‘අපේ ඇස්වල කඳුළු දැක්කාම පප්පාගෙ ඇස් දෙකත් කඳුළින් පිරෙනවා’

ඩොමී ජයවර්ධනගේ දියණිය නාලිනී ජයවර්ධන කියයි
පෙබරවාරි 16, 2023

 

‘අපේ පප්පා තමයි ඩොමී ජයවර්ධන. පප්පා චිත්‍රපටවල රඟපාන්න ගිහින් ගිවිසුම් අත්සන් කළ දවස්වලට ගෙදරට ආපු ගමන් ආ රාණියා, මේ සල්ලිවලින් ඔයාට ඕන දෙයක් ගිහින් ගන්ඩකො කියල මගේ අතට පප්පා සල්ලි දෙනවා. මං පුංචි කාලෙ අපේ පප්පා මට ආදරේට කිව්වේ ‘රාණියා’ කියලා.

මා හා මෙසේ කතා කරන ඕ නාලිනී ජයවර්ධන මහත්මිය ය. එදා මෙන්ම අදටත් සිනමා රසික සිත්සතන් හී රැඳී ඉන්නට තරම් සුවිශේෂී රංගන කුසලතාවකින් හෙබි අපේ අද කතා නායකයා ඩොමී ජයවර්ධනයන් ය.

දැනුදූ මා මතක තිරය මත ඔහුගේ රුව පෙනෙයි. ටයිකෝට් ඇඳුමකින් සැරසී ගත් ඔහුගේ මුවඟ දුම් පයිප්පයකි. හේ වරින් වර දුම් පයිප්පයේ කෙළවර දකුණත ඇඟිලි කිහිපයකින් අල්ලා දුම් ගුළි පිටකරන්නේය. තේජස් විලාසයේ අඩුවකු දු නැති, ඉහළට ඇදී යන දුම් ගුලි දෙස හෙතෙම බලා සිටී. වම් අතැති බස්තම බිම ඇන ඇන බර අඩි තබමින් ඒ මේ අත යන්නේය. මුහුණෙහි අහලකවත් සිනාපොදකුදු නැති ගරු ගම්භීර පෙනුම ඉහවහා ගිය තරම්.

සිය කටහඬ අවදි කළ විට ඒ ගොරෝසු බැල්ම ද තේජස් විලාසය ද තවත් තිවෘ පෙනේ. මේ විලාශය නුරුස්නා සිනමා පේ‍්‍රක්ෂකයා හුන් තැනම සිට ඔහුට දෙස් දෙවොල් නගන්නේය. ශාප කරන්නේය. බැණ අඬ ගසන්නේය.

‘ඔය චිත්‍රපටවල අපේ පප්පා රඟපෑවේම දුෂ්ටයාගේ චරිතමනේ. ඒත් අපේ පප්පාගේ සැබෑ ජීවිතයේදී හරිම නිහඬ කරුණාවන්ත චරිතයක්. පප්පා කැමැතිම නැති දේ අනුන් ගැන කතා කරනවාට. අනුන්ගේ ඇද කුද හොයනවාට. අපට මොටද අනුන්ගේ දේවල්. අපේ දෙයක් බලන් හිටියාම ඒ හොඳටම ඇති. එහෙම පප්පා කියන අවස්ථා තියෙනවා.’ දෙවන දියණිය නාලිනී කියන්නීය.

සරසවිය වෙනුවෙන් අප නාලිනී මහත්මියගේ නිවසට ගිය මොහොතේ සිට තම ආදරණීය පියාණන් පිළිබඳව හිත පුරා පිරී ගිය මහත් සොම්නසකින් යුතුව ඈ කීවාය. මම ඇයට සවන් දෙමි.

‘අපේ පප්පා හරිම පිළිවෙළයි. අඳින ඇඳුම පවා හරියටම පිළිවෙළට එයාට තියෙන්න ඕනේ. මම ජනපි‍්‍රය නළුවෙක් කියන ආඩම්බරකමක් හිතේ ගැවිලාවත් තිබුණෙම නැහැ. ඒ වුණාට පප්පගෙ පෙනුම කතාව හැසිරීම ආඩම්බර පාට තමා. ඒත් එහෙම නැහැ.’

අපේ සොඳුරු කතානායක ඩොමී ජයවර්ධනයන් උපත ලද්දේ 1926 ක් වු ජුනි මස 25 වනදාය. ඕබඩගේ ඩොමී ජයවර්ධන එතුමාගේ උප්පැන්නයේ නමය. බේබි නෝනා සහ ඩැනියෙල් ජයවර්ධන මවුපිය දෙපළට උපන් දරු තිදෙනා අතරින් වැඩිමහල් දරුවා අපේ සොඳුරු කතා නායකයාය. ඉගෙනුමට ෆෙම්රොක් නම් ජාත්‍යන්තර පාසලකට මුලින්ම ඇතුළත් වූ අපේ ඩොමී පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ද අනතුරුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ද අධ්‍යාපනය හැදෑරීය. එතුමාගේ නැගණිය රෝස් ජයවර්ධන වන අතර එකම සොහොයුරා වනුයේ චාලි ජයවර්ධනය.

