අපේ තාත්තා අපට ලොකුම ආඩම්බරයක්

බී.ඇස්.පෙරේරා පුතු සුනිල් ලෙස්ලි පෙරේරා කියයි
අප්‍රේල් 27, 2023

‘අපේ තාත්තාගෙ නමට අදත් සමාජයේ ලොකු ගෞරවයක් තියෙනවා. ඇත්තෙන්ම අපේ තාත්තා අපට ලොකු ආඩම්බරයක්’

හෙළ සිනමාවේ වඩාත් හාස්‍ය චරිත නිරූපණයෙන් රසික සිත් සතන් හි ලැගුම් ගත් ඔහුගේ නමද රුවද තවමත් මතකයේ රැඳී තියේ. ඔහු පෑ සිනමා රංගනය එතරම් ආශක්තය, මම පසුගිය දිනෙක සරසවිය වෙනුවෙන් ඔහු පිළිබඳ යටගිය තතු සොයා ගිය ගමනක දී මට හමු වූ ඔහුගේ නවදෙනෙකුගෙන් යුත් දූ දරුවන් අතර පවුලේ දෙවැන්නා වන සුනිල් ලෙස්ලි පෙරේරා මහතා පිළිසඳරකට මුල පුරමින් තම ආදාරණීය පියාණන් පිළිබඳව කීයේ එලෙසිනි. සුනිල් ලෙස්ලි කලාකරුවෙකි. ප්‍රවීණතම ජනපි‍්‍රය චිත්‍ර ශිල්පියෙකි. ඕනෑම පුද්ගලයකුගේ රුවක් සිත්තම් කරන්නට උපන් හපනෙකි. ඒ වාගේම කා අතරත් හොඳ හිත දිනාගත් රසවතෙකි.

කල්දෙමුල්ල ප්‍රදේශයේ එක්තරා දේශපාලකයකුගේ මැතිවරණ කාර්යාලයක බිත්තියක් මත ආර්.පේ‍්‍රමදාස මහතාගේ රුව පණපිටින් මෙන් සිතුවම් කර තිබෙයි. එය මම අගය කළ විට දී ‘අපේ තාත්තා චිත්‍ර ශිල්පයට මාව දිරිමත් කරමින් උපදෙස් දුන් හැටිත් මට තවම මතකයි.’ යැයි සුනිල් කීයේ සිනාපිරි මුවිනි.

අපේ ආදරණීය කතා නායකයා උපන්නේ මරදානේය. ඒ 1924 ක් වූ මාර්තු මස 31 වනදාය. තවත් පුවතක් ද සැඟ වී ඇත්තේය. එනම් අපේ සුනිල් වෙස්ලිගේ උපන් දිනය යෙදෙන දා වසර වෙනසක් වුවද මාසය ද දිනය ද ඔහුගේ තාත්තාගේ උපන් දිනය කියැවෙන එකම මාසයේ එකම දවසේය.

හෙතෙම නමින් බාලසූරියගේ ස්ටීවන් පෙරේරාය. ඔහුගේ මවුපියන් වුයේ එඩ්වින් පෙරේරා සහ කේ. පොඩිනෝනාය. එඩ්වින් මහතා ද ටවර් හෝල් යුගයේ නළුවෙකි. හේ වෘත්තියෙන් ඇඳුම් මසන්නෙකි. නොඑසේ නම් ඇඳුම් කැපීමෙහි දක්ෂයෙකි. එඩ්වින් මහතාට සිටියේ සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියකි.

‘ඉතින් අපේ තාත්තා භාවිතා කළේ බී.ඇස් පෙරේරා කියන නම, ඒ කාලේ අපේ තාත්තා කොලුව කාලෙදි ගෙදර නිතර කියැවිලා තියෙනව අනාගතයේ දී බී.ඇස්. කොලුවා රටේ හොඳ තැනකට ඒවි කියලා. ඒ වගේම අපේ තාත්තා හොඳට ඉගෙන ගත්තා. ඉගෙනුමට දක්ෂයෙක්ලු. ඒ වගේම තාත්තාගෙ වැඩ හරිම පිළිවෙළයිලු. හරිම සාමකාමී චරිතයක්. කා එක්ක වුණත් හොඳ හිත රැකගෙන ආස්සරේ කරන්න දන්නවා. ඒ හින්දා මං දන්න තරමට අපේ තාත්තාට තරහ කාරයො නම් උන්නෙ නැහැ. මනුස්සයො එක්ක තියෙන යාලුකම් පරිස්සම් කරන චරිතයක් තමා අපේ තාත්තා.’

