වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මගේ සංවේදී සිතුවිලි මේ නිර්මාණවලින් මුදාහරිනවා

කවි වෙනුවෙන් ලැබෙන ගුණදොස් මට මහමෙරක්
කැන්ගරු දේශය හරහා සොබා චාරිකාවක යෙදෙන්නයි මේ සූදානම. ‘යාරා නදියෙන් එතෙර’ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයත් සමඟ අප ඒ චාරිකාව කැඳවා යන්නී, අනූෂා සිල්වා ය. ඉඳීන්, යාරා නදියත් ඉන් එපිටටත් දිවෙන මේ ගමනේ සොබා සිරිය කරා ඇදෙන අපේ ගමනේ නැවතුම්පළ ගණනාවකි. ඒ ගමන අතර මැද කෙළිදෙළෙන් දුව පැන නටන ළමුන්, කුරුලු කූජන මැදින් එරට මෙරට එකෙල මෙකෙල වන්නට ලැබීම මෙරට පාඨකයාට අලුත්ම අත්දැකීමක් වනු ඇත.
අනූෂා අපි මේ ගමන කොළඹින් අරඹමු?
කොළඹ, පදනම් ආයතනයේදී ඉකුත්දා මට මගේ හීනයක් සැබෑ කර ගැනීමට වරම් ලැබුණා. 'යාරා නදියෙන් එතෙර' මගේ කවි පොත, අනෙක, ඉංග්‍රීසි බසින් රචිත ළමා කෘති දෙක. ඒ පොත් එළිදැක්වීමත්, කෙටි නිවාඩුවක් ගත කිරීමත් මුල් කරගෙනයි මං ඉකුත් වසරාවසානයේ මවු රටට ආවේ.
ඇත්තෙන්ම, මේ නිර්මාණ වෙනුවෙන් බොහෝ දෙනකු වෙහෙස මහන්සි වුණා. එහෙම නොවන්නට මට මේ කටයුතු තනිව ඉටුකර ගත නොහැකි වෙනවා. අනෙක, මම දිගු කාලයක් තිස්සේ හදවතේ පොදි ගැණුනු හැඟීම්, අත්දැකීම්, අකුරට හරවමින් සිටියා. මුලින් මේ අත්දැකීම් ඇසුරෙන් නවකතාවක් ලියන්නයි මං කල්පනා කළේ. ඇත්තටම සෑහෙන දුරකට ලියැවුණු එයට වඩා කවිය ඉස්සර වුණා. විශේෂයෙන් පිටරට මං ජීවත් වන පරිසරයටත් මං බෙහෙවින් ආසා කරනවා. සතුන්ගේ හැසිරීම්, චර්යාවන් මට මං නියැළෙන පෙර පාසල් ගුරු වෘත්තිය සමඟත් බැඳෙනවා. එහි ඡායාවකුත් මේ පොතට වැටී ඇතැයි සිතෙනවා. ඒ හැඟීම් ලියා තැබීමෙන් මං පුදුම තරම් තෘප්තියක් ලබනවා. ඉතින්, දැන් ඒ සිතිවිලි මල් පොකුරු කවි විදියට ලෝකයට මුදා හැර අවසන්. ඉතින්, පොත් එළිදැක්වූ දවසේදීත් විශාල පාඨක සහභාගිත්වයක් දක්නට ලැබුණා. දැනටත් ඒ කවි වෙනුවෙන් ලැබෙන ගුණ, දොස් වුණත් මට මහමෙරක්.
අපි එතැනින් පොතේ අන්තර්ගතයට හැරෙමුද?
මං මගේ හැඟීම්, වේදනා, සතුට, කාන්සිය එළිදැක්වූ මඟ වුණේ 'යාරා නදියෙන් එතෙර' නමින්. මං හුඟක් සංවේදී වැඩියි කියලා හිතෙන තරමට මට මගේම සිතිවිලි වගේම, සමීපතම අයගේ දුක්, වේදනා, විරහව ආදිය මට බලපානවා. ඒ මතක සිතට වධ දෙන තරමින් මිදෙන්න පුළුවන් විදියේ මඟක් විදියට මං නිර්මාණය තෝරා ගෙන තියෙන්නේ.