‘අපේ පප්පා හරිම නිහඬ චරිතයක් කියල මං කීවනෙ. පොඩි කාලෙදිත් තමන්ගේ පාඩුවේ තමයි හැම වැඩක්ම අඳින ඇඳුම වගේම හරි පිළිවෙළයි.’ නාලිනී මහත්මිය කියන්නීය.

අපේ ඩොමී ජයවර්ධනයන් එකල ප්‍රකට මිනර්වා නාට්‍ය කණ්ඩායමට එක්වුයේය. ඒ තුරුණු වියේදීය. එතුමාගේ රංගන ජීවිතයේ ඇරුඹුම මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් යැයි කිවහොත් වඩාත් නිවැරදිය. මතු අනාගතයේ කිරුළු පලන් නළුවකු වේ යැයි හෙළ සිනමාවට නැතිවම බැරි රංගවේදියකු වේ යැයි එදා එතුමා සිතුවේ දැයි නොදනිමි. පියවරින් පියවර ඉදිරියට ම පැමිණි ගමනේ දී රසික හදවත් අතර සුවිශේෂී සලකුණක් බවට පත්වන්නට තරම් එතුමා භාග්‍යවන්තයකු වුයේය.

‘නාලිනී මහත්මිය මුවඟ අතුරුදන් නොවන සුන්දර සිනාවකි. මම ඈ දෙස බලා හිඳිමි.

‘ඉතින් අපේ පප්පාගෙ කැමතිම ඇඳුම ඇහුවනෙ. ආයෙත් දෙකක් නැහැ. අපේ පප්පා කැමතිම ටයි කෝට් ඇඳුමටයි. උත්සවවලට වගේම ගමන් බිමන් යද්දි ෆුල් සුට් එකම තමයි ඔන්න ඉතින්. ඒ කාලෙ අපේ පප්පා ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා.’

අපේ කතානායක ඩොමී මිනර්වා නාට්‍ය කණ්ඩායමේය. එතුමා ගේ ජීවන සහකාරිය මේ කණ්ඩායම සමඟ හිඳින්නේ යැයි සිතුවාදැයි නොදනිමි. ඇය සමඟම වේදිකාවේ රඟපෑවේය. කුලුපග වුයේය. ඕ තොමෝ අතිශයින් සුන්දරය. මැලේ ජාතික තරුණියක වූ ඕ අපේ ඩොමී සමඟ ඇතිකරගත් මිත්‍රත්වය ප්‍රේම සබඳතාවකට හැරිණි. ඕ නමින් මෝනා සුබේදාය. වේදිකා නාට්‍යය සියයකට එහා රංගනයෙන් නමක් දිනූ ඇය සමඟ එතුමා විවාහ ගිවිස ගත්තේ වසර කිහිපයක් පුරා බෙදා හදා ගත් ආදරයක් මල්ඵල ගන්වමිනි.

විවාපත් වීමෙන් පසු දෙදෙනාම එක්ව කිසියම් තීරණයකට එළැඹියේ අනාගතය ගැන ද බොහෝ දේ කතාබස් කරමිනි. නෝනා සුබේදා හෙවත් අපේ ආදරණීය කතානායකයාගේ බිරිඳ සිය රංගන දිවියට සමුදුන්නාය. නොඑසේ නම් ප්‍රියමනාප ගෘහණියක වන්නට වුවාය. ඊට වඩාත් සතුටට පත් වූ අපේ ඩොමී තමන් ලද විවේකයක දී ඇයට උදව්වට සිටියේය. සිය හිමිගේ රංගන ජීවිතයට වඩාත් අතහිත දෙමින් පවුල් ජීවිතය සකසුරුවමින් යහපත් කරගන්නට හැම මොහොතක්ම කැප කරන්නට වුවාය. තවත් කෙටි කලකින් අපේ සොඳුරු කතා නායකයා දරුවන් තිදෙනකුගේ දයාබර පියකු විය. ඉන් පළමු වැන්නා නිහාල් ජයවර්ධනය. ඔහු ද කලා කුසලතා රැසකින් පිරිපුන් ජනපි‍්‍රය පුද්ගලයකු විය. හෙතෙම ගායකයෙකි. වරෙක නළුවෙකි. තවත් වරෙක ගුවන් විදුලියේ නාට්‍යවලට සිය ගැඹුරු හඬ මුසුකළ අයෙකි. එකම දියණිය දෙවැන්නිය මා හා පිළිසඳරේ පසුවන නාලිනි ජයවර්ධන මහත්මියය. බාලම දරුවා ගායකයකු මෙන්ම විවිධ කලා ක්ෂේත්‍රයන්හි නිරත රෝයි ජයවර්ධනයන් ය.

