කලාකරුවා මිනිසත්බවයි දේවත්වයයි අතර දෝලනය වන්නෙක්

සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණ රංගවේදී, කලාසූරී
මාර්තු 30, 2023

දිවි ගමන් මාවතේ වසර අසූ දෙකක් ගත කරනවා යනු හෙතෙම දීර්ඝායුෂ ලබන්නට බොහෝ පින් කර ඇත්තේය. එසේම ගෙවුණු දිවිය පුරා මෙරට සුවහසක් ප්‍රේක්ෂක ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ළඟා කරවමින් කලාකරුවකු වශයෙන් ඔහු කළ මෙහෙවර මෙතෙකැයි කියා විස්තර කළ නොහැකිය. මේ සුවිශේෂී කලාකරුවා වනුයේ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ය. සතිස් ට 82 පිරෙන විට ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ ‘මාතර ආච්චි’ චිත්‍රපටයට වසර 50ක් සපිරෙන්නේ ය. මෙකී කාරණා ද්විත්වය පෙරටු කොට ගනිමින් එළැඹෙන අප්‍රේල් 8 වැනිදා සතිස්චන්ද්‍ර ප්‍රතිභානය සේයා විත්ති ග්‍රන්ථය එළිදැක්වීමේ උ‍ෙලළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී සවස 4 ට පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

 

මෙදින ප්‍රධාන ආරාධිතයා වනුයේ මහාචාර්ය ජේ.බී.දිසානායකයන් ය. සරසවි ප්‍රකාශනයක් ලෙසින් එදින දොරට වඩිනු ලබන ‘සතිස්චන්ද්‍ර ප්‍රතිභානය සේයාවිත්ති’ ග්‍රන්ථය පුෂ්කර වන්නිආරච්චි විසින් රචිත ය. එදින ආරාධිත ප්‍රධාන දේශනය පවත්වනුයේ වර්තමාන සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසිනි .

ගීතාත්මක සුන්දර සන්ධ්‍යාවක් ලෙසින් සංවිධානය කොට ඇති මෙම උළෙලේ සංගීතය විශාරද මනෝජ් පීරිස් ගෙන් වන අතර සුනිල් එදිරිසිංහ, ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි සහ රාජ් දොලමුල්ල ගායනයෙන් එක් වෙති. වේදිකා පරිපාලනයෙන් දිනූෂ කුඩාගොඩගේත් නර්තනයෙන් චන්දන වික්‍රමසිංහ රංගායතනය ත් වේදිකා සැරසිලිවලින් විමල් ජයවර්ධනත් නිවේදනයෙන් ඉන්ද්‍රසිරි සුරවීරත් මේ සඳහා දායක වෙති. සතිස්චන්ද්‍ර ප්‍රතිභානය ග්‍රන්ථයට අමතරව මාතර ආච්චි චිත්‍රපටය පිළිබඳ සියලු තොරතුරු රැගත් සමරු කලාපයක් ද එදින නිකුත් වීමට නියමිතය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ හා කලාව යනු ගසට පොත්ත මෙන් බැඳුණු සහ සම්බන්ධතාවයක් ඇති සබඳතාවයකි. මෙකී සබඳතාව පුරා දශක 6කට වැඩි කාල වකවානුවක් පුරා වේදිකා නාට්‍ය, චිත්‍රපට මෙන්ම පසු කලක ටෙලි නාට්‍ය කලාව තුළ සුවිශේෂ අනන්‍යතාවක් සනිටුහන් කරමින් පැමිණි සෞන්දර්ය චාරිකාවක් බව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ .

“ඇත්තටම මේ උත්සවය සංවිධානය කරනු ලබන්නේ මගේ අසූ දෙවැනි ජන්ම දිනය මෙන්ම මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුණු මාතර ආච්චි චිත්‍රපටයට වසර පනහක් පිරීම නිමිති කොට ගෙනයි. ගෙවුණු අවුරුදු 82 පුරා මම ලබා ගත්ත ජීවන අත්දැකීම් වගේම කලා ජීවිතයේ මම ලබා ගත්ත විවිධ අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ අත්දැකීම් වගේම මේ සා දුර ගමනක් යන්න මා තුළ පැවති ධනාත්මක සිතුවිලි ආදියත් වැදගත් වෙනවා. මේ වගේ උත්සවයක් පවත්වන කොට කලාවට අධිපති සරස්වතී දේවියගේ ආශිර්වාදය වගේම අපට ධනයට අධිපති ලක්ෂ්මී දේවියගේ පිහිට නැතුවම බෑ. සරස්වතී සහ ලක්ෂ්මිගේ සුසංයෝගයෙන් සැදුණු පැය දෙකහමාරක පමණ කාල පරිච්ඡේදයක් පුරා පැවැත්වෙන උළෙලක් තමයි අප්‍රේල් 8 වැනිදාට පැවැත්වෙන්නේ.”

දේශීය සිනමා ඉතිහාසය තුළ මාතර ආච්චි චිත්‍රපටය හැමදා බබළන කරුණක් වේ. ඒ එම චිත්‍රපටියට ආධුනිකයෙකු වශයෙන් ගීත ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගැයූ ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතය වර්තමානයේ අද දක්වාත් නොසිඳෙන ජනප්‍රියත්වයකින් පැවතීමය. එසේම වික්ටර් රත්නායක වැනි දැවැන්ත සංගීතඥයකු ගේ මුල් නැගිටීම මේ හරහා සිදු වීමත්, තවත් ආධුනිකයින් පිරිසක්ම මේ හරහා කලාවට පැමිණීමත් මාතර ආච්චි චිත්‍රපටය හරහා සිදු වීමය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය සිදු කරනුයේ නොයෙක් අකරතැබ්බයන් දුෂ්කරතා ආදියට මුහුණ දීමෙනි. අධ්‍යක්ෂවරයකු වශයෙන් දොරට වඩින්නට නොතිත් ආශාවක් තිබුණද ඒ සඳහා මුදල් වියදම් කිරීමට ඔහුට හරිහමන් නිෂ්පාදකවරයකු වූයේ නැත.

“මාතර ආච්චි චිත්‍රපටයේ පළවැනි දවසෙ ෂූටින්වලට මට ගියේ රුපියල් 880යි. ඒක මම හොයා ගත්තෙ යාළුවෙකුගෙන් ණය මුදලක් විදියට ටිකෙන් ටික එකතු කරගෙන. ඒකෙන් පුළුවන් ටික ෂූටින් කළාට ඊට පස්සේ ඒව ෂූට් කරන්න මුදල් තිබුණේ නෑ. මම කළේ ෂූටින් කරපු ටික එක එක්කෙනාට පෙන්නලා මුදල් ටිකක් හොයාගෙන ආයෙත් ඉතිරි ටික කරපු එකයි. ඔය විදියට වරින්වර තමයි මේ චිත්‍රපටිය ඉවර කළේ. ඇත්තටම මට හිතේ ලොකු බයක් තිබුණ චිත්‍රපටය හරි යයිද නැද්ද කියලා. ඒ කාලේ මම ටිකක් දෙවියෝ පස්සෙත් යන කාලේ. එහෙම කරන්න ගිහින් මට හරි වැඩකුත් සිද්ධ වුණා. මට ඕන වුණා දෙවියන්ට බාරයක් වෙලා හරි මේ චිත්‍රපටය සාර්ථක කරගන්න. ඉතින් මම චිත්‍රපටියේ පළවෙනි රීල් එකයි දාහතර වැනි රීල් එකයි අරගෙන කතරගම ගියා. මගේ උත්සාහය තිබුණේ පූජා වට්ටියක තියලා රීල් දෙක දේවාලයේ ඇතුළට අරගෙන ගිහින් දේව ආශිර්වාදය ලබාගන්න. දේවාලයට යන්න කලින් කිරිවෙහෙරට ගිහින් වැඳලා පහළට බහින කොට කුඩා ටකරං මඩුවක පිරිමි ළමයෙක් ඉඳගෙන ආධාර එකතු කරනවා. ඒ කාලේ කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතු කරන කාලේ. ඔහු කියනවා ඔබේ මියගිය ඥාතීන්ට පින් පිණිස කිරිවෙහෙර ප්‍රතිසංස්කරණයට ආධාරයක් කරන්න කියලා. මම බලාගෙන හිටියා. සමහරු රුපියල් දෙක, තුන, පහ, දහය දීලා මියගිය ඥාතීන් සිහිපත් කරනවා. මට හිතුණා එදා ලොකු සෙනඟක් ඉන්න නිසා මාතර ආච්චි චිත්‍රපටය ගැන කියලා දේවාශිර්වාදය ලබා දෙන්න කියලා කිව්වොත් මේ නම ලොකු සෙනඟක් අතරට යනවා නේ කියලා. මමත් ගිහින් රුපියල් පහක් දීලා කිව්වා. “මල්ලි මේක අලුත් චිත්‍රපටයක්. මාතර ආච්චි කියලා ඉස්සරහට එන්න තියෙන එකක්. ඒකට දේව ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියල. අනිත් ප්‍රාර්ථනා ඔක්කොම මියගිය අයට පින් පිණිස. මේක ටිකක් අමුතුයි. මම මුදල් ගෙවලා දේවාලෙ කිට්ටුවට ආවා. නමුත් ප්‍රාර්ථනාව කියවනවා ඇහුනෙ නෑ. තව පොඩ්ඩක් දුරට එනකොට මෙහෙම කියනවා ඇහුණා.