විශේෂයෙන්ම මගේ ස්වාමි පුරුෂයා වන නයනකාන්ත කුඩගම්මන මට මහා දිරියක්. ලංකාවේ මං ජීවත් වුණේත් පරිසරයට ආසන්නවයි. මට ඊට මඟ පෙන්වූ මවුපියන්වත් මං නිතර සිහි කරනවා. මගේ මව ඉන්ද්‍රසේන සිල්වා, මව, පියා, එච්. සී. පර්ල්, එකම සහෝදරයා නලීන් සිල්වා. ඒ ඇතුළු ඥාති, හිත මිතුරන් සියලු දෙනාට මම ස්තුති කළ යුතුමයි. ඉතින්, මං කවියට මෙතරම් කිට්ටු වෙන්න කලින් සිතුවම් ඇඳීමෙන් හැඟීම් පිටකරන්න උත්සාහ දැරුවා. මුහුණු පොත අනෙක. ඒ හරහා මට මිතුරු මිතුරියන් රැසක් මුණ ගැහුණා. ඒ බොහෝ දෙනකු මට මේ පොත එළිදැක්වීමේදී දුන් සහාය අපමණයි. ඒ පිළිබඳත් සිහිකළ යුතුමයි.
ඒ වගේම, මගෙන් මේ පොතේදී සමහර නිර්මාණ ගති ගුණ මඟහැරෙන්නත් ඇති. ඒත් මං ඉදිරි නිර්මාණවලදී මගෙන් වුණු අඩුපාඩු, දුර්වලකම් හදාගෙන ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. මේ මගේ විදිය. ඒ තුළට වෙනස්ම පරිසර පද්ධතියකින් වටවුණු යාරා නදී තෙර සොබා සුන්දරත්වය තැවරෙනවා. මේ සියල්ලටයි, යාරා නදියෙන් එතෙර කියලා මං කියන්නේ.
අනෙක, සිංහල බසින් වැඩිදුර ඉගෙන නොගත් මං ඩික්ෂනරි ලංකාවෙන් ගෙන්වාගෙන කවියට වඩා සුදුසු සිංහල වචන තෝරන්නටත් පුරුදුව සිටිනවා. ඒ අනුව මං අමුතුම විචිත්‍ර කවි ලෝකයකට පිවිස සිටිනවා. එය වචනයෙන් කිව නොහැකි තරම් විචිත්‍රයි. විදෙස්ගතවී අවුරුදු දොළහකට වැඩි කාලයක් තිස්සේ මං ඒ විදියටයි පුරුදුව ඉන්නේ. ඒ මගේ ගැන. කොහොම වුණත් කලක් හිතට වධ දෙන මතක වලින් ඈත් වෙන්න පුළුවන් විදියේ මඟක් විදියට මට තියෙන්නේ නිර්මාණයක යෙදීමමයි. සරල කවියටයි මං නිතර යොමු වෙන්නේ. නිසඳැසට මං වඩා ප්‍රිය කරනවා.
තවදුරටත් යාරා නදී තෙරම රැඳෙන්න පාඨකයා කැමැති ඇති?
ඒ, මෙල්බර්න් නුවරට පිවිසෙන කාගේත් නෙත් සිත් පැහැර ගන්නා දසුනක්. ග්‍රීන් ස්ට්‍රයිව් (ඨපඥඥද ඵබපඪමඥ) එතරම්ම මනරම් දසුනක්. මේ අසලදී හැමදේම වෙනස් වන ගතියක් තමයි දැනෙන්නේ. මේ පොතේ කවරයේ සටහන් වෙන්නේත් එයමයි.
ආගමික, දාර්ශනික පැති ඔබේ ඇතැම් නිර්මාණවලින් පෙනෙනවා?
ඒත් ලෝකයේ නිර් ආගමික ප්‍රවණතාවක් දක්නට පුළුවනි. ඕස්ට්‍රේලියාවේදීත් තරමක් දුරට ඒ ස්වභාවය දකින්නට පුළුවන්. ජාති, ආගම්, කුල බේද කිසිවක් නිසා කිසිවකු බෙදා වෙන් නොකළ යුතුයි. ඒ හැඟීමයි මට තියෙන්නේ.
අපි දැන් කරපොවන්නේ කැන්ගරු දේශයේ ළමා ලෝකයටයි?
ඒ වෙනස්ම අත්දැකීමක්. ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් පූර්ව ළමා විය ගෙවන ළමුන් සහ ඒ අයට උගන්වන දෑ පිළිබඳ ලැබිය යුතුයි.
ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය පිළිබඳ අධ්‍යාපන වැඩපිළිවෙළ වැඩිපුර ක්‍රියාකාරකම් ඇතුළත්. එරට සමහරු පූර්ව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට දරුවන් එවනවා. තවත් සමහරු එහෙම නැහැ. ඒත් ඒ කොයි කවුරුත් පරිසරයට ළමුන් එක්කරගෙන යෑමට අමතක කරන්නේ නැහැ. එය පන්ති කාමර අධ්‍යාපනයෙන් ලැබිය නොහැකි විදියේ සුන්දර අත්දැකීමක්.
ව්‍යායාම් ආදියේදිත් මාළුබෑමේ යෙදෙන විටදීත් එරට බොහෝ වැඩිහිටියන් ළමුන්වත් කැඳවාගෙන යනවා. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලදී ඒ ළමුන්ව අකුරු ලිවීමට පොලඹවන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට නිතර කතාන්දර ඇසීමට සැලැස්වීමෙන් ඒ අයට ලෝකය ගැන සරල, රසවත් අවබෝධයක් හා අත්දැකීම් දීමට පෙලඹෙනවා. මුළු දවසටම තුන් වතාවක් පමණ ළමුන්ට කතාන්දර පොත් කියාදීමේ කාර්යයේ ගුරුවරු විදියට අපි යෙදෙනවා.
අපේ කටයුතු අධීක්ෂණයට එරට රජයේ වෙනම ඒකකයක් පිහිටුවා තියෙනවා. තුන් වසරකට වරක් අනිවාර්යයෙන්ම ළමුන්ට ඉගැන්වීමට සුදුසු බවට පිළිගැනෙන බලපත්‍ර ගත යුතුයි. එය නොමැතිව ඉගැන්වීමේ කටයුතු වල නිරත විය නොහැකියි. ඒ අය සමහර විට නොදන්වාම ඇවිත් දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය අධීක්ෂණය කරනවා. එහිදී ගැටලු දුටුවහොත් ඊට විනයානුකූල පියවර ගැනෙනවා. ඔවුන් පෙර පාසලට පොත්පත් රැගෙන නොඑන තරම්. ගංගා, දිය ඇලි වල සුන්දරත්වය, සතා සිවුපාවුන්ගේ හැසිරීම්, මසුන්ගේ ජීවන රටාව, කුරුලු කූජන ආදිය සමඟයි ඒ අය පූර්ව ළමා විය ගෙවන්නේ. වැලි කෙළිය එරටත් තියෙනවා. එහිදී ළමුන් පුදුම තරම් වින්දනයක් ලබනවා. සොබා දහම අඩු නැතිව විඳීන්නට සැලසීමයි එහි අරමුණ. තනතිල්ලේ පාවහන් නැතිව ඇවිදවීමට සැලැස්වීමටයි එරට අධ්‍යාපන බලධාරින් ගුරුවරු වන අපටත් මඟ පෙන්වන්නේ. සෑම සති දහයකටම දෙසතියක් වශයෙන් ගුරුවරු වන අපට එරට නිවාඩු දෙන්නේ අලුත් ජවයකින්, නව ආකල්ප ඇතිව සොබාදහමට සමීප වෙමින් තවදුරටත් ළමා අධ්‍යාපනය විධිමත්ව කිරීම සඳහායි. ළමුන් ඒ ඒ අත්දැකීම් චිත්‍රයට, නඟනවා. සමහරු ඒ මතක එක්ක අකුරු කිරීමටත් පෙලඹෙනවා.
එරටත් ළමුන් වෙනුවෙන් කතා පොත් ලිවීම වෙනම කලාවක්. මුළු පිටුවටම එකක්, දෙකක් තමයි අකුරු තියෙන්නේ. වැඩිපුර චිත්‍ර ආදී ක්‍රියාකාරකම් මඟින් ළමයාට විඳීන්නට සලසනවා.
එසේම, මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතුත් වසංගත කාල වකවානු වැනි දුෂ්කර කාල වලදී මා විසූ ක්වීන්ස්ලන්තයේදීත් කෙරුණා. දැන් ඊට වඩා වෙනස් තවත් ප්‍රත්‍යන්ත ප්‍රදේශයකයි මං ජීවත් වෙන්නේ. එය වුවත් යාරා නදී තෙර මෙන් තවත් අත්දැකීම් උල්පතක්. ඒ ඇසුරෙනුත් වෙනස් නිර්මාණ බිහි වෙතැයි මං හිතනවා.
සේයාරූ - සුදත් නිශාන්ත