වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
‘අපේ අම්මයි තාත්තායි තවමත් අපි එක්කම ඉන්නවා’ දියණිය සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන කියයි

මහනුවර ති‍්‍රකුණාමල වීදියේ අංක 342 දරණ නිවසේ ඇඳුම් මසන්නෙකු වූ රණසිංහ ආරච්චිගේ ජීරිස් පෙරේරා සෙලෙස්තිනා ඩයස් අබේසිංහ මවුපිය දෙපළට දූ දරුවන්ම එකොළොස් දෙනෙකි. මේ අතුරින් තෙවැන්නා ලෙසින් උපත ලද පිරිමි දරුවා උපන්නේ 1924ක් වූ අගෝස්තු මස 27 වැනිදාය. ජීරිස් පෙරේරා සංගීතයට පෙම් බැන්දෙකි. සර්පිනාව වැයීමත්, ගීත ගායනයටත් එකසේ සමත්කම් පෑ ඔහු විසින් සෑම වෙසක් පොහොය දිනකම සංවිධානය කරන කැරොල් කණ්ඩායමේ ගී ගායනයට සුවිශේෂී තැනක් හිමි වී තිබුණේ ඔහුගේ මේ පිරිමි දරුවාටය. නොඑසේනම් රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේන පෙරේරා හෙවත් ආර්.ඒ. චන්ද්‍රසේන නම් මේ කොලු පැටවාටය.
ඉගෙනුමට මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලය (සිරි සුමංගල විද්‍යාලයට) ඇතුළත් කළ ද මේ කොලු පැටියා තුළ ඉගෙනුමට නම් උනන්දුවක් තිබුණේම නැති. ඉඩක් ලද ඇසිල්ලේ පන්තියේ පුටු මේස තබ්ලා බවට පත් කර ගනියි. බෙලෙක්කයට කෝටුවක් ගසා ඊට කම්බි පොටවල් අමුණා හේ වීණා වයන්නේය. කොහෙන් හෝ ඉංග්ලිෂ් මැන්ඩලීනයක් සොයා ගෙනවිත් දවස පුරාම වාදනය කරන්නේය. සංගීතයට මහත්සේ ඇලුම් දක්වන්නකු වූ තාත්තාගේ බලවත් නොරිස්සුමට හේතුවූයේ පොතපතට ඉගෙනුමට ඇල්මක් නොදක්වමින් සංගීතයේම ඇලී ගැලී සිටීමෙනි. කොතෙක් අවවාද තරවටු කළද කොලුවා තව තවත් සමීප වූයේ පොතපතට නම් නොවේ.
කාගෙන්වත් අසා දැනගත් දෙයක් නුවූ කැඬීබිඳී ගිය සංගීත භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ පුදුම උපදවන සුලු හැකියාවකින් ද පිරිපුන් හෙතෙම රුළං පිට් මිශ්‍රණයකින් අලවා අලුත්වැඩියා කළ වයලීනයක් වයනු දුටු තාත්තා කෝපාවිෂ්ට ව එය පොළවේ දමා ගැසුවේය. බලවත් සිත් තැවුලකට පත් වූ මේ කොලු පැටියා පසුදා හිමිදිරියේ ගෙදර සැමට හොර රහසේ ඇඳුම් දෙක තුනක් කඩදාසියක ඔතාගෙන අමනාපයෙන් පිට වී කොළඹට පැමිණියේය.
අපේ ආදරණීය කතා නායකයා ආර්.ඒ. චන්ද්‍රසේන නම් ගාන්ධර්වයාගේ යටගිය තතු විමසා සොයන අටියෙන් සරසවිය වෙනුවෙන් පැමිණි මම මේ මොහොතේ පසුවන්නේ ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර 140-31බී ආර්.ඒ. චන්ද්‍රසේන අනුස්මරණ සංගීතායතනයේය. මා සමීපයේම ළෙන්ගතු සිනහවකින් මුව සරසා පසුවන්නේ අපේ කතා නායකයාගේ කණිටු දියණිය නොඑසේනම් තෙවැන්නිය වන පෙරඅපර දෙදිග සංගීතය පිළිබඳ හසළ දැනුමින් හෙබි ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියය. ඕ සංගීත උපාධිධාරිණීයකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියකි. වසර තිහක පමණ ඉගැන්වීමේ හා හැදෑරීමේ පළපුරුද්දෙන් අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියනා ඕ තොමෝ සිය පියාණන්ට මෙන් සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමේ විසල් ප්‍රතිභාවෙන් පිරිපුන් තැනැත්තියකි. සංගීතය විෂයය පිළිබඳ පළපුරුදු ගුරුවරියක ද වන ඈ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකි. ඕ ලලිතකලාවේදී සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මියය.
ඇය තවමත් සිනාපිරි මුවිනි. ඈ කටහඬ අවදි කළාය. “මම මගේ තාත්තාව තවම හොයනවා. අවුරුදු 10ක් පුරා මම තවම හොයනවා. අපෙ තාත්තා උන්නු තැන්, ගැවසුණු තැන්වලට මම යනවා. අපට අපෙ තාත්තා මිය ගියේ නැහැ. එතුමා අපත් එක්කම තවම ඉන්නවා. මං හරිම වාසනාවන්තයි කියලා වෙලාවකට හිතෙනවා. හේතුව මං අපේ තාත්තා උන්න තැන්වලම මමත් ඉඳල තියෙනවා. තාත්තාව තවම මම හොයනවා වගේම මං අපේ තාත්තා ගැන පර්යේෂණ ග්‍රන්ථයක් කරමින් ඉන්නේ “ඒ හඬ ගීතවත්යැයි සිතේ. තම පියාට මෙන් ඇයට ද ගීතය සංගීතය ජීවිතයම වී ඇතිවාක් මෙනි. මම ඇයට සවන් දෙමි.
