වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අපේ අම්මා, තාත්තා ලබපු ගෞරවයේ ආලෝකය දරුවන් වන අපට අදත් ලැබෙනවා’

“අපේ අම්මයි තාත්තායි ගෞරවනීය ජීවිතයක් ගත කරපු නිසා දරුවන් වන අපටත් ඒ ආලෝකය අදත් සමාජයෙන් හිමිවෙනවා.’
ආදරණීය සරසවිය පාඨක ඔබ වෙනුවෙන් මේ ලියැවෙන්නේ ගායන ලොවෙහි කිරුළු පළන් සොඳුරුතම ගායක දෙපළක් පිළිබඳ ආදරණීය කතාවෙනි. නොඑසේ නම් සොඳුරු ගායකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු, ගේය පද රචකයකු ලෙසින් සම්මානිත අපේ ආදරණීය සිසිර සේනාරත්නයන් අද අපේ කතාවේ සොඳුරුතම කතා නායකයාය. ඔහුට ස්නේහයේ නුග සෙවණ බඳු වූ සම්මානිත ගායන ශිල්පිනී ඉන්ද්‍රාණී විජයබණ්ඩාර (සේනාරත්න) මෙහි අපේ ආදරණීය කතා නායිකාවය.
‘අපේ අම්මා තාත්තා ගැන විතරක් නෙමෙයි. කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇප කැප වූ අය පිළිබඳව මතක් කරන සරසවිය පුවත්පතටත් ඒ හැම දෙනාම වෙනුවෙන් අපි අපේ ස්තූතිය පිරිනමනවා.’ මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසු වූ අපේ කතා නායකයාගේ හා කතා නායිකාවගේ දූ පුතුන් තිදෙනා අතුරින් බාල පුතු තෙවැන්නා වන සමීර සේනාරත්න එසේ කියන්නට වුයේ කෘතවේදී බැල්මකිනි.
හෙතෙම අපේ කතාව මුල පුරන්නට පෙර අපට නුදුරුව ඡායාරූපයක පසුවන සිය අම්මා තාත්තා දෙසම බලා සිටියේය. ඒ ඇස්දෙක බිමට බරවිය. මම නිහඬතාවය බින්දෙමි.
‘සිසිර ඉන්ද්‍රාණි දෙපළට දරුවන් තුන්දෙනයි නේද?’
සමීර කල්පනාවෙන් මිදී වහා මා දෙස බැලීය.
“ඔව් අමල්. මගේ අක්කා සුභානි සේනාරත්න විජේතිලක මගේ අයියා සංජය සේනාරත්න. ඊළඟට මම සමීර සේනාරත්න. ඇත්තමයි අපි තුන්දෙනායි අපේ අම්මයි තාත්තායි අපි පස්දෙනා හරිම විනෝදයෙන් සතුටින්ම උන්නු පවුලක්. විශේෂයෙන් ම අපේ අම්මා තාත්තාගේ එකමුතුව පවුලේ සෑම දෙයක් ගැනම තිබුණු පැහැදිලි අවබෝධය. අම්මා වාගේම අපේ තාත්තා හැම විටකදීම තීන්දු තීරණගත්තේ හරි දේ කියන දැක්මෙන්.’
අපේ සොඳුරු සිසිර සේනාරත්නයන් හැමෝටම සුදු මහත්තයා ය. ඔහු රුවින් පිරිපුන් ය. කතාවෙහි පි‍්‍රයමනාපය. උපන්ගම හලාවතය. 1936 ක් වූ මාර්තු මස 29 වන දින උපත ලද අපේ කතා නායකයාගේ පියා වුයේ ඉඩම් හිමි යමක් කමක් ඇති අයකු වූ හෙන්රි සොලමන් සේනාරත්නය. මව වුයේ ලීලාවතී මල්ලිකාරච්චිය. අපේ ආදරණීය කතා නායකයාගේ උප්පැන්නයේ නම සිසිර සෙනරත් බණ්ඩාර සේනාරත්නය. අපේ සිසිර සේනාරත්න හෙවත් සුදු මහත්තයාට වයසින් තෙමසක් ගත වී යද්දී සිදුවුයේ අනපේක්ෂිත සිදුවීමකි. මම සමීරට සවන් දෙමි.