“නැසීගිය මාතර ආච්චිට පින් පිණිස රුපියල් 5 ක පරිත්‍යාගයක්. මාතර ආච්චිට නිවන් සැප ලැබේවා!

මට හීන් දාඩිය දාලා මගේ පපුව පත්තු වුණා. ආපහු සැරයක් මම දුවගෙන ගියා අර ආධාර ගන්න තැනට. මම ගිහිල්ලා මොකද්ද මල්ලි අර කළේ කියලා ටිකක් සැරෙන් කතා කළා. අනේ සර් මම නෙමෙයි කිව්වේ, මම වැසිකිළියට ගිය අතරේ අනිත් එක්කෙනා යි කියලා තියෙන්නෙ. මෙතන ලියලා තියෙන්නේ මාතර ආච්චි රුපියල් පහයි කියලා නේ කියලා කිව්වා ඊට පස්සෙ මොනව කරන්නද ? මම ආයිත් සැරයක් ඔවුන් ලව්වා දේවාශීර්වාද ප්‍රාර්ථනය කියවා ගත්තා.

මාතර ආච්චි චිත්‍රපටය ගැන ඉතා සුන්දර මතක රාශියක් ඔහු සතු වෙයි. වරක් ඔහු මාතර ආච්චි චිත්‍රපටය තිරගත වෙද්දී මීගමුව රාජ් සිනමා ශාලාවට ගොස් පැමිණෙමින් සිටියේය. මීගමුව නගරයේ ඇති රේල් පාර මාරුවෙන තැන ඔවුන් වාහනය නවතා ගෙන සිටියේ කෝච්චිය පාර මාරු වන තුරුය. මොරිස් මයිනර් කාරයේ ඉදිරි ආසනයේ සිටි සතිස්චන්ද්‍ර එදිරිසිංහ දුටු පාර අයිනේ කණුවකට හේත්තු වී කඩනල කමින් සිටි කොලු ගැටයෙක් ඔහු දිහා බලමින් “මහත්තයා පික්චර් එකේ ඉන්නවා නේද?” යැයි ඇසුවේය. සතිස්චන්ද්‍ර “ඔව් මල්ලි” යැයි කීවේ මහත් වූ සතුටකිනි. ඒ සතුට තවත් දියුණු කරගනු වස් තවදුරටත් චිත්‍රපටය ගැන ඔහුගෙන් අසන්නට පෙලඹිණ. “මල්ලි බැලුවද චිත්‍රපටය?”

“පළවෙනි දවසේ බැලුවෙ නෑ.”

ඔහුගේ උත්තරෙන් සතිස්චන්ද්‍රයන් අවබෝධ කරගත්තේ පැමිණෙන චිත්‍රපට සියල්ල පළමුව නරඹන මේ කොලු ගැටයා සිනමා ලෝලියකු බවයි. තවදුරටත් කෝච්චිය පාර මාරුවන්නට ප්‍රමාද වන සෙයින් “කොහොමද මල්ලි චිත්‍රපටය” යැයි විමසුවේය.

