වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
චණ්ඩියා රඟපෑවාට පස්සේ තාත්තාට බොහෝදෙනා කතා කළේ කළු මහත්තයා නමින්

එදා අපේ උත්තුංග හෙළ සිනමාවට වීරයන් සේම දුෂ්ටයන්ද ආවෝය.. ගියෝය..එහෙත් තවමත් මතක තිරයෙන් බිඳකුදු දුරස් නුවූ දුෂ්ටයන් ඇත්තේ ස්වල්ප දෙනෙකි..ඒ අතරින් ද මතු මත්තේ ද සිනමා රසිකයාගේ මතකයෙන් බැහැරව නොයනා අපූර්වතම රංගධරයකු පිළිබඳ තතු සොයමින් සිටියදී සිත සතුට උපදවන තොරතුරක් දන්වා සිටියේ චිත්‍රපට සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරයකු වූ අපේ අනුර රත්නායක මහතාය.. ලද තොරතුර වූයේ අපේ විශිෂ්ට රංගන ශිල්පියකු වූ එච්. ඩී. කුලතුංගයන් ගැනමය... ප්‍රංශයේ වෙසෙන එතුමාගේ ලොකු පුතු සම්පත් කුලතුංග මහතා ඔහු මට සමීප කරවූයේ මහත් සතුටකිනි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්පත් මහතා දැන් මා ඇස මානයේය...බැලූ බැල්මටම සුන්දර අයෙකි... රංගන පෞරුෂයෙන් රිදී තිරය ඔපලූ අපේ හදබැඳී එච්.ඩී කුලතුංග නම් සිය ප්‍රේමනීය පියාණන් පිළිබඳව කතා කරන්නට පෙරාතුවම සරසවිය පුවත්පතටත්.. ප්‍රධාන කර්තෘතුමාටත් මටත් ස්තුතිවන්ත වෙමින් කීයේ මේ ටිකමය..
"සරසවිය පුවත්පත නැසීගිය කලාකරුවන් ගැන නැවත කතාබහට ලක්කිරීම ඉතා අගය කරනවා වගේම මෙය ඉදිරි පරම්පරාවද දැනුම්වත් කිරීමක් ...ඇත්තෙන්ම අගය කළ යුතුමයි.."
අපේ සොඳුරු කතා නායකයා පිළිබඳව සැක හැර තතු දැනගනු රිසියෙන් මම ඔහු දෙස බලා හිඳීමි..
එතුවක් තිබූ ඒ කටහඬ දැන් බිඳුණු ස්වරයකිනි..
"අපේ තාත්තා නැතිවෙනකොට මට වයස අවුරුදු 16 ක් වගේ ඇති.මං අදටත් ආඩම්බරයෙන් කියන්නෙ අපෙ තාත්තා කවරදාකවත් මං ජනප්‍රිය නළුවෙක් කියන මානසිකත්වයෙන් ජීවත් වුණේම නැහැ.. තිරයේ දුෂ්ටයාට මිනිස්සු වෛර කළත් හොඳ තාත්තෙක් වගේම හොඳ මනුස්සයෙක් හැටියට ජීවත් වූ අපේ තාත්තාව හැඳීනගත් අය දන්නවා තාත්තා සැබැවින්ම සංවේදී මනුස්සයෙක් බව... ඒ මනුස්සකමට මිනිස්සු හරියට ආදරය කළා..""
මම ඔහුට සවන් දී පසුවෙමි.
"අපේ තාත්තා රුපියල් සත බලාගෙන කටයුතු කළ කෙනෙක් නෙවි...ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරපු අහිංසක මනුස්සයෙක් ...උපයාගත් දෙයක් නම් නැහැ...මියයනතුරුම ජීවත් වන්නට සිද්ධවුණේ කුලී ගෙදරකයි..ඒ සිනමාවට කළ කැප කිරීමට තාත්තාට නිසි සැලකීමක් ලැබුණාද කියන කාරණය නම් දුක්බරයි...ඒ වගේම අපෙ තාත්තා ට ලැබුණු කැපිලි කෙටිලිත් අප්‍රමාණයි..ඒත් එයින් තාත්තා ආපස්සට හැරුණේ නැහැ.. දිගටම රඟපෑවා..සිනමාවේ හිටියා.."
අපේ ආදරණීය කතා නායකයාගේ උප්පැන්නයේ නම හිඟුලගේ දොන් කුලතුංග ය.. උපන් ගම ගාල්ලේය..උපන්නේ 1925 ක්වූ දෙසැම්බරයේ තුන්වනදාය...කුලවතී සහ සයිමන් කුලතුංග එතුමාගේ මවුපිය දෙදෙනාය...
උපතින්ම කලා කුසලතාවන් රැගෙන ආ නිසාදෝ යෞවන වියෙහිදීම ඔහු නාට්‍ය වේදිකාවට අවතීර්ණ වූයේය...පෞරුෂය වඩාත් ඉහළට නැගී පෙනුණේ රංගනයත් සමඟ.. ප්‍රතාපවත් කටහඬද නිසාවෙනි..ඔහුට සිටි එකම වැඩිමහල් සහෝදරිය ශ්‍රියාලතාද තම මල්ලිගේ කුසලතාවන් දැක වඩාත් සතුටට පත්වූවාය..