“ඉතිං ඔන්න සීයා එක්ක තරහාවෙලා අපෙ තාත්තා කොළඹ ඇවිත් නාට්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ ව සිටි තාත්තාගෙ යහළුවෙක් කේ.එච්.ඒ. සේනාරත්න සොයාගෙන ගිහින් තියෙනවා. එතකොට අපෙ තාත්තාට වයස දොළහයි. එයා නාට්‍යකරුවකු නිසා තාත්තා සංගීතයට පිස්සු වැටුණු කෙනෙකුත් නිසා එයා ඉහළින්ම අපෙ තාත්තාව ළඟට ගත්තා.“
ඒ 1936 වසරයි. එවක ටීටර් යුගයකි. සිරිසේන විමලවීර, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ආදී ප්‍රකට නාට්‍ය ශිල්පීන් රැසක් ම එවක ප්‍රදර්ශනය වූ හින්දි, දෙමළ හා ඉංගි‍්‍රසි චිත්‍රපට හා තරඟයට මෙන් නාට්‍ය රඟ දැක්වූහ. අපේ ආදරණීය කතා නායකයා මිත්‍ර සේනාරත්නයන් හා ඔහුගේ පි‍්‍රය භාර්යාව වූ දේවිකා රාණී ද, නිළියක් වූ අතර ඇය ඉතා ජනපි‍්‍රයය. ඒ වනවිට ‘අන්ධ ආලය‘ නාටකයේ ප්‍රධාන චරිතය ද දේවිකා රාණි රැඟුවාය. එහි සර්පිනාව වයන්නට අවස්ථාව හිමිවූයේ අපේ චන්ද්‍ර සේනයන්ට ය.
‘ඉතින් අපෙ තාත්තා නාට්‍ය එක්ක යද්දි ඔය සංගීත ශිල්පීන් ගොඩක් දැන හඳුනාගත්තා. ඒ නිසාම දෝ අපෙ තාත්තාට සංගීත සංදර්ශනවල සර්පිනාව වයන්න ආරාධනා එකදිගට ලැබී තියෙනවා. ඔන්න මේ අතරේදී අපෙ තාත්තා මාතර රෝහණ විදුහලේ සංගීත ප්‍රසංගයටත් ගියා කියමුකො‘ දර්ශනී සතුටින් අප පිළිසඳෙර්ය.
එහි ප්‍රධාන ආරාධිතයන් ලෙසින් අසුන් ගෙන සිටියේ ආනන්ද සමරකෝන්, අධිනීතීඥ යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා) මහත්වරුන්ය. ප්‍රසංගය නිමාවිය. අසමාන හපන්කම් දුටු එම දෙදෙනා මේ අපේ හුරුබුහුටි කොලු පැටියා සමීපයට කැඳවා තොරතුරු විමසුවෝය. දමා ගසා තිබූ අධ්‍යපනය නැවත ලබන්නැයි ආනන්ද සමරකෝන් මහතා කියා සිටියේය. සිරි අයියා ඔහු අතක් අල්වා කීයේ ඉඩ ලැබෙන වේලාවලදී ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වලට පැමිණෙන ලෙසටය. අපේ කතා නායකයාගේ ඉහේ මල් පිපුණාසේය. හේ සතුටෙන් හිස වැනුවේය. මම අපේ දර්ශනී චන්ද්‍රසේන මහත්මිය දෙස බැලීමි.
“ඔන්න ගුවන් විදුලියට ගිය අපෙ තාත්තා කාලයක් සර්පිනාව, තබ්ලාව, මැන්ඩලීනය, වයලීනය වාදන කළා. සිරි අයියාත් සොමී අක්කා (ඊවා ද සිල්වා) තාත්තාට බොහොම උපකාර කළා. අවුරුදු 12 දරුවෙකුට මේ තරම් භාණ්ඩ වයන්නට හැකියාව ගැන නම් එයාලා පුදුමත් වෙලා තියෙනවා. මං නම් හිතන්නේ අපේ තාත්තා සංසාරය පුරා මේ සංගීත කලාවත් එක්ක ඉඳල තියෙනවා කියලයි. ඉතිං අර ආනන්ද සමරකෝන් මහත්තයාගේ උපදෙස් අනුවම අපෙ තාත්තා කොටහේනේ කුමාර විදුහලට ඇතුලත් වෙලා තියෙනවා ඉගෙනුමට. එහෙ ගායක කණ්ඩායමේ නායකයා වුණ අපේ තාත්තාට ආනන්ද සමරකෝන් මහතා ගොඩාක් උපදේශ ගුරුහරුකම් දීලත් තියෙනවා.“ දර්ශනී සිනාමුසුව කියන්නීය.
කුමාර විදුහලින් ඉවත් වූ අපේ සොඳුරු කතා නායකයා ඉන්පසු ගියේ කැලණියේ ධර්මාලෝක විද්‍යාලයට ය. එහි විදුහල්පතිවරයා ව සිටියේ පසුකලෙක ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදියකු වූ ඩී.බී. ධනපාල මහතා ය. ධනපාල මහතා ද ඔහුගේ දස්කම් අගයමින් තවත් උනන්දු කරවූයේය. ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වාම හේ එහි ඉගෙනුම ලැබීය. මේ අතරේදී පාසල් මට්ටමේ සංගීත තරඟාදියෙන් දස්කම් පෙන් වූ මේ දක්ෂ සිසුවාට ධනපාල මහතා විසින් සංගීතය පිළිබඳ ශිෂ්‍ය ගුරු තනතුරක්ද, ඊට වැටුපක්ද ප්‍රදානය කළේය. දැන් හෙතෙම පාසලේ සංගීතය විෂයය පිළිබඳව ශිෂ්‍ය ගුරුවරයෙකි.
