වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
තාත්තාට බොහෝ දක්ෂතා තිබුණා

"ලොවින් එකෙකු එක් දෙයකට වෙයි සමතා" වෙනස්වන අවස්ථා ද ඇත්තේ යැයි වරෙක හැඟේ...මෙලෙසින් හැඟුණේ හෙළ සිනමාවේ නමක් දිනූ රංගධරයකු පිළිබඳ යටගිය තතු සොයා සරසවිය වෙනුවෙන් ගිය ගමනේදීය.
ඔහු අද අප අතර නැත. ඔහුගේ එකම පුතු දැන් මා සමීපයේ ය. චරිතාංග නළුවකු ලෙසින් රිදී තිරය ඔපලූ අද අපේ කතා නායකයා පිටියගේ මර්වින් පියදාස ජයතුංග ය. නොඑසේ නම් අප වඩාත් හඳුනන මර්වින් ජයතුංග ය. ඔහු උපන්නේ මොරටුව කොරලවැල්ලේ මහා විදාන මාවතේ නිවසේදීය. ඔහුගේ උපන් දිනය 1940 ක්වූ මාර්තු මස 9 වනදාය..
එකොළොස් දෙනෙකුගෙන් යුතු සහෝදර සහෝදරියන්ගෙන් වැඩිමහල් දරුවා වූයේ අද අපේ කතාවේ කතා නායකයා ය. ඔහුගේ දෙමව්පියන් වූයේ පිටියගේ ජේමිස් ජයතුංග සහ මර්ලින් ෆ්ලොරීඩා ප්‍රනාන්දු ය. තාත්තාගේ ගම කහතුඩුව ය.. අම්මා මොරටුවේ ම ය..
අපේ ආදරණීය කතා නායකයා මර්වින් ජයතුංගයන් හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර විද්‍යාලයෙන් ද පසුව ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වූ මොරටුව මහා විද්‍යාලයේ ද ඉගෙනුම ලැබීය..
පාසලේ සෑම පන්තියකදීම විභාගයකදී තෙවන ස්ථානය දක්වා මිස හතර..පස්වැනියා නම් වූයේම නැති. ඉගෙනුමෙහිදී ප්‍රකට කළ කුසලතාවද අඩුවක් නැති..පාසල් අධ්‍යාපනයේදී ඉගෙනුමට පරිබාහිර කුසලතාද මනාව පෙන්නුම් කළ හෙතෙම විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ නායකයාද වූයේ අපේ කතා නායකයාය. මලල ක්‍රීඩා උලෙළේදී හෙල්ලය විසි කිරීමේදී ද..කෙටි දුර දිවීමේදීද ජයග්‍රාහක ශිෂ්‍යයා වන්නේද ඔහුමය..
පවුලේ යම් යම් දුෂ්කරතා මතුවුණිද ඉගෙනුමට හපන් පුතුගේ අධ්‍යාපනයට අතහිත දෙන්නට තාත්තාට නිම්හිම් නැති සතුටක් තිබුණිද ඊට එහෙමට අත්වැල සපයන්නට නොහැකි වීම ගැන වරෙක තාත්තා දුක් වූයේය...අපේ මර්වින් ජයතුංග හාපුරා කියා පාසල් අධ්‍යාපනයට සමුදෙමින් රස්සාවකට කියා බැඳුණේ දුම්රිය දෙපාර්තමේන්තුවටය...ඒ ඔහුගේ පළමු රස්සාව ය..හෙතෙම දුම්රිය රියදුරු වූයේය...
" අනේ පුතේ..මේ අහපන්.ඔය රස්සාව උඹට හරියන්නෙම නැහැ මයෙ පුතේ..උඹේ හැටි බලාපන්..දුම්මැස්සෙන් බිමට බැහැල වගේ..ඔය රස්සාවෙන් කමක් නැහැ..උඹ ගෙදර හිටපන් මගෙ පුතේ.. උඹ කට්ට කළුවෙලා නෙවැ..."
ගල් අඟුරු කෝච්චියේ රියදුරු රස්සාව කර ගෙදරට පැමිණි වේලේ එක් දිනෙක අම්මා එසේ කියන්නට වූවාය...අම්මා රස්සාවට කැමතිම නැති තැන අම්මාගේ බස් අසා ඊට අවනතව රස්සාව අතහැරදා ගෙදරට වී සිටියේය...ඉන් අනතුරුවය අපේ ආදරණීය කතා නායකයා සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියකු ලෙසින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රස්සාවට ගියේ...එයට අම්මාගේ කිසිදු විරුද්ධත්වයක් නොවීය...
