වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
සමුගත් කාන්තිය සන්දේශයෙන් නතර නොවුවා නම්...

ගත වූයේ සය වසරකි. ඈ සිරිලක සිනමාවේ ජ්වලිත තාරකාවක වූවා ය. සිනමාපට සතකිනි. ඉන් ඈ මුල් රූපණයට එක් වූයේ සිනමාපට සතරකදී පමණි. ඉතිරි සිනමාපට ත්‍රය ද ඇගේ තාරකා ආගමනයට අවකාශ සැලසු වග නොරහසකි. සිනමා තාරකාවක වීමට රූප සොබාව සුදුසුකමක් වන බව ද ඇගේ සිනමා රූපණය පවස යි. රූපණ හැකියාව කෙසේ වතුදු එඩිය ඇවැසි ම බවත් එය වැඩි දුරටත් කියා සිටී. සිය කෙටි සිනමා දිවිය තුළ දී ඇය මේ එඩිය පිළිබඳ වෙසෙස් නිදසුනක් ගෙන හැර පෑවේ සිනමා රූපණවේදිනියක සතු නො පැකිළීම යන ගුණාංගය කෙරෙහි නො පමාව සැලකිලිමත් වෙමිනි.
අදින් වසර හැට තුනකට පෙරාතුව සිය සිනමා රූපණ දිවියේ උච්චස්ථානය නිර්බාධිතව සලකුණු කළ ඇය - කාන්ති ගුණතුංග පසුගිය දා විප්‍රවාසී ව සිටිය දී නික්ම යන්නේ අසූ හය හැවිරිදි වියේ දී ය. ඇගේ සිනමා රූපණ නික්ම යාම සිදුවන්නේ විසි තුන් හැවිරිදි වියේ දී ය. ළමා විය, තරුණ විය හෝ මැදි විය දැක්වෙන චරිත නිරූපණයෙන් අනතුරුව අවකාශ සැලසෙන පරිදි වියපත් චරිත වුව නිරූපණයට සූදානම් නො වූ, තුරුණු වියේදී ම සිනමාවෙන් දුරස් වූ සිරිලක මුල් පෙළේ සිනමා රූපණවේදිනයන් අතර ඇයට වඩා සමීප වන්නී සන්ධ්‍යා කුමාරි පමණක් වන්නට පුළුවන. සන්ධ්‍යා ද සිනමාවේ මුල් රූපණ අවස්ථා තිබිය දී සිනමාවෙන් දුරස් වන්නේ තිස් වියට එළැඹිමටත් පෙරාතුව ය.
කාන්තිගේ නික්ම යාම අහම්බයක් හෝ තැති ගන්වන සුළු වූවක් නො වේ. එනමුදු ඇය පසුකාලීනව ආ එක් අවස්ථාවක දී හැර ගතවූ හැට තුන් වසර පුරාම සිනමාවෙන් දුරස් වූ දිවි පෙවෙතකට පෙම් බඳීන්නේ වත්මන් සිනමා රසිකයා වෙතින් ද දුරස් වෙමිනි. සිනමා තාරකාවක නික්ම යාම බොහෝ පුවත් මවන නිමිත්තක් වන පසුබිමක කාන්තිගේ නික්ම යාම හුදු පුවතක් බවට ම පත්වන්නේ උක්ත දුරස් වීම ද නිසාවෙනි. සිනමා සමාජය නිරන්තරයෙන් ම වෙනස් වන සුලු ය. සිනමා නිපැයුම හා එළි දැක්වීම සිදුවන්නේ කාන්ති දිදුලමින් සිටි සමයේ දී මෙන් නො වේ. සිනමාපට මාදිලි, අනන්‍යතා හා ප්‍රකාශන ආකාර එදිනට සාපේක්ෂ ව බෙහෙවින් වෙනස් ය. එදින මෙබඳු පරිවර්තන කිසිවකුත් අපේක්ෂා නො කරන්නට ද ඇත. මෙහි එක් ඵලයක් වන්නේ සිනමාවේ අතීත සාරය හා චමත්කාරය ගෙන ආ තාරකා පිළිබඳ මතකය , මතක ගබඩාවේ අඳුරු තැන්වල සැඟවී යාම යි. මෙහෙයින්ම කාන්ති බඳු සිනමා තාරකා අරභයා පසු කියැවීමක නිරත වන්නට සිදු වන්නේ මෙවැනි නික්ම යාම් විෂයෙහිම ය.