“ අපේ සීයා, ඒ කියන්නේ අපෙ තාත්තාගේ තාත්තා ඉන්දියාවෙන් ස්වර සම්බන්ධව ලියැවුණු පොත් ගෙන්වා ෆුට් බැලෝ සර්පිනාව වයනවා. සීයාත් දක්ෂයෙක්. සීයාගේ කැරොල් කණ්ඩායමෙන් තමා තාත්තාගේ මේ යන ගමනට මුල් වුණේ. දැන් තාත්තාට වැඩ දිගටම එනවා.“ දර්ශනී පවසන්නීය.
ධර්මාලෝකයේ ඉගෙනුම ලබමින් පසුවන අපේ ආදරණීය චන්ද්‍රසේනයන් ගුවන් විදුලියේ සංගීතයට එන්නේය. මේ එක්තරා දිනයක කොළඹ මියුසියස් විද්‍යාලයේහි ඉගෙනුම ලබමින් පසුවූ ශ්‍රීයාවතී පෙරේරා (පසුව ශි‍්‍රයාණි වූවාය.) නම් යුවතියක් ගුවන් විදුලි ගායිකාවක වීමට අපේක්ෂාවෙන් හඬ පරීක්ෂණයකට පැමිණ සිටියාය. ඕ රාජගිරියේ ධනවත් පවුලක තරුණියකි. එදින ඇය පැමිණ සිටියේ තාත්තා සමඟිනි. පෙරදිග සංගීතය මැනවින් හදාරා තිබූ ඕ අපේ කතා නායක දැනහඳුනාගත්තාය. දැනහැඳුනුම කෙටි කලකින් පේ‍්‍රම සබඳතාවයකට හැරිණි. එය දැනගත් ඇයගේ මවුපියන් තම එකම දියණිය හා අපේ චන්ද්‍රසේනයන් අතර පැවැති ආදරයට හරස්විණි.
දක්ෂතාවෙන් පිරි මේ ගායිකාව බංකුවක් මත නැග ගීත ගයන්නීය. ඒ උස අඩුකම නිසාය. පුහුණු කරවන්නේ අන් කිසිවකු නොව අපේ ආදරණීය චන්ද්‍රසේනයන්ය. අන් අයද පුහුණු කරවනුයේ ඔහුමය. ඒ 1946 වසෙර්ය. පේ‍්‍රම සබඳතාවට හරස් වූ ඇයගේ මවුපියනටද රහසේ දෙදෙනාම තනි තීරණයකට එළැඹ මෝදර විවාහ ලේකම් කාර්යාලයේ විවාහ ගිවිස පලා ගියේ නුවරට ය. විවාහයට සාක්ෂිකරුවන් වූයේ අපේ කතා නායකයාගේ වැඩිමහල් සොහොයුරිය ආර්.ඒ. සීලවතී සහ ඇයගේ සැමියාය.
එම දෙපළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ මුල් අවධියේ අප්‍රකටව වාසය කොට පසුව පෙරළා කොළඹ ආවෝය. ඒ වනවිටදී ඇයගේ පාර්ශවයේ තර්ජන සංසිඳී තිබිණි. කොළඹට නුදුරු තවත් තැන් කිහිපයකම කුලී නිවෙස්වල දිවි ගෙවූ ඔව්හු් කොළඹ, මරදාන පදිංචියට පැමිණියහ.
‘ඉතින් මේ විවාහයෙන් පස්සෙ අපෙ තාත්තාට සංගීත වැඩ ගලාගෙන ආවා කීවොත් මං හරි. ඒ දෙන්නා කොච්චර ප්‍රශ්න ආවත් ගුවන් විදුලිය අතහැරියෙ නම් නැහැ. ගුවන් විදුලියේ තේවිස් ගුරුගේ මහත්මයා අපෙ තාත්තාට හරිම ආදරෙයි. සිරි අයියත් එහෙමමයි. මේ දෙන්නා - ඒ කියන්නේ මගේ අම්මාට තාත්තාට වැඩ පැවරුවාම දෙන්නම එකතුවෙන් ගුවන් විදුලියේ නවාංග රැසක්ම බිහිකළා.
1948 වසරේදී අපේ සොඳුරු කතා නායකයා ජන හදවත්හි ළැගුම් ගත්තේ නොඑසේනම් ආර්.ඒ. චන්ද්‍රසේන නාමය ඉහළට නැගුණේ ‘දස බලධාරී බුදු රජ පෙර කළ‘ නම් ගීතයෙනි. වසන්ත කුමාර ප්‍රවීණ නර්තන ශිල්පියාගේ සඳ කිඳුරු මුද්‍රා නාටකයට ඇතුළත් වූ එම ගීතයට ලැබුනේ ඉමහත් ජනාදරයකි.
සතුටු පිළිසඳර දර්ශනීගේ පි‍්‍රයමනාප කතාවෙන් ඔපවෙයි. ඕ දොඩමලු වන්නේ මහත් සතුටකිනි.