අපේ කතා නායකයාට දරුවන් දෙදෙනෙකි. ඉන් පළමුවැන්නී දියණියකි. ඕ නමින් ප්‍රියදර්ශනී හේමාලිය...දෙවැන්නා පුතු ෂම්මි ප්‍රභාත් ජයතුංග දැනුදු මා සමීපයේම ය..
"ඇත්තෙන්ම අපේ තාත්තා අපට හැමදාම ආඩම්බරයක් .. ඉතින් අපේ තාත්තා සුරා සූදු දුම්වැටියෙන් පවා තොර වූ ක්‍රියාශීලී පුද්ගලයෙක්. එක් අතකට බැලුවාම අපෙ තාත්තා ගැන වෙලාවකට පුදුමයකුත් හිතට ඇති වෙනවා..අපෙ තාත්තා ට මොනවාද කරන්න බැරි කියලා..අපෙ තාත්තා සිනමා නළුවකු වුණේ පසු කාලෙකයි.. රංගන ජීවිතයට මුල පිරුවේ වේදිකා නාට්‍ය තුළින්."
පුතු ෂම්මි කියන්නේය. ඔහු සතුටු සිනහවකින් මුව සරසාගෙන තවත් බොහෝ දේ කියන්නේය...
"මේ මගෙ ෂම්මි කියන නම දමන්නත් තාත්තා ට විශේෂ හේතුවක් තිබුණා කීවොත් හරි..තාත්තා හින්දි සිනමාවට හරිම කැමතියි ..අර ෂම්මි කපූර් කියන නළුවා තමයි තාත්තා ගෙ ප්‍රියතම නළුවා..මං උපන්නාම ඒ නළුවා මතක් වෙන්නත් එක්ක මට ෂම්මි කියලා නම තිබ්බා .."
රාජ්‍ය සේවා දෙපාර්තමේන්තු මට්ටමින් නාට්‍ය තරඟාවලියක් පැවැත්විණි ..එහිදී අපේ ආදරණීය කතා නායකයා හා පුරා කියා නාට්‍ය රංගනයට පිවිසියේ ය..එය "සුමුදු භාර්යා" වේදිකා නාට්‍යයෙනි..පසුව නාට්‍යවේදියකු වන සැන්ටින් ගුණවර්ධන ශූරීන් ඔහුට හමුවූයේය...අපේ මර්වින් ගේ රංගන කුසලතා හැඳීනගත් හේ අපේ කතා නායකයා කැඳවා ගියේ ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් වෙතටය...හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවීමෙන් පසුව එම නාට්‍යයේ වරින් වර විවිධ චරිත නිරූපණයට අවස්ථාව හිමිවූයේය...ඒ 1965 වසරේ දී පමණ ය..
අපේ සොඳුරු කතා නායකයාගේ රංගනය කෙරෙහි වඩාත් ආසක්ත වූ හෙන්රි ජයසේනයන් තමන් නිෂ්පාදනය කළ සෑම නාට්‍ය නිර්මාණයකටම එක්කාසු කරගත්තේ ය...අනතුරුව ජනේලය...අපට පුතේ මඟක් නැතේ... මකරා.. ගමනක්.. ආදී නාට්‍ය වලට එකතු වූ හෙතෙම "දිරිය මව හා ඇගේ දරුවෝ" වේදිකා නාට්‍යයේදී අලුත් හපන්කමක්ද ප්‍රායෝගික ව ඉටු කරමින් පැසසුමට ලක්වූයේ ය...ඒ එම නාට්‍යයේ පසුතල නිර්මාණයට අත ගැසීමෙනි.
නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයෙන් එකී තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වේදිකා ගතවූ "හුණුවටයේ කතාව "නාට්‍යයට අදාලව කරත්තයක් වේදිකාව වටා යනෙන දර්ශනයක් තිබිණි ..එය තැනුවේ අන් කිසිවකු නොව අපේ කතා නායකයාය.. එම කරත්තය තනනු ලැබුවේ තම නිවසේදීය..එය අපූර්වතම නිමැවුමක්ම විය..
නාට්‍ය නැරඹූ තානාපතිවරයා මවිතයට පත් වූ සැටියෙකි. හේ වහා හෙන්රි ජයසේනයන් විචාළේය..ඒ මේ කරත්තය ගැනමය..තානාපතිවරයාගේ ඊළඟ ප්‍රශ්නය යොමු වූයේ අපේ කතා නායකයාටය..