“කෙල්ල කෙට්ටුයි ෆයිට් පල්” යැයි ඔහු උත්තර දුන්නේය

“ඇයි ෆයිට් පල් කියන්නේ ?”

“ගහනවා. වැටෙනවා. තුවාල වෙන්නෙත් නෑ. ලේ ගලන්නෙත් නෑ. ඔක්කොම බොරු”

මේ අතරේ කෝච්චිය ගිය පසු පාර විවෘත වූ නිසා දෙබස නිමාවිය. එහෙත් මේ දෙබසින් ඔහු බොහෝ දේ උගත්තේය. කාලයේ තාලයට ගැළපෙන අයුරින් කුමක් දිය යුතුද යන්න ගැන දෙවරක් සිතන්නට පෙලඹුණේය.

“ඇත්තටම චිත්‍රපටයකට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම වටිනවා. මට මතකයි දවසක් මාතර ආච්චි තිරගතවන අවධියේම අපේ ගෙදරට ප්ලාස්ටික් බඩුවිකුණන වෙළෙන්දෙක් ආවා. මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

“මහත්තයා මට මතකයි පික්චර් එකක ඉන්නව නේද?” කියලා ඇහුවා.

“බැලුවද චිත්‍රපටය කොහොමද චිත්‍රපටය?”

මම ඇහුවා. හොඳයි කියලා ටිකක් ඇදල පැදලා කිව්වා. මට තේරුණා මිනිහට චිත්‍රපටය ඒ තරම්ම අල්ලලා නැති බව.

“ඊට පස්සේ මොකද්ද බැලුවේ ?”

මම ඇහුවා

“අපරාධය හා දඬුවම

ඒක කොහොමද

ඒක හොඳයි නියමයි

ඒක හොඳ වෙන්නත් මේක නරක්වෙන්නත් හේතු මොනවද?”

“මහත්තයාගේ චිත්‍රපටියේ කෙල්ලයි කොල්ලයි දෙන්නම මැරෙනවානේ.”

මම තේරුම් ගත්තා ප්‍රේක්ෂකයො අපේක්ෂා කරන්නේ ඩචනනර ඥදඤඪදඨ කියලා. ඉතින් මේ වගේ ප්‍රතිචාර වගේම හොඳ ප්‍රතිචාරත් මට ඒ කාල ලැබුණා.

මාතර ආච්චි පෙන්නලා සුමානයක් විතර ගියාම දවසක් මාව හොයාගෙන මහත්මයෙක් ගෙදරට ආවා. ඒ මහත්තයා මට මෙහෙම කිව්වා “මම නුවර ඉඳලා ආවේ ඔබතුමාගේ චිත්‍රපටය මම බැලුවා. ඒකෙන් මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වුණා. මම දරුණු තීරණයක් අරන් තිබුණා. මගේ දුව ගැන. එයා පිරිමි ළමයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන හිටියා. මම හිටියේ ඒක කරන්න දෙන්නෙම නෑ කියන තැන. නමුත් ඔබතුමාගේ චිත්‍රපටය බැලුවට පස්සෙ මගේ ඒ තීරණය වැරදියි කියලා මට හිතුණා”

ඉතින් මේ එක ප්‍රතිචාරය වුණත් මට ඇතිනෙ

සතිස්චන්ද්‍රයන් අතීතය සිහිපත් කරනුයේ මහත් සොම්නසකිනි. තමන්ට වැරදුණු තැන් මෙන්ම හරිගිය තැන් පිළිබඳ ද ඔහු පවසනුයේ ඉන් අනාගත පරපුර වෙත ගත හැකි ආදර්ශයන් කොතෙක් ද යන්න ගැන සිතමින්ය. එකල ඔවුන් කලාවට පැමිණියේ මුදල් හම්බ කිරීම සඳහා නොවේ. එසේම එය රැකියාව කර ගැනීම පිණිස ද නොවේ. කලාව කෙරෙහි උපන් සැබෑ ආදරයකින්, ළෙන්ගතුකමකින් හා ආසාවකින් ය. එහෙත් කලාව ඉගෙන ගැනීමට ඔවුන්ට එකල කිසිදු පාසලක් හෝ අධ්‍යාපන ස්ථානයක් නොවීය. එහෙත් ඒ අධ්‍යයනයන් වෙනත් මාර්ග ඔස්සේ ලබා ගැනීමට ඔවුන් උත්සුක වූයේ තවදුරටත් මේ මාධ්‍ය පිළිබඳ තිබූ ආශාව හා කැමැත්ත නිසා ම ය.