‘ඔව්. අපේ තාත්තාට මාස තුනයි ලු. ඒ කාලේ නිතර අහන්න ලැබුණලු. වැදු ගෙයි සන්නිය කියල අසනීපයක්. ඒ අසනීපයෙන් අපේ තාත්තාගෙ අම්මා නැතිවෙලා තියෙනවා. දැන් ඉතින් අපේ තාත්තාට අම්මාව වුවමනා කාලයේදී අම්මාව නැතිවෙලානෙ. තාත්තාගෙ තාත්තා ඒ කියන්නෙ අපේ සීයා ඉඩම් හිමි වැවිලි කරුවෙක් නිසා කාර්ය බහුලයි. මවුකිරට අම්මා නැහැ. මේ වෙලාවෙ තාත්තාට තනියට උන්නෙ තාත්තගෙ අම්මගෙ අක්කා. ඒ කිවෙව් ලොකු අම්මා. අපේ තාත්තාගෙ ඒ පුංචිම සන්දියෙ මවුකිරි වෙනුවට පෝෂණයට දීලා තියෙන්නේ කොහොඹ යුෂ. ඒ පුංචි කාලෙ අපේ තාත්තාට අවුරුදු හත අටක්ම කොහොඹ යුෂ පොවල තියෙන නිසා තමයි අපේ තාත්තාගෙ රුව ලස්සන වුණේ. නීරෝගී වුණේ සමේ රන්වන් පැහැය වුණේ.’ පුතු සමීර සිනාසෙන්නේය.
හෙන්රි සේනාරත්නයන් තවත් විවාහයක් කරගත්තේය. ඕ පි‍්‍රයාණිය. ලොකු අම්මා බිලිඳු අපේ කතා නායකයා ද කැටුව සිය සැමියා ද සමඟ කොළඹ පැමිණියාය. ඇයගේ සැමියා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් හෙබ වූ අයෙකි. ඔවුහු එහි නේවාසික නිවාසයක පදිංචි වී සිටියහ.
තම ලොකු අම්මා හා මහප්පාගේ සෙවණෙහි වැඩෙනා අපේ කතා නායකයා කොළඹ සංඝරාජ විද්‍යාලයට ඇතුළත් වී පසුව හලාවත ශාන්ත මරිය විදුහලේ දී ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වී තිබිණි. ඉන්පසුව නාලන්ද විදුහලේ ද දීප්තිමත් සිසුවකු විය.
අපේ ආදරණීය සුදු මහත්තයා සංගීතයට දක්වන උනන්දුව දුටු ලොකු අම්මා ඊට හරස් වචන කියා පෑවාය.
‘තාත්තාගේ ලොකු අම්මාගේ මහත්තයා රේගුවේ නේ. ඉතින් ලොකු අම්මාගෙ එකම ආසාව වුණෙත් අපේ තාත්තාව රේගුවේ රස්සාවට යවන්න. අපේ තාත්තා ලලිත කලායතනයට බැඳුණා. තාත්තගේ සංගීත ගුරුවරයා වුණේ ධර්මදාස වල්පොල මහත්මයා. කොහොම හරි ලොකු අම්මාගෙ මහප්පාගෙ බලකිරීමට ම තාත්තා රේගුවේ රස්සාවකට ගියා. රස්සාව කරන අතරේ ම සංගීතයක් කළා. ඔය ජෝතිපාල මහත්තය එක්කන් යාළු සබඳකම් තිබිල තියෙනවා.’
‘මට මතකයි අමල්. අපේ තාත්තා ඒ කාලෙ අපට නිතර කී දෙයක්. අධ්‍යාපනය එක. දෙකට සංගීතය තියාගන්න. අධ්‍යාපනය කියන්නෙ මනුස්සයෙකුට තිබිය යුතුම දෙයක්. ඒ නිසා අධ්‍යාපනය ඉහළින්ම තබා කටයුතු කරන්න. මේව තමා අපේ තාත්තා අපට එදා කියාදුන්න දේවල්.
චිත්‍ර ඇඳීමේ දී ද කුසලතා පිරිපුන් අපේ ආදරණීය කතා නායකයාණෝ ගීත රචනයෙහි ද නිපුණය. සැබෑ බෞද්ධාගමිකයකු වූ ඔහු තුළ තිබූ බුදුදහම පිළිබඳ අවබෝධය ද අතිමහත්ය. දැඩි තීන්දු ගැනීමට සිත වරෙක දැඩිය. නොපසුබටය. පවුලේ දරුවන් සමඟ ඉතා මිත්‍රශීලීය. සැර පරුෂ වන අවස්ථා ද නැත්තේ නොවේ. සරල බව - සරල දිවි පැවැත්ම ඉහළින්ම අගය කළ අපේ සොඳුරු කතා නාකයාණෝ දරුවන් වන අපගේ කරුණු කාරණා වලදී ගන්නා තීන්දු තීරණවලදී තාත්තාගේ අදහස් පවා තමන්ට පිළිපදින්නට සිදු වූ බව ද ඔහු පුත් සමීර සිනාමුසුව කියන්නේය.