“ අපේ අම්මාට ගයන්නත් පුළුවන්, සින්දු ලියන්නත් පුළුවන්, වාදනයත් පුළුවන්, සංගීතය උගන්වන්නත් පුළුවන්, ඒ වගේම පරිපාලන කටයුතු පවා පුළුවන්, එතකොට ස්වර ප්‍රස්ථාර හදන්නෙ ඒවා සංරක්ෂණය කරන්නෙ අම්මා. අපේ ගෙදරට නිතර කලාවට සම්බන්ධ ඈයොත් එනවනෙ. රුක්මණී දේවී ආවම කාලා බීලා විනෝදයෙන් ඉඳලා ආපහු යන්නේ රෑ බෝ වෙලා. ඉතින් අපෙ අම්මාගේ අතින් තමා කෑම හැදෙන්නෙ. අපෙ තාත්තා වුණත් ගෙට එන කෙනෙකුට කන්න බොන්න දීල යවනව මිසක් නැත්නම් එයාගෙ හිත හරි නෑ. අම්මාට හෙමින් කියනවා උයාපු ඒවා නැතිනම් මගේ කෑම මේසයට තියන්න කියලා“.
මේ දෙදෙනා පිළිබඳ පුවත්පත් කතා කරයි. ඒවා ශි‍්‍රයානි අතින් පොතක ඇලවෙයි. තුඩ තුඩ කතා වෙයි. මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් චතුමධුර, ස්වර රංග, ස්වර තටාක සංගීතවත් වෙති. ඊට අමතරව ගීත නාටක වූ ධර්මපාල ජාතකය, වෙස්සන්තර ජාතකය, විදුර ජාතකය, සරසවි සුරංගනී, සාවිත්‍රී සත්‍යවානී, මනිචෝර (පියසේන කොස්තා) සඳ කිඳුරු (වසන්ත කුමාර) ආදී ප්‍රබලයන්ගේ නිර්මාණ වලට ගායනය චන්ද්‍රසේන- ශි‍්‍රයාණි දෙපළ ගෙනි. සංගීතවත් වනුයේ ද ඒ දෙදෙනා අතිනි.
අපේ පිළිසඳර මඳකට නැවතිණි. ඕ වීඩියෝවක් ජංගම දුරකථනයෙන් පෙන්වූවාය. එය අසිරිමත් යැයි එක්වරම මට හැඟුණේ කර්ණ රසායන පියානෝ වාදනය නිසාමය. සිය පියාණන්ගේ ‘දස බලධාරී‘ ගීතය බටහිර ස්වර ප්‍රස්ථාරයනට නතුව ඕ දෑඟිලි මී මැසි පොදියක් සේ පෙනේ. පියානෝව ඇයට කෙතරම් කීකරුදැයි මට ඒ මොහොතේදී සිතිණි. මම ඇයට සුභ පැතුවෙමි. එය ඇය මුදල් ගෙවා ශබ්දාගාරයක වීඩියෝ ගතකිරීමකි. පියාගේ විසල් සංගීත ඥානය ඇයට ද බිඳකුදු අඩු නැතිව පිහිටා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.
එදා අපේ සීයා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ස්වර ප්‍රස්තාර පොත් මා ළඟ සුරැකිව තියෙනවා. ඔය දස බලධාරි ගී තැටිය එච්.එම්.වී නෙවෙයි එය ගුවන් විදුලි තැටියක්. (ඕ පෙරටත් වඩා සතුට පෙන්වන්නීය.) දන්නවද ගුවන් විදුලියේ තාත්තාගෙ තැටිය මගේ අතට ලබාගන්න තරම් වාසනාවක් මට තිබුණා. ගුවන් විදුලියෙ අවසරය අරගෙන ඒ තැටිය එක්ක පින්තූරයකුත් ගත්තා.“
“ අපේ තාත්තා හරිම සැහැල්ලු චරිතයක් කීවොත් හරි. දුම්වැටිය නිතර තාත්තාට ඕනා. ඔය ප්‍රශ්න කියන එව්වා ඔළුවට ගත්තු කෙනෙක් නම් නෙවි, ජීවිතයම සංගීතය. මම ඉගෙන ගත්තෙ මුලින්ම ක්ලිෆ්ටන් බාලිකාවේ. පස්සෙ ගෝතමී බාලිකාවට ආවා. දවසක් වසන්ත කුමාර මහත්තයා ගෙදර ආ වෙලාවකදි තාත්තාට කීවා උසස් පෙළ සමත් අය සෞන්දර්යය විශ්ව විද්‍යාලයට බඳවා ගන්නවා, දුවට ඉල්ලුම් කරන්න කියලා. ඒ අනුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගිහින් මම වැඩිම ලකුණු ගත්තා. ඒක අවුරුදු හතරක පාඨමාලාවක්. උදේ ගිහින් මං හවස ගෙදර එනවා. තාත්තා මට වයලීන් දෙකක් අරන් දීල තිබුණා. එකක් ගෙදර පුහුණුවට. අනික ඉගෙනුමට. හොරණ ශ්‍රී පාලියේ සංගීත අංශයේ පේ‍්‍ර්මදාස මුදුන්කොටුව මහත්මයා උන්නේ. අම්මා තමා මාව භාරදෙන්න ගියේ. එදා මුදුන්කොටුව මහත්තයා අපේ තාත්තා ගැන බොහොම ගෞරවයකින් තමයි කතා කළේ.“ ඇය සිනාසෙන්නීය.
