මගේ තාත්තා මාව හැමෝටම පෙන්නුවේ මේ ඉන්නේ මගේ අම්මා කියලයි.”

ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නගේ දෙටු දියණිය ගයත්‍රී ප්‍රජාපතී පූර්ණා එදිරිමාන්න කියයි
මාර්තු 30, 2023

 ‘මගේ ලෝකයේ වීරයා, මගේ තාත්තා - තාත්තා මාව හැමෝටම පෙන්නුවේ ‘මේ ඉන්නේ මගේ අම්මා’ කියලයි. අපේ තාත්තා හැමදාමත් අපට ආඩම්බරයක්. ගෞරවයක්’.

හෙළ සිනමා වංශ කතාවට නවමු අරුතක් සපයන්නට සමත් වූ එදා රිදී තිරය ඔපලූ සිය හැඩකාර බව සේම වැඩකාර බව නිසඟ කුසලතාවෙන් ගම්‍ය කළ රූපණවේදියා ඔහුය. පේ‍්‍රමණීය රොමැන්ටික් බව සම්මිශ්‍රණය කළ මේ අසහාය රූපණවේදියා අන්තර්ජාතික සිනමා තාරකා අතරට නෑකම් කියන්නකු ලෙසට ද එකල පාත්‍රවිණි.

එදා සිනමාවේ 42 වන සිනමා සිත්තම වූ එදා සිනමාව ඉහළට ඔසවා තැබූ ‘ශූරයා’ තුළින් බිහිවුයේ මනා කඩවසම් පෞරුෂයකින් හෙබි අපේ ආදරණීය ඇල්ප්‍රඩ් එදිරිමාන්නයන්ය. නැතහොත් එදා පනහේ දශකයේ ඇල්මැරුණු සිනමාව නවමු දිශානතියකට බඳුන් කරවන තරමේ සක්‍රීය රඟපෑමකින් ප්‍රේක්ෂකයා ආශක්ත කරවන්නට තරම් සමත් වුයේ මේ අපේ සොඳුරු කතා නායකයාය. ඉකුත් 25 දිනට යෙදී තිබුණේ එතුමාගේ ජන්ම සැමරුම් දිනයය. මේ ආදරණීය පිළිසඳර ඒ නිමිත්තෙනි.

‘කතා කළ යුතුම චරිතයක් අපේ ඇල්ප්‍රඩ් එදිරිමාන්න මහත්මයා. එතුමා ගැන ලියන්නැයි සරසවිය ප්‍රධාන කර්තෘතුමා ද සඳහන් කළ අයුරින් මා ගියේ එතුමාගේ සිව් දූ දරුවන් අතර දියණිය ගයත්‍රී ප්‍රජාපතී පූර්ණා එදිරිමාන්න මහත්මියගේ නිවසටය. අතිශය පි‍්‍රයමනාප රුවකට හිමිකම් කියනා ඕ තොමෝ ආලින්දයට කැඳවමින් ඇය ද එහි සුවපහසු අසුනකට බර දුන්නාය. ඕ උතුරා යන සිනාමුසු මුහුණිනි.

‘අපේ තාත්තාට දූ දරුවන් හතර දෙනයි මගේ අක්කා බිම්බා යසෝධරී, අයිය තමා චින්තක දේවින් ද, තුන්වැන්නිය මම ගයත්‍රී බාල සහෝදරයා ලක්විජය හරීන්ද්‍ර වංශනාථ, මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා. මගේ අම්මත් අපට වටිනවා. ඊටත් වඩා මම මගේ තාත්තාට තමා සමීපවම උන්නේ. ඒ උණුහුම අදටත් යටිසිතට දැනෙනවා වගේ. (ඈ සිනාසෙන්නීය) තාත්තාගේ ඇඟ උඩට නැගල නිදාගන්න අපි පොරකාපු හැටි මතක් වෙද්දි හිනහත් යනවා. අපේ තාත්තා අපට ලෝකයක්.’

තාත්තා පිළිබඳ පිළිසඳර ඇයට මහත් සොම්නසම ගෙන දෙන්නක් යැයි ඒ මුහුණින් කියැවෙයි. වරෙක ඕ නිහඬවම පසුවෙයි. තවමත් හිතට ළඟ තාත්තාගේ මතක මං ඔස්සේ සැරිසරන්නී යැයි ඇයගේ නිහඬතාවයෙන් මට හැඟේ.

ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ජෝකින් එදිරිමාන්න සහ කැරොලයින් එදිරිමාන්න මවුපිය දෙපළට දූ පුුතුන්ම අට දෙනෙකි. ඉන් එම පවුලේ පස්වන පිරිමි දරුවා වුයේ අපේ ආදරණීය කතා නායකයාය. උපන්නේ නුගේගොඩ කොස්වත්තේය. උපන් දිනය 1929 ක් වූ මාර්තු මස 25 වනදාය. අපේ කතානායකයාට මිලි අක්කා, මාටින් අයියා, චාල්ස් අයියා සහ චාලට් අක්කා වැඩිමහල් අය වූහ. ඔහුගේ කුඩා විය අතිශයින් රසවත්ය. තම සම වයසේ මිතුරන් හා මල්ලිලා දෙන්නා ද සමඟ කෝට්ටේ, කොන්තගන්තොට තොටුපලින් (වර්තමාන පොල්දුව හන්දිය) පාරුවක නැඟී කවි සින්දු කියමින් ගිය සැටි. වැල්ලවත්ත අසලදී මුහුදට පැන විනෝද වූ සැටි පාරු බත් කා ගෙදරට ඇවිදින් දඬුවම් විඳගත් හැටි. කෙසේ නමුදු තම සෙසු දූ පුතුනට වඩා තම ඇල්ෆ්‍රඩ් පුතුගෙන් කිසියම් වෙනසක් දුටු තාත්තා ජෝකින් තම බිරිය කැරොලයින්ට නිතර කියන්නට වුයේ ‘මං හුණා කියන්නැහේ කියන්නං. අපේ ඇල්ෆ්‍රඩ් ලොකු වුණාම රටේ හොඳම තැනකට එනවා.’ එය බිරිය ද අනුමත කළාය.

මුලික අධ්‍යාපනය ලැබුවේ මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයේය. ඉගෙනුමට ද දැක්වුයේ සමත් බවෙකි. පාසල් අධ්‍යපානයෙන් පසු කොළඹ පැමිණි හෙතෙම අගනුවර ප්‍රකට වෙළඳ ව්‍යාපාරයක සහායකයකු ලෙස රැකියාවක් ලැබුවේය. කෙටි කලකින් එතැනින් ඉවත්ව ගිය හේ රජයේ සේවයට බැඳුණේය. ඒ 1953 වසරේදීය. නාට්‍යවේදීයකුª වූ ආර්නල්ඩ් වික්‍රමසුරිය ඔහුට හමු වූයේ 1954 දීය.

ඉලංගරත්නයන් ලියූ ‘හඳහන’ ඇසුරින් වේදිකා නාට්‍යයක් එළිදැක්විණි. එහි චරිතයකට පණ පොවන්නට අවස්ථාව උදා විණි. ඒ අපේ කතා නායකයාගේ රංගන ජිවිතයේ ප්‍රථම වේදිකා රංගනය වෙයි. තවත් නාට්‍ය රැසකම හෙතෙම රඟපෑවේය. එහෙත් ‘හඳහන’ වේදිකා නාට්‍ය රඟපෑමත් සමඟින් අපේ ආදරණීය කතා නායකයාට සිංහල සිනමාවට එන්නට වාසනාවේ ‘පොට’ පෑදුණේය. ඒ එහි දී ප්‍රකට සිනමාකරුවකු වූ කේ. ගුණරත්නම් මහතාගේ හමුවීමෙනි. සැබැවින්ම එය දෛවෝපත සිදුවීමක්මය. ‘ඇල්ෆ්‍රඩ්, මගේ මීළඟ චිත්‍රපටය ශූරයා මේ චිත්‍රපටයේ ‘සරත්’ ප්‍රධාන නළුවා තමයි ඔබ.’ අපේ කතා නායකයා ගේ අත තවමත් ගුණරත්නම්ගේ සුරතේය.

තම පියාණන්ගේ සේයාරුවක් සුරතේ තබාගත්වනම එදෙසම නිහඬවම බලා සිටින ගයත්‍රී දැහැනින් මිදුණාසේ වහා මදෙස බැලුවාය. දෑසෙහි සිරවී තිබී කඳුළක කැළලක් ඕ වහා අතෙකින් පිසදා ගත්තේ අසුරු සැණිනි.