‘මේ ලෝකෙ නවාතැන වේ. දෙදෙනයි මෙහි වාසේ’
අපේ ආදරණීය සිසිර සේනාරත්නයන්ගේ ළයාන්විත ගැයුම් ස්වරය මුසු වූ එම ගීතය ගයමින් හා පුරා කියා ‘පොඩි පුතා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක් වුයේය. හතරවන පන්තියේදී සප්ත ස්වරය ශ්‍රැතියට අනුව ගායනය කැරෙමින් කුසලතා පෑ හෙතෙම රජයේ සංගීත විද්‍යාලයට ද ඇතුළත් වූ පසුව ගුවන් විදුලියේ සරල ගී ගායකයකුව රසික සිත් සතන් ඇඳ බැඳ ගන්නට සමත් ගැයුමෙහි නවතාවය විදහා දැක්වුයේය. ඒ ළයාන්විත හඬට ගීත රසිකයා ආසශක්ත විය.
කාලය ගෙවී යයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයට පසුබිම් ගීත පටිගත කරන්නට ඉන්දියාවට යන්නට සිදුවෙයි. මෙහිදී එම ගමනේදී අපේ කතා නායකයාට හමුවන්නේ මිහිරිතම ගැයුම් ලතාවකින් පිරිපුන් කතාවෙහි ක්‍රියාවෙහි අවිහිංසක නිවුණු යුවතියකි. ඕ තොමෝ වයසින් දහහතරවන වියෙහි දී ගුවන් විදුලියේ ළමා පිටියට පිවිසි ගායන ශිල්පිනියකි.
‘අපේ අම්මා අපේ තාත්තාට වඩා සංගීත කලාවේදී පැරැණියි.’ සමීර කියන්නේය. 1950 දී තාරුණ්‍යයට එකල එකතුපහදු වූ සෞම්‍ය ගී හඬ ඔහුගේමය. ඔහුට මුණගැසුණු ඕ නමින් මා පා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරය. ඇගේ උපන්ගම වැලිමඩය. කොළඹ මියුසියස් විද්‍යාලීය සිසුවියකි. මදුරාසිය බලා යන ගුවන් ගමනේ දී ඔහු ද ඇය ද හමුවීම ජීවිතයට එකතු වූ සුන්දර දිගු කතාවක්ම විය.
මේ හමුවීම සංසාරගත බැඳීමක්ම යැයි දෙදෙනාගෙන් කවරකුට හෝ දැනුණාදැයි නොදනිමි. අපේ ආදරණීය කතා නායකයා සතු ගුණාංග රැසක්ම හඳුනාගන්නට සමත් වූ ඕ තොමෝ 1962 වසරේ මැයි මස 31 වන දා ඔහු හා අතිතන ගත්තාය.
විල්බට් විජේබණ්ඩාර සහ ලිලියන් විජේබණ්ඩාර මවුපිය දෙපළගේ දියණියන් දෙදෙනකුට හා පුතුන් දෙදෙනකුට වැඩිමහල් දෝණිය වූ අපේ ආදරණීය කතා නායිකාව ඉන්පසුව ප්‍රකට වුයේ ඉන්ද්‍රාණි සේනාරත්න යන නාමයෙනි. තම දියණියගේ දිනෙන් දින ගායන ජනපි‍්‍රයතාවය දැක වඩාත් සතුටට පත්වුයේ ඇයගේ මව මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇයගේ පියාණන්ය.
මම පුතු සමීර දෙස බලමි. වෘත්තියෙන් ගණකාධිවරයකු ද වන සමීර සිය පියාගේ නම ගෙන යමින් මේ වනවිට ද ගායනයෙන් නමක් දිනා සිටින්නේය.
‘අපේ අම්මා මුල් ගීතය ගැයුවේ ගුවන් විදුලියෙනි. පසුව සුනිල් සාන්තයන් සමඟ එය යුග ගීතයක්. එතකොට ‘අපේ අම්මාට වයස අවුරුදු දහහතරක් වෙනවලු.
විවාහයෙන් පසු සිසිර - ඉන්ද්‍රාණි නම් දෙපළ එක්ව ගැයූ යුග ගීත සංඛ්‍යාව දෙසියයක් පමණය.
