එයාට විහිළුවට හිනාවුණ නිසා මාව බිරිඳ කරගත්තා

අසෝක පොන්නම්පෙරුමගේ බිරිඳ ‍ මානෙල් පොන්නම්පෙරුම
ජුනි 8, 2023

 

“මට මතකයි තවමත් අද වාගේ...මගෙ මහත්තයා මට දුන් ආදරය මට අදටත් සුවඳයි... එයා මගෙ අත්දෙක අල්වාගෙන ඉඹ ඉඹ කිරි සුවඳයි කියලා නිතරම කියපු හැටි තාම මතකයි...”

යටගිය අපේ හෙළ සිනමාවේ පනහේ හැටේ දශක තුළින් සිනමා රසිකයාට වඩාත් සමීප වූ අශෝක පොන්නම්පෙරුම රංගවේදියා පිළිබඳව තතු සොයාගැන්මේ නොතිත් රුචියකින් මා පසුවන අතරේ දී වඩාත් තුටුපහටු ආරංචියක් මවෙත ලැබුණේ අපේ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාගෙන්මය..ඔහුට මේ හෝඩුවාව ලබා දී තිබුණේ හෙළ සිනමාවට අර්ථවත් දායකත්වයක් ලැබදුන් චිත්‍රපට නිෂ්පාදකවරුන් අතර මුල්පෙළේ නිෂ්පාදකවරයකු වන අපේ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතාය..

“ඔයා සොයමින් ඉන්න අසෝක පොන්නම්පෙරුම මහතාගේ මෝනා මහත්මිය අවුරුදු 22 කට පස්සෙ ලංකාවට ඇවිත් ඉන්නවා.. පුළුවන් නම් ගිහින් හමුවන්නකෝ. එතුමිය තමයි එදා නිළියන් අතර හුන් දිගුම වරලස තිබූ නිළිය.. ‘සැකය’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයෙත් ඇයමයි.”

තවත් පමාවකට සිත් නුදුන් මා ලද තොරතුරින් අතුරුගිරියේ තුන්අඳහේන නිසල පරිසරයක පිහිටි ඇයගේ සුවිසල් නිවසට ගොඩවෙද්දීම මුව පිරුණු සිනහවෙන් යුතුව පිළිගනු ලැබුවේ ඇයගේ රුවැති එකම දියණිය සුමංගලී මංජුලා ය..ඕ ගායන ශිල්පිනියක සේම රංගන ශිල්පිනියකි.

ඒ මහ බරාඳයේ සුවපහසු අසුනකට බරදී හුන් මවෙත පැමිණියේ අපේ ආදරණීය රූපණවේදී අසෝක පොන්නම්පෙරුම මහතාගේ ප්‍රිය බිරිඳ මානෙල් පොන්නම්පෙරුම මහත්මියය.. එදා රිදී තිරය ඔපකළ රූපණවේදිනියන් අතර කැපී පෙනුණු ඕ තොමෝ තවමත් රූ සෝභාවෙන් එතරම් දුරස්ව නැතැයිද හැඟිණි.

“ඉතින් ..එදා සිනමාවෙ හිටපු අය ගැන මෙහෙම සොයා බලන සරසවිය පත්තරයට හදවතින්ම කෘතඥ වෙනවා යැයි අප පිළිසඳරට මුල පිරූ ඕ...අපේ ආදරණීය කතා නායකයා පිළිබඳව කතා කරන්නී...මහත් සතුටකිනි.

“අපේ අසෝකගෙ උපන් ගම හික්කඩුව..එයා තමයි ඒ පවුලේ වැඩිමලා..අසෝකට නංගිල දෙන්නෙක් එක්ක මල්ලි කෙනකුත් ඉඳල තියෙනවා..ඒ නංගිලා දෙන්නාම නිවුන්නු ..එක් කෙනෙක් වසන්තා...අනෙක් නංගි මානෙල්...දෙන්නාම ගුරු වෘත්තියේ ..මල්ලි මහින්ද වෘත්තීයෙන් පී.එච්.අයි කෙනෙක්..”

අපේ සොඳුරු කතා නායකයාගේ මව විදුහල්පතිනියක වූ ප්‍රේමවංශ මිත්‍රරත්න (පොන්නම්පෙරුම) වන අතර පියාණන් වූයේ එකල ‘සිංහල’ නම් පුවත්පතක කර්තෘ ධූරය හෙබවූ චාල්ස් පොන්නම්පෙරුම ය..එම දෙපළගේ වැඩිමහල් පුත්‍රරත්නය වූ විමලධර්ම අසෝක පොන්නම්පෙරුම නම් අපේ කතානායකයා උපන්නේ 1936 ක්වූ මැයි මස 03 වනදාය..ඉගෙනුම ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකවමය..චිත්‍රපට නැරැඹීම තරම් තවත් සතුටක් ඔහුට තිබුණේම නැති.

