අම්මාගේ පළමු චිත්‍රපටයේ මටත් ළමා චරිතයක් ලැබුණා

රෝහිණී ජයකොඩි ගේ දියණිය ප්‍රවීණ නිළි වීණා ජයකොඩි කියයි
මැයි 25, 2023

“අපෙ අම්මා හරීම ලස්සනයි. එතකොට ඒ කාලෙ අපෙ අම්මා ඉන්නෙ කිරුලපන පැත්තෙනෙ. ඉතින් දවසක් අපෙ අම්මා ව එදා සිනමාවෙ හිටපු දැවැන්තයෙක් වුණු සේනාධීර කුරුප්පු මහත්තයා දැකල තියෙනවා. චිත්‍රපටයක රඟපාන්න කැමතිද කියල අහල තියෙනවා. එහෙම අහල අම්මා ට රඟපාන්න අවස්ථාවක් ලබාදීල තියෙනවා. ඒ චිත්‍රපටය තමයි ‘අහංකාර ස්ත්‍රි’ චිත්‍රපටය.”

මෙවර අපේ සොඳුරු කතා නායිකාව එදා රසික සිත්සතන් හි සෙසු නිළියනට වඩා අමුතුම ප්‍රතිරූපයකට හිමිකම් කී තැනැත්තියකි. ඕ තොමෝ කටකාර යැයිද.අහංකාර යැයිද. විද්‍යාමාන වූ රූපණවේදිනිය ඇයමය. එදා මෙදා තුර සිනමා රසික හදවත්හි නිරතුරුවම රැඳී හිඳීන්නට තරමේ කීර්තිමත් නාමයක් දිනූ ඕ රෝහිණී ජයකොඩි මහත්මිය ය.

ඇය පිළිබඳ යටගිය තතු අසා සොයා සරසවිය පාඨක ඔබට කියනු රිසියෙන් සරසවිය වෙනුවෙන් මා ගොඩවැදුණේ නුගේගොඩ නගරයට නුදුරුව නිවසන ඇයගේ සිව් දූ දරුවන් අතර තෙවැන්නිය වන සිය මවගේ ආදරයට වඩාත් බඳුන්ව. මවගේ සුළැඟිල්ලේ එල්ලි පසුවූ තරමට සමීපවම හුන් හෙළ සිනමාවේ තරු විලාසිනිය. ප්‍රවීණ රූපණවේදිනිය වීණා ජයකොඩි මහත්මිය ගේ සොඳුරු නිවහනටය.

වීණා සැබැවින්ම තවමත් රුවැත්තියකි. රිදී තිරයේ මා දුටු ඒ සම්මානිත රූපණවේදිනිය වීණා කලෙක සිට හොඳීන් දන්නා හඳුනන අයුරින් පිළිගෙන ගෙතුළ බරාඳයට කැඳවා ගියාය. සුව පහසු අසුනකට මා යොමුකරවා ඇයද මට නුදුරේ අසුනකට බර දුන්නාය.

අප දෙදෙනා යටගිය තතු පිළිබඳ සුහද පිළිසඳෙර්ය. වරෙක ඕ දෙකම්මුල් වල ගැසෙන ආශක්ත සිනහවෙන් පසුවන්නීය. තව වරෙක බර කල්පනාවකට පිවිසෙන්නීය. තවත් වරෙක එකදිගට බොහෝදේ කියාගෙන යන්නීය.

“ඇත්තම කියනවා නම් එදා අපට හුන් කලාකරුවන් අද වෙද්දි බොහෝ දෙනකුට අමතකව ගිහින්. ඒක නම් හරිම කනගාටුවක්. මාධ්‍යවලින් එදා හිටපු අය ගැන මතක් කිරීමක්වත් නැහැ. එදා ඒ අය සිනමාව රැකගත් නිසාමනෙ පසු කලෙකත් සිනමාවක් කියා දෙයක් සුරැකී තිබුණෙ. නේද...සිනමාවක් කියා දෙයක් රටට ඉතිරි වුණේ. මෙහෙම කතා කරන්න අවස්ථාවක් ලැබීමත් ලොකු සතුටක්. විශේෂයෙන් සරසවිය පත්තරයට...”

මම ඇය දෙස බලා සිටිමි. ඕ දොඩමළු වන්නීය

“ඉතිං අමල්. මගෙ අම්මාගෙ නම රෝහිණී නම් නෙවෙයි. උප්පැන්නයේ අම්මාගේ නම මේරි මැග්ලින් ජයකොඩි. සිනමාවට සම්බන්ධ වීමත් එක්කලම මගෙ අම්මා ගෙ නම රෝහිණී ජයකොඩි වුණා. ඇත්තම කියනවා නම් ලොකු පොතක් ලියන්න තරමට මගෙ අම්මාගෙයි මගෙයි අතර තිබුණු බැඳීම මතක් වෙනකොටත් හිතට හරිම දුකයි. ඒ එතුමියගෙ ආදරය එතුමිය කගෙ අන්තිම දවස් වනතුරුම වෙනස් නොවී තිබුණා... මට හොඳටම විස්වාසයි.. මගෙ ආගමේ හැටියට මගෙ අම්මා නොවරදවාම ස්වර්ගයේදි හමුවෙනවා.. ඒක ඒකාන්තයි..ඇත්තමයි ..