1949 දී පණ්ඩිත් රතන්ජංකර් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේය. ගුවන් විදුලි සංගීත ශිල්පීන් අතර වර්ගීකරණයකට පැමිණී හෙතෙම ගායනය පිරික්සා බලා ගායනයට වැඩිම ලකුණු ලබාදුන්නේ අපේ කතා නායකයාටය. ගායන ශෛලිය ධ්‍රැපද් විය. ඉන් වැඩිම ලකුණු ඔහුට ය. පසුව ගෘහස්ථ හා එළිමහන් සංගීත සංදර්ශන මෙහෙයවන්නා හැටියට අපේ චන්ද්‍රසේනයන් පත්ව තිබිණි. ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රථම ගී තනුව ද වූ දස බලධාරී ගීතය රැගත් සඳ කිඳුරු නාටකය සංස්කරණය කොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ලදී. එනම් 1948 ජූනි මස 28දා ය. එහිදී එම ගීතය ගැයුවේ අපේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය.
1951 වසරේදී කොළඹ මරදානේ තම නිවසෙහි ඔහු විසින් චන්ද්‍රසේන සංගීතායතනය ආරම්භ කොට ආධුනික දූ දරුවන් උදෙසා පන්ති පැවැත් වූහ. ධර්මදාස වල්පොලයන් එහි මුල් කලදීම නිත්‍ය සාමාජිකයා වූයේය. කොට කලිසමකින් සැරසුණු ධර්මදාස වල්පොලයන් ගේ කුසලතාව මින් පෙර හඳුනා සිටි චන්ද්‍රසේනයන් ඔහුට ගුරුහරුකම් දෙන්නට විය. ඒ 1949 පටන්ය. තවත් බටනළා වාදකයෙකු වූයේ පේ‍්‍රමසිරි කේමදාසයන්ය. ඔහු සංගීතායතනයට එක්වූයේ 1953 දීය. ශිෂ්‍ය අංකය 205 විය.
ධර්මදාස, කේමදාස දෙදෙනාම පෙර අපර දෙදිග සංගීතය පිළිබඳ බොහෝ දේ උගත්හ. ‘අපේ තාත්තාට රාගධාරී සංගීතය ගැන හොඳ අවබෝධයක් තිබුණා වගේම බටහිර සංගීතයද මැනවින් දැනසිටියා. බටහිර සංගීතය මගේ තාත්තා කොහොම මේ තරම් උගත්තේ ද කියන කාරණයට මම පිළිතුරු තවම හොයනවා. තාත්තාට හොඳ ඉවක් තිබුණා. සහජ ඥානය, සහජ කුසලතාව තමා මම විශ්වාස කරන්නේ. හැබැයි අපේ තාත්තා තමන් සතු සංගීත දැනුම සිසු පරපුරට නොමසුරුව ප්‍රදානය කළා.“
තවත් දෙයක්. ඕ අසුනේ හරි බරි ගැසුණාය. ඒ කාලේ සිංහල සංගීතඥයන් ගොඩක් අය පෙරදිග සංගීත ස්වර ලිපි බටහිර සංගීතයෙහි රේඛා මණ්ඩල ප්‍රස්තාර ක්‍රමයට පරිවර්තනය කරන විදිහ වගේම පෙර අපර දෙදිග භාණ්ඩ සංකලනය කරන විදිහෙත් අවබෝධය නැහැ. තාත්තා බොහෝ දේ සිසුන්ට කියා දුන්නා. ඉතින් පසුකාලෙකදි තාත්තාව පූර්වාදර්ශයට අරන් ධර්මදාස වල්පොල මහතා පංචිකාවත්තේ ධර්මදාස සංගීතායතනය පටන් ගත්තා. ඒ එක්කම වගේ පේ‍්‍රමසිරි කේමදාසයන් එහි ආචාර්යවරයෙක් වුණා. පසුව එයින් ද ඉවත්ව එතුමා සංගීත මංජරී නමින් සංගීතායතනයක් ආරම්භ කළා. “අපෙ තාත්තා මෙහි උගන්වන අතරෙදිම කොළඹ ආනන්ද මහා විදුහලේ කෝට්ටේ කි‍්‍රස්තියානි විද්‍යාලයේ වගේම කොළඹ බෞද්ධ කාන්තා විදුහලේත් සංගීතය ඉගැන්වූවා.“
මේ 1951 වසරයි. වේදිකා නාට්‍ය රැසක සංගීත සම්පාදනයට තෝරාගෙන තිබුණේ අපේ කතා නායකයාය. ‘දස්කොන්‘ එබඳු තවත් නාටකයකි. දස්කොන් ලෙස හර්බට් එම් සෙනෙවිරත්නයන් ද බිසව ලෙස ජි.එස්.බී. රාණි පෙරේරා ද රඟපෑ අතර රජු වූයේ උපාලි වනසිංහ ය. නගර සෝභිනී තවත් නාටකයකි. ජෝශප් සෙනෙවිරත්න, අරුණ ශාන්ති, වින්සන් ප්‍රනාන්දු, චාන්දනී කල්‍යාණි එහි රඟපෑවෝය.
අපේ චන්ද්‍රසේනයන්ගේද ශි‍්‍රයාණිගේද හද සතුටින් පිටාර ගියේ කුලුඳුල් දරු උපතෙනි. ඒ 1951 වසරේ දෙසැම්බර් මස 25 වනදාය. දියණියක වූ ඇයට තිලංගනී යනුවෙන් නම් තැබූහ. එය සංගීත රාගයකට හිමි නමකි.
පවුලේ දෙවැන්නා උපන්නේ 1957 ජූනි මස 26 වනදාය. ඒ පුතු ලලිත් විය. 1959 ජූලි මස 8 වනදා උපන්නේ මා හා මේ පිළිසඳරට එක් වූ දියණිය දර්ශනීය.