මම ඉදිරිපිට අසුනේ පසුවන මානෙල් මහත්මියගේ මුහුණ බැලුවෙමි.ඕ සිනාපිරි මුවින් මතකය අවදි කරන්නී.......

“චිත්‍රපට බලන ආසාවත් එක්ක චිත්‍රපටවල රඟපාන්න තිබුණු ආසාවටම එයාට චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා...ම්..ම්..මට මතක හැටියට නම් ‘සිරිමලී’ චිත්‍රපටය..එහි අසෝක ද්විත්ව චරිතයක් කළේ.. මම එයාව දැකලත් නැහැ.. දන්නෙත් නැහැ..ඒ වුණාට ඒ කාලෙ චිත්‍රපට නළුවෙක් හැටියට අසෝක ගොඩක් ජනප්‍රිය වෙලා ඉඳල තියෙන්නෙ..”

මා හා පිළිසඳරේ පසුවන ඇයගේ තතුද මා

ඔබට මෙතැන් සිට කිවයුතුය...සුපුරුදු සිනාබර මුවින් ඕ කතා කරන්නීය..

ඕමත්තගේ ලෝරා එලියස් මානෙල් පෙරේරා නම් ඇය පසුව මානෙල් පොන්නම්පෙරුම නම් වූවාය..කොළඹ උපන් ඇයගේ මවුපිය දෙදෙනා සිසිලියානා පෙරේරා සහ ඕමත්තගේ බැස්ටියන් පෙරේරා ය...තාත්තා එකල පොලිස් නිලධාරියෙකි. සහෝදරයන් දෙදෙනකුට.. සහෝදරියන් පස් දෙනකුට මැදිව පස්වන දැරිය ලෙසින් 1948 ක්වූ අප්‍රේල් මස 16 වනදා උපන් අපේ කතා නායකයාගේ ආදරණීය බිරිඳ මානෙල් ඉගෙනුම ලැබුවේ පන්නිපිටිය කතෝලික විදුහලෙනි.ඇයගේ අම්මා සිසිලියානා මාතාව මේ දියණියට වඩාත් සමීපව පසුවූවාය ..රුවින්ද පිරිපුන් තම දියණිය අවලස්සන වේයැයි බියකින්දෝ දෑතේ නියපොතු අවපැහැවේ යැයි බියවී වළඳක්වත් සෝදන්නට තරම්වත් ඉඩක් නොදුන් බව අද ඈ කියන්නී...මුව ඉහිරුණු සිනහවෙනි.

අපේ කතා නායකයා මෙන් ඇයද පසුවූයේ සිනමා නිළියක වීමේ සිහිනයකිනි.

ඒ ආසාව ඉටුවෙමින් ‘දීපශිඛා’ චිත්‍රපටයේ ඇල්.ඇම්.පෙරේරා රංගන ශිල්පියා සමග ගීතයකට රැඟුමක් පෑවාය..සැපත සොයා...ළයට ළය...ලන්ඩන් හාමු...දෙහදක දුක...කිංකිණි පාද....රුහුණු කුමාරි ආදී තවත් චිත්‍රපට කිහිපයක ම රඟපෑවද ඇය ප්‍රධාන චරිතයකට පිවිසෙමින් ‘රංජනී’ නමැති චරිතයට පණපොවමින් ටෝනි රණසිංහයන් සමඟ රඟපෑමට අවස්ථාව උදාවූයේ ‘සැකය’ චිත්‍රපටයෙනි. සිනමා ප්‍රේක්ෂකයා අපේ ආදරණීය මානෙල් පෙරේරා නම් රූපණවේදිනිය හරිහැටියට හඳුනා ගත්තේද ‘සැකය’ සිනමා සිත්තමෙනි. එහි මවගේ චරිතය රඟපෑවේ රීටා රත්නායක මහත්මිය.. ලැම්බට් මොරමුදලි ..අරුණ ශාන්ති..ආදීහු එහි චරිත නිරූපණය කළහ...

අපේ ආදරණීය මානෙල් සිහින් අත්පුඩියකින් සිනා පහළ කරන්නට වූවාය... මමද සිනාසෙමින් බලා සිටියෙමි.

“මේ ටික නම් නොකියාම බැහැ..දැන් මතක් වෙද්දිත් මට හිනා යනවා අනේ...මම ඒ කාලෙ පාසල් සිසුවියක්නෙ..ඒ අතරෙ තමයි ඔය රඟපාන්නත් ගියෙ. හැබැයි තනිවම නම් නෙවි..මගෙ තනියට මගෙ අම්මා තාත්තා නොවැරදීම එනවා..

