වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
භාරතීය ගීත ලොවේ අධිරාජිනිය වියෝවී වසරයි

*දශක අටක් ම භාරතයේ සිනමා ගීත කෝකිලාව කිරුළ දක්වා පැමිණි ගමන ඉතා කටුක ය. ඇය ගී ගැයීමට අවස්ථාවක් ලබා ගැනීමට දින ගණන් සති ගණන් බයිසකලය පදිමින් චිත්රාගාර කරා පයින් යමින් දුක් විද ඇත. මුලදී ඇතැම් අධ්යක්ෂවරුන් ඇය ගේ හඩ සිහින් වැඩියැයි කියා ප්‍රතික්ෂේප කළේ ය. එසේ ප්‍රතික්ෂේප කළ එක් අධ්යක්ෂවරයෙක් වූයේ වර්තමාන නිළි කාජල් ගේ මුත්තණුවන් කෙනකු වූ ශාෂාධාර් මුඛර්ජි ය. ලතාව ඔහු වෙත රැගෙන ගිය ගුලාම් පැවසුවේ අනාගතයේදී තමන් ගේ සිනමා පටයට ලතා ගේ ගී හඬ මුසු කර ගැනීමට සිනමා නිෂ්පාදකවරුන් හා අධ්යක්ෂවරුන් පෝලිම් ගැසී පැමිණ වැඳ වැටෙනු ඇති බව ය. දෛවයේ සරදම නම් සිහින් වැඩි යැයි පවසා ලතා ගේ හඬ ප්‍රතික්ෂේප කළ මුකර්ජි ගේ මිනිබිරියන් වූ කාජල්ට රාණි මුකර්ජිට ද ලතා පසුබිම් ගායිකාව වීමය.
*සෑම අංශයකම පිරිමි ආධිපත්‍ය දරන යුගයක ලතා දිරියෙන් කැපවීමෙන් කිරුළ හිමි කර ගත්තාය. විදුලි පංකාවක්වත් නැතිව ගීත පටිගත කළ අවස්ථාවකදී උණුසුම වැඩි කමින් ඇය ක්ලාන්ත වූ අවස්ථා ද තිබිණි.
*ඇය කෙතරම් නිහතමානී කලාකාරියක ද කිවහොත් කිසි විටක තමන් ගයන ගීතවලට සවන් දුන්නේ නැත. ඒ ඇයට තමන් ගේම ගීතවල වැරැදි සිය ගණනක් ඇසෙන බැවිනි.
*වරක් අග්‍රාමාත්‍ය නේරු ඉදිරියේදී මේරේ වතන් කේ ලෝගොන් දේශාභිමානී ලීය ගයද්දී නේරුතුමා ගේ දෑසින් කඳුළු ගැලුවේය.
*1958 දී මධුමතී සිනමා පටයට ආජාරේ පරදේසි ගීය ගැයීම වෙනුවෙන් හොඳම ගායිකාව ලෙස ඇය සම්මානයට පාත්‍ර වූ විට ඇය සම්මානය ගැනීම ප්‍රතික්ෂේප කළාය. එයට හේතුව සම්මානය නිරුවත් කාන්තා රුවකින් මූර්තිමත් වීමය. පසුව සංවිධායකයන් සම්මානය රෙද්දකින් ඔතා පිරිනමන ලදී.