යහපත් ගති පැවතුමින් යුතු අපේ කතා නායකයාණෝ රසට උයන්නට පිහන්නට ද සමතෙකි. ඔහුගේ සීයා ආයුර්වේද වෙද මහතකු නිසාදෝ ඔහුට ද ඒ අත්ගුණය නොව පිහිටිය හැඩකි.
‘අපේ තාත්තාට හොඳට සිංහල වෙදකම පුළුවන්. අපේ තාත්තාගෙන් වෙදකම් කර ගන්න, අහගන්න ඕන තරම් අය ගෙදරට එනවා. සල්ලි නෙවි. ඉන් තාත්තා පුදුම සතුටක් වින්දා. මට මතකයි. අපේ අම්මා තාත්තා අතර කවදවත් ඔය හිත රිදවන ප්‍රශ්න අවුල් තිබුණෙම නැහැ. තාත්තා කැමතිම අම්මයි අපියි එක්කල ගෙදර කාලය ගත කරන්න. ඉතින් විහිළු තහළු ගොඩයි. තාත්තා හරිම සරල මනුස්සයෙක්නෙ.
අපට ගෙදරට ආදායම් මාර්ග දෙකක් තිබුණා. අම්මා තාත්තා දෙන්නාම සංගීතයෙන් ආදායම ලැබුවා. ඒ වගේම රේගු සහකාර අධ්‍යක්ෂ හැටියට අපේ තාත්තා අවුරුදු 36ක්ම සේවය කළා. මේ දෙන්නම තමන්ගේ ආත්ම ගරුත්වය දිවිහිමියෙන් රැකගත්තා. කවරදාකවත් නම කැත කරගත්තෙත් නැහැ. ඒ දෙන්න ලබාපු ගෞරවයේ ආලෝකය අද අපටත් ඒ වගේම අප වෙනුවෙන් යුතුකම් ද ඉටුකළා.
‘තිබූ තැනෙ සොර සතුරන් ගත නොහෙනා.
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’ මේ දේ තමයි තාත්තා මටයි අයියටයි අක්කටයි නිතර කියල දුන්නෙ.’
අපේ සමීරගේ කටහඬ පෙර සේ සවිබල නැති, ඔහු වරින් වර අප පිළිසඳර අතරේ දී මව්පිය සේයාරුව දෙස බලයි. වරෙක බිඳුණු හඬකි. ‘අපේ තාත්තයි අම්මයි අදටත් අපි දිහා බලන් ඉන්නවා. ඒ විශ්වාසය අප තුන්දෙනාටම තියෙනවා.’
අපේ ආදරණීය කතා නායිකාව ඉන්ද්‍රාණි සැබැවින් ම නිවුණු තැනැත්තියකි. සිය හිමි පිළිබඳව ඈ තුළ නිදන්ව ඇත්තේ ගෞරවය මුසු වූ හැඟීමකි. අනුපමේය සෙනෙහසකි. පෙරළා ඔහු ද ඇයට එලෙසමය. ඔහු පොතපතට ද බොහෝ සේ ඇලුම් කළේය. ලැබෙන විවේකය පොතපතටය. දෙදෙනාටම තිබූ ඉංගී‍්‍රසි භාෂා දැනුම ද එකසේය.
ආදරණීය සමීර සුව පහසු අසුනෙහි හරි බරි ගැසුණේය.
‘අමල්... ටිකක් හිතල බලන්නකො. අපේ තාත්තාට මව් සෙනෙහස අහිමිව ගියේ තාත්තාට වයසින් මාස තුනේදි එතකොට තාත්තාගෙ තාත්තාත් ළඟක නැහැ. තාත්තා එයාගෙ ලොකු අම්මා ගාව. එහෙම වටපිටාවක් තියෙද්දිත් අපේ තාත්තා කිසි දවසක නොමඟ ගියෙ නැති කෙනෙක් කියන්නෙ. කොතරම් හොඳ කෙනෙක් ද කියල බලන්න. හැම තිස්සේම තාත්තා උන්නෙ හොඳ පැත්තෙමයි.’
හෙතෙම තවත් රහසක් හෙළි කරන්නේය.
අපේ සොඳුරු කතා නායකයා ජනපි‍්‍රයත්වයේ හිණිපෙත්තේය. ඔහු වේදිකාවට නැග ගී ගයන්නේය. ඔහු නුදුටු සෙනෙහස ද නොදුටු තම ආදරණීය අම්මා ගේ සේයාරුවක් ඔහුගේ කමිස සාක්කුවේ නොවැරදීම සුරැකිව සිටින්නේය. සේයාරුවේ අම්මා ඉන්න පැත්ත එය ළපැත්තට තුරුලුව තියේ. ‘සත්තකින් තම දෙමවුපිය ළඟක නැතිව අපේ තාත්තා ගොඩනැඟුණු හැටි. හරිම ආශ්චර්යයක්. එහෙම ගමනක් ඇවිදින් මහත්මා ගති රැකුණා කීමත් පුදුමයක්. සමීර තම පියා පිළිබඳ උතුරා යන හැඟීමකින් එසේ කියන්නේය.