‘තමන්ගේ දරු පවුල මුල් තැනෙහිලා සලකා කටයුතු කරපු කෙනෙක්. තමන්ගේ පවුල වෙනුවෙන් හැම මොහොතකදීම ලොකු කැපවීමෙන් සිටියේ, දරුවන් වන අපටත් පහරක් ගහල නැහැ. සැර වැර කරල නැහැ. හැමදේටම වැඩියෙන් මනුස්සකම අගය කළා. අද අපට වුණත් මනුස්සයො අතර හොඳ හිත පවත්වාගෙන සුහදව ඉන්න පුළුවන් වෙලා තියෙනන්නේ. අපේ තාත්තා අපට එදා නිතර කියාදුන් ඒ මනුස්සකම ගැන උතුම් හඩම නිසයි. අදටත් අපටත් මිනිස්සු ඉහළින් සලකන්නෙ තාත්තාගෙන් උගත් ඒ වටිනා හඬම නිසයි.’

තම පියාණන් සුනිල් පුතුට මහත් ආඩම්බරයකි. ඒ බව ඔහු මුහුණින් කතාවෙන් පැහැදිලිවම පෙනෙයි. මම සවන් දී පසුවෙමි.

‘අපේ ආදරණීය බී.ඇස්. ඉගෙනුම ලද්දේ පළමුවෙන් මාලිගාකන්ද පාසලේය. පසුව හෙතෙම සංඝරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. තම දරු පවුල මත්තේම කැප වූ පියකු ලෙසට දූ දරුවන්ගේ බුහුමනට ද පාත්‍ර වූ අපේ කතා නායකයා විද්‍යාලීය අධ්‍යාපනයෙන් පසුව රැකියාව ලෙසින් තෝරා ගත්තේ එකල තිබූ නේවල් පොලිසිය හෙවත් හමුදා සේවයය. ඔහු එහි හමුදා සොල්දාදුවකු විය. මේ ගත වන්නේ ඔහුගේ තුරුණුවියය.

එකල ගමනාගමනයට තිබූ ‘ට්‍රෑම්කාර්’ රියැදුරකු ද වුයේ ඔහුය. ට්‍රෑම් කාර් සාමාන්‍ය රථයක් නම් නොවේ. පාරේ දුම්රිය පීලි දෙකක් සේ අතුරා තිබෙයි. ඒ මත මෙම රථය ධාවනය වන්නේ රථයේ වහළයේ සිට ඉහළටම එසැවී ඇති යකඩ කුරු දෙකක් ඉහළ විදුලි රැහැනට බද්ධ වීමෙනි. අගනුවර එදා බහුල වූ මේ ට්‍රෑම් කාර් රථයක රියැදුරු වූ අපේ කතා නායකයාට එක දවසක සිදුවුයේ මහත් ඇබැද්දියකි.

‘ඔය ට්‍රෑම් කාර් කියන රථයේ අපේ තාත්තා රියැදුරානෙ. ඒ රථයට වහළයේ සවිකර ඇති යකඩ කුරු දෙක ඉහළ ඇද තියෙන විදුලි කම්බි දෙකකට සම්බන්ධ වෙලානෙ තිබුනෙ. මදැයි වෙච්ච දේ. එකපාරටම ඒ විදුලි කම්බි දෙක ෂෝට් වෙලා ගිනි පුපුරු විසිවෙලා ගිනිගෙන තියෙනවා. අනේ අපේ තාත්තාගේ මුහුණට ඒ ගිනි පුපුරු විසිවෙලා තාත්තාගේ ඇස්වලට වැදිලා තියෙනවා. ඇස්දෙකට සැත්කමකුත් කළානෙ. සැත්කමින් පස්සේ තාත්තාගෙ ඇස්දෙකේ බැල්ම කලින් වගේ නැහැ. ඒ වෙනුවට ඇස් දෙකින් බලද්දි බැල්ම නිකම් වපර ගතියක් පෙනුණා. ඒ තාත්තාගේ වපර බැල්ම සිනමා ගමනේදී තාත්තාට ලොකුම අත්වැලක් වුණා. කොටින්ම ආශිර්වාදයක් ම වුණා කීවොත් හරියට ම හරි. ඔබටත් මතක ඇතිනෙ. තාත්තා රඟපාද්දි ඒ වපර ගතියක් වගේ තියෙන බැල්ම. ඉතිං රඟපාද්දි ඒ වපර බැල්මෙන් තාත්තාව තවත් ඉස්මතු වී පෙනුණ.’