ඔන්න ඉතින් ඔය කඳාන පැත්තෙ තිබුණනෙ එස්.පී.එම් කියල ස්ටූඩියෝ එකක්...ගීත පටිගත කළේ රූපගත කිරීම් පවා කළේ එතැන තමයි.. පර්ල් වාසුදේවි මහත්මියගෙ දුවයි මමයි තමයි පරීක්ෂණයට කැඳවා තිබුණෙ...ඒ සැකය චිත්‍රපටයට..

“ඔයාටත් මතක ඇති ..මගෙ හිතේ..අපේ සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ‘සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා..’කියන ගීතය..ඒ පසුබිම් ගීතයටයි මම රඟපෑවෙත්...ඔන්න එදා ඒ ගීතය පටිගත කිරීම් බලාගන්න මම ගියැයි කියමුකෝ..අපේ කැමරා ශිල්පියකු වන නොයෙල් පෙරේරා ත් මේ අහලම උන්නා...මෙන්න බොලේ අසෝක පොන්නම්පෙරුම කියන නළුවත් එතැනට ආවා කියමුකො..එයා ඉතින් ඒ කාලෙ හොඳ ජනප්‍රිය නළුවෙක්...එයා ආපු ගමන් කෙනෙක් දුවල ගිහින් කුඩා ටීපෝවක් ගෙනැවිත් තිබ්බා එයැයිට ඉඳගන්න...අප්පේ ඇඟේ සයිස් එකට ඒ ඉඳගන්න කියල කුඩා ටීපෝව දැකපු මට බකස් ගාලා හිනා ගියානෙ...(ඕ තවමත් හිනැහෙන්නීය )

“එයා වටපිට බැලුවා ..මාවත් දැක්කා..ඒ එක්කම නොයෙල් පෙරේරා මට කිව්ව හිනාවෙන්ඩ එපා..එයා දරුණු මිනිහෙක්..කියලත්..මං බයටම හිනාව ගිලගත්තා..පස්සෙ දන්නවද වෙච්ච හරිය..මේක තමා වෙච්ච හොඳම හරිය අනේ..එයා රීටා ගෙන් මගේ ලිපිනය රහසේම ඉල්ලාගෙන....අද වගෙ ඒ කාලෙ දුරකතන පහසුකම් නැහැනේ..ඔන්න සතියක් විතර යන්න ඇති..මෙන්න වදේ...මේ මනුස්සයා රීටා දුන්න ලිපිනයට අපේ ගෙදරටම ආවානෙ. අපි උන්නෙ හරිම පොඩි ගෙයක..කුලියට..පවුලේ කට්ටියත් ගොඩක්නෙ.අමාරුකම් එහෙමත් එදා අපට තිබුණා ..අපේ පොඩි කුලී ගෙදරට මෙයා ආවා.ඉතිං එතකොට මගෙ වයස ඔයාට හිතාගන්න පුළුවන්ද...මට වයස අවුරුදු 17 යි.”

“ඉතින් එයා ඇවිත් මගෙ මවුපියන්ගෙන් කෙළින්ම ඇහුවෙ මාව කසාද බඳීනවට කැමතිද කියලයි. අපෙ අම්මයි තාත්තායි උඩ ගියා. හිතාගන්නවත් බැරි දෙයක්නෙ. අම්මා නම් හොඳටම විරුද්ධ වුණා.තාත්තාගෙ කැමැත්තක් එයා ගැන තිබුණා ..චිත්‍රපට වලින් දැකල තිබ්බ නිසා..

“අසෝක මට වඩා වයසින් අවුරුදු 13ක් වැඩිමල්..කලින් එයා විවාහ වී එයින් දික්කසාද වූ කෙනෙක්. ඒක කවුරුත් දන්නවා..ඉතින් මට නොවෙයි අම්මා තාත්තා ට නම් එයාව මතක තිබුණා ..තාත්තාත් මම සිනමාවෙ ඉන්නවට කැමතියිනෙ.

“අනේ ඔයා දන්නවද අමල් ..අසෝක ඉතින් සතියේ හැම සෙනසුරාදා ම අපේ ගෙදරට එනවා..අපට එයා හරීම සමීප වුණා ..අපිත් එක්කගෙන ගෝල්ෆේස් එක්කන් යනවා.. චිත්‍රපට බලන්න එක්කන් යනවා..කවදාවත් මාව එයැයි එක්කල තනිව ගමන් යවල නැහැ. යන්නෙ පවුලේ අය ඔක්කෝම එක්ක.. ඒ ගියත් ගාඩ් එක දෙනව අපෙ අම්මායි..තාත්තා යි..