එවක ප්‍රකට නාට්‍යවේදියකු වූ ජේ.ඩී.ඒ. පෙරේරාගේ වේදිකා නාට්‍යවල එතුමා බොහෝ විට රඟපෑවේය...
වේදිකා නාට්‍ය "කළු එතනා" හි දුටුගැමුණු රජු වූයේ අපේ කතා නායකයාය..තේජස් විලාසයෙන් රජුට ඔබින වස්ත්‍රාභරණයෙන් සැරසී ඔහු රඟපෑ එහි කළු එතනා චරිතයට ජීවය දුන්නේ රූමත් තරුණ නිළියක සමගිනි...ඕ තොමෝ සුමනා අයිරිස් කුලතුංග මහත්මිය ය..වේදිකාවේදී හමුවී දැනහඳුනාගත් අපේ කුලතුංගයන්ගේ හොඳම මිතුරිය වූයේද ඇයමය...තවත් වේදිකා නාට්‍ය රැසකම චරිත නිරූපණයෙහිදී එක්වූ රූපණවේදිනිය සුමනා අයිරිස් හා අපේ කතානායකයා පෙම්වතුන් වී පසුව වැඩිහිටි විරසකයකින් තොරවම අතිනත ගත්හ..
විවාහ ජීවිතයට මුල්තැන දුන් ඕ රංගනයෙන් ඉවත් වූවාය....මේ වනවිට සිනමාවටද පිවිස සිටි තම සැමියාගේ සිනමා ගමනට දෝතම දිගුකළ ඕ තොමෝ දියහැකි හැම සහයක්ම ලැබදෙමින් තමන් ලද දූදරුවන් ගේ ජීවිත වෙනුවෙන් ම කැපවූවාය...
මම සම්පත් දෙස බලා හිඳීමි..
"අමල්...අපෙ තාත්තා ෆියෝ බෙවරේජර්ස් සමාගමේ කටයුතු කළා..ඔය ඒ කාලෙ එහි මැනේජර් මහත්මයාත් සිනමාවට සම්බන්ධයි..මර්වින් සේනාරත්න ..එතුමා හරහා අපෙ තාත්තා ට ලැබුණු මුල්ම චිත්‍රපටය "නළඟන" එහි තාත්තා සුළු චරිතයක් කළේ..ඒක අල්ලල යන්න ඇති.. පස්සෙ තාත්තා ට චිත්‍රපට ආවා..."
අපේ සොඳුරු කතා නායකයා ගේ ලොකු පුතු සම්පත් වන අතර දියණිය ශාරංගිකා...පුත් ශාමන්ත්...බාල දියණිය චතුරංගී තාත්තා කෙරෙහි බැඳුණු නොතිත් ආදරයද එකසේමය...
දැන් අපේ ආදරණීය එච්.ඩී කුලතුංගයන් චිත්‍රපට ගණනාවක පෙරළිකාර චරිතයක්ම වී හමාරය...මේ අතරේදී ය "ටයිටස් තොටවත්තයන්ගේ "චණ්ඩියා චිත්‍රපටයට එක්වූයේ...ප්‍රධාන නළුවා ගාමිණී ෆොන්සේකා ය...සුපුරුදු දුෂ්ට චරිතයටම නම් දැරූ අපේ කතා නායකයා "එහි කළු මහත්තයා "ය....චුට්ටේ (ගාමිණී) සමග කරටකර රඟන ප්‍රතිවාදියාගේ රඟපෑම පිළිබඳව අදටත් ඇත්තේ ඉහවහා ගිය කතිකාවකි..
"ඔය චණ්ඩියා චිත්‍රපටයෙ අපෙ තාත්තා රඟපෑවට පස්සෙ ගමේ අය..අසල්වාසියො වගේම දන්නා කියන හැමෝම තාත්තා ට කතාකළේ කළු මහත්තයා කියලයි..ප්‍රතිවාදියා දක්ෂ වූ තරමට ප්‍රධාන නළුවා ඉහළටම මතුවී පේනවනෙ..එය තමයි ඒ චිත්‍රපටයෙන් සිදුවුණේ...එහි රඟපාද්දි තාත්තා ට තුවාල සිදුවුණා..
තනිවම බෙහෙත් කරගත්තා..දරා ගත්තා...
සිනමා ක්ෂෙත්‍රයේ තාත්තා ට හොඳ නමක් තිබුණා ..එයට හේතු තිබුණා ..රඟපාන්න ගියාම තියෙන හැටියට කාලා ..එතැන හැටියට සහය දුනා මිසක් විශේෂ පහසුකම් මුකුත් ම ඉල්ලන සිරිතක් තාත්තා ට තිබුනෙ ම නැහැ..ගාමිණී මහත්තයා හෝටල් ඕන කියද්දි තාත්තා සාමාන්‍ය තාලෙට අවශ්‍ය සහය දුන්නා...මේ බව කීවෙත් බැප්ටිස්ට් ප්‍රනාන්දු මහත්තයා..ඔය කාලෙ අම්මා හිටියෙ බාල නංගි ළඟ...