හින්දි සිනමා ගීත අඹරේ කදෝපැනි එළියක් තරම් වූ එළියක් විහිදමින් තරුවක් පෑව්වා ය. ලතා මංගේෂ්කාර් නම් ඒ තරුවේ කාන්තිය දිනෙන් දින වැඩි වී අනෙක් තරු නිෂ්ප්රභා කරමින් විහිදුණි. දශක අටක් සෑම තාරකාවක ගේම ආදරණීය හඩ වූයේ ඒ හඩය. මධුබාලා ගේ සිට ප්‍රීති සින්තා, කාජල් පරපුර දක්වා ලතා ගේ හඬ ප්‍රධාන තාරකා හඬ වූයේ නව යොවුන් ගායිකා හඩ ද පරදවමිනි. මේ අග්‍රගණ්‍ය ගායිකාව 92 හැවිරිදි වියේ පසුවෙද්දී කෝවිඩ් - 19 මාරයා විසින් බිලි ගෙන පෙබරවාරි 6 වැනි දිනට වසරක් ගතවී තිබුණ ද අදට මතුදාට ද ඒ හඩ නින්නාද වෙයි. සප්තස්වරය පරයන හඬක මිහිරියාව මේ යැයි එතරම් සුමධුරව ලොවට කියා පෑ අන් හඬක් නො මැති තරම් ය. භාරතයේ ගීත කෝකිලාවට වඩා ඇයට විශ්ව ගීත කෝකිලාව යන නාම විශේෂණය ගැළපෙන්නේ එබැවිනි. ලතා මංගේෂ්කාර් ගේ තැටිගත කළ ගීත එකතුව ලෝප්‍රකට බීට්ල්ස් සහ රෝලිං ස්ටෝන් සංගීත කණ්ඩායම් දෙකේ ම තැටිගත කළ ගී එකතුව එකට ගත් කළටත් වඩා බෙහෙවින් ඉහළ ය. ඇය බොලිවුඩයේ කතා නායිකාවන් ගේ ගී හඬ විය. ලතා ගේ වාර්තාව සියවස් ගණනකට උරුමකර ගත හැකි දෙයක් නො වෙයි. ඒ නැවතත් එවැනි යුගයක් එවැනි අවස්ථාවක් යළි කිසිදු ගායිකාවකට උදාකරගත නො හැකි බැවිනි. එනිසා ම ඵල ඇති රුකට ගසන පොලු මෙන් මේ අසහාය ගායිකාව වෙත ඇය ජීවත්ව සිටි කාලයේ පවා විවේචන එල්ලවූ අවස්ථා නැත්තේ නො වෙයි. ඇය සෙසු ගායිකාවන් ගේ අවස්ථාව නැති කළාද ?
ලතා ගේ මොනොපොලිය හෙවත් ඒකාධිකාරයක් ගැන බොහෝ දෙනෙක් කතා කළ ද ඇය සිය ආධිපත්‍ය ඇය ස්ථාපිත කර ගෙන සිටි තත්ත්වයෙන් බලයෙන් මුදලෙන් ලබා ගත්තක් බවට ඇතැමුන් චෝදනා එල්ල කළ ද සත්‍යය නම් එය දෛවෝපගතව ඇය ගේ හැකියාවට කැපවීමට හිමි වූවක් බව ය. ඇය ගේ වියෝවෙන් පසුව නිව්යෝක් ටයිම්ස් සගරාවේ පළවූ ලිපියක සවිස්තරාත්මකව ඒ ගැන පළ වී තිබිණි. ලතා බොලිවුඩ් ගීත ක්ෂේත්රයට නවකයකුව සිටියදී ගීතා දත් ක්ෂේත්රයේ ඉහළින් වැජඹුණු ගායිකාවකි. එහෙත් සිය සැමියා වූ විශිෂ්ට සිනමා අධ්යක්ෂවරයකු හා නළුවකුවූ ගුරු දත් සමග ඇතිවූ ගැටුම නිසා ඇය ගායනයට වඩා මුල් තැන දුන්නේ මත් වතුරට ය. එහෙත් ලතා සිය මිය ගිය පියා ගේ ගෞරව රැක ගෙන ගායිකාවක වීමේ සිහිනය ජීවිතයේ වෙනත් කිසිදු සාධකයක් නිසා බොඳකර ගත්තේ නැත. ඇය ඉතා නම්‍යශීලීව සංගීත අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පරිදි බොඳකර ගත්තේ නැත. තමාගේ තැන ලතාට හිමි වෙමින් පවතින බව ගීතාටද වැටහිණි. වරක් ඇය සචින් දේව් බර්මන්ගෙන් තමන් ගේ අවස්ථාව ඇයට ලබා දෙන්නේ ඇයිදැයි විමසුවා ය. සචින් පැවසුවේ "ලතාට ලතා හැර වෙනත් කිසිම විකල්පයක් නැහැ. " ඔහු පැවසුවේ ය. දශක අටක් බොලිවුඩයේ කෝකිල අධිරාජිනිය බවට ලතා ලත් වූයේ කෙසේදැයි යන්නට විශිෂ්ට ගායකයකුවූ මන්නාඩේ ද පිළිතුරු ලබා දී තිබිණි. " " ලතා ක්ෂේත්රයට පැමිණෙන විට සෝරාබායි අම්බෙවාලි, ශම්ෂාඩ් බෙගම් වැනි ගායිකාවන් ජනප්‍රිය වී සිටිය ද ඔවුන් ලතා මෙන් කාලයේ තාලයට තම ගී හඬ මුවහත් කර ගත්තේ නැත. කොටින් ම ඔවුන් නවීකරණය නො වූ බැවින් ලතා මෙන් දිගින් දිගට ම ක්ෂේත්රයේ ජනප්‍රියතාව රැක ගැනීමට නො හැකි විය. ලතා සංගීතය සම්පූර්ණයෙන් ම හදාරා ගීත ක්ෂේත්රයට නො පැමිණියත් ඇය නූර් ජෙහාන් ට සවන් දුන්නාය. ගීතා දත්ට සවන් දුන්නාය. මේ සියල්ලන් ගේම අඩුපාඩු තමන් ගේ හඩේ ඇති කර නො ගැනීමට ඇය වගබලා ගත්තා ය.
