වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘ඇත්තටම මං බොහොම සතුටින්’

මින් වසර හැටකට පමණ ඉහත දී එදා ගුªවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක සේම නර්තන වේදිකාවේ දී නැටුම් ශිල්පිනියක ලෙසින් ද නමක් දිනූ ඕ මට හමුවුයේ නාරාහේන්පිට ඇයගේ සිය නිවසේදිය.
මේ වන විට ජිවිතයේ සැඳෑ සමයේ 91 වන වියේහි පසුවන ඕ තොමෝ නමින් ඔබත් මමත් මැනවින් හඳුනන වජිරා බාලසූරිය හෙවත් වජිරා සෝමා බාලසූරිය මහත්මියයි.
තවත් අයුරකින් කිවහොත් ග්රැමෆෝන් යුගයේ පසුභාගය නියෝජනය කළ ඇත්තන් අතර පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වෙනුවෙන් යුග ගී හඬ සහායිකාව ලෙසින් සිය කටහඬින් සේම රුවින් ද පිරිපුන් සුන්දර යුවතියකව එදා සිටියේ ඇයය.
ඇය පැමිණි ගමනේ දී ඒ ඒ සුවිශේෂී තැන් ඇයට තවමත් මතකය. පෙනීමෙහිද ඇසීමෙහි ද කිසිත් අඩුවක් නැති මුව පුරා ඉහිරෙන සිනහව මුවඟින් බැහැරව යන්නේ ද අහඹුවෙනි.
ඉතිං ඔබතුමියට කොහොමදැයි විමසූ පැනයක දී ඕ සිනාබරව පිළිතුරු දුන්නේ ‘මං හොඳින් ඉන්නවා. දැන් ඉතින් අපි වයසයිනෙ. ඒ කාලෙ අපි ගොඩක් වැඩ කටයුතු කළානෙ.’ ඕ තවමත් සිනා විකසිත මුවිනි.
ඈ පිළිබඳව වඩාත් ඔබට පහදනු රිසියෙන් එදා ගුවන් විදුලියෙහි ගීත නාටකය පෝෂණය කිරිමෙහිලා ඇප කැප වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ උල්පත නම් ගීත නාටකයේ එහි කුට ප්‍රාප්තිය ලෙසින් සලකුණු කැරෙන ඔහු විසින්ම රචනා කරන ලද පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කරන ලද මේ ප්‍රකට ගීතය ගුවන් විදුලි ගීත නාටක ඉතිහාසයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සේ සැලකෙයි. මෙහි සංගීතය නිමැවූ අමරදේවයන් සමඟ යුග ගී ගායනයේ සහායිකාව වුයේ මා සමීපයේ පසුවන අපේ වජිරා සෝමා බාලසූරිය ගායන ශිල්පනියය.
පේ‍්‍රම තටාකේ මේකයි මැණිකේ//
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි ඉවුරෙ වදින්නේ
පේ‍්‍රමා තටාකේ....
මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීතයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ
චම්පා චම්පා කියලයි මැණිකේ
ඕළු මලේ අර පෙති නැටවෙන්නේ//
ඔබේ ඉඟ මෙවුලේ මිණිකැට දැකලයි
මාළු පැටව් මේ දිවගෙන එන්නේ
පේ‍්‍රම තටාකේ...
හිමියනි ඔබගේ පුළුලුර තලයේහී
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරී තිබෙන්නේ
අනාගතේ මෙහි පෙම් රස විඳිනා
හදවත්වලටයි රසය දැනෙන්නේ//
ඒකයි මැණිකේ මේ වැව් දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
පේ‍්‍රමා තටාකේ....
මම ඇයට සවන් දෙමි
‘මං ඉතින් පුංචි කාලෙදිත් ගීත ගායනයට හරිම කැමැතියි. අපේ පවුලෙ අට දෙනයි. මම තමයි හත් වැනියා. මගේ පාසල් වියේදි මම වජිරා චිත්‍රසේන නැටුම් ආයතනයට ගියානෙ නැටුම් ඉගෙන ගන්න තියෙන ආසාවට. එතැනට එනව අපේ අමරදේව මාස්ටර්. මාත් එක්ක බොහොම සුහද වුණා.
නැටුම් පන්තියෙදි ලැබෙන විවේකයේදි මගේ වැඩේ ම ගීත ගායනය කරන එකයි ඔන්න ඒ වෙලාවක මට ආරාධනා කළා අමරදේව මාස්ටර් එක්ක ගයන්න කියලා. දැන් ඉතින් අමරදේව මහත්තයයි මමයි ඉඩ ලැබෙන හැම වෙලාවකම ගීත ගායනවා. එතුමා මාව ගොඩක් අගය කළා මට මතකයි.