"ඔබ මේ කරත්තය හදන්න මීට කලින් ඔබ ජර්මනියට ගොස් මේ කරත්තය දැක බලා තිබෙනවාද...?
හෙතෙම ගත් කටටම පිළිතුරු දුන්නේ නැහැ කියාය..
වඩාත් පැහැදුණු තානාපතිවරයා අපේ කතා නායකයාට වරමක් ලබා දුනි.. ඒ නාට්‍ය කලාව පිළිබඳව වැඩිදුර හදාරන්නට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමය.. ඒ අනුව පින්වන්ත අපේ කතා නායකයා 1972 වසරේ දී ජර්මනියට ගියේය ..ජර්මනියේ පිහිටි කලාගාරයේදී ඩිප්ලෝමාව හදාරා ඉන් සාමර්ථ්‍ය ලැබීය...එහිදී මහාචාර්ය උපාධිය දක්වාම හදාරන්නට අවස්ථාව හිමිවුණි ද එම අවස්ථාව හැරදා ආපසු මවුරට එන්නට සිදුවූයේ තම දෙවැනි නැන්දාගේ විවාහය නිසාය..
පුතු ෂම්මි සිය කටහඬ අවදි කරන්නේය.
"අපෙ තාත්තා ට භාෂා හතක් මනාව හසුරුවන්නට පුළුවන්.. තාත්තා ට හොඳ මතක ශක්තියක් වගේම සහජයෙන් පිහිටි හැකියාවන් රැසක්ම තිබුණා ..සිංහල..ඉංග්‍රීසි ..දමිළ ..ජර්මන් ...පාලි...හින්දි ...උර්දු භාෂා ඥානය ඉහළම මට්ටමක තිබුණා ..පාසලේදීත් තාත්තා හැම විෂයකටම දක්ෂයි.."
"අපෙ තාත්තා හොඳ වඩු කාර්මිකයෙක්..ඒකනෙ නාට්‍ය කටයුතු වලදි පවා පසුතල නිර්මාණවලදීත් ඇගැයුමට නිතර ලක්වුණේ..ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙක්..."
අපේ ආදරණීය කතා නායක මර්වින් එක්තරා දවසකදී ඉගෙනුම ලද පාසලේ මලල ක්‍රීඩා උත්සවයකට ආදි සිසුවකු ලෙසින් සහභාගි වූයේය..එතැනදී තවත් තරඟයක් ද සංවිධානය කොට තිබිණි ..ඒ ආදි සිසුන් සහභාගි වන දිවීමේ තරඟයකි.. ඔහුද වහා ඉදිරිපත් විණි.. එදා එම පාසලේ මලල ක්‍රීඩා උත්සවය නැරඹීමට එක් තරුණියක් තම නැන්දා කෙනකු සමඟ පැමිණ සිටියාය...ඇය ඔහුගේ අම්මාට දුර නෑකමින් ඥාති දියණියකි. අපේ කතා නායක තෙමේ තරඟයට වැද පිම්මේ දුවන්නේය..පෙර කී තරුණියද අත් පොළසන් දෙමින් ඔහුට දිරි දෙන්නීය.. පෙරමුණේම දිවයන ඔහුට ඕ තොමෝ සිය සතුට පළ කරන්නීය..තරඟය නිමාවිණි..
තම ඇස ගැටුණු මේ තරුණිය කෙරෙහි ඇති කරගත් ලෝල හිත කෙතරමි ද යත් ඕ සිය නැන්දා සමඟ ආපසු පිටත්ව යන බස්රිය පසුපසින් තවත් සගයකු ද එක්ව කුළී රියකින් ලුහු බැඳ යන්නට වූයේය.. ඇය පදිංචි ව පසුවන නිවස කොහේදැයි සැකහැර දැනගනු රිසියෙනි. එහෙත් හරිහැටියෙන් එය සොයා ගැන්මට නොහැකි ව ඇය මඟ හැරිණි. තම උත්සාහය අත් නොහළ හෙතෙම ඊට ආසන්න දිනෙක යළි ඈ නිවසන තැන සොයා පීරන්නට විය.. ඒ ඉසව්වේම සරිසරන්නට විය..හමුවන අයගෙන්ද විමසා තවත් එක් අයකුගෙන්ද විමසා සිටියේය..