මගෙ අම්මා කතෝලික ..තාත්තා බුද්ධාගමේ..ඔන්න ඉතින් එයා අපට අවංකවම උන්නා..හිත හරීම හොඳයි ..හරීම කරුණාවන්තයි. එයැයිගෙ උස මහත එක්ක බැලුවාම නපුරු බැල්ම වගේ පිටතට පෙනුණාට එයා හරීම සංවේදී කෙනෙක් ..හිත උණුවන කෙනෙක් ..සැරපරුෂ ගති ගෑවිලාවත් නැහැ..දැන් අසෝක අපේම කෙනෙක් වගේ..ගෙදරට එනකොට දෑතටම අරන් එනවා..අපි පොඩි කුළී ගේකනෙ..අප ගැන අඩුවක් එයාගෙ හිතේ තිබුණෙම නැහැ..අසෝක බැල්මකින් පවා...............

ඇයගේ කතාව හිටිඅඩියේම එකවරම නැවතිණි.මම වහා ඈ මුහුණ බැලීමි..ඇයට ඉකි බිඳීණි..පිටතට එන්නට දඟලන හැඬුම් ඕ වැර වෑයමින් වළකා ගනිමින් දෙකොපුල් තල මතින් රූරා හැලෙන දෑසේ කඳුළු කුඩා දැරියකසේ පිසලා ගන්නට වූවාය..

“ඔබතුමිය දුක්වෙන්න එපා..මේ අප කතා කරන්නෙ අතීතයේ කතාවක්නෙ..”

මම ඇය අස්වසාලූයෙමි. “නැහැ..නැහැ..හරි ” යැයි බිඳුණු හඬින් එවර කීවාය.. තවත් විනාඩි කිහිපයක්ම නිහඬවම ගතවිණි.

“ඉතින් අපෙ අම්මාගෙ හිතෙත් එයා ගැන දැන් දැන් පැහැදීමක් ඇතිවෙලා..අපේ පවුලටම එයා ඇත්තටම ආදරේ බව තේරුම් ගිය නිසා..අපි හිටපු පොඩි කුලී ගෙදරින් පහසුකම් ඇති ගෙදරකට එයා අපව එක්කගෙන ගියා..”

දැන් අපේ සොඳුරු කතා නායකයාගේ එකම බලාපොරොත්තුව සඵලවන ආසන්නයේය..ඔහුගේ එකම පැතුම මානෙල්ය..වැඩිහිටි විරසකයක් ඔහුට එල්ල නොවූවද කතෝලික ආගමට භක්තිවන්තියක වූ සිසිලියානා මාතාව කොන්දේසියක් පැනවූයේ අපේ ආදරණීය අසෝකටය..

“මේ කසාදය කෙරෙනවා නම් මුලින්ම ඒ කාරිය කෙරෙන්ඩම ඕනා අපේ පල්ලියෙ ...”

බෞද්ධයකු වූ අපේ කතා නායකයා ඊට කිසිත් විරුද්ධත්වයක් පෑවේ නැත. හිත් පුරා හිඳීන්නේ මානෙල්මය..පල්ලියේ විවාහ ගිවිස ගැනීම සිදුවීමෙන් වඩාත් සතුටට පත්වූයේ සිසිලියානාය..නෑ පිරිවර හා මිතුරන් සුභ පතන්නන් වෙනුවෙන් කොල්ලුපිටිය සිරිකොත මන්දිරයේ උත්සව ශාලාව ඉහළින්ම සැරසිණි.. සිනමාවේ තරු යුවළ විවාහ ගිවිස ගනී. එකල පුවත්පත් සඟරා ඡායාරූප සහිතව මුල් පිටුවල පළ කෙරිණි.. විවාහයට සාක්ෂිකරුවන් වූයේ සර් ජෝන් කොතලාවල සහ එම් එච්. මොහොමඩ් මහත්වරුන්ය..

අපේ මතකයේ තවමත් සුජීවත් බොහෝ කලාකරුවන් අතර එදා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ පසුවූ ඇල්ප්‍රඩි එදිරිමාන්නයන් ..ඩොමී ජයවර්ධනයන් ..ඇතුළු නම් දැරූවන් සමඟ නිළියන් රැසක්ම එහි සිටි අතර මංගල උත්සවයේ අන්තිම තත්පරය තෙක්ම පසුවෙමින් නව යුවල මධුසමයට පිටත්ව යද්දී අත වනමින් සුභ පතන්නට සිටි ජීවරාණි කුරුකුලසූරිය මහත්මිය ගැන ඕ වඩාත් සතුටු සිතින් පවසන්නීය..

මම ඇයට සවන් දෙමි.

“අපි මධුසමයට හික්කඩුවට ගියේ..ඒක මහා පුදුම ආදරයක්මයි. මගෙ අත්දෙක නිතර අල්ලන් එයා මට කියනව ඔයාගෙ අත්දෙක හරි කිරි සුවඳයි කියලා.”

