වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
තිස්ස මියගියත් සදාකාලිකවම මා ළඟ ඉන්නවා

ආචාර්ය තිස්ස අබේසේකර මෙලොව හැරගොස් වසර වසර 14 ක් සපිරෙන මේ මොහොතේ ඔහු පිළිබඳ සොඳුරු මතක ගෙනෙන්නට ඔහුගේ ප්‍රියාදර බිරිය අසංකා අබේසේකර සහ ඔහුගේ නිර්මාණ දිවියේ ළඟින් සිටි ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන පසුගියදා අපි සමඟ එක් වූහ.
තිස්ස අබේසේකරයන් ගැන මතකය මගේ හිතින් කවදාවත් මැකෙන්නෙ නෑ හුඟක් වෙලාවට ඒ මතකය මතක් කර ගන්න මම කැමති නෑ. ඒ මොකද ඒක මට හරි අමාරුයි.මතක් කරගන්න ගියාම මගේ හිතට දැනෙන වේදනාව වැඩියි. මම ඒක යටපත් කරගන්න හදන නිසාමද දන්නේ නෑ දිය යට ගිලුණු රබර් බෝලයක් වගේ නිතරම ඒක උඩට මතුවෙනවා. පසුගිය දවස් කිහිපයේ ම මම ඔහුව හීනෙන් දුටුවා. පසුගිය ටිකේ දැකපු මොකක් හෝ හීනෙක කොහේ හරි ඔහු හිටියා .
අනිත් කාරණය තමයි පසුගිය දවස්වල සනත් ගුණතිලක ලියූ ‘හද විල මත පිපි අරවින්දය’ කෘතිය මම කියෙව්වා. ඒ කෘතිය කියවද්දී ඔහු ලියලා තිබුණ දේවල් මට හරියට චිත්‍රපටියක් වගේම මැවි මැවී පෙනෙන්න පටන් ගත්තා. අතීතයේ බොහෝ දේවල් මට මතක් වෙන්න පටන් ගත්තා. අපි විරාගය කරනකොට අපිට දරුවෝ හිටියේ නෑ. විවාහ වුණු අලුත ම තමයි ඒ චිත්‍රපටය කළේ. විවාහ වෙලා අවුරුදු පහක් හයක් ගියා වුණත් අපි දෙන්නට දැනුණේ අපි ඊයෙ පෙරේදා විවාහ වුණා වගේ.
ඉතින් අද මගේ පුතා නිතරම මට කියන දෙයක් තමයි “මම හොයන්නේ අම්මේ අම්මාගේ අප්පච්චිගේ අතර ඇතිවෙලා තිබුණු බැඳීම වගේ විවාහයක් කියලයි.”
සනත්ගේ පොතත් සමඟ මම ජීවමාන අතීතයට ගියා. ඔහු ලියලා තියෙන සමහර සිද්ධීන් මට ඒ මොහොතේ වුණා වගේ මතකයි. විරාගයේ අන්තිම දර්ශන ටික ගත්ත හැටි මට එකින් එක එකින් එක හරියට මතක් උණා. සනත් විස්තර කරලා තිබෙන දේවල් මට හරියට චිත්‍රපටයක දර්ශන වගේ මැවිලා පේන්න ගත්තා.
තිස්ස අබේසේකර මිය ගිහින් අවුරුදු දාහතරක් ගෙවුණට ඔහු මගෙන් වෙන් උණා කියලා මට දැනුණේම නෑ. මම දන්නේ නෑ කොහොමද ඒ කියලා. හැම මොහොතෙම මට හිතෙන්නේ ඔහු ඉන්නවා කියලයි. ඔහු මිය ගියා කියන එක දැනුණේ නෑ. මට මතකයි මම නදීකා ගුණසේකර එක්ක මේ බව කියනකොට එයා මට කිව්වා “අනේ අසංකා,, අයියා ඔයාව දාල යන්නේ නෑ. අයියා ඔයා එක්ක ඉන්නවා කියලා.” කිව්වා ඇත්තටම ඔහු ඉන්න ඇති කියලා මට හිතෙනවා. මොකද මම මේ ළමයි දෙන්නත් එක්ක තනි උණා නේ. මට මම ජීවිතේ කවදාවත් හිතුවෙ නෑ මට මේ දරුවෝ දෙන්නා මේ තරම් තැනකට ගේන්න ඔළුව හදාගන්න පුළුවන් වෙයි කියලා. මට හිතෙනවා ඒකට මට ශක්තිය දෙන්න ඔහු මගේ අහල පහල ඉන්න ඇති කියලා. ඔහු දැනගෙන හිටියා ඔහු වෙන්වෙනකොට ළමයි දෙන්නා පොඩියි. මට වෙන රැකවරණයක් නෑ කියන එක. මට මතකයි එයා ජීවතුන් අතර ඉන්න කාලෙත් මගේ එක නංගි කෙනෙක් අලුතින්ම ගෙයක් අරගෙන ගෙට පදිංචි වෙන්න යන්න ලෑස්ති වෙලා අපේ ගෙදරට ගෙනත් ප්ලෑන් එක පෙන්නුවා. එතකොට තිස්ස කිව්වා “මමත් ඕගොල්ලන්ගේ අක්කාටත් එකක් හදලා දෙන්න ඕන කියලා” ඔහු කිව්වා. ඊයේ පෙරේදා දවසක අපේ නංගි ඕක මතක් කළා. නමුත් ඔහු ගේ හදන වැඩෙත් මගේ දරුවන්ට බාර දීලා යන්න ගියා.