ගල්කිස්ස සුමනාරාම පාරේදී හමුවූ ඒ තැනැත්තාගෙන් ඈ පිළිබඳ තොරතුරු විමසූවද..ඒ ඈ පිළිබඳ විමසා ඇත්තේ අන් කවරකුගෙන්වත් නොව එම තරුණියගේම මාමා කෙනකුගෙනි. ඔහු ඒ බව දත්තේද පසු කලෙකදීය..
වැඩි කලක් නොයාම තරුණිය ද ඇයගේ පවුලේ උදවිය ද දැනහඳුනාගත් හේ තම අදහසද කියාපෑමෙන් පසු කිසිදු විරෝධතාවකින් තොරවම ඇය විවාහ කරගන්නට වූයේ දෙපාර්ශවයේම ආශීර්වාදය මධ්‍යයේමය. අතිනත බැඳුණු ඕ තොමෝ නාලිනී හේමලතා වීරමන්ත්‍රී මෙනවියය..
"අපෙ තාත්තා බුද්ධාගමේ..අපෙ තාත්තාගෙ අම්මා ක්‍රිස්තියානි ..ඒ වුණාට අපෙ ආච්චි බුදුදහමටත් ළැදියි. හිමිදිරියේ රේඩියෝවේ පිරිත් දමන්නෙත් අපෙ ආච්චි ..බුදු බණ අහනවා..පන්සල් යනවා.."
"අපෙ තාත්තාත් පිනට දහමට හරිම ලැදියි ..ඕනම කෙනකුට උදව් කරන්නමයි තාත්තා ගෙ හිත..තාත්තාගෙ හිත ඉක්මනින් උණු වෙනවා.. කේන්ති කාරයෙක් තමා..ඒ වුණාට අනුන්ට හිංසා කරන හිතක් නම් ඇත්තේම නැහැ.. අසාධාරණයේදී නම් කිපෙනවා.."
රූපවාහිනි නාට්‍යයකට කියා හෙතෙම මුලින්ම රඟපෑවේ ඕස්ට්‍රේලියාවේ පිරිසක් විසින් නිපැයූ "එළිෆන්ට් බෝයි" ටෙලිනාට්‍යයේය..පසුව එය ඕස්ට්‍රේලියාවේ මෙන්ම ලංකාවේදීද ප්‍රදර්ශනය විණි.
එකම සතියක් තුළ චිත්‍රපට තුනක ගිවිසුම් අස්සන් කරන්නට අපේ ආදරණීය කතා නායකයා භාග්‍යවන්ත විය..චාල්ස් පෙරේරා ගේ "විස්මය " චිත්‍රපටයේ ලස්සන නම් නෑ පෙනෙන්නේ ...ගීතයට සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙසින් ඔහු රංගනයක යෙදුණේය..පෙම්බර මධු චිත්‍රපටයේ විජය කුමාරණතුංගයන් සමග සටන් ජවනිකාවකට එක්වූයේද අපේ කතා නායකයාය.. චිත්‍රපටයක ප්‍රධාන දුෂ්ට චරිතය ඔහු රඟපෑවේ "චණ්ඩි පුතා " චිත්‍රපටයේය...ගාමිණී ෆොන්සේකා එහි ප්‍රධාන චරිතයේය..එහිදී තවත් පුවතක් ගැනද ෂම්මි කියන්නේය..
"ඔය චණ්ඩි පුතා චිත්‍රපටයට තාත්තා ට පෙර අරන් තිබුණෙ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කියන සටන් නළුවාවයි..කොහොම හරි සටන් දර්ශන කිහිපයක්ම ඇලෙක්ස් ව දමල කරලත් තියෙනවා. ගාමිණී ට දෙන පහසුකම් තමන්ටත් ඕනයි කියලා ඇලෙක්ස් නිෂ්පාදකවරයාට කියල තියෙනවා..එය ප්‍රශ්නයක් බවට පත්වෙලා..ඇලෙක්ස් ඉවත් වෙලා ඒ වෙනුවට අපෙ තාත්තා ව තෝරා ගත්තෙ ගාමිණී මහත්තයා යි.
"ඒ කාලයේදී ම "කඩදාසි කොටි" කියල වේදිකා නාට්‍යයක අපෙ තාත්තා ප්‍රධාන චරිතය කරල තියෙනවා..ඒ නාට්‍යය වේහැල්ලේ පියතිලකයන්ගෙයි. ගාමිණීත් ඒ නාට්‍ය බලන්න ඇවිත් තියෙනවා.. එහි රඟපාන අපෙ තාත්තා ව දැකල ගාමිණී අපෙ තාත්තා ව චණ්ඩි පුතා චිත්‍රපටයට අරන් තියෙන්නෙ.."