‘මං පුංචි කාලෙ අපේ පප්පා මට කතා කළේ රාණියා කියලනෙ. මට හරිම ආදරෙයි. ඒ උණුහුමත් මට තාම මතකයි. ඒ වගේමයි අපේ අම්මත්, පවුලේ සමගිය අපේ අම්මාට එකට තිබුණේ. අපේ අම්මාට කවදාවත් කේන්ති ගිය දවසක් මට මතක නැහැ. ඒ තරම් අහිංසකයි. පප්පාට අම්මාගේ හිතේ තිබුණේ උතුරා යන ආදරයක්, පවුලේ සමඟිය ආරක්ෂා කරන්න අපේ අම්මා කැප වුණාය කීවොත් වඩාත් හරි, දැන් ඉතින් අපේ පප්පාට හරිම කාර්ය බහුලයි. විවේකයක් ඇත්තේම නැහැ.’

අපේ කතා නායකයා වේදිකා නාට්‍ය ලොවින් බැහැරව සිනමාවට එක්වුයේය. එතුමාගේ සිනමා දිවියේ පළමු පියවර ‘සුජාතා’ චිත්‍රපටය. එහි රඟපෑමත් සමඟින් රසික දනෝ ඩොමී ජයවර්ධනයන් හඳුනාගත්හ. එම චිත්‍රපටයේ බිරිය ද රඟපෑවාය. වැල නොකැඩී තමන් වෙත එන චිත්‍රපටවලට එතුමා සිය රංගනයෙන් දායක වුයේය. තම හිමි රටතොට පරසිදු වන්නට වන්නට තම කලා ජිවිතය තම පවුල වෙනුවෙන් අමතක කොට සිටි බිරිඳ සුබේදා වඩාත් සතුටට පත්වුවාය. මිල මුදල් මත්තේ හඹා යන හිතක් - පුරුද්දක් තිබුණේම නැති අපේ ඩොමීට බිරිය වරින් වර ආදරයම මුල්තැනෙහි තබා උපදෙස් දුන්නාය. දැන් අපේ ඩොමී ගේ මුවඟ දුම්වැටියක් නැති වේලාවක් නැති තරම්, රහමෙර පානය ද එලෙසමය.

චිත්‍රපට නළුවකු පමණක් නොව එතුමා තම ගායන කුසලතාව ද විදහා පෑවේය. සුජාතා විරිඳු ගායනය ද එතුමාගේය. තවත් චිත්‍රපට කිහිපයකට ම ගීත ගැයුවේය. තම ලොකු පුතු ද කලා ක්ෂේත්‍රයට අවතීර්ණව සිය නිසඟ කුසලතාවෙන් ඉදිරියට යන අයුරු ද දැක අපේ ඩොමී තම සිතෙහි උපන් සතුට පි‍්‍රය බිරිඳ සමඟ සතුටින් බෙදා ගත්තේය.

‘ඉතින් අපේ තාත්තාට විවේකයක් ඇත්තෙම නැති තරම්. චිත්‍රපට ගලාගෙන එනවා. සල්ලිත් එහෙමයි. කාර්යබහුල වැඩිකම නිසා පප්පා කොළඹ හෝටලයක කාමරයක නවාතැන් ගෙන උන්නෙ ගෙදරත් එනවා. නළුවකුගේ කාර්ය බහුලකම අපේ අම්මාටත් හොඳ අවබෝධයක් තිබුණනෙ. ඇයත් නිළියක් නිසා. මතකනේ අපේ අම්මා රේඛාව චිත්‍රපටයෙත් රඟපෑවා. අපේ අම්මා රඟපෑමෙන් නම් ඉවත් වන්න තීරණය කළේ අපි ගැන හිතලාමයි. පවුල් ජිවිතය ගැන හිතලාමයි සමහරදාට අම්මා කියනවා දෙන්නාම රඟපාන්න කියල ගෙදරින් පිට හිටියොත් දරුවන්ට යන කල දසාවකුත් කොහෙන්ද පවුල් ජිවිතයක් කොහින් ද කියලා. නාට්‍යය සියයක විතර රඟ පෑ අපේ අම්මා අපේ පප්පා වෙනුුවෙන් අප වෙනුවෙන් පවුල් ජිවිතය වෙනුවෙන් ඒ කළ කැපවීම නම් මම අදටත් ලොකු අගයකින් හිතනවා. ඒ අතින් අපේ අම්මා විශිෂ්ට කාන්තාවක්මයි. මට එහෙමමයි හිතෙන්නෙ.

අපේ නාලිනී සැප පහසු අසුනේ හරි බරි ගැසෙන්නට වුයේ මුව මත පිරුණු සිනහවකිනි.