මට මතකයි ‘පිටගම්කාරයෝ’ කරලා ඉවරවෙලා එහි ප්‍රධාන චරිතෙ කරපු ජැක්සන් ඇන්තනී කුමක් හෝ උත්සවයකදී කිව්වා තිස්ස අබේසේකර මහත්තයා වැරදිලා හොලිවුඩ් යන ගමන් ලංකාව දැකලා බැහැලා කියලා. තිස්සගේ අවාසනාවටයි ලංකාවේ වාසනාවටයි හොලිවුඩ් යන්නැතුව මෙහෙ නැවතුණා කියලා කිව්වා.
ඇත්තටම කියනවනම් තිස්සගේ නිර්මාණ ජීවිතේ ඉතාම ළඟින් මම හිටිය. ඒකත් කවුරුත් දන්න දෙයක්. කොටින්ම නිර්මාණ නිසා අපි දීර්ඝ කාලයක් යනකම් දරුවෙක්වත් හදාගන්නේ නැතිව හිටිය. එයා මිය යන මොහොත වනතුරුත් අපි ඉතාම ආදරයෙන් හිටියා. බිරිඳක් විදිහට මට සුවපහසු දිවියක් තිබුණෙ නෑ තමයි. මියයන මොහොත වන විට අපිට ඉන්න හිටින්න ගෙයක් දොරක් වත් තිබුනෙ නෑ. නමුත් අපි ලොකු ආදරයකින් බැඳීමකින් ජීවත් වුණා. තිස්ස ගේ බොහෝ මිතුරන් පවසනවා ඔහුට සුව පහසුවෙන් ඉන්න පුළුවන් වුණු නවාතැනක් මම හැදුව කියල. ඇත්තටම කියනවා නම් මම කල්පනා කරන්නේ ජීවිතේ මොන හේතුවක් මත හරි මගේ තාරුණ්‍ය කැප කරලා, මම දෙසැරයක් විවාහ වුණු කෙනෙක්ගෙ බිරිඳක් වුණත්, ඒක ගැන මට කම්පාවක් නෑ. ඒ මොකද ඒ මනුස්සයා මම ජීවත් කළා. මම හිතනවා ඒක පූර්ව ජන්මයක මට ලැබුණු වරප්‍රසාදයක් කියලා. ගෙවුණු අවුරුදු 30 ඇතුළත මට රාජකාරියක් කරන්න දෙවියෝ භාරදුන්නා කියලා මට හිතෙනවා. ඔහුව බලාගෙන නිර්මාණ යම් කිසි දෙයක් එළියට එනවා නම් ඒකට උදව් උපකාර කරගෙන, එයාගේ පිටිපස්සේ සෙවණැල්ලක් වගේ ඉන්න මට වරම් ලැබුණා. අපි දෙන්න එකතු වුණාට පස්සේ තමයි ඔහුගේ හොඳම නිර්මාණ ටික බිහිවෙන්නේ. ඔහු වෙනුවෙන් මං හිතන්නේ මම නොකළ කැපකිරීමක් නෑ. පිටරටවල ගිහින් චිත්‍රපට කරද්දී පවා මම ඔහු පස්සේ හිටියා. ඔහුට අවශ්‍ය දේ කරලා දුන්නා. නේපාලයට ඔහු ෆිල්ම් දෙක තුනක්ම කළා. පස්සේ කරපු නේපාල චිත්‍රපටියේ මමත් එයත් එක්ක හරි හරියට වැඩ කළා.