අපේ ආදරණීය කතා නායකයා දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකි. එවක කියෝ කුෂින් කා කරාටේ සංගමයේ ඩී.ඒ. වෙල්ගම උපදේශකවරයාගේ ප්‍රධාන සහායකයා ලෙසට ළඟට ගෙන සිටියේද අපේ මර්වින් ජයතුංගයන්ය.. හෙතෙම කළුපටි ශ්‍රේණියේය..බ්ලැක් බෙල්ට්...ඒ කාලෙ පොලිස් දෙපාර්තමේන්තුවෙ නිලධාරින් ට කරාටේ පුහුණුව ලබාදෙන උපදේශක වුයේද ඔහුමය..
කරාටේ හදාරන සමයේදී ඊට අමතරව හෙතෙම නැටුම් ශිල්පයද හදාරන්නට විය...ඒ චිත්‍රසේන නැටුම් ගුරුතුමා යටතේය..එතැනින්ද නොනැවතුණ අපේ මර්වින් ජයතුංගයන් සංගීතය හැදෑරුවේය..එහිදී අපේ කතා නායකයා විශාරද ප්‍රථම විභාගය සමත් වූයේය...ඔහු ගායන ශිල්පියෙකි..ගායනය සේම සිතාරය..තබ්ලා වාදනයෙහිද සමතෙකි.
ෂම්මි යමක් කියන්නට සැරසෙන්නේ මුව උපන් සිනහවකිනි.
"දන්නවද..අපෙ තාත්තා හොඳ පිහිනුම් ශූරයෙක්...ඔය මොරටුව බොල්ගොඩ ගඟේ අපෙ තාත්තා එගොඩ මෙගොඩ පිහිනනවා.. ඒ වගේම තාත්තා හොඳ කැටයම් ශිල්පියෙක්..හොඳ වඩුවෙක්..තාත්තාගෙ අතින් ගෙදරදි හදාපු බඩු තියෙනවා..ඉතිං මම කලින් කිවනෙ චණ්ඩි පුතා චිත්‍රපටයෙ තාත්තා රඟපෑවයි කියලා..නමුත් එහි තිබුණේ තාත්තාගෙ කටහඬ නෙවෙයි. බණ්ඩාර කේ. විජේතුංගයන්ගෙ හඬ අරන් ඩබ් කරල තිබුණේ.."
ශී‍්‍ර ලංකාවේ නිපැයූ දමිළ චිත්‍රපටයකටද රංගනයෙන් එක්වූ අපේ මර්වින් ජයතුංගයන් රඟපෑ ඉංග්‍රීසි චිත්‍රපට සංඛ්‍යාව දහයකට ආසන්නය..මීට අමතරව ප්‍රංශයේ සම්භාවනීයත්වයට පාත්‍රවූ චිත්‍රපටයක් වූ "මනිකා "චිත්‍රපටයේද හෙතෙම රඟපෑවේය..."මෙරේ අදාලත් " නම් පාකිස්තානු චිත්‍රපටයේද ඔහු රඟපෑවේය...ඒ දුෂ්ට චරිතයකි..චිත්‍රපට දෙසියයකට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණයේහි නිරත වූ හෙතෙම ජනාධිපති කුසලතා සම්මානයටද පාත්‍ර වූයේය...මීට අමතරව වේදිකා නාට්‍යයට ඇති ඇල්මද එලෙසම තිබියදී වේදිකා නාට්‍යයන්හි ගායනයෙන්ද එක්ව නුර්ති ගීත ගයමින් නර්තනයේද යෙදෙමින් වේදිකාව මත රඟපෑවේය..
නළු නිළි ප්‍රසංග වලදී ද ගායකයකු ලෙසින් හෙතෙම කැපී පෙනිණි. එහිදී "තාරකා ගීතිකා" ගී ප්‍රසංගයේ දී අග්‍රා සජීවනී අල්විස් රූපණවේදිනිය හා යුග ගායනා කළේද අපේ කතා නායකයාය..
90 දශකයේදී හේ ඩුබායි ආදී එතෙර ගී ප්‍රසංග සඳහාද ඇරියුම් ලද්දේය..