‘දන්නවද අපේ පප්පා ජිවිතේ කවදාවත් බස් එකක ගිහින් නම් නැහැ. මේ ඇත්තමයි. කවුරුවත් මේ කතාව විශ්වාස කරන එකකුත් නෑ. මගේ හිතේ, ඔව් පප්පා බස්වල ගිහින් නැහැ. සමහර විට කලා ලෝකෙ එහෙම කළේ පප්පා විතරක්ම වෙන්නැති. පප්පට කියලා වාහනේකුත් තිබුණානෙ. ඒක නැතිදාට කුලී රථවල ගමන්.’

ඕ සිනාසෙන්නීය. නාලිනී අසලම ඇයගේ රුවැත්තියක වන ආදරණීය දියණිය දුලිනි ද ඒ කතාවට සිනා පහළ කරමින් ‘ඔව් ඒ කතාව මමත් අහල තියෙනවා. අපේ පප්පා සීයා බස් එකක කවදාවත් ගිහින් නැතිලු’ යි සිනාසී කීවාය. දුලිනි අපේ කතා නායකයාගේ මිනිබිරියය.

‘ගෙදරට පය ගහනකොටම කෝ රාණියා කියල ආදරයෙන් අපේ පප්පා මට කතා කරන විදිහ තාමත් මට ඇහෙනවා ඇහෙනව වගේ, ආව ගමන් පප්පා කෝට් සාක්කුවට අතක් දමලා සල්ලි එළියට අරන් ‘ආ රාණියා ඔයාට ඕන කැමති දෙයක් ගිිහින් ගන්ඩ’ කියලා එහෙම කියනවා.’

නාලිනී කල්පනාවකය. ඕ තම පියා සමඟ ගෙවා පැමිණි යටගියාව මනසින් ආවර්ජනය කරනු ඇති. ‘ඒ ගැඹුරු කටහඬ තාමත් ඇහෙනවා වගේ.’

අපේ ආඩම්බර පෙනුමැති කතා නායකයා තම දියණිය නිළියක කරවන්නට සිතුවේම නැති. මං නිළියක් වෙන්න ද කියල මං පප්පගෙන් කවදාවත් අහලවත් නැහැ. හැබැයි චිත්‍රපටයක් බලන්න යන්න ඇහුවාම අපේ පප්පා අපට ලියුමක් ලියා දෙනවා. චිත්‍රපට හෝල් එකේ මැනේජර් මහත්තයාට ගිහින් දෙන්ඩ කියලා. ඉතින් එහෙම පප්පාගෙ ලියුම අරන් ගිහින් මැනේජර් මහත්තයට දුන්නාම එතුමාත් බොහොම ගරු සරුව ආ අපේ ඩොමී මහත්තයාගෙ ගෙදරින් නේද කියල අපට පහසුකම් සපයා දෙනවා.

‘ඉතින් අපි ගිහින් චිත්‍රපටය බලල ගෙදර ආවාය කියමුකො. කොහොමද බැලුවද? කොහොමද මගේ ඇක්ටින් කියල අපෙන් පප්පා අහනවා.’ ඕ සිනාසෙන්නීය.

අපේ ඩොමීගේ ළඟම සමීපතමයින් වුයේ ජෝ අබේවික්‍රම, ඇල්. ඇම්. පෙරේරා, රෝයි සුමනා, පියදාස ගුණසේකර ආදී බොහෝ දෙනෙකි. ඔව්හු නිතර ගෙදරට එති. එකට එක් වී මධුවිත පානය කරති. විනෝද වෙති.

එතුමා සැබැවින්ම කරුණවන්තය. මසුරු සිතක් ද නොමැති හේ අත දිග හැර වියදම් කරයි. නෑ සියන් වෙත සත්කාර සංග්‍රහ කරයි. කිසිවකුගේ ඇදක් නොකියයි. කිසිවකුගේ දොසක් නොකියයි. තවකෙකු කපා තමන් නැඟී සිටිනා වෙනුවට තවත් අයකුට අතහිත දීම ගැන ද දියණිය නාලිනී කීවාය. සරල ජීවිතයකට පි‍්‍රයකළ එතුමාට බොහෝ මිතුරන් ද විය. මම නාලිනිගේ මුහුණ බැලුවෙමි.