‘අපේ තාත්තා කවදාවත් අම්මා එක්කල රණ්ඩු වුණු දවසක් නැහැ. මගේ ජීවිතයේ ප්‍රශ්නයකදී මධ්‍යස්ථව බලන විදිහ මං පුරුදු වුණෙත් මගේ තාත්තාගෙන්. අපේ තාත්තා ළඟ උතුම් මනුස්ස ගති ඕනෑතරම් තිබුණා. ඒ බව ආශ්‍රය කරපු හැමෝම දන්නවා. අපේ තාත්තා මාව හැමෝටම පෙන්නුවේ කවුරු කියල ද අමල් අයියා හිතන්නේ? මම නිරුත්තරව ඈ දෙස බලා සිටියෙමි. ‘මේ මගේ අම්මා කියලයි තාත්තා මාව හැමෝටම පෙන්නුවේ’ ඕ සිනාසෙන්නීය. ඒ අතරේ මා කඳුළක කැළලක් ඈ දෙකොපුල මත දුටිමි.

ලාංකේය සිනමා ශාලා පිරී ඉතිරිණි. ‘ශුරයා’ පෙරමුණේය. කොටින්ම කිවහොත් එදා තිරය අරක්ගෙන සිටි පේ‍්‍රම් ජයන්ත්, ස්ටැන්ලි පෙරේරා හර්බට් ඇම්. සෙනෙවිරත්න වැන්නන්ට වඩාත්ම අපේ කතා නායකයා ඉදිරියෙනි. තනිව ගමනක් යාගත නොහැකි තරමට රසික දනන් ඔහු වටකොට ගති. දැන් අපේ සිනමාවේ අලුත්ම ශුරයා නැතහොත් අලුත්ම නළුවා ඔහුය.

එතුමා කාර්ය බහුල නළුවකු බවට පත්වෙද්දී තම රස්සාව රැකගන්නට ද මහත් පරිශ්‍රමයක් දැරුවේය. ගුණරත්තම් මහතා කීයේ ඔයාට චිත්‍රපට එක දිගට එනවා. මාසිකව රුපියල් 500ක් දෙන්නම්. රස්සාවේ පඩිය වගේ නෙවෙනෙ. හිතලා බලන්නකො කියාය. මේ වනවිට ඔහු රඟ පෑ දෙයියන්ගේ රටේ, නළඟන චිත්‍රපට තිරගත වන්නට නියමිතය.

පනහේ දශකයේ නොම්මර එකේ නළුවාගේ ප්‍රියතම මිතුරිය රුක්මණී දේවිය. ප්‍රධාන චරිත, දුෂ්ට චරිත සේම උප ප්‍රධාන චරිත ද එකසේ හෙතෙම රඟපාමින් ඉදිරියටම ගියේය. චිත්‍රපට 21ක මේ වනවිට රඟ පෑ අපේ කතා නායකයා ගේ වඩාත් සිත් බැඳී තිබුණේ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ ගේ විල්බට් චරිතටය. ඉන් ඔහු විශිෂ්ටතම නළුවකු බවටද ප්‍රකට කළේය. එවක කලඑළි බසිමින් සිටි ගාමිණි ෆොන්සේකාගේ රංගනයට කරට කර දක්ෂතා පෙන්වන්නට ඔහු සමත් වුයේ ආත්ම පූජා චිත්‍රපටයෙනි.

මම ගයාත්‍රිට සවන් දුනිමි.

අපේ තාත්තා හරිම සංවේදි කෙනෙක්. තව කෙනෙකුට උදවු කරන්න ඇත්තම් තාත්තා ඒ සතුට ඉහළින්ම වින්දා. හිත උණුවෙනවා. චිත්‍රපට තාත්තාට ආවාට තාත්තා රස්සාවත් රැකගන්න උත්සාහ කළා. එයාගේ දරු පවුල ගැන තිබුණු හැඟීම නම් තාත්තාගේ අනික් වැඩ කටයුතු දෙවන පෙළට තබා තිබුණෙ. පොහොයදාට සිල් සමාදන් වෙනවා. බුදුදහමට පුදුමාකාර ශ්‍රද්ධාවක්. භක්තියක් තිබුණ. ඒ භක්තිය කෙතරම් ද කියනවානම් වෙනත් ආගමක චරිතයක් රඟපාන්න ලැබුණමත් මං හොඳ බෞද්ධයෙක් කියලා එම චරිත ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තියෙනවා.” ඇය පවසන්නීය.