ඔය 1950 ගණන්වල අපෙ තාත්තා රස්සාව කළේ අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවෙ කළමනාකාර හැටියට.. මුල් අවධියෙ තාත්තා ජේ.ඩී. ඒ පෙරේරා නාට්‍යවේදි එක්ක නාට්‍ය නිෂ්පාදක විදිහටත් කටයුතු කළානෙ..අශ්ව කරත්තයත් තාත්තා වේදිකාවට ගෙනාවනෙ..
" ආත්ම පූජා" චිත්‍රපටය කාගේත් කතාබහට ලක්වූ තවත් ඔහු රඟපෑ මුල්පෙළේ චිත්‍රපටයකි. එහි රඟපෑමට කඩු සටන් ආදී සටන් දර්ශන සඳහා ගාමිණී සමඟ අපේ කතා නායකයාද ඉන්දියාවට ගියේය..කාලය තෙමසකි..
"ඒ කාලෙ නළුවො පරිපූර්ණයි..ඔය ගාමිණී ..ඩොමී..ඇල්ෆ‍්‍රඩ් ..පියදාස ආදීන් තුළ කැපී පෙනෙන පෞරුෂයක් තිබුණා ..ඒ පෞරුෂය අපෙ තාත්තා ට නොඅඩුවම තිබුණා ..තාත්තා මංගල උත්සවයකට..කොයියම් තැනකට ගියත් හොඳට කැපී පේනවා..අපි වගේ අය ගියාම නතිං..
සම්පත් සිනාසෙන්නේය..ඔහුගේ කතාව ප්‍රියමනාපය..මිත්‍රශීලීය..දිගු කලෙක සිට දන්නා හඳුනන පරිද්දෙනි..
"වෙස්සන්තර නාට්‍යයෙන් තමා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කලා ලොවට හඳුන්වා දුන්නේ..දවසක් අපෙ අම්මා ට සතිස් අන්කල් කියා තියෙනව තාත්තා තමා උදව් කළේ කියලා.. සතිස්චන්ද්‍ර එක්ක තාත්තා බොහොම සමීපව උන්නා..ඒ වගේමයි ගාමිණීත්...තාත්තා ට හරිම ලැදියි.. ගාමිණී ට ගාමිණී කියල තනි වචනයෙන් අමතන අය උන්නෙ ටික දෙනයි..තාත්තා කතා කළෙත් ගාමිණී කියලයි..එතරම් කුලුපගයි. අපෙ තාත්තා නාට්‍ය රැසක රඟපෑවනෙ..එහිදී එඩී ජූනියර් මහතාත් තාත්තා සමඟ රඟපාලා තියෙනවා.
ඉතිං සිනමාවට ආවාට පස්සෙ චිත්‍රපට ගලාගෙන ආවා..
ඒ කාලෙ දුෂ්ට චරිත වලට නම් දරාපු ලැඩී රණසිංහ වැන්නන් උන්නත් ගාමිණී තමයි කියල තියෙන්නෙ කළු මහත්තයා චරිතයට වඩාත් ගැළපෙන්නෙ තාත්තාමයි කියලා. ඒ කිව්ව වගේම චණ්ඩියා තුළින් තාත්තා නිසා ගාමිණී තවත් උඩටම ආවා..අපෙ තාත්තාත් උඩටම ආවා..ඒ එක්කම තාත්තා ට ආවෙම දුෂ්ට චරිතමයි..දුෂ්ටයා සාර්ථක නම් චිත්‍රපටය දුවනවා..එයයි ඇත්තම කතාව..අපෙ තාත්තා සම්මානිත වුණේ දීපශිඛා චිත්‍රපටයෙන්.."
අපේ ආදරණීය කුලතුංගයන් නැතිවම බැරි නළුවකුම විය...දාමරික.. සාහසික චරිත..නොසණ්ඩාල චරිත..රඟපෑමේදී වඩ වඩාත් ඔහු ඒ චරිත වලටම සින්න විය..
කිවයුත්තක්ද තිබෙයි..අපේ කතා නායකයාගේ රංගනයේදී අවදානම් තැන්වලදී ආදේශක පුද්ගලයකු ඇවැසි නැති..ඒ අභියෝගය ඔහු කැමැත්තෙන් බාර ගත්තේය..ඒ නිසාම ඔහු අනතුරට පත් වූ..තුවාල කරගත් අවස්ථා ද අපමණය..
එවන් තවත් අවස්ථාවක් කීයේ අපේ ආදරණීය සම්පත්ය..
"ඔය සූර චෞරයා කරද්දි තාත්තා ට මාර දෙයක්නෙ වුණේ..ගාමිණී යි තාත්තා යි ෆයිට් වලදි ඇත්තටම ගහ ගන්නවා..එක ෆයිට් එකකදි පුටු සැටියක් පෙරළාගෙන වැටෙනවා..ස්ටන්ට් කිරීමක් නැහැ.. කවුරුවත් ඩබල් කළේ නැහැ..වැටුණාම ඊළඟ පාරට නැගිටින්න ඕනානෙ..අනේ අමල්...අහන්නකෝ..තාත්තා නැගිටින්නෙ නැතිවම ඉන්න කොට ඒ සීන් එක ගාමිණී කට් කරල විමසද්දී අපේ තාත්තාගෙ කොඳු ඇට පෙළට හානිවෙලානෙ..ඒ වැඩෙන් තාත්තා එක දිගට බෙහෙත් කරමින් ගෙදරට වී උන්නා.."