ඒ කතාව ඇත්තකි. අපේ ආදරණීය කතා නායකයාගේ ඒ ස්වරූපය කාගේත් සිත් දිනාගනී. අපේ හමුදා සොල්දා දූ රියදුරු සිය ට්‍රක් රථයෙන් සෙසු සොල්දාදුවන් සමඟ රාජකාරි ගමන් යන්නේය. වැඩිපුරම ගියේ ගාල්ල හරහාය. ගාල්ල ටවුමේ කඩයක් තිබේ. නොවරදවා ට්‍රක් රථය නවතා ඒ කඩයට ගොඩ වැදී සප්පායම් වෙයි. තලතුනා කාන්තාවක් කඩයේ සිටි අතර ඇයගේ අත් උදව්වට සිටියේ රූමත් තරුණියකි. අපේ ආදරණීය බී.ඇස්. ගේ බැල්ම ඒ තරුණිය වෙත යොමුවිණි. සිත බැඳිණි. වගතුග විමසද්දී දැනගත්තේ කඩයේ තලතුනා කාන්තාව ඇයගේ නැන්දා බවකි. එතැන් සිට හෙතෙම ඒ කඩයට ගියේ ඇය හමුවන රිසියෙනි. එය පෙම් සබඳතාවයකට හැරිණි. ඇය ද ඔහු එනතුරු මඟ බලා සිටියාය.

අපේ සුනිල් වෙස්ලි කටපුරා සිනාසුණු ගමන්මය.

‘ඉතින් අපේ තාත්තා ඇයව කොළඹට එක්කන් ඇවිත් කසාද බැඳගත්තා. ඒ තමා අපේ අම්මා අපේ අම්මා බොහොම ලස්සනයි. අපේ අම්මාගෙ නම බාලචන්ද්‍ර ආරච්චිගේ දොන් ඥානවතී. ගම ඉතින් ගාල්ලෙ. අපේ අම්මාව කසාද බැන්ද අපේ තාත්තා මරදාන පිචර්ස් ලේන් එකේ මහගෙදරට කැන්දා ආවා. ඒ කියන්නේ අපේ ආච්චිගේ ගෙදරට. තාත්තාගේ අම්මාගෙ ගෙදරට. අපිව හම්බ වුණෙත් ඒ මහගෙදරමයි.’

අපේ කතා නායකයාණෝ ටවර් හෝල් වේදිකා නාට්‍යවල රඟපෑවේය. ඔහුගේ තාත්තා ද ටවර් හෝල් නළුවකු බව පෙර දී කීවෙමි. ශ්‍රී වික්‍රම නාට්‍යයේ මොහොට්ටාල චරිතය නිරූපණය කළේ ඔහුය. තවත් වේදිකා නාට්‍ය රැසකම ඔහු විවිධ චරිත නිරූපණය කළේය.

එක්තරා දවසක කොටහේනේ දී අපේ කතා නායකයා වන බී.ඇස්. දුටුවේ චිත්‍රපට ක්ෂේ්ත්‍රයේ නිරත සිවානන්දන් මහතාය. පෙර හඳුනා නොසිටි නමුදු බී.ඇස්. වෙතට පැමිණි සිවානන්දන් මහතා විමසුවේ මෙබන්දකි.

‘ඔයා කැමැති නැද්ද චිත්‍රපටයක රඟපාන්න.