"මට තවමත් අදහාගන්න බැරි අපේ තාත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙත් රස්සාව කරමින්ම කාර්ය බහුල වූ කලා කටයුතුත් සමබරව කරගෙන ගියේ කොහොමද කියන එකයි.."
අපේ ආදරණීය මර්වින් ඉන්දියාවේ හයිද්‍රාබාද් ඩෙහෙරාඩූර් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරන්නට වූයේය..ඒ තමන් සේවයෙහි නියුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සිතියම් හා විද්‍යා පිළිබඳ ශිෂ්‍යත්වයකට හිමිකම් කීමෙනි..එම ඉන්දියාවේ ගමනට සිය බිරිඳ නාලිනී හේමලතාද කැටුව ගියේය..ඒ1983 වසරේ දීය.
මම ෂම්මි ට සවන් දෙම්.
"ඔන්න 80 දශකයේ දී රටපුරා මහා කලබල.. අපෙ තාත්තා රස්සාව කළ තැන අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් තාත්තා ට ආරාධනයක් ලැබුණා ..මොකද ...ඒ ආයතනයට පුද්ගලික ආරක්ෂක අංශයක් පිහිටුවල තිබුණෙ නැහැ..එහි සේවය කරන තැන මිනින්දෝරුවන් තිස් හයකගෙන් සැදුම්ලත් ආරක්ෂක නිලධාරීන්ගේ කාර්යාලයක් ස්ථාපිත කරන්න කියලා..තමයි තාත්තා ට එතුමා කළ ආරාධනය ...පහසුකම් මොනවාද ඕනෙ කියලත් එතුමා තාත්තාගෙන් අහල තියෙනවා..ඒ වෙලාවෙ තාත්තා කිව්වලු මට පොත අස්සන් කරන්න දෙන්නෙ නැතිව ඉන්න දෙනවානම් වෙන පහසුකම් මුකුත්ම ඕන නැහැ කියලා..මං ආරක්ෂක කටයුත්ත අකුරටම කරන්නම් කියලා..ඉතින් ජනරාල්තුමා ඊට අවසරය දීල තියෙනවා.."
එතකොට රටේ ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහත්තයා..දැන් ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කරලා..ඉතින් මේ ආරක්ෂක පාඨමාලාව හදාරපු අයටත් තෑගි දීල තියෙනවා..ඒ විතරක් නෙවි..ඇමතිතුමා ළඟටත් කතා කරල තියෙනවා.. අපෙ තාත්තා ගියේ නැහැ.."
ෂම්මි තවත් දේ කියා යන්නේය.. තම පියාණන් පිළිබඳ උපන් ගෞරවය ද ආඩම්බර බවද ඔහු මුහුණින් පළවෙයි..
"අපෙ තාත්තා උග්‍ර කොමියුනිස්ට් පාක්ෂිකයෙක්..මධ්‍යම කාරක සභාවෙත් හිටියා..ඔය 1972 කාලෙදි මැයි පෙළපාලියේ කම්කරු ධජය පෙරමුණේ අරන් ගියේ රංගනවේදී ශේන් ගුණරත්න මහත්මයා..එතුමා නැතිවුණාට පස්සෙ ඒ කොඩිය රැගෙන යාමේ කාරිය කළේ අපෙ තාත්තායි. නමුත් පසුකලෙක තාත්තා දේශපාලනයෙන් ඉවත් වුණා.."
අපේ කතා නායකයාට වයසින් අවුරුදු 50 දී සේවයෙන් විශ්‍රාම ගැනීමට අවස්ථාව හිමිවිණි ..අපේ මර්වින් ජයතුංගයන් දැන් දැන් රෝගාතුර වන්නේය.. පෙර ගත සවිබල දැන් ඔහුටම රිදුම් දෙන්නේය..උදරය අල්වා ගන්නේය.. වේදනාවෙන් කෙඳීරිලි නගන්නේය..තමන්ට මේ වේදනා දැනෙන්නේ තමන්ට වැලඳී ඇත්තේ අම්ල පිත්ත රෝගයම (ගැස්ට්‍රයිටිස්) යැයි තමන්ම අදහා තම බිරිඳට නිතර කියන්නේය...
ෂම්මි මා සමීපයේය...
"අපෙ තාත්තා වැඩ...ජවිපෙ කලබල කාලෙ...හමුදාවෙන් සේවා ස්ථානයට හිටිහැටියේම කඩා පැනල තාත්තා එක්ක වැඩ කරන කෙනෙක් ජේ.වී.පී කාරයෙක් කියල ..ඒ මනුස්සයාව අරන් යන්නයි හමුදාව ඇවිත් තියෙන්නෙ..
