කල් ඉකුත් නොවූ විජය

විජය සමුගෙන 35 වසරයි
පෙබරවාරි 16, 2023

දශක කිහිපයක් පුරාවටම ස්වකීය ජනප්‍රියත්වය එක සේ රැක ගත් එච්.ආර්.ජෝතිපාල වර්ෂ 1987 ජූලි මස 07 වන දා ජීවිතය හැර යන්නේ ජනප්‍රිය හා විදග්ධ කලාව පිළිබඳ සංවාදය අභිනව අදියරකට ගෙන යමිනි. මෙහි නිල ප්‍රාරම්භක අවස්ථාව සනිටුහන් කෙරෙන්නේ බොරැල්ල කනත්තේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කරන විට ය. ඔහුට ආදරය කළ රසික ජනයා හඬා වැලපෙමින් මෙහි පැමිණියේ පැරැණි තාලයේ පුරෝකථන බැහැර කරමිනි. ආචාර්ය සරත් අමුණුගම එවක පළ කෙරුණු 'විචිත්‍ර' සිනමා පුවත්පතේ 1987 ජූලි 25 කලාපයට 'බිඳ වැටුණු සංස්කෘතික බල කණුව' මැයෙන් සංවාදාත්මක ලිපියක් ලියන්නේ උක්ත සංවාදයට අර්ථයක් ද, ගැඹුරක් ද ගෙන ඒමේ අරමුණ සහිතවය. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් මේ ලිපිය ජාතික තලයේ විමර්ශනයට ලක් වන්නට වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැන්නන් ද සහභාගී කර ගනිමිනි.

මෑත කාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් ආරම්භ වන්නේ ඉන් මාස කිහිපයකට පසුවයි. ජනප්‍රිය හා විදග්ධ සංවාද ආදිය යටපත් වන්නට වූයේ කෙසේ හෝ ජීවිතය රැක ගැනීම හැමකෙකුගේම පොදු අපේක්ෂාව වූ හෙයිනි. කලාකරුවන්ගේ ජීවිත ද අතිශයින්ම අනාරක්ෂිත විය. එහි එක් ශෝචනීය ප්‍රතිඵලයක් වූයේ ආචාර්ය සරත් අමුණුගමට තවත් විවාදාත්මක ලිපියක් රචනා කරන්නට සිදුවීම ය. මේ තිස් පස් වසරකට පෙරාතුව අඳුරට බිලි වූ විජය කුමාරතුංග අරභයා වූ ලිපියකි.

වර්ෂ 1988 පෙබරවාරි මස 16 වන දා දහවල් සිය නිවස ඉදිරිපිටදී විජය අඳුරට බිලි වන්නේ 42 හැවිරිදි වියේදී ය. මේ වනවිට ඔහු ශ්‍රී ලාංකේය සිනමා කලාපයේ ජනප්‍රියතම සිනමා රංගන ශිල්පියා වූ බව රහසක් නො වේ. ඔහු සිනමා රංගනයට පිවිස ගතවී තිබුණේ හරියටම විසි වසරකි. 1970 දශකයේ අග භාගය වන විට සිය පැවැත්ම තහවුරු කරගෙන සිටි සිනමා වීරයා හා සිනමා පෙම්වතා වූ ගාමිණී ෆොන්සේකා අබිබවා යන විජය, රවීන්ද්‍ර රන්දෙණිය සමඟ කරට කර තරගයකට අවතීර්ණ වන්නේ විචාරක පැසසුම් ද නොඅඩුව ලබා ගනිමිනි. මෙහෙයින්ම ඔහුගේ සිනමා ජීවිතය ඒකාකාර නො වන බව පෙනී යයි. එසේම ඔහු සිනමාව විෂයෙහි සේම ඉන් පරිබාහිර කලා ක්ෂේත්‍ර විෂයෙහි කැපී පෙනුණු අන්දම පැහැදිලි කර ගැනීමට ද ඉන් අවකාශ සැලසේ. ඒ හැඟීම්බර දේශපාලනයක සිට බරසාර දේශපාලනයකට සපැමිණෙමින් සිටීමට සමගාමීව ය. වර්තමානයේ දී ද විජය ලද පොදු ජන මනාපයේ අඩුවක් නොමැති බව සත්‍යයකි. තවමත් ඔහු සිරිලක ජනප්‍රියතම සිනමා රංගන ශිල්පියා ය. ජනප්‍රිය ගායන ශිල්පියෙකි. සමාජ සාධාරණත්වය, යුක්තිය පසිඳලීම හා ජනවාර්ගික සුහදතාව වඩවාලීම සම්බන්ධයෙන් ඔහු එදා දැරූ මත අදටත් වලංගු වේ. මෙයින් උද්ධරණය කෙරෙන්නේ ඔහු නොමියෙන භූමිකාවක් ය යන්න යි.