කාන්තිගේ සිනමා රූපණ දිවිය පෙර කී පරිදි ම රඳා පැවතියේ සුරූපී බව, එඩිතර බව හා රූපණ සමත්කම යන සාධක ත්‍රය මත යි. අවාසනාවකට මෙයින් රූපණ සමත්කම යන්න ඉහළින් ම සනාථ කළ හැකි අවස්ථා ඇය වෙත එපමණ නො ලැබුණු තරම් ය. ඇය මෙ කරුණට අදාළ ව ලද එකම අවකාශය වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'සන්දේශය' ඇගේ අවසන් සිනමා රූපණය ආ සිනමාපටය වීම ඊට පළමු හේතුවකි. 1960 වසරේදී සිනමාශාලා රසික ජනයාගෙන් පුරවා ලූ 'සන්දේශය' සලකා බැලිය හැකි එක් ආකාරයක් වනුයේ 1960 දශකයේ දී පෙරට ආ සමාන්තර සිනමා ප්‍රවේශයේ මුල් අවස්ථාවක් ලෙසිනි. අනෙක් අවස්ථා ද්විත්වය වනුයේ 'රන්මුතු දූව' හා 'චණ්ඩියා' යි. එසේම 'සංදේශය' අතීත පුවත් නිරූපිත සිරිලක සිනමාපට අතර කැපී පෙනෙන බව ද සඳහන් කළ යුතු ය. එමෙන්ම 'සංදේශය' එහි නිමැවුම්කරු ලෙස්ටර් ජේම්ස් පීරිස් නො කඩවා අනුදුටු මාදිලියේ සිනමාපටයක් ද නො වේ.
සමකාලීන තරගකාරී සිනමා තාරකා වූ රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත්, අයේෂා වීරකෝන්, රීටා රත්නායක, ක්ලැරිස් ද සිල්වා වැන්නියන් හා සමතැන් ගන්නට ද, ඔවුන්ව ඉක්මවා යාමේ සමත්කමත් පවතින වග ඉඟි කරන්නට ද කාන්ති පියවර ගත් සඵලදයී ම අවස්ථාව වනුයේ ද 'සන්දේශය' යි. ඒ ඇය සුරූපී බව, එඩිතර බව සාක්ෂාත් කරගෙන සිටීමේ වාසිය උපයෝගී කොට ගෙන ය.
සුරූපී යුවතියක සේ කාන්ති ගුණතුංග සිරිලක ම හඳුනා ගන්නේ 1956 වසරේ දී 'ලංකාදීප' පුවත්පත මෙහෙය වූ පංච කල්යාණි තරගයේ මුල්තැන දිනා ගැනීමත් සමඟිනි. මේ වන විටත් ඇය සිනමා රූපණයට අවතීර්ණ ව සිටියා ය. සිරිල් පී. අබේරත්න යි ඇගේ සිනමා රූපණයේ පළමු ගුරුවරයා වන්නේ. වසර 1955 දී මුල් වරට ප්‍රදර්ශිත ඔහුගේ 'සුරංගනී' සිනමාපටයේ ඇය නිරූපණය කරන්නේ කුඩා චරිතයකි. ඔහු වෙත ඇය යොමු කරන්නේ ජී.එස්.බී.රාණි පෙරේරා බව ද සඳහන් ය. ඇගේ නර්තන හැදෑරීම් ද මෙහිලා ඉවහල් වන්නට ඇත. ඇය ඉන් උපරිම ඵල නෙලා ගන්නේ 'සංදේශය' හි දී යි.
රූ රැජනක වන 1956 වසරේ දී ඇගේ රූපණයෙන් යුතු සිනමාපට ද්විත්වයක් ම සිනමාශාලා කරා පැමිණේ. මේ කේ. ශංකර් වෙන්කතරාමන්ගේ 'දොස්තර' හා මිත්‍ර දාස්ගේ 'දුප්පතාගේ දුක' යන සිනමාපට යි.
සිනමා රූපණයට කාන්ති මෙසේ එක් වන්නේ සමකාලීන සිනමා දැවැන්තයන් සමඟින් වීම නො සලකා නො හැරිය යුතු කාරණයකි. සිලෝන් තියටර්ස් නිපැයූ 'සුරංගනී' හි මුල් චරිත නිරූපණය කළේ එඩී ජූනියර් හා පර්ල් වාසුදේවි ය. 'ඉන්දියානු ඒ.වී.එම්.සිනමා සමාගම නිපැයූ 'දොස්තර' හි දෙබස් රචනා කළේ හියුගෝ ප්‍රනාන්දු ය. හර්බට් එම් , සෙනෙවිරත්න, රුක්මණී දේවි , එඩි ජයමාන්න, ශාන්ති ලේඛා මුල් පෙළේ චරිත නිරූපණය කළහ. සීමාසහිත සිනමාස් වෙනුවෙන් කේ. ගුණරත්නම් නිපැයූ 'දුප්පතාගේ දුක' හි දී කාන්ති සිය වපසරිය තවදුරටත් පුළුල් කර ගනී. දෙබස් රචනා කළේ හියුගෝ ප්‍රනාන්දු ය. මුල් පෙළේ චරිත නිරූපණය කළේ රසික ආදරය දිනා ගත් ලැඩී රණසිංහ, මාක් සමරනායක වැන්නන් ය.