‘ඔව් අපේ පප්පා දුම්වැටියට වගේම මත්පැනටත් ගොඩාක් සමීප වුණා. අපේ අම්මා ආදරයෙන් ගොඩක් දේවල් පප්පාට කීවා. ඒත් පප්පා ඒවා ඒ තරම් දුරට ගණන් ගත්තේ නැහැ. රෑ බෝ වෙලාමනෙ පප්පා ගෙදරට එන්නෙ. වාහනයක් ඇවිත් මිදුලෙ නවත්තන සද්දෙ ඇහුණාම අපි දුවල මිදුලට යනවා. අයියෝ වාහනේ එළවාගෙන ආව පප්පාට වාහනෙන් බැහැල ගෙදරට එන්න පණක් නැහැ වගේ. ඒ තරම් බීලා වෙරි, සුක්කානමට ඔළුව තියාගෙන ඉන්නවා. අපි අමාරුවෙන් පප්පව වත්තන් කරගෙන ගේ ඇතුළට එක්ක එනවා. නිතරම එන්නෙ එහෙම තමා. ‘

එතුමා විවේකයේදී නවකතා කියවන්නට ද ඇලුම් කළේය. තනිව මී විතක් තොල ගෑ මොහොතක සිය ලොකු පුතු නිහාල් ලවා ගීතයක් ගායනා කරවන්නේය. තම සැමියා බීමත්ව පසුවන අයුරු දකින්නට අකැමැති බිරිය සුබේදා ඒ අසලකටවත් නෑවිත් මඟහැර සිටින්නීය.

මෙපවත් ද ඇසුවෙමි. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉස්මුදුනින් සලකා හුන් එතුමා ඒ නැකැත් චාරිත්‍ර වාරිත්‍ර වලදී අකුරටම පිළිපැද්දේය. අවුරුදු සමය ළංවෙද්දී ගේ දොර හැඩ වැඩ - දොර ජනේල රෙදි පවා ගේන්නේ ඔහු අතිනි. හැම සිංහල අලුත් අවුරුදු දා තම පප්පාගේ මේ වැඩ පිළිවෙළ කිසිලෙසකින්වත් වෙනසක් නුවූ බව ද දියණිය නාලිනී කියන්නීය.

‘කවරදාකවත් පප්පා අපට මොනම දේකින්වත් අඩුවක් පාඩුවක් කළේම නැහැ. හැමදේම දුන්නා. ඒ වගේ ම අපේ අම්මයි පප්පයි සණ්ඩු සරුවල් වෙන දවසක් අපි දැකලත් නැහැ. හැබැයි අපේ අම්මා ඒ අතින් නම් හරිම ඉවසිලිවන්තයි. ඒ නිසාමයි පවුලේ සමගිය ආරක්ෂා වුණේ. පවුලේ සමගිය අපේ අම්මාගේ සන්සුන් ඉවසිලිවන්තකමයි කියල මං දැනුත් හිතන්නේ.’

‘මට තාම මතකයි අපේ පප්පා අර මී වදයකි ජීවිතේ සින්දුවට රඟපාන්න ගෙදර දී ඒ සින්දුව දාගෙන නට නට පුරුදු පුහුණු වෙච්ච හැටි. පප්පා රඟපෑ චිත්‍රපට ගැන චරිත ගැන ගෙදරට ආපු අය එක්කල සතුටින් කතා කරන හැටිත් මට මතකයි. අපිත් ඉතින් පැත්තක ඉඳන් ඒවා ආසාවෙන් අහන් ඉන්නවා. ඇත්තටම කීවොත් අපේ පප්පා ගැන හැමෝම තුළ ලොකු ආඩම්බර හැඟීමක් තියෙනවා. ඒක ඇත්තමයි.’

‘මේ ටිකත් කියන්නම ඕනේ. අපේ පප්පා කවදාවත් චිත්‍රපටයකට රඟපාන්න එයා අය කරපු මුදලට සත පහක්වත් අඩුවෙන් රඟපාන්න ගියේම නැහැ. පප්පාගෙ ගාන ගානමයි කොහොමටත් වෙනස් කළේ නැහැ. අඩු මිලකට ගියේම නැහැ. ඒත් පප්පා හම්බ කළාට සතේක දෙයක් ඉතිරි කළෙත් නැහැ. හොඳට කෑවා හොඳට බීවා.’

නාලිනී කටපුරා සිනාසෙමින් තම දියණිය දුලිනිගේ මුහුණ බලා තවත් සිනාවූවාය.

‘මෙහෙම දේකුත් අපට මතක් වෙනවා. ඒකත් කියන්නම්කො. ඔන්න අපි පප්පා රඟපාපු චිත්‍රපටයක් බලන්ඩ ගියා. (ඒ කතාවේ දී දුලිනි ද මහහඬින් සිනාසෙනු පෙනේ.) ඉතින් අපි ගිහින් චිත්‍රපටය බලද්දී අපේ පප්පා දුෂ්ට චරිතය රඟපානවත් අපට පේනවා. මෙන්න වදේ එක පාරටම චිත්‍රපටය බලන සමහර මිනිස්සු ඕකා කොටියා - ඕකා කුකුළා - ඕකා කුකළා කිය කිය කෑ ගහනවා. අපේ පප්පාට බනිනවා. අනේ අපට හරියට දුකත් හිතුණා. ඉතින් චිත්‍රපටය බලල ගෙදරට ආවට පස්සේ ඒ සිද්ධිය පප්පට අපි එහෙමම කිව්වා. මිනිස්සු බැනපු විදිහ ගැන.