ජෝති, මිල්ටන්, මොරිස් දහනායක, හරුන් ලන්ත්‍රා, වික්ටර්, ෆේරඩී ආදීහූ ඔහුගේ සමීපතමයෝය. උදව් පතා පැමිණියකු හිස් අතින් ගිය දවසක් ද නැති.
සිරිසේන විමලවීරයන්ගේ ‘පොඩි පුතා’ හී ටී.එෆ් ලතීෆ් ගේ සංගීතයෙන් ඔහු ගැයූ මුල් ම ගීතය සමඟින් රටක් හඳුනාගත් අපේ සිසිර සේනාරත්නයන් ගැයූ ගීත හාර සීයයකට ආසන්නය. ප්‍රසංග වේදිකාවේදී ද සිසිර - ඉන්ද්‍රාණි යුවළට හිමිවුයේ අද්විතීය ස්ථානයකි. ඒ සංගීත ගමනට සමගාමීව අපේ කතා නායිකාව ඉන්ද්‍රාණි සේනාරත්නට ද හිමිවුයේ සුවිශේෂී තැනකි. ඇයගේ හඬ මුදු මොළොක්ය. ඒ හඬට පෙම් බැඳි රසික දනෝ ඇය ඉහළින්ම ඔසවා තැබූහ.
‘වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ’ ගීතය රේඛාව චිත්‍රපටය මුසුකළ තැන් සිට ඔහු හා ගැයූ ගීත තවමත් අප මතකයෙන් බැහැරව නැති ඈත අහසේ නැඟේ දිනිඳු පායා, ඕළු නෙළුම් නෙරිය රඟාලා, සයුර වෙත යන ගඟ පරිද්දෙන්. රිදී කුමාරි සීතල ඇල්ලයි. ගයා ගීතයන් ගමේ වෙල් එළියේ ආදී හද වැලඳ ගත් ගී බොහොමයකි.
ඔහු ගැයූ ජනපි‍්‍රය ගීතයන් අතර ආලෝකේ පතුරා මුළු ලෝකෙ ඔපලා, පිදුරු සෙවිකළ පැල්පතේ ඇති. සාමෙ නැත මහා මන්දිරේ. සඳ වැසුණාට ඉර ගිලුණාට කමක් නැහැ. මංගල මල් දම්, මාගෙ පුතුට මල් යහන සදන්නේ, නිල්මිණි දෑසේ මැවූ ආලෝකය - හද මැදුරේ නැත නිවුණේ. සල් සපුමල් දෙවැට දිගේ පිපිල ද දුනුකේ. උතුරු සළු හැඳ පොරවලා..., හඳපානේ මල් පිපුණා යුග ගීතය ද ආදී ගීත රැසකි.
1965 වසරේ දී තිරගත වූ ‘හඳපාන’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වුයේ ද අපේ ආදරණීය කතා නායකයාය. එහිදී 1966 වසරේ දී පැවැති සරසවිය සම්මාන උලෙළේ දී සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේ අපේ හෘදයාංගම කතා නායකයාය.
ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය සමඟ එක්ව ‘සිසින්ද්‍රා’ ප්‍රසංගය ඉදිරිපත් කරමින් ලොව වටා ගිය ගමනේදී විදෙස් ගත ශ්‍රී ලාංකීකයන් වෙතින් ලද හරසර ද නිමක් නැති.
අපේ සොඳුරු කතා නායකයාණෝ සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර හඳපාන, පුංචි බබා, සෙනෙහස, මගේ රන් පුතා, දීපාංජලී, රන් එතනා, කවුද හරි, පුනරුත්පත්තිය ද වෙයි.
අපේ ආදරණීය කතා නායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ගැයූ ගීත සමූහය ද සිහිපත් කිරිම වටී. ඇය ගැයූ ගීත අතර බුදු ස්වාමිනේ සිරිපා පියුම් - දඟකාරී මං මද්දුම දෝණි - ඔබට අකීකරු නැහැ. අම්මේ, රතුපාට මල් මට තාම මතකයි. දැන්වත් හැදෙන්නකෝ අයියේ, හොඳ හොඳ ළමයින් අපි වගේ මල් සුටික්කෝ සින්දු කියාපන් මාදං අත්තක වාඩිවෙලා..,සුදු සඳ එළියේ නල මත පොපියන - ගීත ද වන අතර ඕ ගැයූ සෑම ගීතයක්ම 1957 වසරේ සිට සංගීතවත් කළේ ද අපේ සිසිර සේනාරත්නයන් විසින්ය.