අපේ ආදරණිය ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නයන්ගේ ආදරයේ හද විවර වුයේ රූමත් තරුණියකටය. ඕ තොමෝ වෘත්තියෙන් හෙදියකි. ඒ ගැන කීවේ එතුමාගේ ප්‍රිය භාර්යාව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනි සුමනා එදිරිමාන්න මහත්මියය.

‘අපි දෙන්නා හමුවෙන කොටත් එයා ඉහළම ජනප්‍රියත්වය ලැබූ නළුවෙක්. නළුවෙක්ව කසාද බදිනවා කියන්නේ යකෙක් බැඳගත්තා වගේ කියලා මට හිතිල තිබුණෙ. අනේ, මට ලැබුණෙ වටිනා ගතිගුණ ඇති ආදරය හඳුනන විශ්වාසවන්ත ස්වාමියෙක්. අපි හොඳට තේරුම් අරන් උන්නා. පස්සේ අපි විවාහ වුණා.”

සුමනා එදිරිමාන්න මහත්මිය බොහෝ දේ කීවාය.

චිත්‍රපටවල රඟපෑමට ඉන්දියාවට යා යුතුය. එතැනදි රස්සාව අනතුෙර්ය. ඔහු ලිපියක් ලියාගෙනම එවක අගමැති ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හමුවන්නට රොස්මීඩ් නිවසට ගියේය. හරසරින් පිළිගත් අගමැතිවරයා ඔහුගේ කතාවට සවන් දුන්නේය.

“ඉන්දියාවට මොකටද චිත්‍රපටි කරන්න යන්නේ? හරි අපි ඔය වැඩේ ලංකාවෙම කරන්න සාකච්ජා කරමු” කියා නිවාඩු පිණිස ලිපියට අනුමැතිය ද දුන්නේය. ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට ඇවැසි පහසුකම් ද සපුරා දුනි. ජාතික චිත්‍රපට සංස්ථාව බිහිකර ලීමෙහි පුරෝගාමී කෘතවේදිත්වය අදත් එතුමාට හිමිවනුයේ එබැවිනි.

අද්විතිය ස්ථානයක සිය නාමය රඳවා තබන්නට තරම් සමතකු වූ අපේ කතා නායකයා සිනමාව පමණක්ම නොව වේදිකාව, ගුවන් විදුලි ප්‍රාසංගික නාට්‍ය ටෙලි නාට්‍යය ආදී ක්ෂේත්‍ර ගණනාවක තම විසල් ප්‍රතිභාව විදහා දක්වන්නට සමත් වුයේය.

තමන්ගේ පියාණන් සේම තම මෑණියන්ගේ අගය ද කියාපෑමට අමතක නොකළ දියණිය ගයත්‍රී කීවේ ‘තාත්තාගෙ කාර්ය බහුල ජිවිතය අතරේ ගෙදර වැඩ කටයුතු පිරිමැහැව්වේ අපේ අම්මා. තාත්තා වගේමයි. අපේ අම්මාත් උදව් උපකාර වලදි තරාතිරම උස්පහත් ඛේද නැහැ. ඒ උතුම් ගුණාංග දරුවන් වන අපටත් ලැබුණෙ අම්මා තාත්තාගෙන් ඒවා නිතර දුටු නිසයි.”

අපේ කතානායකයාට 80 ජුලි වැඩ වර්ජනයේදි දිවිහිමියෙන් රැකගත් රජයේ රස්සාව අහිමිව ගියේය. ඉන් නොනැවතී ගුවන් විදුලිය ද ඔහුට තහනම් කලාපයක් බවට පත්විණි. ගෙදර පසුවන විවේකය රස ගුලාවකට හැරෙන ගෙතුළ නිහඬය. අපේ කතා නායකයා බලවත් සේ කම්පිතය.

“ඒ දවස් මට තාම මතකයි. මතක් වෙනකොටත් වේදනාවයි අනේ මගේ තාත්තා බලාගත් අත බලාගෙනමයි මගේ දරු පවුල රැකගන්නේ කොහොමද කිය කියා හීල්ලුව හැටි තාම මතකයි.”