1965 වසරේදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ඕ තොමෝ ගුරු මව් වරම් ලැබුවාය. ඒ ඉංගී්රසි මාධ්‍යයෙනි. වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය, රත්මලානේ ධර්මාරාම ආදී විද්‍යාල රැසක ඉංගී්රසි විෂය පිළිබඳ ගුරුතුමියකව සිසු දූ පුතුනට සිප්සෙත බෙදා දුන්නාය.
වේදිකා නාට්‍යය රංගනයට ද පෙම් බැඳි ඕ නාට්‍ය රැසකම රඟපෑව ද දිගටම රඟපාන්නට වුයේ නල දමයන්ති වේදිකා නාට්‍යයේය. ඇය වඩාත් සිත්ගත් වේදිකා නාට්‍යයක් වූ චණ්ඩාලි නාට්‍යයේ ද එක දිගටම රඟපෑවාය.
එදා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක වන ඕ හා හා පුරා කියා ගුවන් විදුලි ගායනයකින් රසික හද නිදන් වුයේ ඇයගේ පළමු ගීතයෙන්මය. ඒ ගීතය ඔබ ද මම ද වඩාත් හොඳින් රස විඳි ඇතිවාට සැක නැති කරුණරත්න අබේසේකර ශූරීන් පද රචනය කළ එම ගීතයේ සංගීතය එම්. ඩබ්ලිව්. පීරිස් ගෙනි.
‘අම්මා මාව දොයි කරන්න
හදපු හැටි අගෙයි.’
දොයි දොයි දොයි කියලා
බයි බයි බයි ගයාලා//
සැනසිල්ලේ හිතාලා-
නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න
හදපු හැටි අගෙයි.
‘ඔන්න බබෝ ඇතින්නී -
ගල් අරඹේ සිටින්නි//
ගලින් ගලට පනින්නී -
බබුට බයේ දුවන්නී//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
හඳ එළියක් පෙනේනේ -
හඳ මාමයි එබෙන්නේ//
කිරියි පැණියි ගෙනෙන්නේ -
මගේ දූටත් බෙදන්නේ //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.
සිංහල භාෂාවේ අක්ෂර හෝඩියෙන් ද්වනිත වන ඇතැම් ශබ්ද අතිශය කන්කලු ලෙසින් ඇයටම ආවේණික ශෛලියයකින් හසුරුවන්නට වජිරා බාලසුරිය ගායන ශිල්පිනිය සමත්කම් පෑ බව විද්වතුන්ගේ මතයයි. එපමණක් නොව ඇයගේ එම සුවිශේෂී හැකියාව අභිබවා යන්නට කිසිදු ශිල්පිනියක් එකල නුවු බව ද කියැවෙයි.
ගුවන් විදුලියෙන් එදා අපට ඇගේ හඬින් ඇසුණු තවත් ගීත රැසක් ද අපට තියේ. වැදි මූ සුගත සෑසි පියා - සුදු අරලිය මලිනි පුදා - සසර දුකින් එතෙර වන්න - පතමු නිවන් සැපත සැමා..’ හඳපානේ වැලිතලා, සීගිරියේ පුන්සඳ කැලුම්, ආදී තවත් ගීත රැසක් ද එදා ගැයුණේ ඇයගේ මනබඳනා මිහිරි හඬිනි.
‘ඒ කාලේ ගුවන් විදුලියෙ තිබුණානෙ ළමා ගී සඳැල්ල, රසදීපනී, උල්පත ගීත නාටක සංගීත වැඩසටහන්. ඒවායෙදි අමරදේව මාස්ටර් සමඟ මම ගීත බොහොමයක් ගායනා කළා. සීගිරියේ සිතුවම් රමණී, යසෝදරා කුමරියේ, වන බඹරෝ, සවන පිනන, රත්තිලකා, කෝමල පානී ආදී ගීත ද ඇයගේමය.
ප්‍රකට ව්‍යාපාරියකයකු වන එම්. බී.එච් වාරියපොල මහතා සමඟ විවාහ වූ ඇය මේ වන විට පින්වන් දෙදරු මාතාවකි. ඒ පුතුන් රටට දැයට අතිශයින් වැඩදායී පුරවැසියන්ව විසීම ද ඇයට මහත් සතුටකි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල මහතා සහ එතෙර වෙසෙන පුතු පුබුදු වාරියහෙල මහතාය. ඒ වාසනාවන්ත පුතුන් දෙදෙනාය.
‘මං ගොඩක් වාසනාවන්ත අම්මා කෙනෙක්.’ ඕ සතුටින් කියන්නීය.