ඔහුට මම කෙරෙහි ලොකු විස්වාසයක් තිබුණා. ඒකට හොඳම උදාහරණයක් මට කිව්වෙත් ස්වර්ණා මල්ලවආරච්චි. අනේ අසංකා තිස්ස පණ ඇද ඇද හිටියත් ඔහු විශ්වාස කරනවා එයාට මැරෙන්න නොදී ඔයා එයාව බේර ගනියි කියල. කවදාවත් එයාට මැරෙන්න දෙන්නෙ නෑ කියලා විශ්වාසයක් තිස්සට තිබුණ කියල කිව්වා. ඒ උණාට ඉතින් කොච්චර උණත් අපිට යන්න වෙලාව ආවම අපි යන්න ඕන නෙ. යුතුකම් ඉෂ්ට කළා නොකළා අපි යන වෙලාවට යන්න ඕන.
මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ දැන් මට කිසි බරක් නෑ. දරුවෝ දෙන්නම ස්වාධීනයි. නමුත් දරුවෝ කියන්නේ ඒගොල්ලන්ගෙ ජීවිතයේ සාර්ථකත්වයට අම්ම ඉන්න ඕන කියලයි. ඉතින් ඒ ගොල්ලෝ මට ජීවත් වෙන්න හේතුවක් දෙනවා.
මගේ ඥාතියෙක් දවසක් මට කිව්වා ඔයාට තිස්ස මොනවා දීලා ගියේ නැති උණත් හොඳ දරුවෝ දෙන්නෙක් දීලා ගියා කියලා. ඇත්තටම ඇත්ත. ගෙවල් දොරවල්, මුතුමැණික්, සල්ලි බාගෙ නැති වුණාට මට ඊට වඩා ගොඩක් වටිනවා ඔහු දීලා ගිය දරුවෝ දෙන්නා. ඒක ඇති මට. මගේ ජීව දරුවො දෙන්නට තියෙන්නෙ ඔහුගේ ගතිගුණ.ඉතින් ඔහුගේ ලේ සුවඳ මගේ දරුවො දෙන්නගේ හැම මොහොතෙන් මට ලැබෙනවා. ඉතිං එයා මිය ගියත් මට හිතෙන්නේ ඔහු සදාකාලිකවම මා ළඟ ඉන්නවා කියලයි.
------------------------------
සිනමාවට අත්‍යවශ්‍යම යුග පුරුෂයෙක්
ප්‍රවීණ රංගනවේදිනී ශි‍්‍රයාණි අමරසේන
තිස්ස අබේසේකරයන්ගේ 14 වැනි ගුණානුස්මරණය යෙදෙන මේ මොහොතේ ඔහු පිළිබඳ අගය, ඔහුගේ වටිනාකම වඩ වඩාත් අපට දැනෙන්නේ මේ අද වගේ යුගයකටයි. තිස්ස අබේසේකරයන් ගැන අපිට කතා කරන්න හුඟාක් දේවල් තිබෙනවා. ඔහු සතු දැනුම් සම්භාරය ගැන, ඔහු අපේ චිත්‍රපට කලාවට කරපු සේවය ගැන කොයිතරම් කතා කරත් අපිට ඉවරයක් කරන්න අමාරුයි. මටත් ඔහු ඉතාම සමීපව ඇසුරු කරන්න ලැබුණා. ඇත්තටම කියනවනම් මමත් හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඔහු මිය යනතුරුම වසර ගණනාවක් අපි සමීප පවුලේ හිත මිත්‍රයන් විදියට බොහොම ළඟින් ආශ්‍රය කළා.
මට මතක් වෙනවා තිස්සව මුලින්ම මට මුණගැහුණු දවස. මට මතකයි ඒ කාලේ අමරෙ වැඩ කළේ දවස කාර්යාලයේ. ඒ නිසා ඔහුට විවිධ තැන්වල පවත්වන විවිධ සම්භාෂණ සඳහා ආරාධනා නිතරම ලැබුණා. තානාපති කාර්යාලවල, සංස්කෘතික උත්සවවල ආදිය. ඉතින් ඒ කාලයේ තිස්ස අබේසේකරත් පුවත්පත් කලාවේදීයෙක් විදියට වැඩ කළා. තිස්ස නිතරම ඒ වගේ උත්සවවලදී අපිට හම්බවෙනවා. ඒ වගේම චිත්‍රපටවල මංගල දර්ශන, මුහුරත් උත්සව සහ වෙනත් සම්මාන උත්සවවලදී තිස්ස නිතරම මට හමුවුණා. ඉතිං ඒ වෙලාවට මොනවා හරි විහිළුවක් කියලා අමරෙත් එක්ක හිනාවෙලා ඔහු ඉතාම සුහදශීලී ව අපි සමග ඇසුරු කළා. ඒ නිසා තිස්ස හරි ප්‍රියමනාප පුද්ගලයෙක් කියල මම තේරුම් ගත්තා.