හෙතෙම නළු නිළි එකමුතුවක අවශ්‍යතාව පෙනී ‘හෙළ චිත්‍රපට නළු නිළි හවුල’ පිහිටවනු ලැබිණි. එහි ප්‍රධාන ලේකම්ධුරය හෙබවුයේ ද ඔහුය. 1970 වනවිට මහ මැතිවරණයට සාපේක්ෂව ප්‍රගතිශීලී පෙළේ ප්‍රබලතම සංවිධානයක් ලෙසින් මේ නළු නිළි හවුල පිළිගැනිණි. හෙතෙම දේශපාලන වේදිකාවේ ද චතුර කථිකයකු විය. එවක සිරිමාවෝ මැතිනිය විසින් තම ජයග්‍රහණයට ‘නළු නිළි හවුල’ මහත් ශක්තියක් වූ බව ද දිව්රුම් දුන් මොහොතේ දී කීවාය. විජාතිකයින් සතුව තිබූ සිංහල චිත්‍රපට කර්මාන්තයට දේශිය නැඹුරුවක් හිමිවීම තුළ ‘චිත්‍රපට සංස්ථාව‘ බිහි කරවීමට එතුමා ගත් අනුපමේය වෑයම ඉතිහාසයේ ලියැවී තිබේ.

කිවයුත්තක් ද ඇත්තේය. නළු නිළි හවුල නංවා සිටීමට මුදල් නැතිකොට ඊට මුදල් යෙදවුයේ අපේ කතානායක ඇල්ෆ්‍රඩ් මහතා තම නිවස උකසට තබමිනි. කිසිවකුත් එය නොදැන සිටි අය අතර ප්‍රිය බිරිඳ සුමනා මහත්මියද වෙයි.

‘ඔන්න ඉතින් මගේ තාත්තා අපි අතරට ආපහු ආවා. 1995 දි. ඉතින් තාත්තා ආයෙත් ඔන්න තාත්තාට මැද පෙරදිග රස්සාවකට ගියැයි කීවනෙ. ඉස්සර වගේම ගුවන් විදුලි වැඩ සටහන්වලට ගියා. චිත්‍රපට වලට ගියා. ඩග්ලස් රණසිංහ මහතා රන්මුසු උයන ටෙලි නාට්‍යය කරනකොට ප්‍රධාන චරිතය දුන්නෙ අපේ තාත්තාට තවත් ටෙලි නාට්‍ය ගණනාවකම තාත්තා රඟපෑවා.මට මතක හැටියට ඉරිදා පත්තරේක පින්තුර කතාවකටත් අපේ තාත්තා පෙනී උන්නා. ලාදුරු මර්දන වාර්තා චිත්‍රපටයක් වුණු නවෝදයේ උදාගිර ‘ප්‍රධාන චරිතය තාත්තා රඟපෑවේ. අපේ ලියෝනි කොතලාවල ඇන්ටි තමා සහාය නිළිය වුණේ. රුවැති මුහුණේ පෙර තිබු අඳුරු සේයා දැන් ඇගේ මුහුණේ නැති. ඕ මුවපුරා හිනැහෙන්නීය.

අපේ ආදරණීය සොඳුරු කතා නායකයා විවිධ සම්මානයෙන් පිදුම් ලැබුවේය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ‘ජාතික වීර දිනය’ නිමිතිකොට පිරිනමන ලද ‘කලා භූෂණ’ ජනාධිපති සම්මානයට ද හෙතෙම හිමිකම් කීවේය. දිවයිනටම සාම විනිසුරු පදවියෙන් ද පුදනු ලැබීය. දේශිය සිනමාවට ඉටුකරන ලද මෙහෙවර අගයනු වස් ශ්‍රී ලංකා නළු නිළි සංගමයේ ‘ස්වර්ණ තිලක’ සම්මානයට ද පාත්‍ර වුයේය. ගුවන් විදුලි ප්‍රාසංගික නාට්‍යයක් වූ ‘සුගන්ධිකා’ වෙනුවෙන් එහි චරිත නිරූපණය උදෙසා විශිෂ්ට සම්මානයට ද බඳුන් වුයේය.

ශ්‍රී ලංකා රජයේ ලිපිකරු සංගමයේ ආරම්භක උප සභාපතිධුරය හෙබ වූ එතුමා ඉන් වසර 6කට පසුව එහි ප්‍රධාන සභාපතිධුරයට පාත්‍රවුයේය. ඒ 1976 දීය.

එපමණක් ද? අපේ විශිෂ්ට රූපණවේදියා ක්‍රියාකාරී දේශපාලනයට ද පිවිසියේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ බල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව පළාත් පාලන මැතිවරණයට ද ඉදිරිපත් වුයේය.

