසට දිවයන පූර්ණා.." අනේ ඩිංගක් අනේ ඉන්න ..අම්මා කතා කරනවා.."
තම දරුවන් තමන් නිසා ඔළුව උදුම්මවාගත් දරුවන් සේ හැසිරෙනවාට හේ අකැමැති ම වූ පියෙකු විය..
හෙතෙම ඡ්‍යොතිෂ්‍ය එතරම් විශ්වාස නොකළේය..
ඔහුට මිතුරෝ බොහෝ වූහ.. නවලෝක අධිපතිතුමා ඔහුගේ සමීපතමයාය..හේ නිතර ඔහු දැකුමට නිවසට එයි.
"හැබැයි..ලොකු තැනෙක නමගිය ප්‍රභූවරයාත් ..ගේ ළඟ කඩේ මුදලාලිත් අපෙ තාත්තා ට එකයි...ලොකු පොඩිකම් නම් නැහැමයි."
පූර්ණා කියන්නීය..
වැඩිපුර ගෙදරටම වී කාලය ගෙවන්නට සිතැත්තකු වූ අපේ රවීන්ද්‍ර රූපසේනයන් තම බිරිඳ හා දරුවන් සමග ගෙවන කාලය ඉහළින්ම සලකා සිටියේය..
පූර්ණා සතුටුබර මුහුණිනි.
"මම පුංචි ම කාලෙ ඉඳන් නැටුමට හපනියක්...ඒක මගෙ ඇඟේම තිබුණ දෙයක්...ඒක තාත්තාත් අගය කළා...ඉතිං මම ගේ ඇතුළේ නටනවා..තාත්තා ගෙදර තිබුණු රෙකෝඩ් ප්ලේයර් එක දමනවා..හින්දු සින්දුවලට මං ඩාන්ස් කරන්නෙ...මං නටනවා..තාත්තා ඩෝල්කිය වයනවා...අනේ ඒ ලස්සන කාලය ආයෙත් එනවානම්...."
පූර්ණා හැඬුම්බරව මෙන් එසේ කියන්නීය..
ලැබෙන උත්සව..ප්‍රිය සම්භාෂණ ඇරියුම් ඉවතලන අපේ කතා නායකයා ගෙදර ඇත්තන් සමඟ කාලය ගෙවන්නට දැක්වූයේ නොතිත් ආශාවකි.
"කවදාවත් මට නිළියක් වෙන්න කියල තාත්තා කියලත් නැහැ..අම්මාත් ඒවට උනන්දු කරවලාම නැහැ..!"
එදා හැම දරුවකුටම තිබූ සමරු පොතක් අපේ පූර්ණාටද තිබිණි..ඇය එය තාත්තා අතට දුන්නාය..
බිලිදකු වී රඟපු සුරතල් ළමා වියේ
උගතකු වේය මතු නුඹ දුව සමාජයේ
රොත්තක් මොටද නුඹමය සඳ අම්බරයේ
මැණිකක් ලෙස රකිමි මගෙ ජීවන විමානයේ
එතුමා තම දියණියගේ සමරු පොතේ පිටුවක් සැරසූ ඔහුම ලියූ ඔහුගේම කවෙකි ඒ..
ඒ තම එකම දියණිය පූර්ණා නමිනි...
"අපෙ තාත්තා ට හොඳට කවි ලියන්නත් පුළුවන්...මම අවුරුදු තුනේ ඉඳල පද්මිණී දහනායක මහත්මිය යටතේ භරත නැටුම් හැදෑරුවා..අයියාට ගීත ගයන්න පුළුවන්..ඒ ඉතිං තාත්තා ගෙ අභාසය තමයි..සනත් නන්දසිරි මහතාගෙ සංගීත පන්තිවලටත් අයියා ගියා.. "
අපේ පූර්ණා ගීත රචිකාවකි. ඇය රචනා කළ ගීත තුනක් දයාන් විතාරණ ගායන ශිල්පියාගේ සුගායනයෙන් එළිදක්වා ඇත..