විජයගේ නික්මයාමෙන් සය මසක් ගත වූ තැන ආචාර්ය සරත් අමුණුගම පෙර සඳහන් කළ ලිපිය රචනා කරන්නේ තවත් සිනමා පුවත් පතක් වන 'විචිත්‍ර රේඛා' හි 1988 අගෝස්තු 10 කලාපයට යි. මෙහි සිරස්තලය විජය පිළිබඳ සත්‍යය වටහා ගැනීමේ අදියරකට රිංගා යා හැකි කවුළුවක් වැනි ය. 'සමනලයෙකුට වෙඩි තැබීම' මේ සිරස්තලය යි. මෙහිලා ආචාර්ය අමුණුගම උත්සාහ කරන්නේ විජය සිය කෙටි ජීවිත කාලය තුළ ලද අසීමිත පොදු ජන මනාපයට පසුබිම් වූ සිනමා හේතු විචාරාත්මකව හා විවෘතව විවරණයට ය. තරුණ සිනමා ලෝලීන් අතර දේශීය මෙන්ම පෙරළිකාර හැඩයක් විජය වෙනුවෙන් සකස් කර දුන්නේ සුගතපාල සෙනරත් යාපා, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර හා තිස්ස අබේසේකර යන සිනමාකරුවන් ය යන්නයි මෙහිදී ආචාර්ය අමුණුගම කියා සිටින්නේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් ද ඔහු මෙතැනට කැඳව යි. පසුකාලීනව ආ සිනමා අධ්‍යක්ෂවරුන් එම ප්‍රතිරූපය ඔස්සේ නිර්මිත ජනප්‍රියත්වය මුල් කොට ගෙන හොඳ වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

විජයගේ සිනමා ආගමනය පිළිබඳ බොහෝ විට කියැවෙන්නේ 'සරසවිය' සිනමා පුවත්පතේ පළවූ කුඩා දැන්වීමක් හරහා විජය සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ 'හන්තානේ කතාව' සිනමාපටය වෙනුවෙන් තෝරා ගත් බව ය.

