වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
අපේ අම්මා ගැන වැරැදි සිතිවිල්ලක් අපේ හිතේ අහලකවත් නැහැ

ඇය සම්මානනීය නිළියක්
බුදුන්ට දෙවියන්ට ඉහළින් අපේ අම්මාට වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ
“අපේ තාත්තාට අපේ අම්මාව සැකයි. එහෙම වෙන්න සාධාරණ හේතු තිබිලත් නැහැ. සැකයි සැකයි එක් දවසක් දා මහ රාත්‍රියෙ අපේ අම්මාට ගෙදරින් එළියට බැහැල යන්න සිද්ධ වුණා. එතකොට මට වයස අවුරුදු පහක් විතර ඇති.”
හෙළ සිනමාවේ සුරුපිනියන් අතර අදටත් මතකයෙන් බැහැරව නොයනා ඕ තොමෝ මන බඳිනා සිනහවෙන් රසික සිත් සතන් මෝහනය කළා වූ විජිතා මල්ලිකා ද සිල්වා හෙවත් විජිත මල්ලිකා අද අපේ ආදරණීය කතා නායිකාවය.
සරසවිය වෙනුවෙන් මෙවර අප සමඟ පි‍්‍රයමනාප බැල්මෙන් කතාවෙන් සුහද පිළිසඳරකට එක් වූ එතුමිය ගේ දියණියන් දෙදෙනාගෙන් දෙවන දියණිය පි‍්‍රයා අත්තනායක මහත්මිය දැන් මා සමීපයේය.
පි‍්‍රයා ද අපේ විජිත මල්ලිකා මෙන්ම රුවැත්තියකි. අපේ පිළිසඳරට මුල පුරමින් ඈ කියන්නට වුයේ මේ ටිකය.
‘මේ අහන්න. අපේ සිනමාවේ උන්නු අය බොහෝ දෙනෙක් මිය ගිහින්. ඒ අය ගැන කවුරුවත් කතා කරන්නේවත් අඩුම ගානෙ මතක් කරන්නේවත් නැති තරම්. ඒ අතින් ඒ උතුම් මෙහෙවරකට සම්මාදම් වූ සරසවිය පත්තරයටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතිං අපේ අම්මා ගැන මෙහෙමතවත් මතක් කර කරන කතා කරන්න ලැබීමත් ලොකු සතුටක් ඇත්තමයි.
‘ඉතින් අහන්නකෝ අපේ අම්මා ගැන මගෙ හිතේ කොතැනකවත් වැරදි සිතිවිල්ලක් මට ඇත්තේම නැහැ. මගේ තාත්තා ඇන්ටන් ප්‍රනාන්දු. එයා ව්‍යාපාරිකයෙක්, ඉහළ සමාජ පැලැන්තියෙ කෙනෙක්. එයා ගාව තුවක්කු පවා ළඟ තිබුණා. කලාවට කැමතියි කලාකරුවන්ටත් කැමතියි ඉතින් ඒවා පස්සේ කියන්නම් කෝ.’
අපේ ආදරණීය කතා නායිකාව උපන්නේ මීගමුවේය. 1943 ක් වූ ජුලි මස පස්වනදා උපත ලද ඇයට සහෝදරයන් තිදෙනෙකු හා සහෝදරියන් දෙදෙනකු ද විය. ඕ පවුලේ දෙවන දැරිවිය වුවාය. ඇයගේ මව මේරි වික්‍රමසිංහය. ඇයගේ පියා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මුදල් හදල් අතින් ධනවතෙකි.
මීගමුවේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලද ඇයගේ කුඩා වියේදීම ඇයගේ වැඩිමහල් සහෝදරියක මිය පරලොව ගියාය. එකල මිනර්වා නාට්‍ය කණ්ඩායම සමඟ ඇයගේ අම්මාගේ පාර්ශ්වයේ අයවලුන් ද සම්බන්ධ ව සිටීම නිසාදෝ අපේ විජිත මල්ලිකාවනට නිතර ඇසුණේ නිතර පෙනුණේ නාට්‍ය කටයුතුය.
මම පි‍්‍රයා දෙස බලමි.
‘ඔව්. අපේ ආච්චිගෙ නංගියෙක් විවාහ වී උන්නේ බෙන්ජමින් මාස්ටර් කියල නම් දරාපු කලාකරුවෙක් එක්ක. හියුගෝ ප්‍රනාන්දු මාස්ටරුත් ඉඳල තියෙනවා. කොහෙන් කොහොම හරි අපේ අම්මාට වයස අවුරුදු දොළහක් විතර ඇති. ඒ වුණාට අපේ අම්මා ඒ වයසට වඩා හොඳට පිරිපුන් විදිහට පෙනුම තිබිල තියෙනවා. මට මතක හැටියට අපේ අම්මා ‘පුරුෂරත්නය’ කියල චිත්‍රපටයක විකට චරිත නිරූපණයකට සම්බන්ධ වෙලා තියෙන්නේ.