සැට වසකට පමණ ඉහත සුරිය සංකර්, මොල්ලිගොඩ, සුනිල් සාන්ත, දේවාර් සුරියසේන, සරණ ගුප්ත අමරසිංහ, වින්සන්ට් සෝමපාල, අමරදේව, එන්.කේ. කාරියවසම්, තිලකසිරි ප්‍රනාන්දු, චන්ද්‍රා ද සිල්වා, කමලානි ආදී එදා ගී රසික හදට ආශක්ත වුවන් අතර අපේ වජිරා සෝමා බාලසුරිය මහත්මියට ද හිමිවුයේ සුවිශේෂි තැනෙකි.
කොලොම්බියා ග්රැමෆෝන් තැටි ලේබලයේ වජිරා නාමය සඳහන් නොවන අතර ඇය ගැයූ ගීත රැසක් එම තැටියේ සඳහන්ව ඇත්තේ ඇගේ නාමයේ සෝමා කොටස පමණෙකි.
යටගියාව අලුත්වීමෙන් ඕ සතුටින් යැයි සිතේ. ඇය එදා ගැයූ ගීතයක් තොල් මතුරන්නීය. මා ඇයගෙන් කළ ඇරියුම පිළිගත් නිසාවෙන් ඈ ගීත කිහිපයක්ම මට ඇසෙන්නට ම ගායනා කළාය. ඈ පිළිබඳ උපන් ස්නේහය මා සිතෙහි උතුරා පිටාර ගියාක් වැන්න. ඕ සිනාසෙන්නීය.
‘හාස්කමකින් වගේ කාලය වෙනස්වෙලා ආපහු ඔබතුමියට ඒ දවස් උදා වුණොත්...’ මම දයාබර ව විමසුවෙමි.
‘අනේ ඒක එහෙම නම් කොයිතරම් දෙයක්ද? මං තාමත් සින්දු කියන්න ආසයිනෙ. ඒත් එහෙම කාලයක් ආයෙත් එන්නෙ නැහැනේ.’ ඈ සිනාමුසු මුහුණිනි.
‘මං කොහොමත් සතුටින් තමා. මගේ කලා කටයුතු වලට අතහිත දුන්න හොඳ මහත්මයෙක් මට ලැබුණා. වාරියපොල මහත්මයා. මගෙ ස්වාමි පුරුෂයා එතුමා අද අප අතර නැහැ. මං හොඳ ගුරු මාතාවක් වුණා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවකට අකුරු සාස්තරේ කියා දුන්නා. මම ඉගැන්නුවේ ඉංගි්රසි විෂයනෙ. මගෙන් උගත් රටට වැදගත් බොහෝ අය ඉන්නවා.
මං හොඳ නැටුම් ශිල්පිනියක් වුණා. වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑවා. ඒ එක්කම ගුවන් විදුලියෙ හොඳ ගායන ශිල්පිනියක් වෙන්න ලැබුණා. හොඳ ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න වාසනාව ලැබුණා. අමරදේව මාස්ටර් වැනි විශිෂ්ටයන් රැසකගෙ ගෞරවය ලැබුණා. ඒ විතරක්ද වටිනා දරුවන් දෙන්නෙක් මට ලැබුණා. අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල කැලිෆෝනියාවේ ඉන්න පරිගනක ක්ෂේත්රයේ කටයුතු කරන පුබුදු වාරියපොල, ඒ මට වගේම රටටත් වටිනා මගේ පුතුන් දෙන්නා. මම මේ රැකවරණය මැද්දෙ මේ සුවසේ ඉන්නෙත් දොස්තර මහත්තයාගෙ ගෙදර. මං හැම අතින්ම වාසනාවන්තයි කියල මට හිතෙනවා.’ ඈ සතුටින් හිනැහෙන්නීය.
සමුගන්නට මොහොතක් තිබිය දී ඕ මෙසේ ද කීවාය.
‘මාව මෙහෙම සොයාගෙන දුක සැප අහන්න ගෙදරටම ආපු සරසවිය පත්තරේටත් මං බොහොම ස්තූති කරනවා. ආයෙත් දවසක එන්න.’
එදා ගීත ශ්‍රාවකයින්ගේ පි‍්‍රයතම ගායිකාවක වූ 1932 - මාර්තු මස 31 දින උපත ලද වජිරා බාලසුරිය නමින් ඉහළම නමක් දිනූ ඇයගේ සුරත අල්වා ගත් මම ඇයට දිගාසිරි පතා සමුගනිද්දී ඕ තොමෝ සිය අසුනින් නැගිට දෙඅත් එකතුව ළැමට තබා තෙරුවන් සරණයි යැයි දයාබර හඬකින් කීවාය.
එතුමියට නිදුක් නීරෝගී සුව ජිවනයම වේවා’ යි සරසවිය වෙනුවෙන් සුභ පතමු.