ජනප්‍රිය ගායිකාවක හා නිළියකවූ සුරෙයියා ගී ගැයුවේ තමන් ගේම රංගනයන් ටය. දේව් ආනන්ද් සමඟ බැදි පෙමට මිත්තණිය වැට කඩොලු බැඳි පසු හා රෝගී වීමෙන් පසු ඇය ද ක්ෂේත්රයෙන් දුරස් වූවාය. මාධ්‍ය සහ ලෝකයා ලතා සහ ඔවුන් අතර ගැටුම් ඇති බව පෙන්වීමට උත්සාහ කළ ද පෞද්ගලිකව ලතා ඒ දෙදෙනා සමග ම සුහද ඇසුරක් පවත්වා ඇත. ගීතා දත් ලතාට ඉතා ප්‍රිය කළාය. දෙදෙනා එක්ව යුග ගීත ද ගයා ඇත. පෞද්ගලික දිවියේ ප්‍රශ්න ගීතා, ලතා සමග පැය ගණනක් කතාකොට තිබෙයි.
සුමන් කල්යාන්පූර් සම්බන්ධයෙන් ද ලතාට ඇතැමුන් චෝදනා එල්ල කළ ද සුමන් ට තිබුණේ ලතා ගේ හඬට සමීප හඬකි. ලතා අය කරන මුදල ගෙවීමට නොහැකි අධ්යක්ෂවරුන් සුමන් තෝරා ගැනීම නිසා ඇයට දුප්පතුන් ගේ ලතා මංගේෂ්කාර් යන නම ද පටබැදිණි. ලතා කාර්ය බහුල වූ විට ඇය ම අධ්‍යක්ෂවරුන්ට සුමන් ගන්නා ලෙස යෝජනා කර ඇති බව වැඩි දෙනෙක් නො දනිති.
අනූව දශකයේ ක්ෂේත්රයට පිවිසි අනුරාධා පවුද්වාල් ද ලතා ගේම හඩේ පිටපතක් විය. එහෙත් හිරු ඇති තැන සඳට වලාකුළු අතර සැඟව යාමට සිදු වන්නේ ය. සත්‍ය එය ය. ලතා සිටින තැන අනු පිටපත්වලින් පලක් නැත. ලතා දශක අටක් අධිරාජිනිය වීමේ තවත් රහස් ගණනාවක් තිබෙයි. ඇය ඉන්දීය භාෂා 36 කින් ගී තැටිගත කර තිබෙයි. එපමණක් නොව ඇය ශ්‍රී ලාංකේය රසිකයන්ට ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි ගීතය තිළිණ කළා සේම ඉංග්‍රීසි, ජපන්, රුසියානු, මැලේසියානු ආදී වශයෙන් වෙනත් භාෂා ගණනාවක ගී ලොවට දායාද කර තිබෙයි. අපේ මුල්ම නිළි රැජන රුක්මණී දේවිය මෙන් ඇය ද විදෙස් ගීත ඉංග්‍රීසියෙන් ලියා ගෙන පුහුණු වී ඇත.
කෝවිඩ් වසංගතය නො තිබුණා නම් අනූ එක් හැවිරිදි ඇයට 2022 දී ජන ගීතයක් සිනමා පටයකට පටිගත කිරීමට ඇරුයුම් ලැබී තිබිණි.