මට තවමත් මතකයි. ඒ කාලෙත් බොහෝ අය කිව්වලු. පසු කාලෙකදීත් මට එක එක පත්තර සඟරාවල තිබුණෙ රෙද්ද හැට්ටයටත් නාගරික මිනිගවුමටත් අපේ අම්මා 3එක වගේම බොහොම හැඩට පේනවා කියලයි. අපේ අම්මා දත් පෙන්වල හිනාවෙද්දි මුහුණෙන් මතුවෙලා එන සිරියාවන්තකම කවුරුත් කතා වුණා.
පි‍්‍රයා නිහඬවම බිම බලාගත්තාවමය. කියන්නට බොහෝ දේ ඇති බව මුල දී ඉඟි කළ ද ඈ නිහඬවමය. ඕ රහසේ දෑස පිසලනු දුටිමි. සුසුමකින් ළය නිවාගත් ඈ ‘හරි අපි කතා කරමු’ යැයි තිර හඬකින් කියන්නට වුවාය.
‘ඉතින් මං කීවනෙ අපේ තාත්තා ඇන්ටන් අපේ අම්මාට වඩා වයසින් අවුරුදු හතක් වැඩිමල්. බීමත්කමත් එහෙමයි. කොහොම හරි අපේ අම්මයි තාත්තයි විවාහ වුණා. ඒ පේ‍්‍රම සබඳතාවයකින්. මගේ අක්කා ශිරන්ති ද සිල්වා. පිරිසිදුකම ගැන මං තවමත් දන්න හොඳම එකම ආදර්ශවත් කාන්තාව අපේ අම්මා. ඒ වගේම හැම දෙයක්ම හරිම පිළිවෙළයි ක්‍රමානුකූලයි. අක්කවයි මාවයි පිරිසුදුවට පිළිවෙළට තියන එක තරම් අපේ අම්මාට තවත් දෙයක් නැහැ.
‘තාත්තා නෙවි. අපේ හැමදේකදිම අප ළඟින්ම උන්නෙ අපේ අම්මා. බොහෝ සිත් වේදනා එයා දරා උන්නා. එයාගෙ හිත පුරාම උන්නේ මමයි අක්කයි. ඔය සුළිං සුළං කියන චිත්‍රපටයෙ නිෂ්පාදක වුණෙත් අපේ තාත්තා ඇන්ටන්, ඉතින් පිරිසිදුවට අන්දවල එයාගෙ අතින්ම අපට කවල අපව පාසල් යවනවා. ඒ වගේ ම අපේ අම්මාට හොඳට රසට උයන්නත් පුළුවන්. අපේ අම්මාගේ අම්මා අපේ ආච්චිත් අපේ ගෙදර උන්නා. ‘ඒ වගේමයි අපේ දඟ වැඩකදිත් අපේ අම්මා තරවටු කළා.’
‘අපේ අම්මා ගැන අපේ හිත්වල වැරැදි සිතිවිල්ලක මාත්‍රයක්වත් නැහැ. දවසක් දා ඊලියන් කියන අන්කල් කෙනෙක් ඒ කාලෙ සඟරාවකට පින්තුර කතාවක් දැම්මා. ඒ පින්තුර කතාවෙ අපේ අම්මා එක්ක ගාමිණී මුණසිංහ කියන අන්කල්ගේ පින්තුර තමයි අරගත්තෙ. ඒක ඊලියන් අන්කල්ගේ අදහසක්. ඒකෙදිත් තාත්තා හරහටමයි අම්මා දිහා බැලුවේ. අපේ අම්මා බුද්ධාගමේ. තාත්තා කතෝලික අනේ, අපේ තාත්තා ගාමිණි අන්කල්වත් සැකකළා. හැමෝවම තාත්තාට සැකයි. ගෙදර ඉතින් අඬ දබර නිතර පේනවා ඇහෙනවා.
මේ වනවිට දී අපේ ආදරණීය කතා නායිකාව විජිත මල්ලිකා සිනමා නිලියක ලෙසින් ඉහළට ම කැපී පෙනුණි. එහෙත් ඕ චිත්‍රපටයක රඟපෑමෙන් පසුව වහා දිව එන්නේ ගෙදරටය. දරු දෙදෙනා අතරටය.
මම පි‍්‍රයාට සවන් දෙමි.
‘ඔව්. අපේ අම්මා ජනපි‍්‍රය නිළියක් තමයි ඒ වුණාට කා එක්කවත් වැඩි ඇයි හොඳයියකට නම් ගියේම නැහැ. ළඟින්ම ආශ්‍රය කළෙත්, අපේ ගෙදර ආව ගියෙත් අනුලා කරුණාතිලක ඇන්ටි විතරයි. අපේ අම්මාට ගෙදර තරම් තැනක් තිබුණේම නැහැ. මම ජනපි‍්‍රය නිළියක් ය කියන මානසිකත්වයක් නම් තිබුණේත් නැහැ. ‘වෙලාවකට අපේ අම්මා ගැන පුදුමයි කොහොම කොහොම හරි තාත්තාගෙ සැකයයි අම්මාගෙ දුකයි අතරේ දෙන්නගේ අසමගිය දවසින් දවස වැඩිවුණා.’