අපේ ආදරණීය සමීර බොහෝ දේ ආවර්ජනය කරන්නේය. ඒ හැම වරෙකදීම ඔහුගේ නෙත් රැඳෙන්නේ තම මවුපිය දෙදෙනාගේ සේයාරුව දෙසමය. තවත් වරෙක දී හේ ඉවත බලාගත්වනමය. ඒ ඇසට කඳුළක් ඉනූ නිසාවෙන් යැයි හැගෙයි.
‘අපේ අම්මයි තාත්තයි තමන්ගේ ආත්ම ගරුත්වය දිවි හිමියෙන් රැකගෙන ජීවත් වූ නිසාම අපටත් ඒ ගෞරවය සමාජයෙන් ලැබෙනවා. ඒ දෙපළගේ දරුවන් වන්න ලැබීමත් අපේ භාග්‍යයක් කියලයි හිතෙන්නෙ. ඒ වගේම අපේ තාත්තා හරිම නිරෝගීමත්’ අපේ සමීර දයාබර හඬින් කියන්නේය. වරෙක හද තෙරපීම නිසාදෝ දෑතේ ඇඟිලි එකට මිරිකා බිම බලා හිඳින්නේය.
මේ ආදරණීය සටහන මා ලියමින් පසුවන අතරේ කලා ක්ෂේත්‍රයට මහත්සේ ඇල්ම බැල්ම ඇති ඔවුන් පිළිබඳ නිවැරදි බොහෝ වගතුග දන්නා පාලිත ශ්‍රී ලාල් ආටිගල සොහොයුරා එතුමා පිළිබඳව කී කතාවක් ද මෙහි දී සිහි නැඟෙයි.
‘සිසිර සේනාරත්න මහත්මයාට නළුවකුටම ඔබින ලස්සන රූපයක් තිබුණා. ආයුර්වේද වෙදකම දන්නා නිසාත් එතුමා රුව වෙනුවෙන් යම් යම් සත්කාර කරලත් තියෙනවා. දවසක් දා චිත්‍රපට සම්බන්ධ හිතවත් කෙනෙක් එතුමාගෙන් අහල තියෙනවානෙ. චිත්‍රපට වල රඟපාන්න අදහසක් නැති ද කියලා. එතුමා ගත් කටටම කියල තියෙන්නෙ. මං ගායකයෙක් වීම ගැන මට සතුටක් තියෙනවා. මට හොඳ පවුල් ජිවිතයක් තියෙන කෙනෙක්. මට නළුකම වැදගත් නැහැ කියලා.’
ළමා ගායිකාවක ලෙසින් කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ ගුවන් විදුලි ‘සරස්වතී මණ්ඩපයෙන්’ වයසින් 14 වන වියේදී ගායන ලොවට පිවිසි අපේ නිවුණු ඇවතුම් පැවතුමින් යුතු ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය එතැන් සිට ඉදිරියට ම පැමිණෙමින් භද්‍ර යෞවනයට ගී ගැයුවාය. ඉන්ද්‍රාණි විජයබණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණි සේනාරත්න නම් ඕ තොමෝ ළමා ගායිකවක ලෙසින් ඇරඹු තම සංගීත චාරිකාව අවසානය තෙක් ම තම අනන්‍යතාව මඳ කුදු වෙනසකට බඳුන් නොකළාය.
1957 ප්‍රථම දීපශිඛා සම්මාන උළෙලේ දී ‘රේඛාව‘ වෙනුවෙන් හොඳම ගායිකාව ලෙසින් සම්මානිත වෙමින් එදා මෙදා තුර ලාංකේය සිනමාවේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ මුල් ම ගායිකාව ලෙසින් ද ඉතිහාසයට එක් වුවාය.
මෙබඳු යටගිය කතාවක් ද අසන්නට ලැබෙයි. 1957 වසරේ ‘සුරයා’ චිත්‍රපටයට ‘හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්කෝ අයියේ, නම් ගීතය පටිගත කිරීමට ඕ ඉන්දියවට ගියාය. ශබ්දාගාරයේ පිටතින් සුදු සාරියකින් සැරසුණු ඉන්දියානු කාන්තාවක් එහා මෙහා යමින් පසුවෙයි. ඒ අසලම මොහිදින් බෙග් මාස්ටර් ද සිටින බව අපේ කතා නායිකාව දුරතියාම දුටුවාය. ‘හිතන්නකෝ අයියේ’ ගීතය පටිගත කෙරිණි. බෙග් මාස්ටර් ඈ අත අල්වා මෙසේ කීවේලු.