ඕ බිම බලා නිහඬවම පසුවන්නීය.. සිනාව පිරි මුව මලානිකසේ පෙනෙයි. වරෙක සුසුම් ලන්නීය..

“මගෙ අම්මා මාරවිල පැත්තෙ.. අම්මා ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා ජයකොඩි පරපුරේ...ඒ වගේම ප්‍රභූ පැලැන්තියෙ..ඈයෝ..කිසිම දෙයකින් අඩුපාඩුවක් අගහිඟකමක් නැහැ. ඒ වගේම කාගෙත් පිළිගැනීමකට ලක්වුණු ඈයෝ..ඉතිං අපෙ අම්මා ට අක්කා කෙනෙක් ඉඳල තියෙනවා අපෙ අම්මාගෙ අම්මා ඒ කිවෙ අපෙ ආච්චිගෙ නම කැතරින්. ජයකොඩි ... අනේ ඇත්තටම ඒ අපෙ ආච්චි වුණාට එතුමියට ආච්චි කියනවාට වඩා අම්මා ය කීවොත් ගොඩක් හරි...ඒ තරමටම අපෙ අම්මා ට වගේම අපටත් අපෙ ආච්චි අපට මහා සවියක් වුණා...

1936 ක්වු පෙබරවාරි මස 5 වැනිදා මාරවිල ප්‍රදේශයේ සුවිසල් නිවසක උපත ලද මේරි මැග්ලින් ජයකොඩි නම් හුරුබුහුටි බිලිඳීය ඇගේ මවුපියනට මහා සම්පතක්ම බඳු විය.. මේ සුරතල් දැරිවිය බොහෝ සැප සම්පත් මැද හැදුණාය..වැඩුණාය...

මම විණා දෙස බලා සිටිමි..ඈ බොහෝ නිහඩ ය..යළි ඈ කතා කරන්නීය..

“ඔන්න ඉතිං මේ අහන්නකෝ ..එදා ඒ අපේ ආච්චි සීයලට නැදෑයන්ටත් වඩා ගොඩාක් සමීපවම හිටපු පවුල් දෙකක් හිටියා.. එයාලා උන්නෙ වැල්ලවත්ත පැත්තෙ.. කුරේ රාජා කියල මහත්තයෙක් උන්නා.. එයා නීතිඥවරයෙක්..අනික් කට්ටිය නම් ඥානකෝන්ලා..අපි අපේ පාසල් නිවාඩුවට සීයා ආච්චි ..එතකොට අපෙ අම්මා අපිවත් එක්කරගෙන වැල්ලවත්තේ යනවා..ඒ ගමන නම් හරිම විමෝදයි..එයාලට අපි එයාලගෙම දරුවො වගේ..ඒ තරම් අපට ආදරෙයි ...”

“අපෙ අම්මා ට හොඳට මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. ඉතිං ඔහොම ඉන්නකොට අපෙ අපේ අම්මා ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තිබුණා.. එයා හමුදා සේවයේ කෙනෙක්.හිත ගිය තැන මාලිගේ කියනව වගේ එයා එක්කම අම්මා විවාහ වුණා කියමුකො..අම්මා අඩු වයසින් බැන්දේ.. ඒ විවාහයෙන් අපෙ අම්මා ට දුවා දරුවන් හතර දෙනයි. මගෙ අක්කා නිරූපා..අයියා ඩග්ලස් ..තුන්වැන්නිය මේ මමයි.. පවුලේ බාලයා හතරවැනියා මගෙ මල්ලි මර්වින් ..මං උපදිනකොට තාත්තා හිටියාය කියල නම් මට මතකයි..”

අපේ ආදරණීය කතා නායිකාව මේරි මැග්ලින් ජයකොඩි හෙවත් අපේ රෝහිණී ජයකොඩි චිත්‍රපට නැරඹීමට නම් දැක්වූයේ ඉහවහා ගිය බලවත් උනන්දුවකි.. චිත්‍රපට නැරඹීමට තරම් ඇයට අන් කිසිවක් වැදගත් නැති..ඊට ඇයගේ තනියට යන්නේ ඇයගේ මව වූ කැතරින් ය..කෙසේ නමුදු රුවින් අගතැන්පත් නෙත් වසඟ කරනා රූ සම්පත්තියෙන් හිමිකම් කී ඇයට චිත්‍රපටයක රඟපාන්නට සේනාධීර කුරුප්පු මහතා අත දුන්නේ මේ අවධියේදීය..

තම දියණිය මේරි මැග්ලින් හෙවත් රෝහිණී සිනමා නිළියක වනවාට වඩාත්ම සතුටින් පිනා යන්නට වූයේ මව වන කැතරින් ය..ඒ නිසාමදෝ තම දියණියගේ සිනමා ගමනට දියහැකි හැම සහයක්ම ලබාදෙමින් ඕ සෙවණැල්ල සේ දියණිය සමීපයේම උන්නාය..අපේ කතා නායිකාව වාසනාවන්තියක යැයිද හැඟේ..තමන්ට රංගන වරම් හිමිවූ පළමු චිත්‍රපටයෙන්ම එහි ප්‍රධාන චරිතයටම සුදුසුකම් ලද්දීය...ඒ අතරේදී මාස පහක් සපිරුණු තම කුඩා දියණිය තමන් රඟපාන පළමු චිත්‍රපටයටම සම්බන්ධ කරගන්නටද ඕ සමත් වූවාය..එදා එහි රැඟූ ඒ බිලිඳීය මා ඉදිරියේ පසුවන අපේ විශිෂ්ට රූපණවේදිනිය වීණා.

“ඉතින් අපෙ අම්මා තිතරම චිත්‍රපට බැලුවා කියල මං කීවනෙ..ඉතින් ඒ කාලෙ අතිශය සුන්දර රූ සපුවකට හිමිකම් කියපු ඉන්දියානු නිළියක් හිටියා...ඒ තමා සන්ධ්‍යා..එයා හින්දි සිනමා නිළියක්..

ඉතින් අපෙ අම්මා ඔය සන්ධ්‍යා කියන නමට තිබුණේ මහ පුදුම ආසාවක්..කැමැත්තක් ..කවදාක හරිමගෙ දුවකටත් මේ නම තබනවා කියල අම්මා නිතර කියල තියෙනවා.. කොහොම හරි අපෙ අම්මා ට මාව ලැබුණානෙ..මට ශිරෝමී කියල නම තබන්න හදල තියෙන්නෙ.. පස්සෙ ආ ශිරෝමී කියල තවත් කෙනෙක් ඉන්නවනෙ කියල වර්ජිනී සන්ධ්‍යා කියලා මට නම තිබ්බා. ඉතින් වර්ජිනී සන්ධ්‍යා ජයකොඩි පසුව වීණා ජයකොඩි වුණා.. ඒ තමා මේ මම..” වීණා දසන් දක්වා දෙකම්මුල් වල ගැසෙනා සිනාවෙන් මදෙස බලා සිටින්නීය.

“ඉතින් අපෙ අම්මා ගෙ පළමු චිත්‍රපටය අහංකාර ස්ත්‍රි.. මටත් ළමා චරිතයක් ඒ ලැබුණෙ ඒ චිත්‍රපටයෙන්නෙ..එතකොට මං හරිම පොඩි වයසෙලුනෙ..අනේ”

එය රූපගත කිරිම් සිදුකෙරුණේ රත්මලාන සර් ජෝන් කොතලාවල මහත්තයගෙ ලොකු වත්තක..අහන්නකෝ වෙච්ච දේ.. හරි ලස්සන වැඩක්නෙ එදා වුණේ. අපෙ අම්මාගෙ නැන්දා කෙනෙක් උන්නා.. එයාගෙ නම වොයිලින්..මාව රැකවල්ලාගෙන එයා තමයි නිතර මාළඟ උන්නෙ..ඔන්න ඉතින් ටිකක් එහායින් තිබිල තියෙනව අන්තිම සැර බල්ලකු දමාපු කූඩුවක් ..මං හෙමින් හෙමින් තනියම ගිහින් එ බලු කූඩුවට අත දමන්න හදල තියෙනවා...ඒක කවුරුවත් දැක්කෙ නැති වුණාට සර් ජෝන් මහත්තයා දැකල තියෙනවා...ඒ කිට්ටුවක ඉඳලා..එතුමා දුවගෙන ඇවිත් බලු කූඩුවට අත දාන්න හදපු මාව අහකට ඇදල අරන්...මාව වඩාගෙන වොයිලින් නැන්දටත් බැනල මාව බාරදීල තියෙනවා.” රටක් අදරින් වැළඳගත් ප්‍රවීණ රූපණවේදිනිය වීණා උස්හඬින් සිනාසෙන්නට වූවාය..

අපේ ආදරණීය රෝහිණී ජයකොඩි නම් සිනමා නිළියක ලෙසින් අතපොත් තැබීමත් සමඟම ඇය වෙතට චිත්‍රපට එක දිගට ගලා එන්නට විය.. එක් රැයකින් රටක් හැඳීනගත් ඕ තොමෝ හිත දැඩි ගැහැනියක් යැයි වීණා පවසන්නීය..

“අපෙ අම්මා කෙළින් ගැහැනියක් ..කොතැනකදීවත් කොන්ද නවන ගතියක් තිබිලාම නැහැ.. කිවයුත්ත මුහුණටම කියපු කෙනෙක්..ඒ වගේමයි කාටවත්ම බයක් ඇත්තේම නැහැ.. අම්මා ට චිත්‍රපට දිගටම ආවා..දැන් අම්මා ට හරිම අවිවේකයි. නිතරම අම්මා ඉන්දියාවට යනවා..එනවා.. මොකද ඒ කාලෙ චිත්‍රපට හැදුනෙ ඉන්දියාවෙනෙ..ඒ කාලෙ අපෙ අම්මා හරියට කොළඹ යනව වගේ.. ඒ එක්කම අම්මා අපිවත් හොඳීන් බලා ගත්තා..”

“මම මගෙ අම්මාගෙ ගතිපැවතුම්වලට හරිම කැමතියි..මමත් එයාගෙ දුවක්නෙ. මගෙ අම්මා ගෙ ගතිගුණ එහෙමම මටත් පිහිටල තියෙනවා.. මමත් එහෙමයි.. අම්මා ගෙ ප්‍රතිපත්තියම තමයි.

වීණා එසේ කියන්නේ බර හඬකිනි.. එවිට ඇයගේ දෙකම්මුල් වල ගැසෙන සුන්දර සිනාවත නැති.

අපේ කතා නායිකාව රෝහිණී මේ වනවිට අතිශය කාර්ය බහුල නිළියකි.. වනමෝහිණී ..සූරයා..සූර චෞරයා.. වැදිබිම ඉපදුණේ ඇයි...ආදී බොහෝ චිත්‍රපට තුළින් රෝහිණීය රටේ අස්සක් මුල්ලක් නෑර විහිදී ගියාය.. සිනමා නළු නිළියන්ගේ සමීප ඇසුරද අඩුවක් නැති. එතරම් ඇයට සැවොම ප්‍රියය...

එවක සිනමාවේ සූරයා ලෙසින් කිරුළු පලන් ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්නයන් ඇයගේ එකුස උපන් සොහොයුරකු හා සමානය.. එතරම් කුලුපගය..ඇයගෙන් දුරස්ව හුන් නළුවකු නිළියක නැති තරමි.. ඒ ඇයගේ අතිශය නොමසුරු දිවිපෙවෙත නිසාමය..නැති බැරි අයකුට පිහිටවීම තරම් හිතේ සතුටක් තවත් නැති..

“මේ වෙනකොට අපෙ අම්මා තාත්තා ගෙන් වෙන්වෙලා..ඒකට අම්මා ට හේතු තියෙන්නත් ඇති..කොහෙන් කොහොම හරි අපෙ අම්මා තනිව ජීවත් වුණා...අපට තාත්තා කෙනෙක් නැතේය කියල කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නැහැ.. අපට හැම සැප සම්පතක්ම ලබා දුන්නා.. එයා හිතින් දුකක් තියා ඉන්නත් ඇති..ඒත් කිසිම දවසක දුකක සේයාවක්වත් අපට නම් පෙන්නුවෙම නැහැ.. ඒ තරම් අපෙ අම්මා හිත සවිමත් ගැහැනියක්..කියල මං අදටත් හිතන්නේ. ඒ වුණාට මගෙ නිරූපා අක්කා නම් හරිම අහිංසකයි..

“ඉතින් මට වයස අවුරුදු 9 ක් වෙද්දි අම්මා ආයෙත් විවාහ වුණා...ඒ විවාහයෙන් අපෙ හතර වැන්නා මල්ලි හම්බවුණේ..ඒ විවාහයත් අම්මා ට සැනසීමක් නොවන්නට ඇති.. ඒ විවාහයත් දෙදරා ගියා..ඒත් අපෙ අම්මා කිසි දවසක සැලුනේ නැහැ..වැටුණෙත් නැහැ..අපි දරුවන් හතර දෙනා අදටත් හරිම එකමුතුයි..

“අපෙ අම්මා දිවා රෑ වෙහෙසුණා..ඒ වගේම හොඳට හම්බ කළා..ඒ හැමදෙයම දරුවන් වන අපටයි..අම්මා අපට නිතර කියාදුන්නෙ ප්‍රශ්න කොතරම් ආවත් වැටෙන්න එපා කියලයි. ප්‍රශ්නයකදි අම්මා ඉන්ද්‍රකීලයක් වගේ නැගී ඉන්න හැටි මට දැනුත් මැවී පේනවා..අම්මා එයා ගැන සිතුවේම නැහැ..අප ගැනමයි බැලුවේ..හොඳ ඉස්කෝලවලට දමල හොඳට ඉගැන්නුවා..විවේකයක් තිබුණා නම් ඒ අප වෙනුවෙන්මයි..”

වීණාගේ හඬ බිඳුණු ස්වරයකි..නෙත කඳුළටම බරවී තිබෙනු මට පෙනේ..

“විවේක දවස්වලට අපෙ අම්මා ගෙ තවත් දෙයක් තිබුණා ..කුරුණෑගල උන්නා අපෙ අම්මා ගෙ සහෝදරයො..ඒ ගෙවල් වලට බරටම තෑගිබෝග එහෙමත් අරන් අපවත් එක්කගෙන යනවා...එදා අපෙ අම්මා අපට හොරෙන් දුක් වින්දා කියලත් මට හිතෙනවා..අපට ඒ බවක් පෙන්නුවෙම නැහැ..මම කලින් කිව්වෙ කුරේ රාජා ඥානකෝන්ලා කට්ටිය ගැන..එයාලත් අපට සවියට උන්නා අම්මා ට..දැන් නම් ඒ කවුරුවත් ම ජීවතුන් අතර නැහැ...ගැහැනු අපි ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි නොදැනීම පිරිමි බවට පත්වෙනවා..අපේ අම්මා ඇත්තෙන්ම අපට වීර කාන්තාවක්..”

අනුන් ගැනද උණුවන සිතකින් යුතු සංවේදී සිතක්ද හිමි අපේ ආදරණීය රෝහිණී ලැබෙන හැමදේ අනුන් හා බෙදාහදා ගත්තාය...චිත්‍රපට වෙනුවෙන් ඉන්දියාවට නිතර යනෙන ඕ එදිනම රෑ යාමයේ නිවසට එන්නීය..ඒ එනවිට තම දරුවනට ඇවැසි දේවල්ද රැගෙන එන්නීය...අප හැමෝම පරිහරණය කළේ අම්මා ඉන්දියාවෙන් ගෙන ආ හැමදේම බව වීණා කියන්නේ ඒ නිසාය...

“දරුවනේ දුන්දේ සුවඳයි ..කෑ දේ ගඳයි..ඈ තම දරුවනට නිතර කී කතාවකි..ඇයට තරහ යයි..එවිට ඕ වෙවුලා යන්නීය...

“අදටත් අපෙ අම්මා ගෙ ගතිගුණ අප අගය කරනවා.. අපි කතෝලික අයනෙ..අපි හතර දෙනාම නත්තල දාට එක ගෙදරකට එකතු වෙනවා..” වීණා කියන්නේ සතුටකිනි.

“අපෙ ආච්චිත් හරියට පිරිමියෙක් වගේ..ඉතින් අමල්..මේ ගතවන දවස්වල අපෙ අම්මා ඉතාම ජනප්‍රිය නිළියක්..මගේ අම්මා නිළියක් කියන ආඩම්බරයක් මටත් තිබුණා.. ජීවරාණි සන්ධ්‍යා ගාමිණී වගෙ අයගෙ පින්තුර එකතු කරන පිස්සුවකුත් ඒ කාලෙ මට තිබුණා ...”

මා හා දොඩමලු වන වීණාට එදවස වයසින් අවුරුදු 20ක් පමණය. ගාමිණී ෆොන්සේකා අපේ රෝහිණී තම රියෙන් ගෙදරට බස්සවා යයි..එක් දිනෙක ගාමිණී ට වීණා දියණිය රෝහිණී හඳුන්වා දෙන්නීය..

“මේ මගෙ දුව වීණා...මෙයාට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් අරන් දෙන්න..”

“ගාමිණී මා දිහාම බලන් උන්නා.. එතකොට සිනමාස් සමාගම අලුතින් නිළියක් සොයනවා.. ජේ.සෙල්වරත්නම්... කැමරා ශිල්පී වාමදේවන් මහත්තුරුන්ට ගාමිණී මාව හඳුන්වා දුන්නා..එතකොට මං දක්ෂ රගර් ක්‍රීඩිකාවක්.. ඒ වුණාට මං මහතයි.. ඒ වුණාට සෙල්වරත්නම් මාව දැකල කැමති වුණා..මහත පේන්නෙ නැතිවෙන්න වැඩේ කරමු කීවාම.. ගාමිණී කිවෙ පිස්සුද ලස්සන වුනාට ඇඟ මහතයිනෙ කියල.. හැබැයි අපෙ අම්මා ට ඕනාම වුණේ මාව නිළියක් කරන්නමයි.

දැන් ඉතින් අම්මා නමක් හදාගත්තා ට පස්සෙ චිත්‍රපට අධ්‍යක්ෂණයට අත ගැසුවා...තිර රචනයත් කළා..ඒ එක්කම රඟපෑවා..අධ්‍යක්ෂණයත් කළා...ඒ තමයි හැංගි හොරා චිත්‍රපටය ..

ඒත් අම්මා ගෙ හැංගි හොරාට වඩා ඉස්සර වුණේ රූබි ද මෙල් ඇන්ටිගෙ පිපෙන කුමුදු චිත්‍රපටය ..අම්මා යි රූබි ඇන්ටියි හරිම යාළුයි. ඒ යාළුකම් හැමදාමත් තිබුණා. ඉතින් අම්මා යන යන තැන මමත් යනවා. නළු නිළියන් ගොඩක් දෙනා පුංචි කාලෙ වගේම මම හඳුනනවා..තරුණ කාලෙදි..අම්මා නිසා හඳුනා ගත්තා..දැන් මං මහතයිනෙ..ගාමිණී කිව්ව ඇඟ හදාගන්න නැතිනම් අවාසියි කියලා ඔය කොළඔ රේස්කෝස් පිට්ටනියේ මං මහ පාන්දර දුවනවා..ව්‍යායාම කරනවා.."

“අනේ.....යැයි..කී වීණා දෑතින් තම මුහුණ වසා හඬන්නට වූවාය...මම බාධා නොදුන්නෙමි...නෙත කඳුළින් පිරී ගොසිනි..

“අනේ ඒ මහ පාන්දර මගෙ අම්මා සීතලේ ගැහි ගැහී ලොකු රෙද්දකින් ඇඟම වහගෙන පැත්තකට වෙලා වාඩි වී ගුලිවී ඉන්නවා..මට තවමත් මැවිල පේනවා වගේ..'

ඒ ටික ඈ කීවේ හැඬුම් ස්වරයෙනි..මට වසන් කරමින් ඕ කඳුළු පිස ගත්තාය...

“සිනමාවේ කවුරුවත් ම මට ආගන්තුක නැහැ..ගෙදරට නිතර හැමෝම එනවනෙ..ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න මහත්තයාට අම්මා ගෙ ලොකු ගෞරවයක් තිබුණා ..ඒ විශ්වාසවන්ත මිතුදම් මට හොඳටම පෙනුණා..පියදාස ගුණසේකර.. කාන්ති ගුණතුංග..ශාන්ති ලේඛා..බෙනඩික්ට් ප්‍රනාන්දු හියුගෝ මාස්ටර් මාක් සමරනායක මේ හැමෝමත් අපෙ ගෙදර එනවා.. මුලදිත් මම කිවෙ හැමෝම අපෙ අම්මා ට හිතවත් කියලා..

තාත්තා ගැන නිකමට කතාවක් මතුවුණ වෙලාවලදි හියුගෝ මාස්ටර් ගත් කටටම කියන්නෙ රෝහිණී ගෙ දුව ඉස්සෙල්ලාම තාත්තා කිවෙ මටයිනෙ කියලා..ඒ මොකද දන්නවද...මා එක්ක රඟපාපු දර්ශනයේදි මම හියුගෝ ට තාත්තා කිවෙ..ඒ නිසා එහෙම කියන්නෙ..

වීණාගේ මුහුණ සිනාවෙන් ඔපවෙයි..ඒ සිනාව සුන්දරනීය ය..

“විජය චිත්‍රාගාරය අපට හරියට ගෙදර වගේ..එතරම් එතැන හුරුපුරුදු යි. ඉතින් ගාමිණී මට උපදෙස් දුන්නානෙ මහත අඩු කරගන්න කියලා..ගාමිණී හඳුනන දමිළ ඩොක්ටර් කෙනකුත් හඳුන්වා දුන්නා...

මං කෑම කනකොට ලඟ බලන් ඉන්නවා...සමහර ආහාරවලදි හා හා මේව ඔයාට හොඳ නැහැ..අරව හරි නැහැ කිය කිය අහකට දමනවා...මාව ලස්සනට පේන්න ඕන නිසා එයා එහෙම කරන්නෙ...

මම ෂූටිං යද්දි අම්මා ත් මගෙ තනියට එනවා..මගෙ රඟපෑම්වලදි ගාමිණී මට කියනවා...ඔයාගෙ අම්මා රඟපෑමෙදි කරන කැපවීම ඔයත් කරන්න කියල..උපදෙස් දෙනවා...

අම්මා හැංගි හොරාට පස්සෙ චණ්ඩි සිරියා චිත්‍රපටය හැදුවා..පස්සෙ කිරි කවඩි...අධ්‍යක්ෂණය කළා.. එදා අම්මා මට නිතර කියනවා..ඔලුව කෙළින් තියාගන්න..කියල..හැම තිස්සෙ ම හරි විදිහට ඉන්න කියලා..කාටවත්ම බයවන්න එපා කියනවා..මේවා තමා අම්මා මට කියාදුන් දේවල්..අදටත් ඇහෙනව වගෙ

එඩී ජයමාන්න රුක්මණී දේවි අපට හරිම ළැදියි...දවසක් අපෙ අම්මා ට කියල තියෙනව ඔයාගෙ දුව වීණා අපට හදාගන්න දෙන්න කියලා..ඒ ඇත්තටමයි..එයාලා මාව ඉල්ලා තියෙන්නෙ..එයාලට දරුවන් නැති හන්දා..ඒකට අපෙ අම්මා කියල තියෙන්නෙ මගෙ දුව ඔයාලට දීල කොහොමද කියල..

දවසක්දා අහංකාර ස්ත්‍රි චිත්‍රපටයෙත් උන්න නිළියක්. රූපගත කිරීමකදි. අම්මා එක්ක ගියේ..මට ඇනෙන්න එක එක දේවල් කිවා...මට තරහ ගියා..මම කලකිරුණා..අම්මා ට කිව්වා ම එයාට අම්මා බැන්නා හොඳටම..පස්සෙ ගාමිණී ට අම්මා කිවාම ගාමිණී ත් එයාට බැනල තියෙනවා..

ඉස්සර හිටපු අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු බොහොම හොඳ මිනිස්සු ..හොඳ සල්ලිකාරයො...ජාති ආගම කුල බේද නැහැ...එයාල ගාව..ඒ අයට ඕන වුණේ අපේ රටට සිනමාවට යහපතක් කරන්නයි. අතදෙන්නට යි. නමුත් එහෙම කළ අයට අන්තිම ට මොනවද ලැබුණෙ ..ඒ සාපය තමා මේ වැදිල තියෙන්නෙ. අප රටේ සමහර අය ගැන කලකිරිමක් තියෙන්නෙ ..එදා දමිළ මිනිස්සු තමා අප එක්ක හිටියෙ...බලන්න ආර් මුත්තුස්වාමි ..රොක්සාමි වගේ මාස්ටර්ල ඉටුකළ උතුම් සේවාව..අපේ සිත්පිත් නැති මිනිසුන් ඒ මනුෂ්‍යයින්ගෙ වටිනාකම් දැන උන්නෙ නැහැ..ඒ මනුස්සකම හඳුනාගත්තෙ නැහැ..අවබෝධ කරගත්තෙ නැහැ...

දමිළ මිනිස්සු එක්ක වැඩ කරන්න මට ලැබුණු නිසා මම දන්නවා..ඒ මිනිස්සු අපට කෙතරම් ගෞරව කළාද..අපෙ අම්මා ත් ඔය බෙිද කිසිවක්ම තැකුවේම නැහැ..මනුස්සකම විතරයි.

අපේ කතා නායිකා රෝහිණී බරපතළ කලකිරීමකට පත්වූ සේය...ඇයට අවශ්‍ය වූයේ හැම කටයුත්තකින්ම මිදී සිටින්නටය...කොටින්ම ගෙදරටම වී පාඩුවේ සියල්ලෙන් මිදී...වෙන්වී හුදකලාවම ඉන්නටය...ඕ එලෙසම ගෙදරටම ඇලුණාය..

ඒ අතරේදී තම දියණිය වීණාගේ සිනමා ගමනේ ජයග්‍රහණ දැක..ජනප්‍රියතාව දැක අපමණ සතුටට පත්වූවාය..වීණා ගමනක් යන්නට ගෙදරින් එළියට බසින්නී..අම්මා සෝදිසියට බඳුන් කරවයි..

ඇයි දරුවො මේ ජුවලරි දැම්මෙ..මේ පාට ඔයාට හරි නැහැ..යි කියමින් දියණිය කැපී පෙනී යන තරමට ඈ උනන්දු වන්නීය...

වරෙක තරවටු බසින්ද කියන්නීය..

දියණිය ගේ රඟපෑමකදී අඩුවක් දුටු තැන ඇයි ඔයා මෙහෙම..එහෙම කළේ නැත්තේ..යි කියා දොස් කියයි..ඇයට සෙසු දරුවන් ද අගනේමය..වීණා දියණිය කෙරෙහි තිබුණේ ඊටත් එහා ගිය ප්‍රේමනීය බවකි..

“අනේ අපෙ අම්මාට දරුවනට වෙනසක් ඇත්තෙම නැහැ.. අනිත් අයටත් ආදරෙයි.. මට විශේෂ සැලකිල්ලක් තිබුණා තමයි..ඒ මම යම් වැඩ කොටසක් කරන හින්දා වෙන්නැති ..කියල මම හිතන්නෙ..නිරූපා අක්කත් රඟපෑවනෙ..පස්සෙ එයා ඉවත් වුණා..අපෙ අම්මා චිත්‍රපට විසි ගණනක රඟපෑවා.. අපෙ අම්මා ට ගීත ගයන්න නම් බැහැ.

සියලු කලා කටයුතුවලින් දුරස් වූ අපේ ආදරණීය රෝහිණී ගෙදරටම වී හුදකලාවේ පසුවන්නීය ..ඒ ඇය ගත් තීන්දුවකි. එය අම්මා ගේ සිත බිඳීමක්දැයි කලකිරීමක් නිසාදැයි කියන්නට වීණා නොදනී..

වසර ගානක්ම ගෙදරටම වී කල්ගත කළ ඇය බලන්නට චිත්‍රපට ක්ෂේත්‍රයේ අය ආ ගියහ ..නැවත කලා ලොවට පා තබන්නට තරම් ඇයට සිතක් නැති..

එසේ සිටියදීම ඇය විදෙස් ගත වූවාය...ඇගේ හදිසි විදෙස් ගතවීම බොහෝ දෙනා හට ප්‍රශ්නාර්ථයක්ම විය...ඇය ඇමෙරිකාවේ රෝහලක හෙදියක ලෙසින් වෘත්තියේ නිරත වූවාය..

පසුව අපේ වීණාද විදෙස් ගතවී රැකියාවක නිරත වන්නට වූවාය...

වසර දහයක් එතෙර පසුවූ රෝහිණී මවුරට පැමිණියාය..ඒ තම බාල පුතුගේ නිවසටය...

“අම්මා රට ඉඳල ආවෙ මල්ලි ගෙ ගෙදරටයි..මමත් කාර්ය බහුලයිනෙ..මගේ ජනප්‍රියතාවයත් ඉහළටම ගිහින්..අම්මා ලංකාවට එනවිටත් මම ෂූටිං ගිහින්...දන්න කියන හැමෝම අම්මා ව බලන්න ආවා...ඒ අයට අම්මා කියන්නෙ මගෙ දරුවන් මට සැනසීමක් කියලමයි..දරුවන් මට ආදරෙයි කියලයි..හෙට මලත් ඒ ආදරය මට ඇති කියල කියනවා..

මමත් දැන් චිත්‍රපට ගාණක රඟපාලා..නමත් හදාගෙන ඉවරයි.. වසන්ත ඔබේසේකර මහත්තයගෙ ‘මාරුතය’ චිත්‍රපටයට බද්දේගම රූපගත කිරීම් වලට ගියා. අම්මා උන්නෙ අසනිපෙන්..හොඳටෝම උණ..ඒත් අම්මා මට කීවෙ මට එහෙමට අමාරුවක් නැහැ...ඔයා ෂූටින් ගිහිල්ලා එන්න කියලා..මම ෂූටිං නොයා ඉන්න හැදුවාම අම්මා කිවා ෂූටින් කියන්නෙ ටීම් එකක වැඩක්..කාටවත් කරදර ඇති කරන්න එපා..හොඳීන් වැඩ කරන්න කියලා කිවෙ.

මං ෂූටින් ගියාට මගෙ හිත හරි නැහැ..

මම ෂූටින් ගිහින් ඉවර කරල ආවාම මා එක්කම ගෙදර යන අදහසක් අම්මා ට තිබුණෙ...

රූපගත කිරීම් සඳහා ගිය වීණාට තිබුණේ මිය යන දර්ශනයකි..රූපගත කිරීම් බද්දේගම ය..ඇය හිත සසලය. සිහි නැඟෙන්නේ රෝගාතුර අම්මා ය..

රූපගත කිරීමට සියල්ල සූදානම්ය...කැමරාවද සූදානමේය..

අපේ වීණා එක්වරම මහ හඬින් කෑ ගසන්නට වූවාය..කිසිත් සිතාගත නොහැකි පිරිස අන්ද මන්ද වූහ..

“මොකද වීණා ඔයාට වෙලා තියෙන්නෙ..” ඒ අධ්‍යක්ෂ වසන්ත ගේ හඬය..

“මට මුකුත්ම කරන්න බැහැ”

“වීණා ජයකොඩි මහත්මිය ගෙ අම්මා රෝහිණී ජයකොඩි මහත්මිය මීට ටික වෙලාවකට පෙර මියගියා..!”

දුරකතන පහසුව නැති එදා පොලිස් නිලධාරින් රැගෙන ආ එම පුවතින් වීණා ඉහඅත් බදා හඬන්නට වූවාය..

මා හමුවේ පසුවන වීණාගේ කඳුළු දෙකොපුල් රූරා වැටෙයි.. කඳුළු පාසදා ගන්නටද වෑයමක් නැතිව ඕ ගල් රුවක් මෙන් නිසලව මිදුලට නෙත යොමා පසුවෙයි..

ඈ අපහසුවෙන් මෙන් වචන ගළපන්නට වූයේ බිඳුණු හඬකිනි..

“මට මුකුත්ම කරන්න බැහැ කියල මම කෑගහල කිවාම හැමෝම බලන් උන්නා..මට ඒ වෙලාවෙ මොකක්දෝ හිත දැනුණා...

අම්මා ඒ නික්ම ගිය වෙලාව මට දැනෙන්න ඇති..

මං වැඩ ඉවර කරල එනතුරා බලා ඉන්නව කියපු අපෙ අම්මා යන්නම ගියා...

කවදාවත් අනුන් වට්ටගෙන..කපාගෙන ..ඉදිරියට යන්නට හදන්න හිතන්නවත් එපා කියපු අම්මා.

අම්මා ගෙ උපදෙස් හිතේ තියන් මම අදටත් කටයුතු කරන්නෙ..

ඒ වගේම කිට්ටුවට ගිහින් කතා කරන්න බැරි තරමට ගරු ගම්භීර පැවතුම් ඇති ගාමිණී මට කීවෙත් ඒ ටිකමයි..එතුමා ට මා තුළ ඇත්තෙ මහා ගෞරවයක්..

අපේ ආදරණීය කතා නායිකාව රෝහිනී ජයකොඩි රූපණවේදිනිය ..අධ්‍යක්ෂවරිය...තිර කතා රචිකාවිය...දූ දරුවන් වෙතින් ලද ආදරයම හද තුරුලු කොට තබා වයසින් අවුරුදු 56 දී...යළි නොඑනා ගමනකට නික්ම ගියාය..

එනම් 1992 ක්වු ජනවාරි මස 04 වනදාය..

මම අසුනින් නැගිට වීණාගෙන් සමුගන්නට සැරසුනෙමි..ඇයද නැගී සිටියාය....එතැනදී ඇය කියන්නට වූයේ මේ ටිකමය..

“කවදාක හරි දවසක අපෙ අම්මයි මමයි ස්වර්ගයේදි ආයෙත් හමුවෙනවා...”

සේයාරූ සැපයීම- පාලිත ශ්‍රී ලාල් ආටිගල

 

[email protected]