අපේ ආදරණීය කතා නායකයා රටම දැන හඳුනාගත් ‘ශුරයා’ චිත්‍රපටය මා මතක තිරයේ දිස්වෙයි තිරයේ ඔහුගේ පළමු පෙම්වතිය වුයේ රෝහිණි ජයකොඩිය. විටෙක සටන් කරුවෙකි. විටෙක යුක්තිගරුක තරුණයෙකි. තවත් විටෙක පෙම්වතෙකි.

සැනසිල්ල නැලවිල්ල මාගේ හිතේ

දුක නොදැනේ බිය නොදැනේ

සිත සංකා නොමැකේ //

මගේ නංගී, මගේ අම්මා, මගේ පණසේ රකිමී

සංවේගේ සන්තාපේ දුර පලවා හරි මී

හිංසා පීඩා වංචා හොඳ නෑ.

මට පෙනුණා - මට දැනුණා

මේ ලෝකේ හැටි දැන්...

මේ පෙම් ගීතය මුමුණමින් හෙතෙම රඟපාන්නේය. ධර්මදාස වල්පොල ශූරීන් අපේ කතා නායකයාට පසුබිමින් ගීතය ගායනා කර ඇත්තේය. ඔහුගේ ප්‍රථම පෙම්වත් රංගන ගීතය මෙයය. ලතා, ධර්මදාස යුවළ එක්ව ගැයූ තවත් යුග ගායනා දෙකක් ද විය.

පිවිතුරු මනහර ප්‍රේමේ ශාන්ත මේ

ඉමිහිරි කුසුමක් සේ වසන්තයේ

නන්දන ශි‍්‍රයා සුන්දර ශි‍්‍රයා

සියුමැලි මල් පෙති දැන් ප්‍රබෝධ වේ.

මේ එක් ගීතයකි. අනෙක් ගීතය විනෝදාත්මකය. ඒ මෙසේ යැ

සුදා සුදා රෑ වුණා.

හඳහාමි හෙමින් හෙමින් ඈත පාවුණා

සේද වලා නීල තරු හංගා ගත්තා

හා හා රෑ වුණා

හොඳා හොඳා තේරුණා

ඔබ ආවේ හොරෙන් හොරෙන් මාද බය වුණා

දැක්කෙම නෑ ආව හොරා හැංගී උන්නා

හෝ හෝ බේරුණා

අපේ සොඳුරු කතා නායකයා සිය දරු පවුල කෙරෙහි බැඳි අව්‍යාජ ආදරය සමීපතමයන් අදටත් කතා කරනුයේ මහත් බුහුමනකිනි. හෘද සාක්ෂියම පෙරටුව තබා කටයුතු කළ උතුªම් මිනිසකු යැයි කිවහොත් වඩාත් නිවැරදි යැයි හැඟේ.

එක්තරා දවසක ලද තොරතුරින් අපේ කතා නායකයා නිම් හිම් නොවනා සතුටකින් ඇළලී ගියේය. ඒ ඔහුගේ ලොකු දුව බිම්බා ප්‍රථම දරු ප්‍රසුතියට රෝහලට ඇතුළත් කළ බව ඇසීමෙනි.

‘හැමදේම හොඳින් ඉටුවේවි. අපි යමු රෝහලට අපේ බිම්බා ලොකු දුව බලන්න.

පවුලේ සැම ද එක්ව ඔහු පැද වූ රිය රෝහලට ළඟා විණි. සියල්ලන් රෝහලේ කොරිඩෝවට නුදුරුව බස්සවා තම රිය, රිය අංගනයේ නවතා තබා එන්නට ගිය ද ඔහුගේ පමාව රෝහලේ කැන්ටිම අසල මඟ බලා පසුවන බිරිඳ සුමනාට සිතාගත නොහැකිය.

ඈ තම දෙඅත දෙකම්මුලේ තබා දෑස් ලොකු කරගන්නට වුවාය. තම සැමියා කකුලක් අද්දවිමන් අපහසුවෙන් එනු දුටු ඈ වහා දිවගොස් ඔහු අල්වා ගත්තාය. ‘මට ඇවිදින්න බැහැනේ. කකුල් පැටලෙනවනෙ.’

දියණියගේ සුවදුක් බලන්නට පැමිණි අපේ කතානායකයා ද දැන් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේය. ටික වේලාවකින් ඔහු සුව අතට හැරුණු බව කීව ද වෛද්‍ය උපදේශය වුයේ අනිවාර්යයෙන් රෝහලේ නතර විය යුතුම බවය. ‘මහත්තයට අසනීප වුණේ හදිසියේ ලේ කැටියක් හිරවෙලා’ බිරිඳ සුමනාට හිතවත් වෛද්‍යවරයකු කීයේය.