අපේ සම්පත් බොහෝ වේලාවක් නිහඬ වම සිටී..ඔහු තම දෑස නැඟි කඳුළක් පිටඅත්ලෙන් පිසලන අයුරු පෙනෙයි..මම ගොළුවත රකිමි.
දිගු සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගත් නියාවෙන්.."හරි..අමල්..අපි කතා කරමුකො.."යැයි කීවේද බිඳුණු හඬකිනි..
"අපේ තාත්තා චිත්‍රපටවල නළුවා නෙමෙයි ගෙදරත්..සමාජයෙත්..කාරුණික හදවතක් තිබුණා ...ඒ හිත හරිම මුදු මොළොක්..කවදාවත් අපටවත් අම්මාටවත් සැරවැර කරල නැහැ..අම්මා තමා අපට එහෙමවත් කරල තියෙන්නෙ..තාත්තා නැතිවෙද්දි මම ළමයෙක්..තාම මතකයි අමල් ...අපෙ තාත්තා අපට දුන් ආදරය ...අපට උගන්වන්න මහන්සි වුණා..මම ව්ඛ්ට් කරල පසුව කොලඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා..අම්මාත් අප වෙනුවෙන් කැපවුණා..ඉතින් අමල් ..තාත්තා ගෙදර ඉන්නකොට අපි හරිම ආසයි...තාත්තා ව වටකරගෙන අපි නිදාගන්නවා..දවල් වනතුරුම තාත්තාගෙ තුරුළෙ අපි නිදනවා...ඒ අතීතය හරිම සුන්දරයි ..ගාමිණී තාත්තා බලන්න එනවා..එදා සිනමා සක්විති නෙමෙයි..දෙන්නා හරි යාළුයි..ගාමිණී මාවත් වඩාගෙන තියෙනවා..පැය ගාණක් තාත්තා එක්ක කතා කර කර ඉඳල යන්නෙ..ගාමිණී කියන්නෙ කරුණාවන්ත මනුස්සයෙක්..
ඉතිං..අමල්..තාත්තාගෙ කකුල කැඩුණා තවත් චිත්‍රපටයකදි..ඒ දවස්වල අපේ ගෙදර නළු නිළියන්ගෙන් පිරිලා..ඉස්සර හැමෝටම දෙන්නෙ එකම ට්‍රාන්ස්පෝට් එකනෙ..විජය එක්කල තාත්තා ට රඟපාන්න දිගටම අවස්ථාව නැතිවුවත් විජය තාත්තා බලන්න ගෙදරට ආවා..මතක හැටියට රන් ඔන්චිල්ලා එකේ විජය එක්ක තාත්තා රඟපෑවා..
ඒකට අපේ ගෙදරත් ෂූට් කළා..ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න මහත්තයා තාත්තා ට සමීපයි..පර්ල් කුරේ..ස්වර්ණා කහවිට ජෙසිකා වික්‍රමසිංහ..වගේ තව ගොඩක් අය ගෙදරට එනවා..
මගේ වයස හතේ අටේ කාලෙ සිදුවුණු සිදුවීම් පවා මට තවම මතකයි.."
අපේ සොඳුරු කතා නායකයාට දුෂ්ට චරිත පමණක්ම නොව ප්‍රධාන චරිතද ලැබුණු බව කී සම්පත් තාත්තා කැමති වූයේ දුෂ්ට චරිතවලටම බවද කියන්නේය..
"එදා ප්‍රධාන චරිතය කියා තිබුනෙ සීනි බෝල චරිත..තාත්තලා තමයි රඟපාන චරිත කළේ..ගාමිණී පවා උඩට ආවේ තාත්තලා නිසයි. කළු මහත්තයා චණ්ඩියා චිත්‍රපටය පුරාම දිවෙන චරිතයක්නෙ..අවතක්සේරු කරන්න හොඳ නැහැ..අපේ ගාමිණීත් හොඳට රඟපෑවා..සෝමසිරි දෙහිපිටිය..පියදාස ගුණසේකර ..ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ..ඒ අය අනික් පැත්තට ආවා..ඒ නිසා චිත්‍රපටයට හොඳ ගතියක් ආවා..එයමයි එදා සිදුවුණේ..
තාත්තාගෙ නමට ඉහළම ස්ටිකරයක් තිබුණා ..නාමාවලිය බලද්දී තාත්තාගෙ නම තනිව කියැවුණ කාලයක් තිබුණා ..ඒ තරම් තාත්තා ජනප්‍රියත්වයට පැමිණ සිටියා..
සිනමා සිත්තම් හැටකට ආසන්න සංඛ්‍යාවක චරිත නිරුපණය කළ අපේ ආදරණීය කතා නායකයා මුලදී නිවසේදී ඉඳහිට මීවිත තොල ගෑවද නොදැනීම වගේ මීවිතට ලොල් වූයේය..දුම්වැටියට ළංවූයේය...අහල පහළ අයටද ඔහු රසඳුනකි...මාලිගාවත්තේ කුලී නිවසක තම බිරිඳ හා දූ දරුවන් සමඟ වෙසෙනා ඔහු ගෙදර රැඳෙන්නේ අහඹුවෙනි...එතරම් කාර්ය බහුලය..
