අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න

ජුනි 22, 2023

 

ආරාධනා......

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙළන හදවත සනසා

අතීතයේ ගිලිහී ගිය

සතුට රැගෙන යළි වඩින්න

ආරාධනා...

 

නෙළූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ

මැකී ගියාදෝ කාලයේ වෙරළේ

ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා

සෙනේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා

ආරාධනා.... 

 

එදා සිඟිති කිරි සුවඳීන් යුගදිවි අරණේ

ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි

බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා

ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..

ආරාධනා....

 

පද රචනය - කුලරත්න ආරියවංශ

ගායනය- පණ්ඩිත් අමරදේව

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

චිත්‍රපටය - ආරාධනා (1981)

 

 

1981 වසරේ තිරගත වූ සිංහල සිනමාවේ 489 වන චිත්‍රපටය ‘ආරාධනා’ ය.

මැද මාවතේ සිනමාකරුවකු ලෙස “ දුහුළු මලක්“ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි විජය ධර්ම ශ්‍රීගේ හයවැනි සිනමා අධ්‍යක්ෂණය මෙයයි. ප්‍රේමය, විවාහය, වෙන්වීම මෙන්ම නැවත එක්වීම මෙන්ම ජීවිතයේ විවිධ අවස්ථාවන් අත්දැකීම්, ගැටීම්, සිනහව කඳුළ සියල්ල මුසුකොට තැනූ ඉතා ම ප්‍රේමණීය මෙන්ම සංවේදී සෞන්දර්යාත්මක සිනමාපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳීන්විය හැකි ය.

යොවුන් ප්‍රේමයේ සුන්දරත්වය, චමත්කාරය. ශෘංගාරය ඔවුන්ගේ සොඳුරු හමුවීම්. එක්වීම් ඉතා ම සංයමයකින්, සෞන්දර්යාත්මක ලෙස ඉස්මතුකර සිනමා රූපී සිතුවමක් මැවීමට අධ්‍යක්ෂවරයා මෙන්ම, සුමිත්ත අමරසිංහයන්ගේ විශිෂ්ට කැමරාකරණයට හැකි වී තිබේ.

මෙම චිත්‍රපටයට ඇතුළත් වූ මෙම ගීතය මෙන්ම ‘‘සීත අරණේ සුපුල් නාමල“ ගීතයත් අතිශය ජනප්‍රිය විය. මෙම චිත්‍රපටය තිරගත වී මේවන විට දශක හතරකට අධීක කාලයක් ගෙවී ඇතත්, අදටත් මෙම ගීත නොමියෙන සුභාවිත සංගීතයට පෙම්බැඳී රසික සිත් නිවා සනහන ගීත බවට පත් වී තිබේ.

රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණයේ යෙදුණු මෙහි, සෙසු චරිත සඳහා අනෝජා වීරසිංහ, රත්නානවලී කැකුණවල, ඩේවිඩ් ධර්මකීර්ති, සනත් ගුණතිලක ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වූහ.

මේ චිත්‍රපටයේ කතාවට අනුව, ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතුන් යුවළක් සිය ප්‍රේමයේ සිහිනය මල්ඵල ගන්වමින් විවාහ වේ. ආදරයෙන් බැඳුණු පෙම්යුවළක් මුහුණ දෙන අනපේක්ෂිත ගැටලුවක් හේතුවෙන් ඇය මුහුණදුන් මානසික පීඩාවේ ප්‍රතිඵලයක් ලෙස, පසු කලෙක දී ලස්සනට සුන්දරව ගෙවූ ඔවුන්ගේ පවුල් ජීවිතය දෙදරායෑමකට ලක් වේ. ඒ ඔවුන්ගේ ආදරයේ ප්‍රතිඵලයක් වූ සිඟිති පුතු මෙලොව හැරයාමත් සමගිනි. එයප්‍රේක්ෂක හද කම්පා කරවන ඉතා ම සංවේදී සිදුවීමකි.

ඇයගේ වරදින්, තමා පණසේ ආදරය කළ සිඟිති පුතු අහිමි වූ යේ යැයි යන මතය හේතුවෙන් ඔහු ඇය හැරදමා විදෙස්ගත වේ. කාලය ගත වුව ද ඔහුට ඔහුගේ සිත හදාගැනීමට නොහැකි වේ. ඔහුට ඒ අතීතය කිසිසේත් අමතක කළ නොහැකි වේ. ජීවිතයේ නොසිතු නොපැතූ ලෙස නොමියෙන මතකයන් සමඟ තනිවන ඔහුට හුදකලාව විසින් අතීත මතකයන් නිරතුරුවම හද පාරවයි. ඇය තනිකර දමා ගිය ද නැවත ඔහු ඈ සොයා පැමිණෙන්නේ, ඔහු තුළ ඈ කෙරෙහි වූ අසීමිතව ප්‍රේමය හේතුවෙනි.