‘ඔයා හොඳට ගායනා කළා. බෝම සන්තෝසයි’ යැයි ඉන්ද්‍රාණි මහත්මියට සුබ පතා සුදු සාරියකින් සැරසී පසුවන ඉන්දීය කාන්තාව පෙන්වා ‘ඇය හඳුනනවා දැයි’ විමසූ විට දී නෑ - මං හඳුන්නේ නැහැ යැයි කීවාය.
‘ඒ තමා ජමුණා රාණි. ඔයා ගීතය හරියට හොඳට ගායනා නෙකළොත් එයා ලවා ගායනා කරවන්නයි සුදානම තිබුණේ. දැන් ඔයා ඒ වැඩේ හොඳට කරල තියෙනවා’. බෙග් මාස්ටර් එසේ කීවේලු.
‘සිසිරගෙ තරම් ලස්සන හදවතක් වෙන කාටවත් නැහැ.’ අපේ ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය පසුකලෙක මෙලෙසින් කියූ වාර අනන්තය. අප්‍රමාණය.
තිබේ පියකරු දසුන් අපමණ
අනන්තයට ම මෙදියතේ
ඔබේ හදවත තරම් ලස්සන
හදවතක් මා දැක නැතේ
ඕ තොමෝ ඔහුගේ සෙවනෑල්ල බඳුය. ඇයගේ පැතුම සේම ඔහුගේ සදාකාලික පැතුම ද ඇයමය.
‘සිසිර මං නැතිව ඉන්න කැමැතිම නැහැ. අපි දෙන්නාගෙ යුග ජීවිතයටත් අවුරුදු පනහක් සම්පුර්ණ වෙලා. අපි ආදරය කරන කාලයේදී සිසිර මා වෙනුවෙන් ගීතයක් ලියුවා.’
සඳ වැසුණට ඉර ගිලුණට කමක් නෑ
මල් හැලුණට තරු නිවුණට කමක් නෑ
ඔබ ආයෙ දකිනතරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නැහැ.’
ස්වර්ණ සංඛ සේම ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලද අපේ සොඳුරුතම කතා නායකයාණෝ තම ස්වනිර්මාණ නව පරපුරට තිළිණ කරවන්නට තම පුතු නොඑසේ නම් මා හා ආදරණීය පිළිසඳරක යෙදෙනා අපේ සමීර සේනාරත්නයන් කලා ලොවට හඳුන්වා දී ඇත්තේය. සිය පියාණන්සේම ලගන්නා සුලු හඬ පෞරුෂයකින් පිරිපුන් අපේ සමීර සේනාරත්නනයන් මේ වනවිට සිය සංගීත දිවියට මුල පුරා ඇත්තේය.
‘මගේ ගායන දිවියට මගේ තාත්තාගෙ ආශිර්වාදය අදත් මට ලැබෙන බව මට දැනෙනවා.’
අපේ සිසිර සේනාරත්නයන් දුම් වැටිය පි‍්‍රය කළේය. මී විතට තම දිවියම බඳුන් නොකළ හෙතෙම විශ්වාසවන්තයකු සමඟ මිස මීවිත තොලගෑවේ නැති, හිතුණුදාට තම නිවසේ දීම මීවිත සමඟ මොහොතක් පසුවෙයි.
‘අපේ තාත්තා බිමට ඇබ්බැහි වුවකු විදිහට අපට කවදාවත් පෙනිලා නැහැ. හැමදේම පාලනයකින් යුතුවයි.’ අපේ සමීර කියන්නේය.
‘අපේ තාත්තාට අවුරුදු 65ක් වනතුරුම කිසිම අසනිපයක් නැහැ. කොටින්ම පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ. 65 වෙද්දී අපේ තාත්තා අසනීප වුණානෙ. ‘සියයට සියයක් ම නීරෝගී උන්නු අපේ තාත්තා’
නීරෝගිමත්ව පසු වූ අපේ ආදරණීය කතා නායකයා අසනීප වුයේය. ඉන් තැති ගත් සිය බිරිඳ ඉන්ද්‍රාණි වහා දුරකතනයෙන් ඒ බව දැනුම් දුන්නේ පුතු සමීරටය.
‘පුතා - තාත්තා හිටිගමන් ගෙයි බිම ඇද වැටුණා.’