ඉතින්..අමල් ..අපෙ අම්මාත් නිළියක්..එතුමිය ඇයගේ අපේක්ෂාවන් අපව හදාවඩා ගැනීමේ අරමුණින් කැපකළා...තාත්තා දිගටම ගමන යනවා..අපෙ අම්මා කිරිබත්ගොඩ ...තාත්තා එක්ක විවාහ වුණේ 1959දි..තාත්තා ගෙදර ඉන්න විට තාත්තා මාවත් හවුල් කරගෙන පිටපතක් ලියුවා..පස්සෙ රඟපාලා පෙන්වනවා..රංගනය අපෙ තාත්තාගෙ ඇඟේ ලේවලම තිබුණා ..ග්ලිසරීන් නැති හඬන්න පුළුවන් දෙන්නයි එදා උන්නෙ..එක්කෙනෙක් රුක්මණී දේවි..අනිත් කෙනා අපෙ තාත්තා ..අපි ඒ කාලෙ උන්නෙ වත්තක වගේ..ගෙවල් හතරක් තිබුණෙ ..අප විතරයි සිංහල..මුස්ලිම් අය වැඩියි..මේ හැමෝම තාත්තා ට දැක්වූයෙ පුදුම භක්තියක්..ආදරයක්..මේ හැමෝම තාත්තා ඉන්න දවසට ගෙදරට එකතු වෙනවා..සින්දු කියනවා..නටනවා..හරිම විමෝදයි..මහ රාත්‍රිය වෙනකම් විමෝදේ..එතරම් එකමුතුයි.
ඇත්තමයි අමල්..අද එදා සුන්දරත්වය අද නැහැ..දුරකතන මේවා මුකුත්ම නැහැ..ඒත් එදා ලබාපු වින්දනය ...අද කෝ.
සම්පත් එකදිගට කියා යන්නේය...ප්‍රංශයේ වෙසෙන හෙතෙම එහි විස්තර කියන්නට ද අමතක නොකරයි..
සංවේදී පුවතක්ද මේ අතරේදී ඔහු කියන්නේය..ඒ මෙසේයැ..
අපේ ආදරණිය කතා නායකයාගේ මුළු හදවත කියාපානා කතාවක්මය..ඔහුගේ ආදරණීය මෑණියන් මියගියදා තරම් දුකට පත්වූ තවත් දවසක් නැති...හේ වැලපුණේය..මවගේ වියෝගය දරාගනු බැරිව හේ දොරකට පහර දුන්නේය..ඒ තම හිසෙනි..දොරෙහි වීදුරුව කුඩුපට්ටම් වී අපේ කුලතුංගයන්ගේ හිසටද බරපතළ තුවාල සිදුවිණි..
තම එකම සහෝදරිය ඔහුට අහිමි වූයේ පිළිකාවක් වැලඳීමෙනි..ඒ එකම අක්කා ශ්‍රියාලතා නැතිවූයේ 1966 දී පමණය..
"සිය නාමය ප්‍රකට නොවුවද වේදිකා නිළියක ලෙසින් තම කුසලතා පෙන්නුම් කළ බිරිඳ සුමනා අයිරිස් කුලතුංග මහත්මිය සහ ඔහු අතර පැවතියේ නිම්හිම් නොවනා බැඳීමකි..
ඇයගේ ආශීර්වාදය හේ තරයේ ඇදහූයේය..
"සිනමාව නිසාම මගෙ මහත්තයා බීමතට ලෝලියකු වුණා..රඟපෑමේදී අනන්ත ගැහැටට..අනතුරට පත්වුණා ..එයාට වන්දියක් කියා දෙයක් ලැබුණෙත් නැහැ....මහත්තයා ජිවිතයම කැපකළේ රුපියල් සත බලා නොව සිනමාව කලාව වෙනුවෙන් ම බව එතුමිය යටගිය දිනෙක පුවත්පතකට කියා තිබිණි ...
අපට අපේම කියල ගෙයක් දොරක් හදාගන්නවත් බැරිවුණා ...මාලිගාවත්තේ කුලී ගෙදරකයි අප ජීවත් වුණේ...
අතට ලැබෙන හැම සතයම එයා මගෙ අතට ගෙනැවිත් දුන්නා..දරුවන් වෙනුවෙන් කැපවුණා...පුදුම ආදරයක් සිනමාවට එයාගෙ තිබුණෙ .."
එයද එතුමිය පුවත්පතකට කියා තිබූ කතාවකි..
දැන් දැන් අපේ සොඳුරු කතා නායකයා රෝගී වන්නේය...
සම්පත් කටහඬ අවදි කරන්නේය.
"බොහෝ අය අපෙ තාත්තා ට ළංවෙන්න බයක් දැක්වූවා කියල මට හිතෙනවා...දුෂ්ට චරිත රඟපෑම නිසා කියලත් මට හිතෙනවා...ඇත්තටම මං ජනප්‍රිය නළුවෙක් කියල හිතාගෙන ජීවත් වූ කෙනකුත් නෙවෙයි..තාත්තා එක්ක ඇසුරට වැටුණා ට පසු නම් එයාලා තාත්තා හොයාගෙන ගෙදරටම එනවා..එතරම් ප්‍රියමනාපයි..කාගෙවත් හිතක් රිදවන්න තාත්තා කැමති නැහැ..