ඔහු ඇයට ආරාධනාවක් කරයි.

 

ජීවිතයේ තනිමංසල

අතරමං වෙලා...

හුදෙකලාව සුසුම් හෙළන

හදවත සනහා...

අතීතයේ ගිලිහි ගිය

සතුට රැගෙන යළි වඩින්න....

ආරාධනා....//

 

ඇය අතහැර ගිය ද , ඔහුගේ ජීවිතය වේදනාවෙන් ගෙවී ගිය බව ඉන් පසක් වේ. ඔහු තවමත් ඒ සතුටින් පිරුණු අතීතයට ප්‍රේම කරයි. ඔහුට සේම ඇයටත් ඒ සුන්දර අතීතය අයිතියි ය. අතීතයට හිමි ඒ සතුට රැගෙන යළි ‘‘ වඩින්න “ යන ගෞරවාර්ථයෙන් ඇයට ආරාධනා කරයි.

ඔවුන්ට නොමැකිය හැකි සුන්දර, ප්‍රේමණීය අතීතයක් හිමි ය. එත් නොපැතූ නොසිතූ ලෙස මුහුණදීමට සිදු වූ ඝට්ටනයෙන් තාවකාලිකව ඔවුන් සමුගත්ත ද ඒ සිහිවටන සැමරුම් සියල්ල මැකී ගියාදැයි ඔහුගේ සිත බිය වේ. ඔවුන් මේ දිගු ජීවින ගමනේ අතරමං වී සිටියි.

ඒත් යළිදු ඔහුට අතරමං විය නොහැකි ය. ඔහුට ඇයගේ ප්‍රේමය අවශ්‍යයි. ඔවුන්ගේ ලෝකය නැවතත් සුන්දර කරන්නට, අර්ථවත් කරන්නට ඔහු ඇයට ආරාධනා කරයි. “සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා..“ යන අර්ථයෙන් ඔවුන්ගේ පැවති සෙනෙහස ගැඹුර කෙතරම් දැයි ව්‍යංග්‍යයෙන් පවසයි.

ජීවිතයට සතුට මෙන්ම දුකත් පොදු ධර්මතාවකි. ප්‍රේමය නිසාම සතුටත්, දුකත් යන දෙකම ඉප දේ. ඔහු ඇය නිසා බොහෝ සේ සතුටින් සිටි බවත්, ඒ සතුට ඇය විසින් අහිමි කළා යැයි සිතා ඇගෙන් සමුගත්ත ද, ඔහුට ඇය නැතිව ජීවිතයක් නො වූ බව ඔහුගේ නැවත පැමිණීමෙන් පෙනේ. ඇය ඔහුගේ ජීවිතය එළිය කළ සොඳුරිය බව ඔහු දනී. නැවතත් ඔහුගේ ජීවිතයට පැමිණෙන්න යැයි ඔහු ඇයට ආරාධනා කරයි.

1982 වසරේ 10 වැනි සරසවිය සම්මානය උලෙළේ ජනප්‍රියතම සිනමාපටය ලෙස ආරාධනා සම්මානයට පාත්‍ර විය. හොඳම ගීත රචනය, හොඳම ගායනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහය රංගනය සඳහා ද මෙහි දී සම්මාන හිමි විය. පණ්ඩිත් අමරදේවයන්ගේ ගායන ප්‍රතිභාව මෙම ගීතය පුරාම ඉස්මතුව තිබේ. ඔහුගේ භාවමය හා පෞරුෂය ගීතයේ අර්ථය වඩාත් තීව්‍රකර ඇති අතර, එම අර්ථ රසය වඩාත් ඉස්මතුවන ලෙස යෙදුණු මියුරු තනුව හා සංගීතය හේතුවෙන් ගීතයට උපරිම සාධාරණය ඉටු වී තිබේ. මේ තුන් ඈදුණු සාර්ථකත්වය මත අදටත් නොමියෙන සදා මතකයේ රැඳී සුමියුරු සුභාවිත ගීතයක් ලෙස මේ ගීතය රසිකයින් වෙත තිළිණ වී තිබේ.

 

 

[email protected]