යාපා, ජී.ඩී.එල්., පතිරාජ, වසන්ත, තිස්ස, ලෙස්ටර් හා සුමිත්‍රා හැරුණු කොට විජය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක හා විචාරක සැලකිල්ලට ලක් කළ තවත් සිනමාකරුවන් කිහිප දෙනෙක්ම සිටිති. මේ එච්.ඩී. ප්‍රේමරත්න, විජය ධර්ම ශ්‍රී , සුනිල් ආරියරත්න හා ගාමිණී ෆොන්සේකා යන සිනමාකරුවන් ය. උත්ප්‍රාසාත්මක තත්ත්වයක් වනුයේ ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, යසපාලිත නානායක්කාර, කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා වැනි සිනමා වෙළෙඳ පොළ විනෝදාත්මක හා රසාලිප්ත අංගෝපාංග සහිතව පුළුල් කළ සිනමාකරුවන් ද විජය කෙරෙහි අපමණ විශ්වාසයක් තැබීමයි. 'හතර දෙනාම සූරයෝ' හා 'තුෂාරා' බඳු මේ සිනමාපට මාදිලියේ අභිනවාරම්භයක් සලකුණු කළ සිනමාපට ද විජයගේ රංගනයෙන් ජව සම්පන්න වූ බව පැහැදිලි ය. විජයගේ සටන්කාමී හා මානුෂීය දේශපාලනයට වඩා සමීප වූයේ මෙයින් කවර මාදිලියේ සිනමාපට ද යන්න විනිශ්චය කිරීම තවමත් කල් ඉකුත් නොවූ අවශ්‍යතාවකි. 1980 දශකයේ මැද භාගයේ ප්‍රකාශිත 'සලරුව' සිනමා පුවත්පත ගෙන ආ 'කවුද හපනා' විශේෂාංගයට එක්වූ මේ දෙයාකාරයේම සිනමාපට අධ්‍යක්ෂණය කළ සිනමාකරුවන් පොදුවේ දැක්වූ අදහසක් වන්නේ විජය හපනා හෝ හපනකු ය යන්නය.

සිනමා රංගනය වෙනුවෙන් විජය ප්‍රමාණවත් ඇගැයීමකට පාත්‍ර නො වූයේ යැයි සිතේ. 'බඹරු ඇවිත්', 'පාරදිගේ','කරුමක්කාරයෝ','මහගෙදර', හා කැඩපතක ඡායා' ඔහුගේ විශිෂ්ට රංග කුසලතා අවධාරණය කළ අවස්ථා ය. එනමුදු 'කැඩපතක ඡායා ' පමණි ඔහුට හොඳම සිනමා රංගනය වෙනුවෙන් සම්මාන පිරිනැමීමට තෝරා ගත්තේ. අවාසනාවකට ඒ ඔහුගේ නික්ම යාමෙන් අනතුරුවයි. 'පාර දිගේ'හි ඔහුගේ රංගනය පිළිබඳ සුනිල් මිහිඳුකුල සිය 'සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ'නැමැති ග්‍රන්ථයේ කරන සඳහන ද මෙතැනට වැදගත් වේ. 'පාරදිගේ' රංගනය විජයගේ සිනමා රංග කලා ජීවිතයේ කුටප්‍රාප්තිය බව ද, එහි එන චරිතය රඟපෑ හැකි වෙනත් නළුවකු ගැන සිතා ගැනීම පවා උගහට බව ද ඔහු එහිදී පවස යි. මේ අතරතුර විජය ජනප්‍රිය ම සිනමා තරුව ලෙස වර්ෂ සයක් එක දිගට සරසවිය සිනමා සම්මාන හිමි කර ගත්තේ ය. ගුණසිරි සිල්වා එක් සිරස්තලයකින් විජයගේ මේ ජනප්‍රියත්වය හඳුන්වා දෙන්නේ සිය 'තාරකා මේඝයෙන් ඔබ්බට' සිනමා ග්‍රන්ථයෙනි. ජනප්‍රියත්වයේ අසමසම ප්‍රතිරූපය' මෙම සිරස්තලය යි. 'සිනෙසිත්' සිනමා සඟරාවේ 1988 අංක 12 කලාපයට ගාමිණී වේරගම රචනා කරන ලිපියේ සිරස්තලය ද මෙහිදී සඳහන් කිරීම වැදගත් වේ. මේ 'ජනප්‍රියත්වය තුළ සැඟවුණු රංග ප්‍රතිභාවක්' යන්න යි.