මේ අත්දැකීම් සමඟ පොහොසත් වූ කාන්ති 1957 වසරේ දී සිනමා සමාජය ආලෝලනය කළ 'ශුරයා' හා 'සූරසේන' ඔස්සේ දිගු සිනමා රූපණ චාරිකාවක තමා නිරත වන බව යි ඉඟි කරන්නට වූයේ. ක්‍රිෂ්ණ රාඕ නිමවූ 'ශුරය' නිපැයුවේ කේ.ගුණරත්නම් ය. මෙ සමයේ කාන්ති, කේ. ගුණරත්නම්ට අයත් සීමාසහිත සිනමාස් හි වෘත්තීය නිළියක වූවා ය. සමකාලීන සිරිලක සිනමාවේ යහ පැවැත්මටත්, පුළුල් කරලීමේ අරමුණු සපුරා ගන්නටත් සීමාසහිත සිනමාස් ඇතුළු සිනමා සමාගම් ඉටු කළ කාර්යභාරය අවතක්සේරු නො කිරීම අත්‍යන්තයෙන්ම වැදගත් ය. එයින් සිරිලක සිනමාව ලද සවිය සුළු කොට තැකිය හැකි නො වේ. වෙසෙසින්ම සිලෝන් තියටර්ස් සිරිලක කලාත්මක සිනමාවේ උන්නතිය වෙනුවෙන් නො පැකිළුණු අවස්ථා ගනණාවකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත 'සන්දේශය ' නිමැවුම භාර කරන්නේ ද කේ. ගුණරත්නම් හා සීමාසහිත සිනමාස් ය.
'ශුරය' හි දී කාන්තිට අලුත්ම සිනමා තාරකාව වන ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න හා රසික ආදරය දිනා සිටි හර්බි සෙනෙවිරත්න සමඟත්, ලැඩී රණසිංහ හා රෝහිණී ජයකොඩි සමඟත් රූපණ කාර්යයෙහි නිරත වන්නට අවකාශ සැලසේ. එක්තරා ආකාරයකින් 'ශුරය' සිරිලක සටන් සිනමාවේ මුල් ම අවස්ථාවක් ද වේ.
එස්.එම්.නායිදු නිපදවා නිමවූ 'සූරසේන' හි දී කාන්ති වහරන්නේ ආනන්ද සමරකෝන් රචිත වදන් ය. හර්බි සෙනෙවිරත්න සමඟ එහි පෙම්වතියගේ චරිතය ඇය නිරූපණය කරන්නේ රසික ආදරය හමුවේ තමා වඩාත් ආකර්ෂණීය වන බව ශපථ කරමිනි.
අතීත සිරිලක සිනමාව ඇසුරට එන රසික පිරිස් කිසි විටෙකත් කාන්ති ගුණතුංග අතහැර නො දමන්නේ වසර 1958 දී සිනමාශාලා කරා ආ 'වනමෝහිනි' ද නිසාවෙනි. මේ ආන්දෝලනාත්මක සිනමාපටයේ වනගත කෙල්ලක මෙන් එන සුරූපී කාන්ති දැක ගන්නට ම සිනමා ශාලා කරා ඇදුණු රසිකයන් ද වූ වග ඇතැම්හු අද ද පවසති. විසි වන විය යාන්තමින් ඉක්ම වූ සුරූපී කාන්තිගේ ආකර්ෂණීය රූපණය සමකාලීන සෙසු නිළි කැළ විස්මයට පත් කළ වග සත්‍යයක් ම වේ. 'වනමෝහිනි' සීමාසහිත සිනමාස් වෙනුවෙන් නිමවන්නේ සිරිලක සිනමාවේ පැවැත්මට උරදුන් එක් අයකු වන ටී.ආර්. සුන්දරම් ය. වසර කිහිපයකට ඉහත දී ප්‍රදර්ශිත ඔහුගේ 'සුජාතා' සිරිලක සිනමාවේ නිසැක හැරවුම් අවස්ථාවක් ය යන්න නො පිළිගන්නා අයකු නොමැති තරම් ය.