“අපි ඇත්තටම වැඩ කළේ තෘප්තිය සඳහායි. මම රඟපාන්න ආවේ, චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න ආවෙ ආසාවට. ආසාව තිබුණට ම චිත්‍රපටයක් කරන එක පහසු කාර්යයක් නොවේ. චිත්‍රපට අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි රංගනය කියන එකත් ඉගෙන ගන්න ඕන දෙයක්. නමුත් අපේ කාලේ අපිට එහෙම ඉගෙන ගන්න තැනක් තිබුණෙ නෑ. දැන් නම් යම්තාක් දුරට ඉගෙන ගන්න තැන් තියෙනව. ඒකට අපි මොකද කළේ, හොඳ චිත්‍රපට නැරඹුවා. ඒ කාලේ හිටපු තිස්ස අබේසේකර, නීල් අයි පෙරේරා, විමල් දිසානායක, පියල් සෝමරත්න වැනි විචාරකයින් කතාබස් කරන තැන් වලට ගියා. දේශනවලට සවන් දුන්නා. සත්‍යජිත් රායිගේ චිත්‍රපට නැරඹුවා. චෙක් චිත්‍රපට බැලුවා ඒවායින් තමයි අපි අපේ දැනුම පෝෂණය කර ගත්තේ. මම මාතර ආච්චි කරන්න වුණත් එකපාරටම ගියේ නෑ. සිල්වා උන්නැහේගෙන් චිත්‍රපටිය ගැන ටිකක් දැනගෙන හිටියා. ඊට පස්සේ සරසවි චිත්‍රාගාරයට ගිහින් චිත්‍රපටයක් හදන සියලුම අංගයන් කොහොමද කියලා දැක බලා ගත්තා. එයින් පස්සේ තමයි චිත්‍රපට හදන්න පෙලඹුනේ. අපිට පස්සේ ආව සුනිල් ආරියරත්න, හර්බට් රංජිත් පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, විජය ධර්ම ශ්‍රී වැන්නන්ට ඊට වඩා දියුණු පරිසරයක් තිබුණා. ඒ චිත්‍රපට සංස්ථාව නිසා.

අතීත දුෂ්කරතා කෙසේ වුවද අද ඔවුන් මේ කලාව තුළ බොහෝ දුර ගිය ප්‍රවීණයෝ. ඒ ප්‍රවීණත්වය ලබන්නට ඔවුහු බොහෝ දුක් විඳ බොහෝ වෙහෙස මහන්සි වූවෝ ය. බොහෝ දේ කියවූයේය.

“ඇත්තටම මට දැන් ආපස්සට ඒ ගැන හිතලා බලද්දි හීනයක් වගේ. දැන් හිතෙනවා ඒක කොහොමද කළේ කියලා. ඊට පස්සේ කරපු “අධිෂ්ඨානය” වගේ චිත්‍රපටයක් අරගෙන මම එංගලන්තයටත් ජර්මනියට ගියා. දැන් වගේ ඩීවීඩී නොවෙයිනේ ඒ කාලෙ තිබුණේ. රීල් ටික විතරක් කිලෝ 28ක් විතර බරයි.