ඒ කාලෙ තිස්ස හරිම කෙට්ටුයි. ඔහුට ඉතාම දිගු නැහැයක් පිහිටලා තිබුණා. පස්සේ තමයි මම දැනගත්තේ මේ කෙට්ටු මිනිසාගේ ඇතුළාන්තයේ තිබෙන දක්ෂතාවයන් කොච්චරද කියලා. මම මුලින්ම දැනගත්තේ ඔහුට ලියන්න තිබෙන දක්ෂතාවය කොයිතරම්ද කියලයි. ඔහු චිත්‍රපට දෙබස් රචනයට පුදුම තරමේ දක්ෂතාවයක් දක්වපු කෙනෙක්. ඔහුගේ දෙබස් වලට සමකරන්න මං හිතන්නෑ කිසිම දෙබස් රචකයකුට ළං වෙන්න පුළුවන් වුණා කියලා. ඒ දෙබස් වල තියෙන අමුතුම ආකාරයේ හිත දනවන හැඟීම හරිම පුදුමයි. දීර්ඝ වශයෙන් ලියන දෙබස් නොවුනත් කෙටි වදනකින් ඔහුට පුළුවන් ප්‍රේක්ෂකයාගේ හිත නළවන්න. හිත සනසන්න. හිත ඇදගන්න. ඉතිං ඇත්තටම හැම කෙනෙක් තුළම ඒ දක්ෂතාවය නැහැ. තිස්සට මේ පිහිටපු දක්ෂතාවය අති විශේෂයි. මම හිතන්නේ අපේ රටේ පහළ වුණු ශ්‍රේෂ්ඨ ගණයේ තිර රචකයන් අතරින් තිස්ස අබේසේකරයන් මුල්තැන ඉන්නවා කියලා. අපට අද ඒ සම්පත අහිමි වෙලා තිබෙනවා.
ඒ වගේම තමයි ඔහුගේ අධ්‍යක්ෂණ කාර්ය. විරාගය චිත්‍රපටය ගත්තත් මට මතක් වෙනවා ඔහු කොයිතරම් සූක්ෂම ආකාරයෙන් අපිව මෙහෙයුවද කියලා. ඔහුගේ විරාගය චිත්‍රපටයේ විතරක් නොවෙයි තවත් ටෙලි නාට්‍ය කිහිපයකම මම ඔහු සමඟ එකට වැඩ කළා. තිස්ස නළු නිළියන් හසුරුවන ආකාරය හරිම සුන්දරයි. කිසිම හිතට බයක් දැනෙන්නෙ නෑ. හරියට ආස හිතෙනවා රඟපාන්න. ඒක තමයි ඔහුගේ අධ්‍යක්ෂණය තිබෙන විශේෂත්වය. සැරවැර වෙන්නේ නෑ. කෑ ගහන්නේ නෑ .බොහොම හිමින් ළඟට ඇවිත් මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මෙන්න මේ දේ මට දෙන්න කියලා තමයි ඔහු කියන්නේ. ඔහු හරිම සූක්ෂම විදියට අපේ රංගනයේ තියෙන ඒ හැඟීම්බර අවස්ථා කැමරාවට හසු කරගත්තා. ඒක රංගන ශිල්පියකුට ලැබෙන ලොකු දායාදයක් කියලයි මට නම් හිතෙන්නේ. අපි හැඟීම් හරියට කැමරාවට හසු කරගත්තේ නැත්නම් අපේ රඟපෑම නිශ්ඵල වෙනවා. නමුත් තිස්ස අබේසේකරයන් ඒක හරියටම අධ්‍යයනය කරලා, අපේ තියෙන හැම දෙයක්ම සොරා අරගෙන ඔහු කැමරාව ඇතුළට දාගත්තා. ඒක අති විශිෂ්ටයි.