තම විවාහක සැමියාගේ හිංසනයෙන් ඉවසනු බැරිම තැන ඕ තොමෝ මහ රාත්‍රියේ තනිවම ගෙදරින් පිටවුවාය. ඇය ගමන වළකාගන්නට තරමේ හෝ සැමියා සිහියක නොසිටියේය. ඕ කුලී රියකින් මහ රාත්‍රියේම පිළිසරණ පතා පැමිණියේ අවිස්සාවේල්ලේ පදිංචි ඇයගේ පුංචි අම්මාගේ නිවසට ය. ඈ හැඬු කඳුළින් යුතුව මිලී විදාගම නම් පුංචි අම්මාට තමන් අත් විඳිනා හිංසන දුක් ගැහැට කියාපෑවාය.
මේ අතරේදීය ඇයගේ සැමියා තම දියණියන් දෙදෙනා නිවසින් පිට මං කොට තබා දියණියන් දෙදෙනා මත්තේ නැහෙනා අම්මාට රිදවන්නට කටයුතු කළේ.
දරු දෙදෙනා ඉන්නා තැනක් සොයා දැනගත හැකි මඟක් නොවු අපේ විජිතා මල්ලිකා තම දියණියන් සොයා දෙන්නැයි දන්නා කියන හැමටම පින්සෙණ්ඩු වුවාය.
‘ඉතින් අපේ අම්මා ගියා එයාගෙ පුංචි අම්මාගේ ගෙදරට, අවිස්සාවේල්ලට, තාත්තා මාවත් අක්කවත් අරන් ගියා අම්මාගෙන් හංගවල තියන්න. අපේ අම්මාත් දහ අතේ අපව හොයනවා. ඒ කාලෙ අපේ අම්මාගෙ මාමා කෙනෙක් හිටියා ලණු කඩේ මාමා කියලා. තාත්තාගෙන් සිද්ධ වෙන හිත් අමාරු වල දී අම්මා ඒ මාමාට තමා හැමදේම කියන්නෙ. ඒ මාමාත් අපේ අම්මා ගැන බැලුවා.’
“ඔන්න තාත්තා අපිව හංගන්න නැවැත්තුවෙ කොන්වන්ට් එකක. බැප්ටිස්ට් අන්කල් දැකල තියෙනව මමයි අක්කයි එතැන ඉන්නවා. ඒ බව බැප්ට්ස්ට් අන්කල් අපේ අම්මාට දන්වල පොරොදුත් වෙලා තියෙනවා. දරු දෙන්නව හොරෙන් අම්මාට බලන්න එක්ක යන්නම් කියලා. ඒ කිව්ව වගේම කොන්වන්ට් එකේ පස්සා පැත්ත දොර ගාවට අපේ අම්මා ව බැප්ට්ස්ට් අන්කල් එක්කගෙන ආව කියමුකො. අනේ මටයි අක්කටයි හරිම සතුටුයි කාලෙකින් අම්මව දැකගන්න ලැබුණාට. අපේ අම්මාත් උතුරන සතුටකින්. අපිව ආදරයෙන් අම්මා වැලඳ ගත්තා. ඒ ඇස්වල කඳුළු උතුරනවා. දන්නවද, ඒ වෙලාවෙත් අපේ අම්මා අහපු එකම ප්‍රශ්නය අපි දෙන්නාගෙන්, ඔයාල හොඳට දත් මැදල ද ඉන්නෙ කියලා. ඉතින් බලන්නකෝ.
පි‍්‍රයාගෙ දෙකොපුල් තල කඳුළට ඉඩ දී තියේ. ඈ ඈත බලාගෙනම කඳුළු පිරි නෙනිත් බිඳුණු ස්වරයෙන් මෙන් කීයේ ‘අපේ අම්මාගෙයි මගෙයි ලොකු බැඳීමක් තිබුණා.’
මම නිහඬවම පසුවෙමි. නව පණක් ලද්දාක් මෙන් අසුනෙහි හරි බරි ගැසුණු ඕ ‘හරි අපි කතා කරමු.’ යැයි දෙතොල මත සිනාවක් රඳවා මදෙස බලා කීවාය.
‘මේ මං කියන්නේ ඔයාට මගේ අම්මා තාත්තාගෙ අසමගියනෙ. එදා කොන්වන්ට් එකේ අපිව දැකලා අපිව බදාගෙන ඔයාල හොඳට දත් මැදලා නේද ඉන්නේ කියලත් අහපු අම්මා ඊළඟට කිව්වේ ඉක්මනින් මං ඔයාල දෙන්නව මං ළඟට ගන්නවමයි කියලා. කොහොම හරි තාත්තා නැති චෝදනා නැති වැරදි අම්මා මත්තේම පටවා පටවා පොලීසිය දක්වාම අසමගිය ගියා. අන්තිමට සමථ වූ මුල මණ්ඩලයට යොමු වුණා. සාමදාන කරවන්න.’