අනිත් පැත්තට හිතෙනකොට එදා ආධුනික හිටිය බොහෝ දෙනෙක් අද ලොකු තලවලට ඇවිත් තියෙනවා. අපි ඉන්දපු පැළ අද ලොකු ගස් බවට පත්වෙලා. ගෙඩි මල් පිපිලා සුවඳ හමනවා. ඉතිං ඒ ගැන මං පුද්ගලිකව සතුටක් ලබනවා. කලාකරුවෙක් කියන්නේ මානව දයාවේ සංකේතයක්. ඔහු හෝ ඇය මිනිසුන්ට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. හැම මිනිහෙකුටම නළුවෙක් වෙන්නත් බෑ. හැම ගැහැනියක්ම නිළියක් වෙන්නෙත් නෑ. ඒ නිසා මගේ විශ්වාසය තමයි මිනිස් බවයි දේවත්වයයි අතර දෝලනය වන කෙනෙක් තමයි කලාකරුවා කියන්නේ.නිර්ව්‍යාජ කලාකරුවකුට දැනුම තියෙන්න ඕන. හොඳ කථිකත්වයක් තියෙන්න ඕන. හොඳ ශික්ෂණයක් තියෙන්න ඕන. ඒ තමයි සරස්වතී උගන්වන කාරණා. ඒ වගේම තමයි කුසලතාවය, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාස තිබිය යුතුයි. අපි මුල් කාලයේදී හම්බ වුණු හැම නාට්‍යයකම රඟපෑවා. හම්බවෙන හැම චරිතයක්ම කළා. ඒකෙන් අපි අත්දැකීම් රාශියක් ලැබුවා. ඥයනඥපඪඥදජඥ ඪඵ ඡඥඵබ බඥචජඩඥප කියලා කියනවා නේ.අන්න ඒ වගේ තමයි මම පෝෂණය වුණේ. නැතුව මම විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක් නොවෙයිනේ. මට තිබෙනවා පරමාදර්ශී චරිත. අපේ තාත්තා, එඩ්වින් ආරියදාස වගේ. නමුත් මට ඉන්නව පරමාදර්ශී සතෙකුත්. ඒ තමයි මී මැස්සා. මී මැස්සා මලින් මලට ගිහින් පැණි එකතු කරනවා. රෝස මලින් පැණි ගත්තත් ඩේලියා මලින් පැණි ගත්තත් එයා හදන්නේ මී පැණි මිසක් රෝස පැණි වත් ඩේලියා පැණි වත් නොවෙයි නේ. මමත් කරන්නේ විවිධ තැන්වලින් එකතුකරගත්ත දැනුමින් මගේ දෙයක් හදාගන්න එක. කලාකරුවකුට තමන්ගේ අනන්‍යතාවයක් තියෙන්න ඕන. මට අමිතාබ් බච්චන් වත් ගාමිණී ෆොන්සේකා වත් වෙන්න බෑ. මම වෙන චරිතයක්.

ඇත්තටම ඔහු වෙනම චරිතයක්. අපේ කලා ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. අපේ රටටම මේ වගේ චරිත එකයි තිබෙන්නේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහවරු ඇත්තේ එක් අයෙක්. පමණි.

ඔහුට ඔහුගේ ජීවිතයේ සොඳුරුතම විඳීම් ඇති කාරණා කීපයක් වන්නේය. ඉන් පළමුවැන්න වනුයේ විද්‍යාලංකාර පිරිවෙනේ කිරිවත්තුඩුවේ ස්වාමීන් වහන්සේගෙන් අයනු ආයනු කියවීමය. දෙවැන්න වනුයේ අයනු ආයනු කියවපු තැනින්ම එකසිය තිස් එක් වැනි විද්‍යාලංකාර සංවත්සර උළෙලේ දී සෞන්දර්ය කලා ශිරෝමණී ආචාර්ය උපාධිය ලැබීමය. එය විද්‍යාලංකාර ඉතිහාසයේ ගිහියෙකුට පිරිනැමූ පළමු ආචාර්ය උපාධිය ය. එසේම ඔහු අකුරු කරනු ලැබුවේ කැලණිය ධර්මාලෝක විද්‍යාලයේය. ඉන් බිහිවූ කොතෙක් කලාකරුවන් හා විද්වතුන් ඇතත් එහි එක් ශාලාවක් නම් වි ඇත්තේ ඔහුගේ නමින් වී මය. අනෙක වනුයේ ගාමිණී ෆොන්සේකාගේ කොටි වලිගය චිත්‍රපටයේ තප්පර 90ක රංගනය වෙනුවෙන් සරසවිය සම්මානයට පාත්‍ර වීම ය.

ඔබට දීර්ඝායුෂ !

 

[email protected]

සේයාරූ - නිශ්ශංක විජේරත්න