අනේ එහෙම අපි කියද්දී පප්පා ලස්සනට හිනාවෙලා, කියනවා ආ ඒ මගේ රඟපෑමනෙ. ආ කොහොමද මගේ ඇක්ටින් කියලා.’

ඒ මොහොතේ දී තම දෑසට නැඟි කඳුළක් නාලිනී වහා පිසදා ගන්නට වූවාය. සුසුමකින් තම ළය සැහැල්ලු කරගත් නියායෙන් ඕ මදෙස බලා සිනාවක් පෑවාය.

අපේ කතානායක ඩොමී ජයවර්ධනයන් දේශපාලන ව්‍යාපාරයේ ද නිතරව සිටියේය. එවක සිනමා නළු නිළි සංගමයේ සභාපතිධුරය ඉසිලුවේද එතුමාය.

‘ඒ නළු නිළි සංගමයේ සභාපති හැටියට පප්පා යම් මෙහෙවරක් සිනමාවට ඉටු කළා. එයට කෘතගුණයට දෝ සිරිමාවෝ මැතිනිය අපේ පප්පාට තානාපතිධුරයක් පිරිනමන්න සුදානම් වෙලත් තියෙනවා. අද වගේ ඉතින් එදා තමන්ගේ වාසිය බලාගෙන කටයුතු කළේ නැහැනෙ. කොහොම හරි එදා මැතිනිය කළ ඒ යෝජනාව අපේ පප්පා බොහොම කාරුණිකව ප්‍රතික්ෂේප කරල තියෙනවා. මං තවදුරටත් අපේ සිනමාවේ රැඳී ඉන්නම් කියලා. පප්පා නම් මේ බවක් අපට කිව්වේ ම නැහැ. මේ කාරණය අපට කිව්වේ රෝයි - සුමනා දෙන්නමයි.

එතුමා නිසි වේලාවට වැඩ කටයුතු කළ අයෙකි. රූපගත කිරිම් සඳහා කැඳවා යන්නට වාහනයක් පැමිණෙන වේලාවට අපේ ඩොමී කල් ඇතිවම සුදානමිනි. එම වාහනය පමාවක් වීද අපේ කතා නායකයා නොවේ. ඊට රොස් පරොස් දොස් කීවේ. ප්‍රතිපත්ති ගරුක දිවිපෙවෙතකට හිමිකම් කී අපේ ඩොමී තම ගෙදරට සේම සිනමාවට ද දැක්වුයේ මහත් කැපවීමකි.

‘අපේ පප්පා හරිම කැමතියි ගමේ කෑම වලට. ඒ විතරක් නෙවි. හොඳ ලුණු මිරිසක් එක්ක කිරිබතක් කන්න නම් පප්පට පුදුම දොල දුකක් තිබුණා. ගෙදර ඉන්න දවස්වල දී අම්මාට කියනවා හොඳ ලුනු මිරිසක් එක්ක කිරිබතක් හැදුවොත් හොඳා නේද කියලා. අපේ අම්ම හදන කෑම වලට පප්පා හරිම කැමතියි. මොකද රසට උයනවනේ ‘ඇත්තම කියනවා නම් අපේ පප්පාගෙ වැරදිත් තියෙනවනෙ. සමහර නිළියන් එක්ක පප්පා සම්බන්ධකම් තිබ්බා. ඒවා දන්නෝ දනිති. ඒවා ගැන ගෙදරටම වෙලා ජීවිතයම කැප කරපු අපේ අම්මා මානසිකව දුක් වින්දා. ඒත් ඒ බවක් පප්පටත් අපි දරුවන්ටත් අම්මා පෙන්වුවේම නැහැ. සමහරදාට අම්මා ඒ රහස් ගැන පප්පගෙන් අම්මා ඇහුවාම පප්පා බොරු කේන්තියක් මවාගෙන ගෙදරින් යන්ඩ යනවා. අම්මා අඬන්නත් ඇති. ඒ බවක් අපට පෙන්නුවේම නැහැ. අම්මා අපට පෙන්නුවේ පප්පයි අම්මයි හරිම සතුටින් ඉන්නෙ කියලා.

ඉතින් එහෙම අම්මා එක්ක අමනාපයෙන් පප්පා ගෙදරින් යනවා. ඔන්න වදේ දවස් දෙක තුනකින් අම්මාට පප්පා දන්වනවා මං අහවල් දවසේ ගෙදර එනවයි කියලා. ඔන්න ඒ පණිවුඩය අම්මා අහපු වෙලාවෙ ඉඳල පුදුම සතුටකින්. පප්පා කැමතිම කෑමත් රසට හදල අනේ දැන් දැන් එයි කියල මඟබලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් පප්පා ගෙට ගොඩවෙන කොටම අලුත් මනාලයෙක් ආවා වගේ අම්මා ආදරෙන් සතුටින් පප්පව පිළිගන්නවා. ළඟම ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ දෙන්න අතර ඔහොම ඉතින් සිද්ධ වූ අවස්ථා තියෙනවා.’