“ඉතින් අනේ ඒ වෙද්දි මම රොබින් තම්පෝල එක්ක තවත් චිත්‍රපට දෙක තුනකට ගිවිසුම් අත්සන් කරලනෙ තිබුණෙ. දැන් හරි වැඩේ..ඒ රූපගත කිරීම් කරනකොට මගෙ ලොකු පුතා ලැබෙන්න මං ගැබිණියක් වෙලා..රෝයි ද සිල්වා එක්ක එක ගීතයකට රඟපාද්දි මගෙ නෙරාපු බඩ නොපෙන්වාම රූ ගත කරන්න එයාලා වෙහෙසුණා..මට දරුවන් හම්බු වෙන්ඩ මාව රෝහල් ගත කරල ඉන්නකොට අනේ අසෝක ..එයා ගෙදර යන්නෙ නැහැ..වාට්ටුවෙන් එළියට වෙලා තනිවම ඉන්නවා..”

විවාහය සිදුවූයේ 1965 වසරේ දීය..තවත් විශේෂ සිදුවීමක් කිවයුතුය...තම ජීවිතයට මානෙල්ම මට හිමිවේවා යැයි ප්‍රාර්ථනයෙන් ඔහු කතරගම දෙවියන්ට බාරයක් වී තිබුණේ විවාහවීමෙන් පසුව මධුසමයට යාමට පෙර ඇය සමඟම පැමිණ එම බාරය ඔප්පු කරන බවටය..

“මං ඔයා නමින් වෙච්ච බාරයක් තියෙනව..අපි දෙන්නම ගිහින් ඒ බාරය ඔප්පු කරල මධුසමයට යමු”යැයි එදා අසෝක තමන්ට කී අයුරුද ඕ සිහිපත් කළාය..

අසෝක - මානෙල් සොඳුරු කැදැල්ලට 1966දී හිමිවූ ලොකු පුතණුවන් අනුරුද්ධ පොන්නම්පෙරුමය. සිය පියාණන් තම ගේය පද රචනයෙන් තිළිණ කළ ‘මා ඔබ සීමාවී....නෑ හදේ ඉවසුම්... සරා හැඟුම් පෑරේ..’ ගීතය ලොකු පුතු අනුරුද්ධ ඔහුගේ දියණිය හෂිණී නයන්තරා සමඟ යුග ගායනයක් පටිගත කළේය..දෙවන පුතු අශෝක් සුමේධය..තෙවැන්නා චාමින්ද ප්‍රසාද්ය...සිව්වැන්නිය වන එකම දියණිය සුමංගලී මංජුලා වරින්වර අප පිළිසඳර ට එකතු වන්නීය.

“අනේ ඇත්තමයි ..අසෝකගෙ හිතේ සියුමැළි බව හිතන්නකො.මට බබා හම්බුවෙන්න ඉන්න කොට මටත් වඩා අමාරුව තිබුණේ අසෝකටයි..”

අපේ ආදරණීය කතා නායකයා අධ්‍යක්ෂණය කළ ප්‍රදීපා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් තම පුතුන් ද ඊට ඇතුළත් කළ බව ඈ කියන්නීය..

සිය විවාහයෙන් පසුව නළුකමද රැකගනිමින් හෙතෙම කොළඹ සතොස ආයතනයේ ප්‍රධාන කළමනාකාර තනතුරද හෙබවූයේය.. විවාහයෙන් පසුව ඇරැව්වල කුලී නිවසකට පදිංචියට ගිය මේ ආදරණීය දෙපළ ඔහුගේ අම්මා ටද නංගිලා දෙදෙනාටද සැලකුම් කරමින් සතුටින් කල් හැරියේය.

“එයාගෙ අම්මා විදුහල්පතිතුමියක්. මට ආදරයෙන් සැලකුවා.. මට හතරවන දරුවාත් ලැබෙද්දි අපේ මහත්තයා ට එයාගෙ අම්මා තහංචියක් පැනවූවා...දැන් දරුවන් ඇති. අපට එහෙම දරුවන් තවත් බලාගන්න නම් බැහැ කියලා.." මානෙල් සිනාසෙන්නීය..

“එයා එයාගෙ අම්මාටත් පුදුම ආදරයක් තිබුණෙ..අසනීපයක් හැදුණොත් අසෝක තමා කොණ්ඩෙ පීරන්නෙ.. සාත්තු සප්පායම් කරන්නෙ..ඒ තරම් හොඳ කෙනෙක්. අසෝකගෙ තාත්තා නැති වූ දවසෙ එයා දුක් වුණ තරම්..තාත්තාගෙ දේහය ගෙදරින් පිටතට ගන්න වෙලාවෙ අපෙ මහත්තයා කෑ ගහලා අඬලා හැපිලා මගෙ ඇඟ උඩින් මගෙ තාත්තා ගෙ මිනිය ගෙනයන්න කියලා..ගෙයි බිම වැතිරිලා උන්නා...”