‘එතැනදි තමයි අනේ ගිනි ගත්තෙ. ඒ වනතුරා අපේ අම්මා තාත්තාගෙ අරියා දු දරාගෙන උන්නා. පවුල් ජීවිතය රැකගන්න. සමත මණ්ඩලයේදී තාත්තා හැමෝටම ඇහෙන්න කෑ ගහල නින්දා කළා. එතැනදි අම්මාගෙ හිතේ තිබුණු පවුල රැකගැනීමේ වෑයම පුපුරලම ගියා කියලා මං අදත් හිතන්නේ. දරු දෙන්නාගේ නාමයෙන් තාත්තා එක්ක සාමදාන වෙනවා කියල හිතේ තිබුණු අදහස අපේ අම්මා වල දැම්මා කියලයි මට හිතෙන්නේ.
උසාවියෙදී දෙන්නා වෙන්වුණා. අපි දෙන්නව තාත්තාට බාර වුණත් අපව අම්මාට පෙන්වන්න කියලා උසාවියෙන් දුන් තීන්දුවටත් පටහැණිව තාත්තා අම්මාට අපි දෙන්නව පෙන්වුයේ නැහැ.’
අපේ කතා නායිකාව හුදෙකලා වුවාය. ඇය සිත සනසන්නට සිටියේ ගාමිණි මුණසිංහය. ඔහු ඇයට රැකවරණය වෙමින් විවාහ කරගත්තේය.
‘අපි අම්මා ළඟට පැනල ගියා. අපේ අම්මා අපිව නුවර හිල්වුඩ් විද්‍යාලයට ඇතුළත් කළා. මේ කතාවේ කවුරු කොහොම හිතුවත් ගාමිණි අන්කල් අපේ අම්මාගෙ සිතුම් පැතුම් හොඳ හැටියට තේරුම් ගත්ත කෙනෙක්. ඒ විතරක් නෙවි, ඒ අන්කල් අපේ අම්මාට බොහොම ගෞරවයකින් ළඟ හිටියෙ.”
‘අපේ අම්මා ට හොඳට නටන්න පුළුවන්. මොකද හැඩකාර සිරුරක් එයාට තිබුණෙ. අම්මා නැටුම පුහුණු වෙනවා බලන් ඉන්න ආසයි. එයා එක්ක මමත් හරි හරියට නටනවා. ඒ කාලෙ තිබුණනෙ ‘ටුවිස්ට්’ කියල නැටමුක්. ඒ නැටුම අපි දෙන්නම නටනවා. මමත් අම්මාව අනුකරණය කළා මතකයි.’
සුළි සුළං නමින් තැනූ චිත්‍රපටයේ ලා සිලනියන්ස් කණ්ඩායමේ චල් වාදකයාව එදා සිටියේ පසු කලෙක ප්‍රවීණත්වයට පත් මිල්ටන් මල්ලවආරච්චි මහතාය. ‘අපේ අක්කා ශිරන්ති හරිම අහිංසකයි. මමත් ප්‍රේමා ගණේගොඩ, සෝනියා දිසා, එච්.ඩී. කුලතුංග සමඟ රඟපෑවා. එතකොට මං පොඩියි. ඒ වෙලාවලදි අම්මා මාව අගය කළ හැටිත් මතකයි.
‘ඉතින් හිල්වුඩ් පාසලේ හයේ පන්තියේ ඉඳල උසස් පෙළ ලියනතුරුම අපි හිටියා. අම්මා කීව දැන් ඉගෙන ගත්තා ඇති ඔයාලව කසාද බන්දල දෙන්න ඕනා කියලා.
අපේ පිළිසඳරේ පි‍්‍රයා විවාහ වුයේ ක්‍රිකට් සම්මේලනයේ තනතුරු හෙබ වූ රංගන ශිල්පියකු ද ව්‍යාපාරිකයකු වූ කුමා අත්තනායක මහතා සමඟිනි.
ව්‍යාපාරිකයකු ද වන ගාමිණි මුණසිංහ සමඟ නීත්‍යානූකූලව විවාහ වූයේ අපේ කතා නායිකාව සතුටු සිතකිනි. සිය පියා මෙන් නොව ගාමිණි අන්කල් තම මවට දක්වන ගෞරවය මුසු ආදරය දැක දියණියන් දෙදෙනාම අපමණ සතුටකට පත්වුහ. ඒ විවාහයෙන් අපේ විජිතා මල්ලිකාවෝ දියණියක හා පුතෙකු ලද්දාහ.