1953 වසරේ කීර්තිමත් හින්දි ගායකයකු වූ මොහොමඩ් රාෆි දිවයිනට පැමිණියේ මෙහි සංගීත සංදර්ශන කිහිපයකට ය. මේ සංගීත සංදර්ශන සඳහා එම සංවිධායකයින් නම් කරන ලද්දේ අපේ චන්ද්‍රසේනයන්ය. හින්දි සංගීතයට මහත් සේ ඇලුම් පෑ ඔහු හින්දි සංගීතයෙන් පෑ පෙළහර කොතෙක්ද යත් ඔහු හැඳීන්වූයේ ‘ලංකා නෞෂාද්‘ යන ආරූඪ නාමයෙනි. අපේ කතා නායකයා තුළ ඇතිවූයේ රාෆිට සංගීතය සැපයීමට ලැබීම තමන් ලද වාසනා මහිමයක් ලෙසිනි. සංදර්ශන පෙළහර හමාර විණි. ඒ පිළිබඳව රාෆි දැක්වූ අදහස් 1953 දෙසැම්බර් මස 9 දින පුවත්පත්වල පළ වී තිබුණේ මෙලෙසිනි. “ඔබේ පි‍්‍රයතම ගායිකාව වූ රුක්මණී දේවියගේ ගී ගායනයට ලංකාවේ වාදකයකු වූ චන්ද්‍රසේනයන්ගේ වාදනයටත් සවන් දීමේ අවස්ථාව මට හිමි විය. රුක්මණී දේවියගේ ගී අසා මම සතුටට පත්වූයෙමි. එසේම චන්ද්‍රසේනයන්ගේ වාදක කණ්ඩායම ගැන ද මම අතිශයින්ම පැහැදුනෙමි.“
මම දර්ශනීගේ මුහුණ බලමි. මුහුණට එක්ව තිබූ පෙර සිනාව නැත. දුක්මුසු බවක් ඒ මුහුණේ තැවරී තිබිණි. ‘අපේ අම්මයි තාත්තයි දරුවන්ට හිමි වන දුර්ලභ මවුපිය දෙපළක්. මට හොඳටම විශ්වාසයි, ඒ දෙන්නා මේ අපි එක්කල අදත් හෙටත් අප ඉන්නාතුරුත් අප දිහා බලා ඉන්නවා. මට හොඳටම විශ්වාසයි.“ ඇයගේ කටහඬ ද මලානිකය.
කීර්තිමත් අපේ ආදරණීය චන්ද්‍රසේනයන්ට ‘හිස් මාස්ටර් වොයිස්‘ ග්‍රැමෆෝන් ලේබලය සඳහා සංගීත අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලැබිණි. එම ග්‍රැමෆෝන් තැටි සඳහා මොහිදීන් බෙග්, රුක්මණී දේවි, ලතා, ධර්මදාස, ජී.එස්.බී. රාණි පෙරේරා, සුජාතා අත්තනායක ආදීහු ගී ගැයූහ.
‘අයිරාංගනී‘ චිත්‍රපටයට තම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින් අපේ චන්ද්‍රසේනයන් පත්කැරිණි. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නට ඔහු හඳුන්වා දුන්නේ එඩී ජයමාන්නයන් ය. අපේ කතා නායකයාගේ ප්‍රථම චිත්‍රපට සංගීතය එයය. ඒ 1954 දීය. එහි අනෙක් සම සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඉන්දියානු සංගීත ශිල්පියකු වූ ඇස්.ඇස්. වේදා ය.
‘මතභේදය‘ ඔහු විසින් තනිවම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය විය. දෛව විපාකය, ඊළඟ චිත්‍රපටය විය. මේ චිත්‍රපටවල සංගීතය පටිගත කෙරුණේ මදුරාසියේ වාහිණී චිත්‍රාගාරයේය. දෛව විපාකය මදුරාසියේ ෆිල්ම් සෙන්ටර් චිත්‍රාගාරයේ පටිගත කෙරිණි. ඇම්රෝස් නම් චිත්‍රපට සමාගම වෙනුවෙන් ඇම්.ආර්.පී.ඇස්. අමරසිංහ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ‘දුගීනාදය‘ චිත්‍රපටයේ කටයුතු අතරමඟ නැවතිණි.
“තාත්තයි රුක්මණීයි හරිම මිතුරුයි සිංහල වචන දමලා නැළවිලි ගීතයක් තාත්තා රුක්මණී ලවා ගායනා කෙරෙව්වා. එය පළමු වරට චිත්‍රපටයකට කියා නැළවිලි ගීයක් ගැයුණේ. මතකද රුක්මණීගේ ගැයුමේදී එයා ගයන හැඬුම් ස්වරය. ඔයාට මතකද? දර්ශනී මාගෙන් විමසන්නීය. ඉකි බිඳුමින්, හැඬුම් ලතාවෙන් රුක්මණී ගැයූ ගීතයක් දෙකක් මම ඇයට සිහිපත් කළෙමි.
“අන්න ඒ හැඬුම් ස්වරය රුක්මණීට කියාදුන්නෙත් අපෙ තාත්තා“ මම සිනා සී සතුට පළ කළෙමි. ඕ යළි කතා කළාය.
“එච්.එම්.පී. සමාගම 1950 දී විතර එච්.එම්.පී. තැටි වලට සංගීතය සපයන්න තාත්තාව තෝරා ගත්තා. ඒ තැටි වලට තාත්තාගෙ දස බලධාරී ගීතයක් ගැයුවා. තාත්තගෙම වාදක මණ්ඩලයේ බටනළාව ධර්මදාස වල්පොලයන්, එයා ආධුනිකයා. එයාට ගයන්න කීවාම එයා තාත්තාට කියලා තියෙනවා ‘අනේ මට බයයි කියලා. තාත්තා ධර්මදාසයන් ව දිරිමත් කරල තියෙනවා. අනික, තාත්තා ආධුනිකයන්මයි පුහුණු කරවල ඉස්සරහට දාන්නේ‘. දර්ශනීගේ කටහඬ ගොරෝසු වූවා සේ ඇසේ.