අපේ අම්මාත් පප්පා වගේම අනුන්ට උදව් උපකාර කරන්නමයි කැමැත්ත. හපෝ අපේ අම්මා අහිසංක දුප්පත් මිනිස්සුන්ට කොච්චරක් සලකල ඇති ද අම්මාට දෙන්නමයි හිත. නාලිනී මහත්මිය මිණිබිරිය දුලිනී දෙස බැලුවාය. දුලිනි තවමත් තම මව නාලිනි සමීපයේම ය.

අපේ ආදරණීය කතා නායකයා වරින් වර රෝගාතුරව පසුවෙයි. අධික රුධිර පීඩනයෙන් හේ වරෙක පෙළෙයි. තවත් කෙටි කලකින් හෙතෙම අංශබාග රෝගයට ගොදුරු වුයේය. එතුමාගේ රංගන ජීවිතය ද එතැනින් නැවතිණි. සුවහසක් රසික සමුහයාගේ ගෞරවරයට බුහුමනට පාත්‍රව රිදී තිරයේ ආඩරම්බරකාර හාමු මහත්තයා, එතුමාගේ සල්ලාල රංගනයට වහල් වුවෝ නොසරුප් වදනින් රිදී තිරය දෙස බලා බැණ වැදුණු සිනමාලෝලීහුද කම්පිත වුවා නිසැකමය.

‘මං හිතන්නේ අපේ පප්පාවත් හිතන්නෙ නැතිව ඇති මේ තරම් ඉක්මනට ලෙඩ ඇඳටම වැටේවිය කියලා. නමුත් එහෙම වුණා. විවේක දවස්වලදී උදෙන්ම නාගෙන මල් පහන් තියලා බුදුන් වැන්ද හැටි මට මතක් වෙනවා. මම ඒ කාලෙ පේ‍්‍රම සබඳතාවයක පැටලිලා ඉන්නකොට පප්පා ඒකට විරුද්ධ වුණා. ඒත් වෙන තාත්තලා වගේ කෑ කෝ ගහල හිත රිද්දල පප්පා එයාගෙ අකමැත්ත කිව්වේ නැහැ. මගෙ ළඟින්ම වාඩිවෙලා රාණියා මං ඔය සම්බන්ධයට අකමැතියි කිය කිය හඬන මාත් එක්කම පප්පත් හඬනවා. ඒ හඬන ගමන් රාණියෝ මට ඔය සම්බන්ධයට කැමැත්ත දෙන්න බැහැ කිය කිය පප්පත් හඬපු හැටි මට දැනුත් මතක් වෙනවා.

කොහොම කොහොම හරි එයයි මමයි විවාහ වුණා. පස්සේ පස්සේ අපේ පප්පාට මගේ මහත්මයා තරම් සමීප කෙනෙක් තවත් නැහැ. ඒ දෙන්නා ගොඩාක් ළඟින්ම උන්නා. අපේ පප්පා හිත උණුවෙන කාරුණික කෙනෙක්. අපි දෙන්නගෙ පවුල් ජීවිතය දිහා බලා පප්පා සතුටු වුණා.

නාලිනීගේ දෑස රත්පැහැයෙන් පෙනේ. ඈ ඒ හැඬු නිසාම බව මට හැඟෙයි. මෙතුවක් අප පිළිසඳරට වරින් වර එකතුව සිටි දුලිනි ද නිහඬවමය.

අපේ සොඳුරු කතා නායකයා තම දරුවන්ගේ ඇස්වල කඳුළු දකින්නට අකැමැතිම අයෙකුය. දරුවන්ගේ ඇස්වල කඳුළු දකින විට දී ඔහුගේ නෙතු ද කඳුළට බරවෙයි. ඒ ඔහු පපු කැනැන්තේ පත්ළේ තිබූ ඉහළම පීතෘ සෙනෙහස නිසා යැයි මට සිතේ.

එතුමා දැන් රෝහලේය. ගිලන් යහන මත නිසල වතිනි. ළඟම පසුවන බාලම පුතු රෝයි ජයවර්ධන මොනවා දෝ පියාගේ සවනට කොඳුරයි. ඒ සැනසිලි වදන්ය. එහෙත් අපේ කතා නායක ඩොමී ඊට පිළිතුරු දෙන්නේ නිහඬ බැල්මකින් හා කඳුළු පිරි දෙනෙනතිනි. තම හිමි හිටිහැටියේම ම මෙලෙසින් රෝගාතුර විම ගැන බිරිඳ සුබේදාට ඉහිලුම් නැති කරුණක්මය. ඇයගේ දෙනෙතේ කඳුළු වියැළී තිබු මොහොතක් නම් දරුවෝ නුදුටුවෝය.