‘ගාමිණි මුණසිංහ කියන්නෙත් දඩබ්බරයෙක්, හොඳ ධනවතෙක්, ඉස්සර හිටියෙ ඔසී කොරයා කියල ප්‍රකට පුද්ගලයෙක්, අන්න එයාට ගහල තියෙන්නෙත් ගාමිණි මුණසිංහ තමයි ඒ වුණාට අපේ අම්මා එක්ක ආදරයෙන් ජීවත් වුණා. අම්මාට නැති වී ගිය සතුට, සැපත එයා ගෙනැවිත් දුන්නා. ඒ අන්කල් අපටත් සැලකුවා. මමයි අක්කයි ගාමිණි අන්කල්ව දකින්නේ මනුස්සකමින් පිරි මහත්මයෙක් විදිහටයි අම්මා ඒ අන්කල්ට වඳිනවා.
ගෙදර කාගෙ හරි උපන් දිනයක් තිබුණාම ඒක උත්සවශ්‍රීයෙන් කරන ආසාවක් අම්මාට තිබුණා. හැබැයි පිටස්තර කවුරුවත්ම නැහැ. ගෙදර අයම විතරයි.
මට තාම මතකයි. අපේ අම්මාගෙ රහට උයාපු බත් එක කන්න බලාගෙන පාසලේ මිතුරියො උන්න හැටි. අපේ අම්මා ළඟ හොඳ කොලිටීස් තිබුණා. ගෙදරට එන කෙනකුට උණු උණුවේම කන්න දෙන්න තමයි අම්මා හරිම කැමැති. අපට සලකන්න දෙන්නා හරි හරියට කැප වුණා. අම්මා අක්කාව විවාහ කර දුන්නා. අම්මත් අපි එක්කමයි හිිටියේ, අපට කිසි අඩුවක් කළේම නැහැ.
කෙසේ නමුදු යටගිය දිනෙක ප්‍රසිද්ධියේ ඇන්ටන් කළ අපහාසාත්මක ප්‍රහාරය පිළිබඳ වේදනාව ද තම අම්මා තනිව දරා සිටි බව ද දියණිය පි‍්‍රයා කියන්නීය. මත්පැනට ලොල්ව පසු වූ ගාමිණී ද ඇයට දැක් වූ ගෞරවයේ නාමයෙන් ඉන් මිදුණු ජිවිතයකට පිලිපන්නේය.
අපේ ආදරණීය කතා නායිකාව දැන් දැන් ආගමික පැත්තට වඩාත් නැඹුරු බවක් ද සැමියාට ද දරුවනට ද පෙනිණි. දැනිණි. ඕ පිනට දහමට පෙරටත් වඩා කැප වී සිටියාය. කිසි දිනෙක කොට ඇඳුමකින් නොගියාය. හැම ගමනකදීම ඕ සැරසුණේ සාරියකිනි.
සුවිසල් මැදුරක සුව පහසුව දෝරේ ගලා ගිය ද ඈ සරල චාම් දිවි පෙවෙතකට හුරු වුවාය. නිවසෙහි තැනෙක සුදු තිර වටකළ අලංකාර බුදු කුටියක් තැනූ ඕ දේව සංකල්පනාවට වශිකෘත ව දේව සමාගමටම පහන් තැබුවාය.
ඒ වන විට චිත්‍රපට තුනකට ගිවිසුමින් බැඳී සිටි ඈ තවත් චිත්‍රපටවල රඟපෑමෙන් ඉවත්ව ඉන්නට තීරණය කොට සිටියාය.
වරින් වර ඕ රෝගාතුර වෙයි. නිහඬවම පසුවෙයි. යළි ප්‍රකෘති තත්ත්වයෙන් පසුවෙයි. ඇයගේ ආගමික වතාවත් වල දී දුම් කබල සකසුරුවම් කර දීමෙන් පවා අත්උදව්වට සිටි සැමියා ගාමිණි මුණසිංහ ඇයට හැම අතින්ම අත්වැලක්ම විය. ඔහු නිසාම ඈ සතුටින් පසුවුවාය.
සමකාලීන නළු නිළියන් සමඟ කෙතරම් හාදව සිටිය ද ඔවුන් පිරිවරා පසුවන්නට හෝ ඔවුන්ගේ ගෙවල් වලට යාම් ඊම් හෝ ඔවුන් තම නිවෙසට කැඳවා ගැනීම් හෝ ඇය කිසිවිටෙක අනුමත නොකළාය.
තමන්ට නිළියක වන්නට අත දුන් හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් කෙරෙහි ගෞරවය මුසු හදකින් පසු වූ ඈ ඔහුට ගමන් බිමන් පහසුව පිණිස යතුරු පැදියක් තිළිණ කළාය. එසේම උදව් පතා පැමිණියකු හිස් අතින් ආපසු නොයවන්නට වග බලා ගත්තාය.