‘අහෝ’ අපේ කතා නායකයා තම වම් අත ද කකුළ ද පණ නැති වී අංශබාග රෝගයකට බඳුන් විය.

නිවසෙහි සිරියාව දුරට ගියා වැන්න. හැම මුහුණකම දුක්බර කතාවක් ලියැවී තියේ. ඒ සිහිනෙන්වත් දකින්නට නොපැතු දුක්බර දසුනකි. එතුමා එක්තැන්ය. නොඑසේ නම් ඇවිදයාගත නොහී රෝද පුටුවේමය. ආදරණීය බිරිඳ සුමනා හඬා වැලපෙනු වෙනුවට ඕ දිරිය කතක වුවාසේය. සිය හිමිගේ සත්කාර කටයුතු සේම දරුවන්ගේ කටයුතු ද නොපිරිහෙළා ඉටු කරන්නට ඕ ඇප කැප වුවාය. දු දරුවන් ද තාත්තා මත්තේය.

සිංහල, ඉංගී‍්‍රසි ප්‍රතිකාර කිරිමෙන් එකතැන සිටගෙන සිටීමේ ලද හැකියාවක් විනා පිය නඟා ඇවිද යනු නම් නොහැකි. ගෙතුළ බස්තමක ආධාරයෙන් යම් තරමකට එහා මෙහා ගියා පමණි. බැහැරව ගිය ද ඒ රෝද පුටුවෙනි.

අපේ කීර්තිමත් කතානායකයා වෙත විවිධ උත්සව සඳහා තවමත් ඇරියුම් ගලා එන්නේය. කුළුපග හිතවතා විජය කුමාරතුංගයන් ද රෝගාතුර වන්නට පෙර සිට ද නිතර පැමිණ කතා බස් කොට පිටව යන්නේය. සමීපතා පිරි කලාකරුවන්ගෙන් අඩුවකු දු නැති, එතරම් එහැම ඔහුට ළෙන්ගතුය. සමීපය.

මංගල අවමංගල උත්සව පි‍්‍රය සම්භාෂණ මේ සැම දේටම ඔහු සහභාගි වුයේ තම පවුලේ අය ද සමඟිනි. විනෝද ගමන් වල දී ද එසේමය.

‘අපි කවුරුවත් අපේ තාත්තාව මොහොතක්වත් තතිකළේ නැහැ. ගයත්‍රි දියණියගේ හඬ මලානිකය. අපේ තාත්තාට සරසවිය සිනමා සම්මාන, ඕ. සී.අයි.සී සම්මාන උළෙලින් පවා ආරාධනා ලැබුණා. අපේ අම්මා රෝද පුටුවේ තාත්තාව තියාගෙන එක්ක ගියේ. එහෙම අවස්ථාවලදී එදා නළු නිළියන් වගේම නව පරපුරේ අයගෙන් පවා තාත්තා ගරු බුහුමනට පාත්‍ර වූ හැටි මට අද වගේ මතකයි. ඒ වෙලාවෙදි මගේ තාත්තාගේ මුහුණේ මතුවුණ සිනාව තවමත් මතකයි. මේ අතර කාලයේ දි තමයි මමත් විවාහ වුණේ. දියණිය ගයත්‍රි කියන්නීය.

මේ අතරේ දී තම බිරිඳ සුමනා හදිසියේ අසනීප තත්ත්වයකට ගොදුරුවීමෙන් හේ මානසිකව පීඩා වින්දේය. රෝගාතුර වුයේය. දු දරුවෝ සමීපයේමය. ඔහු වරින් වර රෝගාතුර වෙයි. උත්සන්න වූ තවත් අවස්ථාවක අපේ කතා නායකයා රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍ය මතය වුයේ වහා ශල්‍ය කර්මයක් කළ යුතු බවය. ජයවර්ධනපුර රෝහලින් හෙතෙම කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණි. ශල්‍ය කර්මය මොළය සම්බන්ධවය. සැත්කම සාර්ථකය. එහෙත් යහපත් තත්ත්වය පැවතියේ මුල් සතියේ පමණකි. ක්‍රම ක්‍රමයෙන් රෝගය උත්සන්නව අසාධ්‍ය වෙයි. යළි ජයවර්ධනපුර රෝහලට ගෙන යනුු ලැබිණි.