'වනමෝහිනි' ලද අතිමහත් රසික ප්‍රතිචාරයට තුඩු දුන් එක් හේතුවක් වනුයේ වනකතාවක් විෂය කොට ගැනීම ය. ත්‍රාසය, භීතිය හා කුතුහලය මුසු කොට ගැනීම ය. කල්පිත ගෝත්‍රික ජන කණ්ඩායමක් නිරූපණය කිරීම ය. කාන්ති මේ වනයේ අතරමංව නොයෙකුත් ගැහැට විඳීන හා එයින් බේරෙන රූමත් ලලනාවකගේ චරිතය නිරූපණය කිරීම ය. ප්‍රකට නළු හර්බි සෙනෙවිරත්න අනෙක් මුල් චරිතය නිරූපණය කිරීමේ වාසිය ද කාන්ති නෙලා ගත්තා ය. ඒ හර්බි - කාන්ති යුගයක් උදා කරලීමේ රසික මනාපය සමඟිනි. නමුත් මෙය රසිකයාගේ හුදු පැතුමක් පමණක් ම විය. 'සන්දේශය' හි දී ආනන්ද ජයරත්නගේ පෙම්බරිය වීමෙන් අනතුරුව ඇය සිරිලක සිනමාව පමණක් නො ව සිරිලක ද හැර ගියා ය. ඇගේ විවාහය ඇයට මහමෙරක් වන්නට ඇත. එනමුදු එය සිරිලක සිනමා සමාජයට නම් දැරිය නොහැකි වෙන්ව යාමක් ය යන්න පැහැදිලි ය.
දශක කිහිපයකට පසුව කාන්ති වැඩිහිටි චරිතයකින් යළි සිරිලක සිනමාවට පැමිණෙන්නේ රෝයි ද සිල්වාගේ 'සැළමුතු පින්න' සිනමාපටයෙනි. 'සැළමුතු පින්න' කාන්ති යළි හඳුනා ගැනීමේ අවස්ථාවක් සපයා දුන් කවුළුවක් බඳු ය. එහෙත් සිරිලක සිනමා සමාජය ඉන් ඵල නෙළා ගත් වගක් නො පෙනේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් 'සන්දේශය ' හි පළමු පෙළ චරිතයකට කාන්තිගේ සහභාගීත්වය තහවුරු කරන්නේ නිපැයුම්කරුවන්ගේ වුවමනාව ද නිසා ය. 'රේඛාව' නිමවා කීර්තිමත් සිනමකරුවකු සේ පතළ ව සිටි ලෙස්ටර් මෙසේ කාන්ති වෙතින් සුවිශේෂත්වයක් කොපමණ ප්‍රමාණයකින් අපේක්ෂා කළේ ද යන්න ප්‍රශ්නයකි. 'වනමෝහිනි' නරඹන කළ ද පෙනී යන්නේ කාන්තිගේ රූපණ විලාසය බෙහෙවින්ම වෙනස් විය යුතු බව ය. ඒ ලෙස්ටර්ගේ පුරෝගාමිත්වයෙන් ඇරඹි කලාත්මක ගුණාංග සහිත සිනමානුරූපී සිනමා භාවිතය වෙනුවෙනි. ඒ සඳහා පුළුල් ඉඩක් 'සන්දේශය'වෙතින් ලැබුණු වගක් නො පෙනේ. එහෙත් කාන්ති සිය සුරූපී බවත්, 'වනමෝහිනි' වෙතින් උපයා ගත් එඩියත්, ප්‍රගුණ කළ නර්තනයත් නිසා 'සංදේශය' හි ලෙස්ටර්ගේ අරමුණු සපුරා ලූ අන්දම දැක ගත හැකි ය.
කාන්ති අත්දුටු මෙම සීමා රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත් ඇතුළු සමකාලීන නිළි පරපුරට සේම හර්බි සෙනෙවිරත්නට ද බලපෑ බව පෙනේ. දිගු කාලීන සිනමා රූපණය ද නිසා ශාන්ති ලේඛා , ඩොමී ජයවර්ධන ඇතුළු කිහිප දෙනෙකු එම සීමා ජය ගත් වග සඳහන් කළ යුතුම ය. 'සන්දේශය' සිනමාපටයෙන් නො නැවතී සිනමා රූපණයෙහි තවදුරටත් නියැළුනේ නම් පසුකාලීන සිනමා රසික ආදරයට ද නො මඳව ලක් වන සිනමා රූපණවේදිනියක වන්නට ඇය සමත් වනු ඇත. එමෙන් ම 1960 දශකයේ රසාලිප්ත සිනමාවේ සදාදරණිය පෙම්වතිය වන්නට ද ඇය අවකාශ සලසා ගනු ඇත. එසේ වූයේ නම් ගාමිණී - ජීවරාණි යුගයක් හෝ ගාමිණී - සන්ධ්‍යා යුගයක් මතක හිටින සුලු අන්දමින් නො එන්නට වුව ඉඩ තිබිණි.
සේයාරූ - දයාන් විතාරණ