‘ඇත්තම කියන්නම්. සම්මාන ප්‍රදානයේ දී නම් අපේ අම්මාට බොහොම කෙනහිලිකම් සිද්ධ වුණා. සමහර අවස්ථාවලදී සම්මාන හදල දීලත් තියෙනවා. අපේ අම්මා සම්මානනීය නිළියක්. ඒ වගේම චරිතාංග නිළියක්. ඒ බව අම්මා ඔප්පු කර තියෙනවා.’
පි‍්‍රයා අත්තනායක පවසන්නීය.
තම බිරිඳ කෙරෙහි හිත ඇති ඇල්ම තවත් ගාමිණී තුළ මෝදු වුයේ ඇය තම නිවසට කැන්දා ආ දිනේ සිට තමාගේ දියුණුව දෙගුණ තෙගුණ ව ගිය බවට අදහන තරම් වූ හෙයිනි. ඔහු ඇය රැගෙන සතුට උපදවන විවිධ සංදර්ශන කරා ගියේය. ඇය කැමති ආහාර පාන, ඈ කැමැති දෑ ගෙන දෙන්නට උත්සුක වුයේය. කොටින්ම කිවහොත් ඈ සතුටින් තබන්නට ඔහුගේ එකම උවමනාව විය. ඔහුට ඔහුගේ රංගදේවප්‍රිය පුතු සේම එරන්දි හේමමාලි දියණිය ද අපේ පි‍්‍රයා සහ ශිරන්ති තම දියණියන්ම හා සමාන විය. ඒ නිසාමය සියලු දෙනාවම කැටුව වන්දනාවක, සංචාරයක යෙදුණේ.
මේ අතරේ දී ඇයට සවන් දුන්, ඇයගේ දුකෙහි දී පිහිටට සිටි ලණු කඩේ මාමා මිය ගියේය.
පහසුවෙන් තම හිත මිතුරුකම් තවකෙකුට නුදුන් අපේ කතා නායිකාව අංග සම්පුර්ණ ගැහැනියක් යැයි දියණිය ප්‍රියා කියයි.
‘මල් හදන්න, රහට උයන්න, ගේ දොර පිරිසිදුව තබාගන්න, මැහුම් ගෙතුම්, අර පිරිමැස්ම, මේ හැමදේකින්ම අපේ අම්මා සම්මානිතයි. ඒක ඇත්තක්මයි. අපේ අම්මා දෙවියන් ගැන විශ්වාස කළා. හඳහන යන්ත මන්ත්‍ර ගැන විශ්වාසය තිබ්බ කෙනෙක්.’
ඕ තොමෝ නැකැත් චාරිත්‍ර පිළිබඳව ද තිබුණේ නොමඳ භක්තියකි. විශ්වාසයකි. ඒ බව මනාව කියැවෙන පුවතක් ද පි‍්‍රයා මං සමඟ කීවාය.
‘දවසක් සිංහල අලුත් අවුරුද්දෙ නොනගතය ලබලා කෑම බීම ඒ නොනගතයෙදි නම් නැහැනෙ. ඔන්න එඩී ජයමාන්න අන්කල් අපේ ගෙදරට ආවා. අපේ අම්මා එඩී අන්කල්ට හරිම හිතවත්. ඒත් ඒ වුණාට අපේ අම්මා ගෙ හිත හයියයි. චාරිත්‍ර ගැන පිළිවෙල එහෙමමයි. අපේ අම්මා එඩී අන්කල්ට කිව්වනෙ. අපේ අයියෙ තරහ වෙන්නවත් මුකුත් හිතන්නවත් එපා. නොනගතය වෙලාවට නම් මම කාටවත් මුකුත්ම දෙන්නේම නැහැ කියලා. ඒකට මට කනගාටුයි කියලත් කිව්වනෙ.’
මගේ විවාහයේදී අම්මා මුල දී නම් ඒ තරම් ම කැමැත්තක් නෑ වගේ පෙන්නුවේ කවුද මේ හිපියෙක් වගේ කියලා. පස්සේ අපි එකමුතුව උන්නෙ. මගේ පුතා ජිත්ම අකිල මගේ දුව අනුරාධා දුව ඉන්නෙ ලංකාවේ.
ඉතින් අපේ අම්මා වගේ නිලියක් වන සිහිනයට වඩා මම සංගීතය පැත්තටයි නැඹුරු වුණේ’ ඇය සතුටින් කියන්නීය.
මේ වන විට පි‍්‍රයා අත්තනායක නමින් ගීත පහක් නිර්මාණය වී තිබෙයි. කැලුම් ශ්‍රීමාල්, නිලාර් කාසිම්, ආදීන්ගේ පබැඳුමින් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, සුරේෂ් මාලියද්ද සංගීතයෙන් එම ගී රසවත් වී තියේ.