“මං ගෙදර ඉන්න කාලෙත් මං මුකුත්ම වැඩක් කරන්න මගෙ අම්මා ඉඩක් නුදුන් නිසා මං උයන්න පිහන්න දන්නෙත් නැහැ. ඒත් අසෝක තමයි උයන්නෙ.. පිහන්නෙ.හොඳට එයා උයන්න දන්නවා..මං ඉතින් සහායට ඉන්නවා එයාට..”

පස්සෙ දි අපි මහරගම ගෙයක් හැදුවා..ටික කලකින් අපි ඒකත් විකුණලා මහරගම නාවින්නෙ හරිම ලස්සන ගෙයක් හැදුවා...පස්සෙ අපි ඒකත් විකුණල දාලා මේ අතුරුගිරියට ආවා...”

අපේ ආදරණීය අසෝකට ..මානෙල්ට...දූ දරුවන් සිව් දෙනෙකි. දරුවන් සිව්දෙනාම බිම එක පෙළට වාඩි කරවන්නේය.. බත් කවන්නේය...සත්කාර කරන්නේය..ඒ තම දරු පවුල මත්තේම ඔහු හදවතේ තිබූ උතුම් සෙනෙහසමය..තවත් කලක් ගතවී යද්දි දරුවන් එක්ව අම්මා ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තාත්තා ට විරුද්ධවය..

“අනේ අම්මා..අපි දැන් ලොකුයිනෙ..අනේ අපෙ තාත්තා ට කියන්නකො පුංචි කාලෙ වගෙ දැන් අපට කවන්න පොවන්න එපාය කියලා..අපට ලැජ්ජයිනෙ..”

විවාහ වූ මුල් කලදී අපේ කතා නායකයා චිත්‍රපට රූගත කිරීම් සඳහා නිවසින් බැහැරව යාමේදී බිරිඳ මානෙල් මහ හඬින් විලාප නගමින් හැඬූ සැටිද..සිහිපත් කළ ඕ තොමෝ සිනාසෙන්නීය..රූපගත කිරීම් වලදී ඔහු තමන්ද රටවටා කැඳවා යද්දී දෙන්නා ඉඳීකටුවයි නූලයි කියා සෙස්සන් උසුළු විසුළු කළ සැටිද කීවාය..

“දෙහදක දුක චිත්‍රපටයෙ මම ගාමිණී ෆොන්සේකා එක්ක රඟපෑවනෙ..අනේ ගාමිණී කියන්නෙ හරිම නිහතමානී මනුස්සයෙක් ..විහිළු තහළු කරන එකමයි ගාමිණීගෙ වැඩේ..”

අපේ අසෝකට බැංකු ගිණුම් නම් තිබුණේම නැති..මිල මුදල්ද අඩුවක් නැති. ඒ ගැන මානෙල් කීවේ “මගෙ මහත්තයා එයාගෙ සල්ලි ගොඩවල් දාලා තිබුණෙ එයාගෙ මේස ලාච්චුවලයි. අල්මාරි ලාච්චුවලයි තමා..මගේ නිළි ජීවිතය අප විවාහ වී කෙටි කලකින් මම නිමා කළා.. අසෝක දිගටම රඟපෑවා.. මං ඉතින් අපේ දරුවන් හතරදෙනාගෙ රැකවරණය වෙනුවෙන් කැපවුණා..”

ගෙතුළ එහා මෙහා පැද්දෙන අපූරු හාන්සි පුටුව අපේ කතා නායකයාගේය..විවේකයේදි හේ එහි සිටී. තම එකම දියණිය මංජුලා තුරුළට ගන්නා හෙතෙම ‘ගුවන් තොටිල්ලේ...සඳ සැතපෙනවා..

මගේ තුරුල්ලේ දුව හිනැහෙනවා..’ ගීතය ගයන්නේය..ගායනයෙහිද රංගනයෙහිද සමත්කම් පෑ අපේ අසෝක රංගවේදියා දෙවරකදී චිත්‍රපට පසුබිම් ගායනයට සුජාතා අත්තනායක සමඟ එක්වූයේය.. ඒ ලන්ඩන් හාමු චිත්‍රපටයේය..මේ පිළිසඳරේ පසුවන අපේ මානෙල්ද ගායන හැකියාවෙන් නිපුණය..ඕ වෙසෙන එංගලන්තයේ විවිධ අවස්ථාවලදී රසික දනන් තෘප්ත කරවමින් ගැයූ ගීත කිහිපයක වීඩියෝවක්ද ශ්‍රවණය කරන්නට මට ඉඩ හැරියාය..