ඒ මනුස්සයාව අරන් යන්න හදන එකට තාත්තා තදින්ම විරුද්ධවෙලා..ඔයාලට මෙහෙම අපේ මනුස්සයෙක් ගෙනියන්න දෙන්න නම් බැහැ කියලා...ලොක්කාත් තාත්තාගෙ පැත්තට ඉඳල තියෙනවා.. කොහොමත් තාත්තා එඩිතරයිනෙ..තාත්තාගෙ තරම ලොක්කත් දන්නවනෙ..පස්සෙ ලොක්කා කියල තියෙනව..මර්වින් ඔයාම මේ අපේ මනුස්සයාව එක්ක ගිහින් පොලිසියටම බාර දීල එන්න..මෙහෙම හමුදාවට ගෙනියන්න දෙන්න බැහැනෙ කියලා..පස්සෙ තාත්තා ඒ මනුස්සයාව එක්ක ගිහින් පොලීසියට බාරදීල තියෙනවා. "
ස්වර්ණ සංඛ සම්මාන උලෙළට ෂම්මි පුතුද තාත්තා සමගම ගියේය.. එහිදී සනත් ගුණතිලකයන් අපේ කතා නායකයා සමඟ සුහද පිළිසඳරක යෙදී සිටියදී ෂම්මි පුතු ගැන විමසා රස්සාවකට කැමතිදැයි විමසා සිටියේය...
"ඉතිං සනත් ගුණතිලක මහත්තයා එහෙම විමසල ඉල්ලුම්පතක් රැගෙන මට එන්ඩ කිව්වා..ඒ තමයි මගෙ මුල්ම රස්සාව. මට සනත් මහත්තයා අරන් දුන් රස්සාව සර්වෝදය ආයතනයෙ...එදා සනත් මහත්තයාගෙ ගෙදරින් කිරිබත් එහෙම කාලා මට පිටත්වන්න සැලැස්වුවෙ..පස්සෙ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විභාගයක් තිබ්බා...ඒ විභාගයට ලියපු මට කොළඔ දිස්ත්‍රික්කයේ 3 වන තැනට මාව තේරුණා..ඒ නිසාම මට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ රස්සාව ලැබුණා .."
අපේ කතා නායකයාගේ නිවසට සමීපතමයන් පැමිණෙති..සතුටු සාමිචියේ පසුවී ආපසු යති. එහෙත් මත්පැන් හෝ දුම්වැටි එහි නැත..තේ කෝප්පයෙන් සැනැහී ඔවුහු නික්ම යති ..එය කීවේද අපේ ෂම්මිය..
අප පිළිසඳර ට එක්වන්නට අපේ සොඳුරු කතා නායකයාගේ ආදරණීය බිරිඳ නාලිනී හේමලතා මහත්මිය ද මට සමීපව අසුනකට බර දුන්නාය..ඕ තොමෝ මුව පිරුණු සිනහවෙනි..
"මගෙ මහත්තයාගෙ වැඩ කටයුතු හරිම පිළිවෙළයි.. හොඳට කවි ගොතන්නත් පුළුවන්..එයාට හුඟක් සහජ කුසලතා තිබුණා ..ඒ ගැන එක වෙලාවකට පුදුම හිතෙනවා...හැමදෙයම සමබරව කරගෙන යන්න හොඳ අවබෝධයක් තිබුණා ..දරුවන් ගැනත් එයා හරිම සැලකිලිමත්...ෂම්මි පුතාගෙ අක්කා ප්‍රියදර්ශනී හේමාලි දුව උපාධියත් කළා..ඒ දුව විවාහ වුණේ කාශ්‍යප රාජසිංහ එක්කයි.ඒ දුවට චනුක..පුතා එක්ක ප්‍රභාෂා හා පමුදු දියණියන් දෙන්නා ඉන්නවා..ෂම්මි පුතා විවාහ වුණේ කුමාරි කන්නන්ගර දුව සමඟයි. පුතාට පදුල යතිඳු හා තිදුල හෂිඳු පුතුන්ම දෙන්නයි...පදුල පුතා සීයාගෙ නම ගෙනයන්න වැඩ කොටසක් කරගෙන යනවා...
අපේ කතා නායකයා මුදු මොලොක් සිතැත්තෙකි.. බස් නැවතුමක පසුවන අය හෝ තම ජීප් රියෙහි නංවා ඇවැසි තැනට ඇරලවීමෙන් ඔහු ලද්දේ ඉමහත් සතුටකි.