මගේ අම්මා වෙනුවෙන් අම්මා රඟ පෑ චිත්‍රපට පසුබිම් රැගත් දර්ශනවලට සමාගාමීව එදා ගීත මම ගායනා කළා. චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. අම්මා වෙනුවෙන් ඒ උපහාර ප්‍රසංගය පැවැත්වුයේ පානදුර පුරහලේ දී, එහෙත් මම කැමති නැහැ විජිතා මල්ලිකාගෙ දුව හැටියට ඇයගේ නිර්මාණවලටවත් මටවත් අගතියක් සිදුවනවාට. පි‍්‍රයා පැවසුවාය.
පාසල් වේදිකා රංගනයෙන් ද සම්මානිත වූ පි‍්‍රයාගේ ගැයුම් නදට මම සරසවිය වෙනුවෙන් සුබ පැතුවෙමි. සත්ත්ව කරුණාවෙන් පිරි හදක් හිමි පි‍්‍රයාගේ නිවසේ බල්ලන් පූසන් රැසකි. උන්ට සාත්තු කිරීම රැක ගැනීම ඇයගේ තවත් විනෝදාස්වාදායකි.
අපේ කතා නායිකාව විජිත මල්ලිකාවන් රෝගාතුර වුවාය. එය සැමියා වන ගාමිණීට ඉහිලුම් නැති කාරණයක්ම විය. සුළු අසනීප වලදී පවා ඇයට ම හුරුපුරුදු වූ කොළඹ පෞද්ගලික රෝහලකට නිතර නිතර යාමට ඒමට ඈ පුරුදුව සිටියා ය. ඒ නිසාම ඇය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට යාම පිළිබඳව පවුලේ කිසිවකුට අමුත්තක් ද නොවීය. එහි කාර්ය මණ්ඩලයට ද ඈ හුරු පුරුදුය.
එහෙත්, සැමියා ඇතුළු පවුලේ සෑම බියෙන් ත්‍රස්තව ගියේ ඕ පිළිකා රෝගයකට බඳුන්ව ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වීමෙනි. එතුවක් ගෙතුළ සිසාරා තිබු සතුට සොම්නස කවුරුදෝ පැහැරගෙන ගොස් ඇතිවාසේම විය.
‘අම්මාගෙ කොණ්ඩේ යන්න පටන් ගත්තාම මට දැනුණ දුක කියා පලක් නැහැ. ඒ පුද්ගලික රෝහල නම් අම්මාට ගෙදර වගේ. සෞඛ්‍යය ගැන හරිම සැලකිලිමත්. ඉස්සරටත් වඩා අපේ අම්මා තව තවත් රෝගී වන බවක් අපට පෙනුණා. ඒ අසනීප තත්ත්වයෙන් සිටියදීත් ගෙදර අපේ අම්මා කරගෙන ආපු ආගමික වත් පිළිවෙත් කරමින් උන්නා. මට අදටත් අදහාගන්න බැරි එකම දේ සතුටින් විනෝදයෙන් නිලියක හැටියට ජීවත්වන පරිසරයක හිිටිය අපේ අම්මා එකපාරටම ජිවිතයේ රටාව එක පාරටම වෙනස් කරගත්තේ කොහොමද කියන එකයි. බුදුන් දෙවියන් හැර අපේ අම්මාට වෙනත් කිසිම දෙයක් ඉහළින් සලකා හිිටියෙ නැහැ.
‘තාත්තාගෙන් අපේ අම්මාට ලැබුණු අපහාසය නම් අපේ අම්මාට මරු පහරක් වුණා වගේ. එහෙම වැරදි නොකළ ගැහැනියකට ප්‍රසිද්ධියේ ඒ විදිහට නින්දා කළාම ඒක දරාගන්න අමාරුයිනේ. දරු දෙන්නාගෙ නාමයෙන් හැම දුකක්ම දරාගෙන සාමදාන වෙන්න හිතන් හිටපු අපේ අම්මා දැන් මට නුඹ එපා එපාමයි කියන තද තීරණයකට එන්න තාත්තා අහේතුකව කරපු නින්දාව බලවත් වුණාමයි කියල මම හිතන්නෙ.’
පි‍්‍රයාගේ මුහුණුවර දුක්බරය. මේ කතාවේ කිහිප තැනකදීම යටගියාවෙන් අලුත් වී හිත පැරීමෙන් නෙත් කඳුළට බර වූවාය. එහෙත් ඈ තවමත් අම්මා ගැන මතකය හාරා අවුස්සන්නෙ බලවත් කැමැත්තකින් යැයි මට සිතේ.
අපේ සොඳුරු කතා නායිකාව විජිත මල්ලිකාවෝ දවසින් දවස වඩාත් රෝගාතුර වූහ. හිතවතුන් හෝ හිතවතියන් පිරිවරා නොසිටි ඇයට වඩාත් ම සුවදායක වුයේ ගෙදර දොරේ ජිවිතයය. තම සැමියට රසට උයා දෙන්නටත් දරුවනට බත් කවන්නටත් ලොකු මහත් වුවද දරුවන්ගේ අවශ්‍යතා සොයා බලන්නටත් ඇයට තිබූ ලොකුම උවමනාව එයම විය.