“ සංගීත ගුරුවරුන් සංගීතය හදාරන සිසුනට දස බලධාරී ගීතය ග්‍රැමෆෝන් ගීතයක් විදිහටයි හඳුන්වල දීල තියෙන්නෙ විෂය නිර්දේශයට - ඒක ලොකු වරදක්. එය ගුවන් විදුලියෙ සඳ කිඳුරු මුද්‍රා නාටකය වෙනුවෙන් තැටිගත කළේ. ඒ ගීතය එළියට ආවේ ගුවන් විදුලියෙන්.
“අපෙ තාත්තා 1960 වනවිට සංගීත අධ්‍යක්ෂණය කළාට ප්‍රසංග නිෂ්පාදකවරයකු හැටියටත් සංගීත අධ්‍යක්ෂණයත් අතට ගත්තා. සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට තාත්තා ප්‍රසංග වේදිකාවක් හැදුවා.“
දර්ශනීගේ කතාවට අනුව චතුරාංගනී, පංචාගනී හා ලලිතාංගනී ප්‍රසංග තුනක් ඉදිරිපත් කරමින් හෙතෙම රටපුරාම ගියේය. ඒ ප්‍රසංග තුළ තවත් විශේෂාංග එකතු පහදු වී තිබිණී. විහිළු තහළු විකට වැඩසටහනකි. ඊට අපේ ඇනස්ලි බර්ටි සැමුවෙල් සිටියහ. ගායනයට එඩී, රුක්මණී, ජී.එස්.බී., ධර්මදාස, මේබල් බ්ලයිත් සිටියහ. නර්තනයද ඊට එකතුව තිබිණි. ඇත්තටම තාත්තා රාගධාරි සංගීතයට කැමතියි. ඒ එක්කම බටහිර සංගීතයටත් කැමතියි. ඉතින් අපේ තාත්තා රාගධාරී සංගීතයයි බටහිර සංගීතයයි දෙකම එකතු කරන්න වෑයම් කරද්දි තමයි ගුවන් විදුලිය හරහට හිටියේ. ශිල්පීන්ව වර්ගීකරණය කරන්නත්, ඉන්දියාවෙන් ගෙන්නුවේ ඒකනේ. මේ දෙක එකතු කරන්න ගිය තාත්තාට ගුවන් විදුලිය අහිමි වුණෙත් ඒකමයි. ගුවන් විදුලියෙන් බිහි වූ තාත්තාට ගුවන් විදුලියම කෙණෙහිළිකම් කළා. ඒකමයි දුක. ආර්.ඒ. චන්ද්‍රසේනට ගුවන් විදුලියට එන්න දෙන්න එපා කියන රාවයකුත් අසන්නට ලැබුණා. ඒත් අපේ තාත්තා ඒවාට හැප්පෙන්න ගියේ නැහැ.“ ඇයගේ හඬ පෙර සේ මුදු මොළොක් නැති.
අපේ කතා නායකයා ආර්.ඒ. චන්ද්‍රසේන සිය නාමය කෙටි කර ආර්.ඒ.සී. රෙකෝඩ් යනුවෙන් හෙතෙම සංගීත ව්‍යපාරයකට අතගැසුවේය. ලංකාවේ සංගීත අධ්‍යක්ෂවරයෙක් පළමු වතාවට සංගීත තැටි ව්‍යාපාරයක් ආරම්භ කළේය. එය සරු වූයේය. ඔහුගේම අදහසකට අනුව එය ආධුනිකයන් වෙනුවෙන් ම යෙදවිණි. ඔහුගේම මතයම තබනා රචකයින් ද එකතු කරගත්තේය. සිරිල් ඒ සීලවිමල, අමර කුමාරරත්න, පී.ඇම්.සේනාරත්න, කරුණාරත්න අබේසේකර ආදීන් ලවා ගීත ලියවා ආධුනිකයන් ලවා ගායනා කරවූයේය. ආර්.ඒ.සී. තැටි ආධුනිකයන්ට ම වෙන්විය.
‘ආර්.ඒ.සී. තැටිවල දෙපැත්තේම ගීත හතරයි. එක් පැත්තක එදා ආධුනිකයකු වන වික්ටර් රත්නායකයන්ගේ මෝහෙන් මුළාවෙලා, මගේ අක්කා තිලංගනී චන්ද්‍රසේන හා චම්පා අතපත්තු එක්ව ගැයූ කැවුම් කොකිස්, කොළඹ හතේ ගීතය ගැයුවේ එදා ආධුනික නිහාල් නෙල්සන්. හැමෝම ආධුනිකයින්“.
‘අපේ තාත්තා මට හරිම ආදරෙයි. ඒ කාලෙ තාත්තා මට කොණ්ඩේ වවන්න දෙන්නෙම නැහැ. තාත්තාගෙ කොණ්ඩේ ස්ටයිල් එකටම මගේ කොණ්ඩේ කප්පවන්නේ. මොකද දන්නවද හැමෝම හැම තැනදිම දන්න අය කියන්නේ ආ තාත්තාගෙම කපාපු පළුව මේ දුව. නැත්තම් චන්ද්‍රසේන මාස්ටර්මයි කියනවා. එහෙම අහගන්න ඇති ආසාවට තමා තාත්තා එහෙම මගෙ කොණ්ඩේ කපන්නේ.’ තාත්තා ගැන කතාව ඕ මඳකට වෙනත් අතකට හරවා ඇත්තේය. ඒ සිත නැගි දුකට නෙත නැගෙන කඳුළු වළකාගන්නට විය යුතුය. මම නිහඬවම පසුවෙමි.