‘මං ගෙදරට එද්දි අපේ තාත්තාගේ පැත්තක් පණ නැතිව ගිහින් තිබුණෙ. තාත්තාව රෝහල් ගත කළා. ටිකක් තාත්තා සුව අතට හැරුණත් හොඳටම යහපත් තත්ත්වයක් ඇතිවුණේ නැහැ. තාත්තාගේ හිසේ ලේ කැටියක් හිරවීමක් නිසා සැත්කමකුත් කළා.’
‘පුතා මං ආයෙත් සින්දු කියන්න යන්නේ නැහැ. පුතා අම්මා එක්කල සින්දු කියන්න යන්න’ ඔහු බිඳුණු හඬින් සමීර පුතුට කීවේය. එතැන් සිට පුතු සමීර ගී ගයන්නට වුයේය. ප්‍රසංග වේදිකාවේ ඔහු මව සමඟ ද එක්ව තම පියාණන් නියෝජනය කළේය.
කෙටි කාලයකින් නැවතත් අපේ සිසිර සේනාරත්නයන් පෙරටත් වඩා රෝගී වී සිරුරේ පැත්තක් නැවතත් අප්‍රාණිකව වැතිරී සිටියේය. වෛද්‍ය නිගමනය වූයේ නැවත ඔහු හිසේ ලේ කැටියක් සිර වී ඇති බවමය.
‘අපේ තාත්තා දවස් තුනක් සිහිසුන්ව ජාතික රෝහලේ හිටියා.’
අපේ සමීර දිගු සුසුමක් හෙළීය. දෑස නැඟි කඳුළක් මට වසන් කරන්නට දෝ නැඟිට ඉවතට ගොස් යළිත් මා ඉදිරියට පැමිණ අසුනට බර දුන්නේය.
2015 ක් වූ පෙබරවාරි 04 වන නිදහස් දිනය දා පෙරවරුවේ 10.10ට පමණ සිය ලයාන්විත ගැයුම් ස්වරයෙන් මා හැඟි ගීත ගණනාවක් රසිකයාට තිළිණ කළ මනුෂ්‍යත්වයෙන් පිරි හදවතක් හිමි අපේ ආදරණීය සිසිර සේනාරත්නයන් යළි අවදි නොවනා දිගු නින්දකට පිවිසියේය. තම හිමියන් නැවත පියවි ලෙසින් ගෙදරට එතැයි බලාපොරොත්තුව නොසිටි නිසාදෝ බිරිඳ ඉන්ද්‍රාණි මහත්මිය සිත හදාගෙන සවිමත්ව හිඳින්නට වෑයම් කළාය.
නිවී සැනසිල්ලේ මිහිරට ම ගලා ගිය 53 වසරක යුග දිවිය පිළිබඳ තැවෙන්නට දැවෙන්නට වී අපේ කතා නායිකාව මානසිකාව ඇද වැටුණාය. දූ පුතුන් තිදෙනාම මේ වනවිට විවාහකය.
ඕ තොමෝ වරින් වර රෝගතුර වුවාය. සිය හිමි පිළිබඳ අතීත සැමරුම් ඈ මුවින් ඔහේ ගලායන්නට විය. එක්ව පැමිණි ආ මඟ කෙසේ නම් අමතක කරන්නද? ඒ පැමිණි මඟ එතරම් සුන්දරය. පිවිතුරුය.
අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නට වූ ඕ නොසිතූ මොහොතකදී හදිසි හෘදයාබාධයකට ගොදුරු වන්නට වුවාය.
‘අපේ අම්මාගේ හිතේ අපේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් තිබුණා.’
අපේ ආදරණීය සමීරගේ හඬ බිඳුණු ස්වරයකි. බිම බලාගත්වනම පසු වූ හෙතෙම හිස ඔසවා මා දෙස බැලුවේ බොහෝ වේලාවකට පසුවය.
හදිසි හෘදයාබාධයකට පත්ව ගිය අපේ සොඳුරු කතා නායිකාව ප්‍රවීණ ගායනවේදිනිය ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් කොළඹ ජාතික රෝහලට වහා ඇතුළත් කෙරිණි. 1936 ක් වූ ජුලි මස 15 දින උපත ලද ඕ තොමෝ ඒ වනවිට වයසින් 83වන වියේය. රෝහල් වාට්ටුවේ ගිලන් යහන මත දීම කිසිත් නොදොඩාම ඕ සදහටම නෙත් පියා ගන්නට වුයේ 2019 ක් වූ ජුලි මස 23 දිනයේදීය.