අපේ අසෝකට එහෙමට මිතුරන් කියා සිටියේද නැති.විවේකය ගෙවී ගියේ ගෙදරමය..බිරිඳ හා දරුවන් සමග ගත කරන්නට ඔහු තුළ තිබුණේ නිම්හිම් නොවනා සතුටක්මය..

“අපෙ මහත්තයා චිත්‍රපට 125 ක විතර රඟපෑවා..මම නම් චිත්‍රපට දහයක විතර රඟපෑවේ.. අසෝක මුණ නොගැසුණානම් මමත් සිනමාවේ දිගටම රැඳී ඉන්න ඉඩ තිබුණා ..එයාගෙ හමුවිමත් එක්කලම මම ඒ පැත්ත නෙමෙයි ගෙදර ගැනමයි හිතන්න ගත්තෙ..කවදාවත් අසෝක මට නීති තහංචි පනවලාම නැහැ...”

“ඒ කලෙ සිනමාවේ රැඳී උන්න අය සත්තකින්ම වැදගත් අයයි..හොඳ නරක දන්න මිනිස්සු ..ඒ ටික මං කවදත් කියනවා. එදා සිනමාවෙ ඈයො ගැන හිතේ සතුටකින් කතා කරන්න පුළුවන්.. ඒ වගේම එදා සිනමාව හැම අතින්ම ඉහළයි..අද වගේ ඔය අරුමෝසම් රටේ තිබුණෙත් නැහැනෙ..මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් පවා සරලයි. ඒ කාලය ගැන සිතද්දි අදටත් දැනෙන්නෙ ලොකුම සතුටක් ..”

“මං ඉතින් අද හරිම සතුටින් දරු මුණුපුරන්ගෙ ආදරයත් ලබමින් ලංකාවටත් ඇවිල්ලා යනවා..මං මාස හයෙන් හයට ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්නෙ..අවුරුදු 22ක් කියන්නෙ පොඩි කාලයක් ද..මේ අවුරුදු 22 කම මම එකදිගටම එංගලන්තයේ ..ආයෙත් මං ළඟදිම එහෙට යනවා..එහෙ මම රස්සාවක් කරන නිසා...”

ඕ නිහඬවම පසුවන්නට වූවාය..සිය ප්‍රේමණිය හිමි පිළිබඳව යටගිය මතකයන් අතරේ සැරිසරන්නී.....වරෙක ඕ බිම බලාගත්වනමය ..වරෙකදී බර කල්පනාවකය..

අපේ සොඳුරු කතා නායකයා ...නොඑසේනම් යටගිය සමයේදී සිනමා රසික දනන් හදවතින්ම වැළඳගත් රංගවේදී අසෝක පොන්නම්පෙරුමයන්ගේ ප්‍රතාපවත් හඬ මට දැනුදු ඇසෙන්නාසේය ..රළු චරිත නිරූපණයෙහිදී ප්‍රේක්ෂකයා ඔහුට වෛර කළද සැබැවින්ම හේ සංවේදී අයෙකි. ගුණගරුක මිනිසකුම වෙයි..

එකවරම ඇයට චිත්‍රපට නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා සිහි නැගිණි..

“අපේ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහත්තයා නිසානෙ මට ඔබවත් හමුවුණේ...එතුමයි අපෙ මහත්තයයි හරිම සමීපයි..එතකොට ගාමිණී ට වයස 14ක් 15ක් විතර ඇති..ලන්ඩන් හාමු චිත්‍රපටයට පසුබිම් ගායනයට මහත්තයා යද්දී අපේ ගාමිණී මහත්තයාවත් එක්ක ගිහින්...සංගීත අධ්‍යක්ෂක ආර්.මුත්තුස්වාමි මහත්තයාට කියල තියෙනව මේ අපේ ගාමිණී ට කාර්මික දැනුම ලබන්න අවස්ථාවක් අරන් දෙන්න කියලා.. ඒ තරමට ගාමිණී මහත්තයා සිනමාවට පිස්සු වැටිලා වගෙයි..

ඉතින් ..මුත්තුස්වාමි මාස්ටර් ගාමිණී ව විජය චිත්‍රාගාරයට යොමු කරවලා තියෙනවා..එයා කාර්මික දැනුම..කැමරාකරණයේ දැනුම..වගේම සිනමාවට සම්බන්ධ හැම දෙයක්ම හැදෑරුවා..එතුමා දක්ෂයි..හොඳ අවබෝධයක් ගත්තා..ඔය අතරේ හියුගෝ මාස්ටර් කියල තියෙනව දවසක් .. උඹ මේවා පුරුදු පුහුණු වුණාට කමක් නැහැ..හැබැයි බත් කන්න නම්. හිතන්න එපාය කියලා..