ලතා අසූ දෙහැවිරිදි වියේදී “ඉචබපචදඨඥඥ ර්ථචපචජඩභබඥ” සිනමා පටයේ අට හැවිරිදි දරුවකු වෙනුවෙන් ගීතයක් ගැයූවාය. සිනමා පටයේ අධ්යක්ෂවරයාවූ විසි හතර හැවිරිදි විනීත් කෙත්‍රපාල් පවසා සිටියේ ගීතය අසන සැවොම එය අට හැවිරිදි දරුවකු විසින් ගයන ලද බව විශ්වාස කරන බව ය. එවන් සපන්කමක් පෑ හැක්කේ ලතාට ම පමණි.
ලතා මංගේෂ්කාර් නැඟණිය ආශා බෝස්ලේ ට පවා ඉදිරියට ඒමට ඉඩ නොදුන් බවට ඇති කතාව ද කටකතාවකි. ලතා ට පාසල් ගමන පවා අහිමි වූයේ ආශා නිසා ය. ආශා වඩා ගෙන පාසලට අකුරු කිරීමට ගිය ඇයට නැඟණිය පාසලට රැගෙන නො එන ලෙසට ගුරුතුමා පැවසූ පසු ඇය කළේ පාසල් ගමන එක් දිනකින් ම අවසන් කිරීම ය. ලතා පියා ගේ මරණයෙන් පසු සිනමා ගායනයෙන් උපයන මුදලින් පවුල් බර සැහැල්ලු කරද්දී ආශා ද සිනමා ගීත ගායනයට එක් වූවා ය. ලතා අක්කණ්ඩිය හා තමන් අතර කිසිකලක තරඟයක් නො තිබුණු බව ආශා නිතරම ප්‍රකාශ කරන්නකි. එහෙත් වයස 16 දී ඇය ලතා ඇතුළු මංගේෂ්කාර් පවුලේ සියලු දෙනා ගේ විරෝධය නො තකා ලතා ගේ පෞද්ගලික ලේකම්ව සිටි 36 හැවිරිදි ගන්පත්රාඕ බෝස්ලේ සමඟ විවාහ වීම දෙදෙනා ගේ සොයුරු පෙම දෙදරවාලීමට සමත්විය. ගන්පත්රාඕට අවශ්‍ය වූයේ ආශා, ලතාට වඩා ගායනයෙන් මුදල් උපයනවා දැකීමට ය. ඒ ඔහු මුදලට තිබූ කෑදරකම නිසාම ය. ගෘහස්ථ හිංසනය නිසා ආශා ගන්පත්රාඕගෙන් දික්කසාද විය. කලක් ලතා ඇය සමග නො මනාපයෙන් සිටියත් පසුව දෙදෙනා මිතුරු විය. ඉචචල (1998 ) සිනමා පටයේ දැක්වෙන්නේ ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ ගේ ගායන ගමනට කළ බාධාවන් බවට රාවයක් පැතිරිණි. ආශා පැවසුවේ මේ කට කතාව අමූලික මුසාවාද බව ය. එහි ප්‍රධාන නිළි ශබානා ආස්මිට මෙවැනි කතාවක් සිනමාවට රැගෙන ඒමට අවශ්‍ය වී ඇති අතර කතාව හැගීම්බරව ලිවීම ලේඛකයා ගේ අයිතියක් බව ශබානා පවසා තිබිණි.