ඔයා දන්නවද අමල්..අත බලා සාස්තර කීමට තාත්තා ට හොඳ දැනීමක් තිබුණානෙ..ඒ වගෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම කළ අයෙක් නිසා ඒ දැනුමත් විශිෂ්ට යි..
අපේ තාත්තා ගැන අපට එදා ඇතිවූ ආඩම්බරය අදටත් අපේ හිත්වල තාත්තා ගැන තියෙනවා..
මං දොස්තර කෙනෙක් වෙනවාට තාත්තා තුළ ලොකු කැමැත්තක් තිබුණා ..මං ඉගෙනුමට දක්ෂ ළමයෙක් නිසා...
ඒ හැම දෙයකටම වඩා හොඳ පුරවැසියෙකු කරන්න තාත්තා කියාදුන් බොහෝ දේ අදටත් මට මතකයි..අපිව සල්ලිකාරයො කරවන්න නෙවි..නිතරම කිවෙ රටට හොඳ මනුස්සයෙක් වෙන්න. හොඳටම ඒ ඇති කියලමයි..කොහොමත් අමල්..ඉස්සර එදා වැඩිහිටියන් ට තරඟයක් කොහෙත්ම නැහැනෙ..හොඳ මිනිහෙක් වෙනව දකින්නනෙ එදා අයට ඕනෑකම තිබුණෙ ...නේද...
තාත්තා ට ලැබුණු ගෞරවය අදත් තාත්තාගෙ නාමයෙන් අපටත් ලැබෙනවා...
සම්පත් යමක් මතක් වූවාක් මෙන් මදෙස බැලුවේය...
"මට මතකයි අමල් තාත්තා ට ආව කැපිලි කෙටිලි..එකක් කියන්නම්කො...මතකද අමල් ඔය හුලවාලි කියන චිත්‍රපටය ...ඒ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය ධාරා...කියන චරිතයනෙ..එයට ගිවිසුම් අස්සන් කළේ අපෙ තාත්තා යි..අත්තිකාරම් මුදල් පවා තාත්තා අරන් තිබුණෙ .. ඒ කතාව ලියාපු දයා රාජපක්ෂ ගෙ එකම ඉල්ලිම වුණේ ධාරා..එච්.ඩී. කුලතුංගම ගත යුතුමය කියලයි..ගාමිණී ට බිබිලෙ ඇත්තොගෙ චරිතය..දීලා තිබුණෙ ..අධ්‍යක්ෂණය සතිස්චන්ද්‍ර එදිරිසිංහ කරන්න හිටියේ..
කොහෙන් කොහොම හරි ගාමිණී ධාරා වුණා..බිබිලෙ ඇත්තො ටෝනි වුණා ..තාත්තා ව කැපිලම ගියා..මේ වගේ කැපිලි කෙටිලි වලට අපෙ තාත්තා මුහුණ දීලා තියෙනවා.. යම් යම් හේතු මත...තාත්තා ට කාලය හරස් වුණා...චිත්‍රපට නැතිව ගියා.. චිත්‍රපට පෝලිමට ම තාත්තා ට ආවනෙ..ඒ එක්කම තාත්තා ගෙ රස්සාවත් අහිමි වෙලා ගියා..."
අපේ ආදරණීය කුලතුංගයන් හොලිවුඩ් චිත්‍රපටයකද රඟපෑවේය..ඊඩපඥඥ රඥතතධඹඵ ජචබඵ එම චිත්‍රපටය ය..
ඉතිං ..හුලවාලි අහිමි වීම ගැන තාත්තා ලොකු දුකකට පත්වුණා.. කාරුණික හිතක් ඇත්තෙක් නිසා ඒ යටිපෙළේ සිදුවීම් ගැන තාත්තා වාද කරන්න ගියෙත් නැහැ...අනික...තාත්තා කාටත් ගරු කරනවා...තාත්තා තුළ විශේෂ කැමැත්තක් තිබුනෙ ගාමිණී ට...ඔස්වල්ඩ් ජයසිංහ තාත්තා ට කුලේ කියල අමතන්නෙ..
"හැබැයි අමල්..මෙන්න මේ ටික විශේෂයෙන් කියන්නම ඕනා... අපේ තාත්තා කවදාකවත් චිත්‍රපට ඉල්ලා ගෙන අධ්‍යක්ෂකවරු පසුපස්සේ නම් ගිහිල්ල ම නැහැ...චරිත ඉල්ලන් පසුපස ගිහිල්ලාත් නැහැ..තාත්තා විතරක් ම නෙවි..ඒ කාලෙ උන්න ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්නල..පියදාස ගුණසේකර ල..සෝමසිරි දෙහිපිටියලා වගේ අය ඔය චරිත ඉල්ලන් පස්සෙන් නම් ගිහින් නැහැ..එයාලා වගේම අපෙ තාත්තාත් අදීන චරිතයක්...ඒක අදටත් දරුවන් වන අපටත් ආඩම්බරයක් ...ලැබෙන දෙයින් සැනසුණා..එපමණයි ..