‘සුහද පැතුම’ චිත්‍රපටයෙත් ගාමිණීගෙ අම්මා කටයුතු කළානෙ..තාම කොල්ලෙක්නෙ..ඒ හින්දා අපෙ අසෝක කියල තියෙනව..ගාමිණී ඔයා දක්ෂයෙක්..ඒත් අධ්‍යාපනය නැතිව හරියන්නෙ නැහැ..හොඳට ඉගෙන ගන්න .ඉන්පසුව තව උදවු දෙනවා කියලා..ඉගෙන ගත්තා..ඒත් එතුමා හිටි අඩියේ විදෙස් ගතවුණා.

ඇත්තමයි ..එතුමා අද ඉන්න තත්ත්වය ගැන මම විතරක් නෙවි අසෝක උන්නා නම් ගොඩක් සතුටු වේවි.

‘පූජා’ චිත්‍රපටය ඉහළම චිත්‍රපටයක්. එහි නිෂ්පාදක එතුමා..තවත් සිනමා..ටෙලි නිර්මාණ රැසක නිෂ්පාදක වගේම නිෂ්පාදන කළමනාකරු වෙමින් අද මුල්පෙළේ පසුවන කීර්තිමත් කෙනෙක්..එතුමා. සංවේදී වටිනා මහත්මයෙක්...දැන් ඉන්නෙ ප්‍රංශයේ..නිතර ලංකාවටත් එනවා..එතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා සරසවිය මුණගැස්වීම ගැන..”

අපේ ආදරණීය අසෝක දිනෙක මානෙල් වෙත ළංව මෙසේ කීයේය..

“මට හදිසියේ මොනවහරි වුණොත් මානෙල් ඔයාටයි දරුවන්ටයි බයක් වෙන්න හේතුවක් නැහැ.. අසරණ වෙන්නෙ නැහැ...මගෙ විශ්‍රාම වැටුපයි...වැටිල ඉන්න මේ ගේයි ඔයාට තියෙනවා..ඒ නිසා මගෙ හිතට බරක් දුකක් නැහැ..හොඳීන් ඔයාට ඉන්ඩ පුළුවන් ..මානෙල්..

“ඔයාට මොනව වෙන්නද..විකාර කියන්න එපා...” එවර ඇය කී සැටි.

අපේ අසෝක වරින්වර රෝගාතුර වූයේය..

මත්පැනට ගිජුවූවකු නොවූ හෙතෙම දුම්වැටියට ලොල්ව සිටියේය..

“අසෝක ට නිතර අසනිප වෙනවා.. හෘදයාබාධ දෙතුන් වරක්ම හැදුණා..අපි කලබල වෙලා එයා ගැන හිතුවාට එයා අපට අසනිප හංගනවා.

මානෙල් මුවෙහි සිනහව අහලකවත් නැත..

“අපෙ දූලා පුතාලා හොඳීන් ඉන්නව දැකීම මගේ පිනක්..නිවී හැනහිල්ලේ මට ඉන්න පුළුවන් ඒකයි..”

එදවස එතරම් ශෝචනීය වේයැයි කිසිවකු හට හැඟුණේ..දැනුණේ දැයි නොදනිමි ..එතුවක් මේ සොඳුරු කැදැල්ලේ උතුරා පිටාර ගිය සතුට උඩුයටිකුරුව යා දැයි කිසිවකුට හැඟුණේද නැති.

එදවස අමුතුම විය..එදින පෙරවරුවේ ද අපේ කතා නායකයා රෝගාතුර වීමෙන් වෛද්‍යවරයකු හමුවී නිවසට පැමිණ සිටියේය..රූපවාහිනියේ ඔහු වඩාත් ඇලුම් පෑ විමෝදය මුසු නාට්‍යයක් නරඹමින් පසුවූයේ බිරිඳ හා දූ පුතුන් හා එක්වමය..වරක් දෙවරක් අපහසුතාවෙන් පෙළෙන්නට වී...බිරිඳ මානෙල් බෙහෙත් පෙව්වාය...තත්ත්වය උත්සන්න අතටම හැරිණි.හේ තම දෙඅතින්ම පපුව අල්ලාගෙන වේදනාවෙන් කෙඳීරිලි නැගීය..දියණිය දෙවැනි අයියාට දැනුම් දුන්නාය..ගොර ගොර හඬින් සෙම මුවින් ගලා ගියේය..වහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි..හදිසි ප්‍රතිකාර ද ලැබදුනි.

අහෝ...අපේ සොඳුරුතම සංවේදී සිතකින් පිරි අපේ ආදරණීය කතා නායකයා...රෝගාතුරව නිවසින් පිටමංව රෝහලට එන්නටත් පෙර කිසිවකුටත් නොකියා..නොදන්වාම හැම ඇසකම උණු කඳුළක් රඳවමින් 56 වන වියෙහිදී...ඔහු යළි නොඑන්නටම කොහේදෝ නික්ම ගොස් තිබුණේය...

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

 

[email protected]