එක පයින් කැමැත්ත පළ කල අපේ බී.ඇස්. පෙරේරාට හා පුරා කියා රඟපාන්නට ලැබුණු චිත්‍රපටය වුයේ ‘ධීවරයෝය’

සිවානන්දන් මහතාට අපේ කතා නායකයා තෝරාගන්නට තවත් හේතුවක් ද තිබිණි. ට්‍රොලි බස් රියදුරෙකුව රැකියාව කරමින් සිටි සමයේදී ටෙ‍්‍රාලි බස් ගාල් කෙරෙනුයේ කොටහේනේය.

එතැන රස ගුලාවකි. සහෝදර රියදුරන් කොන්දොස්තරවරුන් ඉන් ලබන විවේකයේදී විහිළු තහළු කරයි. උසුළු විසුළු කෙරෙති. ගීත ගායනයේදී හා කරන රැඟුමක දී හිතට අල්ලා ගියේ සිවානන්දන් මහතාටය.

‘රෑ බෝ වී බෝ වී එයි. වැඩපල ඉවරයි. අපේ ගැහැනුන්ට රජ සැප. දුක අපටයි.’

එම ගීතය ගයමින් ධීවරයෝ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා හා ඇන්තනි සී. පෙරේරා ද සමඟ කරට කර රංගනයක යෙදුණේ අපේ කතා නායකයාය. ඒ ධීවරයෝ චිත්‍රපටයෙනි. එවිට අපේ බී. ඇස් වයසින් අවුරුදු 30ත් 35ත් අතරය.

‘අපේ තාත්තා රියැදුරු රස්සාවෙන් පස්සේ ටයිම් කීපර් තනතුරක් ද දැරුවා. කොහොම හරි ට්‍රොලි බස් රස්සාවෙන් විශ්‍රාම ගියාම අපේ තාත්තාට විශ්‍රාම වැටුපකුත් ලැබුණා. අපේ පවුලත් බර වැඩියි නෙ. ඒ අතින් අපේ තාත්තා උපරීමයෙන් අප වෙනුවෙන් කැප වුණා. ඒ අතින් තාත්තා උතුම් පියෙක්’ සුනිල් ලෙස්ලිගේ හඬ බොඳ වී ඇතැයි සිතේ.

අපේ කතා නායකයාට චිත්‍රපට ශාලා එන්නට විය. තම පියාණන් විකට නළුවකු පමණක් නොවන බව තරයේ අදහන පුතු සුනිල් කියන්නේ තම පියාණන් විවිධ චරිත නිරූපණයෙන් ඔහු සතු ඉහළම කුසලතාව පෙන්නුම් කළ බවය.

ජෝ අබේවික්‍රමයන් තම පියාණන් සමඟ කුලුපග ඇසුරක් පැවැත් වූ බව ද පුතු සුනිල් කියන්නේය.

‘ඉතින් අපේ තාත්තා දැන් රටම දන්න නළුවෙක්. කාර්ය බහුලයි. අපරාදෙ කියන්න බැහැ. තාත්තා රඟපෑමේ වෘත්තියෙ කටයුතු කරගෙන යනවා. අපේ අම්මා ගේ දොර දරුවන් බලාගෙන හොඳින් කටයුතු කරනවා. ඒ දවස්වල අපට බ්ලු මැන්ඩල් පෙදෙසේ තට්ටු නිවාස සංකීර්ණයේ නිවසකුත් ලැබුණා. මං පාසල් ගියෙත් ඒ ගෙදර ඉඳන්.’

‘ඉතින් අපේ ගෙදර හැම තිස්සෙම සිනමා නළු නිළියන්ගෙන් අඩුවක් නැහැ. දොන් සිරිසේන, එඩී ජුනියර්, ජෝ අබේවික්‍රම, ලිලියන් එදිරිසිංහ, පර්ල් කුරේ ආදි බොහොමයක් අය නිතර එනවා. අපේ අම්මත් එයාලට සත්කාර සංග්‍රහ කරනවා. ඔය මේ අද කාලෙ වාගෙ නෙමෙයිනෙ. ඔය කැපිලි කෙටිලි නැහැනෙ. සහෝදර සහෝදරියන් වගේ හරි එකමුතුයි.’

අපේ බී. ඇස්.පෙරේරා හලාවත දැදුරුඔය සුවිසල් නිවාසයක් ඉදි කළේය. ඒ තමන් උපයන ධනයෙනි. එහි කාමර කීපයකි. විශාල නිවසකි. එය ඉදි කරන්නට අපේ කතා නායකයාට හේතුවක් වුයේ ඒ පළාත්වල චිත්‍රපට රූපගත කිරිම් සඳහා පැමිණෙන නළු නිළියන්ට හා එහි ශිල්පීනට සුව පහසුවෙන් නවාතැන් ගැනීම පිණිසය. එම විවේකී නවාතැන් පොළ එදා කාගෙත් පැසසුමට බඳුන් කෙරිණි.

අපේ කතා නායකයා පෘතුගීසි ගායනයකින් රඟපෑ අන්දම ද සිහි නැගෙයි. ඒ මගේ අම්මා’ චිත්‍රපටයේය.

‘මං ඉතින් ඔය ඒ කාලෙත් චිත්‍ර අඳිනවා. මගේ පි‍්‍රයතම නළුවා ගාමිණි ෆොන්සේකා මහත්මයා. ඒ රූපය මගේ හිතේ තදින්ම ඇදිල තියෙනවා. කවුරු හරි කීවොත් ගාමිණී මහත්තයගෙ චිත්‍රයක් අදින්නයි කියලා පින්තූරයක් දිහා නොබලා මට එතුමාගෙ රූපය අඳින්න පුළුවන්.’

“ඔය ඉස්සර මරදාන ගාමිණි හෝල් එකට ගාමිණි මහත්තය රඟපෑ චිත්‍රපට එනවනෙ. හෝල් එකේ ඉස්සරහ ලොකු කටවුට් ගහල තියෙනවානෙ. මමත් ඒව බලල ගෙදර ඇවිත් ගාමිණි මහත්තයාගෙ ඒ කටවුට් එකක් ඇදල අපේ ගේ ඉස්සරහ හැමෝටම පේන්න ගහල තියෙනවා. ගාමිණිගේ චිත්‍රපටයක් ආවොත් අපේ ගේ ඉස්සර මං ඇඳපු කටවුට් එකක් තියෙනවා. පාරෙ යන අයට මේක විශේෂයක් වුණා.

ඔන්න ඉතින් දවසක් දා ගාමිණි මහත්මයා අපේ තාත්තාව එක්ක යන්න වාහනේකින් ආවා කියමුකෝ. මං ගේ ඉස්සරහ ඇඳල ගහල තියෙන කටවුට් එක දැක්කයි කියමුකො. තාත්තාගෙන් එතුමා අහල තියෙනව කවුද මෙහෙම අඳින්නෙ කියලා. තාත්තා කියල පුතා තමයි අඳින්නෙ කියලා. එතුමා සතුට පළ කරල මට සිනමාස් සමාගමේ චිත්‍ර අඳින්න රස්සාවක් අරන් දුන්නා. මම සිනමාස් සමාගමේ රස්සාවට ගියා. ඒත් මට කට්ටක් කන්ඩත් වුණා. රා අරක්කු අදින්න පවා සිද්ධ වුණා. අන්තිම දුක්ඛිත ජිවිතයක් ගත කළේ.’

‘ඔය බාඳුරා මල් චිත්‍රපටය රූපගත කිරිම් කළේ බොහොම දුර පළාතක. ඉතිං ඒ චිත්‍රපටයේ පොඩි චරිතයකට තාත්තාමයි මේකට සුදුසුම කියල ගාමිණි මහත්තය ඒ තරම් දුරක ඉඳලා තාත්තාව එක්ක යන්න අපේ ගෙදරට ආවානෙ. තාත්තාට ගාමිණි මහත්තයගෙ ගෞරවයක් තිබුණාය කියල මට හිතෙන්නෙ තාත්තාත් ගාමිණි මහත්තයට බොහොම සමීපයි.’