ලතා යනු මවක් නොවුණ ද සොයුරු සොයුරියන් ට දිරිය මවක් වූවාය. ඇය ගීත ක්ෂේත්රයට පිවිස ලද හැකි ඉහළ ම සම්මාන හිමි කර ගත්තාය. වැඩි ම ගීත ගණනක් පටිගත කර වරක් ගිනස් පොතට ද නම එක් කළ ඇය ජාතික සිනමා සම්මාන හතරකින් ද බෙංගාල සිනමා මාධ්‍යවේදී සංගමයෙන් සම්මාන 15 ක් ද ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරක් ද ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය. ප්‍රංශ රජයෙන් ඇයට එරට පුරවැසියකුට දෙන ඉහළම සම්මානය ව්චබඪධදචත ර්ණපඤඥප ධට බඩඥ ඹ්ඥඨඪධද ධට ඩ්ධදධභප හිමි විය. භාරත රජයෙන් දෙන ඉහළ ම සම්මානය වන භාරත රත්න සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා ය. ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ ප්‍රථම වරට සංගීත ප්‍රසංගයක් පැවැත්වූ ගායිකාව ඇය ය. සංගීත ක්ෂේත්රයේ සියලුම සම්මාන වාගේ හිමිකර ගත්ත ද ඇය ක්ෂේත්රයට පිවිසි පසු උත්සාහ ගත්තේ ක්ෂේත්රයේ නියැළෙන්නන්ට අයිතිවාසිකම් හිමිකර දීමට ය. එනිසාම "රණ්ඩු කෙක්කක් " යන චෝදනාව ද ඇයට එල්ල විය. 1957 දී චෝරි චෝරි සඳහා හොදම සංගීතය සඳහා සම්මාන හිමිවන බව දැනගත් ශන්කර් සහ ජයකිෂන් ලතා හමුවී ඇයට සම්මාන උලෙළේ "රසික් බල්මා " ගීතය ගයන ලෙස ඉල්ලා සිටියහ. ලතා කියා සිටියේ තමන් ගීය නො ගයන බව ය. " සම්මානය තියෙන්නේ හොඳම සංගීතයටනෙ. ඔවුන් ගායකයාට/ ගායිකාවට, ගීත රචකයාට සම්මාන දීලා නැහැ. ඒ නිසා ඇයි ඔයාලා ගායිකාවත් ගීත රචනයක් නැතිව වාදක මණ්ඩලය ගෙනිහින් තනුව විතරක් වාදනය නො කරන්නේ ? " ලතා විමසුවා ය. ෆිල්ම්ෆෙයාර් සංවිධායකයන් ගායකයාට / ගායිකාවට , ගීත රචකයාට සම්මාන දෙන තුරු සම්මාන උලෙළේ ගීත නො ගයන බවට ලතා සපථ කළා ය. අවසන 1959 දී ෆිල්ම්ෆෙයාර් සංවිධායක කමිටුව හොඳම ගායකයා / හොදම ගීත රචනය යන අංශ ඇතුළත් කළේ ය. ලතා මංගේශ්කාර් හොදම ගායන අංශයේ මුල්ම ෆිල්ම්ෆෙයාර් ජයග්‍රාහිකාව වූයේ 1958 මධුමතී සිනමා පටයට ගැයූ "ආජා රේ පර්දේසි" ගායනය වෙනුවෙනි. පළමුවෙන්ම සම්මානය දිනා ගත් ගීත රචකයා වූයේ ශයිලේන්ද්‍ර ය. යහුඩි සිනමා පටයේ යේ මෙරා දිවානාපන් හෛ ගීත රචනයට ඔහුට සම්මාන හිමි විය.
මොහොමඩ් රාෆි - ලතා මංගේෂ්කාර් නො මනාපයට මුල්වූයේ ද අයිතිවාසිකම් පිළිබද ගැටලුවකි. හැටේ දශකයේ මුලදී ගායක ගායිකාවන් වෙනුවෙන් සිනමා නිෂ්පාදකගෙන් ඇය සියයට පහක අයිතිය ඉල්ලා සිටියා ය. එහෙත් මොහොමඩ් රාෆි ගායකයා ඇයට සහාය වූයේ නැත. ඔහු සිතුවේ ගීතයේ අයිතිය ඇත්තේ ගීත රචකයාට සහ සංගීතඥයාට බව ය. දෙදෙනා අතර සිදුවූ වචන හුවමාරුව අවසන් වූයේ රාෆි ලතා සමග කිසිදිනක ගී නොගයන බව පවසමිනි. ක්ෂණික කෝපකාරියක වන ලතා ද ඔහු සමග ගීත ගැයීමට නොලැබීම ගැන වඩාත් සතුටු වන බව පැවසුවා ය. කැසට්පටවල ගායකයා ගේ ගායිකාව ගේ නම සඳහන් වන්නේ ද ඇය කළ සටනක ප්‍රතිඵලයක් ලෙසිනි. කාන්තාවට දූවිල්ලකට පමණවත් ගෞරවයක් නැති රටක ඇය ගායනයේ මහිමයෙන් මවුබිමේ නාමය ලොව ගෞරවාදරයට පත් කළා ය. එලෙසින් ම දිරිය ගැහැනියක ගේ මහිමය ද පෙන්වූවා ය. ලතා ශ්‍රේෂ්ඨ වන්නේ මේ සියලු කරුණු නිසා ය.