විරාගය ගත්තත් මහගෙදර වැනි චිත්‍රපටයක් ගත්තත් තිස්ස අබේසේකර කොයිතරම් දුරට තිරපිටපත වගේම අධ්‍යක්ෂණය නුත් අන්තිම ඉහළ තලයකට ගෙනල්ලා තියෙනවා.
ඉතින් ඔහොම යනකොට තමයි මට කුලගෙය කියන චිත්‍රපටය සිලෝන් තියටර්ස් සමාගම නිෂ්පාදනය කරන්න කැමති වන්නේ .සම්බන්ධීකරණය කළේ අමරේ සහ මම. එතනදි කුලගෙය පිටපත ලියන්න මම තෝර ගත්තේ තිස්ස අබේසේකර. එච්. ඩී. ප්‍රේමරත්නයන් සිලෝන් තියටර්ස් සමාගම විසින් තෝරාගෙන තිබුණා අධ්‍යක්ෂණය ට. නමුත් ඒ පිටපත අදටත් ඒ චිත්‍රපටය නරඹන කොට හිතෙනවා ඒක මට ලැබුණු ඉතාම වටිනා චරිතයක් කියලා. අද කාලෙටත් ඒ චිත්‍රපටය ඉතාමත් ම ගැළපෙනවා. විරාගයට වගේම කුලගෙට මම හරිම ආසයි. ඒ පිටපතේ තිබෙන හැඩතල චිත්‍රපටය තුළින් ප්‍රේමරත්නයනුත් මනාව පිළිබිඹු කළා. ඉතිං ඇත්තටම තිස්ස අබේසේකර දැන් අපෙන් වෙන්වී ගිහිල්ලා ඉවරයි. නමුත් ඔහුගේ මතකය අපි හැමදාමත් අලුත් කරන්න ඕන. ඒ වගේම අලුත් පරම්පරාවට ඔහුව හඳුන්වලා දෙන්න ඕන. ඒකට කරන එක ප්‍රයත්නයක් තමයි මේ පසුගියදාක විරාගයේ අරවින්ද චරිතය රඟපෑ ප්‍රවීණ නළු සනත් ගුණතිලක විසින් අරවින්ද චරිතය ගැන, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තිස්ස අබේසේකර ගැන සහ අනෙකුත් නළු නිළියන් පිළිබඳවත් ඉතාම වටිනා ග්‍රන්ථයක් එළි දැක්වූවා. හද විල මත පිපි අරවින්ද ය නමින් නම් වුණු මෙම පොත කියවනකොට ඇත්තටම ප්‍රේක්ෂකයාට සිහිපත් වෙනවා මෙන්න මේ වගේ කාලෙක මෙන්න මේ වගේ කෙනෙක් හිටියා නේද? ඔහු කොයිතරම් දෙයක් සිනමාවට දායාද කළා ද කියන එක. ඒ හැඟීම මේ පොත කියවද්දී එනවා. ඒ වගේ දේවල් නිතර නිතර ඇතිවෙන්න ඕන කියන හැඟීම තමයි මටනම් තියෙන්නෙ. ඉදිරි පරම්පරාවට, පොතපත කියවන පරම්පරාවට, කර්මාන්තයේ නියැළෙන පරම්පරාවට, මේවා ඉතාම ලොකු ආදර්ශ වේවි කියලා මට හිතෙනවා .
තිස්ස අබේසේකර කියන්නේ හරිම කාර්යශීලී ඒ වගේම හරිම කාර්යබහුල කෙනෙක්. කොච්චර කාර්යබහුල වුණත් ඔහුට තිබුණා හරි සැලසුම්. හරි වෙලාවට ඒව සකස්කරගත්තා. ඒ වගේම ඔහු දරුවන්ට බොහොම ආදරේ කරපු කෙනෙක්. ඔහුගේ බිරිඳට හරියට ආදරය කරපු කෙනෙක්.
ඔහු ගැන කියනවා නම් තවත් බොහෝමයක් දේවල් තියෙනවා කියන්න ඔහු ඉතාම වටිනා සිනමාවටත් අත්‍යවශ්‍යම යුග පුරුෂයෙක් කියලා මට කියන්න පුළුවන්. ඔහු පිළිබඳව ඔහුගේ ගුණානුස්මරණ මොහොතකදී ඔහුව සිහිපත් කරන්නට මට අවස්ථාව ලැබීමත් ඇත්තටම මටත් මගේ අතීතය සිහිපත් කිරීමක් කියලා හිතෙනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න