‘මේකත් කියන්නම ඕනා තමන්ගෙ නම රැකගෙනයි. තාත්තා කටයුතු කළේ. සුරා සුදු දුම්වැටියෙන් පවා තොර ජිවිතයක් අපේ තාත්තා ගත කළේ. ඔය චිත්‍රපට වල සූර් චරිත හෙම රඟපෑවාට අපේ තාත්තා එව්ව කට හරියක තියලා නැහැ. ඒ අපේ තාත්තා තබා ගිය ගෞරවය අද අපට මේ සමාජයෙන් නිතර ලැබෙනවා. බී.ඇස්. පෙරේරාගේ පුතෙක් කීවාම ඒ සැලකිලි අපට ලැබෙනවා. අපේ තාත්තා ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්. පුතු සුනිල් කියන්නේ මුව වෑහෙන සතුටු බර සිනහවෙනි.

‘ඒ කාලෙ මං චිත්‍ර අඳිනකොට අපේ තාත්තා මට ළඟට වෙලා බලා ඉන්නවා. විටෙක මට උපදෙස් දෙනවා. අඩුපාඩු තැන් පෙන්වා දෙනවා. අගය කරනවා.’ මා සුනිල්ගෙන් විමසූ පැනයකදී හේ ගත් කටටම මෙලෙස පිළිතුරු දුන්නේය.

‘අපෝ ඇයි නැත්තේ. තාත්තා මට බල කරලා නැහැ මමත් චිත්‍රපට නළුවෙක් වෙන්න ඕන කියලා. මමත් චිත්‍රපට දෙකක විතර රඟපෑවා. ඒක එතැනින්ම ඇතියි කියලා හිතුණා. මේ එදිනෙදා අපේ ජිවිතයේදී අපි කරන්නෙත් එක්තරා විදිහක රඟපෑමක්නෙ. මගේ බාල මල්ලි රවි චිත්‍රපට කිහිපයකම රඟපෑවා.’

සිනමා නළුවකුව ආ ගමනේ දී අපේ කතා නායකයාණෝ අලුත් පියවරක් ඉදිරියට තැබුවේය. ඒ රොඩීගම චිත්‍රපටය තැනීමෙනි. ඒ පිළිබඳව පුතු සුනිල් කියන්නේ රොඩී ගම හැදු තාත්තා ඒ චිත්‍රපටය ගැන බොහෝ බලාපොරොත්තු ඇතිව සිටි නමුත් එය අසාර්ථක චිත්‍රපටයක් වූ බවකි. එදා රසිකයාට එම චිත්‍රපටය ඇල්ලුවේ නැති බව ද පැවසු සුනිල් දැන් හැදෙන චිත්‍රපටවලට අනුව තාත්තාගේ රොඩීගම උසස් නිර්මාණයක් බව ද කියන්නේය.

ආගම දහමට ලැදි සුපසන් බෞද්ධයකු වූ බී.ඇස් කා අතරත් ප්‍රකට ව සිටියේ සුහදශීලි පුද්ගලයකු හැටියටය. ඔහුගේ ඇසුරට පත් අයෙකු වේද කිසිවිටෙක ඒ ඇසුර අතරමඟ නතර වුයේ ද නැති. ඒ ගැන අපේ සුනිල් කියා සිටියේ මෙබඳු කතාවකි.

‘දැන් බලන්නකො. අපේ තාත්තා චිත්‍රපට තුªන්සිය පණහක පමණ රඟපෑවනෙ. එතරම් චිත්‍රපට රැසක කෙනකුට රඟපාන්න නම් සැබෑවටම ඒ ඒ අය එක්ක කොහොම විශ්වාසයක් හොඳ හිතක් ආරක්ෂා වී තියෙන්නෙ ඕන ද. ඒකෙන්ම පැහැදිලි වෙනවා. අපේ තාත්තා සිනමා ක්ෂේත්‍රය තුළ අන් අය සමඟ ගැවුසණු හැටි, ඇත්තටම මිනිස්සු එක්ක තාත්තා තබා සිටි සහසම්බන්ධතාවය ගැන සමහර වෙලාවට මට පුදුමයකුත් ඇතිවෙනවා.’