තම අතැති බත්පත තව අයකුට දුන් වාර අනන්ත ය.. අසරණ අය හට පිහිට වූ වාරද අපමණය.
ඔහු කවියට හපනෙකු වූ නිසාමදෝ ගායන ශිල්පී චලක චමුපතිට ගීතයක් ලියා දුනි. සිරිසඟබෝ වේදිකා නාට්‍යයේ ගෝඨාභය කුමරුට ඇන්දේද ඔහුමය..වේදිකා පසුතල නිර්මාණයෙන් දස්කම් දැක්වූයේද ඔහුමය..
සිය යතුරු පැදියෙන් කතරගම සිට මොරටුව සිය නිවසට එන ඔහු පැය දෙකක විවේකයකින් පසු යතුරු පැදිය පණගන්වා විල්පත්තුව බලා යන්නේය..
අපේ කතා නායකයා එතරම් කාර්ය ශූරයෙක්මය..
ෂම්මි තවමත් මුව පිරුණු සිනහවෙනි..ඔහුට හදිසියේ යමක් සිහිපත් වූවාක් මෙනි.
"අපෙ තාත්තා මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාගෙ මනමේ නාට්‍යයෙත් රඟපෑවනෙ. ඒ චරිතය වැදි රජුගේ චරිතය ..ඒ වටිනා අවස්ථාව තාත්තා ට ලැබුණෙ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා සහ නන්දා මාලනී මහත්මිය නිසයි.
එක්තරා දිනයක ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නයන් ෂම්මි ට ගෙන ආවේ නොසිතු දුක්බර පුවතකි..
"ෂම්මි ..ඔයාගෙ තාත්තා අසනීප වුණා..රෝහල් ගත කළා..ඇඳුම් ටිකක් අරගෙන ඉක්මනට එන්න...දවස් දෙක තුනක් විතර තාත්තා ට රෝහලේ ඉන්න වේවි.."
ඒ වනවිට අපේ ආදරණීය කතා නායකයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි ..ඒ වනවිටදී මහරෝහලින් හෘද සැත්කම් ඒකකයට අපේ මර්වින් ජයතුංගයන් රැගෙන යාමට වෛද්‍යවරුන් තීරණය කොට තිබිණි ..
එහෙත් අවාසනාවම ලුහුබැඳ ආයේය..හෘද සැත්කම් ඒකකය වෙතට හෙතෙම රැගෙන යන්නට ගිලන් රිය පමාවකය..අපේ මර්වින් ජයතුංගයන් බේරාගන්නට වෛද්‍යවරුන් බලවත් උත්සාහයකය..
තවත් විනාඩි කිහිපයක් නිහඬවම ගතවිණි ..
ඒ සියලු උත්සාහයන් කුණාටුවකට හසුවූවාක් මෙන් ව්‍යර්ථව ගියා වැන්න...
ඔහුගේ අක්කාගේ දියණිය ...නොඑසේනම් ෂම්මිගේ නැන්දාගේ දියණිය අපේ කතා නායකයා පැලැඳී රන් මුදුව කිසිත් කතාබහකින් තොරවම ෂම්මි අත තබන්නට වූවාය..ෂම්මි ගල් ගැසී ගියේය...ගිලන් රිය එලෙසින් පමා නොවී නම් රෝගියා බේරා ගන්නට ඉඩ තිබූ බවද ඇසිණි.
"අපෙ තාත්තා ට හෘද අමාරු එන ගානෙ තාත්තා සරලවම හිතුවෙ...ගැස්ට්‍රයිටිස් කියලමයි..හැමෝටම කිව්වෙත් එහෙමමයි.."
ෂම්මි බිඳුණු හඬින් බිම බලාගත්වනම එසේ කියන්නේය...
වේදිකාව ..රූපවාහිනි ය සේම සිනමාවටද අවතීර්ණ ව සිය නිසග කුසලතාවෙන් රසික සිත්සතන් ඇදබැඳ තබාගන්නට සමත් වූ අපේ සොඳුරු කතා නායකයා පුරා වසර 53 ක් ආයු වින්දනය කරමින්..අවසන...1993 ක්වූ නොවැම්බර් මස 01 දා ජීවන සිනමාවෙන්ද සමුගෙන නොඑනා ගමනක යන්නටම ගියේය..
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල