වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
තනිවුණු කතරක මා ඉන්නේ කෙලෙසද පිය මැන පිටවන්නේ

සිතුම් පැතුම් සඳ ආදරේ
උදාවේ දෝ... මහදේ
සොඳුරු අහසේ අනාගතේ....
සිතුම් පැතුම් සඳ ආදරේ
උදාවේවා.... මහදේ
සොඳුරු අහසේ අනාගතේ.....
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිළෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිළෙනවා ....
තනිවුණු කතරක මා ඉන්නේ
කෙලෙසද පිය මැන පිටවන්නේ
තනිවුණු කතරක මා ඉන්නේ
ඔබ සමඟිනි මා පිට වන්නේ....
හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමු වේ...
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමු වේ....
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙයි දෝ රෑ දුටු සිහිනේ
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ.....
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගීනද - පී.එල්.ඒ. සෝමපාල
ගී හඩ - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය - අබිරහස
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හෙවත් 70 ව දශකයේ බිහි වූ ‘අබිරහස’ සදා මතකයේ රැඳී තවත් එක් චිත්‍රපටයකි. හෙළ රිදී තිරයේ 233 වැනි චිත්‍රපටය ලෙස මෙය අතිශය සාර්ථක ලෙස බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය විය. එවක සිංහල සිනමාවට ආගන්තුක කතා කලාවක් එක්කරමින් ප්‍රේමය, කුතුහලය, ත්‍රාසය මුසුකරමින් ‘ඩ්ධපපධප ටඪතථ’ එනම්, ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස මෙය අතිශය ජනප්‍රසාදයට පත්ව, ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව හිමිකර ගැනීමට සමත් විය.
මෙරට සිටි ඉතාම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම අති දක්ෂ කැමරා ශිල්පියකු වූ ලෙනින් මොරායස් විසින් මෙය අධ්‍යක්ෂණය කළ අතර, මෙහි නිෂ්පාදක නිමල් වීරක්කොඩිය.
හෙළ සිනමාවේ සිහින කුමරයා වූ, විජය කුමාරතුංගයන්ගේ සිනමා ආගමනය සිදු වූ මුල් කාල වකවානුවේ ඔහු මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. නමුත් ඔහුට මෙහි රඟපෑමට සිදු වූයේ ඔහුට හුරු පුරුදු අවංක පෙම්වතාගේ චරිතය නොව, සැබෑ පෙම්වතකු ලෙස පෙනී සිටින ව්‍යාජ පෙම්වතකුගේ කළු චරිතයකි. එසේ වුව ද ඔහුගේ එම රංගනය උදෙසා ද ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව හිමිකර ගැනීමට ඔහු මෙහි දී ද සමත් වූ යේ ඔහු තුළ වූ විශිෂ්ට රංග පෞරුෂය හා කුසලතාවය හේතුවෙනි.
මෙම චිත්‍රපටය අවසානය තෙක් කතාව අවසානයේ කුමක් වේවි ද යන්න ප්‍රේක්ෂකයින් තුළ නොයිවසිල්ල හා කුතුහලය ඇති කර කිසිවකුත් බලාපොරොත්තු නොවුණු අවසානයකට ප්‍රේක්ෂකයා රැගෙන යමින් කතාව නිමා වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම චිත්‍රපටය ‘ස්ක්‍රීම් ඔෆ් ෆියර්’ නමැති බටහිර චිත්‍රපටය පාදක කරගනිමින් නිර්මාණය වුව ද, මෙහි අධ්‍යක්ෂකගේ විශිෂ්ට අධ්‍යක්ෂණය තුළ තාක්ෂණික ප්‍රයෝග හා විශිෂ්ට කැමරාකරණය මඟින් අපේම සිනමාපටයක් බවට පත්කර තිබේ.
චිත්‍රපටයේ කතාවට අනුව, රංජිත් සහ මාලිනි (විජය සහ ස්වර්ණා කහවිට) පෙවම්වතුන් ලෙසින් ප්‍රේමයෙන් බැඳී සිටින බවක් ප්‍රේක්ෂකයින්ට චිත්‍රණය වනුයේ, ඔවුන් පෙම්වතුන් සේ ආදරයෙන් සිටින නිසා ය. මෙහි ඉතා ජනප්‍රිය වූ ගීතයක් වන ‘සිතුම් පැතුම් සඳ ආදරේ’ ගීතය ගයන්නේ ද ඔවුන් පෙම්වතුන් ලෙසිනි. එම ගීතය රසවිඳීන විට ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ ඔවුන් සැබෑ ලෙසම ප්‍රේමයෙන් බැඳුණු පෙම් යුවළක් බවයි.
ඇය ආබාධිත තරුණියක් නිසා ඇයට ඔහුගෙන් ලැබෙන ආදරය, රැකවරණය, කරුණාව, ආරක්ෂාව විශාල ශක්තියකි. ඒ ආදරය නිසා ඇයට ඇගේ අනාගතය ගැන බියක් නොදැනෙන බව ඇය පවසයි.
සිතුම් පැතුම් සඳ ආදරේ - උදාවේ දෝ... මහදේ
සොඳුරු අහසේ අනාගතේ....
ඇය වැනි උගත්, රූමත්, ධනවත් කාත්කවුරුවත් නොමැතිව තනි වුණු ආබාධිත තරුණියකට ජීවිතය පිළිබඳ බියක්, අවිනිශ්චිතතාවක් ඇතිවීම ස්වාභාවික ය. ඇය සමාජයේ පිරිමින් ගැන දනියි. එවැනි තරුණියකට ජීවත්වීම අසීරු බව ඇය කියයි. ඇයගේ ජීවිතය කාන්තාරයක තනි වූ කුසුමක් වැනි ය.
ඔහු ඇයගේ දුක නිවයි. ඔහුව බඹරකු සේ ඇයට හැඟුණත් ඔහු වෙනත් බඹරුන් මෙන් පැණි බී මල තනිකර නොයමින්, ඒ මල ආරක්ෂා කරන බව පවසයි.
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිළෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිළෙනවා ....
ඇය මේ ආදරය තුළ සසලව ඇති බව පවසයි. ඔහුගේ මේ ආදරය වෙනස් වේවිද යන සාධාරණ බිය සැකය ඈ තුළ වේ. නමුත් ඔහු, ඇය, මහ කතරක තනි වුවත්, ඇය තනි නොකර, ඈ සමගින් ම එක්ව යන බවට ඔහු විසින් ඈ තුළ යළි යළිත් විශ්වාසය ගොඩනගයි. ඇයට සසල නොවන ලෙස ඔහු පවසන්නේ වැලි මත පවා මුතු තිබිය හැකි යැයි පවසමිනි. එනම්, වංචාකාරී විශ්වාස කල නොහැකි පිරිමි අතර ඔහු සැබෑම ප්‍රේමවන්තයකු බව ඇයට නොකියා කියයි.
ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපූර්ව ගේය පද රචකයාගේ ප්‍රේමනීය, සරල, සුගම පදවැල හා මුසු වුණු මියුරු සංගීතයත් (මෙය හින්දි තනුවක අනුකරණයකි), අදටත් නොමියෙන එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලකගේ සුමියුරු ගායනයත්, විජය කුමාරතුංග හා ස්වර්ණා කහවිටගේ ප්‍රේමනීය රංගනයත් ගීතයට උපරීම සාධාරණයක් ඉටුකොට තිබේ.
මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වී දැනට දශක පහක් ඉක්මා ඇතත්, මෙහි ඇතුළත් වූ ගීත අදටත් එක සේ ජනප්‍රියයි. මෙම ගීතය සේම, ඈත දිළිසෙන හිරු සඳු රන් තරු...රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු...,සුසුදු රැල්ල වැල්ලේ පෙරළී ගීත ගයයි යළි යළි... ගීතය ද අදටත් එක සේ ජනප්‍රියයි.