වි්ජය කුමාරතුංගයන් අසනීප ව පසුවුයේය. එතුමා ළඟ සිටියේ අපේ කතා නායකයාය. සහෝදර ශිල්පියකුගේ දුකක් කරදරයක් දැනගත් විටදී හෙතෙම එහි ගොස් සොයා බැලුවේය.

‘ඔය කලා ලෝකයේ සමහර දෙනා ගැන එක එක කතන්දර ඇහෙනවනෙ. නම් වශයෙන් ඉතින් කියන්න ඕන නැහැනෙ. ඒ අතින් අපේ තාත්තා චරිතවත්. තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන කවදත් කටයුතු කළේ. අපේ තාත්තා ගෙන් දරුවන් හැටියට අපත් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ නිසාම අද අපිත් සමාජයේ යම් ගරුත්වයක් ලබමින් මිනිස්සු වගේ ජිවත් වෙනවා. ඒ අතින් අපි අපේ තාත්තාට පින් දෙනවා හදවතින්ම.

බී.ඇස්. ගේ පුතු චිත්‍ර ඇදීමෙහි දක්ෂයෙකු වුව ද ඔහුට ගුරුවරයකු නැති බව කියන අතර ගාමිණි දැකීමෙන් ගාමිණිගේ පින්තුර දැකීමෙන් තමන් චිත්‍ර ශිල්පයට වහ වැටුණු බව ද කියයි.

මොරටු පුරවරයේ චිත්‍ර ශිල්පියා ඔහුය. ප්‍රදේශයේ සෑම පාසලකම පාහේ ඇතුළත පිටත තාප්පවල පවා චිත්‍ර ඇඳ ඇත්තේ ඔහුමය. ගායනයට ද සමත්කම් පානා ඔහුට ඒ වාසනාව ද හිමිවුයේ තාත්තාට ද හොඳින් ගායනා කිරිමේ හැකියාව තිබීමෙන් බව සුනිල් කියන්නේය. දරුවන් දෙදෙනකුගේ පියකු වන සුනිල්ගේ බිරිඳ ඉන්ද්‍රා කුමාරිය. ග්‍රැෆික් ඩිසයිනර් කෙනකුවන සම්පත් හා කව්මද මාලි පුතු හා දියණියය.

අපේ ආදරණීය කතා නායකයාණෝ වරින් වර රෝගාතුර වෙයි දියවැඩියාව රෝගය ද වරින් වර උත්සන්න වෙයි. පුතු සුනිල් තාත්තා ළඟමය. මේ අතරේ දී ද හෙතෙම නාට්‍ය කටයුතු සඳහා කොළඹට යයි.

රෝගාතුර වීම නිසාම දැන් වැඩිපුර කාලය ගෙවෙන්නේ ගෙදරමය. හලාවත ඔහු ඉදිකළ සුවිසල් නිවසේ පදිංචියට තම පවුලේ අය සමඟ ගිය හේ විවේකීව පසුවුයේය. පුතු සුනිල් මෙසේ කියන්නේය.

මේ කාලෙ තාත්තා තනියෙන්. අපි ළඟ හිටියා. තාත්තාව බලන්න කියල නළු නිළියො කවුරුවත් ආවෙ නැහැ. ඒ ගෙදරත් මගෙ නමට ලියලා තිබුනෙ. දැන් තාත්තාගෙ කාලය ගෙවී යන්නෙ අපිත් එක්කලමයි.’

ඔහුගේ දියවැඩියා රෝගය උත්සන්න වෙයි. අපේ ආදරණීය බී.ඇස්. පෙරේරා හලාවත රෝහලට හදිසියේ ඇතුළත් කෙරිණි. තම දරු පවුලට හොඳ නමක් හදා දුන් කා හටත් පේ‍්‍රමණීය හිතවන්තයකු වූ අපේ සොඳුරු කතා නායකයාණෝ හලාවත රෝහලේ දී 1982 ක් වූ ජුනි මස 23 දා වයසින් අවුරුදු 59 වන වියෙහිදී සියල්ලනගෙන්ම සමුගෙන යළි නොඑනා ගමනකට නික්ම ගියේය.

 

[email protected]