හෙතෙම දින හතරක් පමණ එක දිගටම සිහිසුන්වය. ඒ සිරුරේ එක් අතක් ද එක් පාදයක් ද එතුමාට අයිතිය නැතිවාක් මෙනි. ගෙවී ගිය දින හතර බිරිඳ දරුවනට මහා දිගු කලෙකි. පස්වන දිනයේ අපේ ඩොමී දෑස් හැරියේය. එහෙත් වචනයකුදු කතා නැති.

‘අපේ අම්මා පුදුම වේදනාවක් දරාගෙන උන්නේ. මට මැවී මැවී පේනවා ඇය හඬා වැලපුණ තරම්. මං හිතන්නේ අම්මා සුරූපිණියක් වුණත් ඊට එහා ගිය ගති පැවතුම් පප්පාට ඒ කාලෙ තේරුම් යන්න ඇති. මගේ අම්මා ගායිකාවක්. වේදිකා නාට්‍යවල ඇය ගැයූ ගීත බොහෝ දෙනෙක් අගය කළා. කියල මං අහල තියෙනවා. ඉන් පස්සේනෙ අම්මා වේදිකා නිළියක් වුණේ. ඇයගේ ඉවසිලිවන්ත ගුණය උතුම්. මං කීවේ පප්පාගෙ නොමනා දේවල වලදී අම්මා රණ්ඩු කලේ නැහැ. කතා නැතිව උන්නා කියලා. එහෙම අම්මා කතා නැතිව උන්නාම පප්පා ගෙදරින් පිටවෙලා යන්නෙ. ඒ තරහ මරහ කල් පවතින්නේ නැහැ. ආයෙම එකමුතුයි.

ශූරයා චිත්‍රපට අතරේ පළමුවන ශුරයා ඇල්ප්‍රඩ් එදිරිමාන්න මහත්තයාත් පප්පාට හරිම සමීපයි. ඇන්තනි සි.පෙරේරා මහත්තයත් අනික් අය වගේම පප්පාට ළඟයි.

අපට කවදාවත් පප්පා නියපිටින් පහරක් ගහල නැහැ. පප්පා දුම්වැටියටයි මී විතටයි මේ තරම් ඇබ්බැහි වුණේ ඇයි ද කියල අපට හිතාගන්නවත් බැහැ. අපේ අම්මා අපට නැතිවුණේ 94 අවුරුද්දේ. පිළිකා රෝගයෙන් අපේ අම්මා නැති වුණේ. එතකොට අම්මාට අවුරුදු 62යි. අපේ බර කරට අරන් පප්පගෙ අඩුපාඩුත් විඳ දරාගෙන ගෙදර ජිවිතය වෙනුවෙන් කැපවුණා.

අපේ ඩොමීගේ පුත් නිහාල් ජයවර්ධනයන් ද අකාලයේ මිය ගියේය.

රෝහල් වාට්ටුවේ ගිලන් යහන මත උඩුබැලි අතට ම පසුවන අපේ කතා නායකයාගේ තත්ත්වය ඉතා අසාධ්‍යය. එතුමා සමීපයේම පසුවන පුතු රෝයි එක්වරම කැලඹී ගියේ පප්පා සිය නාසයෙන් ලේ විදින්නාසේ දුටු දසුනෙනි. නාස්පුඩු තුළින් රුධිරය ගල ගලා එයි. නොනැවතී ගලා එයි. රෙදි කඩකින් පිසදැමුව ද නතරවීමක් නැති.

පුතු කෑගසමින් වෛද්‍යවරුන් වෙත වහා දිව ගියේය. ඒ වන විට අපේ සොඳුරු කතා නායකයා ඩොමී ජයවර්ධනයන් කිසිවකුටත් නොකියාම නොදන්වාම කොහේ දෝ දුර ඈතකට යන්නම යන්නට ගොසිනි.

එදා 1979 ක් වූ දෙසැම්බර් මස 28 වනදාය. ඒ වන විට එතුමා 52 වන වියේහි පසුවුයේය. එතුමා රඟ පෑ චිත්‍රපට ගොන්න අතරින් පුංචි බබා චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි කුසලතා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ද මේ අපේ ආදරණීය කතා නායකයා. අද හෙතෙම හෙළ සිනමාවෙන් ද ජීවන සිනමාවෙන් ද එලෙසින් සමුගෙන ගොසිනි.

බිරිඳ දු පුතුන් වාට්ටුව දෙවනත් කරවමින් එතුමා අසල වැලපුණාහ. හැඬුම් වැලපුම් මැද වෛද්‍යවරුන් යමක් කියනු ඇසිණි.

‘ලෙඩාගෙ හිසේ නහරයක් පුපුරලා’.

 

[email protected]