‘මට සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙදි තමා මගේ මහත්තයා හමුවුණේ. එයත් සංගීත උපාධිධාරියෙක්. ගායන ශිල්පියෙක්. අප විවාහ වුණේ 1983 දී අපි මුලින් ගුරු පත්වීම් අරන් නුවරටම ගියා. විදුහල් කීපයක අප සංගීත ගුරුවරු හැටියට කටයුතු කළා. පස්සේ දෙන්නාම කොළඹට ආවා. බස්නාහිර පළාතෙ කලාප ගණනාවක සංගීත අධ්‍යක්ෂ විදියට මම රැකියාව කළා. මේ නිසාම තාත්තා ඉගෙනුම ලද පාසල්වලට යන්නත් මං වාසනාවන්ත වුණා. ගුවන් විදුලි තැටි දෙසියයක් පමණ මං හොයාගත්තා. මගේතාත්තා මාව දාල ගියත් තාත්තා මේව හැදැරුවේ කොහොමද කියලා මං හොයනවා. මා ලියන පර්යේෂණ ග්‍රන්ථයටත් මේවා වැදගත්නෙ.්’
අපේ ආදරණීය කතා නායකායාගේ නාමය ද ඔහු රට දැයට දිරියෙන් ස්වෝත්සාහයෙන් ලැබදුන් ඒ මහඟු කර්තව්‍යයන් ඉදිරියටම ගෙන යන්නට සැදී පැහැදී පසුවන දර්ශනී චන්ද්‍රසේන කනිටු දියණිය සේම ඇයගේ වැඩිමහල් පුතු පද්මශංඛ හර්ශදේව ආරියසිංහයන් තම සීයාගේ ද තම පියාගේ ද නිර්මාණයන් ඉදිරියට ගෙන යමින් ගී ගායනයේ ද පසුවෙන අතර ඔහු විවාහ වී පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඇයගේ දෙවන පුතු පුලස්ති නාරද ආරියසිංහය.
මගේ පුතාලා දෙන්නාම පරිගණක ක්ෂේත්‍රයේ මේ දෙන්නා මගේ අත්දෙක සමානයි. මාගෙන් පස්සේ මේහැමදේම එයාලා ඉදිරියට ම ගෙන යන බව මට විශ්වාසයි. දෙදරු මවක වන ඕ සතුටින් කියන්නීය.
සිය ජිවිතයේ අවසාන භාගය ඔහුට වේදනාත්මක විය. සංගීතය හදාරන දියණිය දර්ශනී සමීපයට ‘අද මොනවාද ඉගෙන ගත්තේ’ යැයි විමසා ඇයගේ පාඩම් පොත්පිටු පෙරළා බලා කාමරයට ගියේය. හැම අතින්ම ඔහුට සවියක් වූ ශි‍්‍රයාණි කාමරයට එබී බලන වි්ට දුටුවේ තම ලැම මත සුරත තබාගත්වනම වේදනාවෙන් පසුවන තම සැමියාය. එවක ඔහු ජීවත්වුයේ මරදාන එල්ෆිනිස්ටන් රඟහල ආසන්නයේ ඔහුගේම නිවසේය. මහ රාත්‍රිය නිසාම කුලී රියකුදු නැති. ලොකු දුවට දන්වා රථයක් ගෙන්වා මහරෝහලට රැගෙන ගියේය. වාට්ටුවකට ද ඇතුළත් කෙරිණි. එහෙත් අපේ සොඳුරු කතානායකයා නිසලවමය. කිසිත් සිතාගත නොහැකිව පසුවන සෙවණැල්ලවන් බිරිඳ ශි‍්‍රයාණි වෙතට පැමිණි එහි වෛද්‍යවරයා ඔහු අත්ඇඟිල්ලක පලැඳ හුන් රන්මුදුව ගලවා ඈ අතට දී හිස් බැල්මෙන් නිරුත්තරව බලා සිට ඉවතට යන්නට වුයේය.
අපේ කතානායක ආර්.ඒ. චන්ද්‍රසේනයන් 1980 ක් වූ මාර්තු මස පළමු වනදා අළුයම් වේලෙහි සියල්ලනගෙන් සමුගෙන කොහේදෝ නික්ම ගොස් තිබිණි.
ලොකු දුව තිලංගනී පුතු ලලිත් ය. තෙවැන්නිය සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන කැලණිය විශ්ව විද්‍යාලයෙහි සෞන්දර්ය අධ්‍යාපනය ආයතනයෙන් ලලිත කලාවේදී උපාධියලත් ගුවන් විදුලි හා ප්‍රවීණ ගායන ශිල්පිණියක එවක අගමැති ආර්. පේ‍්‍රමදාස මහතා ශ්‍රී සුචරිත ව්‍යාපාරයෙන් කැළණීය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට පිරිනැමෙන සංගීත ශිෂ්‍යත්වයක් ආර්.ඒ. චන්ද්‍රසේන ශිෂ්‍යත්වය යනුවෙන් නම් කළේය.
‘අපේ තාත්තා අපේ අම්මා කොහේ හරි තැනක ඉඳන් අප දිහා බලා ඉන්නවා. ඒක ඇත්තමයි.‘ අප පිළිසඳර හමාර කළ එතුමාගේ කණිටු දියණිය දර්ශනී චන්ද්‍රසේන මහත්මිය එසේ තොල් මතුරමින් බිම බලාගත්වනම පසුවන්නට වූවාය.