තම පියාණන් රචනා කළ කවි රැසක් තවමත් ඇය සන්තකයේ සුරැකිව තියේ..
වයලීන වාදනයෙහි ද සමත් අපේ කතා නායකයා දරුවනට කලා කුසලතා වෙනුවෙන් නිදහස ලැබදුනිද...කලා ක්ෂෙත්‍රයේ නිරතව ඉන්නැයි කිසිදිනෙක කියා නැති...
හින්දි ගීතයට වඩාත් ඇලුම් පෑ හෙතෙම විවේකයකදී හින්දි ගීත ශ්‍රවණය කළේය..
සනත් නන්දසිරි..වික්ටර් රත්නායක ගීත ඔහු රස වින්දේය..
"සුරතලී." චිත්‍රපටයට ඉන්දියාවට යාමට සිදුවීමෙන් මහත් අකරතැබ්බයකට අපේ කතා නායකයා පාත්‍ර වුයේය..
එනම් සේවය කරමින් පසුවූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රස්සාව අහිමි වී යාමය...කලා කටයුතුවලට සේම රැකියාවටද මහත්සේ කැපවී සිටි ඔහුට රැකියාව අහිමිව යාම බලවත් සිත් තැවුලකට හේතුවක්ම විය..
බිරිඳ ලීනා සැමියා අස්වැසූවද හේ පසුවුයේ වේදනාබර සිතකිනි..
සුරතලී චිත්‍රපටයේ මංගල දර්ශනයට හෙතෙම ගියේය.. ඊට ප්‍රධාන අමුත්තා ලෙසින් පැමිණ සිටියේ එවක අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය..හමුවූ මුල් පැයෙහිදීම අපේ කතා නායකයාගෙන් සුව දුක් විමසූ බණ්ඩාරනායක මහතාට කියා සිටියේ තමන් සුරතලී චිත්‍රපටයට රූ ගත කිරීම් සඳහා ඉන්දියාවට ගිය ගමන නිසාවෙන් තමන්ට රැකියාව අහිමි වී ඇති බවය..
බණ්ඩාරනායක මහතා ඊට සංවේදී වෙමින් ඔහු නැවත එම රැකියාවේම පිහිටුවාලූයේය...කෙටි කලකින් අපේ කතා නායකයාට එහි උසස්වීමක්ද හිමිවිණි...
කැනඩාවේ වෙසෙන අපේ ලීනා මහත්මිය ට පූර්ණාට හැමදේටම සමීපව පසුවන අපේ කතා නායකයාගේ එකම පුත් වෑත්තෑව කංකානම්ගේ යෝග ශ්‍රී බිමල් රූපසේන මහතා මා සමඟ කතා කරනු රිසියෙන් තම මවගේ නිවසට පැමිණියේය..
බිමල් කැනඩාවේ බැංකුවක උසස් නිලදරුවෙකි...ප්‍රියමනාපය..නිවුණු ගති ඇත්තෙකි..
"අපේ තාත්තා රස්සාවට ගියේ වයස 19 දි..මුලින්ම ගායකයකු හැටියට ජනප්‍රියත්වයක් ලැබුවා..පස්සෙ තමයි චිත්‍රපටවලට සම්බන්ධ වුණේ..ඇත්තෙන්ම තාත්තා ගැන අපට තියෙන්නෙ ඉහළම ආඩම්බරයක් ...එයා ජීවත් වුණ හැටි...හැමතින්ම තාත්තා අපට ආදර්ශවත් තාත්තෙක්..
එතුමා හරිම සරලයි..අරුමෝසම් ජීවිතයට කැමැත්තක් නැහැ...
අපෙ තාත්තා ට කාලෙක පටන් නිතර හතියක් මහන්සියක් වගේ තිබුණා ..වෛද්‍ය ප්‍රතිකාරත් ගත්තා..ඒ වගේම පරිස්සම් වුණා..දුම්වැටියට මත්පැනට නැහැ..ඒත් නොයාම බැරි පාටියකට ගියත් ඒ තැනේ හැටියට නිකං තොලගාන පොඩි ඩ්‍රින්ක් එකක් අරගන්නවා මිසක් ඇබ්බැහි වීම් නම් නැහැ..