විජයගේ ගායන කෞශල්‍ය උද්දීපනය කරන්නට උපාලි අත්තනායක දැක්වූයේ අතිමහත් උනන්දුවකි. 'කවුළුව අතරින්' ගීත කැසට් පටය මේ උනන්දුවේ ඵලයක් සේ හඳුන්වා දිය හැකි යි. විජය විසින්ම නිෂ්පාදනය කරන ලද 'වේදනා' ගීත කැසට් පටය 1980 දශකයේදී නිකුත් වූයේ ආන්දෝලනාත්මක පසුබිමක ය. සුනිල් ආරියරත්න මෙහි එන ගීත සියල්ල ම රචනා කරන්නේ නන්දා මාලිනීගේ ඒක පුද්ගල ගීත ප්‍රසංග සඳහා ගීත රචනා කළ අවධියේදීම යි. 'වේදනා' තුළින් විජය සමාජයේ නොයෙකුත් පීඩාවනට ලක්ව සිටින පාර්ශ්ව පිළිබඳ මහා සමාජය අවදි කළේ සිය දේශපාලන භූමිකාවටද එය මහෝපකාරී කර ගනිමිනි.

සිනමා පසුබිම් ගායකයකු සේ විජය දැක්වූ සමත්කම් නිසි විවරණයකට ලක් නොවීම ද කණගාටුදායක ය. 'ඉන්දුටමල් මිටක්' හා 'පාරදිගේ ' යන සිනමාපට සීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවද සැලකිය යුතු විචාර ප්‍රතිචාර ලැබුවේ විජයගේ සිනමානුරූපී ගායනා ද නිසාවෙනි.

මේ අනුව පෙනී යන්නේ විජය කුමාරතුංග යනු හුදු සිනමා රංගන ශිල්පියකු, ගායකයකු, සිනමා නිෂ්පාදකයකු හෝ ක්‍රියාකාරී දේශපාලනඥයකු සේ පමණක් ම හඳුන්වා දීම යුක්ති යුක්ති නොවන බවයි. ඇත්ත වශයෙන්ම ඔහු ඒ සියල්ලේම සංකලනයක් බඳු සංකීර්ණ, ගතික හා කල් ඉකුත් නො වන චරිතයක් වන බවයි. 'විචිත්‍ර රේඛා' සිනමා පුවත්පතේ 1988 ජුනි 25 දා කලාපයට 'විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?' මැයෙන් සිරිල් බී.පෙරේරා රචනා කරන ලිපිය අවසන් කරන්නේ මෙ කරුණට වටිනාකමක් ලබා දෙමිනි. විජය කැරිස්මාව හැදෑරීම අපේ රටේ වර්තමාන දේශපාලන, සාමාජික, සංස්කෘතික හා මානසික තත්ත්වයන් පිළිබඳ හැදෑරීමක් බවයි ඔහු මෙහිලා සඳහන්කරන්නේ.

නික්ම යාමට වර්ෂ දෙක තුනකට පෙර 'නවලිය සිනමා අතිරේකය' සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී විජය දැක්වූ අදහස් වර්තමාන සිනමාවට හා දේශපාලනයට අතිශයින්ම අදාළ වන බව පෙනේ. ඔහු සෘජුවම පවසන්නේ මේ සිනමාව මිය යා යුතු ය යන්න ය. මෙය මියගිය පසු නව සිනමාවක් බිහිවනු ඇති බවට ද, ජනතාවගේ සංස්කෘතික ජීවිතය ආලෝකවත් කිරීමට උපකාරී වන නව සිනමාකරුවන් පිරිසකුත් ඒ සමඟම බිහිවනු ඇති බවටද ඔහු මෙහිදී විශ්වාසය පළ කරයි. එසේම අති දක්ෂ ලාංකික සිනමාකරුවනට පවා සිය දක්ෂතා නිසියාකාරව දැක්වීමට මේ ක්‍රමය තුළ හැකියාවක් නොමැති බව ද ඔහු කියා සිටී.

මේ අනුව තවදුරටත් පසක් වන්නේ නික්ම යාමෙන් තිස් පස් වසරකට පසුව වුව ද විජය යනු ජීවමාන චරිතයක් වන බවයි. වර්තමානය පිරිපහදු කරගැනීමට වුවමනා කරුණු කාරණා ඔහුගේ ජීවිතය වෙතින් උකහා ගත හැකි බව යි.

 

 

[email protected]