අපේ සම්පත් තිර හඬින් එලෙසින්ම කියන්නේය..
එතුමා මාලිගාවත්තේ සුධර්මාරාම විහාරස්ථානය ට විවේකී අවස්ථාවල යන්නේය..පින්කම් වල යෙදෙන්නේය...එහි විහාරාධිපති හිමියන් එතුමා සමීපයේමය..අපේ කතා නායකයා එම විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වූ බවද පුතු සම්පත් කියන්නේය..
"අමල්...හොඳ මිනිස්සු ගැන මේ වෙලාවෙදි නොකීවොත් ලොකු වරදක් ..අපේ විශිෂ්ට නළුවා සේනාධීර රූපසිංහ මහත්තයා ..එතුමා කෙළින් හොඳ හිත ඇති වටිනා චරිත...සේනාධීර මහත්තයා අපේ ගෙදර එනවා..ඉතින් එතුමා ගෙදරට ආ වේලේ පටන් කියන්නෙ ම ඉල ඇදෙන විහිළු කතා..අපිත් හරිම ආසාවෙන් ඒ විහිළු කතා විඳීනවා...බන්දුත් සමීපයි..මේ වගේ පුහු ආටෝප නැති කලාකරුවන් අද ඉන්නවද මන්දා...ඒ උතුම් මිනිස්සු ...අදත් අපේ රටේ මිනිස්සුන්ගෙ හිත්වල ජීවත්වෙන බව මට විස්වාසයි ...
එඩී ජූනියර්...පර්ල් වාසුදේවි යුවළත් එහෙමයි.."
"මං පුංචිම කාලෙනෙ අපෙ තාත්තා මට නැතිවුණේ..එතකොට මට වයස අවුරුදු දහයක් විතර ඇති..සම්පත් අපේ ලොකු අයියාට වගේ නම් මට මතක නැහැ...ගෙදරට චිත්‍රපටවල කට්ටිය නිතර තාත්තා ව බලන්න ආපු බව නම් මට මතකයි..
ඒ ටික කීවේ අපේ සොඳුරු කතා නායකයාගේ බාලම දියණිය...අපේ සම්පත් ගේ බාල නැගණිය වන චතුරංගී මහත්මිය ය..
සම්පත් මහතාගේ මග පෙන්වීමෙන් ඕ බැහැ දැකුමට මා ගියේ කිරිබත්ගොඩ මාකොල ප්‍රදේශයේ ඇයගේ නිවහනටය...
රුවැත්තියක වන ඕ සිය දියණිය ද සමඟින් ආගන්තුක සත්කාර ලැබදී තම ආදරණීය පියාණන් පිළිබඳව ද..මව්තුමිය පිළිබඳව ද දන්නා තතු මතක් කරමින් පවසන්නට වූවාය....
අපෙ තාත්තා අවසන් වරට රඟපෑවේ "ශ්‍රී මදාරා" චිත්‍රපටයෙ කියල මට මතකයි..
අපෙ තාත්තා චිත්‍රපටයක් කරන්නට සැලසුමක් කර සිටියා..ඒ චිත්‍රපටයෙ නම "කම්කරුවා " තාත්තාමයි ඒ පිටපත ලියුවෙත්..එය අධ්‍යක්ෂණය කරමින් රඟපාන්නයි තාත්තාගෙ සිහිනය වුණේ.. තාත්තාගෙ ඒ සිහිනය බොඳ වී ගියා. පසු කලෙක කලාවට සම්බන්ධ අයෙක් ඒ පිටපත අරන් ගියා..ගියාමයි එය ආපසු අපට දුන්නෙවත් නැහැ...!
"අපේ තාත්තා ආයෙත් අපි අතරට එනවානම් ...මං හරිම ආසයි..."
කෙටි පිළිසඳර හමාර කරමින් මිදුලට පැමිණි මොහොතේදී ඕ තොමෝ සමුදෙමින් කීවේ ඒ ටිකමය..
අපේ ආදරණීය කතා නායකයා බලවත්සේ රෝගාතුර වෙයි...රෝහලේ වරින්වර නේවාසික ව ප්‍රතිකාර ලබයි...
සම්පත් ට කොළඹ නාලන්දා විදුහලේ ඉගෙනුම අරඹන්නට ඔන්න මෙන්න කියා තිබියදී පියාගේ රෝගාතුර වීම තවත් දුකකට හේතුවකි...එහෙත් සම්පත් පියා මත්තේමය...
එතුමා ගිලන් යහන මත බරපතළ තත්ත්වයකිනි...රූපණවේදිනිය නීටා ප්‍රනාන්දු මහත්මිය සුප් බඳුනක් රැගෙන වාට්ටුවට පැමිණියාය ..එය තේ හැන්දකින් බිරිඳ පෙව්වාය..අපේ කතා නායකයා කෝමා තත්ත්වයේය...ගත නොසෙල්වී තිබිණි ...මේ වනවිට දහවල් 12 ද පසුවී හමාරය...බිරිඳ දරුවන් සේම දන්නා කියන අයද..අසල්වාසියෝද ඔහු සමීපයේමය...හැම නෙතකම රැඳී තිබුණේ කඳුළකි...ඇස පිය වේගයෙන් ගසමින් තවත් මොහොතකින් අපේ කතා නායකයා...දඟලන්නට වී..