හරිම නිවුණු චරිතයක්..තාත්තාගෙ පවුලේ අයව තාත්තා හොඳීන් බලාගත්තා ..
බිමල් තම පියාණන් පිළිබඳව කතා කරන්නේ මහත් භක්තිමත් හැඟීමකින් යැයි මට සිතේ.මම නිහඩව අසා සිටිමි.
"තාත්තා වාහනවලට හරි කැමතියි ..වාහනයක් ගන්නවා. ඒක නැවත හදා විකුණනවා. තාත්තායි මමයි හරිම කිට්ටුයි..අපි දෙන්නා කැරම්..චෙස් ක්‍රීඩා කරනවා..ඒ දවස් මතක් වෙද්දි නම් මේ ලෝකය හීනයක් නේද කියල හිතෙනවා..
හරියටම පාන්දර 4ට තාත්තා බුදුන් වඳීනවා..තාත්තා ගමේ පන්සල් දෙකටම උදව් කළා..පිනට හරිම කැමතියි.
යමක් කියන්නට ගොස් එය ඔහු ගිලගත්සේ මට හැඟෙයි...ඒ හඬ බිඳුණු ස්වරයකි..
"අපෙ තාත්තා නැතිවෙනකොට මට වයස අවුරුදු 16 යි...ඒ දුක මම දරාගත්තෙ කොහොමද කියලා හිතන්න..
තාත්තාට මල්ලියෙක් ඉන්නවා..එයා කීර්තිසේන..මහරගම ඉන්නෙ...සැලී ද සිල්වා ..කුසුම් කල්‍යාණි තාත්තා ගෙ නංගිල දෙන්නා..
මට මතක හැටියට තාත්තා සිනමාවට ආවෙ 1956 දි.
අපේ කතා නායක රවින්ද්‍ර රූපසේනයන් උපතේදී මෝදරය...පසුව වයසින් අවුරුදු 6 දී පුංචි බොරැල්ල ට පැමිණ ඇත්තේය..
සුලලිත සෝභනී..සුරතලී..අහංකාර ස්ත්‍රි.. සුන්දර බිරිඳ ..සුනීතා සොහොයුරෝ ආදී චිත්‍රපට රැසක තාත්තා රඟපෑවා..අම්මාත් ප්‍රධාන චරිත රඟපෑවා..ඒ වගේම තාත්තා අම්මා ව ආරක්ෂා කළා...අම්මා ව කඩ පොළටවත් යවන්නේ නැහැ.
හැමදේම තාත්තා තමයි..
ඉන්දියාවෙ ගිය දවසක අම්මා ළඟ ඉන්දැද්දිම සෘෂිවරයෙක් කියල තියෙනව තාත්තා ට අවුරුදු 49 පසුකරන්නට නම් බැහැ කියලා..ඒක ඒ දෙන්නා එතරම් හිතලත් නැහැ..
අන්තිමට ඒ අනාවැකිය තමා සිද්ධ වුණේ...
අපේ බිමල් යටගියාවට එබී තාත්තා මුහුණ පෑ සිද්ධියක්ද කියා පෑවේය..
"අර සොහොයුරෝ චිත්‍රපටය රූ ගත කරද්දී වැලක එල්ලී යන සටන් දර්ශනයකදී වැල කැඩිලා තාත්තා බිමට වැටිලා...
තාත්තා ගෙයින් පිටව යනවිට පුරුද්දක්ම හැටියට දෙවියන් බුදුන් වැඳල යන්නෙ...අපට හිතාගන්නත් බැහැ..එදා ඒ එල්ලුණු වැල කඩා වැටෙද්දීම ඒ වෙලාවටම කොට්ටය ගිනිගෙන තිබුණා .