අපේ ආදරණීය කතානායකයා මෙවර තදබල ලෙසින් රෝගාතුර විය. දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කෙරිණි.

‘හිතාගන්න බැහැ. එහෙම අපේ තාත්තාට වුණේ ඇයි ද කියලා. මගේ ලෝකයේ වීරයා, හැමදේම කියාදුන්නු, ජිවිතය ගැන කියා දුන්න අපේ තාත්තා මුකුත් හිතාගන්න බැරිවුණා.

අනේ, අපේ තාත්තාට ඒ වෙලාවෙ මොනවා හිතෙන්න ඇති ද. අනේ අපිටම තිබුණු එයාගේ හිත ඇතුලේ ආදරය ආශ්‍රය කරපු හැමෝමත් ඒ වග දන්නවා. කාගෙන්වත් දොසක්, අගෞරවයක් අහගන්න වැඩ කරලා නැහැ. හරිම ගෞරවනීයයි. අනේ අපේ තාත්තා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළාට එකම එක දවසයි ඒකේ උන්නේ.’

වසන් කරන්නට වෑයම් කරනා කඳුළ ඈ නෙතට ද හොර රහසේ මතුව පෙනේ. ඈ අත තවමත් තාත්තා රඟපෑ ජවනිකාවක සේයාරුවකි. එදෙසම ඇය බලා සිටින්නීය.

ඒ සේයාරුව ආත්ම පූජා චිත්‍රපටයේය. ඒ සමඟින් එහි සිදුවීමක් මා මතකයේ දිග හැරෙයි. ගාමිණි ෆොන්සේකා සමඟ කරට කර රංගනයක යෙදුණු අපේ කතා නායක තෙමේ එක් තැනෙක ගාමිණි හා රඟ පෑ එක් උද්වේගකර ජවනිකාවක් පිළිබඳව ගාමිණි පුවත්පතකට කියා තිබු කතාවක් ද මා මතකයේ අලුත් වෙයි.

ආත්ම පූජා චිත්‍රපටයේ ගාමිණි හොඳින් රඟපෑව ද අපේ කතා නායකයා ද ගාමිණි අබිබවා යන තරමට එහි ගාමිණි සමඟ රඟපෑ අවස්ථා තිබෙයි. මේ එහි එක් තැනෙකි. (ජෙරී) ඇල්ෆ්‍රඩ් ගාමිණි ගේ මුහුණ දෙසම සෘජුව බලා සිටී. වියරුවෙන් මෙන් ගාමිණිට තම පපුව පෙන් වූ අපේ කතානායකයා ‘ඇනපන් යකෝ මොනවද බලා ඉන්නේ. ඇනපන් යකෝ’ යි. රළු හඬින් වියරුව කෑ ගසා කියන දර්ශන යේ දී ඇල්ෆ්‍රඩ් ගේ හඬ ද හැසිරිම ද තමන් ද බියපත් කළ සිදුවීමක් බව ගාමිණි එදවස මාධ්‍යයට කියා තිබු එකී කතාවය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රැඳී පසුවන පවුලේ සියලුදෙනා අතරින් බිිරිඳ සුමනාගේ හදිසි ඉකිබිඳුමින් දූ දරුවන්ගේ ද හැඬුම් වැලපුම් දෙගුණ තෙගුණ විණි.

සිනමා සිත්තමින් සේම වේදිකාව, ගුවන් විදුලිය, රූපවාහිනිය ආදී ක්ෂේත්‍ර කිහිපයකම තම නාමය ඉහළින්ම රඳවා තබන්නට තරම් සමත් වූ පනහේ දශකයේ ‘ශූරයා’ හෙවත් අපේ ආදරණීය ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න නම් මානව ගුණින් පිරිපුන් කාහටත් දෙවියකු බඳු වූ විශිෂ්ට රූපණවේදියා 2000 වසරේ නොවැම්බර් මස 27වන දා අත්හරින්නට සිත් කොනකවත් නොතිබුණද ඒ වන විට සියල්ලන් අතැර එතුමා යළි නොඑනා ගමනක යන්නට ම ගොස් සිටියේය.

‘ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න සිංහල සිනමාව තුළ තබා ඇත්තේ පිරිසුදු නාමයකි. අවමඟුල් උලෙළේ දී ශ්‍රේෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතා පැවසූ අයුරු දැනුදු මට ඇසෙන්නාසේය.

 

[email protected]