රෝගියාගේ තත්ත්වය කියන්නට පුතු සම්පත් වහා හෙදියක වෙත දිව ගියේය...
හෙදිය රෝගියා වෙතට එනවිට අපේ කුලතුංගයන් නිසොල්මනේය...හෙදිය වහා රෝගියාගේ තත්ත්වය අධ්‍යයනය කළා වැන්න...
ඕ...නිහඬවම රෝගියා දෙසම බලා සිටියදී...එහි රැස්ව සිටි සියල්ලන්ගේ දෑස් යොමු වී තිබුණේ හෙදියගේ මුහුණ දෙසටමය...
"කරුණාකරල ඔයාලා හැමෝම ටිකක් එළියට යන්න.." ඒ හෙදියගේ කාරුණික ..එහෙත් විධානයක හඬකි..
සියල්ලෝ ඊට අවනතව වාට්ටුවෙන් පිටව යද්දී....
අපේ සොඳුරු මහත්මා ගුණින් පිරිපුන් කතා නායකයාගේ සිරුරේ මුහුණ ද වැසෙනා අයුරින් කේදාන්තයේ සිට පාදාන්තය දක්වා සුදු රෙද්දකින් වසා තැබූ හෙදිය අනතුරුව ඉවතට යන්නට වූවාය...
සම්පත් හැඬුම් බරව යැයි මට සිතේ..
"ඔව්..අමල්..අපෙ තාත්තා එහෙමයි අපට නැතිව ගියේ...
ඇත්තමයි ...අපටත් වඩා එදා හඬා වැලපුණේ අපේ ගෙදර ට වටේ උන්නු ගෙවල්වල අයයි...ඒ ගම් පළාතම අඬන්න ගත්තා..මට තවමත් පුදුමයි. අපේ තාත්තා ට මේ සිංහල මුස්ලිම් දමිළ මිනිස්සු පවා මෙතරම් ආදරය කළාද කියලා..ඒ මිනිස්සු හැඬුවෙ අමල්...අපේ කුලතුංග අයියා..කිය කිය..."
සම්පත් තම පියාණන්ගේ මතක සැමරුම් අතර සැරිසරන්නේ යැයි මට සිතේ..මා ගොළුවත රකිමි.
එතුමාගේ අවසන් මොහොත වෙනුවෙන් එහෙමට පිරිසක් එක්නොවූ බවද කියැවෙයි..ඒ බව බිරිඳ සුමනා අයිරිස් පුවත්පතකට කියා තිබිණි ..
"රංගනය නිසාම මගෙ මහත්තයා බීමතට ඇබ්බැහි වුණා..
අවුරුදු ගණනක් මහත්තයා රෝගීව පසුවුණා..අපි එකම වේදිකාවෙන් හමුවුණා.පෙම්වතුන් වුණා..පස්සෙ අපි විවාහ වුණා..එයා හොඳ ස්වාමියෙක්..වගේම හොඳ පියෙක්...කවදාවත් නම කැතවන ..දරුවනට නින්දාවන කිසිවක්ම නැහැ.
මහත්තයාගෙ රුව සඳහන් මුද්දරයක් නිකුත් කරන්න එවක තැපැල් ඇමතිවරයකු ගත් උත්සාහයද යම් යම් හේතු මත ව්‍යර්ථව ගියා..
මහත්තයා රෝගීව සිටි කාලයේදි එහෙමට කවුරුවත් බලන්න ආවෙ නැහැ..නීටා ආවා සුප් එකකුත් හදාගෙන..ම..
මහත්තයා ගෙ අවමඟුලට ආර්.ප්‍රේමදාස මහත්තයා යි රුක්මණී දේවි ....කලා ශිල්පී..ශිල්පිනියන් අතළොස්සක් දෙනා සහභාගි වුණා.."
ඕ සිය හිමි වියෝවීමෙන් පසු දිනෙකදී පුවත්පතකට එසේ කීවාය..
දූදරුවන් හතර දෙනකු සමඟ කුලී නිවසක පසුවෙමින් තනිව තවත් දුර යාගත නොහී...අසරණ වූ තැනදී ගාමිණී ෆොන්සේකා මහතා ඇය අස්වසමින් ආර්.ප්‍රේමදාස මහතා දැනුම්වත් කරවමින් එතුමියට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ පිළිගැනීමේ නිලධාරිණිය ලෙසින් රැකියාවක් ලැබ දුනි...
ඕ සැනසුම් සුසුම් හෙලුවාය...
"අපෙ තාත්තා තවමත් අප ළඟම ඉන්නව වගේ හිතට දැනෙනවා....!
අපේ සදාදරණීය එච්.ඩී කුලතුංග නම් විශිෂ්ට රංගවේදියා...අවුරුදු 51 ක් ආයු වින්දනය කරමින් යළි නොඑනා නික්මන් ගමන් වැඩියේ 1976 ක්වූ ඔක්තෝබර් මස 22 වනදාය...!