අපේ තාත්තා අපට නැතිවුණේ තාත්තා ට පන්නන්න බැහැ කියාපු ඒ වයස 49 දිමයි. 1978 අප්‍රේල් මාසෙ 14 වැනිදා අපේ තාත්තා අපිව තනිකරල යන්නම ගියා..
අපේ බිමල් නිහ¼ඬවමය...ඒ හද කැකෑරෙන යටගිය මතකයේ වේදනාවම යැයි මට හැඟේ.
මම ඔහු අස්වැසුවෙමි..
වෑත්තෑව කංකානම්ගේ පූර්ණා ප්‍රියදර්ශනී මහත්මිය තවමත් මා සමඟ පිළිසඳෙර්ය..
තම මෑණියන් කොයි මොහොතක හෝ චූටී කියමින් තමන් අමතයිදෝයි සෙවිල්ලෙන් මා හා කතා කරන්නීය.
"අම්මා මට කතා කළොත් මම ගිහින් අම්මා ව බලල ආයෙත් එනව හොඳේ.."
මව්තුමිය වෙනුවෙන් ම හිත ඇරුණු ආදරයම ඇය කෙරෙන් මට පෙනෙයි..
"අපෙ තාත්තා අපට නැතිවෙනකොට මට වයස 13 යි...ඒ දවස හරිම දුක්බරයි..එදා 1978 අපේ‍්‍රල් සිංහල අලුත් අවුරුදු දවස..14 වැනිදා..
තාත්තා අපිවත් එක්කගෙන නැන්දාගෙ ගෙදර ගියා..එනවිටත් තාත්තාමයි කාරය පදවාගෙන ආවේ..එදා රෑ තාත්තා ට අමාරු වුණා ..මහ රාත්‍රියේ අම්මා අපිව අවදි කෙරෙව්වා..නැගිටින්න තාත්තා ට ගොඩක් අමාරුයි කියලා..
ඒ දවස හරියටම ඉන්දියාවෙ සෘෂිවරයා අනාවැකිය සිද්ධ වුණ දවස..
තාත්තා ට වයස 49 යි...
තාත්තා අපට රත්තරන් තාත්තා කෙනෙක්...අපට තිබුණු හයිය..ආරක්ෂාව ....පන්සලට ගිය ළඟ දවසකදි මගෙ පපුව ටිකක් රිදෙනව කියලත් තියෙනවා..අම්මා එක්කල...
ඒ කාලේ පත්තරවලින් ඇවිත් නිතර ෆොටෝ ගන්නවා...
අපේ පවුලේ අන්තිම පින්තූරය ගත්තෙ ඒ.ඩී රන්ජිත් කුමාර මහත්තයා අපේ ගෙදරටම ඇවිත්...
පූර්ණා හිත තදකරගත් නියායෙන් කතා කරන්නී යැයි මට සිතේ..
සතුට ඉරිතලා ගියාසේය..හැම ඇසකම කඳුළු ය..ඉහ ගිනිගත් සේය..
"තාත්තා අපව තනිකරල යන්නම ගියාට පස්සෙ අයියා තමා අම්මා ට මට සවිය වුණේ...අයියාට කැනඩාවට යන්න ඕන වුණා...
කැනඩාවට ඇවිත් අයියා අම්මාවයි මාවයි ගෙන්වා ගත්තා.
අයියයි මමයි අපෙ අම්මා ට ඉන්නවා..
ජීවිතය හරිම පුදුමයි කියලා හිතෙනවා...
මම පූර්ණාගෙන් සමුගත යුතුව ඇත...
ඒ මොහොතේ ඕ සරසවිය පුවත්පතට..සරසවිය කර්තෘතුමාට හා මටද ස්තුතිවන්ත වෙමින් කීයේ අමතකව යා නොදී ජීවත් වූ කලාකරුවන් නැවත නැවත මතක් කිරීම පිළිබඳව තමන් මහත්සේ අගය කරන බවමය.