මුල් විවාහයෙන් හිමි වූ ශිරන්ති, පි‍්‍රයන්ති දියණියන් දැන් විවාහකය. තවත් වගකීමක් තමන් අත ඉඳුරාම ඇති බව ඇය දැන සිටියාය. ඒ තම දෙවන විවාහයේ තමන්ට අසීමිත ව ගෞරවය, ආදරය පුදදෙන සැමියා ගාමිණීට දාව උපන් රංග දේවපි‍්‍රය පුතා සහ එරන්දි හේමාමාලි දියණිය ද ඇයට මහත් සේ අගනේමය.
‘මට තව අවුරුදු පහක් ජීවත් වෙලා ඉන්න ලැබුණොත් හොඳටම ඇති. මගේ පොඩි එකී එරන්දි ව බන්දලා දෙනකම්’ ගිලන් යහනේ වැතිරගත්වනම ඕ සෙමින් කියන්නට වූවාය.
සැප සම්පතින් ආඪ්‍යව තිබූ සුවබර ජීවිතයට සරල චාම් බව එකතු කර නිළියක ලෙසින් පැමිණි ගමන් මඟ සහ මුලින්ම වෙනස් කොට ඒ වෙනුවට ආගමික වශයෙන් තුන් තිස්පැයේ ම නිරත ව, සැමියාගේ දරුවන්ගේ ඕනෑ එපා කම් මත පමණක් තම ජිවිතය තබා සිටියදී වඩාත් රෝගාතුර වූ අපේ ආදරණීය කතා නායිකාවට ‘විජී’ යන ආදරණීය ආමන්ත්‍රණයෙන් යුතුව ළඟම පසු වූ සැමියා ගාමිණී සසලව ගිය සිතකිනි.
‘අම්මාගෙ ඇස්වල නිතර කඳුළු පිරිලා. මම අම්මාව අත ගගා උන්නා.’
දැන් ඕ යළිත් පෞද්ගලික රෝහලකය. ප්‍රතිකාර මධ්‍යයේය. දියවැඩියා රෝගයෙන් ද පීඩිතව පසු වූ අපේ විජිත මල්ලිකාවන්ගේ කතාබහ ද අඩුය. ඇය ළඟම පැය විසිහතර පුරා රඳවා සිටි හෙදිය ඇයගේ තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුනට වාර්තා කළාය.
වසර තුනක් තිස්සේ රෝගාතුරව පීඩා විඳි ඕ මේ වන විට හෙම්බත්ව පසුවුවාය.
‘හැමදාම හිමිදිරියේම අපේ අම්මාට අපි මල් කළඹක් වාට්ටුවට යවනවා. ඊට පෙරදා රාත්‍රිය මට දැනුණේම වෙනස් විදිහකට. එදා රෑ බල්ලන් උඩු බුරපු තරම්. හරිම අමුතුයි. එදා රෑ මං ගෙදර හිටියේ. මට නින්දක් තිබුණෙත් නැහැ. හිතට අමුතු දේ දැනුණා. ගෙදර බල්ලා කවදාවත් ඒ විදිහට නම් බුරලම නැහැ. අපි අපේ අම්මාට යවපු මල් කළඹ රිටන් වුණා. මට එකපාරටම ෂොක් එකක් වගේ වුණා. ඇයි ඒ කියලා.’
‘කවුරු නැති වුණත් මං ඉන්නවනෙ’ කියල මගේ මහත්තයා මට කිව්වා. ඒ වෙද්දිත් මං දැනගෙන හිටියෙම නැහැ මගේ අම්මා අපිව තනිකරල ගියා කියලා. මගේ මහත්තයා මට එහෙම කිව්වේ මං කලබල වේවි කියල බව මට පස්සේ තේරුම් ගියේ. මගේ හිත හදන්නයි එයාට ඕන කළේ.’
හෙළ සිනමා රිදී තිරය ඔප කළ ආශක්ත සිනාවෙන් රසික සිත් සතන් පොබ කළ සුරූපී චරිතාංග නිලියක ලෙසින් සම්මානිත වූ අපේ ආදරණීය සොඳුරු කතා නායිකාව විජිත මල්ලිකාවන් සිය සුවපහසු දිවිමඟෙහි පසුවෙමින් ඒ වන විට චිත්‍රපට හැටක පමණ රඟපා තිබිණි. ඇයගේ හාස්‍ය රසය උපදවන රංගන විලාශය ද රසික සමුහයා අදරින් වැලඳ ගති.
සියල්ල සිත රවටන සිහිනයක්, මායාව යැයි පසක් කරවමින් අපේ විජිත මල්ලිකාවෝ සිය ජිවිතයේ 49 වන වියෙහි දී සියල්ලන්ගෙන් ම වෙන්ව සමුගෙන නොඑනා ගමන් නික්ම ගියා ය.
එනම් 1992 ක් වූ ඔක්තෝබර් මස 16 වනදාය.